අධිකරණය කොයිබටද?

October 29, 2026
Publication:
A retired army commander never charged with bribery, and an engineer respected among professionals, have gone to court to say that appointments to the Court of Appeal and the Supreme Court made without the constitutional council's approval are unlawful and take away their fundamental rights. Citizens' groups keep bringing these cases knowing they will lose, Ivan writes, because the object is to tell the country that a serious wrong has been done.

ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය ඇද වැටීමට පෙර එහි සිදුවන කටයුතු විකාරරූපී ස්වරූපයක් ගත් බව ඉතිහාසයේ සඳහන්ය. දැන් ශ්‍රී ලංකාවේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ද ඊට සමාන ආකාරයකටය.

අල්ලස් චෝදනාවලට ලක්වීමෙන් තොරව විශ්‍රාම ගිය හමුදාපතිවරයෙක් (ජෙරී සිල්වා), වෘත්තීයවේදීන් අතර ගෞරවයට හේතුවූ ඉංජිනේරුවෙක් (ඒ.සී. විශ්වලිංගම්) ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් තොරව උසස් අධිකරණයට (අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට) කර තිබෙන පත් කිරීම් නීති විරෝධී බවත්, ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිවීමක් සිදුවී තිබෙන බවත් ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. එම අපූරු පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගිනි. විනිශ්චය මණ්ඩලය පෙත්සම විභාග කිරීමෙන් නොනැවතී පෙත්සම්කරුවන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම මගින් අධිකරණය වැරදි ලෙස ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ද යන්න සොයා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මගින් දෙනු ලැබූ ඇඟවීම වනුයේ ජනාධිපතිවරයාට මුක්තියේ රැකවරණය තිබෙන බැවින් ඔහු කුමන දෙයක් කරනු ලැබුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් කිසිවකුට නැති බව හා ඒ ගැන ප්‍රශ්න කිරීමට අධිකරණය යොදා ගැනීමෙන් වරදක් කර තිබෙන බවත්ය.

මේ පුරවැසියන් දෙදෙනා යූඑන්පීකාරයින් නොවේ. පටු දේශපාලන වාසියක් දේශපාලන පක්ෂයකට ලබාදීමේ අරමුණින් උසාවිය ඉදිරියට ගිය පිරිසක් ද නොවේ. ආණ්ඩු කරන ක්‍රියාවලිය ගැන අවධියෙන් සිටින, ආණ්ඩු කරන ක්‍රියාවලියේ සිදුවී ඇති බරපතළ වරදකට එරෙහිව එය නිවැරදි කරගැනීම සඳහා යහපත් පුරවැසියන් වශයෙන් තමන්ට යන්නට තිබුණු එකම හා අවසාන තැනට ගිය පුද්ගලයෝ දෙදෙනෙකි.

දැන් රටේ තිබෙන්නේ වැරදි පීල්ලක ගමන් ගනිමින් තිබෙන අධිකරණයක් බව ඔවුන් නොදැන සිටියා විය නොහැකිය. තමන්ට අධිකරණයෙන් සහනයක් ලබාගත නොහැකි වුවද රටේ යහපත ගැන උනන්දුවක් දක්වන පුරවැසියන් වශයෙන් එවැනි දුක්ගැනවිල්ලක් රැගෙන යායුතු නියමිත තැනකට ගිය නීතිගරුක යහපත් පුරවැසියන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකිය.

ඔවුන්ට අධිකරණයෙන් දෙන ලද පිළිතුර අපූරුය. ජනාධිපතිවරයා දැන හෝ නොදැන කරන කිසිම දෙයක් පිළිබඳව කරුණු සොයා බලන්නට අපි සූදානම් නැත. මින් මතු එවැනි දුක්ගැනවිලි රැගෙන ආවොත් බලාගනයි යන්න අධිකරණය ඔවුන්ට දෙන ලද පිළිතුර වූයේය.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමය. විධායකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන අමුතු බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමකි.

එහෙත් ඒ වගකීම ඉටු කරන්නට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් නැත. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ප්‍රධාන වගකීම බවට පත් කොට ගෙන තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම නොව ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමය. ඒ මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු වී ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත්වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීමෙන් තොරවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මරා දමා තිබෙන බව පැහැදිලිය.

ඒ මගින් ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති, රටේ එදිනෙදා කටයුතු සිදුකිරීමට අවශ්‍ය මූලික නීතියක් නැති රටක් බවට පත්වී තිබේ.

මෙම පුරවැසියන් දෙදෙනා විසින් පවරන ලද නඩුවට සමාන නඩුවක් විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ද (OPA) පවරා තිබේ. එය ඇසෙමින් තිබෙන්නේ අභියාචනාධිකරණය ඉදිරියේය. එම නඩුවේ නිමිත්ත වී ඇත්තේ ද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කිරීමය. ඔවුන් විසින් පවරන ලද එම නඩුවට පෙර වෙනත් පිරිසක් විසින් ද (යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය) එවැනිම නඩුවක් අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබුණි. ඔවුන්ට ලැබුණු තීන්දුව වූයේ ජනාධිපතිවරයාට ලැබී තිබෙන මුක්තිය අනුව ඔහු කරන කිසිම ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවයි.

රටේ සිදුවී තිබෙන බරපතළ වරදකට එරෙහිව දැනුවත් පුරවැසි කණ්ඩායම් දිගින් දිගට අධිකරණය ඉදිරියට යමින් තමන්ට පරාජය ලැබෙන බව දැන දැනම වැදගත් නෛතික අරගලයක යෙදී සිටින බව ඉන් පෙනී යයි. ඔවුන්ගේ අරමුණ රටේ බරපතළ වරදක් සිදුවී ඇති බව රටට කීමය. ඒ මගින් රටේ පුරවැසියන් දැනුවත් කිරීමය.

එහෙත් වෙනදා මෙවැනි අරගලවල නිරත වන්නේ දේශපාලන පක්ෂ මිස, පුරවැසියන් නොවේ. එහෙත් ඒ වැදගත් කාරණයේදී සියලු දේශපාලන පක්ෂ නිහඬය. එජාපය නිහඬය. ජනතා විමුක්ති පෙරමුණ නිහඬය. ජාතික හෙළ උරුමය නිහඬය. ඔවුන් කිසිවෙකුට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත් වී නැත. අඩුම වශයෙන් අධිකරණය ඉදිරියට ගොස් සටන් කරනවා තබා පාර්ලිමේන්තු විවාදයකට ගන්නට තරම්වත් ඔවුන්ට එය වැදගත් නොවීය.

අධිකරණයේ සිදුවන දේවල තර්කානුකූල බවක් හෝ මනා ගැලපීමක් නැත. සිදුවන දේවල ඇති පරස්පරතා සොයා බැලීමට මහජනතාවට හෝ දේශපාලන පක්ෂවලට ද උනන්දුවක් නැත.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ථාවරය එසේ වුවත්, ඊට වෙනස් කාරණාවලදී එම පිළිගත් ස්ථාවරයට පටහැනිව තින්දු ප්‍රකාශ වන අවස්ථා ද පවතී.

අද්මිරාල් දයා සඳගිරිට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් දෙන ලද පත් කිරීමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙනා මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් කැබිනට් මණ්ඩලය විසින් දෙන ලද එම පත් කිරීම තහනම් කළේය. අද්මිරාල් දයා සඳගිරි පිළිබඳව පළවී තිබෙන පුවත්පත් වාර්තා මත පමණක් පදනම් වී ඔහු දූෂිත පුද්ගලයෙකු වශයෙන් ද නිගමන කර තිබුණි.

අද්මිරාල් දයා සඳගිරිට එම පත්වීම දෙනු ලබන කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ද ඇතුළත්ය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාරණාවලදී ජනාධිපතිවරයාගේ පත් කිරීම් නිෂ්ප්‍රභා කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැතිනම් ජනාධිපතිවරයා විසින් කර තිබෙන සඳගිරිගේ පත් කිරීම නිෂ්ප්‍රභා කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන්නේ කෙසේද? කන්න හිතුණාම කබරගොයා තලගොයා කරගන්නා න්‍යායයක් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක පිළිගත් මූලධර්මයක් විය නොහැකිය.

ඇත්තටම දැන් අධිකරණය තමන් වෙත බාරවී තිබුණු වැදගත් විෂය ක්ෂේත්‍රයක් එනම් විධායකය කෙරෙහි පරීක්ෂාවෙන් ඉඳිමින් විධායකය අතින් සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්වලදී ඒවා බලරහිත කිරීමේ වගකීම අත්හරින තත්ත්වයකට පැමිණ තිබේ. ඒ අනුව අධිකරණයෙන් එල්ල වන බාධාවකින් තොරව තමන් කැමති ආකාරයකට රිසි සේ ඉදිරියට යෑමේ හැකියාව විධායකයට ලැබී ඇත්තේය. විධායකයෙන් පුරවැසි අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයකදී පුරවැසියන් ආරක්ෂා කරගැනීමේ බලයක් දැන් අධිකරණයට නැත. අධිකරණයට තිබුණු ඒ බලය අධිකරණය විසින් ස්ව කැමැත්තෙන්ම අත්හැර තිබේ. ඒ අනුව රටේ ආණ්ඩු කරන ක්‍රියාවලිය ඉදිරියට ගමන් ගනු ඇත්තේ අධිකරණයේ පරීක්ෂාවට ලක්වීමෙන් තොරවය. හරියටම ප්‍රභාකරන්ගේ රාජ්‍යයේ කටයුතු සිදුකරන ආකාරයටය. ප්‍රභාකරන්ගේ රාජ්‍යයට ද අධිකරණ ක්‍රමයක් ඇත්තේය. එහෙත් ඒ අධිකරණයට ප්‍රභාකරන් කරන කටයුතු පරීක්ෂා කිරීමේ බලයක් නැත. ප්‍රභාකරන්ගේ අධිකරණය හා අපේ අධිකරණය අතර තිබූ එකම වෙනස එය වුවත්, දැන් අධිකරණය විසින්ම එම මූලික වෙනස අත්හරින තත්ත්වයක් තුළ ශිෂ්ටසම්පන්නභාවයේදී අපි ප්‍රභාකරන්ගේ රාජ්‍ය තිබෙන තත්ත්වයට ආසන්න තත්ත්වයකට පැමිණ සිටිමු.