රට යන්නේ යුද්ධයකට ද?

October 29, 2026
Publication:
The country is being pushed into a crisis deeper in scale and in kind than any before. The peace talks are breaking down, an undeclared war has already begun, and a declared one is not far off. The next war would be short and the most terrible yet, Ivan writes, and capable of destroying the foundations of the Sri Lankan state and of the Tamil de facto state alike, and leaving the country in anarchy.

රට ප්‍රමාණයෙන් ද, ගුණයෙන් ද වඩා විශාල ගැඹුරු අර්බුදයකට තල්ලු වී යමින් පවතී.

සාම කතා බිඳ වැටෙමින් දැනටමත් අප්‍රකාශිත යුද්ධයක් ආරම්භ වී තිබෙන අතර, එය ප්‍රකාශිත යුද්ධයක් බවට පත්වීම වැඩි ඈත නැති බව ද පෙනේ. ඊළග යුද්ධය ආරම්භ වුවහොත් එය කෙටිකාලීන, එහෙත් මෙතෙක් ඇතිවූ බිහිසුණුම යුද්ධය වනවාට සැක නැති අතර, ශ්‍රී ලංකා රාජ්‍යයේ සේම, දෙමළ ඩිෆැන්ක්ටෝ රාජ්‍යයේ අත්තිවාරම් මුළුමනින් බිඳ දැමීමට හේතුවී රට අරාජික තත්ත්වයකට පත්කිරීමට ද හේතුවිය හැකි ය. එවැනි යුද්ධයක් යුද්ධ කරන ප්‍රතිපක්ෂ දෙකට හෝ ප්‍රතිපක්ෂ දෙක තුළ සිටින ප්‍රතිපක්ෂවල හෝ වාසියට හේතු නොවනු ඇත. එහෙත් ඇතිවන්නට යන දේවල බිහිසුණුකම හා ඒ නිසා ඇතිවිය හැකි බිහිසුණු ප්‍රතිඵල ඒ කිසිවකු තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. දැනටමත් දේවල් දෙපැත්තේම නායකයින්ට පාලනය කරගත නොහැකි තරමට දුරදිග ගොස් තිබෙන බව ද පෙනේ. ඓතිහාසික අර්ථයෙන් දැන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තිබෙන්නේ වේගයකින් ගරා හැලෙන තත්ත්වයකය. රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමයම බිඳ වැටෙමින් තිබෙන තැනකය. ඒ ගරා හැලීම සිදුවෙමින් තිබෙන්නේ ද ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයටය.

ගොඩනැගෙමින් තිබෙන උතුරේ දෙමළ රාජ්‍ය තිබෙන්නේ ද අතිවිශාල අර්බුදයකය. එයට වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතිය නොහැකිය. ශ්‍රී ලංකා රාජ්‍යයට අන්තර්ග්‍රහණයවීමේ හැකියාවක් ද නැත. එ සේ ම අසමත් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා රාජ්‍යයට විකල්පයක් වීමේ හැකියාවක් ද නැත. අවසානයේ විනාශකාරි යුද්ධයක් ඇතිවීමට යන්නේ අභ්‍යන්තරය කුණු වී පදනම් දෙදරා හැලෙමින් පවතින අසමත් රාජ්‍ය දෙකක් අතරය. එවැනි තත්ත්වයක සිටින රාජ්‍ය දෙකක් අතර කෙරෙන යුද්ධයක් එක් පිලක ජයග්‍රහණයට හේතුවනවා වෙනුවට දෙපිලේම විනාශයට හේතුවිය හැකි ය.

දකුණු අප්‍රිකානු අර්බුදයට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වූ පුවත්පත් කතුවරයෙක් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය පිළිබඳව මා සමග අපූරු විග්‍රහයක් කළේය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වවල නායකයින් සිටින්නේ මේ ගැටුම් බේරුම් කරගත හැකි තැනක නොවන බව ඔහුගේ නිගමනය විය. නෝර්වේ රාජ්‍යයේ අවංක වංක භාවය කුමක් වුවත්, මේ ගැටුම නිරාකරණය කරන තැනකට ගැනීමේ හැකියාවක් එයට ද නැති බව ඔහුගේ මතය විය. ශ්‍රී ලංකාවේ ගැටුම අනවශ්‍ය තරමකට ජාත්‍යන්තරකරණයකට ලක්වී ඇති බව ද ඔහු කියා සිටියේය. ඊට ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකම වගකිවයුතු බව ද ඔහු කියා සිටියේය.

දැන් ශ්‍රී ලංකාවේ ගැටුම තිබෙන තැන අනුව යුද්ධයක් ඇතිවීම වළකා ගැනීම රටේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත්, එහෙත් ගැටුමට සම්බන්ධ පාර්ශ්වවලට සාකච්ඡා මගින් එවැනි තැනකට ඒමේ හැකියාවක් නැති බවත්, මේ තත්ත්වය ඉදිරියේ කළ හැකි හොඳම දේ බේරුම්කාර මණ්ඩලයක් සඳහා දෙපාර්ශ්වය අතර එකගත්වයක් ඇති කොටගෙන ප්‍රශ්නය සලකා බලා විසඳුමක් ඉදිරිපත් කිරීමේ බලය එම බේරුම්කාර මණ්ඩලය වෙත පැවරිම බවත් ඔහු කියා සිටියේය.

බේරුම්කාර මණ්ඩලය සාමාජිකයින් හත්දෙනෙකුගෙන් පමණ සමන්විත විය හැකි බවත්, පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ද තවත් පුද්ගලයින් තිදෙනෙකු එල්ටීටීඊය විසින් ද ඉතිරි පුද්ගලයා යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ශ්‍රී ලංකාවේ ආධාර කණ්ඩායමේ සභාපති මඬුල්ල විසින් හෝ පත් කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

බේරුම්කාර මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ආණ්ඩුව, එල්ටීටීඊයට හා ගැටුමට සම්බන්ධ අනෙකුත් සියලු පාර්ශ්වවලට සිය අදහස් පළකිරීමේ අයිතිය ලැබිය යුතු බවත්, සියලු පාර්ශ්වවල අදහස් සලකා බැලීමෙන් පසු විසඳුමක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ අයිතිය බේරුම්කාර මණ්ඩලයට ලැබිය යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන්ට එකට එකතු වී සාකච්ඡා කොට ප්‍රශ්න විසඳගත් නොහැකි අවස්ථාවලදි ප්‍රශ්නය විසඳීමේ වගකීම බේරුම්කාර මණ්ඩලයක් වෙත පැවරිම වඩා ඵලදායී විය හැකි බවත් ඔහුගේ මතය විය.

නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීම

ගැටුම විසඳ ගැනීමට මට පෙනෙන තවත් මගක් වනුයේ සියලු දෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතුවන නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා වන වැඩපිළිවෙළකට රට යොමු කිරීමය.

ශ්‍රී ලංකාවේ රාජ්‍යය අසමත් වී ඇත්තේ වාර්ගික හා ආගමික ප්‍රශ්න කළමනාකරණයේදි පමණක් නොවේ. අන් හැම විෂයකදිමත් එය අසාර්ථකය.

රටේ බදු ගෙවන ජනතාවට ඒ ලබාගන්නා බදු මුදල්වල ප්‍රමාණයට සරිලන යහපත් හා කාර්යක්ෂම සේවාවක් සහතික කිරීමට රාජ්‍යය සමත් වී නැත. අධ්‍යාපනය තිබෙන්නේ අවුල් ජාලාවකය. ලොකු පගාවක් දිමෙන් තොරව 1 වැනි ශ්‍රේණියට සුදුසු පාසලක් ලබාගත නොහැකිය. මාර්ග හා පොදු මගී සේවා තිබෙන්නේ ද අවුල් ජාලාවකය. කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයයන් තිබෙන්නේ ද ඒ සමාන තත්ත්වයකය.

ව්‍යවස්ථාදායකයට, විධායකයට හා අධිකරණයට සිය යුතුකම් හා වගකීම් පිළිබඳ අවබෝධයක් නැත. පාර්ලිමේන්තු ක්‍රමය හා මන්ත්‍රීවරුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල වියදමක් දරනු ලබතත්, එහි ඵලදායකත්වය ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. විධායක ජනාධිපතිවරුන්ගේ කාර්ය භාරය ද රටේ ප්‍රගතියට හේතුවී නැත. පාලක පක්ෂය හා මහජනතාව අතර ඇතිවන ආරාවුල් වලදි මහජන නිදහස උද්දිපනය කෙරෙන ආකාරයට ඒ ගැටුම් නිරාකරණය කරදිමට අධිකරණ ක්‍රමය සමත් වී නැත. සිරිතක් වශයෙන් අධිකරණය ක්‍රියාකරමින් තිබෙන්නේ පාලක පක්ෂයේ දේශපාලන අතකොලුවක් ලෙසය. සමස්ත ආයතන ක්‍රමයේම මුදුන් මුල් කුණුවී තිබෙන අතර, දේශපාලන ක්‍රමය කෙරෙහි මහජනයා අතර පවත්නා විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතී.

ජනවාර්ගික අර්බුදයට පමණක් සීමා නොවී ඊට ලැබෙන අතිවිශාල වැදගත්කම ද අමතක නොකරමින් රාජ්‍ය මුහුණ දී තිබෙන අන් සියලු මූලික ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඒ සියලු ප්‍රශ්න ජයගත හැකි ආකාරයේ නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා වන ක්‍රියාකාරි වැඩපිළිවෙළකට රට යොමුකළ හැකිය.

ශ්‍රී ලංකාවට සුදුසුම ආණ්ඩු ක්‍රමය කුමක්ද? සුළු ජාතීන්ට සිය කටයුතු පවත්වාගෙන යෑමට උපරිම බලතල ලබාදෙන අතර, ඉන් පරිබාහිරව ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදින්, කම්කරුවන් ගොවි ජනතාව හා කාන්තාවන් උපරිම මට්ටමකින් තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදිය හැකි ආකාරය කුමක්ද? ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙත පැවරෙන යුතුකම් හා වගකීම් මොනවාද? දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ කෙසේද? ආගම් භේදය, කුල භේදය වැනි භේද තුනී කිරීමට තිබිය යුතු ප්‍රතිපත්ති මොනවාද? අධ්‍යාපනය, පාසල් ක්‍රමය, සෞඛ්‍ය, මගී ප්‍රවාහන, බලශක්ති, ජාතික සම්පත් හා පෞද්ගලිකකරණය වැනි විෂයයන් සඳහා තිබිය යුතු ජාතික ප්‍රතිපත්ති මොනවාද යනාදි මූලික ප්‍රශ්න එහිදි සලකා බැලිය යුතුය.

රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීමේදි තිබිය යුතු මූලධර්ම, රාජ්‍ය සේවකයන්ගේ යුතුකම්, වගකීම්, වැඩ වර්ජන අයිතිය හා ඊට තිබිය යුතු සීමා මොනවාදැයි නැවත ගැඹුරින් සලකා බැලිය හැකිය. දෙමළ ජනතාවට පමණක් නොව, තමන් පීඩාවට පත්කර තිබේද කියන හැගීම් ඇති සියලු ජන කණ්ඩායම් වලට එක්තරා විශාල ප්‍රමාණයකට ස්වයං පාලන අයිතියක් ලබාදෙන, වාර්ගික වශයෙන් පමණක් නොව ආගමික, කුල පන්ති වශයෙන් බෙදි සිටින ජනතාවට තීන්දු ගැනීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ විය හැකි සියලු පුරවැසියන්ට එක සමාන ලෙස සලකන නව රාජ්‍ය ක්‍රමයක් ගොඩනගා ගන්නා තැනකට යා හැකිය.

එවැනි තැනකට රට යොමු කළ හැකිවනු ඇත්තේ නව ජනාධිපතිවරයාට එවැනි වෙනසක් සඳහා අවංක අවශ්‍යතාවක් ඇති නම් පමණය. මෙවැනි අසරණ හා වියවුල් සහගත තත්ත්වයකට පත්ව තිබෙන රටක රාජ්‍ය නායකයකුට රටේ යහපත වෙනුවෙන් කළ හැකි ලොකුම දේ වනු ඇත්තේ ද එයයි.

නව රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යමින් අලුතෙන් තේරි පත්වන පාර්ලිමේන්තුව නව රාජ්‍යයක් සඳහා සැලසුම් සකස් කරන සර්ව පාක්ෂික ව්‍යවස්ථා සභාවක් බවට පත් කළ හැකිය. එල්ටීටීඊය ද ඒ ක්‍රියාවලියේ සජීවී කොටස්කරුවකු බවට පත්කර ගත හැකිය. ඒ මගින් කිසිවකුත් බැහැර නොකොට නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමේ මහා වැඩපිළිවෙළකට රට යොමු කළ හැකි අතර, ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම බාහිර තැනක තබා ගනිමින් ඔවුන්ගෙන් එම පරිවර්තිත කාර්ය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර හා විශේෂඥ දැනුම ලබාගන්නා තැනකට යා හැකිය. එවැනි පරිිවර්තිත වැඩ පිළිවෙළකට එල්ටීටීඊයට විරුද්ධ විය නොහැකිවා සේ ම, ජනතා විමුක්ති පෙරමුණට ද විරුද්ධ විය නොහැකිය. පොදු මහජනතාවට ද විරුද්ධ විය නොහැකිය.

ව්‍යවස්ථාව නොසැලකීම

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොසලකා ව්‍යවස්ථා සභාවට තිබුණු බලය පාවිච්චි කරමින් පොලිස් කොමිසමට හා රාජ්‍ය සේවා කොමිසමට සාමාජිකයින් පත් කිරිමෙන්, නව ජනාධිපතිවරයා පහසුවෙන් නිවැරදි කරගත නොහැකි බරපතළ ව්‍යවස්ථාමය වරදක් කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ව්‍යවස්ථා සභාවක් පත් කරගැනීමට නොහැකිවීම තුළ ඇතිවී තිබෙන අවුල් සහගත තත්ත්වය තුළ රාජ්‍ය සේවකයින්ගේ හා පොලිස් සේවයේ සියලු කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබුණු බව සැබෑය. එවැනි තත්ත්වයක් ඉදිරියේ කවදා හෝ ව්‍යවස්ථා සභාවක් ඇති කරන තෙක් ජනාධිපතිවරයෙකුට නිකම්ම බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි බව ද සැබෑය.

එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රවේශය තිබුණු අවුල තව තවත් අවුල් කිරීමට මිස, එය විසඳීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.

අඩු සාමාජිකයා පත් කරන තෙක් නම් කර ඇති සාමාජිකයින්ට ව්‍යවස්ථා සභාව ලෙස කටයුතු කිරීමට තිබෙන හැකියාව පිළිබඳ ප්‍රශ්නයේදි අනෙක් සාමාජිකයින්ට පමණක් ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැති බවට නීතිපතිවරයා දී තිබෙන අර්ථ නිරූපණය මේ ප්‍රශ්න අවුල් කිරීමට හේතුවූ බව කිව යුතුය. ප්‍රශ්නය විසඳ ගැනීමට තිබුණු පහසුම මග අඩු එක සාමාජිකයා නොසලකා සෙසු සාමාජිකයින්ට ව්‍යවස්ථා සභාව ලෙස කටයුතු කරන්නට ඉඩදිමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයාට වුවත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ව්‍යවස්ථාවේම කොටසක් වන නිසා ව්‍යවස්ථා සභාව නොසලකා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. එම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ වූයේ ද එම ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය සීමා කොට ව්‍යවස්ථා සභාව නිර්දේශ කරන පුද්ගලයින් පත් කරන තැනකට ජනාධිපතිවරයා ගෙන ඒමය.

එම ව්‍යවස්ථා සංශෝධනය ඇති කර තිබෙන විධි විධාන සුදුසු නොවේ නම්, විය යුතුව තිබුණේ ව්‍යවස්ථාව වෙනස් කරන තැනකට යාමය. ව්‍යවස්ථාව වෙනස් නොකොට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ඉතා විනාශකාරි විය හැකිය. අඩුම වශයෙන් මෙම කොමිෂන් සභාවලට ජනාධිපතිවරයා විසින් අලුතෙන් සාමාජිකයන් පත් නොකොට ව්‍යවස්ථා සභාව පත් කරන තෙක් මෙම කොමිෂන් සභාවලට පැරණි සාමාජිකයින් පත් කළේ නම්, එය ද ව්‍යවස්ථාවට පටහැනි වුවත්, එය සාධාරණ විකල්පයක් ලෙස සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවන්නට ඉඩ තිබුණි.

මහා මැතිවරණය

ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට, යනවාට ජවිපෙ තරයේ විරුද්ධය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ජවිපෙ කියන්නේ ජවිපෙ දිනාගන්නා ආසන එකතු කළ පසු ද පැහැදිලි බහුතර බලයක් ලබාගැනීමට ආණ්ඩුව අසමත් වනු ඇති බවය. ජවිපෙට නම් මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වාසිදායක විය නොහැකිය. ඡන්ද පදනමේ ඇතිවී තිබෙන පිරිහීම පාර්ලිමේන්තු මැතිවරණයකදි තවත් වර්ධනය විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයේදි ජවිපෙ තිබෙන පාර්ලිමේන්තු නියෝජනය අඩකින් පමණ අඩුවිය හැකිය.

එහෙත් මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන්නේ නම් ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් අනාගතයේ අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරයාට තමන්ගේ පාර්ලිමේන්තු බල පදනම ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇත්තේ ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1999 ජනාධිපතිවරණය ජයගත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් අසාර්ථක ලෙස වෙනත් ආකාර වලින් දේවල් වෙනස් කරගන්නට දරන ලද උත්සාහය තුළ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඇති කරගැනීමට ඇයට තිබුණු හැකියාව නැති කරගත්තාය. මැතිවරණයකට නොගොස් දැන් තිබෙන තත්ත්වයෙන් හිත හදාගන්නට ගියහොත් ආණ්ඩුව මුළුමනින් අනුන් මත යැපෙන තනිව කිසිවක් කරගත නොහැකි අසරණ තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය.