එක්තරා කාලයක සිට මට සුචරිතයෙන් තොරතුරු ලැබෙන වැදගත් මාර්ගයක් පෑදී තිබුණි. සුචරිතයෙන් මේ තොරතුරු දෙන පුද්ගලයා කව්දැයි මුලදී මම දැන නො සිටියෙමි. ඔහු තොරතුරු දුන්නේ දුරකථන මාර්ගයෙනි. ඔහු ගේ අනන්යතාව හඳුනාගැනීමට මා උත්සාය නො කළ අතර මා ඔහු හඳුනන්නේ කටහඬින් පමණ ය. සිරිතක් වශයෙන් ඔහු මා දුරකථනයෙන් අමතන්නේ මධ්යම රාත්රී කාලවල ය. ඔහු ඒ කථා කරන කවර අවස්ථාවකවත් සැහැල්ලුවෙන් කථාකර නැත. කථා කරන හැම විටමත් ඔහු මහත් භීතියකින් යුතුව කථා කරන බවක් පෙනෙන්නට තිබුණි. කථා කරන කිසි විටෙකත් අවසානයක් දක්වා එකවිට කතා නො කළ අතර කියන කථාවේ කිසියම් කොටසක් කියා පණිවිඩය අවලංගු වන ලෙස රිසීවරය තබා නැවත අවස්ථා ගණනාවක් ඔස්සේ නැවත නැවතත් කොටස් වශයෙන් කථාව සම්පූර්ණ කිරීමේ ක්රමයක් ඔහු යොදාගෙන තිබුණේ ය. මෙය එක දිගට දිර්ඝ කාලයක් වෙහෙසකට පත් කරන දුෂ්කර ක්රමයක් වුවත් ඔහු සුචරිතයේ සිට මා අමතන පුද්ගලයෙක් බව මා දැන සිටියෙන් ඉතා වැදගත් ප්රවෘත්ති මාර්ගයක් වශයෙන් ඔහු වැන්නකුට ලැබිය යුතුව තිබුණු වැදගත්කම සලකා ඔහු සඳහා පමණක් මම එම වදදෙන ක්රමයට ඇහුම්කන්දීමට පුරුදු වී සිටියෙමි.
සුචරිතයෙන් කතා කිරීම
මේ පුද්ගලයා විටින් විට සුචරිතයෙන් සිදුවන සමහර වැදගත් දේවල් මා වෙත අනාවරණය කළත් ඔහු කියන දේවල සත්ය අසත්යතාව පරීක්ෂෂා කරන මාර්ගයක් නොතිබුණෙන් ඔහුගෙන් ලබාගන්නා කිසිම තොරතුරක් පුවත් පතේ වාර්තා කරන පිළිවෙතක් මා අනුගමනය කළේ නැත.
එහෙත් එක්තරා සිද්ධියකින් මේ පුද්ගලයා දෙන තොරතුරු අව්යාජ බව තේරුම් ගැනීමට මට හැකි විය.
දිනක් මේ පුද්ගලයා මට දුරකථනයෙන් කථා කොට ජෝසිම්ට අදාළව සුචරිතයේ එදින ඇති වූ සිද්ධියක් වාර්තා කළේ ය. ඒ වනවිට ජෝසිමි සිටියේ ලංකාවේ ය. එදින සුචරිතයේ දී ජෝසිම් ජනාධිපතිවරයා හමු වූ බවත් ජෝසිම් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද චෙක්පතක් පිළිගැනීම ජනාධිපතිවරයා විසින් ප්රතික්ෂෙෂ්ප කරන ලද බවත් ඔහු කියා සිටියේ ය.
පසුව ඇති වූ වෙනත් සිද්ධියක් විසින් එම තොරතුරේ සත්යභාවය තහවුරු කර ගැනීමට මට හැකි විය. ජෝසිම් පිටුවහල් කර යැවීමෙන් පසුව තමා පිළිබඳව ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීන්දුව නැවත සලකා බලන ලෙසට ඉල්ලා ජෝසිම් ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් එවා තිබූ අතර එහි පිටපත් සමහර කැබිනට් ඇමතිවරුන් වෙත ද යවා තිබුණි. කැබිනට් ඇමතිවරයකු වෙතින් ඉන් පිටපතක් මා වෙත ද ලැබී තිබුණි. තමා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද චෙක්පත ප්රතික්ෂෙෂ්ප කිරීමේ සිද්ධිය ද එම ලියුමේ විස්තර කොට තිබුණි.
ඒ සිද්ධියක් සමඟ සුචරිතයේ සිට මේ තොරතුරු දෙන පුද්ගලයා දෙන තොරතුරු අව්යාජ වේ ය යන්න මාගේ පිළිගැනීම විය.
ලලිත් ඇතුළත්මුදලි මහතාගේ අවමංගල්ය උත්සවයට පෙර දින රාත්රියේ ද මේ පුද්ගලයා මා අමතා දුරකථනයෙන් කථා කළේ ය. අවමංගල්ය පෙරහැරට සංවිධානාත්මකව පුද්ගලයන් පිරිසක් රිංගවා නගරය දෙපස ඇති දේපළවලට පහර දෙන වැඩ පිළිවෙළක් සැළසුම් කොට ඇති බවත් එය වැළැක්වීම සඳහා කළ හැකි දෙයක් කරන ලෙසත් ඔහු මාගෙන් ඉල්ලා සිටියේ ය.
මම එදින රාත්රියේ ම ගාමිණි දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ ප්රමුඛ පෙළේ කිහිප දෙනකුම හමු වී මේ තත්ත්වය ඔවුන්ට විස්තර කොට දී කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට තිබෙන හැම ඉඩක් ම අහුරන ලෙස ඉල්ලා සිටියෙමි. මා කියන ලද දෙය ඔවුන් බැරෑරුම් කොට සැලකූ බවක් පෙනෙන්නට තිබුණු අතර එවැනි තත්ත්වයක් ඇති වීම වළකනු පිණිස සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ක්රියාවට නැගීමට අවශ්ය කටයුතු සංවිධානය කරන බවක් ද පෙනෙන්නට තිබුණි. අවමංගල පෙරහැරේ දී ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයේ අවුලක් මතුකර ගැනීමට නො හැකි වුවත් යම් යම් සිද්ධීන් ඇති වීම මුළුමණින් ම වැළැක්වීමට නො හැකි විය. පහරදීමක් ඇති කිරීමට මුල පිරූ පුද්ගලයකු පෙරහැර සංවිධායකයන් විසින් අල්ලා ගන්නා ලද අතර පරීක්ෂා කිරීමේ දී ඔහු අපරාධ පරීක්ෂෂණ බියුරෝවේ කෙනකු බව සොයාගත හැකි විය.
අප්රේල් 28 වැනි දින රාත්රියේදී සුචරිතයේ පුද්ගලයා වඩා වැදගත් තොරතුරක් ලබා දුන්නේ ය. මැයි 1 වැනි දින පැවැත්වෙන යූඇන්පී පෙළපාළියේ විශාල පිපිරීමක් ඇති කිරීමේ සැලැස්මක් ඇති බවත් පෙළපාළියට සහභාගී වන එජා පාක්ෂෂිකයන් විශාල පිරිසකට තුවාල කොට ඒ මගින් ජනාධිපති කෙරෙහි අනුකම්පාවක් හිමිකරදීම එම වැඩසටහනේ අරමුණ වී තිබෙන බවත් ඔහු කියා සිටියේ ය. කරන්න යන ඒ දේ මුල් පුවතක් මගින් හෙළිදරව් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
මැයි දිනයේ පිපිරීම
එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට කළ හැකිව තිබුණු හොඳම දේ එකී සැළැස්ම කල් තියා මහජනතාවට හෙළිදරව් කිරීම යයි මමද සිතුවෙමි. පුවත් පත පිට වීමට නියමිතව තිබුණේ 30 වැනි දා වන බැවින් මැයි දිනට ප්රථම එය රටට හෙළිදරව් කිරීමට මට අවශ්ය විය. ඒ අනුව ඒ පිළිබඳව ලියන ලද විශේෂ වාර්තාවක් මුල් ශීර්ෂය යටතේ පළවන ලෙස පුවත් පත සකස් කළෙමි. එහෙත් එම විශේෂ පුවත් පත කල්වේලා ඇතිව මහජනතාව අතට පත්වීමට වළකන දෛවෝපගත සිද්ධියක් සිදු විය. එනම් සිකුරාදාට පුවත් පත පිටකළ නො හැකි වන ලෙස මුද්රණාලයේ යාන්ත්රික දෝෂයක් ඇති වීමයි. ඒ තත්ත්වය යටතේ පුවත් පත මැයි 1 වැනි දින දහවල් පිටවන්නට ඉඩ හැර බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු විය.
බලාපොරොත්තුව සිටි ආකාරයට ම යූඇන්පී මැයි දින පෙළපාළියේ දරුණු පිපිරුමක් ඇතිවිය. එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි එම පිපිරුම පෙළපාළියට සහභාගී වූ එජා පාක්ෂෂිකයන්ට පමණක් තුවාල කරන පිපිරුමක් නොවී ය. එය ජනාධිපති ප්රේමදාසගේ ජිවිතය ද බිලිගත්තේය.
මේ සා විශාල දැවැන්ත සිදු වීමක් ඇති වීමෙන් පසුත්, ඊට පෙර සකස් කළ මුල් පුවතක් වෙළෙඳ පොළට යැවීම සුදුසු නොවීය. ඒ වන විටත් පුවත් පත වෙළෙඳපොළට නිකුත් කර නොතිබුණෙන් එය නිකුත් කිරීම වළකා ජනාධිපති ඝාතන සිද්ධිය ඇතුළත් අලුත් මුල් පිටුවක් සහිත පෝරමයක් මුද්රණය කිරීම සඳහා කටයුතු සූදානම් කර තබන ලෙස මුද්රණකරුට දැන්වීමි. ඒ වන විටත් පැරණි මුල් පිටුවේ පිටපත් 70,000 කට ආසන්න සංඛ්යාවක් මුද්රණය අවසන් කොට තිබුණි. අලුත් මුල් පිටුව සහිත පෝරමය නැවත මුද්රණය කරන්නට වීම නිසා මැයි 1 වැනිදා වෙළෙඳ පොළට එවීමට නියමිතව තිබුණු පුවත් පත වෙළෙඳ පොළට එවීමට හැකිවූයේ මැයි දෙවැනි දාය. යම් හෙයකින් මුද්රණ යන්ත්රවල දෝෂයක් ඇති නොවී අප්රේල් 30 වැනි දාට වෙළෙඳපොළට එවීමට සැලසුම් කොට තිබුණු පුවත් පත නියමිත පරිදි වෙළෙඳ පොළට එවීමට හැකි වී නම් ඊළඟ දින මැයි දින පෙළපාළියේ ඇතිවන්නට නියමිතව තිබූ පිපිරීම කල් තියා දැනගැනීමට මහජනතාවට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබුණු අතර එය එසේ වී නම් එය සිදුවන්නට නියමිත සිදු වීමක් කල් තියා වාර්තා කළ තවත් ඓතිහාසික අවස්ථාවක් වන්නට ඉඩ තිබුණි. එසේ ම එය එසේ වී නම් අරමුණු කොටගෙන තිබූ සැලසුම් කල් තියා හෙළිදරව් වීම හේතුකොටගෙන සිදු වූ සියල්ල ඒ ආකාරයෙන්ම ඇති නො වන්නට ද ඉඩ තිබුණි.
සුචරිතයේ තොරතුරුකරු දෙන්නා අවසාන වරට මා ඇමතුවේ අප්රේල් 28 වැනි දා ය. එහෙත් ඔහු අප්රේල් 29 වැනි දා රාත්රියේ ද මා ඇමතීමට උත්සාහ දරා තිබුණි. තොරතුරුකරුගේ ඇමතුම ලබාගෙන තිබුණේ බෙදාහැරීමේ කළමනාකරු ය. මා අවදි කරවන ලෙස ඔහු ඇවිටිලි කර ඇතත් කථා කරන පුද්ගලයා ගේ වැදගත්කම බෙදාහැරීම් කළමනාකරු නොදැන සිටීම නිසාත්, ප්රමාද වී නින්දට ගොස් තිබුණු මා අවදි කිරීමට ඔහු නොකැමැති වීම නිසා නැවත වරක් එම පුද්ගලයාට සවන් දීමට තිබුණු අවස්ථාව අහිමි විය.
එදින ඔහු මට කියන්නට උත්සාහ කළේ කුමක්ද? එදිනත් මට ඔහුට සවන් දීමට අවස්ථාවක් ලැබුණේ වී නම් සිදුවන්නට නියමිතව තිබුණු කුමන්ත්රණයක කිසියම් වැදගත් වඩා හොඳින් තේරුම් ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ඉන්පසු මේ පුද්ගලයා මට නැවත කෙදිනකවත් කථා කළේ නැත.
මොහිදින්ගේ හෙළිදරව්ව
මේ තොරතුරුකරුගෙන් ලැබුණු තහවුරු වූ තොරතුරු ආශ්රයෙන් ඇතිකරගත හැකි චිත්රයක් වෙතොත් එය මෙසේ විය යුතුවේ යයි සිතමි.
යූඇන්පී මැයි දින පෙළපාළියේ පිපිරීමක් ඇති කිරීමට සැලැස්මක් තිබී ඇති බව ඉතා පැහැදිලි ය. ලලිත් ඇතුළත්මුදලි ඝාතනය ආශ්රයෙන් කම්පනයට පත්ව සිටි ජනතාව අතර වෙනත් හැඟීමක් ඇති කිරීම එහි අරමුණ වූවා විය යුතු ය. මේ සැලැස්ම බොහෝ විට ජනාධිපති ප්රේමදාස මහතාද දැන සිටියා විය හැකි ය. එහෙත් තමාගේ ද ජිවිතය බිල්ලට ගන්නා සැලැස්මක් ප්රේමදාස ජනාධිපතිවරයා අනුමත කළා විය නො හැකි ය. පිපිරීමේ සැලැස්ම ප්රේමදාස ජනාධිපතිවරයාගේ වුවමනාව අනුව සිදුකරන ලද්දක් නම් අනූ නමයෙන් ජිවිතය බේරා ගත්තකු ලෙස ජනතාව අතරට යමින් ජනතාව ගේ අනුකම්පාව ලබා ගැනීම ඔහු ගේ අරමුණ වූවා විය හැකි ය. ප්රේමදාස ජනාධිපතිවරයාගේ මරණය එක්කෝ සිදු වී ඇත්තේ වැරදීමකිනි. නැතිනම් සැලසුම්කරුවන්ට කවර හේතුවක් නිසා හෝ ඒ අවස්ථාව ප්රේමදාස ජනාධිපතිවරයාද අවසාන කරන අවස්ථාවක් බවට පත්කර ගත්තේය.”
“රාඝුනාදන් හා බාබු දෙස බැලිය යුත්තේ ද මේ පසුබිම යටතේ ය. ලලිත් ඇතුළත්මුදලි මහතාට කිරුලපනේ දී වෙඩි තබන ලද්දේ සමහර විට රාඝුනාදන් නමැති තරුණයා ම විය හැකි ය. තමන්ට ලැබුණු ඇණවුම සම්පූර්ණ කොට රැකවරණය පිණිස සිය ස්වාමියා වෙත ගිය විට ඔහු සයනයිඩ් කවා මරවා ඝාතනයේ වගකීම කොටි සංවිධානය වෙත පැවරීම පිණිස ඔහු ගේ මළ මිනිය කිරුළපනේ කුණු කරත්තය අසල තැබුවා විය හැකි ය. එසේ නැතිනම් ඇත්ත ඝාතකයා වසන් කරනු පිණිස ඔහු ප්රදර්ශනයට ඇද දැමු නිකම්ම කෙනකු ද විය හැකි ය.
මේ සියල්ල තිබෙන සීමිත තොරතුරු ආශ්රයෙන් ඇතිකරගත් චිත්රයක් මිස සර්ව සම්පූර්ණ චිත්රයක් නො වන බව ද කිව යුතු ය. සමහර විට මෙම අභිරහස් ඝාතන දෙකේ ඇත්ත මේ හා සමාන විය හැකි ය. තවත් සමහර විට ඊට වෙනස්විය හැකි ය. කෙසේ වෙතත් ඒවායේ ඇත්ත තවමත් මහජනතාවට අභිරහසකි. මේ ඝාතන දෙකට අදාළ මුළු මහත් ඇත්ත මහජනතාවට දැනගැනීමට හැකිවනු ඇත්තේ ඒ පිළිබඳව කරනු ලබන විධිමත් සොයා බැලීමකින් පසුව පමණ ය. එය අනාගත ආණ්ඩුවක් විසින් අවශ්යයෙන්ම සපුරාලිය යුතු තවත් වගකීමක් වේ යැයි සිතමි.”
දුරකතන තර්ජන
මා ඉහත විවරණය ලියා තිබුණේ මෙම ඝාතන දෙකේ පළමු සංවත්සරයට ආසන්නයේය. මෙම ලිපියේ සුචරිතයේ සිට විටින් විට රාත්රී කාලවලදී මට කතා කළ පුද්ගලයාගේ නම සඳහන් නොවෙතත් මා ඔහු හඳුනාගෙන තිබුණේ මොහාදීන් ලෙසය. ඔහු සුචරිතයේ සිටි ප්රේමදාස ජනාධිපතිවරයාට ඉතාමත් සමීප හා විශ්වාසවන්තම සේවකයාය. සුචරිතයෙන් මට කතා කරන පුද්ගලයා හා ඔහු විසින් මට ලබාදී තිබෙන තොරතුරු ගැන මා ලලිත් ඇතුලත්මුදලි සමග කරන ලද සාකච්ඡාවේදී ඔහුගේ මතය වූයේද සුචරිතයේ සිට මට කතා කරන පුද්ගලයා මොහිදින්ම විය යුතු බවය. ඉතාමත් වැදගත්ම දේ මැයි දින පෙළපාළියේ බෝම්බ පිපිරීමක් සිදුවන්නට යන ඔහු කල්තියා දැන සිටීම හා ඔහු නිසා මමද ඒ ගැන කල්තියා දැන සිටි පුද්ගලයකු බවට පත්ව සිටීමය. මොහිදින් එය තේරුම් ගෙන සිටියේ ජනාධිපති ප්රේමදාස කෙරෙහි අනුකම්පාවක් ඇති කිරීම පිණිස එසේ කරන්නට යන දෙයක් ලෙසය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ ජනාධිපති ප්රේමදාසගේ ජීවිතයද බිලිගන්නා ආකාරයට එය සිදුවීමය. මෙම බෝම්බ පිපිරීම වළකා ගැනීමට ඔහු උත්සාහ කළේ මා ලවා සිදුවන්නට නියමිත ඒ දේ රාවයේ මුල් පුවතක් ලෙස පළකරවා ගැනීමෙනි. මා ඊට ගැළපෙන මුල් පුවතක් පළ කළද පුදුමයකට මෙන් එම මුල් පුවත සහිත පුවත්පත මුද්රණය කෙරුණු මුද්රණාලයේ කාර්මික දෝෂයක් නිසා එම පිපිරීම සිදුවන්නට පෙර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවූයේ නැත. එම කතාව කල්තියා මහජනයාට දැනගන්නට සැලැස්වීමෙන් සිදුකරන්නට යන එම විපත වළකා ගතහැකිවනු ඇතැ”යි මොහිදීන් විශ්වාස කළේය. පුවත්පත මැයි දිනය පෙළපාළිය ආරම්භවන්නට පෙර වෙළෙඳපොළට නිකුත් කරවා ගැනීමට හැකිවී නම් එසේ වන්නටද ඉඩ තිබුණි. මා ඒ කාලේ පුවත්පත මුද්රණය කරවා ගත්තේ මරදානේ තිබෙන පෞද්ගලික මුද්රණාලයකිනි. සමහරවිට මුද්රණාලයේ ඇතිවූ කාර්මික දෝෂය ද මෙම කුමන්ත්රණකරුවන්ගේ අදිසි හස්තයකින් සිදුවූවා විය හැකිය.
ඉහත උපුටා දක්වන ලද මගේ විවරණ ලිපියත් සමග බෝම්බ පිපිරීමක් සිදුවන්නට යන බවට මා රාවයේ පළ කරන ලද එහෙත් ප්රසිද්ධියට පත්කිරීමට නොහැකි වූ මුල් පිටුවේ ඡායාරූපයක්ද පළ කරන ලදි. ඒ ලිපිය පළකිරීමෙන් පසුව කිසියම් පුද්ගලෙයක් මට දිගින් දිගට දුරකතනයෙන් තර්ජනය කරන තත්ත්වයක් ඇතිවිය. මා ඊට පෙරද විටින් විට දුරකතන තර්ජනයන්ට මුහුණ දී ඇතත් එම ලිපිය පළවීමෙන් පසු එල්ල වූ තර්ජනය ඊට පෙර අසන්නට ලැබී ඇති තර්ජනයන්ට වඩා ඉතාමත් ප්රබල හා බියකරු වීයැ”යි කිව හැකිය. තර්ජනය කරන්නා දිගින් දිගට කියා සිටියේ මා පමණක් නොව මගේ බිරිඳ හා දරුවන් සියලුදෙනාද මරා දමන බවය.
මෙම ඝාතන දෙක සිදුවී ඇත්තේ එල්ටීටීඊය අතින් නම් මාගේ එම ලිපිය තුන්වැනි පිරිසකගේ කෝපයට හේතුවූයේ ඇයි?
ඝාතනය ගැන බ්රැඩ්මන්
ජනාධිපති ප්රේමදාස ඝාතනය එල්ටීටීඊය විසින් කරන ලද්දක්ය යන කතාව ප්රේමදාස ජනාධිපතිවරයාගේ දුව දුලාංජලීද පිළිනොගත්තේය. ඇය අවස්ථා ගණනාවකදීම සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියද එවැන්නක් සිදුවූයේ නැත. ඉතාම වැදගත් දේ ජනාධිපති ප්රේමදාස ඝාතනය පිළිබඳව පළවී තිබෙන නිල අර්ථකථනය ජනාධිපති ප්රේමදාසගේ ප්රධාන ජාත්යන්තර උපදේශක ලෙස ක්රියා කළ බ්රැඩ්මන් වීරකෝන්ද පිළිනොගැනීමය. බ්රැඩ්මන් ඔහුගේ අත්දැකීම් අළලා ලියා තිබෙන Rendering Unto Caesar නමැති කෘතියේ ප්රේමදාස ඝාතනයට අතුරු පරිච්ඡේදයක් ඇතුළත් කර තිබෙන අතර ඊට ඇතුළත් තර්ක සමහරක් මෙසේය.
ඔහු ජනාධිපතිගේ ඡායාරූප ශිල්පී සුගත් සිල්වා ගනු ලැබූ ඡායාරූප ආශ්රයෙන් මෙම ඝාතනය පිළිබඳව තියුණු ප්රශ්න කිරීමක් කරනු ලබයි. ජනාධිපතිගේ ඡායාරූප ශිල්පියාට මෙම ඝාතනයෙන් හානියක් සිදු නොවීය. එහෙත් ඒ අවස්ථාවේදී ඔහු සිදුවූ සිද්ධියේ ඡායාරූප ගත්තේය. ඒ ඡායාරූප අතර කළු උස තරුණයකුගේ මළ සිරුරක් තිබුණු බවත් එම මළ සිරුරේ පපුවට බැඳ තිබූ බවක් පෙන්නුම් කෙරුණු පටිගත කිරීමේ යන්ත්රයක් වැනි දෙයක්ද ඉන් ගැලවුණු වයර් කැබලිද එම ඡායාරූපයේ තිබූ බවත් එම පුද්ගලයා බාබු නොවූ බවත් බ්රැඩ්මන් වීරකෝන් කියයි.
ඔහු නගන ඊළඟ වැදගත් තර්කය වනුයේ ජනාධිපති ප්රේමදාස ඝාතනය කිරීමේ වුවමනාවක් එල්ටීටීඊයට නොතිබුණු බවය. එය මා විසින්ද ඊට පෙර මතුකර තිබූ තර්කයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියානු සාම හමුදාවෙන් එල්ල වී තිබුණු පීඩනයෙන් එල්ටීටීඊය ගලවා ගත්තේ ජනාධිපති ප්රේමදාසය. ජනාධිපති ප්රේමදාස එල්ටීටීඊයට විශාල ආයුධ තොගයක් සේ ම මුදල් සම්භාරයක්ද දී තිබුණි. ඊපීආර්එල්එෆ් සංවිධානයට තිබූ ආධිපත්යය නැති කොට නැවත උතුරු හා නැගෙනහිර ආධිපත්යය සියතට ගැනීමට එල්ටීටීඊයට හැකිවී තිබුණේ ජනාධිපති ප්රේමදාසගෙන් ලැබුණු සහාය නිසාය. 1990 මැයිවලදී නැගෙනහිර ප්රදේශවල කොටි සංවිධානයේ ක්රියාකරුවන් හා පොලිසි අතර ගැටුමක් ඇතිවූ විට කල්මුණේ, අක්කරෙයිපත්තු, පොතුවිල් හා සමන්තුරෙයි පොලිසිවල සේවය කළ සියලු පොලිස් නිලධාරීන්ට කොටි සංවිධාන සග සටන් කරන තැනකට නොගොස් යටත් වෙන ලෙස පොලිස්පති අර්නස්ට් පෙරේරා හරහා නියෝග දී තිබුණේද ජනාධිපති ප්රේමදාසය. එසේ යටත් වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්යාව 400කට ආසන්න වූ අතර ඒ සියලුදෙනා එල්ටීටීඊය විසින් මරා දමන ලදි.
ප්රේමදාස සහ එල්ටීටීඊය
ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වූ අවස්ථාවේදී එතෙක් පාර්ලිමේන්තු වර්ජනයක යෙදී සිටි ඊරෝස් මන්ත්රීවරුන් ප්රේමදාසගේ ආරක්ෂාව සඳහා ඉදිරියට ආවේය. ඊරෝස් කණ්ඩායම වැඩ කළේ එල්ටීටීඊය සමගය. බ්රැඩ්මන් වීරකෝන්ට අනුව දෝෂාභියෝග පුවත පිටවූ වහාම ඊරෝස් මන්ත්රීවරු කණ්ඩායම ජනාධිපති හමුවීමට තමාගෙන් දිනයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ලබාදෙන ලද හමුවට යාපනේ සිට පැමිණ ජනාධිපති හමුවූ රත්න සභාපති හා සිවඥානම් තමන් පාර්ලිමේන්තු වර්ජනය අතහැර දෝෂාභියෝගයේදී ජනාධිපතිවරයාට සහාය දෙන බව ප්රකාශ කළේය. ඒ බව සඳහන් කරමින් බ්රැඩ්මන් කියන්නේ ප්රේමදාස ආරක්ෂා කිරීමට හා ඔහු ජනාධිපති තනතුරේ තබා ගැනීමට කොටි සංවිධානයට තිබූ වුවමනාව ඉතාමත් අසාමාන්ය වූ බවය.
කොටි සංවිධානයට මරාගෙන මැරෙන ගණයේ සාමාජිකයන් දහස් ගණනක් සිටියේ නැත. මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන් ඔවුන්ටද දුලබ සම්පතක් විය. ඒ සම්පත ඔවුන් පාවිච්චි කළේද අරපරිස්සමිනි. මරාගෙන මැරෙන පුද්ගලයකු ඔවුන් පාවිච්චි කළේ තමන්ට වෙනත් ආකාරයකින් ළංවී විනාශ කළ නොහැකි පුද්ගලයන් සඳහා පමණය. ප්රේමදාස ජනාධිපතිවරයා ළඟ සිටි බාබු මරාගෙන මැරෙන බලකායේ සාමාජිකයකු වී නම් බාබුට මරාගෙන මැරෙන පිළිවෙතක් අනුගමනය නොකොට ප්රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කොට පලායෑමේ හැකියාව තිබුණි. ඒ තරමට ඔහු ප්රේමදාස ජනාධිපතිවරයාට සමීපව සිටියේය. ඔහු මරාගෙන මැරෙන ගණයට වැටෙන පුද්ගලයකු වී නම් බාබු හා ජනාධිපති ප්රේමදාස අතර තිබූ සමීප සම්බන්ධය කොටි සංවිධානය නොදැන සිටීමට හේතුවක්ද තිබිය නොහැකිය. බාබුට මරාගෙන මැරෙන පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තොරව ජනාධිපති ඝාතනය කොට පලායෑමට හැකියාවක් තිබුණේ නම් ඔහු මරාගෙන මැරෙන ප්රතිපත්තියකට යනු ඇතැ”යි සිතිය හැක්කේ කෙසේද?
මරාගෙන මැරෙන තාක්ෂණය එල්ටීටීඊය පමණක් නොව ප්රති පක්ෂයද දැන සිටියේය. එහෙත් එල්ටීටීඊයට පමණක් එම ආයුධය පාවිච්චි කළ හැකිවූයේ තාක්ෂණයට අතිරේකව මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන්ද සිටි නිසාය. ප්රතිපක්ෂයට ඒ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වන මිනිසුන් නොසිටියද කලාතුරකින් මුලා කොට හෝ මිනිසකු සොයාගත හැකිවී නම් ඒ පක්ෂයටද ඒ දේම කිරීමේ හැකියාව තිබුණි.
සුදු මහත්තයා
දැන් මට වැල්ලම්පිටියේ සුදු මහත්තයාගේ කතාවට ආ හැකිය. සුදු මහත්තයා කරළියට ගෙනාවේ මා විසින් නොව නිරංජන් විජේගුණවර්ධන නමින් වන පුද්ගලයෙකු විසිනි. මගේ හොඳට හෝ නරකට මට ඔහු සමගද අහඹු සම්බන්ධයක් තිබුණි.
79-80 කාලයේදී එම නිරංජන් විජේරත්න සිටියේ ගාල්ලේ බෙලිහන්දිය අසලය. ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ වන්නට ඇති අතර තවත් සහෝදරයකුද ඔහුට සිටියේය. මේ දෙදෙනා වරක් මා හමුවන්නට පැමිණ ඔවුන්ගේ මෝටර් රථය සංචාරක හෝටලයකට දමා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ කාලයේ ගෝල්ෆේස් හෝටලයේ සංචාරක කවුන්ටරය භාරව ක්රියා කළේ 71 කැරැල්ලේ පුද්ගලයන් දෙදෙනකු වූ ලොකු අතුල හා දීපාල්ය. මා ලොකු අතුල අමතා ලියන ලද ලිපියක් නිරංජන්ට දුනිමි. ඔවුන් දෙදෙනා සිය මෝටර් රථයෙන්ම ලොකු අතුල හා දීපාල් හමුවන්නට එහි ගොස් තිබුණි. ඔවුන්ගේ මෝටර් රථය හොඳ ප්රමිති තත්ත්වයක තිබීම නිසා එම කවුන්ටරය පවත්වාගෙන යන වාහන සංචිතයට එම වාහනය ඇතුළත් කරදීමට ලොකු අතුල එකඟ වී තිබේ.
පසු අවස්ථාවකදී නිරංජන් හා ඔහුගේ සහෝදරයා ජීවත් වූ වලව්ව හා ඉඩම සර්වෝදයට විකුණා ඔවුන් වෙනත් ප්රදේශයකට ගොස් ඇති බව මට දැනගන්නට ලැබුණි.
ඉන්පසු ඔහු නැවත වසර දහයකට වැඩි කාලයකට පසුව ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව එහි උණුසුම පැවති කාලයකදීය. ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීමෙන් පසු පලා යන්නට පෙර ඝාතකයාට හොඳින්ම දැකගන්නට ලැබී තිබෙන පුද්ගලයා ඔහුය. ඔහු එහිදී කියන ලද කතාව පැතිරී තිබූ ජනප්රිය කතාවලට වඩා වෙනස්ය. ඝාතකයා ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තබනවා ඔහු දැක නැතත්, වෙඩි තැබීමෙන් පසු එහි සිටි සියලුදෙනාම පාහේ එම ස්ථානය අතහැර පලාගිය බවත් ඔහු වේදිකාවේ පිටුපස තිබූ ජෙනරේටරය පැත්තට ගිය විට පිස්තෝලයක් අත ඇති කපටි කමිසයක් (මන්ත්රීවරුන් අඳින) හා කලිසමක් ඇඳ හොඳින් වැඩුණු ශරීරයක් ඇති පුද්ගලයකු දකින්නට ලැබුණු බවත් ඔහු කිසිදු කලබලයකින් තොරව පිස්තෝලය ප්රදර්ශනය කෙරෙන ආකාරයට ගෙවල් තියෙන පැත්තකට ගමන් ගනිමින් සිටි බවත් අඳුර නිසා ඔහු තවත් සුළු මොහොතකින් නොපෙනී ගියත් ඔහුගේ මුහුණ හොඳින් තමන්ගේ මතකයේ තැන්පත්ව තිබෙන බවත් කීවේය. ඔහු කිසිසේත්ම මුගලන් පාරෙන් හමුවූ රඝුනාදන්ට සමාන නොවන බවත්, රඝුනාදන්ගේ ස්වරූපය අනුව ඔහු බෙලහීන මිනිසකු වුවත් පිස්තෝලය අත ඇතිව සිටි මිනිසා ජවසම්පන්න මිනිසකු බවත් ඔහු පැළඳ සිටි සපත්තුව පවා හොඳින් පොලිෂ් කොට තිබූ බවක් වෙඩික්කාරයාට ඇතුලත්මුදලිගේ ශරීරාරක්ෂකයකු විසින් තබන ලද වෙඩි පහරකින් වෙඩි වැදී තිබූ බව ප්රකාශ වී තිබුණද තමා දුටු පුද්ගලයාට වෙඩි වැදීමකට හසුවී තිබෙන බවක් පෙනෙන්නට නොතිබුණු බවත් ප්රකාශ කළේය. ඒ අවස්ථාවේදී එය මාගේ කුතුහලයට හේතුවූ කතාවක් පමණක් විය.
සුදු මහත්තයාගේ පාපෝච්චාරණය
ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ අවස්ථාවේදී ඔහු එම කොමිෂන් සභාව සොයාගෙන ගොස් තමන්ට දකින්නට ලැබුණු දේ ගැන කටඋත්තරයක් දුන්නේය. ඔහුගෙන් කොමිෂන් සභාවේ විමර්ශන ඒකකය පමණක් නොව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවද දීර්ඝ කටඋත්තර ලබාගත්තේය. පිස්තෝලය අතැතිව සිටි පුද්ගලයා හඳුනාගනු පිණිස ඔහු ඉදිරියට දැමූ ඡායාරූප කිසියම් විශාල ප්රමාණයක් අතරින් සමූහ ඡායාරූපයක සිටි වැල්ලම්පිටියේ සුදු මහත්තයා ඔහු හඳුනා ගත්තේය. සුදු මහත්තයා වෙනත් කිහිපදෙනකු සමග පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබෙන අතර එහිදීද නිරංජන් ඔහු හඳුනා ගත්තේය. ඔහු පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය. මෙම සාක්ෂිදීමට පෙර යූ.එල්. සෙනෙවිරත්න හා ආබ්දීන් සාක්ෂිදීමෙන් වැළකී සිටින ලෙසට ඔහුගෙන් ඉල්ලා තිබේ. සුදු මහත්තයාගේ නීතිඥයාද සාක්ෂි දෙන්න එපා ඒගොල්ලො ඔයාව මරා දමාවි කියා තරවටු කර ඇතත්, ඒ කිසිවකුටද ඔහු නම්මවා ගැනීමට හැකිවී නැත.
තවත් අවුරුදු ගණනාවකට පසුව වැල්ලම්පිටියේ මෙම සුදු මහත්තයා පිළිබඳ අපූරු කතාවක් මට හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලවආරච්චිගෙන් අසන්නට ලැබුණි. ඒ හමුව සිදුවූයේ රාවයේ කාර්යාලයේදීය. ජනක මල්ලිමාරච්චි ඒ කාලයේ සිදුවූ අබිරහස් ඝාතන ගැන ප්රසිද්ධියේ මත පළකර තිබෙන හා ඒ ආශ්රයෙන් රතු අඟුරු නමින් නවකතාවක්ද ලියා පළකර තිබෙන පුද්ගලයෙකි. එහෙත් මා මෙහිදී සලකා බලන්නේ ඒවා ගැන නොව සුදු මහත්තයා පිළිබඳව මට ඔහුගෙන් අසන්නට ලැබුණු කතාව ගැන පමණය.
ඔහුට අනුව සුදු මහත්තයා හා ඔහුගේ පවුලේ අය කොළොන්නාව ආසනයේ සිටි එජාපයේ ප්රබල ආධාරකරුවෝය. ඔහු සුදු මහත්තයා හා ඔහුගේ පවුලේ අය හොඳින් දැන සිටියේය. ඔහු කොළොන්නාව ආසනයේ සංවිධායකයාව සිටි කාලයේ කිසියම් දිනක සුදු මහත්තයා ඔහුගේ නිවසට ආවේය. සුදු මහත්තයා තමන්ගෙන් කිසියම් උදව්වක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නට ඇතැ”යි කියා ඔහු කල්පනා කළද ඒ වෙනුවට සුදු මහත්තයාගෙන් අසන්නට ලැබුණේ ලොමු දැහැගැන්වෙන කතාවකි. තමා ජීවත්වන්නේ විශාල මානසික අසහනයකින් හා කම්පනයකින් බවත්, ලලිත් සර්ට වෙඩි තබා මරා දමනු ලැබුවේ තමා බවත්, කවදා හෝ ඒ සඳහා තමා පොළඹවා ගත් අය විසින් තමාද ඝාතනය කරනු ඇතැ”යි ඔහු හැඬූ කඳුළෙන් ප්රකාශ කළ බවත් ඔහු කීවේය. ඒ කතාව සිදුවී සති දෙක තුනකට පසුව සුදු මහත්තයා පමණක් නොව ඔුහගේ බිරිඳද ඝාතනය කළ බව ඔහු කීවේය.
නීතිය හා ආචාරධර්ම
දැන් අපට නැවත හේමන්ත වර්ණකුලසූරිය වෙත යා හැකිය. මහේස්ත්රාත් ලෙනින් රත්නායකගේ ස්ත්රී දූෂණ සිද්ධිය පිළිබඳ රාවය කරන ලද හෙළිදරව්වේදී එම ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරගැනීම සඳහා හේමන්ත තමන්ගේ පෑන ඉතාමත් සටකපට හා ප්රබල ලෙස පාවිච්චි කරන ලද ආකාරය මීට පෙර සලකා බැලුවෙමු. ඔහුගේ අරමුණ වූයේ සිද්ධිය පිළිබඳව අධිකරණ සේවා කොමිසම පරීක්ෂණයක් ආරම්භ කිරීම වැළැක්වීමය. ඒ සඳහා ඔහු ලොකු බොරුවක් නිර්මාණය කළේය. ඔහු එම ලිපිය ලියන්නේ සමස්ත සිද්ධිය පිළිබඳව කරන ලද හොඳ සොයා බැලීමකින් පසුව බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබුණේය. ඔහුට රාවයේ පළවන ප්රවෘත්තිය දැනගන්නට ලැබෙන්නේද ඊට එරෙහිව තනි පිටුවක් තරම් විශාල ලිපියක් ඔහු ලියන්නේද. ඒ අතරමැද්දේ මහා සොයා බැලීමකර ඇත්තේද එකම දිනකදීය.
අනෙක් අතට මේ ප්රශ්නයේදී හේමන්තට තිබුණේ අවංක ප්රවේශයක් නම් මෙම වාර්තාකරණයන් පසුව මහේස්ත්රාත් ලෙනින් රත්නායක ගැන රාවයේ පසුව පළවන ප්රවෘත්ති කෙරෙහිද ඔහුගේ අවධානය යොමුවිය යුතුව තිබුණි. ඉන්පසුව ඔහු ගැන පළවූ ප්රවෘත්තියකින් කියා තිබුණේ ලෙනින් රත්නායක අධිකරණ සේවයට එන්නට පෙර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් එහිදී තෙවන පාර්ශ්වයකගේ හිමිකම් වංචා කිරීමේ චෝදනාව මත ඔහු සංස්ථා සේවයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු බවත්ය. එවැනි පුද්ගලයෙකු අධිකරණ සේවයට එකතු වූයේ කෙසේද යන්න ගැනද ඔහු සොයා බැලිය යුතුව තිබුණේය. පළමු ප්රවෘත්තියේදී එය නිශේධ කිරීම සඳහා ප්රබල ලෙස දායක විය. ඉන්පසු ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පළවෙන ප්රවෘත්ති ඉදිරියේ ඔහු නිශ්ශබ්දව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු ලෙනින් රත්නායක සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්රතිපත්තිය අහිංසක එකක් නොවන බව ඉන් පෙනේ. ඒ මගින් ඔහු අධිකරණ බලධාරීන් නොමගයැවීමේ වරදට වරදකරුවකු වන අතර තවදුරටත් අධිකරණයට අපකීර්තියක් ඇති කරන පුද්ගලයකු ආරක්ෂා කිරීම මගින් නීතිඥයකු වශයෙන් අධිකරණයට අපකීර්තියක් ඇතිකර තිබෙන්නේයැ”යිද කිව හැකිය.
හේමන්ත තීරු ලිපි රචනයේදී තම සේවාදායකයන්ගෙන් අසන්නට ලැබුණු කතාද ඒ සඳහා පාවිච්චි කරති. සේවාදායකයන්ගෙන් අසන්නට ලැබෙන ඔවුන්තේ කතා අතර ඉතා රස කතා තිබිය හැකි වුවත් නීතිඥයකුට ඒ කතා පොත්පත් ලිවීමේදී හෝ තීරු රචනා ලිවීමේදී පාවිච්චි කිරීමේ අයිතියක් නැත. එය වෘත්තීය ආචාරධර්මවලට පටහැනි වනවා සේ ම නීතියටද (සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය) පටහැනිය. සේවාදායකයකු මියගිය පසුව වුවද සේවාදායකයකු වශයෙන් ඔහු අසන ලද දේවල් ප්රසිද්ධ කිරීම නීතියට පටහැනිය. ඒ බව හේමන්ත පමණක් නොව හේමන්තගේ අදහස් ප්රසිද්ධියට පත් කරන ප්රකාශකයන්ද දැන සිටිය යුතුය.
මා චන්ද්රිකා පාලන කාලයේදී අභියාචනාධිකරණයෙන් වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා චන්ද්රිකාගේ සහාය ලබාගෙන ඇති බවද ඔහු කියා තිබුණි. මා අයුතු ලාභ ලැබීම සඳහා රාජ්ය බලය උපයෝගී කරගෙන නැත. මා එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේදී සාපරාධී අපහාස නඩු පහකටද, චන්ද්රිකා පාලන කාලයේදී සාපරාධී නඩු හයකටද මුහුණදී තිබේ. කිසිවිටෙකවත් මට එරෙහිව පවරා තිබුණු නඩු විසඳා ගැනීම සඳහා චන්ද්රිකා ආණ්ඩුවේ සහාය ලබාගෙන නැත. ඔහු කියන ආකාරයට මා අභියාචනාධිකරණයෙන් ජයගත් නඩුවක්ද නැත. ඔහුට නම් ජනාධිපති නීතිඥකම සේ ම ඉතාලි තානාපතිකමද දේශපාලන ප්රතිපත්ති විරහිතභාවය වෙනුවෙන් ලැබුණු තෑගි ලෙස සැලකිය හැකිය.