අපේ රටේ අධිරාජ්ය විරෝධී ප්රගතිශීලි බලවේගයන් මධ්යකාලීන හා නව යටත් විජිත දාස භාවයට එරෙහිව එහි ආධාරකරුවන් සමඟ රුදුරු අරගලයක් කරමින් සිටී. මේ වන විට එම අරගලයේදී ප්රගතිශීලි බලවේගයන්ට නායකත්වය දී ඇත්තේ සමගි පෙරමුණු ආණ්ඩුවයි. ඒ කෙරෙන් එල්ල වී ඇති ප්රහාරයන්ගේ තියුණු භාවය නිසාම ප්රතිගාමී බලවේගයන් පැරණි ප්රජාතන්ත්රවාදී ස්වරූපයෙන් ඉවත්ව නව පැසිස්ට්වාදී ස්වරූපයකට මාරු වී සිටී. මේ ප්රතිවිරුද්ධ බලවේගයන් දෙක අතර කෙරෙන අරගලය අරක් නොගත් ක්ෂේත්රයක් නැති තරමය. හැම කෙනෙකුම හැම ක්ෂේත්රයක්ම එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් මේ අරගලයට මැදිහත් වී තිබේ. මෙතෙක් කෙරුන අරගලයන් සමහර ක්ෂේත්රවල සමගි පෙරමුණට ජය ලැබී ඇති අතර තවත් සමහර ක්ෂේත්රවල ප්රතිගාමී බලවේගයන්ට ජය ලැබී තිබේ. මේ වන විට මෙම අරගලය තුළ පෙනෙන්නට තිබෙන විශේෂ ලක්ෂණය නම් ශක්තියේ බල තුලනය ප්රගතිශීලි බලවේගයන්ට වාසිදායක ලෙසත් ප්රතිගාමී බලවේගයන්ට අවාසිදායක ලෙසත් මාරුවී තිබීමයි. නිෂ්පාදන සංග්රාමය ප්රගතිශීලි බලවේගයන් ජාතික ස්වාධීනත්වය පතා කරන මෙම අරගලයේ ප්රධාන ලිවරය බවට පත්වී තිබේ. ඉනුත් වී නිෂ්පාදනය එහි මධ්ය ලක්ෂය වශයෙන් හැඳින්විය හැක. වී නිෂ්පාදන ක්ෂේත්රය තුළ කෙරෙන මෙම අරගලයේ විශේෂ ස්වරූපය තේරුම් ගැනීම සඳහා 1974 මහ කන්නයේ ප්රතිඵල නිරීක්ෂණයට ලක් කිරීම වැදගත් වේ.
පසුගිය වර්ෂයේ මහ කන්නයේ වී නිෂ්පාදනය බුසල් 4 කෝටි 20 ලක්ෂයක් විය. මෙවර එය 5 කෝටි 50 ලක්ෂයක් විය. මෙය සියයට 23 ක වැඩි වීමකි. මෙවර මහ කන්නයේ නිෂ්පාදිත ඉලක්කය බුසල් 4 කෝටි 70 ලක්ෂයක් වූ අතර සියයට 14 කින් එම ඉලක්කය ඉක්මවීමට හැකිවී තිබේ. ප්රගතිශීලි බලවේගයන් 1974 මහ කන්නයේ වී නිෂ්පාදන ක්ෂේත්රය තුළ ලබා ඇති වැදගත්ම ජයග්රහණය එයයි.
වී නිෂ්පාදන ක්ෂේත්රය තුළ සමගි පෙරමුණ පැසිස්ට්වාදීන් අභිබවා ජයගෙන ඇති නමුත් වී මිලදී ගැනීමේ ක්ෂේත්රය තුළ සමගි පෙරමුණ පැසිස්ට්වාදී බලවේගයන්ට පරාජය වී තිබේ. එය සිදු වී ඇත්තේ මේ අයුරිනි.
පසුගිය වර්ෂයේ මුල් හයමස තුළ වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ප්රමාණය බුසල් 1 කෝටි 80 ලක්ෂයක් විය. මේ වර්ෂයේ එම කාලසීමාව තුළ වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකිවී තිබෙන්නේ බුසල් 1 කෝටි 25 ලක්ෂයකි. එය කලින් වර්ෂයට වඩා සියයට 30 ක අඩුවීමකි. 1974 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලයේ ඉලක්කය බුසල් 1 කෝටි 50 ලක්ෂයක් විය. වී අලෙවි මණ්ඩලයට සපුරා ගැනීමට හැකිවී තිබෙන්නේ එම ඉලක්කයෙන් හරි අඩක් පමණි. එනම් මහ කන්නයේ නිෂ්පාදනයෙන් සියයට 24 කි. මහ කන්නයේ නිෂ්පාදනයෙන් සියයට 76 ක් තරම් විශාල ප්රමාණයක් (බුසල් 4 කෝටි 25 ලක්ෂයක් පමණ) තවමත් ගොවීන්ගේ අටුකොටු තුළ හෝ හොර ජාවාරම්කරුවන්ගේ ගබඩා තුළ ගොනු වී තිබේ. මින් සියයට 65 ක් තරම් විශාල ප්රමාණයක් හොර ජාවාරම්කරුවන්ගේ අතට පත්ව ඇතැයි සිතිය හැක්කේ රීතියක් වශයෙන් ගොවීන්ට සිය අතිරික්තය නොවිකුණා ඊළඟ කන්නය වගාකිරීමට හැකියාවක් නැති නිසයි. මේ අනුව හොර ජාවාරම් කරුවන් වී බුසල් 2 කෝටි 75 ලක්ෂයක් පමණ මිලදී ගන්නා විට වී අලෙවි මණ්ඩලයට මිලදී ගතහැකි වී තිබෙන්නේ වී බුසල් 1 කෝටි 25 ලක්ෂයක් තරම් සුළු ප්රමාණයකි. එම ක්ෂේත්රය තුළ ලබා ඇති පරාජයේ සාමාන්ය ස්වරූපය එයයි.
“පරාජය ජයග්රහණයේ මාතාව” යන්නෙන් පැරණි කියමනක් තිබේ. එහි සාමාන්ය අදහස වන්නේ ලබන හැම පරාජයකදීම ඒ පිළිබඳව නිවැරදි වාස්තවික තක්සේරුවක් කරයි නම් ලැබූ පරාජය ඊළඟවර ජයග්රහණයක් බවට පෙරළාගත හැකි වේය යන්නයි. අපිද මේ ක්ෂේත්රය තුළ ලැබූ පරාජය ගැන වාස්තවික තක්සේරුවක් කොට එයින් නිසි පාඩම් ලබා ක්රියා කරමු නම් මේ ක්ෂේත්රය තුළත් පැසිස්ට් වාදී බලවේගයන් පරාජය කිරීමට නියත වශයෙන්ම හැකිවනවා ඇත. විශේෂයෙන්ම මේ ක්ෂේත්රය ජයගැනීම අත්යවශ්ය වී ඇත්තේ ප්රගතිශීලි බලවේගයන්ගේ වැදගත්ම ඉලක්කය වී ඇති සහල් ආනයනය නතර කර දැමීම මුළුමනින්ම වාගේ ඒ මත රඳා ඇති නිසයි.
රජය මෙතෙක් ක්රියාවට නැගූ උපාය මාර්ගය වූයේ සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරය සියතට ගෙන වී බුසලේ සහතික මිල නැංවීම තුළින් වී අලෙවි මණ්ඩලයට වී විකිණීම කෙරෙහි ගොවීන් තුළ උනන්දුවක් ඇති කර වීමයි. රජය මේ සඳහා පසුගිය 17 මස තුළ 4 වතාවක්ම වී බුසලේ සහතික මිල රුපියල් 14 සිට 33 දක්වා වැඩි කරන ලදී. එහෙත් අපේක්ෂාවන් සපුරා ගැනීමට නොහැකි විය. රජය සහතික මිල වැඩි කරන හැම අවස්ථාවකදීම හොර ජාවාරම්කරුවාද තමන් ගෙවන මිල ඊට වැඩිපුර ප්රමාණයකින් වැඩි කරයි. නිෂ්පාදන වියදම් පුදුම උපදවන සුළු වේගයකින් ඉහළ යාම නිසා දේශපාලන වශයෙන් වැඩුණු ගොවි කොටස් පවා නොවැළැක්විය හැකි ලෙස හොර ජාවාරම්කරුවන් වෙත ඇදීයයි. මේ නිසා වරින්වර සහතික මිල වැඩි කිරීම අසාර්ථක උපායමාර්ගයක් වී තිබේ. අනෙක් අතට සහතික මිල වැඩි කරන ප්රමාණයට සමානුපාතිකව සහල් සලාකයේ මිල වැඩි කරන්නට සිදුවන හෙයින් එය නාගරික කම්කරුවන්ට ඉසිලිය නොහැකි තරම් බරක් වෙමින් පවතී. මේ හේතුකොට ගෙන සලාක ක්රමය යටතේ බෙදා දීමට අවශ්ය සහල් අවශ්ය තරම් වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීමට හැකිවනු පිණිස නව උපාය මාර්ගයක් යොදා ගැනීම හදිසි අවශ්යතාවයක් වී තිබේ.
මේ සඳහා දැනටමත් යෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව තිබේ. ගොවීන්ට තම නිෂ්පාදනයෙන් හරි අඩක් විකිණීමට බල කෙරෙන නීති රීති සකස් කිරීමේ අවශ්යතාවය ගැන කරුණු ඉදිරිපත්වී ඇති අතර වී වෙනුවෙන් අළුත් වටිනාකමක් ඇති මුදලක් (මසුරමක්) නිකුත් කිරීමේ අවශ්යතාවය ගැන පී. වී. ඇස්. ද සිල්වා මහතා විසින් කරුණු ඉදිරිපත් කර තිබේ. මීට අමතරව මා විසින් ඉදිරිපත් කරන ලද වෙනත් යෝජනාවක් 1974 මැයි 17 වන දා ‘ඇත්ත’ පත්රයේ පළවිය. දිවයිනේ සියළුම අද බදු හා වැඩවසම් කුඹුරු ඉඩම් ඒවා වගාකරන ගොවීන්ට පවරා දෙන්නේ නම් වී අලෙවි මණ්ඩලයේ අවශ්යතාවයන් සපුරා ගැනීමට හැකි වනවාට අමතරව තවත් වැදගත් ප්රශ්න කිහිපයකටම ස්වයංකාරී විසඳුමක් ලැබෙන බව මම ඒ මගින් පෙන්වා දුනිමි.
සමීක්ෂණවලින් හෙළිදරව්වී ඇති කරුණු අනුව ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනයෙන් සියයට 25කට වැඩි ප්රමාණයක් බදුකුලී වශයෙන් ඉඩම් හිමියන්ගේ සාක්කුවලට ඇදී යයි. මෙය වී අලෙවි මණ්ඩලයට නොලැබෙන කොටසකි. බොහෝ විට හොරජාවාරම්කරුවන් වන්නේද මේ ඉඩම් හිමියෝමයි. මේ විශාල වී ප්රමාණය වී අලෙවි මණ්ඩලයට ලබාගත හැකි නම් වී අලෙවි මණ්ඩලයේ අවශ්යතාවයන් සපුරා ගත හැකිවේ.
මේ විශාල වී ප්රමාණය වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳම උපායමාර්ගය වන්නේ මේ වර්ගයට අයත් අද, බදු හා වැඩවසම් කුඹුරු ඉඩම් ඒවායේ හිමිකරුවන්ට සුදුසු වන්දියක් ගෙවා ඒවා වගාකරන ගොවීන්ට පවරාදී රජය මගින් ඉඩම් හිමියන්ට ගෙවන ලද වන්දි මුදල පියවෙන තුරු එකී ගොවීන්ගෙන් කලින් ඔවුන් ඉඩම් හිමියන්ට ගෙවන බදු කුලී වශයෙන් දුන් වී ප්රමාණය වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීමයි. ගොවීන් තමන් ගෙවිය යුතු වන්දිය වී වලින් ගෙවා අවසන්වූ පසු එම ඉඩමේ නීත්යානුකූල අයිතිය ඔවුන් වෙත පවරා දිය හැකිය. මේ උපාය මාර්ගය හවුල් අස්වැන්න ලබන ගොවීන් තුළද දැඩි උනන්දුවක් ඇති කරනු ඇත. මක්නිසාද යත් කලින් ඔහු සිය අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමියාට දුන්නේ බදු කුලී වශයෙන් වුවත් දැන් ඔහු එම කොටස වී අලෙවි මණ්ඩලයට දෙන්නේ බදු කුලී වශයෙන් නොව ඉඩමේ නීත්යානුකූල අයිතිකාරයා වීම සඳහා ගෙවන වන්දියක් වශයෙන් වන නිසයි. මේ නිසා ඉක්මනින් ඉඩමේ නීත්යානුකූල හිමිකරුවන් බවට පත්වීමට උනන්දුවක් දක්වන ගොවීන් නියමිත ප්රමාණයට වැඩි වී ප්රමාණයක් වුවත් වී අලෙවි මණ්ඩලයට දීමට ඉදිරිපත් වනු ඇත.
මේ ක්රියා මාර්ගය නිසා ඉඩම් අහිමිවන කුඹුරු ඉඩම් හිමියන්ට අසාධාරණයක් වේද? කුඹුරෙන් ලැබෙන බදු කුලිය තමන්ගේ ප්රධාන අය මාර්ගය වී ඇති කුඹුරු ඉඩම් හිමියන්ට පමණක් එය කිසියම් ආකාරයක පහරක් වනු ඇත. එහෙත් එවැනි අය සිටින්නේ සුළු ප්රමාණයකි. ගණනින් නම් කුඹුරු ඉඩම් හිමියන් බදු දෙන ඉඩම් හිමියන්ගෙන් සියයට 29 කි. ඉතිරි සියයට 71 ක් දෙනාගේම ප්රධාන අය මාර්ගය වී ඇත්තේ කුඹුරු ඉඩමෙන් ලැබෙන බදු කුලිය නොවේ. එය ඔවුන්ගේ අතිරේක අය මාර්ගයකි. ඔවුන් කුඹුරු ඉඩම්වලින් බදු කුලී වශයෙන් උපයන ආදායම ඔවුන්ගේ මුළු ආදායමෙන් සියයට 6 ක් පමණි. මේ ක්රියා මාර්ගය නිසා කිසියම් පහරක් වදිනවා නම් වදිනු ඇත්තේ ඉඩම් හිමියන්ගෙන් සියයට 29 දෙනකුට පමණි. පවරා ගනු ලබන සිය එම කුඹුරු ඉඩම් වෙනුවෙන් සුදුසු වන්දියක් ගෙවන නිසා එම පහරද කිසිසේත් බලවත් එකක් නොවනු ඇත.
මේ ක්රියා මාර්ගය නිසා ස්වයංකාරී ලෙස ඇතිවන යහපත් අතුරු ප්රතිඵල කිහිපයකි. ඒවා අතර හවුල් අස්වැන්න ලබන ගොවීන් වගා කරන කුඹුරු ඉඩම්වල (එහි ප්රතිශතය සියයට 43 ක් පමණ වේ) නිමවුමේ සීඝ්ර වර්ධනයක් ඇති වීම, කාලාන්තරයක් තිස්සේ විසඳා ගැනීමට නොහැකිව ගොඩ ගැසී පල්වෙමින් තිබෙන අද ගොවි ආරාවුල් ඉබේ විසඳීම හා බදු කුලී මගින් කුඹුරු ඉඩම් හිමියන් කරගෙන යන ගසා කෑම අහෝසි වීම නිසා හවුල් අස්වැන්න ලබන ගොවීන්ගේ ආදායම් තත්ත්වයේ ප්රගතියක් ඇති වීම යන ඒවා කැපී පෙනේ. මීට අමතරව මේ නිසා උදාවන යහපත් ප්රතිඵල අතර කාලීන වශයෙන් ඉතාමත් වැදගත් ප්රතිඵලයක් වනු ඇත්තේ ගම්බද හවුල් අස්වැන්න ලබන ගොවි ජනතාව පැසිස්ට් විරෝධී ග්රාමීය බලකායක් බවට පත්කිරීමයි.
Editor’s Note : The fourth of Victor Ivan’s prison articles in Aththa under the pseudonym Jayasena Akmeemana. It returns directly to the land-transfer proposal of his first article, which he cites by date, and recasts it as a practical answer to the Paddy Marketing Board’s procurement crisis in the 1974 Maha season. Its sharp language about “fascist” reactionary forces reflects the political vocabulary of the United Front period and of Aththa, the Communist Party daily. One line of the original is lost to a fold.