අදත් බන්ධනාගාරවල ඇතුළත කටයුතු සිදු වන්නේ යටත් විජිත කාලයේ සිදු වූ ආකාරයටයි. බන්ධනාගාර සිරකරුවන් තම උසාවියෙන් පමුණුවන ලද දඬුවමට බාහිර වශයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින්ද අතිරේක දඬුවම් පමුණුවන අතර ඇතැම් සිරකරුවන් විසින් දුබල කොටස් සිය මෙහෙවරෙහි යොදවා ගන්නා සංවිධානාත්මක වැඩ පිළිවෙලවල්ද හිර ගෙවල් තුළ ඇත්තේය. මේ සියළු තත්ත්වයන් තේරුම් ගෙන සිටින කලින් සහකාර අධිකාරවරයකු වශයෙන් කටයුතු කළ පළපුරුදු මහතකු නව කොමසාරිස්වරයා වශයෙන් පත් වී සිටීම නිසා බලාපොරොත්තු දනවන අවස්ථාවක් උදා වී ඇත.
නව බන්ධනාගාර ප්රතිසංවිධාන කටයුතු සඳහා ඔහු බන්ධනාගාර සහකාර අධිකාරි වරයෙකු හා අධිකාරි වරයෙකු වශයෙන් සිටියදී ලබා ගත් දැනුම බොහෝ සෙයින් ප්රයෝජනවත් වී ඇතුවාට සැකයක් නැත. සිරකරුවන්ගේ විශේෂ ස්වරූපය අනුව ඔවුන් මානසික වශයෙන් පාලනය කරනවා විනා බැටන් පොල්ලෙන් පාලනය කළ නොහැකි බව දැනටමත් ප්රතිපත්තියක් වශයෙන් පිළි ගෙන තිබීම ප්රීතියට කරුණක් වෙයි. පැරණි ප්රතිපත්තියේ බංකොලොත් භාවය හා නව ප්රතිපත්තියේ සාරගර්භ භාවය අපිද පිළි ගනිමු. එහෙත් ප්රශ්නය වී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ බැටන් පොල්ලේ පාලනයට හුරු පුරුදු වී සිටින බන්ධනාගාර නිලධාරීන් නව ප්රතිපත්තියට උචිත ලෙස හැඩගැස්විය හැකිද යන්නයි. කෙසේ නමුත් නව කොමසාරිස්වරයා දැනටමත් වැඩ ආරම්භ කර තිබේ. අලුත් ප්රතිපත්තිය [කියවිය නොහැක] බැටන් පොල්[ලට හුරු වී] සිටින නිලධාරීන්ට තේරුම් කර දීමේ පාඨමාලාවක් කොමසාරිස්වරයා විසින්ම පවත්වාගෙන යයි. අනිසි අයුරින් බැටන් පොල්ලේ බලය පෙන්වන්නට ගොස් මිය යන හා තුවාල ලබන සිරකරුවන් ගැන පමණක් නොව එවැනි අනතුරුවලට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් ගැනද කිහිප විටක්ම අසන්නට ලැබී ඇත. බොහෝ විට සිරකරුවන් හා නිලධාරීන් අතර සිදු වන ආරාවුල් වලට මූලික හේතුව වී ඇත්තේ බැටන් පොල්ලයි. බැටන් පොල්ල හැම බන්ධනාගාර සුළු නිලධාරියකුගේම නිල ඇඳුමේ කොටසක් වන නමුත්, එය නිසි ලෙස පරිහරණය කිරීමට දත් නිලධාරීන් ඇත්නම් ඒ ස්වල්ප දෙනෙකි. වැඩි දෙනෙක් එය තෝකටත් තෛලය ලෙස භාවිතා කරති. සමහර නිලධාරීන් එය සිරකරුවන්ට එරෙහිව, සමූපකාර ක්රමයට (හිර ගෙදර එය හඳුන්වන්නේ පෝරියල් ක්රමය යනුවෙනි) පාවිච්චි කිරීම නිසා සමහර සිරකරුවන් මිය ගොස් ඇති අවස්ථාද නැත්තේ නොවේ. එවැනි පහර දීමකට ගොදුරු වන සිරකරුවන් දුර්වල ලෙස රෝගී වීම නම් අනිවාර්යයි. සිරකරුවන්ට එරෙහිව භාවිතා කරන මෙම සමූපකාර ගැහිලි ක්රමය නම් කල් නොයා ඉක්මණින්ම සිර ගෙවල් තුළින් තුරන් කිරීම අවශ්යය.
සිරකරුවන් අතර සිදු වන නොසන්සුන්තාවයන්ට මුල් වන තවත් වැදගත් හේතුවක් වන්නේ ආහාර ප්රශ්නයයි. මේ සම්බන්ධයෙන් අති විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුව තිබෙන්නේ වෙන අයට මෙන් නොව සිරකරුවන්ට බන්ධනාගාරයෙන් පිටස්තරව ආහාර ලබා ගැනීමට අන් ක්රමයක් නැති නිසයි. රජය සිරකරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් අති විශාල සැලකිල්ලක් දක්වා ඇත්තෙත් ඒ නිසාමයි. නියමිත ක්රමය අනුව සිරකරුවන්ට උදේ ආහාරය සඳහා පාන් අවුන්ස 6 ක් සමඟ පොල් සම්බෝල අවුන්ස දෙකක්ද සීනි අවුන්ස භාගයක්ද (කලින් එය අවුන්සයක් විය) හා තේ කෝප්පයක්ද, දවල් ආහාරය සඳහා බත් අවුන්ස 4 ක් සමඟ පාන් අවුන්ස 4 ක්ද, එළවළු අවුන්ස 4 ක් හා මාලු අවුන්ස 2 ක්ද, රාත්රී ආහාර සඳහා පාන් අවුන්ස 6 ක් සමඟ බත් අවුන්ස 2 ක්ද දෙවර්ගයකින් එළවළු අවුන්ස 4 ක් හා මස් අවුන්ස 2 ක්ද, ලැබිය යුතු වේ. මීට අමතරව දවාලට හෝ රාත්රියට සීනි අවුන්ස භාගයක් සමඟ තේ කෝප්පයක් ලැබිය යුතු වේ. මේ නිසි ලෙස ලැබෙන්නේ නම් එය ප්රමාණවත් නමුත් කිසිම හිර ගෙදරක සිරකරුවන්ට නියමිත ආහාර වේල නොලැබේ. සිරකරුවන් සඳහා වෙන් කෙරෙන ආහාර කොටසින් අඩකට වැඩි ප්රමාණයක් නිලධාරීන්ගේ වැහිකබා හෝ කොට්ට උර සාක්කු තුළට යයි. බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ අඹු දරුවන් පමණක් නොව බන්ධනාගාර කැන්ටින් හිමියාද තමන්ගේ වෙළෙඳාමට අවශ්ය එළවළු, කුළු බඩු හා මස් මාළු ලබා ගන්නේ සිරකරුවන්ට වෙන් වූ ආහාර කොටසිනි. මේ නිසා ලංකාවේ කිසිම හිර ගෙදරක සිරකරුවන්ට නියමිත ආහාර වේල නොලැබේ. සිරකරුවන්ට මස් කැල්ලේ පටන් පාන් කැල්ල දක්වා අඩුවෙන් ලැබෙනවා පමණක් නොව, දෙන සොච්චම පවා උයා දෙන්නේ මිරිස් තුනපහ රහිතවයි. බේකරියට දෙන ඊස්ට් හා දුන් තෙල් බේකරි මාස්ටර් හරහා පෞද්ගලික බේකරි හිමියන්ගේ සාක්කු වලට යන නිසා සිරකරුවන්ට මන්ද පෝෂණය වැළඳුණ පාන් කන්නට සිදු වී තිබේ. සිර ගෙවල් තුළ රජ කරන මෙම තත්ත්වය නැති කිරීමට නම් ඉහළ පහළ නිලධාරීන් සංවිධානාත්මකව ගෙනයන දූෂණ ව්යාපාර මැඩලිය යුතු වේ. බන්ධනාගාරය සම්බන්ධයෙන් එය වෙනත් ඕනෑම දෙපාර්තමේන්තුවලට වඩා දුෂ්කර වන්නේ අන් දෙපාර්තමේන්තුවල කෙරෙන දූෂණ එළිදරව් කිරීම දෙපාර්තමේන්තුවල තිබෙන වෘත්තීය සමිති මගින් වත් කෙරෙන නමුත් බන්ධනාගාර සම්බන්ධයෙන් එවැනි ක් නැති නිසා හා බන්ධනාගාරවල දූෂණය උල්පත් තිබෙන තැන් සිරකරුවන් හොඳින් දන්නා නමුත් ඒවා එළිදරව් කිරීමට සීමිත වශයෙන් වත් ඔවුන්ට පහසුකම් නැති නිසාත්ය. මේ නිසා තමන්ගේ කොටසින් වැඩි පංගුවක් සොයා ගැනීමට නිලධාරීන් දක්වන උනන්දුව හා ඒ සඳහා ඔවුන් යොදන විශේෂ ශිල්පීය ක්රම දෙස නෙත් අයා බලා ගෙන සිටීමට සිරකරුවනට සිදු වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීනට වඩා විශේෂ වරප්රසාද ලබන පිරිසක් වීම නිසා බන්ධනාගාර වල සමහර නිලධාරීන් ගෙන යන මෙම ව්යාපාරයේ අසාධාරණත්වය වඩාත්ම කැපී පෙනේ. සන්සන්දනාත්මක වශයෙන් බලන කල ඔවුන් සැලකිය යුතු තරම් හොඳ පඩියක් ලබන අතර ඊට අමතරව සති පතා රුපි. 2.70 බැගින් අමතර සහල් සේරුවක් හා දිනපතා ශත 75 කට විශේෂයෙන් පිළියෙල කරන ලද පාන් රාත්තලක් ලබා ගැනීමට පහසුකම් ඔවුන්ට ලැබී තිබේ. මෙවැනි වාසි දායක තත්ත්වයන් තිබියදීත් ඔවුන් සිරකරුවන්ගේ සලාකයෙන් කොටසක් සොරා ගන්නේ නම් එවැනි අය අල්ලා දැඩි දඬුවම් පැමිණවීම කිසි සේත් අසාධාරණ නොවේ.
මසකට වරක් රුපි. 7.50 සීමාවට යටත්ව තමන්ට අවශ්ය බීඩි, සිගරට්, සුරුට්ටු, හා බුලත් යනාදී දේවල් සිරකරුවන්ට ගෙන්වා ගැනීමට අවශ්ය පහසුකම් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සපයා දීම නිසා හිර ගෙදර ‘නැව් අදින’ නිලධාරීන්ගේ කල දසාව තරමක් දුරට නරක අතට හැරෙමින් පවතී. කලින් සිරකරුවන්ට දුම් බීමට හා බුලත් කෑමට හිර ගෙදරින් නීති රීති යටතේ ඉඩක් නොතිබුණ හෙයින් එවැනි දේවලට ඇබ්බැහි වූ සිරකරුවනට ඒවා අයථා මාර්ගවලින් ගෙන්වා ගැනීමට සිදු විය. මුදල් ඇත්නම් සිර ගෙදර මිල දී ගැනීමට නැත්තේ ගැහැණුන් පමණකි. ගංජා, අබින්, අරක්කු වැනි මත් ද්රව්යයන් පවා හිර ගෙදර හොර වෙළෙඳ පොළෙන් අවශ්ය [කියවිය නොහැක] ත්රී රෝසස් පැකට් එකක් රු. 2 ක් වන අතර බීඩි මිටියක් රුපියලකි. අරක්කු බෝතලයක් රුපි. 30 ක් පමණ වන අතර ගංජා නම් පිටත රාත්තල රුපි. 30 ක් පමණ වන විට හිර ගෙදර එය රුපි. 80 ක් පමණ වේ. මේ ද්රව්ය අවශ්ය තරම් හිර ගෙවල් තුළට ගෙන ඒම සඳහා නිලධාරීන්ගේ වැහි කබා හා කොට්ට උරයන් තරම් විශාල කලිසම් සාක්කු ලොරි වෙනුවට යොදා ගනු ලැබේ. පිටතදී දුම් බීමට හා මත් ද්රව්ය පාවිච්චියට පුරුදු වී සිටින අය සිර ගෙදරදී මෙම හොර වෙළෙඳ පොළ කරා නිතැතින්ම ඇදී යයි. ඔවුන්ට බන්ධනාගාර නීති රීති යටතේ සිර ගෙවල් තුළට මුදල් ගෙන්වා ගැනීමට නීත්යානුකූලව ඉඩක් නැති නිසා, ඔවුන්ට ඒ සඳහාත් නිලධාරීන්ගේම සහාය ලබා ගැනීමට සිදු වේ. සිරකරුවකුට, මුදල් අවශ්ය වූ විට ඔහු ඒ සඳහා පෙනී සිටින නිලධාරියකු හමු වී සම්මුතියක් ඇති කර ගනී. ඒ අනුව නිලධාරියා සිරකරුවාගේ නිවසට ගොස් මුදල් ලබා ගනී. සිරකරුවාට ලැබෙන්නේ ලබා ගත් මුදලින් හරි අඩක් හෝ ඊට අඩු ප්රමාණයකි. මෙසේ බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ගේ නිවෙස්වලට කරන යාම් ඊම් නිසා නිලධාරීන් සිරකරුවන්ගේ අඹුදරුවන් හෝ සහෝදරියන් සමග අයථා සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳ ප්රවෘත්තිද නිතර නිතර අසන්නට ලැබේ.
සිර ගෙවල් වසා පැතිරී ඇති මෙබඳු දූෂණ ව්යාපාර සාර්ථක ලෙස මැඩලිය හැකි වන්නේ ඒ සඳහා සිරකරුවන්ගේ ආධාර ලබා ගත හැක්කේ නම් පමණි. එහෙත් පවතින බන්ධනාගාර ක්රමය අනුව නම් මේ සඳහා සිරකරුවන්ගේ ආධාර ලබා ගැනීමට කොහෙත්ම පුළුවන් කමක් නැත. විශ්ව විද්යාල ඇදුරන් වැනි සමාජයේ ප්රබුද්ධ පුද්ගලයින් ඇතුළත් වන ලෙස විශේෂ පුවත් පත් මණ්ඩලයක් ගොඩ නගා මසකට වරක් හෝ දෙවරක් සිර ගෙවලට ගොස් ඔවුන්ට නිදහසේ සිරකරුවන් හමු වී කතා බස් කිරීමට අවස්ථාවක් සලසා දෙන්නේ නම් හිර ගෙවල පවතින දූෂණ හා අක්රමිකතා පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගත හැකි වේ. දැනටත් ඉඳ හිට බන්ධනාගාර පරීක්ෂකයින් බන්ධනාගාරවලට යන එන නමුත් ඔවුන් නිලධාරීන් හමු වී කතා කරනවා විනා සිරකරුවන් හමුවී කතා කිරීමට කැමැත්තක් නොදක්වන නිසා ඉඳ හිට හෝ සිරකරුවන් හමු වී සාකච්ඡා කිරීමට යන අවස්ථාවලදී පවා නිලධාරීන් කැටුව යන නිසා මෙබඳු දූෂණ පිළිබඳ වැදගත් තොරතුරු සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත. බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපිටදීම බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ පැමිණිලි කිරීමට තරම් සිරකරුවෝ මෝඩයෝ නොවෙති. ඔවුන් එසේ කරනවා නම් කළ යුත්තේ ඊට සුළු මොහොතකට පසු පෝරියල් එකකට මුහුණ දීමට සිදු වන බව දැන දැනයි. මේ නිසා බන්ධනාගාර කටයුතු පිළිබඳ සොයා බැලීමට හොඳ පරීක්ෂණ මණ්ඩලයක් ගොඩ නැගීමට ඉක්මන් පියවර ගන්නේ නම් එය කාලීන වශයෙන් ඉතාමත්ම වැදගත් පියවරක් වනු ඇත.
දිනපතා සිර ගෙවලට අළුතෙන් එන සිර කරුවනට බන්ධනාගාර ගේට්ටුවෙන් ලැබෙන්නේ තවත් කිහිප දෙනකුම විසින් ඇඳ කිලිටි වී ගිය ඇඳුම් කට්ටලයකි. සමහර විට මේ සිරකරුවන්ට සතියක් පමණ යන තුරු එම ඇඳුම් කට්ටලය සෝදා ගැනීමට අවස්ථාවක් නොලැබේ. සිර ගෙවලට නිතර යන එන අය අතර සමාජ රෝගීහු බහුල වශයෙන් සිටිති. මෙබඳු තත්ත්වයක් තිබියදීත් ඇඳුම් සම්බන්ධයෙන් එබඳු අදූරදර්ශී ප්රතිපත්තියක් අනුගමනය කිරීම නිසා සෙසු සිර කරුවන් අතරද සමාජ රෝග පැතිරී යාම නොවැළැක්විය හැකි දෙයක් වී තිබේ. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය වැනි තැනක ඉතාමත්ම අංග සම්පූර්ණ රෙදි සෝදන යන්ත්රයක් තිබියදීත් (කොළඹ මහ රෝහලේ සියළුම කිලුටු රෙදි සෝදා දෙනු ලබන්නේ මෙම යන්ත්රයෙනි) මෙබඳු අදූර දර්ශී පිළිවෙතක් අනුගමනය කිරීම ගැන පුදුම නොවී සිටිය හැක්කේ කාටද?
1971 අප්රේල් කාලය වනතෙක් අධ්යාපන කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සිරකරුවන් සඳහා සිර ගෙවල් තුළ ජ්යෙෂ්ඨ පංතිය තෙක් අධ්යාපනය [කියවිය නොහැක] 1971 අප්රේල් කාලය තුළ සිර ගෙවල් තුළ ඇති වූ තදබදය නිසා මෙම ක්රමය තාවකාලික ලෙස නවතා දමන්නට සිදු විය. දැන් එම තදබදය මග හැරී ඇති නමුත් තවමත් එම ක්රමය යළි අරඹා නැත. සිරකරුවන් යහපත් පුර වැසියන් බවට පත් කිරීම පිළිබඳ කාර්යයේදී අධ්යාපනයෙන් එයට බලවත් පිටිවහලක් ලැබෙන නිසා අධ්යාපන කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සිරකරුවන් ඒ සඳහා දිරි ගැන්වීම අවශ්යයෙන්ම කළ යුත්තකි. මේ සඳහා සිරකරුවන්ට නිවාඩු කාල වලදී අධ්යාපනික පංතිවලට සහභාගී වීමට අවශ්ය පහසුකම් සලසා දීම හා සිර ගෙවල් තිබෙන කමකට නැති පුස්තකාල ප්රති සංවිධානය කිරීම අවශ්ය වී තිබේ.
නව බන්ධනාගාර කොමසාරිස් වරයාට අති විශාල කාර්යභාරයක් පැවරී තිබේ. මෙහි වැදගත් කම කැපී පෙනෙන්නේ සිරකරුවන්ගේ එකාකාර නොවන ස්වරූපය දෙස බලන විටයි. අද බන්ධනාගාරවල, සොරුන්, මිනී මරුවන්, මං කොල්ලකරුවන්, විනිමය වංචාකරුවන් හා ණය පැහැර හැරීම, දඩ නොගෙවීම වැනි සුළු වැරදි කරන ලද අයවලුන්ගේ පටන් දේශපාලන වශයෙන් නොමඟ ගිය අති වාමාංශික තරුණයින් දක්වා ඒකාකාර නොවන පිරිසක් සිටිති. බන්ධනාගාර කොමසාරිස් වරයාගේ කාර්යය වී ඇත්තේ මේ සියළු දෙනාම සමාජයට වැඩදායක යහපත් පිරිසක් බවට පත් කිරීමය. ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ ඇමැතිවරයාගේද අනුග්රහය ඇතුව යටත් විජිත බන්ධනාගාර රටාව වර්තමාන තත්ත්වයන්ට උචිත ලෙස ප්රතිසංවිධානය කරමින් සිටී. එය සාර්ථක කර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාට [කියවිය නොහැක] ගෙන් අවශ්ය තරම් සහාය ලැබෙනු ඇත.
Editor’s Note : The third of Victor Ivan’s prison articles in Aththa under the pseudonym Jayasena Akmeemana, following his pieces of 14 May and 11 June 1974. Unlike the first two, which analyse the agrarian economy from a distance, this one is written from direct experience. He was then held in Welikada, and details such as the laundry machine that washed Colombo General Hospital’s linen could only come from someone inside. “Poriyal” (පෝරියල්) was prison slang for a beating by several guards at once. Ivan refers to an unnamed new Commissioner of Prisons and to the Minister of Justice, who in 1974 was Felix Dias Bandaranaike. His proposal for an independent panel that could meet prisoners without guards present anticipates the accountability themes of his later journalism. Three lines of the original are lost to folds in the clipping.