ර්තමාන කෘෂිකාර්මික අර්බුදයේ ද්රව්යමය පදනම සොයා ගැනීමට නම් ධනේශ්වර නිෂ්පාදනයේ ‘ආරම්භක අවස්ථාව’ වූ ‘නොදියුණු ඒකීභූතිය’ (PRIMITIVE ACCUMULATION) නමැති ක්රියාවලිය ලංකාවේ ඇතිවීම දෙස ආපසු හැරී බැලීමට අපට සිදුවේ. එක් කෙළවරක මිල මුදල් හා නිෂ්පාදන මාර්ග සුළු පිරිසක් අතට සංකේන්ද්රනයවීම හා තවත් කෙළවරක නිෂ්පාදන මාර්ග වලින් හා රදළ බැඳීම් වලින් මිදුනු නිදහස් නිර්ධනින් බිහිවීම නොදියුණු ඒකීභූතිය යන්නෙන් අදහස්වේ.
කොල්ල කෑ හැටි අපි දනිමු
ඉංග්රීසීන් විසින් අපේ රටේ ගොවි ජනතාව සතු ඉඩකඩම් කොල්ල කාගනු ලැබූ අන්දම අපි කවුරුත් හොඳින් දනිමු. ඉඩම් කොල්ලකෑම ධනේශ්වර පංතියට හේතු දෙකක් නිසා අත්යාවශ්ය කාර්යයක් විය. පළමුවෙන්ම ධනේශ්වර වතු වගාව සඳහා ඔවුන්ට භූමිය අවශ්ය විය. දෙවනුව ඔවුන්ගේ ප්රාග් ධනය සඳහා වැටුප් ශ්රමය ලබාගත හැක්කේ ඉඩම් වගාකරමින් සිට ඒවා අහිමි වුණු ගොවි ජනතාව තුළිනි. විශේෂ හේතූන් දෙකක් නිසා එනම් ධනේශ්වර වතු වගාවට යට නොවී තවත් කැලෑ බිම් විශාල ප්රමාණයක් ඉතිරි වී තිබීම නිසා හා [කියවිය නොහැක] වැඩවසම් ඉඩම් තවත් විශාල ප්රමාණයක් ඉතිරි වී තිබීම නිසා ඔවුන්ට තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් මේ ගොවි ජනතාව තුළින් වැටුප් ශ්රමය ලබාගත නොහැකි විය. කාලාන්තරයක් තිස්සේ ප්රවේණි දාස ක්රමයට හුරුපුරුදු වී සිටි මේ ගොවි ජනතාවගෙන් විශාල කොටසක් ඉතිරි වී තිබූ එම වැඩවසම් ඉඩම්වලට ගොනු වූ අතර තවත් විශාල කොටසක් වතු වගාවට යට නොවූ ප්රදේශ කරා සංක්රමණය විය. 1911 ජන ලේඛනයට අනුව අනුරාධපුර දිස්ත්රික්කයේ ජන ගහනයේ 72% ක්ම උඩරටියෝ වූහ. එය මෙම සංක්රමණයට දැක්විය හැකි කදිම සාක්ෂියක් වේ. භූමියෙන් පලවා හරින ලද ගොවි ජනතාව තුළින් වැටුප් ශ්රමය ලබාගත නොහැකි වූ විට ඉන්දියානු සංක්රමණික කම්කරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් ඔවුහු එම අඩුපාඩුව පිරිමසාගත් බව අපි දනිමු. යම හෙයකින් යුරෝපීය රටවල මෙන් භූමියෙන් පලවාහරින ලද ගොවි ජනතාව වැටුප් ශ්රමයට මාරු වූයේ නම් ලංකාවේ අද පවතින කෘෂිකාර්මික අර්බුදය මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණි.
විජාතික ධනපතියන්ගේ ඉඩම් කොල්ලය නිසා විපතට පත් උඩරට ගැමි ජනතාව පිළිබඳ අනුවේදනීය විස්තර රාශියක් තරමක් ජාතිවාදී ස්වරූපයකින් වුවත් ලියා ඇති උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාවේ සඳහන්වේ. කොත්මලේ පවුල් 7,504 න් පවුල් 2,723 කටත් හාරිස්පත්තුවේ පවුල් 14,000 න් 3000 කටත්, බින්තැන්නේ පවුල් 2500 න් 905 කටත්, උඩුනුවර හා යටිනුවර පවුල් 12,116 න් 3,075 කටත් එක බිම් අඟලකුදු නැති බව එහි සඳහන් වේ. ඉඩම් හිඟය උඩරටට පමණක් සීමාවූවක් නොවේ. එය මුළු ලංකාවපුරා පැතිර තිබුණි. 1951 වනවිට ලංකාවේ ඉඩම් හිඟයේ සාමාන්ය ප්රතිශතය 26.3% ක් විය. සමහර දිස්ත්රික්ක වල එය සාමාන්ය ප්රමාණය ඉක්මවා තිබුණි. මඩකලපුව, නුවරඑළිය මාතලේ හලාවත හම්බන්තොට රත්නපුරය හා යාපනය යන දිස්ත්රික්කවල එය පිළිවෙලින් 57.8% ක් 41.8%ක් 34.9% 34.0%ක් හා 32.2%ක් විය. මීට අමතරව සමහර කෘෂිකාර්මික පවුල්වලට ඉඩම් තිබුණේ වී නමුත් ඒවා වගා කිරීමට තරම් ප්රමාණවත් නොවීය.
පවුලකට අක්කර 5 යි
මේ රටේ පිළිගත් මිනුම් ක්රමය අනුව එක් කෘෂිකාර්මික පවුලක නඩත්තුව සඳහා අවශ්ය ඉඩම් ප්රමාණය අක්කර 5 කි. මේ මිනුම් ක්රමය උපයෝගී කරගෙන බලන විට ලංකාවේ කෘෂිකාර්මික පවුල් 80% කට පමණ ආර්ථික ඉඩම් නොතිබුණි. ඉඩම් ඇති කෘෂිකාර්මික පවුල් 27% කට තිබුණේ අක්කර 1 කට අඩු ඉඩම් ප්රමාණයකි. 42% කට තිබුණේ අක්කර 2 කට අඩු බිම් ප්රමාණයකි. ලංකාවේ සම්ප්රදායානුකූල භුක්ති ක්රමය නිසා මේ ඉඩම් හිඟය තවතවත් තීව්ර කරයි. පාතදුම්බර සමාලෝචන වාර්තාවේ දැක්වෙන පරිදි එහි ඉඩම් පරම්පරා දෙකක කාලයක් තුළ හය ගුණයක කැබලිවීමක් සිදුවී තිබේ. එහිදී කරුණ දක්වා සිටියවුන්ගේ දෙමාපියන්ට උරුමවී තිබුණ කුඹුරු ඉඩම් ප්රමාණය අක්කර .778 ක් විය. කරුණ දක්වා සිටියවුන්ට උරුමවී තිබුණේ අක්කර .365 කි. ගොඩ ඉඩම් සම්බන්ධයෙන් නම් එය පිළිවෙලින් අක්කර 2.254 ක් හා 1.225 ක් විය. 1946 දී 771,908 ක් වූ කුඹුරු කොටස් සංඛ්යාව 1952 වන විට 939,000 දක්වා වර්ධනය වීමෙන් පෙනී යන්නේ පවතින සම්ප්රදායානුකූල භුක්ති ක්රමය යටතේ ඉඩම් කැබලිවීමේ තීව්රතාවයයි.
තට්ටුමාරුව මේ වෙනුවෙන් දැක්විය හැකි තවත් උදාහරණයකි. ඉඩමක් කැබලි කළහැකි අන්තිම සීමාව දක්වා කැබලි වූ විට තට්ටුමාරුව උපදී. 1946 දී තට්ටුමාරුව යටතේ පැවැති කුඹුරු ඉඩම් ප්රමාණය අක්කර 58,502 ක් විය. ඉඩම කෘෂිකර්මය සඳහා අවශ්ය වැදගත්ම සාධකයක් වේ. නමුත් අපේ රටේ කෘෂිකාර්මික ජනතාවගෙන් වැඩි කොටසකට ඉඩම් නොතිබුණි. තැනතැනක තිබුණ ඉඩම් යැපීමට තරම් ප්රමාණවත් නොවීය. එවැනි අයට වැඩිපුර ඇති අයගෙන් ඉඩම් ලබාගැනීමට සිදුවේ. බදු ගැණුම්කාර ගොවි ස්ථරය සකස් වී ඇත්තේ මේ අයගෙනි. 1946 දී ඔවුන් වගා කර තිබුණු කුඹුරු ඉඩම් ප්රමාණය අක්කර 212,151 ක් වූ අතර එය අස්වද්දන ලද මුළු කුඹුරු ඉඩම් ප්රමාණයෙන් 23.6% ක් විය. ඔවුන්ගේ ප්රතිශතය ගම්බද ජනගහනයෙන් 7.1% ක් විය. ලංකාවේ ගොවි ජනතාවගේ ඊළඟ ස්ථරය සකස් වී ඇත්තේ අයිතිකාර ගොවීනගෙනි. 1946 වන විට ඔවුන් විසින් වගාකර තිබුණු කුඹුරු ඉඩම් ප්රමාණය අක්කර 4,95,525 ක් වූ අතර එය අස්වද්දන ලද මුළු කුඹුරු ඉඩම් ප්රමාණයෙන් 55.1% ක් විය. මේ අයගේ ප්රතිශතය ගම්බද ජනගහනයෙන් 13.8%ක් විය. මේ ගොවි ස්ථර දෙක පිළිබඳව වඩාත් නිවැරදි විස්තර ලබාගත හැකිවී තිබෙන්නේ පාතදුම්බර සමාලෝචන වාර්තාවෙන් පමණි. ඔවුන් ගැන එහි ඇඳ ඇති චිත්රය මුළුමනින්ම වාගේ උඩරට ප්රදේශ වලටත් සාමාන්ය වශයෙන් මුළු ලංකාවටත් හොඳින් ගැළපේ.
පාතදුම්බර වී නිෂ්පාදකයින්ගෙන් 32%කම අයිතිකාර ගොවීහු වූහ. ඔවුන් එහි මුළු කුඹුරු ඉඩම් ප්රමාණයෙන් 31% ක් වගාකර තිබුණි. එහි අයිතිකාර ගොවි ස්ථරයේ සංයුතිය සකස් වී තිබුණේ වතු හිමියන්, ව්යාපාරිකයින්, වේතන ලබන්නන් වතු කම්කරුවන් තාවකාලික කුලීකරුවන් ගම්බද ශිල්පීන් හා ගොඩ ඉඩම් වගා කරන්නන් යන අයගෙනි. මේ ගණයට වැටෙන වතු හිමියන් ව්යාපාරිකයින් හා වේතන ලබන්නන්ගේ ප්රතිශතය 28% ක් වූ අතර වතු කම්කරුවන් තාවකාලික කුලීකරුවන්, ගම්බද ශිල්පීන් හා ගොඩ ඉඩම් වගා කරන්නන් යන අයගේ ප්රතිශතය 72% ක් විය. ගම්බද අයිතිකාර ගොවීන්ගෙන් ඉතාමත් වැඩි කොටස දිළිඳු බවත් ගොවිතැනින් ලබන ආදායම ඔවුන්ගේ යැපීමට තරම් ප්රමාණවත් නොවන නිසා ගොවිතැන් නොවන වෙනත් අය මාර්ග කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීමට සිදුවී තිබෙන බවත් මේ අනුව පෙනී යයි.
පාතදුම්බර ගණන් හිලව්
පාතදුම්බර අයිතිකාර ගොවියා කුඹුරු වැඩකරන එක් දිනයක් වෙනුවෙන් උපයන ලද ආදායම රුපියල් 2.59 ක් විය. කුඹුරු ඉඩම් අක්කරයකින් ලද වාර්ෂික ආදායම රු. 337.53ක් විය. ඔවුන්ගේ සාමාන්ය වාර්ෂික ආදායම රුපියල් 1,181 ක් විය. සාමාන්ය ආදායම ගණන් ගැනීමේදී වතු හිමියන් ව්යාපාරිකයන් හා වේතන ලබන්නන් කිහිප දෙනකු ඊට ඇතුළත් කර තිබෙන නිසා ඔවුන් ලද සාමාන්ය ආදායම පිළිබඳ නිවැරදි චිත්රයක් ලබාගත නොහැකිවේ. මේ නිසා ඔවුන්ගේ සාමාන්ය ආදායම වෙන් වෙන් වශයෙන් සලකා බැලීම වඩාත් උචිතවේ. අයිතිකාර ගොවීන්ගෙන් 29% ක් පමණ වූ තාවකාලික කුලීකරුවන්ගේ සාමාන්ය වාර්ෂික ආදායම රු. 933.11 ක් වූ අතර 11% ක් පමණ වූ වතු කම්කරුවන්ගේ එය රු. 618.75 ක් විය. 19% ක් පමණවූ ගොඩ ඉඩම් වගා කරන්නන්ගේ එය රු. 697.10 ක් විය.
බදු ගැණුම්කාර ගොවීන් හවුල් අස්වැන්න ලබන ගොවීන් පිළිබඳව එහි ඇඳ ඇති චිත්රය මෙසේය. එහි බදු ගැණුම්කාර ගොවීන්ගේ ප්රතිශතය 61% ක්වූ අතර එහි කුඹුරු ඉඩම්වලින් 51%ක්ම වගාකර තිබුණේ ඔවුන් විසිනි. එම වාර්තාව එහි හවුල් අස්වැන්න ලබන ගොවීන් ප්රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර දක්වයි. එක් කොට[කියවිය නොහැක] හා අර්ධ වශයෙන් හවුල් අස්වැන්න ලබන්නන් වූ අතර අනෙක් කොටස මුළුමනින්ම හවුල් අස්වැන්න ලබන්නෝ වූහ. පළමු ගනයට අයත් වූවන්ගේ ප්රතිශතය 34% ක්වූ අතර දෙවැන්නනගේ ප්රතිශතය 66% ක් විය. පළමු ගනයට වැටෙන අයගෙන් 25%[?] ක්ම තාවකාලික කුලීකරුවන් වූ අතර තවත් 29%ක් ගොඩ ඉඩම් වගා කරන්නෝ වූහ. 8%ක් වතු කම්කරුවෝය. මේ ගනයට වැටෙන තාවකාලික කුලීකරුවන්ගේ වාර්ෂික ආදායම රුපි. 864 ක් වූ අතර වතු කම්කරුවන්ගේ හා ගොඩ ඉඩම් වගාකරන්නන්ගේ එය පිළිවෙලින් රුපි. 893 ක් හා 890 ක් විය. දෙවැනි ගනයට වැටෙන ගොවීන්ගෙන් 57%ක්ම තාවකාලික කුලීකරුවන් වූ අතර 16% ක් කුඩා ගොඩ ඉඩම් වගාකරන්නෝ වූහ. වතු කම්කරුවන්ගේ ගණන 6%ක් විය. මේ ගණයට වැටෙන තාවකාලික කුලීකරුවන්ගේ වාර්ෂික ආදායම රුපි. 711 ක් වූ අතර වතු කම්කරුවන්ගේ හා ගොඩ ඉඩම් වගා කරන්නන්ගේ එය පිළිවෙලින් රුපි. 920 ක් හා 699 ක් විය. අයිතිකාර ගොවියාට මෙන්ම හවුල් අස්වැන්න ලබන ගොවියාටත් කුඹුරු ගොවිතැනින් ලැබෙන ආදායම ප්රමාණවත් නොවන නිසා වෙනත් ආදායම් මාර්ග කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවී ඇති බව මේ අනුව පෙනී යයි.
පාතදුම්බර හවුල් අස්වැන්න ලබන ගොවියා කුඹුරේ වැඩ කරන එක් දිනක් වෙනුවෙන් උපයන ලද ආදායම රුපි. 1.30 ක් විය. එය හරියටම අයිතිකාර ගොවියා උපයන ලද ආදායමෙන් අඩකි. කුඹුරු අක්කරයකින් ඔහු ලැබූ ශුද්ධ ආදායම රුපි. 113.58 ක් විය. 1950 දී ගම්බද පවුලක සාමාන්ය වාර්ෂික ආදායම රු. 1,130.48 හා සාමාන්ය වියදම වූ රු. 964.40 සමඟ මේ ගණන්හිලව් සසඳා බලන විට පාතදුම්බර අයිතිකාර ගොවීන් හා හවුල් අස්වැන්න ලබන ගොවීන්ගෙන් අති විශාල බහුතර කොටසේ වාර්ෂික ආදායම ලංකාවේ ගම්බද පවුලක සාමාන්ය ආදායමට වඩා පහත් මට්ටමක පැවති බවත් ඔවුන්ගේ වියදම ආදායමට වඩා ඉදිරියෙන් තිබූ බවත් පෙනී යයි. මෙය පාතදුම්බර සම්බන්ධයෙන් පමණක් නොව මුළු ලංකාවේම අයිතිකාර හා හවුල් අස්වැන්න ලබන ගොවිජනතාවගේ බහුතරය සම්බන්ධයෙන් සැබෑවේ. සේවා පහසුකම්වල ඌනතාවය, ස්වභාවික විපත්, වෙළඳ[?] පොළේ පහත් මිල ගණන් හා ඉඩම් හිමියන් ව්යාපාරිකයින්, වෙළෙන්දන් හා අතරමැදියන්ගේ ගසාකෑම එද ගොවි ජනතාවගේ හීන ආදායම් තත්ත්වයට හේතු විය. ඔවුන්ගේ හීන ආදායම් තත්ත්වය වැඩි වැඩියෙන් විද්යාව උපයෝගී කර ගැනීමෙන් ඔවුන් වැළකූ අතර එය පෙරළා ඔවුන්ගේ නිෂ්පාදනය කෙරෙහිත් ආදායම් තත්ත්වය කෙරෙහිත් බලපෑවේ ය. මෙසේ දිළිඳුකම නම් විෂම චක්රයක් ලෙස ඔවුන් වටා භ්රමණය වෙමින් තිබුණි.
1950 දී ලංකාවේ ගම්බද ණයගැතිකම 30% ක් විය. වාර්ෂික ආදායමෙන් ණයවී සිටි ප්රමාණය 22%ක් විය. ඉතිරිකිරීම 12% ක් විය. 1957 වන විට ගම්බද ණයගැතිකම 54% දක්වාත් වාර්ෂික ආදායමෙන් ණයවී සිටි ප්රමාණය 67% දක්වාත් වර්ධනය වී තිබුණි. ඉතිරිකිරීම 4% දක්වා පහත වැටී තිබුණි. භූත බලවේගයක් ලෙස ගම්බද පුරා පැතිරී ගිය ධනපති ක්රමය විසින් ගම්බද දුප්පත්කම වඩ වඩාත් තීව්ර කළේය. උගස් ක්රමය වේගයෙන් පැතිරී ගියේය. මේ යටතේ ගැමි ජනතාව සතු ඉඩම් තව තවත් ඔවුන් අතින් ගිලිහියාම වේගවත් විය. පාතදුම්බර කුඹුරු ඉඩම් වලින් 10% ක්ද ගොඩ ඉඩම් වලින් 4% ක්ද උගසට යට වී තිබුණි. අයිතිකාර ගොවියා ගොවි කුලී කරුවෙකු බවටත් පත්කර ලීමේ ක්රියාවලිය පුදුම උපදවන සුළු වේගයකින් ක්රියාත්මක වුණි. 1946 දී 61%ක්වූ අයිතිකරු විසින් වගා කරන ලද කුඹුරු ඉඩම් ප්රමාණය 1955 වන විට 55% දක්වා අඩු වී තිබුණි. 1946 අඳ ගොවීන් විසින් වගා කර තිබුණු 30% ඉඩම් ප්රමාණය 1955 වන විට 43% දක්වා වර්ධනය වී තිබුණි. 1951 දී 35% ක් වූ ගම්බද කුලීකරුවන්ගේ සංඛ්යාව 1957 වන විට 44% දක්වා වර්ධනය වී තිබුණි.
අපේ රටේ වෙනසක් විය
දියුණු යුරෝපීය රටවල මෙන් කෘෂිකර්මය කෙරෙන් පලවා හරින ජනතාව මුළුමනින්ම වාගේ උරා ගැනීමට ප්රමාණවත් මට්ටමේ කාර්මික සංවර්ධනයක් අපේ රටේ ඇති නොවිය. අර්බුදය වඩාත් තීව්ර කරන ලද්දේ මෙම ප්රතිවිරෝධයයි. මෙම අර්බුදය තුළ ජීවත් වූ ගොවි ජනතාවට ඉන් අත්මිදීමේ විකල්ප ක්රියා මාර්ගයක් අවශ්ය වී තිබුණි. ඔවුන් සොයාගත් ඒ ක්රියා මාර්ගය තමා තම දූ දරුවන්ට උසස් අධ්යාපනයක් ලබා දීම, යටත් විජිත පාලකයින් විසින් එයට පනවා තිබූ සමහර බාධක 1956 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ඉවත් කරන ලද හෙයින් ගමන ආරම්භ කිරීම වඩාත් පහසු විය. විශාල වශයෙන් ගම්බද ගොවි දූ දරුවෝ උසස් අධ්යාපනය කරා ඇදී ගියෝය. ගම්බද ගොවි දරු දැරියන් ගෙන් උසස් අධ්යාපන ආයතන පිරී ඉතිරී ගියේය. ගොවි ජනතාවට තම අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා තම දූ දරුවන්ගේ උසස් අධ්යාපන කටයුතු වෙනුවෙන් ණය තුරුස් වීමටත් සමහර විට කණකර ආභරණ හා ඉඩකඩම් පවා උගස් තැබීමටත් සිදුවුණි. ඔවුන්ගේ දූ දරුවන්ද සියලු දෙනාගේම අපේක්ෂාවන් ඉක්මනින් ඉටුකරදීම හා ඉටුකරගැනීම සඳහා දැඩි උනන්දුවකින් යුතුව අධ්යාපනික කටයුතුවල නිරතවිය. මේ සියලු දෙනාගේම මෙකී අපේක්ෂාවන් සිහිනයකට වැඩි දෙයක් නොවූ බව අපි දනිමු. උසස් අධ්යාපන ආයතන වලින් පිටවී එන තරුණයින්ට රැකියා ලබාගැනීම පහසු දෙයක් නොවිය. ගොවිජනතාවගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් උසස් අධ්යාපනයක් ලත් ඔවුන්ගේ දූ දරුවන්ද රැකියා විරහිත වූවන්ගේ පෙළට එක්වන්නට සිදුවිය. 1960 දී 1,52,092 ක්වූ රැකියා විරහිත ලියාපදිංචි වූවන්ගේ සංඛ්යාව 1966 දී 236,931 ක්වී 1969 දී එය 341,286 දක්වා වර්ධනය විය. 1969–70 දී පවත්වන ලද සමාජ ආර්ථික සමීක්ෂණයට අනුව සේවා වියුක්තවූවන්ගේ සංඛ්යාව 552,000 ක් විය. මෙයින් 379,000 ක්ම ගම්බදින් වීම මෙහි කැපී පෙනෙන ලක්ෂණය විය. ඔවුන්ගෙන් 22.5% ක්ම ප්රාථමික අධ්යාපනයක් ලැබූවෝය. ජී. සී. ඊ. (සාමාන්ය පෙළ) විභාගය සමත්වූවන්ගේ සංඛ්යාව 24.1%ක් විය. උසස් පෙළ විභාගය හා ඊට උසස් අධ්යාපනයක් ලද්දවුන්ගේ සංඛ්යාව 3.3%ක් විය. අපේක්ෂා භංගත්වය තරුණ පරපුර අතර හොල්මන් කරන්නට වූයේ ඒ ආකාරයෙනි.
දෙමාපිය ආකල්පය
කෘෂිකර්මය ආර්ථික වශයෙන් ඵලදායී නොවීම නිසා රැකීරක්ෂා විරහිතව සිටි මේ තරුණ පරපුර කෘෂිකර්මය වෙත නැඹුරු නොවූහ. ඔවුන්ගෙන් අතලොස්සක් දෙනා තුළ එවැනි නැඹුරුවක් තිබුණත් ඔවුන්ගේ ගොවි දෙමාපියන් විසින් එය වලකන ලදී. ඔවුන්ගෙන් එවැනි ප්රතික්රියාවක් එල්ලවූයේ තමන් වැටීසිටින තරාවලට තමන්ගේ දූ දරුවන්ද ගෙන්වා ගැනීමට ඔවුන් කැමැත්තක් නොදැක්වූ නිසයි. වර්තමාන තරුණ අසහනයේත් කෘෂිකාර්මික අර්බුදයේත් අන්යෝන්ය සම්බන්ධතාවය පැහැදිලිය.
කෘෂිකාර්මික අර්බුදයෙන් [කියවිය නොහැක] ආහාරයෙන් රට ස්වයංපෝෂිත කිරීම බව රජය දැනටමත් නිලවශයෙන් පිළිගෙනතිබේ. එම කටයුත්තට නායකත්වයදීම සඳහායි දේශපාලන අධිකාරයක් ගොඩ නැංවූයේ. මේ වෙනුවෙන් දැනටමත් ඉඩම් ප්රතිසංස්කරණයක් ක්රියාවට නගාතිබේ. කෘෂි ද්රව්ය ආනයනය සීමාකර ඇති අතර ගොවි ජනතාවගේ අවශ්යතාවයන්ට සරිලන පරිදි බැංකු ප්රතිපත්තිය වෙනස්කර තිබේ. මේ නිසා ගොවිජනතාවට වඩාත් හොඳ සේවා පහසුකම් ලබාගැනීමට හැකිවී තිබේ.
මේ වැඩපිළිවෙළට මුළුමහත් තරුණ පරපුරේ සහයෝගය ලබාගැනීමට අදාළ ඓතිහාසික සාධක තිබෙන බව හරියට තේරුම් ගෙන මුළු මහත් වත්මන් තරුණ පරපුරේ ප්රශ්න විසැඳෙන ලෙසට වගා සටන මෙහෙයැවීමේ ඉක්මන් පියවරවල් ගැනීම රජයේත් වගා අධිකාරීවලත් අද යුතුකමය. වගා සංවර්ධන පියවර ගැනීමට පෙර රජය සමඟ හතුරුවූ තරුණ කොටස් පවා රජයට දිනාගැනීමේ හැකියාවක් හොඳටම තිබේ.
Editor’s Note: Written from prison under the pseudonym Jayasena Akmeemana and published four weeks after his article on rice self-sufficiency (Aththa, 14 May 1974), this piece takes the same agrarian analysis further and links it to the youth unemployment behind the 1971 insurrection. Its closing call, to win back young people who had turned against the state, is notable from a writer imprisoned for his part in that uprising. Two lines of the original are lost to folds in the clipping.