කුල දේශපාලනය වම හා බර්නාඩ්

October 29, 2026
Publication:
Written to carry on an argument Uvindu had opened about the Samasamaja leader Bernard Soysa's attachment to his own caste. Ivan starts from Jayadeva Uyangoda's finding that Sri Lanka's discussion of social equality has never included caste equality, and works through what happened at Akuressa in the second insurrection, where the quarrel between young people of oppressed castes and the traditional left movement came into the open.

සමසමාජ නායකයෙකු වූ බර්නාඩ් ද සොයිසා තමා අයත් කුලය කෙරෙහි දක්වන ලද විශේෂ ලැදියාව අළලා උවිඳු විසින් ලියන ලද ලිපිය කියවීමෙන් පසුව එම සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා මා දන්නා කරුණු කිහිපයක් පාඨක අවධානයට යොමු කිරීම සුදුසු යැයි සිතුණි.

කුලය හා සමාජ සාධාරණත්වයේ දේශපාලනය අළලා ජේ. උයන්ගොඩ විසින් රචිත නිබන්ධනයක සඳහන් වනුයේ ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව පිළිබඳ කතිකාවට කුල සමානතාව පිළිබඳ ප්‍රශ්නය ඇතුළත් නොවන බවය. ඔහු ඒ ගැන වැඩිදුරටත් කියා සිටින්නේ පන්තිය පදනම් කොට ගත් සමාජ අසමානතා හා අසාධාරණකම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම සමාජය අනුමත කළත් කුලය පදනම් කොටගත් සමාජ අසමානතා හා අසාධාරණකම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම සමාජය අනුමත නොකරන බවය. ඒ නිසාම එම විෂය ගැන ප්‍රසිද්ධ කතිකාවක් රටේ නොපවතී. ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යාඥයින් ද එම විෂයයට අතගසන්නට කැමති නැත්තේ ඒ නිසාම විය හැකිය. එහිම ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජයේ සේ ම දෙමළ සමාජයේ ද කුල අසාධාරණකම් වලට ලක්වන ප්‍රජාවන්ට සිය විමුක්තිය පිණිස සටන් කරන්නට සිදුවී තිබෙන්නේ සමාජවාදය, ජාතිය, ආගම, භාෂාව වැනි ව්‍යාජ ධජ පතාකවලට මුවාවීය. මෙම සාධකය ජනවර්ග අර්බුදයේ අළුයට සැගවී තිබෙන ගිනි පුපුරක් වනවා සේ ම එය ජනවාර්ගික අර්බුදයේ හැඩතල විකෘති කොට අර්බුදය උත්සන්න කරවන සාධකයක් ලෙස ද ක්‍රියාකරමින් පවතී.

ජවිපෙ සිංහල ග්‍රාමීය අවවරප්‍රසාදිත තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගැනීම කෙරෙහි බලපෑ සාධක අතර පීඩිත කුල සාධකය වැදගත් හා ප්‍රමුඛ සාධකයක් ලෙස මට හඳුනා ගත හැකිවූයේ 71 කැරැල්ලේ සිරකරුවකුව සිටියදිය. දේශපාලන සිරකරුවන් අතර කාණ්ඩ ගැසීම කෙරෙහි බලපෑ විවිධ සාධක අතර, කුල සාධකය ද වැදගත් සාධකයක් වන බව මට හඳුනාගත හැකි විය. මාගේ වාසගම බොහෝ දෙනෙකු නොදැන සිටි බැවින් මා කුමන කුලයකට අයත් ද යන්න බොහෝ දෙනෙකු දැන නොසිටියේය. ඒ නිසාම ඔවුන්ට සමීපව ඔවුන්ට මුහුණදිමට සිදුවී තිබුණු කුල ගැටලුව ඔවුන් සමග නිදහසේ සාකච්ඡා කිරීමේ හැකියාව මට ලැබුණි. කුලය ගැන ප්‍රසිද්ධියේ කථා නොකළ ද කුල ප්‍රශ්න ගැන රෝහණ විජේවීරට ද මනා දැනුමක් තිබුණේය. කෙනෙකුගේ වාසගමින් හෝ ගමේ නමින් පුද්ගලයෙකු හඳුනා ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණේය. බර්නාඩ් මෙන්ම ඔහු ද සිය කුලයට විශේෂ ලැදිකමක් දැක්වූ අයෙකු ලෙස ද සැලකිය හැකිය. ඔහු පක්ෂයට සම්බන්ධ පීඩිත කුල ප්‍රජාවන්ට කුලවාදි ස්වරූපයකින් වැඩ කරන්නට ඉඩ දුන්නේය. ජවිපෙට සම්බන්ධ පීඩිත කුලවල තරුණයින් සිය දේශපාලන පණිවුඩය සිය කුල ප්‍රජාවන් අතරට ගෙනගියේ කුලවාදි ස්වරූපයකිනි. කතරගම ගාමිණී බාස්, පේද්‍රිස් වීරයාගේ පිළිරුවක් වෙනුවෙන් මුදල් එකතු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. එහෙත් එකතු කරන ලද මුදල් පාවිච්චි කළේ පිළිරුව ඉදිකිරීමට නොව ආයුධ මිලදි ගැනීමටය. වැදගත් වූයේ මුදල් වියදම් කළ ආකාරය නොව ඒ මගින් සිය කුල ප්‍රජාව වෙත දෙන ලද සංඥාවය. මෙවැනි ප්‍රවණතා පක්ෂය තුළ ක්‍රියාත්මක වන බව විජේවීර දැන සිටියේය. එහෙත් එවැනි ක්‍රියාවලට ඔහු බාධා කළේ නැත.

නිදහස ලැබීමෙන් පසු 1979දි පමණ සමසමාජ පක්ෂය විසින් සිය පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලේදි පවත්වන ලද දේශනයකට කථිකයකු ලෙස සහභාගිවීමට මට සිදුවිය. මා කතා කළේ 71 කැරැල්ල හා ජනතා විමුක්ති පෙරමුණ ගැනය. ජවිපෙ සිය පක්ෂයේ ප්‍රවර්ධනය පිණිස පීඩිත කුල සාධකය ප්‍රයෝජනයට ගත් ආකාරය ගැන ද මම එහිදි කතා කළෙමි. දේශනය ඇසීමට පැමිණි සිටි අය අතර බර්නාඩ් සොයිසා ද සිටියේය. දේශනය අවසන් වීමෙන් පසුව ඔහු මා වෙනත් තැනකට කැන්දාගෙන ගොස් කරන ලද සාකච්ඡාවකදි ඔහු මෙම විෂය පිළිබඳව ඉතාමත් හෘදයාංගම ආකාරයකින් කරුණු පැහැදිලි කිරීමක යෙදුණේය. කුලය ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදි ජවිපෙට පමණක් දොස් කීම වැරදි බවත්, සමසමාජ පක්ෂය ද කුල සාධකය ප්‍රයෝජනයට ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. ආසනවලට අපේක්ෂකයන් තේරිමේදි සමසමාජ පක්ෂය පවා කුල සාධකය සැලකිල්ලට ගන්නා ලද බවත්, කුල සාධකය සැලකිල්ලට නොගෙන තරග කළ එකම අපේක්ෂකයා ලෙස සැලකිය හැක්කේ එන්.එම්. පෙරේරා පමණක් බවත් එහිදි ද ඔහුගේ ජයග්‍රහණය කෙරෙහි වෙනත් ආකාරයකින් කුල සාධකය බලපෑ බවත් ඔහු කරුණු සහිතව මට පෙන්වා දුන්නේය. ඔහු මෙම සාකච්ඡාවේදි මට තවත් වැදගත් පාඩමක් (අවංකභාවය ගැන) කියා දුන්න ද ඒ ගැන මා මීට පෙර ලියා ඇති බැවින් ඒ ගැන කතා කිරිමෙන් වැළකී සිටිමි.

එන්.යූ. ජයවර්ධන දුරාව ප්‍රජාවගේ පිළිගත් ව්‍යාපාරික නායකයා වන විට බර්නාඩ් එම ප්‍රජාවගේ දේශපාලන නායකයා වී යැයි කියන විට උවිඳු නිවැරදිය. එහෙත් එන්.යූ. ජයවර්ධන වෙනුවෙන් බර්නාඩ් පාර්ලිමේන්තුවේ පෙනී සිටි එකම අවස්ථාව උවිඳු දක්වා තිබෙන අවස්ථාව නොවන බව ද කිව යුතුය. 1968දි රේගුව එන්.යූ. ජයවර්ධනගේ ආයතනයකට කඩා පැන එම ආයතනය සිදුකර ඇතැයි කියන රේගු බදු වංචාවකට අදාළව එම ආයතනයට රුපියල් ලක්ෂ 50ක දඩයක් නියම කළේය. මෙම සිද්ධිය ප්‍රීවි කවුන්සිලය දක්වා දුරදිග ගිය නෛතික අරගලයක් බවට පත්වූයේය. සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ පසුව මෙම සිද්ධිය මත රොනී ද මෙල් මහතා පාර්ලිමේන්තුවේදි එන්.යූ. ජයවර්ධන විවේචනය කළ අවස්ථාවකදි ද බර්නාඩ් ප්‍රසිද්ධියේ එන්.යූ. ජයවර්ධනගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. මේ පිළිබඳ විස්තරයක් ජැන්සි ජිගින්ස්ගේ Caste ්බා ේපසකහ සබ එයැ චදකසඑසජි දෙ එයැ ීසබය්කැිැ 1947-1976 යන කෘතියට ඇතුළත්ය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති ධුරයට පත්වීමෙන් පසුව එන්.යූ. ජයවර්ධන කරදරයට පත් කළ රේගු ප්‍රධානියා එම තනතුරෙන් ඉවත් කළ බව ද එහි සඳහන් වේ.

දුරාව කුලයට අයත් සමාජ ප්‍රජාව ගැන ලියන්නට වැදගත් කරුණු ගණනාවක්ම ඇතත්, ඒ ගැන ලිවීම පසුවට තබා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සැගවුණු පුපුරණ සුළු සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන කුල සාධකය වෙත නැවත ඒමට මම කැමැත්තෙමි.

දෙවැනි කැරැල්ලේදි අකුරැස්සේ ඇතිවූ සිද්ධියක් පදනම් කොටගෙන පීඩිත කුලවලට අයත් තරුණ ජනයා හා සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය අතර මතුවී තිබුණු ආරාවුල විග්‍රහ කිරීමට මම කැමැත්තෙමි.

දෙවැනි කැරැල්ලේදි ප්‍රදේශයේ තරුණ කැරලිකරුවන් විසින් දොස්තර වික්‍රමසිංහ මහතාගේ සමීප ආධාරකරුවකු වූ සද්ධාතිස්ස නමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි. මහලු වියේ පසුවූ ඔහු ඝාතනය කෙරෙන අවස්ථාව වන විට සිටියේ අංශභාග රෝගියෙකු ලෙස ඇවිදිමටවත් නොහැකි තත්ත්වයකය. මෙම සාහසික ඝාතනය ප්‍රදේශයේ ජනතාව කම්පාවට පත්කිරීමට හේතුවී තිබුණ ද, ඝාතනය සිදුකරන ලද වෙඩික්කාරයා නියෝජනය කළ කුල ප්‍රජාව තුළ එම සිද්ධිය ආස්වාදයට හේතුවූ බව අසන්නට ලැබුණි. එහිදි ඔවුන් සතුට පළකිරීම පිණිස තැන් තැන්වල රතිඤ්ඥා පත් කරනු ලැබූ බව ද අසන්නට ලැබුණි.

වියපත්ව අංශ භාග රෝගියකු ලෙස එක්තැන්වී සිටි මෙවැනි අසරණ පුද්ගලයකු ඝාතනය කිරීමට එම තරුණයන්ට අවශ්‍ය වූයේ ඇයි? ඒ ගැන වන මගේ කියවීම මෙසේය.

ඔවුන්ට එම ඝාතනය කිරීමට අවශ්‍ය වූ බව පෙනෙන්නේ ඔහුට ලැබී තිබුණු සංකේතාත්මක වැදගත්කම නිසාය. ඒ වන විට දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර නොසිටි අතර, එම ප්‍රදේශයේ දොස්තර වික්‍රමසිංහගේ ආරම්භක දේශපාලනයට සම්බන්ධ ජීවතුන් අතර සිටි එකම පුද්ගලයා වූයේ ද ඔහු පමණය. දොස්තර වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ආරම්භ කළ නිර්මාතෘවරුන් කිහිපදෙනාගෙන් කෙනෙකු වූ අතර, ඔහු ප්‍රදේශයේ කුලවත් පවුලකින් පැවත එන්නෙකු විය. ඔහුගේ පියා වූයේ ප්‍රදේශයේ රටේ මහත්තයාය. එන්.එම්. පෙරේරා සබරගමුවේ පීඩිත කුලවල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා සේ දොස්තර වික්‍රමසිංහ මහතා ද සිය ප්‍රදේශය තුළ පීඩිත කුලවල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේය. මෙම ප්‍රදේශයේ උඩුකය වසා ගැනීමටවත් අයිතියක් නොතිබුණු සමහර කුල කණ්ඩායම් වලට ඒ අයිතිය දිනා දෙන ලද වීරයා වූයේ දොස්තර වික්‍රමසිංහය. එම වීර ක්‍රියාවලියට තරුණයන් අතින් ඝාතනයට ලක්වූ සද්ධාතිස්ස ද සම්බන්ධය.

එහිදි දොස්තර වික්‍රමසිංහ ඉටුකරන ලද උදාරකාරිය වෙනුවෙන් (උඩුකය වසා ගැනීමට අයිතිය ලබාදිම වෙනුවෙන්) එම පීඩිත කුලවල ජනයා දශක හතරකට ආසන්න කාලයක් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නේය. එහෙත් උඩුකය වසා ගැනීමට ඇඳුම් ඇඳීමේ අයිතිය ලබාදෙනවාට අතිරේකව කුලය මුල් කොටගෙන ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ පීඩාකාරි තත්ත්වයෙන් ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඵලදායී කාර්ය භාරයක් ඉටු කිරීමට දොස්තර වික්‍රමසිංහ සේ ම සම්ප්‍රදායික වාමාංශික පක්ෂය ද අසමත් විය. එම තත්ත්වය තරුණ පරම්පරාව තුළ සාම්ප්‍රදායික වාමාංශික නායකයන් කෙරෙහි වෛරසහගත ආකල්පයක් ඇති කිරීමට හේතුවී තිබුණු බව පෙනෙන්නට තිබේ.

දොස්තර වික්‍රමසිංහ දේශපාලන කරළියට එන්නට පෙර එම ප්‍රදේශවල ප්‍රධානියා වූයේ දොස්තර වික්‍රමසිංහගේ පියාය. ඊළග එළඹෙන යුගයේදි එම පියාගේ පුතා අලුත් ආකාරයකින් පියාගේ හිඩැස පිරවූයේය. උඩුකය වසාගැනීමට ඇඳුම් ඇඳීමේ අයිතිය ලබාදිම වෙනුවෙන් දෙමාපිය පරම්පරාව දොස්තර වික්‍රමසිංහට වසර 40ක්ම ඡන්දය පාවිච්චි කළත්, ඔවුන්ගේ දරු පරම්පරාව ඒ මග යන්නට කැමති වූයේ නැත. දොස්තර වික්‍රමසිංහ තමන්ට සොච්චමක් දී ඒ වෙනුවෙන් අතිවිශාල වන්දියක් තමන්ගෙන් ලබාගත්තේ කියන හැගීමක් තරුණ පරම්පරාව තුළ ගොඩනැගී තිබුණි. ඔවුන් 77දි දොස්තර වික්‍රමසිංහ පරාජය කිරීම පිණිස ඡන්දය පාවිච්චි කළේය. පුදුමයකි. ඒ හිඩැස පිරවූයේ ද තවත් වික්‍රමසිංහ කෙනෙකුගෙනි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ඔවුන්ට නිදහසේ බලය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබාදෙන අතර, එහිදි ඔහු පළිගත යුතු සියලු දෙනාගෙන් අනුකම්පා විරහිතව පළිගත්තේය. ඒ වන විට දොස්තර වික්‍රමසිංහ කෙනෙකු ජීවතුන් අතර නොසිටීම හේතු කොටගෙන ජීවතුන් අතර සිටි දොස්තර වික්‍රමසිංහගේ එකම සගයාගෙන් ඔවුන් අනුකම්පා විරහිතව පළිගත්තේය. බර්නාඩ් සොයිසා ද මේ විෂයයේදි දොස්තර වික්‍රමසිංහ තරම්ම හෝ වෙනත් සාම්ප්‍රදායික වාමාංශික නායකයන් තරම්ම අසාර්ථක නායකයකු යැයි කිව හැකිය. සිය කුල ප්‍රජාව තුළ අසහාය නායකයා වීමට ඔහු සමත් වුවත්, කුලය මුල් කොටගෙන පවතින අසමානකම් ජයගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ රටට ලබාදිමට ඔහු සේ ම ඔහුගේ පරම්පරාව නියෝජනය කරන වාමාංශික ව්‍යාපාරය අසමත් විය. ඒ අසමත්භාවයේ ප්‍රතිඵලයක් ලෙස අවවරප්‍රසාදිත තරුණ පරපුර තමන් වටා ඒකරාශී කරගැනීමට ජවිපෙ සමත් වී ඇතත්, එම පක්ෂය ද මෙම විෂයයේදි ඵලදායී ප්‍රතිසංස්කරණ දිනාගැනීමට සමත් වී නැත. එම විෂයයේදි එම ව්‍යාපාර දෙකම (සම්ප්‍රදායික වම හා ජවිපෙ) පෙන්නුම් කර තිබෙන අසාර්ථකභාවය කෙරෙහි උයන්ගොඩ විග්‍රහ කර තිබෙන කරුණු ද (පන්ති හා වර්ග අසමානතා ගැන මිස කුල අසමානතා ගැන ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු බවට ශ්‍රී ලංකා සමාජයේ පවත්නා පිළිගත් මතය) බලපා තිබෙනවා විය හැකිය.

නිදහස ලැබෙන අවස්ථාව වන විට අපට විසඳගත් නොහැකි වූ ප්‍රධාන ගැටලු දෙකක් තිබුණි. වාර්ගික ප්‍රශ්නය ඉන් එකක් වන අතර, ඊළග ප්‍රශ්නය වූයේ කුල ප්‍රශ්නයයි.

නිදහසත් සමග ගොඩ නැගෙන ස්වයං පාලන ක්‍රමය තුළ සිංහල ආධිපත්‍යයක් ඇතිවනු ඇති බවට සුළු ජාතීන් අතර බියක් පැවති අතර, ගොවිගම වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වනු බවට ගොවිගම හා වෙල්ලාල නොවන කුල ප්‍රජාව අතර අදහසක් පැවත්තේය.

සෝල්බරි කොමිසම හමුවේ තමන්ගේ ආරක්ෂාව සහතික කරන ක්‍රමයක් ඉල්ලා සිටියේ සුළු ජාතීන් පමණක් නොවේ. සුළු හා පීඩිත කුලවලට අයත් නායකයින් ද එවැනි ක්‍රමයක් ඉල්ලා සිටියේය. එහෙත් පුදුමයකට මෙන් ඉතිහාසඥයන් හා දේශපාලන විචාරකයන් හුවා දක්වන්නේ ඉන් පළමු කාරණය පමණය.

තම නියෝජිතයන්ට කුල මනාප පදනමක් මත ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රී ධුර ලබාගැනීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇති කර දෙන ලෙස කරාව කුලයේ ප්‍රකාශකයින් සෝල්බරි කොමිසමෙන් ඉල්ලා සිටින විට ඒ සමාන ඉල්ලීමක් බත්ගම හා වහුම්පුර යන කුල දෙකේ ප්‍රකාශකයන් ද කොමිසමෙන් ඉල්ලා සිටියේය. තම කුල දෙක එකතුව ගත්විට සිංහල සමාජයේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් තරම් විශාල වුවත් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ඇති කරන ලද ප්‍රාදේශීය ඡන්ද කොට්ඨාස ක්‍රමයෙන් තමන්ගේ කුලවලට එකදු මන්ත්‍රීවරයෙකු හෝ තෝරා පත්කර ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව ප්‍රකාශ කරමින් තමන්ගේ කුලවලට ප්‍රමාණවත් තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් සහතික කරන ක්‍රමයක් ඇති කරදෙන ලෙස ඉල්ලා සිටියේය.

සෝල්බරි කොමිසමට වාර්ගික ගැටලුව හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වූවා සේම කුල ගැටලුවේ හරය ද තේරුම් ගැනීමට අසමත් විය. කොමිසම මෙම ප්‍රශ්න දෙකට පිළියම් වශයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යම් යම් ප්‍රතිකර්ම ඇති කළ ද ඒවා ගැටලුවේ තරමට නොගැළපුණේය.