පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ අනාගතය

October 29, 2026
Publication:
Chandrika Kumaratunga is acting on the belief that the president will stumble before long and that with Ranil Wickremesinghe weak the public will gather round her again. She had kept her sword hidden, Ivan writes, and has now drawn it. But the local election will favour the president: his popularity has not yet faded, and in a three-cornered contest the advantage that should have gone to the UNP will not.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොහෝ කල් යන්නට පෙර අනාගනු ඇතැයි ද, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද දුර්වල තත්ත්වයකට ඇද වැටී සිටින තත්ත්වය යටතේ රටේ මහජනතාව නැවත තමන් වටා පෙළ ගැසෙනු ඇතැයි ද සිතන ආකල්පයක පිහිටා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ක්‍රියාකරමින් සිටින බව පෙනේ.

ඇය කලක් පෙනය සගවාගෙන සිටියාය. දැන් ඇය පෙනය එළියට ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පුප්පන තැනකට යමින් සිටින බව ද පෙනේ.

පක්ෂ නායකත්වය සිය කැමැත්තෙන් අත්නොහරින බව ප්‍රකාශ කරන ඇය පුළුවන් නම් තනතුරෙන් ඉවත් කරන ලෙසට අභියෝග කරයි.

රාජපක්ෂ රජය මුළුමනින්ම වාගේ සංස්ථාගත පවුල් සමාගමක් බවට පත්වී ඇති බවට ද ඇය චෝදනා කරයි. තමාගේ කුණු සොයන්නට පෙර “හෙල්පින් හම්බන්තොට” අරමුදල ගැන ජනාධිපතිවරයා සිය පිරිසිදුභාවය ඔප්පු කළ යුතු බව ද ඇය කියයි.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට කොන්ද පණ ඇති එකම නායිකාව තමන් බව ඔප්පු කිරීම ඇගේ උපාය මාර්ගික දේශපාලන අරමුණ වී තිබෙන බව ද පෙනේ.

ඉක්මන් කඩා වැටීමක් ගැන ඇය දකින සිහිනයේ ඇත්ත නැත්ත කුමක් වුවත්, ඉදිරියේ හැම දෙයක්මත් මටසිළිටු ලෙස ගලා යනු ඇතැයි සිතිය නොහැකිය. එක් අතකින් වැටුප් සංශෝධන අළලා වෘත්තීය සමිති අංශවල මතුවී තිබෙන අර්බුදය අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. සාම සාකච්ඡා වැඩපිළිවෙළට එරෙහිව තවමත් වීථි බසින තත්ත්වයක් රටේ නොපවතින මුත් රාජපක්ෂ ආණ්ඩුවේ සාම කතා ප්‍රවේශය සාර්ථක තර්කානුකූල අවසානයක් කරා ගෙනයාම සරල හෝ පහසු විය නොහැකිය.

සටන් විරාම ගිවිසුම සංශෝධනය කිරීම රාජපක්ෂ ආණ්ඩුවේ අභිලාෂය වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර, තිබෙන සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරිමෙන් ඔබ්බට කිසිවක් කතා කරන්නට එල්ටීටීඊය කැමති නැත.

සියලු විරුද්ධවාදි බලවේග ගැට ගසා එකට තබා ගැනීමට ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය ප්‍රශංසනීය වුවත්, මේ සියලු දෙනාගේ සංතෝෂයට හේතුවන විසඳුමක් සොයාගැනීම පහසු වනු ඇතැයි සිතිය නොහැකිය.

දෙපාර්ශ්වයම ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක ඉඳිමින් එකිනෙකා සමග ගනුදෙනු කරන්නට උත්සාහ දරන බවක් පෙනේ. සාම සාකච්ඡා වැඩපිළිවෙළේ ප්‍රධාන උපදේශකයින් ලෙස ක්‍රියාකරමින් සිටින්නේ ද බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළකට කිසිසේත්ම කැමති නැති පිරිසකි. ඔවුන් දෙමළ ජාතිය නිජබිම හා ස්වයං තීරණ අයිතිය වැනි සංකල්ප පිළිගන්නේ නැත.

එල්ටීටීඊයට අවශ්‍ය පදයට නැටීමෙන් වැළකී සිටීම අවශ්‍ය වුවත්, දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් මුළුමනින් නොසලකා ක්‍රියාකරන පිළිවෙතක් සාම සාකච්ඡා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. එල්ටීටීඊය, ඊපීඩීපීය හා කරුණා පාර්ශ්වය අතර පසමිතුරු බවක් ඇතත්, දෙමළ දේශපාලන අභිලාෂයන් පිළිබඳව ඒ සියලු දෙනා අතර පවතින මතය බොහෝ දුරට එක සමානය.

දෘෂ්ටිමය අන්ත දෙකක පිහිටා ක්‍රියා කරන මෙම පරස්පර විරෝධී බලවේග දෙකම එකට එකතු වී දෙපක්ෂයේම පිළිගැනීමට හේතුවන විසඳුමක් ඇතිකර ගැනීමට සමත් වෙතොත් එය අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත්, මෙම කණ්ඩායම් දෙක ගනුදෙනු කරමින් තිබෙන අස්ථාන දෙකේ පරස්පර විරෝධී ස්වභාවය අනුව සාම සාකච්ඡා ඉදිරියට ගෙන යා නොහැකි තැනක හිරවීමේ අවධානමක් ද පවතී.

ජවිපෙ තවමත් ආණ්ඩුව සමග රණ්ඩු කරන තැනකට තල්ලු වී නැතත්, ආණ්ඩුවේ ඍජු කොටස්කරුවකු ලෙස පෙනී සිටින්නට ද සූදානම් නැත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට සමත් වෙතොත්, ආණ්ඩුව සමග තිබෙන ඇයි හොඳයිකම් අඩු කරමින් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටීමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැකිය.

එජාප තිබෙන්නේ ඔවුන්ට රජෙක් නැති තත්ත්වයකය. ඒ තත්ත්වය යටතේ එජාප චන්ද්‍රිකා වටා හෝ එස්.බී. වටා කල්ලි ගැසීමේ ඉඩක් පවතී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට අභියෝග කරන තැනකට යන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නම්, ඇය සමග තිබෙන පැරණි පසමිතුරුකම් අතහැර එජාප ඇය වටා ගොනුවීමේ හැකියාවක් ද පවතී. අනෙක් අතට, එජා පාක්ෂිකයින් යන එන මං නැති තත්ත්වයකට පත්ව සිටින තත්ත්වයක් තුළ, නිර්භීත හා ජවසම්පන්නයකු ලෙස සලකා එස්.බී. දිසානායක වටා ඒකරාශිවීමේ හැකියාවක් ද පවතී.

එහෙත් පළාත් පාලන ඡන්දය වාසිදායක වනු ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටය. තවමත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව හීනවී නැත. තුන්කොන් තරගයක් මතුවී තිබෙන තත්ත්වයක් තුළ එහි වාසිය යන්නට ඉඩ තිබුණේ එජාපයට වුවත්, ජනාධිපතිවරණයේ පරාජයත් සමග ශක්තිමත් ලෙස ක්‍රියාකිරීමට එම පක්ෂය අසමත් වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ දැන් එහි වාසිය ලැබෙනු ඇත්තේ එජාපයට නොව ආණ්ඩුවට හෝ ජවිපෙටය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු එජාපයෙන් තවත් කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයට එකතුවීමේ ඉඩක් පවතී. ඒ නිසා ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් වනු ඇතත්, සාම සාකච්ඡා වැඩපිළිවෙළ සාර්ථක ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට ආණ්ඩුව අසමත් වෙතොත් ආණ්ඩුවේ නරක කාලය ආරම්භ වනු ඇත්තේ ද ඒ සමග ය.