ශර්මන් පෙරේරා ඛේදවාචකය

October 29, 2026
Publication:
In abnormal times there are always people who take their own advantage from them. When the JVP was being hunted, some settled scores with their enemies by branding them JVP supporters and telling the security forces; the number of innocent people killed on false information was large. The same period is coming back, Ivan writes, with branding a man an LTTE supporter as the easy revenge.

රටේ අසාමාන්‍ය තත්ත්වයක් තිබෙන අවස්ථාවලදී එම විශේෂ තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා පිරිස් අපේ රටේ එමට සිටිති. ජවිපෙ දඩයමට ලක්වී තිබූ යුගයේදී සමහර අය තම සතුරන්ගෙන් පළිගත්තේ ඔවුන් ජවිපෙ ආධාරකරුවන් ලෙස හංවඩු ගසා ඒ බව ආරක්ෂක අංශවලට දැනුම්දීමෙනි. ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබියදීත් ජවිපෙට සම්බන්ධ බවට ලැබෙන බොරු ඔත්තු නිසා ඒ කාලයේදී මැරුම් කෑ අහිංසකයින්ගේ සංඛ්‍යාව විශාලය. දැන් එළඹෙමින් තිබෙන්නේ ද ඒ හා සමාන කාලවකවානුවකි. කොටි ආධාරකරුවෙකු ලෙස හංවඩු ගැසීම සතුරන්ගෙන් පළිගැනීමට තිබෙන පහසු ක්‍රමයක් වී තිබේ. කොටි ආධාරකරුවකු ලෙස සලකා කරන දැනුම්දීමකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට සිදුවේ. එවැනි අත්අඩංගුවට ගැනීමක් සාමාන්‍යයෙන් ජනමාධ්‍ය වාර්තා කරන්නේ එල්ටීටීඊ ඔත්තුකරුවකු අත්අඩංගුවට ගැනීමක් වශයෙනි. එවැනි අත්අඩංගුවට ගැනීමකදී සමහරවිට ප්‍රශ්න කිරීමකින් තොරව පහරදීමකට ලක්වීමේ හැකියාවක් ද පවතී. තමන් සමහරවිට දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගන්නා තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

සුනිල් ශර්මන් පෙරේරා හා ඔහුගේ සේවකයකු වූ ලින්ටන් ගාමිණී මුණවීර නමැති පුද්ගලයා පසුගිය 28 වැනිදා රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ රත්නපුර මිහිඳු විදුහලේ බෝම්බයක් ඇති බවට ඔහුගේ ජංගම දුරකතනයෙන් දැනුම්දීමක් කරන ලද බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. දුරකතන පණිවුඩය දී තිබුණේ ජංගම දුරකතනයකින් නම් එහි ඇත්ත නැත්ත ජංගම දුරකතන සමාගමේ පරිගණක ආශ්‍රයෙන් දැනගත හැකිව තිබුණි. එහෙත් එවැනි සොයා බැලීමකින් තොරව රත්නපුර පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කළේය. කුරුවිට රිමාන්ඩ් බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මේ පුද්ගලයාට ඉතාමත් අමානුෂික ලෙස පහර දුන් බව ඔහු සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයා ප්‍රකාශ කර තිබේ. ශර්මන් පෙරේරාගේ බිරිඳ සිය ස්වාමිපුරුෂයාගේ ජංගම දුරකතනයට අදාළ සියලු ලිපි ලේඛන අදාළ ජංගම දුරකතන සමාගමෙන් ලබාගෙන පොලිසියට ඉදිරිපත් කළත් වැඩක් නොවීය. අවසානයේ අදාළ ලියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූවත් ශර්මන් පෙරේරා මහතාට නිදහස් ලෝකයට යන්නට සිදුවූයේ නැත. ඔහු මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය. බැලූ බැල්මට පෙනෙන්නේ මෙය පළිගැනීමේ චේතනාවෙන් කෙරුණු බිහිසුණු අපරාධයක් බවය. විදුහල්පතිවරයාට මියගිය පුද්ගලයා සමඟ අමනාපයක් තිබී ඇති බව පෙනේ. පාසල් බෝම්බ වටාපිටාව එම පුද්ගලයාගෙන් පළිගැනීමට විදුහල්පතිවරයාට මනා අවස්ථාවක් ලබා දුන්නේය. පොලිසිය ශර්මන් පෙරේරා සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ප්‍රතිපත්තියෙන් පෙනී යන්නේ විදුහල්පතිවරයාට පොලිසිය සමඟ ද සම්බන්ධයක් තිබූ බවය. විදුහල්පතිවරයාට කුරුවිට බන්ධනාගාරය සමඟ සමීප සම්බන්ධයක් තිබී ඇති බව පෙනී යයි. ඔහු ඒ සම්බන්ධකම් ප්‍රයෝජනයට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ලවා ශර්මන් පෙරේරා උපරිම පහරදීමකට ලක් කළේය. ඔහු මරණයට පත්වූයේ එම පහරදීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. මේ සිද්ධියේදී බැලූ බැල්මට නොපෙනෙන දේශපාලන සම්බන්ධයක් ද තිබිය හැකිය.

අවසානයේදී ඒ සියලු දෙනා එකතු වී අහිංසක පුරවැසියෙකු ඉතාමත් අමානුෂික ආකාරයකින් මරා ගත්තේය. එය ඉතාමත් සංවිධානාත්මක ආකාරයකින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිය හැකිය. අවසානයේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ද කීවේ කම්මුලට කරන ලද ලද පහරදීමක් හැර ඉන් එහා ගිය පහරදීමක් සිදුවී නැති බවය. එහෙත් මෙම මරණය මහජන අවධානය දිනාගත් සිද්ධියක් බවට පත්වීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළේය. එහෙත් කුරුවිට බන්ධනාගාරයේදී එල්ල කෙරුණු පහරදීමට සම්බන්ධ පිරිස දෙදෙනෙකුට සීමා නොවන බව ගාමිණී මුණවීර එම පහරදීම පිළිබඳව කර තිබෙන ප්‍රකාශයෙන් පැහැදිලිව පෙනී යයි. පහරදීමට සම්බන්ධ වූවන් හඳුනා ගැනීමේ හැකියාව ගාමිණී මුණවීරට තිබිය යුතුය.

විදුහල්පතිවරයා මෙම බොරු ඔත්තුව පොලිසියට දී තිබෙන්නේ ශර්මන් පෙරේරා සමඟ ඇති කරගෙන තිබුණු පෞද්ගලික අමනාපයක් නිසා නම් ගුරු සේවයේ ගෞරවය කෙළෙසූ මෙම ගුරුවරයාට එරෙහිව උපරිම ලෙස දඬුවම් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. මෙවැනි ඛේදජනක බිහිසුණු සිද්ධියක් නැවත ඇති නොවන තත්ත්වයක් සහතික කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ටෝනි එම්මානුවෙල්ට සිදුවන්නට ගියේද ශර්මන් පෙරේරාට සිදුවූ දේය. කිසිම සාධාරණ හේතුවක් නැතිව අධිකරණයේ නායකයා විසින් ටෝනිට සිරදඬුවම් ලබාදීමෙන් පසුව අධිකරණ නායකයා සතුටු කරනු පිණිස හෝ ඔහුගේ වුවමනාව මත බන්ධනාගාරයට ගෙනා ටෝනිට අමානුෂික ලෙස පහර දෙන වැඩපිළිවෙළක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක විය. ඔහු ශර්මන් පෙරේරා මෙන් මිය නොගියද දීර්ඝ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවේය. ඔහුගේ නඩුව හා ඔහුට දෙන ලද දඬුවම අදාළ කාරණා විභාග කොට ඔහුට වන්දි ගෙවන ලෙස ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවට නියම කර ඇතත් තාමත් ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කමිටුවේ එම නියමයන් පිළිපැද නැත.

සම්පත් ලක්මාල් ඝාතනය

නිදහස් ජනමාධ්‍යවාදියෙකු වූ සම්පත් ලක්මාල් ද සිල්වා 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ අවි ගත් කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යෑමෙන් පසුව දෙහිවල කරගම්පිටිය ජයවර්ධන මාවතේදී හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම පැහැර ගැනීම සිදුවන්නට පෙර ඔහුට කිසියම් පුද්ගලයෙකු ඔහුගේ ජංගම දුරකතනයට කතා කිරීමෙන් පසුව ඔහු නිවසින් පිටතට පැමිණ ඇති බවත්, ඉන්පසු වාහනයකින් ඒ ස්ථානයට පැමිණි අවි ගත් පිරිසක් ඔහු පැහැරගෙන ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ඝාතනයට වගකිවයුත්තේ කව්ද? එල්ටීටීඊයද, පාතාල ලෝකයද, නැතිනම් අන් පිරිසක්ද?

පරීක්ෂණය මෙහෙයවන පොලිස් කණ්ඩායමේ නිරීක්ෂණය වී ඇත්තේ එම ඝාතනය හමුදා බුද්ධි අංශය විසින් සිදුකරන ලද ඝාතනයක් බවය. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී ඇතත්, කිසියම් විශේෂ බලපෑමක් නිසා අද දක්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත. එහෙත් එම බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනා පරිහරණය කළ ගිනි අවි පරීක්ෂා කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

මෙම ඝාතනයේ වටපිටාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් ඉතා වැදගත් සිද්ධියක් ජූනි අවසානයේදී ත්‍රිකුණාමලයේදී සිදුවිය. ත්‍රිකුණාමලයේ නාවික හමුදාව කොටි සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී හමුදාවේ ස්වේච්ඡා බලකායේ කපිතාන්වරයෙකු සමඟ සම්බන්ධකම් පවත්වන බවත්, ඒ මගින් යුද්ධ හමුදාවට අදාළ ඉතා වැදගත් තොරතුරු තමන් ලබාගන්නා බවත් ඔහු පිළිගත්තේය. මෙම ප්‍රශ්න කිරීමෙන් පසුව නාවික හමුදාව එම හමුදා කපිතාන්වරයාට උගුලක් ඇටවූයේය. කොටි සාමාජිකයා ලවා ඔහුගේ ජංගම දුරකතනයෙන් හමුදාවේ කපිතාන්වරයාට දුරකතන පණිවුඩයක් ලබා දුන්නේය. ඔහු ස්ථානයක් නම් කොට තමා හමුවීම සඳහා එහි එන ලෙස කපිතාන්වරයාගෙන් ඉල්ලා සිටියේය. කපිතාන්වරයා ඊට එකඟ වී නියම කරගත් ස්ථානයට පැමිණි විට නාවික හමුදාව ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔහු දැන් සිටින්නේ හමුදා බුද්ධි අංශයේ භාරයේය.

මේ සිද්ධියත් සමඟ සල්ලිවලට කොටි සංවිධානයට තොරතුරු ලබා දෙන හමුදා නිලධාරීන් පිළිබඳ විවිධ කටකතා පැතිර යන තත්ත්වයක් ඇතිවිය. අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා කවර තරම් විශාල මිලක් වුවද ගෙවන්නට කොටි සංවිධානය සූදානම්ය. සල්ලිවලට තොරතුරු දෙන්න සූදානම් අය ආරක්ෂක හමුදාවල සිටිනවා විය හැකිය. එහෙත් මේ සිද්ධිය නිසා කොටින්ට ඔත්තු සපයන්නෙකු යන චෝදනාව යටතේ සතුරන්ගෙන් පහසුවෙන් පළිගත හැකි වාතාවරණයක් ද ආරක්ෂක සේවාවල ගොඩනැගී තිබෙන බව ද කිව යුතුය.

අසන්නට ලැබෙන තොරතුරු අනුව ඝාතනයට ලක්වූ සම්පත් ලක්මාල්ට ආරක්ෂක අංශ සමඟ සේ ම විවිධ සන්නද්ධ කණ්ඩායම් සමඟ ද සම්බන්ධකම් තිබුණි. තමන්ට සම්බන්ධ හමුදා නිලධාරියෙකු මගින් කොටි සංවිධානයට මුදලට තොරතුරු ලබාදෙන හමුදා නිලධාරීන්ගේ නාමලේඛනයක් (හතළිස් දෙනෙකුගේ) ලැබී තිබේ. එම නාමලේඛනය රටේ ආරක්ෂාව අරමුණු කොටගෙන ඉතාමත් අවංක අරමුණින් සකස් කළ ලේඛනයක් විය හැකිවා සේ ම, ඊට වෙනස් පටු අරමුණින් සකස් කළ ලේඛනයක් ද විය හැකිය. ඒ අරමුණු දෙකේ මිශ්‍රණයක් ද විය හැකිය. කෙසේ හෝ තමන්ට ලැබුණු මේ නාමලේඛනය සම්පත් ජාතික හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන නායකයකු අතට පත් කළේය. ලක්මාල් ඝාතනයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ක්‍රියාකර තිබෙන්නේ එයයි.

සම්පත් ලක්මාල් ගැන ද විවිධ මත පවතී. සමහර අය කියන්නේ ඔහු ඩබල් ඒජන්තවරයෙකු බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඔහු පරස්පර විරෝධී සංවිධාන ගණනාවක් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව පැහැදිලිය. පරස්පර විරෝධී සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ අයිතියක් ජනමාධ්‍යවේදීන්ට ඇතත්, කාගේ හෝ ඒජන්ත්වරයෙකු ලෙස ක්‍රියාකිරීමේ අයිතියක් ජනමාධ්‍යවේදියෙකුට නැත.

සම්පත් ලක්මාල් ඝාතනය කළේ හමුදාවේ බුද්ධි අංශය නම් එය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. බුද්ධි අංශයට තොරතුරු සොයායෑමේ අයිතියක් ඇතත්, කවර හේතුවක් මත හෝ මිනිසුන් ඝාතනය කිරීමේ අයිතියක් තිබිය නොහැකිය.