ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්‍රමයක් සඳහා බහු පක්ෂ ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ක්‍රමයක් ඇතත්, එම දේශපාලන පක්ෂ ප්රජාතන්ත්රවාදි දේශපාලන පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ප්රජාතන්ත්රවාදි දේශපාලන පක්ෂයක් තුළ තිබිය යුතු අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් තුළ නොපවතී.
පක්ෂ ක්‍රමය
හැම පක්ෂ ව්‍යවස්ථාවක්ම දේශපාලන නායකයාට ආඥාදායක බලතල ලබාදි තිබෙන අතර, පක්ෂ නායකයකු නුසුදුසු වූ අවස්ථාවක එම පක්ෂ නායකයා ඉවත් කොට නව නායකයකු පත්කර ගන්නා ක්‍රමය ඒ කිසිම ව්‍යවස්ථාවකට ඇතුළත් නැත. පක්ෂවල තීන්දු ගන්නා උසස්ම බලමණ්ඩල වලට සාමාජිකයින් බහුතර පිරිසක් නම් කිරීමේ බලය ලැබී තිබෙන්නේ පක්ෂ නායකයාටය. තීන්දු ගැනීමේ ක්‍රියාවලියට පක්ෂ සාමාජිකයින් සම්බන්ධ කරගැනීමක් සිදුවන්නේම නැති තරම්ය. විරුද්ධ වීමට අවශ්‍ය අවස්ථාවලදි විරුද්ධ වීමේ අයිතිය හා එම විරුද්ධවාදි අදහස් අන් සාමාජිකයන් වෙත ගෙනයෑමේ අයිතිය පක්ෂ සාමාජිකයන්ට ලබාදි නැත. කිසිම පක්ෂයක පක්ෂ අරමුදල් පක්ෂ සාමාජිකයින්ට විනිවිදව දැකිය හැකි තත්ත්වයක නොපවතී. පක්ෂයට ලැබෙන අරමුදල් අවශ්‍ය නම් පෞද්ගලිකව වුවද පරිහරණය කිරීමේ අයිතිය පක්ෂ නායකයින් සතුය.
පක්ෂ නායකයින්ට ලැබී තිබෙන ආඥාදායක බලතල හේතු කොටගෙන පක්ෂවල නිලතල ලබාගැනීමේ හැකියාව ලැබී ඇත්තේ පක්ෂ නායකයාගේ විශ්වාසවන්ත පුද්ගලයින්ට පමණය. පක්ෂ නායකත්වයේ විශ්වාසය දිනාගැනීම සඳහා නිලතල ලබාගත් අයට හා නිලතල ලබාගන්නට අපේක්ෂා කරන අයට පක්ෂ නායකයාට කේලාම් කීමට හා බැල මෙහෙවර කිරීමට සිදුවේ.
මැතිවරණවලදි පක්ෂවලට අරමුදල් ලබාදෙන ප්‍රධාන මාර්ගය බවට පත්ව ඇත්තේ නීති විරෝධී ලෙස ආදායම් උපයන කළු සල්ලිකාරයින්ය. ඒ නිසා ඔවුන්ගේ අරමුදල් වලින් බලයට පත්වන ආණ්ඩුවලට එම කළු සල්ලිකාරයින් ආරක්ෂා කිරීමට සිදුවී ඇත්තේය. සිරිමා බණ්ඩාරනායක යුගයේදි හා චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදි ද ශ්රීලනිපක්ෂයට අරමුදල් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ හැරි ජයවර්ධනය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරමුදල් ලබාදෙන ප්‍රධාන මාර්ගය ලෙස ක්‍රියා කරනවාට අතිරේකව එජාපයට අරමුදල් ලබාදෙන වැදගත් මාර්ගයක් ලෙස ද ක්‍රියා කළේය. ඔහුට එරෙහිව විනිමය වංචා චෝදනා එල්ල වී තිබියදිත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඔහු විනිමය සුරැකුම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලද අතර, ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ පාලන යුගයේදි රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහු විනිමය සුරැකුම් කොමිසමට සාමාජිකයෙකු වශයෙන් පත් කළේය.
හැම දේශපාලන පක්ෂයකම අරමුණ බලය ලබාගැනීම වුවත්, බලය දැරිම සඳහා සිය නායකයින් පුරුදු පුහුණු කරන ක්‍රමයක් කිසිම පක්ෂයකට නැත. බුද්ධිමය සංවාද ගණයෙහි ලා සැලකිය හැකි සංවාද කිසිම පක්ෂයක් තුළ සිදු නොවන අතර, බුද්ධි මණ්ඩල ක්‍රමයක් පවා කිසිදු පක්ෂයක් සතුව නැත. ප්‍රධාන විරුද්ධ පක්ෂ තම අනාගත ඇමති මණ්ඩල සාමාජිකයන් ප්‍රසිද්ධ නොකරන අතර, ඇමති මණ්ඩලයට පත්වන පුද්ගලයින්ට තමන්ට හිමි විෂයයන් දැනගැනීමට ලැබෙන්නේ ඇමති ධුරවලට පත්කිරිමෙන් පසුවය. මේ නිසා හැමවිටම ඔවුන්ට කටයුතු ආරම්භ කරන්නට සිදුවනුයේ කල්තියා ඇති කරගත් විෂයය අවබෝධයකින් තොරවය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ආඥාදායක රාජ්‍ය නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකි අතර, එම පක්ෂය රාජ්‍යයේ අකාර්යක්ෂමතාව හා දූෂිත බව වර්ධනය කිරීමට ද හේතුවී තිබේ.
පරමාධිපත්‍යය බලය හා මැතිවරණ
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්‍රමයක් තුළ පරමාධිපත්‍යය බලය හිමිවන්නේ පුරවැසියන්ටය. පුරවැසියන් තමන්ට හිමි පරමාධිපත්‍යය බලය අධ්‍යාශ කරන්නේ මැතිවරණවලදි ඡන්දය පාවිච්චි කිරිමෙනි. 1982 දී හැර ශ්‍රී ලංකාව නියමිත කාලවලට ඡන්දය විමසීම් පවත්වා ඇතත්, 1977න් පසුව පවත්වන ලද බොහෝ මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ ලෙස සැලකිය නොහැකිය. 1977ට පෙර පැවති ක්‍රමය යටතේ හැම මැතිවරණයකදිම පාලක පක්ෂය වෙනස් වන තත්ත්වයක් පැවති බැවින් මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන නිලධාරීන් ද බොහෝ දුරට අපක්ෂපාතව ක්‍රියා කරන තත්ත්වයක් පැවතුණි. එහෙත් 77න් පසුව ඇතිවූ ක්‍රමය යටතේ බලයට පත්වන පාලක පක්ෂයක් බොහෝ විට නිල කාල දෙකක් හෝ තුනක් පාලන බලයේ සිටින තත්ත්වයක් ඇතිවී මැතිවරණ කටයුතුවල යෙදෙන රාජ්‍ය නිලධාරින් ද පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියා කරන තත්ත්වයක් ඇතිවිය.
1981 ජූනිවලදි යාපනේ පැවති දිස්ත්‍රික් සභා ඡන්දය, මැතිවරණයක් පැවැත්වීමේ බලය ලත් අධිකාරියෙන් ඉවත් කොට දේශපාලන පක්ෂයක් අතට ගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකිය. එම ඡන්ද විමසීම පැවති පෙර දින ජනාධිපතිවරයාගේ නියෝග මත ආරක්ෂක ලේකම්වරයා යාපනේ තේරිම් භාර නිලධාරියාට නිකුත් කළ නියෝගයක් මගින් ඡන්ද මධ්‍යස්ථානවල සිටි 150 ක් පමණ වන ඡන්ද පොළ භාර නිලධාරින් ඉවත් කොට ආරක්ෂක ලේකම්වරයා නිර්දේශ කළ වෙනත් පිරිසක් එම තනතුරුවලට පත් කළහ. ඔවුන්ගෙන් සමහරෙක් ජාතික සේවක සංගමයට සම්බන්ධ කාර්යාල කාර්ය සහායකයින් වූහ.
මැතිවරණය අවසානයේදි තේරිම් භාර නිලධාරියා (යෝගේන්ද්‍ර දොරේසාමි) මැතිවරණය නිසි අයුරින් නොපැවති බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය. සමහර ඡන්ද පෙට්ටි පැමිණ තිබුණේ ප්රමාදවීය. ඡන්ද පෙට්ටි 6 ක් අතුරුදහන් වී තිබුණි. තමන් කුමක් කළයුතු දැයි මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිගෙන් විමසන ලද අතර, මැතිවරණයක් අවලංගු කිරීමට බලයක් නැති බව ප්‍රකාශ කරමින් අතුරුදහන් වී ඇති ඡන්ද පෙට්ටි අමතක කොට පවතින තත්ත්වය යටතේ ප්‍රතිඵල නිකුත් කරන ලෙස නීතිපති මැතිවරණ කොමසාරිිස්වරයාට දැනුම් දුන්නේය. එම මැතිවරණය වංචා කිරීමට ආණ්ඩුව දරන ලද උත්සාහයට විරෝධය පළකිරීමක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා (එම්.ඒ. පියසේන) තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, ආණ්ඩුව ඔහුගේ කට වසා තැබීම පිණිස ඔහු රෝමයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැව්වේය. පුරප්පාඩු වූ මැතිවරණ කොමසාරිස්ධුරයට එම දෙපාර්තමේන්තුවේ දෙවැනියා පත් නොකොට පිටස්තරයෙකු පත්කිරීමට විරෝධය පළකරමින් නියෝජ්‍ය කොමසාරිස්වරයා ද සිය තනතුර අතහැර ගියේය. ඉන්පසු ආණ්ඩු පක්ෂයට හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දිර්ඝ කරගැනීම සඳහා පවත්වන ලද ජනමතවිචාරණය ජයගත්තේ ද රාජ්‍ය බලය යොදා ඡන්ද මංකොල්ලකන ක්රමයකිනි.
එක්සත් ජාතික පක්ෂ යුගයේ ඇති කොට ස්ථාපිත කරන ලද රාජ්‍ය බලය යොදා සංවිධානාත්මක ආකාරයකින් ඡන්ද මංකොල්ලකෑමේ ක්‍රමය ඊළගට එළඹෙන පොදු පෙරමුණු යුගයේදි ද ඉදිරිියට ගෙන යනු ලැබීය. 1999 පැවති වයඹ පළාත් සභා මැතිවරණය 1982 ජනමතවිචාරණයෙන් පසුව පැවති දැවැන්තම ඡන්ද මංකොල්ලය වී යැයි කිව හැකිය. එම මැතිවරණයේදි ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පිරිස් රාජ්‍ය බලය අතට ගනිමින් ආයුධ සන්නද්ධව ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදි එළිපිටම ඡන්ද පෙට්ටි පුරවන පිළිවෙතක් අනුගමනය කළේය. එය එතෙක් පැවති සියලු දූෂිත මැතිවරණ අතරින් වඩාත්ම දූෂිත මැතිවරණය බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියද, ඔහු මැතිවරණ ප්‍රතිඵල අවලංගු නොකළේය. හොරට ඡන්ද දමා ඇති බවට සිය නිලධාරින් වාර්තා කළ ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක හොරට ඡන්ද පාවිච්චි කළේ යැයි කියන ඡන්ද පත්‍රිකා ඉවත් කොට ප්‍රතිඵල නිකුත් කළේ ඡන්දය අවලංගු කිරීමේ බලයක් තමන්ට නැති බව ප්‍රකාශ කරමිනි. ඉන්පසු පැවති ජනාධිපතිවරණයේදි ඡන්ද කොමසාරිස්වරයා හදිසියේම රෝගාතුර වී රෝහල් ගතවිය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කොට ටික දිනකින් ඔහුට එම තනතුරෙන් ඉවත්වීමට බල කොට පිටස්තරයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙනාවේය. එය ජනාධිපතිවරණයකට තරග කරන ජනාධිපතිවරයෙකු විසින් ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරිමෙන් පසු තමන් කැමති පිටස්තරයෙකු මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙනා පළමු අවස්ථාව විය. එය ජනාධිපතිවරණයේදි තේරිම් භාර නිලධාරින් ලෙස ක්‍රියා කරන දිසාපතිවරුන්ට ජනාධිපතිනිය විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, මෙම නොමනා භෝජන සංග්‍රහයට සහභාගිවීමෙන් වැළකී සිටීමට පිටකොන්ද තිබුණේ දිසාපතිවරුන් අතරින් කිහිප දෙනෙකුට පමණය. එම ජනාධිපතිවරණයේදි ව්‍යාජ ඡන්ද පත්‍රිකා දශ ලක්ෂයක් මුද්‍රණය කරන ලද අතර, ටවුන්හෝල් බෝම්බ සිද්ධිය විසින් ඇතිකර තිබුණු උද්වේගකර වාතාවරණයට මුවාවී හොර ඡන්ද දමන සංවිධානාත්මක වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක විය.
හැම මැතිවරණයකදිම බලයේ සිටින පාලක පක්ෂය නීතිය නොසලකා රාජ්‍ය දේපළ සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගනී. මැතිවරණ කාලය තුළ තෝරාගත් පුද්ගලයන්ට රක්ෂා ලබාදේ. සහනාධාර ලබාදෙයි. රජයේ පොදු දේපළ (මුදල් හා වාහන) මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනේ. මැතිවරණ වියදම් සඳහා නීතියෙන් කිසිම සීමාවක් පනවා නැත. පාලක පක්ෂයක් ඉතාමත් දූෂිත ආකාරයකින් ජයගත් අවස්ථාවකදි පවා අධිකරණය ඉදිරියට ගොස් සහන ලබාගැනීමේ හැකියාවක් නැත.
පවතින ක්‍රමය තුළ පාලකයකුට මහජන කැමැත්ත අවශ්‍ය වනුයේ පළමු නිල කාලය සඳහා පැවැත්වෙන මැතිවරණය ජයගැනීම සඳහා පමණය. දෙවැනි නිල කාලය සඳහා පැවැත්වෙන මැතිවරණය මුළුමනින් මහජන කැමැත්ත නැතිව වුවත් රාජ්‍ය බලය යොදා ජයගැනීමේ හැකියාව බලයේ සිටින පාලකයා සතුය.
නිලධරතන්ත්‍රය
රාජ්‍යයක අඛණ්ඩතාව පවත්වාගෙන යන්නන් වන්නේ ජලය මෙන් ගලාවිත් සුළග මෙන් ආපසු හඹා යන දේශපාලනඥයින් විසින් නොව ගල්පර්වත වැනි ස්ථිර තත්ත්වයකින් යුතු රාජ්‍ය නිලධාරින් විසින්ය. රාජ්‍ය නිලධරතන්ත්රයේ සාරය වනුයේ එකල සිවිල් සේවකයින් ලෙස ද, මෙකල පරිපාලන සේවකයින් ලෙස ද සැලකෙන නිලධාරින්ය. රාජ්‍ය පරිපාලනයේ සාර්ථකත්වය කෙරෙහි රාජ්‍ය නිලධාරින්ගේ අධ්‍යාපනය, පුහුණුව, විනය, අවංකභාවය හා ස්වාධීනත්වය බලපායි. ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් එක් යුගයකදි ලෝක පූජිත කීර්තියක් හිමිකර ගැනීමට සමත්වී සිටියහ. ආචාර්ය සරත් අමුණුගම සඳහන් කර ඇති පරිදි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටියදි වරක් ඌතාන් ප්‍රකාශ කර ඇත්තේ ලාංකික සිවිල් සේවකයින් හතර දෙනෙක් තමන්ට සිටින්නේ නම් මුළු එක්සත් ජාතීන්ගේ මණ්ඩලයම තමන්ට හොඳින් පරිපාලනය කළ හැකි බවය. රාජ්‍ය නිලධරතන්ත්රයේ පරිහානිය ආරම්භවන්නේ රාජ්‍ය නිලධාරින් පත්කිරීමේ, මාරුකිරීමේ හා සේවයෙන් පහකිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත් කොට විෂය භාර ඇමතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත පැවරිමත් සමගය. එය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුවූවකි. ඉන්පසු නිලධරතන්ත්‍රය දේශපාලනකරණය වී රාජ්‍ය නිලධාරියා බලයේ සිටින දේශපාලනඥයින් වටේ භ්‍රමණය වන නිවට ඇම්බැට්ටයකු බවට පත්විය.
ස්වාධීනත්වයේ සිට නිවටත්වය දක්වා වන සංක්‍රමණයේදි එම සංක්රමණීය කාලපරිච්ඡේදය තුළත් සංක්රමණයෙන් පසුත් අනිසි ඇඟිලි ගැසීම්වලට එරෙහිව නිර්භීතව නැගී සිටීමට ආත්ම ශක්තිය තිබූ සුළු පිරිසක් හෝ රාජ්‍ය නිලධාරින් අතර සිටි බව ද කිව යුතුය.
ජේ.ආර්. ජයවර්ධන යුගයේදි ගාමිණී දිසානායක මහතා යටතේ තිබූ මහවැලි අමාත්‍යාංශයේ සිදුවන ගනුදෙනු ගැන ඕනෑවට වඩා කරුණු හොයන විගණන නිලධාරියෙකු ගැන ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් මැණික්දිවෙල මහතා විගණකාධිපතිවරයා (සිරිවර්ධන මහතා) අමතා කතා කොට ඔහු වෙනත් තැනකට මාරු කර යවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේය. විගණකාධිපතිවරයා එම නිලධාරියා වෙනත් ආයතනයකට මාරු නොකර සිටින තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා විගණකාධිපති අමතා තමා දෙන නියෝග නොපිළිපදින්නේ නම් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. විගණකාධිපතිවරයා යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වූයේ ජනාධිපතිවරයා ඉතා බලවත් විය හැකි වුවත්, විගණකාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරයෙකු දෙන නීති විරෝධී නියෝග පිළිපැදිමේ හැකියාවක් තමන්ට නැති බවත්, නිසි පරික්ෂාවෙන් සිටීම විගණන නිලධාරියෙකුගේ වගකීම බවත් ඒ වෙනුවෙන් එම නිලධාරියාට දඬුවම් කිරීමේ හැකියාවක් තමන්ට නැති බවත්ය.
සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් බණ්ඩාරනායක මැතිනිය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ දැවැන්තභාවය නොසලකා එම කොමිසමට තහනම් නියෝගයක් නිකුත් කළේය. විධායක ජනාධිපතිවරයා කොතරම් බලවත් වුවත්, අධිකරණයට කොතරම් ඇඟිලි ගැසීම් සිදු කළත් එකල අධිකරණයේ පැවති ස්වාධීනත්වයේ තරම ඉන් පෙන්නුම් කරයි. එම අධිකරණ නියෝගය නිෂ්ප්රභා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලයක් තිබූ ආණ්ඩු පක්ෂයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන තැනකට යන්නට සිදුවූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද එම පළමු සංශෝධනයෙන් ඕනෑම නඩුකරයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරිමේ බලය පාර්ලිමේන්තුවට ලැබුණේය.
ඉන්පසු තෝරාගත් ප්රතිපක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ සාමාජිකයකුට එරෙහිව ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් හා තහනම් ආඥාවක් ඉල්ලමින් ෆිීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම ද එකල උසස් අධිකරණ නිලධාරින්ගේ ස්වාධීනත්වය උරගා බැලුණු වැදගත් පරික්ෂණයක් විය. නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලට අගවිනිසුරු නෙවිල් සමරකෝන් ද ඇතුළත්ව සිටියේය. එම කොමිෂන් සභාවේ සාමාජිකයකු වූ කේ.සී.ඊ. ද අල්විස් අධිකරණ නිලධාරියෙකුට තරම් නොවන ක්‍රියා කලාපයක් ඇති පුද්ගලයෙකු ලෙස සලකා ඒ.එච්.එම්. ෆවුසිගේ ක්‍රියාකලාපය ගැන තවදුරටත් පරික්ෂණ පැවැත්වීම ඔහුට තහනම් කෙරෙන තහනම් ආඥාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළේය. අද වැනි යුගයක නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියනු ඇත්තේ විධායක ජනාධිපතිට මුක්තිය ඇති බැවින් ඔහු විසින් සිදු කරනු ලබන පත්කිරීමක් අවලංගු කිරීමේ බලය අධිකරණයට නැති බවය.
ස්වාධීනත්වයේ සිට දිනත්වය කරා යන සංක්රමණීය යුගයේදි පමණක් නොව, ඉන්පසුත් යුක්තිය වෙනුවෙන් විධායක ජනාධිපතිවරුන්ගේ නීති විරෝධී නියෝග පිළිගැනීම ප්‍රතික්ෂේප කළ කීර්තිමත් නිලධාරින් සුළු පිරිසක් හෝ නිලධරතන්ත්‍රය තුළ සිටි බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය.
ඒ සඳහා මට අදාළ අත්දැකීමක් මෙසේය. දූෂිත දුම්රිය සාමාන්යාධිකාරිවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන සවිස්තරාත්මක හෙළිදරව්වක් කිරීමට මට සිදුවිය. මෙම දූෂිත නිලධාරියාට විජේතුංග ජනාධිපතිවරයා සමගත්, ප්‍රවාහන ඇමති සමගත් එකල නීතිපතිව සිටි තිලක් මාරපන සමගත් සමීප සම්බන්ධයක් තිබුණි. මට එරෙහිව නීතිපති මගින් සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කරවීමට එම දුම්රීය සාමාන්‍යාධිකාරිවරයාට අවශ්‍ය වී තිබුණ ද අල්ලස් දෙපාර්තමේන්තුව ඔහු පිළිබඳව ආරම්භ කර තිබුණු වත්කම් පරික්ෂණය ඊට බාධාවක් වී තිබුණි. මට එරෙහිව ඔහු වෙනුවෙන් නඩු පැවරිමට එම වත්කම් පරික්ෂණයෙන් ඔහු නිදහස් කිරීම අත්‍යාවශ්‍ය වූ නිසා විජේතුංග ජනාධිපතිවරයා හා නීතිපති තිලක් මාරපන අල්ලස් කොමසාරිස්වරිය (නෙළුම් ගමගේ) අමතා එම වත්කම් පරික්ෂණයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිදහස් කොට ඒ බව ඔහුට ලිඛිතව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය. අල්ලස් කොමසාරිස්වරිය එම නීති විරෝධී නියෝගවලට අවනතව ක්‍රියාකරනවා වෙනුවට ජනාධිපතිවරයා හා නීතිපතිවරයා තමන්ට ඒ ගැන කරන ලද දැනුම්දිම දුම්රීය සාමාන්‍යාධිකාරිවරයාගේ වත්කම් පරික්ෂණ ලිපි ගොනුවේ සටහන් කළේය. ඒ සටහන නිසා ඇයට සිය තනතුර අතහැර යාමට සිදුවූයේය. වර්තමානයේ පවත්නා අධි බලැති අල්ලස් හෝ දූෂණ කොමිසමේ හීන දින ක්‍රියාකාරිත්වය සමග සසඳන විට එදා අල්ලස් දෙපාර්තමේන්තුව කොතරම් ස්වාධීන තත්ත්වයක තිබුණේද යන්න එම නිදර්ශනයෙන් පෙන්නුම් කරයි.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදි ඇගේ ජනාධිපතිවරණයේ බරපැන ඉසුලු කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන විසින් කලක් තිස්සේ පවත්වාගෙන ගිය රේගු බදු වංචාවක් රේගු නිලධාරින් විසින් අල්ලා ගත්තේය. රටේ ජනාධිපතිනිය ඒ අවස්ථාවේදි රේගු නිලධාරින් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට ප්‍රසිද්ධියේම ඔවුන්ගේ ක්‍රියා කලාපය හෙළා දැක හැරී ජයවර්ධන ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ අවස්ථාවේ රේගුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ එස්.එම්.ජේ. සෙනෙවිරත්න ජනාධිපතිනියට ඉතාමත් සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකු වුවත්, ඔහු ඒ අවස්ථාවේදි ජනාධිපතිනියගේ අධම ක්‍රියාකලාපයට එරෙහිව රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව පිණිස ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට සිය තනතුර අතහැර යෑමට සිදුවිය.
ශ්‍රී ලංකාව සිය නූතන වීරයින් ලෙස සැලකිය යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා නිර්භීතව නැගී සිටින එවැනි නිලධාරින්ය. එහෙත් එවැනි රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කරගැනීමට හෝ ඔවුන්ට නිසි ගෞරවය දැක්වීමට රට සමත් නොවූ අතර, ශ්‍රී ලංකා රාජ්‍යයේ පිරිහීම හා එය අසමත් රාජ්‍යයක් බවට පත්වීමේ ක්‍රියාවලිය කෙරෙහි එවැන්නන්ගේ පැවැත්ම අහෝසිවීම ද බලපෑ බව කිව හැකිය.
රාජ්‍ය නිලධරතන්ත්‍රයට අදාළව කලාතුරකින් අසන්නට ලැබෙන එවැනි වීර කතා වෙනුවට බහුලවම අසන්නට ලැබෙන්නේ දේශපාලනඥයන් ඉදිරියේ දණින් වැටී ක්‍රියා කරන උසස් රාජ්‍ය නිලධාරින් පිළිබඳ දින කතාය.
සියලුම රාජ්‍ය නිලධාරින් අතරින් ප්‍රමුඛම නිලධාරියා ලෙස සැලකෙන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාය. මහා භාණ්ඩාගාරය සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කරන ආයතනය ලෙස ක්‍රියා කරයි. අමාත්‍යාංශවල ද, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවලට ද ඇස්තමේන්තු වියදම් හා ගණන් හිලව් මහා භාණ්ඩාගාරය පාලනය කරයි. රාජ්‍ය සේවකයන්ගේ සේවා කොන්දේසි පාලනය කරන්නේ ද මහා භාණ්ඩාගාරයයි. ඒ අර්ථයෙන් රජයේ සියලු ආයතන අතරින් මහා භාණ්ඩාගාරය ප්‍රධාන වන අතර, එය රාජ්‍යයේ සියලු ලේ නහරවල ලේ සපයන හෘදය වස්තුව ලෙස සැලකිය හැකිය.
ලිබරල් ප්රජාතන්ත්රවාදි කවුන්සිලය විසින් 2000 වසරේ පවත්වන ලද වැඩමුළුවකදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වු ජොලී සෝමසුන්දරම් මහතා කළ දේශනයකදි ප්‍රකාශ කළේ භාණ්ඩාගාර පාලනයේ මහා වෙනසක් ඇති කළ ලක්ෂ්‍යය ලෙස ක්‍රියාකළේ ජනාධිපති ප්‍රේමදාස යුගයේදි භාණ්ඩාගාර ලේකම් ධුරයට පත් පාස්කරලිංගම් මහතා බවය. ඔහු එහිදි පාස්කරලිංගම් මහතා හැඳින්වූයේ තමන් විසින් පාලනය කරන රාජ්‍ය සම්පත් ජනාධිපතිගේ හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික දේපළ ලෙස සලකා ක්‍රියාකළ පුද්ගලයෙකු ලෙසය. ඊට පෙර භාණ්ඩාගාර ලේකම්වරු භාණ්ඩාගාරය ජනතා විශ්වාසය සුරැකෙන පරීදි පාලනය කළ යුතු රාජ්‍ය ආයතනයක් ලෙස සලකා ක්රියාකළමුත්, පාස්කරලිංගම් මහතා එම තනතුරට ගෙන ඒමත් සමග එම තත්ත්වය කණපිට හරවන ලද බවත්, ඉන්පසු ඔහුගේ අනුප්රාප්තිකයින් ද ඔහු විසින් කණපිට හරවන ලද එම සම්ප්රදාය ඉදිරියට ගෙන යමින් සිටින බව ද ප්‍රකාශ කළේය.
දැන් ජනතාව මුහුණ දී සිටින්නේ වසර හතරක කාලයක් තුළ පැවැත්වෙන තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ය. සමහර විට මේ මැතිවරණයෙන් තවත් කලකට පසුව තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවත්, එය පුදුම විය යුතු දෙයක් වන්නේ නැත.
ශිෂ්ටසම්පන්න රටවල පාර්ලිමේන්තුවක් විසුරුවා හරිනුයේ පාර්ලිමේන්තුවේ කාලය සම්පූර්ණ වීම නිසා හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් බහුතර බලයක් ආණ්ඩු පක්ෂයට නැති අවස්ථාවක දී ය. එහෙත් මේ විසුරුවා හැරිම සිදුවූයේ ඒ කරුණු දෙකම නිසා නො ව, ජනාධිපතිනියට තිබෙන අභිමත බලය මතම ය. අත්වන බලය සාධාරණව හා නීතියට අනුකූලව මිස අත්තනෝමතික ලෙස පාවිච්චි කළ නොහැකි බවට පිළිගත් සිද්ධාන්තයක් ඇතත්, ඒ කිසිවක් අපේ රටට වලංගු බවක් පෙනෙන්නට නැත. වෙනත් රටවල මෙවැනි අවස්ථාවලදි අධිකරණය ඉදිරීයට ගොස් අභියෝග කරන සම්ප්රදායක් ඇතත්, ඒ ක්‍රමය ද ශ්‍රී ලංකාවට වලංගු නැත.
ජනාධිපතිනියගේ මේ තීන්දුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බලවත් ලෙස අභියෝග නොකළා සේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, පිළිගත් මූලධර්ම මත ක්‍රියාකිරීමට තමන් හැමවිට ම ඇප කැපවී සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණ ද අනුමත කළේ ය. මේ විසුරුවා හැරිම ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වූ බලපෑමේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස ද සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන සංස්කෘතිය ඇද වැටී තිබෙන ශිෂ්ටසම්පන්නභාවයේ තරම එයින් මනාව පෙන්නුම් කරයි.
මැතිවරණයක් නො වැළැක්විය හැකිවී නම්, එය සාමකාමී හා ශිෂ්ටසම්පන්න ආකාරයකින් සිදුකිරීමට අවශ්‍ය කොන්දේසි මැතිවරණයකට යන්නට පෙර සම්පූර්ණ කිරීමේ හැකියාවක් තිබුණ ද මේ කිසිදු පක්ෂයකට එවැනි වුවමනාවක් නො තිබුණේ ය. බල අරගලය අර්ධ වනචාරි තත්ත්වයක තබා ගැනීම සියලු දෙනාගේ ම කැමැත්ත වී තිබෙන බව පෙනේ.
මැතිවරණ කටයුතු සඳහා ආණ්ඩු පක්ෂයකට පොදු දේපළ පරිහරණයට තිබෙන ඉඩ වැළැක්වීම සඳහා ජනාධිපතිනිය මහත් උනන්දුවෙන් ක්‍රියා කරන බවක් ද පෙනෙන්නට තිබේ. එය සිය ප්රතිපක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන පිළිවෙතක් වුව ද එසේ කිරීම යහපත් ය. එහෙත් තමන්ගේ පක්ෂය බලයේ සිටිය දී පැවති මැතිවරණවලදි ජනාධිපතිනිය එසේ නො කළ බව ද අමතක කළ නො හැකි ය.
පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය වශයෙන් බෙදිමක් පවතී. ඇමති තනතුරු ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට ය. එහෙත් විරුද්ධ පක්ෂයට ද ඇමති තනතුරු ලබාදෙන විශේෂ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. දි.මු. ජයරත්න මහතා වැනි පුද්ගලයෙකු එවැනි තනතුරක් බාරගැනීම තේරුම්ගත හැකි වුවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහතා වැනි සම්ප්‍රදායන් ගරු කරන නාමධ