එල්ටීටීඊය එල්ල කරන පහරදීම්වලට එකට එක කරන තැනකට නොගොස් ආණ්ඩුව සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගත යුතුයි කියන තැනකට අවතීර්ණ වී සිටීම ඉතාමත් යහපත් වර්ධනයක් ලෙස සැලකිය හැකි ය.
ඇසට ඇසක් කියන ප්‍රතිපත්තියක් රටට යහපත් විය නො හැකි ය. මහත්මා ගාන්ධි ප්‍රකාශ කර ඇති පරිදි එවැනි ප්රතිපත්තියක අවසාන ප්‍රතිඵලය විය හැක්කේ සමස්ත දේශයම අන්ධයින්ගේ දේශයක් බවට පත්වීම ය.
සිංහල ජාතිය විනාශ කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි කියන කතාව විකාරයකි. අපේ රටේ ඇවිලෙන ගින්නක් අපේ රට කෙරෙහි පමණක් නො ව, අසල්වැසි රටවල් කෙරෙහි ද ඊටත් වඩා දුරදිග ගියහොත් මුළු ලෝකය කෙරෙහි ද බලපෑ හැකි ය. එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීමේ උනන්දුවක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇතිවීම ස්වාභාවික ය.
බටහිර රටවල් එල්ටීටීඊයට උඩගෙඩි දෙන්නේය කියන මතයක් සිංහල ජනතාව අතර තිබුණි. එය ද වැරදි මතයකි. එල්ටීටීඊයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රජාව අනුමත කරන්නේ නැත. කැනඩාව, යුරෝපා සංගමය වැනි රටවල් එල්ටීටීඊය තහනම් කර ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් එම රටවල් අනුමත නො කරන නිසා ය. එසේ එල්ටීටීඊය ත්‍රස්වාදී සංවිධානයක් ලෙස සලකා එය යුදමය වශයෙන් පරාජය කරන පිළිවෙතකට ද ජාත්‍යන්තර ප්‍රජාව කැමති නැත. එසේ වීමට හේතුවී ඇත්තේ එල්ටීටීඊය හා ජනවාර්ගික අර්බුදය අතර වෙන් නොකළ හැකි සම්බන්ධයක් ඇති බව ඔවුන් විශ්වාස කරන නිසා ය. ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ඇති කරගත හැකි වෙතොත්, එල්ටීටීඊයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ද අවසන් කරගත හැකිවනු ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය වී තිබේ. සාකච්ඡා මගින් දේශපාලන විසඳුමක් ඇති කරගන්නා තැනකට යන ලෙස ඔවුන් අපට බලකරන්නේ ඒ නිසා ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ හැම දේශපාලන පක්ෂයක්මත් පොදුවේ දරන මතය වී ඇත්තේ ද මේ අර්බුදයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ඇති කරගත යුතු බව ය. ඊට වෙනස් අදහසක් දරන්නේ ජවිපෙ පමණ ය. ඉන්දියානු මාදිලියේ බලය බෙදා හරින පිළිවෙතකට හෙළ උරුමය පවා පක්ෂ ය.
ජවිපෙ පමණක් සිතන්නේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ යුතු ය යන්න ය. ජවිපෙ ද කලක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වූ සංවිධානයකි. ඔවුන් ත්‍රස්තවාදී තත්ත්වයක සිටියදී කරන ලද ක්‍රියාකාරකම් එල්ටීටීඊයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට වෙනස් නොවී ය. ඔවුන් ද එල්ටීටීඊය මෙන් විරුද්ධ මත දරන්නන් ඝාතනය කළේ ය. දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කළේ ය. යුද හමුදාව දැක්කේ අනුකම්පාවිරහිතව විනාශ කළ යුතු පිළිලයක් ලෙස ය.
එල්ටීටීඊය සේ ජනතා විමුක්ති පෙරමුණ ද දළදා මාලිගාවට පහර දුන්නේ ය. කටුනායක ගුවන් හමුදාවට පමණක් නො ව, පාර්ලිමේන්තුවට ද පහර දුන්නේ ය. පොදු දේපළ අනුකම්පා විරහිතව විනාශ කළේ ය. ඒ අතීතය දැන් ජනතා විමුක්ති පෙරමුණට මතක නැත. ජවි පෙරමුණට ප්රචණ්ඩ මාවත අත්හැරීමට හැකි වී නම් ඒ හැකියාව වෙනත් සංවිධානවලට ද තිබිය හැකි ය.
එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයක් වලංගු නො වන්නේ එවැනි යුද්ධයක් දෙමළ ජනතාව තමන්ට එරෙහිව කරන යුද්ධයක් ලෙස සලකන නිසා ය. මෙම අර්බුදය කෙරෙහි ජනවාර්ගික ප්රශ්නය බලපා තිබෙන නිසා ය. අපට ඔවුන් සමඟ යුද්ධ කරන්නට සිංහල හමුදාවක් මිස, දමිළ හමුදාවක් නැති නිසා ය. යුද්ධයක් කරන්නට ඉන්දියාව ඉඩ නොදෙන නිසා ය. කවර අර්ථයකින් ගත්තත් යුද්ධය මුළු රට කෙරෙහි ම විනාශකාරී ලෙස බලපාන නිසා ය.
අපට තෝරා ගැනීමට තිබෙන එකම මාවත මේ ප්‍රශ්නයට සාමාකාමී විසඳුමක් ඇති කරගැනීම ය. ඒ සඳහා සාකච්ඡා මාවතට පිවිසීමය. ඒ අරමුණ ජයගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාගත යුතු ය. රටේ ජනතාවගේ සහාය ලබාගත යුතු ය.
අධිෂ්ඨානශීලීව එම මාවත තෝරාගත හැකි නම් දුෂ්කර විය හැකි වුවත් විසඳුමක් ඇති කරගැනීමේ හැකියාව රටට ලැබෙනු ඇත්තේ ය.