ශ්රීලසවිනික ප්‍රධානි හැග්රුප් හෝක්ලන්ඩ් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
සටන් විරාම ගිවිසුම අත්සන් කරනු ලැබූ විට ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂක කමිටුව පිහිටුවනු ලැබුවේ කෙසේද?
ප්‍රථම කොටම, ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය පහසු කරවන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලූම් කළ බව අවධාරණය කිරීම වැදගත්ය. තමිල් ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය එම ඉල්ලීමට එකඟ විය. නෝර්වීජියානු රජය එම ඉල්ලීමට හිතකර අන්දමින් ප්‍රතිචාරය දක්වා, කාරණය ගැන කටයුතු කිරීමට විශේෂ නියෝජිතයකු පත් කළේය.
සාම ක්‍රියාවලිය පහසු කරවනු ලැබීම 2002 පෙබරවාරි මස සටන් විරාම ගිවිසුම අත්සන් කරනු ලැබීමට හේතුවිය. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සමීක්ෂණය කරනු පිරිස ජාත්‍යන්තර සටන් විරාම නිරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කිරීමට එම ගිවිසුමෙන් දෙපක්ෂයම එකඟ වූහ.
සටන් විරාම ගිවිසුමට වඩාත් විෂය ක්ෂේත්රයක් සහිතව හොඳින් ලියැවුණු ලේඛනයකි. එම ගිවිසුම ගැටුමේ සදාකාලික විසර්මකට හේතු වන වැඩිපුර සාම සාකච්ඡා සඳහා පදනමකි. පහසුකම් සපයන රට වශයෙන් නෝර්වේ රාජ්‍යයට ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ කොටසක් වීමට කිසිසේත් ඕනෑ නොවූ බව සැලකිය යුත්තකි. ඇත්ත වශයෙන් නෝර්වීජියානුන් යෝජනා කළේ වෙනත් රටවලින් සැර්ම්ලත් සටන් විරාම නිරීක්ෂණ කමිටුවකි. මේ යෝජනාව පාර්ශ්ව දෙකම විසින් ප්‍රතික්ෂේප කරන ලදි. සටන් විරාම සමීක්ෂණ කමිටුවට නෝර්වීජියානු සහභාගිත්වය තිබිය යුතු බව දෙපාර්ශ්වයම විසින් තරයේ කියා සිටින ලදි. ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවට සාමාජිකයින් සපයන ලෙස දෙපාර්ශ්වය අනික් නෝර්ඩික් රටවලින් (ඩෙන්මාර්කය, පින්ලන්තය, අයිස්ලන්තය හා ස්වීඩනය) ද ඉල්ලීය.
ප්‍රථම ශ්රීලස නිරීක්ෂණ පිරිසේ ප්‍රථම සමීක්ෂකයෝ 23 දෙනා (පින්ලන්තයට සමීක්ෂකයන් හයදෙනෙකු ස්වීඩනයෙන් සමීක්ෂකයන් හයදෙනෙකු හා නෝර්වේ රාජ්‍යයෙන් සමීක්ෂකයන් එකොළොස් දෙනෙකු යනුවෙන් 2002 මාර්තු මස ප්‍රථම සතියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. පුළුල් භෞමික ප්‍රදේශය ආවරණය කිරීමට සිටියේ සමීක්ෂකයින් 23 දෙනෙකු පමණක් හෙයින්, ශ්රීලසනික ක්රියාකාරීත්වයේ ප්‍රථම තුන් (3) මාසයේදී එය මිනිස් බලය අතින් දුර්වල විය. මේ හේතු කොටගෙන ශ්රීලනික මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවිය. 2002 මැයි/ජූනි කාලයේ ශ්රීලසවිනි. කමිටුව සමස්ත වශයෙන් නිරීක්ෂකයින් 46ක් දක්වා වැඩි කරන ලදි. (එකල ඩෙන්මාර්කය හා අයිස්ලන්තය එම පිරිසට බැඳුණේය.) පසුව (2003දී) නිරීක්ෂක සංඛ්‍යාව 60 දක්වා වැඩි වූ අතර, අද අවසර ලත් සංඛ්‍යාව එයයි.
සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ගැන ඔබේ අදහස කුමක් ද?
ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ මූලික ගැටලූ හඳුනාගෙන ඇත.
ඒවා එල්ටීටීඊ සංවිධානය හා රජය යන දෙපාර්ශ්වයටම ඉදිරිපත් කර ඇත. එහෙත් එම පාර්ශ්වයන් මේ ගැටලූ විසඳිය යුත්තේ කෙසේද යන්න එම පාර්ශ්වයන් විසින් ම විසඳා ගත යුතුය. ඉදිරිපත් කර තිබෙන ගැටලුවලට කිසිදු පාර්ශ්වයක් තවම ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් මේ ප්‍රමාදයන් මැඩපැවැත්වීම සඳහා එම පාර්ශ්වයන් නිශ්චිත පියවරවල් ගනු ඇතැයි අපේක්ෂා කරමි.
සෑම කෙනෙකුම සටන් විරාම ගිවිසුමට අභියෝග කරන බවක් ද එය සංශෝධනය කිරීම අවශ්‍ය යැයි කියන බවක් ද පෙනේ. එහෙත් කිසිවෙකුත් සංශෝධන අවශ්‍ය වන්නේ කුමන ක්ෂේත්රයන්ටදැයි යෝජනා කිරීමට තරම් දුර ගොස් නැත. වෙනත් වචනවලින් කියතොත්, ඔවුන්ගෙන් කිසිවෙකු කාරණය සම්බන්ධයෙන් නිශ්චිත යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැත.
ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ඔබ දකින ශක්තීන් හා දුර්වලතා හා අභියෝග මොනවාද?
ශ්‍රී ලංකා සටන් විරාම කමිටුව සටන් විරාම ගිවිසුමට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක (ශ්‍රී ලංකා රජය හා තමිල් ඊළාම් විමුක්ති කොටි සංවිධානය) සමග අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරයි. මේ අතින්, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය මුළුමනින්ම රඳා පවත්නේ සටන් විරාම ගිවිසුමට අදාළ ගැටලු විසඳීමට ශ්‍රී ලංකා රජයේ හා එල්ටීටීඊ සංවිධානයේ කැපවීම හා කැමැත්ත මත බව තේරුම් ගැනීම වැදගත්ය. ශ්‍රී ලංකා සටන් විරාම සමීක්ෂණ කමිටුව සම්බන්ධයෙන් කිවයුත්තේ එම දූත පිරිසට විධායක බලයක් නැති බවත් එහෙයින් එහි සාර්ථකත්වය මුළුමනින් රඳා පවත්නේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ දෙපාර්ශ්වය සමග සහයෝගය මත බවත්ය. කෙසේ වුවද, සටන් විරාමය උල්ලංඝනය කිරීම් ගැන ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ඇතැම් නිර්ණයන්ට අනුව ක්‍රියා නොකිරීම සටන් විරාම ගිවිසුම කෙරෙහි ජනතාවගේ විශ්වාසය කෙරෙහි අහිතකර අන්දමින් බලපා ඇති අතර, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ විශ්වසනීයත්වය කෙරෙහි ද අහිතකර අන්දමින් බලපා තිබේ. නිර්ණයන්ට අනුකූලව ක්‍රියා කිරීමට බල කරනු සඳහා ගතහැකි පියවරවල් කිසිවක් ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවට නැති බව අවධාරණය කිරීම වැදගත්ය. පරදු දරන්නන් බොහෝ දෙනෙකු මේ ප්රශ්නය ගැන බොහෝ කරුණු කියා ඇත. එය අවධානය යොමු කිරීම අවශ්‍ය වන ඉතා වැදගත් කරුණක් බව පෙනේ. අඛණ්ඩ ජාත්‍යන්තර බලපෑම හා සිවිල් සමාජයේ මුලපිරීම් ද සටන් විරාම ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට දෙපාර්ශ්වයටම සැලැස්වීම සඳහා වැදගත් සාධක වේ. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරවීමේ නව ක්‍රම ගැන ද සොයා බැලිය යුතුය.
වරින් වර දේශපාලනඥයින් සමග ජනතාව ආරක්ෂාකාරී පරිසරයක් සපයන මෙන් ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවෙන් ඉල්ලා සිටීමට තරම් දුර ගොස් ඇති බව ද කිව යුතුය. ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව මෙහි සිටින්නේ රටට පොලිස් සේවයක් ඉටු කිරීමට නොවන බව තේරුම් ගත යුතුවේ. අප මෙහි සිටින්නේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී පාර්ශ්වයන් සමීක්ෂණය කිරීම හා ඔවුන්ට ආධාර කිරීම සඳහාම පමණි. ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම රජයේ පාලනය පවත්නා ප්‍රදේශයන්හි ශ්‍රී ලංකා හමුදාවල/පොලිසියේත් එල්ටීටීඊ ප්‍රදේශවල ඔවුන්ගේත් එකම අභිමතය පරිදි වේ. සියලූ ඝාතනයන් හා ප්රහාරයන් අවසන් කරන ලෙසත්, අනාගතයේදී එබඳු සිද්ධීන් වැළැක්වීම සඳහා පියවරවල් ක්‍රියාත්මක කරන ලෙසත් බලධාරීන්ගේ නියෝජිතයින් මෙන්ම සාමාන්‍ය ජනයා ද බොහෝ විට ශ්‍රී ලංකා සටන් විරාම කමිටුවෙන් නිතර ඉල්ලා සිටින බව ද සඳහන් කරනු කැමැත්තෙමි. සියලූ ඝාතන හා ප්රහාරයන් විසින් තිබෙන යථා තත්ත්වය අස්ථාවර කරනු ලබන බව මේ සම්බන්ධයෙන් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. මේ සිද්ධීන්, පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කොට ඒවාට වගකිවයුත්තන් අධිකරණය හමුවට ගෙන ආ යුතු වන සාපරාධී ක්‍රියාය. ප්‍රධාන ගැටලූව නම් පොලිසිය ඒවා කළවුන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතිවීමය. මෙහි තේරුම වන්නේ අත්අඩංගුවට පත් නොවී බේරී යෑමට මේවා කළවුන් දන්නා බවය. මේ අතින් ශ්‍රී ලංකා පොලිසිය හා එල්ටීටීඊය අතර සහයෝගය මේ අපරාධ කරන්නවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවන් ස්ථිර වශයෙන්ම වැඩි කරනු ඇත.
ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ දූත පිරිස සාර්ථක දූත පිරිසක් වී ඇතැයි යන්න ගැන මගේ සිතේ සැකයක් නැත. ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊය යන දෙකම සමග ප්‍රාදේශීය හා මධ්‍යම මට්ටමෙන් අප හොඳ සබඳතාවක් ගොඩනගා ගෙන තිබේ. කෙසේ වුවද, අපේ වැඩට සම්බන්ධ ප්‍රධාන ගැටලූවලින් එකක් නම්, පාර්ශ්ව දෙක අතර ඍජු සංවාදයක් නොතිබීමයි.
සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය අතර සම්බන්ධය මෙකල සපයනු ලබන්නේ ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව විසිනි. එය ක්‍රියා කරන්නේ පාර්ශ්වයන් එකිනෙකාට තම පණිවුඩ අප ඔස්සේ යවන ආකාරයෙනි. එහෙත් ඔවුන් ඍජු සංවාදයක් සඳහා මුහුණට මුහුණ හමුවීමට තවමත් කැමති නැත. වාසනාවකට මෙන් ආරක්ෂක හමුදාත් එල්ටීටීඊ යුද ඒකකයනුත් අතර ඍජු ගැටුමක් ගිවිසුම අත්සන් කරනු ලැබීමෙන් පසු සිදුවී නැත. කෙසේ වුවද ශ්‍රී ලංකා නාවුක හමුදාව හා මුහුදු කොටින් අතර මෑතදී මන්නාරම් බොක්කේදී ගැටුමක් සිදුවිය. එබඳු සිද්ධීන් ඉතා අන්තරාදායක වන අතර, ඒවා සටන් විරාමය ද අවදානමට ලක් කරයි.
ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව දැන් ක්‍රියා කරන්නේ පටු නිර්වචනයක් තුළ බවත්, එහෙත් එහි ක්‍රියාකාරී අංශයන් වඩාත් ශක්තිමත් වනු පිණිස එය පුළුල්වීම අවශ්‍ය බවත්, ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු තම පුවත්පත් නිවේදනයෙන් කීවේය. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අපට ලැබෙන පැමිණිලිවලින් වැඩි හරිය කෙරෙන්නේ පොදු මහජනයා (සාමාන්‍ය ජනතාව) විසින් බවත්, ගිවිසුම අත්සන් කළ පාර්ශ්වයන් විසින් නොවන බවත් සැලකිය යුතුය. තම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපේ ආධාරය ඉල්ලා අප වෙත එන ජනයාට ආධාර කිරීමට අප උත්සාහ කරන අතර, අපට විසඳීමට හැකි වූ ප්‍රශ්න අප්‍රමාණ ගණනක් ඇත.
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස දැන් ක්‍රියා කරන්නේ පටු නිර්වචනයක් තුළ යැයි ද, ඇත්ත වශයෙන් එහි ක්‍රියාකාරී අංශයන් වඩාත් ශක්තිමත් වන පරිදි එය පුළුල් කිරීම අවශ්‍ය යැයි ද යන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයෙන් හෙළි වන්නේ එක්සත් ජාතීන් සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ කාර්ය භාරය තේරුම් ගෙන නැති බවය. සටන් විරාම ගිවිසුම පාර්ශ්ව දෙක අතර ගිවිසුමකි. එහි සාර්ථකත්වය තනිකරම රඳා පවත්නේ පාර්ශ්වයන්ගේ කැපවීම මතය. අපේ වරම ප්‍රමාණවත් තරම් පුළුල් ය. එහෙත් ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම ශ්‍රී ලංකා වරම හා කාර්ය භාරය ශක්තිමත් කිරීමට පාර්ශ්වයන්ට අවශ්‍ය නම් සටන් විරාම ගිවිසුමට අනුව කටයුතු කිරීමෙන් හා එය වාච්‍යාර්ථයෙන් ක්‍රියාත්මක කිරීමෙන්ම ඔවුන්ට එය කළ හැකිය. අපරාධ විමර්ශනය කිරීම පොලිසියට අයත් කරුණක් බව නැවත වරක් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිසට පොලිස් විමර්ශන බලයක් හා හැකියාවක් දීම නෛතික වශයෙන් මුළුමනින් වැරදි සහගතය. අවශ්‍ය වන්නේ අපරාධ විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජයේ පොලිසියේ හැකියාව වැඩි කිරීම හා වැඩි දියුණු කිරීමයි.
සටන් විරාම නිරීක්ෂණ කමිටුවට අයත් දූත පිරිසේ ජාත්‍යන්තර අත්දැකීම් මොනවාද?
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිසේ සමීක්ෂකයින් වැඩිදෙනාට අන් ගැටුම් ප්‍රදේශයන්හි සාමයට ආධාර කිරීමේ මෙහෙයුම්වලින් ලත් පුළුල් අත්දැකීම් තිබේ. හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිවේදීන්, සමාජ සේවකයින්, මානව විද්‍යාඥයින්, මානව හිමිකම් විශේෂඥයින් ආදී වශයෙන් විවිධ වෘත්තීය පසුබිම් සහිත සමීක්ෂකයින්ගෙන් ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම සමන්විත වන බව අවධාරණය කිරීම වැදගත්ය. විශේෂඥතාව පිළිබඳ මේ එකතුව, නියත වශයෙන්ම, අප කටයුතු කරන සියලූ විවිධ අවස්ථාවන්ට අදාළ ශක්තියකි.
සටන් විරාම ගිවිසුම් සමීක්ෂණ ක්‍රියාවලිය මුළුමනින්ම, ඇති විය හැකි ඕනෑම ආරාවුලක් සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීමට පාර්ශ්වයන්ගේ කැපවීම හා කැමැත්ත මත පදනම් වී ඇති ආකාරය අනුව, ශ්‍රී ලංකා අත්දැකීම අති විශේෂ වේ.
ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම පිළිබඳ සංවේගයන්ගෙන් එකක් නම් නෝර්වීජියානුන් සාම ක්‍රියාවලියේ පහසුකම් සලස්වන්නා වන අතරම දූත පිරිසේ ප්‍රධානත්වය ද දැරීමයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මුලදී නෝර්වීජියානුහු ශ්‍රී ලංකා සාම දූත පිරිසේ නායකත්වය දැරීමට උනන්දු නොවූහ. නෝර්වීජියානුන් සමීක්ෂණ දූත පිරිසේ නායකත්වය ගැනීමට තීරණය කළේ ගිවිසුමට ඇතුළත් වූ දෙපාර්ශ්වයම ඇරයුම් කළ නිසාය. කෙසේ වුවද ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ නායකයා නෝර්වේ හැර වෙනත් නෝර්ඩික් (උතුරු යුරෝපීය) රටකින් ආ යුතු යැයි ද එය සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීමට ආධාර වනු ඇතැයි ද දෙපාර්ශ්වයෙන් එකක් හෝ විශ්වාස කරයි නම්, නියමිත ඕනෑම අවස්ථාවක නායකත්වයෙන් ඉවත් වීමට කැමතිය.
කෙසේ වුවද සටන් විරාම ගිවිසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ යතුර ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය දරන්නේ කව්ද යන ප්‍රශ්නයට සම්බන්ධ නොවන බව මම විශ්වාස කරමි. කිසිවකු එබන්දක් විශ්වාස කරයි නම් එය වලංගුභාවයක් නොමැති සිතිවිල්ලක් යැයි මම කණගාටුවෙන් කියමි. ශ්‍රී ලංකා සටන් විරාම කමිටුවේ දූත පිරිසේ කටයුතු කෙරෙහි නෝර්වීජියානු පහසුකම් සපයන්නාගේ බලපෑමක් නැත. එහෙත් සටන් විරාම ගිවිසුම සාම සාකච්ඡා සඳහා පදනම වන බැවින්, පැහැදිලිවම, පහසුකම් සපයන්නාට නිති පතා අලූත්ම තත්ත්වය පිළිබඳ තොරතුරු යැවීමට ශ්‍රී ලංකා සටන් විරාම කමිටුවට සිදුවේ. ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ නායකයා හෝ නායිකාව කුමන රටකින් ආවත්, අනාගතයේදී ද එසේ කිරීමට ඔහුට හෝ ඇයට සිදුවේ.
සැබෑ ගැටලූව ඇත්තේ පාර්ශ්වකරුවන් ගිවිසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින්නේ කෙතරම් ප්රමාණයකටද යන්නෙහිය. මුලදී සියල්ල යහපත් හා සාධාරණ සේ පෙනුණි. කිසිවෙකුත් ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කණඩායමේ අවංකභාවයට, දැන් එයට අභියෝග කරනු ලබන ප්‍රමාණයට අභියෝග කළේ නැත. මෙය එක්තරා ආකාරයකින් තේරුම් ගත හැකිය. මන්දයත් යමක් ක්‍රියාත්මක කිරීමේදී යම් වරදක් සිදු වුවහොත්, පාර්ශ්වකරුවන් වරද පැවරීම සඳහා වෙනත් අයෙකු සොයා ගනු ඇති නිසාය.
සටන් විරාම ගිවිසුමේ සීමාව යටතේ මානව හිමිකම් උල්ලංඝනයන් සමීක්ෂණය කිරීමට වෙනම යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ඉයන් මාර්ටින් ඇඟවීය. ඔබේ අදහසේ හැටියට, මානව හිමිකම් ප්‍රශ්න විමර්ශනය කිරීම සඳහා විශේෂ මානව හිමිකම් සමීක්ෂණ යන්ත්‍රණයක් තිබීම අවශ්‍ය ද?
පාර්ශ්වයන් එකඟ වෙතොත්, ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ කමිටුවක් පිහිටුවීමට මම සහයෝගය දෙමි.
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස එහි වරම පිළිබඳ වැරදි සංකල්පයන් මැඬපවත්වන්නට අදහස් කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස දැන් පසුගිය අවුරුදු දෙකහමාරේ අපේ අත්දැකීම් හා එයට හමුවී ඇති ප්‍රායෝගික ජවනිකා බෙදාහදා ගැනීමට හැකි තත්ත්වයක සිටී. දූත මෙහෙවර ද එමෙන්ම සටන් විරාම ගිවිසුම ද ශක්තිමත් කිරීම පිණිස වැඩි දියුණු කිරීම සඳහා සෑමවිටම ඉඩ තිබේ.
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස පිළිබඳව පාර්ශ්වයන් ජනමාධ්‍යයන්ට කරන ප්‍රකාශ බොහෝ විට අසත්‍ය හා සාවද්‍ය වේ. මෙය ගැටුමට කෙළින්ම බලපා ඇත්තේ කෙසේදැයි ඇස්තමේන්තු කිරීම ඉතා දුෂ්කරය. එහෙත් අපේ දැඩි විශ්වාසය නම් වාචික යුද්ධය හා අවදානම් ක්‍රියා නිසා, පාර්ශ්වයන් දැනට මුහුණ පා සිටින උභතෝකෝටික තත්ත්වය වැඩිවී ඇති බවයි. දේශපාලනික වශයෙන් පාවිච්චි කරනු ලැබ ඇති අහිතකර ප්‍රකාශ නිසා, නිසැකයෙන්ම, ප්රචණ්ඩත්වය වැඩිවී ඇති අතර, සාමාන්‍ය ජනයා කෙරෙහි එහි බලපෑම අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. අනික් පාර්ශ්වය කෙරෙහි අහිතකර ප්‍රකාශ නිසා අවසානයේදී, සාමය සඳහා වන විසඳුමක් දෙසට දරනු ලබන යම් ප්රයත්නයන් යුක්තියුක්ත බව දැන්වීම වඩාත් දුෂ්කර වේ.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධානයන් බොහෝමයක්ම සිංහල හෝ දමිළ ප්‍රජාවන්ට සේවය කරන බව ද ඒ හේතුව නිසා අනික් පාර්ශ්වයේ ආකල්පය හා පොදු චින්තනය අත්දැකීම කණ්ඩායම් දෙකට කළ නොහැක්කක් වන බව ද සිත තබා ගත් කල, මෙය විශේෂයෙන්ම බරපතළ කරුණකි. දෙපැත්තේම දේශපාලනඥයින් හා නියෝජිතයින් වගකිවයුතු මාධ්‍ය කලාවක් ඉල්ලා සිටිය යුතු අතර, මාධ්‍ය සංවිධානයන් සාවද්‍ය වාර්තා හෝ සැක සහිත කරුණු පළ කරන විට ඒ ගැන වගකීමට, ඒවාට සැලැස්විය යුතුය.
පාර්ශ්වයන් විසින් ජනමාධ්‍යයන්හි අහිතකර ප්‍රකාශ පළ කරවීම සටන් විරාම ගිවිසුමේ “ව ගුණයට නොගැලපෙන අතර, ඒවා නිසා, විශ්වාසය ගොඩනැගීමේ හැකියාව වැනසෙයි. පාර්ශ්වයන් අතර සබඳතාවෙහි වෙනසක් සිදුවීමට නම් දෙපාර්ශ්වයම එකිනෙකාට විරුද්ධව ප්රචාරක උපකරණයක් වශයෙන් ජනමාධ්‍යයන් පාවිච්චි කිරීමෙන් වැළකිය යුතුය. ඒ වෙනුවට, පාර්ශ්වයන්, ගැටුම විසඳීම සඳහා අවශ්‍ය, විශ්වාසය ගොඩනැගීමේ පියවරවල් ගැනීමට ජනමාධ්‍යයන් යොදා ගත යුතුය.
ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස ගැන ද එමෙන්ම ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිසේ මෙහෙයුම් ගැන ද පොදු ජනතාවට අවබෝධයක් ලබාදීම සටන් විරාම ගිවිසුම අත්සන් කළ අයගේ වගකීමකි. ජනමාධ්‍යයන්ට අපේ අදහස් පළකිරීමටත් අපේ කර්තව්‍යයන් තේරුම් කිරීමටත් අපි ඕනෑවටත් වැඩියෙන් කැමති වෙමු. සටන් විරාම ගිවිසුමේ මුල් පෙළ (එැංඑ) ඇත්තේ ඉංග්‍රීසි බසිනි. එය දමිළ හා සිංහල භාෂාවන්ට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සමීක්ෂණ දූත පිරිස භාර නොගනු ඇත. මන්දයත් අවසානයේදී ඉන් ගැටලූ ඇතිවිය හැකි බැවිනි. මේ පරිවර්තනය පාර්ශ්වයන්ගේ වගකීමකි. අක්කෙරෙයිපත්තු සිද්ධිය වටා කැරකුණු සිදුවීම් ඔබ දකින්නේ කෙසේද?
එය උත්සන්න වීමේ හැකියාව සහිත ඉතා නරක හා ශෝකජනක සිද්ධියකි. කෙසේ වුවද මුස්ලිම් ජනයා එම සිද්ධිය ගැන ඉතා පරිණත ආකාරයකින් ක්‍රියා කොට ඉතා සංකීර්ණ හා අන්තරාදායක තත්ත්වයන් සන්සුන් කරවීමට සමත් වූහ.
විශේෂයෙන් යාපනයෙහි වත්මන් තත්ත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
යාපනයේ තත්ත්වය සැබැවින්ම නරකය. එම නරක තත්ත්වය සාම ක්‍රියාවලිය කෙරෙහි ඉතා අහිතකර ආකාරයකින් බලපායි.
පෙළපාලි ප්රචණ්ඩ බවට පත්වී ඇති අතර, ආරක්ෂක හමුදාවන්ට තමන්ගේ ආරක්ෂාව සඳහා වඩාත් දැඩි ආරක්ෂක පියවරවල් ක්‍රියාත්මක කරන්ට සිදුවිය. මෙය ජනගහනයේ අලූත් ප්‍රචණ්ඩත්වයට තුඩුදෙයි. එය ආරක්ෂක හමුදාවන්ගේ ආරක්ෂක පියවරවල් වැඩි කළේය. මේ ප්රහාරයන්ට තමන්ගේ කිසි සම්බන්ධයක් ඇතැයි යන්න එල්ටීටීඊ සංවිධානය නොපිළිගනියි. ක්ලේමෝර් බිම් බෝම්බ හා අත් බෝම්බ පිටුපස සිටින්නේ “ජනතාව” යැයි එල්ටීටීඊ සංවිධානය කියා සිටී. කෙසේ වුවද, එම ප්‍රහාර, විශේෂයෙන් ක්ලේමෝර් බිම් බෝම්බ භාවිතය කෙතරම් හොඳින් සැලසුම් කරනු ලැබ හා දක්ෂ ලෙස ක්‍රියාත්මක කරනු ලැබ තිබුණේ ද යත්, මේ ප්රහාරයන් කරන අය එබඳු මෙහෙයුම් සඳහා ඉතා හොඳින් පුහුණු වී සිටිය යුතුය. යාපන අර්ධද්වීපයේ සමස්ත ජනගහනය කෙරෙහි එල්ටීටීඊ සංවිධානයේ බලපෑමක් තිබෙන බව සුප්‍රකට වන අතර, එල්ටීටීඊය ද එය පිළිගනී. එහෙයින් එල්ටීටීඊ සංවිධානය ප්රචණ්ඩ පෙළපාලි ද ආරක්ෂක හමුදාවන්ට හා පොලිසියට එල්ල කරන ප්‍රහාර ද අවසන් කිරීමට තම බලපෑම් යෙදිය යුතුය