තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා මීට පෙර එම ධුර කාලයේ සිටියදී උපයන ලද වත්කම් සාධාරණ හා නීත්යනුකූල ආකාරයකට උපයන ලද වත්කම් බව සනාථ කිරීමට අපොහොසත්වීම නිසා එම නඩුව විභාග කළ අධිකරණය ඇය අයථා ලෙස ධනය උපයාගැනීමේ චෝදනාවලට වරදකරු කරමින් සිව් අවුරුදු සිරදඬුවමක් සමග ඉන්දියානු රුපියල් කෝටි 100ක දඩයක් නියම කරමින් ඇගේ ප්රජා අයිතියද වසර 10කට තහනම් කර තිබේ. වත්කම් හා බැරකම්වලට අදාළව ඉන්දියානු නීතියට සමාන නීතියක් අපටද තිබෙන්නේය. එහෙත් ඉන්දියාවට වෙනස්ව ලංකාවේ එම නීතිය ක්රියාත්මකවන්නේ හාල්මැස්සන්ට එරෙහිව මිස තෝරුන්ට හා මෝරුන්ට එරෙහිව නොවේ. අපේ රටේ සිටින හා හිටපු ජනාධිපතිවරුන්ට අදාළවත් මැති ඇමතිවරුන්ට අදාළවත් වත්කම් බැරකම් නීතිය අකුරටම ක්රියාත්මක කරන පිළිවෙතක් අනුගමනය කළහොත් වරදකරුවන් නොවී සිටීමේ වාසනාව හිමි කරගත හැකිවනු ඇත්තේ ඉන් කීයෙන් කීදෙනකුටද?
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක පදවියෙන් පහකරන ලද නීති විරෝධී හා කුරිරු ආකාරයට ඉන්දියානු අගවිනිසුරුවරයෙක් තනතුරෙන් පහකරන්නට ඉන්දියාවේ කිසියම් පාලක පක්ෂයක් උත්සාහ කළහොත් අධිකරණයෙන් සේ ම රටින් ලැබෙන ප්රතිචාරය කුමක් විය හැකිද? ඌවේ මැතිවරණයේදී මෙන් ඉන්දියාවේ මැතිවරණයකදී ආණ්ඩුව ඡන්දදායකයන්ට සහනාධාර බෙදන මුවාවෙන් සල්ලි බෙදන පිළිවෙතක් අනුගමනය කළේ වී නම් ඉන්දියානු මැතිවරණ කොමිසම ඊට දක්වන ප්රතිචාරය කුමක් විය හැකිද?
ඉන්දියාව සමග සසඳන විට දේශපාලන අර්ථයෙන් ලංකාව සිටින්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ලංකාව ඉන්දියාවට වඩා පුංචි රටක් වනමුත් ඉන්දියාව ලංකාවේ ළඟම අසල්වැසි රට වනවා පමණක් නොව මේ රටවල් දෙකේ මෑතකාලීන ඓතිහාසික විකාශය සිදුවී තිබෙන්නේද බොහෝ දුරකට එක සමාන ආකාරයකටය.
ඉන්දියාව
මේ රටවල් දෙකම කලක් බ්රිතාන්ය යටත්විජිත තත්ත්වයක තිබූ අතර රටවල් දෙකම ධනේශ්වර ක්රමයකට මාරුවූයේද එක සමාන ආකාරයකටය. එසේ තිබියදී නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව දේශපාලන අර්ථයෙන් දියුණු ශීලාචාර රටක් ලෙස ඉදිරියට යනවිට ලංකාව අශීලාචාරත්වයට බර තබා ක්රියාකරන රටක් බවට පත්වූයේ කෙසේද?
ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි නායකයන්ට යටත්විජිතවාදය ගැන සේ ම නිදහස ලබාගැනීම හා නවීන ඉන්දියාවක් ගොඩනගා ගැනීම ගැන තියුණු විශ්ලේෂණාත්මක ඉදිරි දැක්මක් තිබුණේය. ඔවුහු දේශපාලන අර්ථයෙන් අධිරාජ්ය විරෝධී වුවත් යටත්විජිතවාදය රටේ ඇති කරන ලද ධනේශ්වර පරිවර්තනය දැක්කේ ඓතිහාසික අර්ථයෙන් ඉදිරිගාමී දෙයක් ලෙස මිස පසුගාමී දෙයක් ලෙස නොවේ. බ්රිතාන්යයන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්ය ක්රමය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය යටත්විජිතවාදී ආධිපත්යයෙන් නිදහස්වීමෙන් පසුත් රැකගනිමින් ඉදිරියට යෑමට අපේක්ෂා කළා මිස තිබුණු පැරණි වැඩවසම් සමාජ ආර්ථික ක්රමයට හෝ රාජාණ්ඩුක්රමයට ආපසු යෑමට අපේක්ෂා කළේ නැත. බ්රිතාන්යයන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්ය ක්රමය සේ ම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයද සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට නම් ඉන්දියානු ජාතිය තනාගැනීම සේ ම ප්රජාතන්ත්රවාදී හා බහුත්වාදී ආකල්ප සහිත නවීන සමාජයක් ඇතිකර ගැනීම නැතුවම බැරි කොන්දේසි දෙකක් බව මනා ලෙස තේරුම් ගැනීමටද ඉන්දියානු නායකයන් සමත් විය.
ඉන්දියානු නායකයන් බ්රිතාන්ය ආධිපත්යයෙන් රට නිදහස් කරගැනීමේ නිදහස් අරගලයට ඉන්දියානු බහුතර ජනයා ක්රියාකාරී ලෙස සම්බන්ධ කරගත්තේය. ඒ සමග එම ජනයා අතර තිබෙන වාර්ගික, ආගමික බෙදීම් තුනී කරන හා කුල ක්රමයට තිබෙන පිළිගැනීම අහෝසි කරන දැවැන්ත මතවාදී අරගලයක් ඔස්සේ සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවයක් ඇති ඉන්දියානු ජාතියකටද, බහුත්වාදී හා ප්රජාතන්ත්රවාදී ආකල්ප සහිත නවීන සමාජයකටද ශක්තිමත් පදනමක් ගොඩනගා ගනිමින් ඒ සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නවීන රාජ්යයක් ඇතිකර ගනිමින් නවීන ඉන්දියාවක් ප්රතිනිර්මාණය කළේය. එම සංකීර්ණ හා විස්තීර්ණ ක්රියාදාමය තුළ සමස්ත ඉන්දියාව තනි ඒකකයක් ලෙස තබාගැනීමට ඉන්දියානු නායකයන් සමත් වූයේ නැතත් පාකිස්තානය ලෙස වෙන්වූ කොටසට එකතු වූ මුස්ලිම් ජනතාවට වැඩි මුස්ලිම් ජනතාවක් ඉන්දියාව තුළ තබාගැනීමට සමත් විය. වෙන්වීමක් ඇතිවන අවස්ථාවේදී ඇතිවූ ජාතිවාදී කෝලාහල නිසා මහා ලේ වැගිරීමක් ඇති වුවද ඉන්පසු එළැඹෙන යුගය සාමකාමී යුගයක් වීයැ”යි කිව හැකිය.
ශ්රී ලංකාව
එහෙත් නිදහස ගැන උනන්දුවක් දැක්වූ ලංකාවේ නායකයන් ඉන්දියානු නායකයන් මෙන් තියුණු ඉදිරි දැක්මක් තිබූ අය නොවීය. නිදහස දිනාගැනීම බහුජන ක්රියාකාරීත්වය කුළුගැන්වීමෙන් ලබා ගතයුතු දෙයක් ලෙස අපේ නායකයන් නොසැලකීය. ඔවුහු එය සලකන ලද්දේ බය පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමෙන් හා සටකපටකමින් ලබාගත යුතු දෙයක් ලෙසය. එසේම බ්රිතාන්යයන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්ය ක්රමය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතිය තනාගැනීමේ හෝ නවීන ආකල්ප සහිත සමාජය තනාගැනීමේ අවශ්යතාව තේරුම් ගත් පිරිසක් නොවීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමන් අයත් වර්ගයට, ආගමට හෝ කුලයට බර තබා ක්රියාකරන අය වූහ. ඒ මගින් එකුදු ලේ බිඳුවකුදු නොසොල්වා නිදහස ලබාගැනීමට සමත් වුවද ගොඩනගන ලද ආරම්භක පදනම දුර්වල හා පසුගාමී එකක් වූ අතර ඒ මගින් රට තල්ලු වී ගියේ අශීලාචාර තැනකටය.
නිදහසින් පසු ඇතිවන සමාජය, වර්ග භේදය හා ආගම් භේදය තුනී කොට කුලභේදයට තිබෙන පිළිගැනීමද අහිමි කොට සියලුදෙනාට සමාන මනුෂ්ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙමින් විධිමත් ලෙස තනන ලද නවීන සමාජයක් නොවීම නිසා වර්ග භේදය, ආගම් භේදය හා කුල භේදය සමාජයේ මතුපිට පැවති ඒකාග්රතා වියමන ලිහන හා අවුල් කරන සාධක ලෙස ක්රියාකරමින් තිබුණේය. ආණ්ඩුක්රමය හා රාජ්ය පිළිබඳවද සමාජය තුළ පොදු විශ්වාසයක් හා ගෞරවයක් ගොඩනැගී නොතිබුණි. සුළු ජාතීන් රාජ්ය දැක්කේ සිංහලයන්ට බර තබන ලද රාජ්යයක් ලෙසය. සුළු ආගම් අදහන්නන් එය දැක්කේ බුද්ධාගමට බර තබන ලද රාජ්යයක් ලෙසය. ගොවිගම නොවන හා වෙල්ලාල නොවන කුලවල ජනයා එය දැක්කේ ගොවිගම කුලයට හා වෙල්ලාල කුලයට බර තබන ලද රාජ්යයක් ලෙසය. ඒ නිසා රාජ්යයේ සුජාතභාවය සියලුදෙනාගේ පොදු පිළිගැනීමට හේතු නොවන දෙයක් බවට පත්වෙමින් තිබුණේය.
වර්ගය, ආගම හා කුලය මත පදනම් වූ ගැටුම් විටින් විට ඈත්වෙමින් තිබුණද ඒවා මහා පරිමාණයෙන් ලේ හලන ගැටුම් බවට පත්වන්නේ 1978දී ආණ්ඩුක්රමයේ ඇති කරන මහා වෙනස්කම් සමගය. ඊට පෙර අතෘප්තිමත් තත්ත්වයක සිටි අයට විටින් විට ආණ්ඩු වෙනස් කරගැනීම මගින් තාවකාලික තෘප්තියක් ඇතිකර ගැනීමට හැකිවී තිබුණි. 1978 හඳුන්වා දෙන ලද ආණ්ඩුක්රමය විසින් මහජනතාවට ආණ්ඩු වෙනස් කරගැනීමට තිබුණු පහසු හැකියාව නැති කොට ආණ්ඩු වෙනස්වීම කලාතුරකින් හා දීර්ඝ කාලයකට පසුව පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. ආණ්ඩු මාරුවීම දීර්ඝකාලීන දෙයක් බවට පත්වීම නිසා විරුද්ධ පක්ෂවලටද අල්ලාගෙන සිටීමේ හැකියාව නැතිවී විරුද්ධ පක්ෂ ව්යාපාරවල ක්රියාකාරීත්වයද බෙලහීන කළේය. ඒ සමග රාජ්යයේ ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවල ස්වාධීනත්වය අහිමිවී ඒවා විධායකයේ දේශපාලන අතකොලු ලෙස ක්රියාකරන තත්ත්වයකට පත්විය. මෙසේ එය ඇති කරන ලද පීඩාකාරී හා ගොරෝසු වටාපිටාව තුළ ප්රචණ්ඩත්වයට තිබෙන පිළිගැනීම වර්ධනයවී රට කෙළවරක් නැති තරමට ලේ හලන තත්ත්වයකට තල්ලු විය. සන්නද්ධ දේශපාලන ව්යාපාර ඇතිවී ඒවා විසින්ද රජයේ හමුදා හා අතුරු හමුදා විසින්ද තොග ගණනින් මිනිසුන් ඝාතනය කරන තත්ත්වයක් ඇතිවී එම අශීලාචාර තත්ත්වය දීර්ඝ කාලයක් පවතින දෙයක් බවට පත්විය. ඇතිවූ එම බිහිසුණු ලේ වැගිරීම් කෙරෙහි බලපෑ විවිධ හේතු අතර වර්ගභේදය, ආගම් භේදය හා කුල භේදයද වැදගත් සාධක තුනක් වශයෙන් බලපෑවේය. දශක තුනක් තරම් දීර්ඝ කාලයක් එක දිගට පැවති බිහිසුණු ප්රචණ්ඩ වටාපිටාව සමාජ සදාචාරය පමණක් නොව දේශපාලන සදාචාරයද කුණු කිරීමට හේතුවිය.
ප්රභාකරන්ගේ ප්රචණ්ඩ ව්යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග සිදුවිය යුතුව තිබුණේ නිදහසේදී සම්පූර්ණ කරගැනීමට අසමත් වූ අවශ්යතා දෙක (ජාතිය හා ප්රජාතන්ත්රවාදී සමාජය තැනීම) සම්පූර්ණ කරන අතර සියලුදෙනාගේ විශ්වාසයට ගෞරවයට හා යහපතට හේතුවන නව ආණ්ඩුක්රමයක් ඇති කිරීමට හේතු වන ප්රතිසංවිධානයකට රට යොමු කිරීමය. ඒ වෙනුවට යුද්ධය ජයගත් වීරයා කළේ අවශ්යයෙන්ම වෙනස් කළ යුතුව තිබූ කුණුවී තිබූ ඒ සියලු දේ තවදුරටත් තබා ගනිමින් ධුර කාල දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසුව තවදුරටත් එම ධුයේ ඉඳීම වැළකීම සඳහා පනවා තිබූ තහංචි ව්යවස්ථා සංශෝධනයන් මගින් ඉවත් කරමින් තමන් කැමති තෙක් බලයේ සිටීමේ හැකියාව ලැබෙන ආකාරයට කුණුවී තිබුණු ආණ්ඩුක්රමය සංශෝධනය කරන තැනකට යෑමය. ඒ මගින් එල්ටීටීඊ ත්රස්තවාදය පරාජය කළ වීරයා එතෙක් අශීලාචාර තත්ත්වයක තිබූ රට ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය කිරීමට තිබුණු ඓතිහාසික අවස්ථාව රටට අහිමි කළේය.
ජනාධිපතිවරණය
දැන් රට තිබෙන්නේ රටේ අනාගතය කෙරෙහි බලපාන ජනාධිපතිවරණයක් මුවවිටය. එම මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂද ඔහුගේ පාලනයද පරාජය කළ යුතුය. එසේ කළයුත්තේ මහින්ද රාජපක්ෂ පාලනය අන්ත දූෂිත හා ප්රජා පීඩක නිසා පමණක් නොව රට ශීලාචාර තත්ත්වයකට ගැනීමට අවශ්ය ප්රතිසංස්කරණ එම පාලනයෙන් අපේක්ෂා කළ නොහැකි නිසාය. එහෙත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පාලනය පරාජය කිරීම පමණක් රටට ප්රමාණවත්ද? ප්රජා පීඩක හා දූෂිත ගණයෙහිලා සැලකිය හැකි පාලකයකු පරාජය කිරීමෙන් මහජනයාට සතුටක් ලැබිය හැකි වුවද ඔහුගේ පරාජයෙන් පසුත් රටේ පවතිනු ඇත්තේ පැරණි අශීලාචාර තත්ත්වය නම් එය හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි අරුත් විරහිත දෙයක් වනු නොවැළැක්විය හැකිය. මහින්ද පරාජය කරන දේශපාලන වැඩසටහනක් ඉදිරිගාමී හා ඵලදායක වනු ඇත්තේ මහින්ද සමග ඔහු විසින්ද පවත්වාගෙනයමින් තිබෙන අශීලාචාර ක්රමද පරාජය කළ හැකි නම් පමණය.
පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට මගින්ද රාජපක්ෂ පරාජය කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ව්යාපාරය ඇති කරගෙන තිබූ සිහිනය දැන් පවතින දේශපාලන යථාර්ථයට වලංගු වන බවක් පෙනෙන්නට නැත. එක්සත් ජාතික පක්ෂය අලුගසා දමමින් නැවත බලවත් තත්ත්වයකට පත්වෙමින් සිටී. එජාපයට හිතවත් ජනයා අතර මතුවෙමින් තිබෙන ප්රබෝධය තුළ නැවත රනිල් වික්රමසිංහද බලවත් නායකයකුගේ තත්ත්වයට එජාපයෙන් අනුමැතිය දිනාගත් ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙමින් සිටින්නේද රනිල් වික්රමසිංහය.
රනිල් වික්රමසිංහ තරග බිමට ඒම වළකා ඒ වෙනුවට පිටතින් තුන්වැන්නෙකු කරළියට ගන්නා කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කිරීමේ හැකියාවක් නොපවතී. අපේක්ෂකයා තීන්දු කිරීමේදී ඒ ඒ දේශපාලන පක්ෂවලට තිබෙන බලයේ ප්රමාණයද බලපායි. ඒ අර්ථයෙන් විරුද්ධ පක්ෂ අතර තිබෙන ලොකුම පක්ෂය වශයෙන් තම පක්ෂයේ අපේක්ෂකයකු තීන්දු කිරීමේ බලයද ඒ පක්ෂයට තිබෙන්නේය. රනිල්ට නම් බැහැයි කියන කතාවක්ද මහජන මනසේ තිබෙන්නේය. එහෙත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් හා ඊට පෙර චන්ද්රිකා ආණ්ඩුව විසින් නිර්මාණය කොට වගා කරන ලද බොරු මතවාදයක් ලෙස සැලකිය හැකිය. 1999 මැතිවරණයේදී චන්ද්රිකාගේ බෝම්බ සිද්ධිය නොවන්නට ළඟ ළඟ තරගයකින් රනිල් ජයගන්නට ඉඩ තිබුණි. ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයකින් චන්ද්රිකා ජනාධිපති ධුරයේ සිටියදීම රනිල් ජයගත්තේය. 2005 ජනාධිපතිවරණයෙන්ද ප්රභාකරන් අවහිර නොකරන්නට ළඟ ළඟ තරගයකින් මහින්ද රනිල්ට පරාජය වන්නට ඉඩ තිබුණි. ඔහුගේ වාසියට හේතු නොවන දුර්වලතා තිබෙනවා සේ ම වාසියට හේතුවන ශක්තීන්ද තිබෙන්නේය. කැරිස්මාවේදී ඔහු ඉන්නේ දුර්වල තැනකය. එහෙත් පරිණතභාවයේදී ඔහු ඉන්නේ ශක්තිමත් තැනකය. මහින්ද පරාජය කිරීමට මහ ජාතියේ ආශිර්වාදය පමණක් නොව සුළු ජාතීන්ගේ ආශිර්වාදයද අත්යවශ්යය. ඔහු දක්ෂිණාංශික අදහස් දරන්නකු ලෙස සැලකිය හැකි වුවද ඔහු වර්ගවාදී, ආගම්වාදී හා කුලවාදී ආකල්පවලින් තොර බහුත්වාදී ආකල්ප සහිත නායකයකු ලෙස සැලකිය හැකිය. රටේ ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැනුම උසස් තත්ත්වයක තිබෙන අතර ආර්ථික කළමනාකරණ හැකියාවද තහවුරු කර තිබෙන පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. ඔහු ජාත්යන්තර ප්රජාව අතරද පිළිගැනීමක් ඇති නායකයකු ලෙස සැලකිය හැකිය. ඒ සියලු කාරණා සැලකිල්ලට ගත්විට මෙම නිශ්චිත මොහොතේදී මහින්ද පරාජය කිරීම සඳහා තෝරාගත හැකි විකල්ප අතර තිබෙන හොඳම විකල්පය ලෙසද සැලකිය හැකිය.
එහෙත් රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන දේශපාලන අශීලාචාරත්වය සමග ගත්විට රනිල් රටට වැදගත් විකල්පයක් වනු ඇත්තේ මහින්ද පරාජය කිරීමකට සීමා නොවී රටේ පවතින දේශපාලන අශීලාචාර තත්ත්වය අවසන් කොට රට ශීලාචාර තැනකට ගැනීමට ඔහු තුළ අවංක වුවමනාවක් හා සූදානමක් ඇත්නම් පමණය. එය කටවචනයෙන් දෙන අලංකාර පොරොන්දුවකට සීමා නොවිය යුතුය. තිබෙන අශීලාචාර දේශපාලන ක්රමය වෙනුවට සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ශීලාචාර දේශපාලන ක්රමයක් ඇතිකිරීමට ඔහු සූදානම්ද? අන්ත දූෂිත හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන ආයතන ක්රම ප්රතිසංවිධානය කරන තැනකට යන්නට සූදානම්ද? වර්ග භේදයකට, ආගම් භේදයකට හා කුල භේදයක ඉඩත් නැති සියලුදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන රාමුවක් තුළ එක්සත් ශ්රී ලංකා ජාතියක් නිර්මාණය කිරීමට සූදානම්ද? රනිල් වික්රමසිංහට ඉදිරිගාමී වැඩසටහනක් සහිත ඉතා බලවත් අපේක්ෂකයකු බවට පත්විය හැකිවනු ඇත්තේ ඒ සියලු ප්රතිසංස්කරණ ඇතුළත් ගිවිසුමක් මහජනයා සමග ඇතිකර ගැනීමට සමත්වේ නම් පමණය.
පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය දැන් තිබෙන ආණ්ඩුක්රමයේ තිබෙන පිළිකුල්සහගතම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. ඒ දේ ශ්රීලනිප පාලන කාලවලදී පමණක් නොව එජාප පාලන කාලවලදීද සිදුවිය. එම කොල්ලකාරී ස්වභාවය මුලුනුපුටා දැමීම අත්යවශ්යය. මහජන මන්ත්රීවරුන්ට රජයේ ආයතන සමග ව්යාපාරික ගනුදෙනු කිරීමට ලබාදී තිබෙන අයිතියද නැති කළ යුතුය. මැතිවරණ වියදම් සඳහා සීමා නීති නැවත ඇති කළ යුතු අතර ඡන්දදායකයන් තොග වශයෙන් මිලදී ගැනීමට අපේක්ෂකයන්ට ලබාදී තිබෙන අයිතියද නැති කළ යුතුය. පාලකයා නීතියට යටත් තැනකට ගෙනා යුතු අතර අධිකරණය පුරවැසි අයිතිවාසිකම් ගැන සංවේදී නීතියට අනුකූල හා ස්වාධීනව ක්රියාකරන ආයතන ක්රමයක් බවට පත් කළ යුතුය. අල්ලස හා දූෂණය මර්දනය කිරීම සඳහා ඵලදායක ආයතන ක්රමයක් ඇති කළ යුතුය. වත්කම් බැරකම් නීතිය නවීන කොට එය අකුරටම ක්රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. නීති විරෝධී උපදෙස් දීම් හා නීති විරෝධී පිළිපැදීම් දැඩි දඬුවම් ලැබෙන වැරදි බවට පත් කළ යුතුය. තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කළ යුතුය.
රනිල් වික්රමසිංහ විසින් ජනාධිපතික්රමය ඉවත් කොට ඇති කරන්නට යන ක්රමය අපැහැදිලිය. විධායක ජනාධිපති කෙනකු වෙනුවට විධායක අගමැති කෙනකු ඉදිරි පියවරක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩු ක්රමයක් තෝරාගැනීමේදී අත්හදා බැලීම් කරන්නට යෑම සුදුසු නැත. එක්කෝ විධායක ජනාධිපතික්රමය ශීලාචාර ජනාධිපතික්රමයක් බවට පත් කළ යුතුය. නැතිනම් වෙස්ට්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකට යායුතුය. ලංකාව වැනි රටකට වඩාත්ම උචිත දේ විය හැක්කේ දෙවැන්නය.
තුන්වැනි සමාජ ව්යාපාරයක්
දේවල් සිදුවන්නට යන්නේ කව ආකාරයකින් වුවද රටක් වශයෙන් අප මුහුණ දී සිටින අවුල් විසඳාගැනීම සඳහා දැනුවත් පුරවැසියන්ගෙන් සමන්විත තුන්වැනි සමාජ ව්යාපාර ජාලයක් ඇතිකර ගැනීම මේ මොහොතේ අත්යවශ්ය හා වැදගත් දේශපාලන කොන්දේසියක් වී තිබෙන්නේයැ”යි කිව හැකිය. එය සමාජ ආරක්ෂාව සඳහා අත්යවශ්ය කොන්දේසියක් ලෙස සැලකීය. ඒවා බලය සඳහා තරග කරන දේශපාලන ව්යාපාර විය යුතු නැත. රටට අවශ්ය කරන දේශපාලන ප්රතිසංස්කරණ ගැන මහජනයා දැනුවත් කරමින් මහජනයා අවධියෙන් තබාගනිමින් ඔවුන් බලමුළු ගැන්වීම අරමුණු කරගත් ව්යාපාර විය යුතුය.
මේ ගැන විවිධ පුද්ගලයන් සමග කරන කතාබහවලදී සමහර අය දරන ලද මතය වූයේ එවැනි ව්යාපාරයක් රාවය පුවත්පත විසින් රාවය පාඨකයන් ආශ්රයෙන් ගොඩනැගීම වඩා සුදුසු බවය. රාවය නිරන්තරයෙන්ම ඒ පිළිබඳ සංවාදයක සිටින පුවත්පතක් වන නිසා හා රාවය පාඨකයන්ද එම සංවාදයට සම්බන්ධ පිරිසක් වන නිසා රාවය පාඨකයන් පදනම් කොටගෙන ගොඩනගන එවැනි ව්යාපාරයක් දැනුවත් හා සංවේදී පුරවැසි ව්යාපාරයක් වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබෙන්නේයැ”යි කිව හැකිය. මීට සමාන අදහසක් රාවය සහයෝගිතා ව්යාපාරයේ පුද්ගලයන් සිව්දෙනකුද ලිඛිතව ඉදිරිපත් කර තිබුණි.
ඒ අදහස ගැන රාවය කියවන පාඨකයන් සිතන්නේ කෙසේද? එවැනි අත්හදා බැලීමක යෙදීම සුදුසුද? එවැනි ව්යාපාරයක ආකෘතිය කුමක් විය යුතුද? තෝරාගත යුතු ප්රතිපත්ති මොනවාද? රාවය පාඨකයන්ටද ඒ ගැන නිර්මාණශීලී අදහස් තිබිය හැකිය. ඒ ගැන පාඨක අදහස් සාමාන්ය තැපෑලෙන් හෝ විද්යුත් තැපෑලෙන් දැනුම් දෙන ඉල්ලා සිටිමි.
විද්යුත් ලිපිනය socialmovement.ravaya@gmail.com