කළයුත්තේ කුමක්ද?

August 10, 2014
Publication:
Quoting Mao that falling into a pit teaches the mind, Ivan asks whether Sri Lankan society learns from its disasters. After defeating Wijeweera's rising and then Prabhakaran, the country had a chance for an Asoka-like turn from war to reconciliation, but the victor was blinded by triumph. The crisis has taken a new form, hidden behind an illusion of development built on infrastructure and debt. The Rajapaksa government has lost its moral right to rule; the opposition's first task is a common programme agreed through open negotiation.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එය ජයගැනීමට උනන්දුවක් දක්වන අය සිතන තරම අතර මහා පරතරයක් ඇතැ”යි මට සිතේ. අර්බුදයේ තරම දැවැන්තය. එය බහුවිධ විස්තීරණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලොකු අර්බුදයක් ජයගැනීමට ඊට සරිලන ලොකු ප්‍රායෝගික දැක්මක් තිබිය යුතුවා සේ ම ඊට සරිලන තරමේ ලොකු සංවිධානාත්මක උත්සාහයක්ද තිබිය යුතුය.

මට බොහෝවිට සිතුණේ අප බිංදුවටම වැටී එතැන් සිට නව ආරම්භයක් ගෙන ඉදිරියට යන ජාතියක් විය හැකි බවය. එහෙත් අනෙක් අතට රට බිංදුවට වැටෙන තෙක් බලා සිටිය යුතුද යන ප්‍රශ්නයද ඒ සමග ඇතිවූයේය. කොයි දේ කරන්නට වුවත් ආරම්භක වශයෙන් රටේ අනාගතය ගැන උනන්දුවක් දක්වන සංවේදී සුළු පිරිසේ දැනුම වර්ධනය කිරීම ඉතා වැදගත්ය.

මාඕ සේතුං කියා තිබෙන්නේ වළක වැටීමත් මොළයට ලාභයක් බවය. එහෙත් වළක වැටීම මොළයට ලාභයක් වන්නේ වළට වැටුණු මිනිසාට මොළයක් තිබෙන්නේ නම් පමණය. මොළයක් නැති විට ඉන් ඉගෙනගත හැකි පාඩමක් නැත.

අත්දැකීම්වලින් ඉගෙන ගැනීම

ශ්‍රී ලංකා සමාජය තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභාවවාචක අත්දැකීම්වලින් ඉගෙන ගනු ඇතැ”යි කියන අදහසේදී මා හා එකඟ නොවන මිත්‍රයෙක් මට සිටින්නේය. ඔහු අහන්නේ අත්දැකීම්වලින් ඉගෙන ගන්නා සමාජයක් නම් මුහුණ දී තිබෙන අත්දැකීම්වල සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේද කියාය. ඔහු කියන්නේ 83 කළු ජූලියෙන් අප කිසිවක්ම ඉගෙන ගත්තේ නැති බවය. ඉන්පසු ජේවීපී දෙවැනි කැරැල්ලෙන්ද කිසිවක් ඉගෙන නොගත් බවය. ඉන්පසු එක දිනකදී මිනිසුන් තිස්දාහක් මරණයට පත් කළ සුනාමි ව්‍යසනයෙන්ද ඒ සමග එල්ටීටීඊ කැරැල්ලෙන්ද අප කිසිවක් ඉගෙන නොගත් බවය. ඒ නිසා බිංදුවට වැටුණු පසුද ශ්‍රී ලංකා සමාජය ඉගෙන ගනීවි කියා තමන් විශ්වාස නොකරන බව ඔහු කියන්නේය.

ඔහු කියන කතාවේ කිසියම් ඇත්තක් ඇතත් මා හිතන්නේ පසුගාමී සමාජයක් පුනරුදය කරා යන්නේ හෙමින් හෙමින් බවය. යුරෝපීය සමාජයද පුනරුදයකට යන්නට දැවැන්ත වන්දියක් ගෙව්වේය. ශ්‍රී ලංකාව සමග ගත් කල ඉන්දියාව ඉතාමත් වාසනාවන්තය. මොන මොන හේතු නිසා හෝ ඉන්දියාවට මහා පුරුෂයන් ගණයෙහිලා සැලකිය හැකි නායකයෝ කන්දරාවක් සිටියෝය. කාලයාගේ ඇවෑමෙන් හෙමින් හෙමින් සිදුවන පරිණාමයකට ඉඩ නොතබා දැවැන්ත මතවාදී ව්‍යාපාරයක් ඔස්සේ ඉන්දියානු සමාජය පුනරුදය කරා ගෙනයෑමට එම නායකයෝ සමත් වූහ. ඔවුන්ට ඒ සඳහා ඊට ගැළපෙන මහා දැක්මක් තිබුණා සේ ම මහා වැඩසටහනක්ද ඒ වැඩසටහන ක්‍රියාවට නැගීමට අවශ්‍ය කරන අතිවිශාල ධෛර්යයක්ද තිබුණේය. එහෙත් අපට පහළ වූ නායකයෝ එවැනි යෝධ ගණයේ අය නොවූහ. ඉන්දියානු නායකයන්ට සාපේක්ෂව අපේ නායකයන් සැලකිය හැක්කේ පුංචි අඟුටුමිට්ටන් ලෙසය. සමාජයේ පවත්නා පසුගාමී සමාජ ආකල්පවලට අනුගතවෙමින් සමාජ රළපහර සමග ඇදී යන නායකයන් මිස පසුගාමී සමාජ ආකල්ප වෙනස් කරමින් සමාජයට පුනරුදය උදාකරදෙමින් ඉදිරියට යන නායකයෝ අපට නොසිටියෝය. අපේ නායකයන්ගේ කසිකබල් බව කසිකබල් සමාජ වටාපිටාවේ ප්‍රතිඵලයක් විය හැකිය.

සිදුවී තිබෙන දේවල තරම ඉතා විශාල හා අනුවේදනීය වූවත් ඒවායින් ඊට ගැළපෙන තරමට සමාජය ඉගෙනගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. සමහරවිට ඒ ඇතිවූ බිහිසුණු මහා සිදුවීම් අපේ ප්‍රකෘති සිහිය නැති කොට ඒ දේවලින් ඉගෙන ගැනීමට තිබුණු සංවේදීතාව අපට නැතිකර තිබුණා විය හැකිය. ඇත්තටම සිදුවී ඇත්තේ එය නම් යහපත් පරිවර්තනයක් ඇති කළ හැකිවනු ඇත්තේ කිසියම් ප්‍රමාණයකට හෝ ප්‍රකෘති සිහිය අහිමි කරගෙන සිටින සමාජයට ප්‍රකෘති සිහිය ලබාදෙන මහා ක්‍රියාදාමයකින් පමණය.

ත්‍රස්තවාදය අවසන් කිරීම

දකුණේ විජේවීරගේ සිංහල තරුණ කැරැල්ල පරාජය කළ ආරක්ෂක හමුදා විසින්ම ඉන් වසර 20කට පසුව උතුරේ ප්‍රභාකරන්ගේ දිග්ගැස්සුණු දෙමළ කැරැල්ලද පරාජය කළේය. එය නූතන ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. සිංහල වීම හේතු කොටගෙන විජේවීරගේ අනුගාමිකයන් උත්සාහ කළේ රාජ්‍යය අල්ලා ගන්නටය. දෙමළ වීම හේතු කොටගෙන ප්‍රභාකරන්ගේ අනුගාමිකයන් උත්සාහ කළේ වෙනම රාජ්‍යයක් ඇතිකර ගන්නටය. මේ සිංහල, දෙමළ තරුණ දෙපිරිසම මොන මොන හේතු නිසා හෝ රාජ්‍යයේ සුජාතභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබුණු බව ඉන් පෙනීයයි.

ශ්‍රී ලංකාවේ විවිධ මිනිසුන්ගෙන් සමන්විත සමාජ ක්‍රමය සේ ම දේශපාලන ක්‍රමය හා ඒ යටතේ තිබෙන ආයතන ක්‍රමයද දශක තුනකට ආසන්න කාලයක් ජීවත් වී තිබුණේ කෙළවරක් නැතිතරමට ලේ හලන ප්‍රචණ්ඩ වටාපිටාවකය. ප්‍රචණ්ඩ අරගල ඇතිවීම කෙරෙහි සමාජ ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ අවිධිමත් හා පීඩාකාරී ස්වරූපයද බලපෑවේය. විධිමත් ලෙස තනාගන්නා සමාජ ක්‍රමයකින් හා දේශපාලන ක්‍රමයකින් තොරව ගිය ඉදිරි ගමන තවදුරටත් සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවී තිබුණු අතර ඒ නිසා ඇතිවූ ප්‍රචණ්ඩ අරගල හා මහා ලේ වැගිරීම් තවදුටත් සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය උපරිම මට්ටමකට විකෘති කොට උපරිම මට්ටමකට කුණු කිරීමටද හේතුවී තිබුණි. එම ඓතිහාසික සන්ධිස්ථානයේ සිට අප ඉදිරියට යායුතුව තිබුණේ විකෘති වී කුණුවී තිබුණු සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය යළි ප්‍රතිනිර්මාණය කරගනිමිනි.

එහෙත් රටේ අවාසනාවකට මහා භාරතයේ චණ්ඩ අශෝකට තිබුණු සංවේදී බව අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිබුණේය. චණ්ඩ අශෝක ජීවත් වූයේ ඉතා පැරණි ඓතිහාසික කාලවකවානුවක වුවද ඔහුගේ මහා යුද්ධ ජයග්‍රහණය යට තිබුණ මහා විනාශය දැකීමට ඔහු සමත් විය. ඒ නිසා ඇති කරගත් සංවේගයෙන් රජු ප්‍රතිනිර්මාණය වූ නව මිනිසකු බවට පත්වූයේය. ඔහු සිය රාජ්‍යයද දැහැමි රාජ්‍යයක් ලෙස ප්‍රතිනිර්මාණය කරගත්තේය. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් චණ්ඩ අශෝක ධර්ම අශෝක කෙනකු බවට පත්වී ලෝක ඉතිහාසයට එකතු වූ පරමාදර්ශී රජකුගේ තත්ත්වය හිමිකර ගත්තේය. එහෙත් අවාසනාවකට නූතන ලෝකය නියෝජනය කරන කෙනකු වී සිටියදීත් ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කළ මහින්ද රාජපක්ෂට පෙනුණේ එම ජයග්‍රහණයෙන් තමන්ට හිමි කරගත හැකි පුද්ගලික වාසි පමණය. එම ජයග්‍රහණය යට තිබෙන සමාජ, දේශපාලන ඛේදවාචකය හා ඒ හා බැඳුණු සමාජ දේශපාලන අර්බුදය දකින්නට ඔහු අසමත් වූයේය.

ජයග්‍රහණය ඉදිරියේ අන්ධවීම

ඔහු ලද යුදමය ජයග්‍රහණය විදේශ ආක්‍රමණික හමුදාවකට එරෙහිව කරන ලද යුද්ධයකින් ලැබූ ජයග්‍රහණයක් නොවීය. ඔහුගේ ආරක්ෂක හමුදා අතින් පරාජයට පත්වූයේ මේ රටේම ජන කණ්ඩායමකට අයත් හිතුවක්කාරී තරුණ දූ දරුවෝය. ත්‍රස්තවාදය රටේ දෙමළ වර්ගයාට පමණක් ආවේණික වූ දෙයක් නොවන බව ඔහු තේරුම් ගත යුතුව තිබුණේය. එම සාහසික මාර්ගය ඔහුද අයත් සිංහල වර්ගයාගේ හිතුවක්කාරී දූ දරුවන්ද අත්හදා බලා තිබුණි. ජේවීපී කැරැල්ලේ ප්‍රධාන බල ප්‍රදේශය බවට පත්ව තිබුණේද ජනාධිපතිගේ ගම් ප්‍රදේශය හා මැතිවරණ දිස්ත්‍රික්කයයි. එසේ තිබියදීත් ත්‍රස්තවාදය බිහිකිරීමට බලපෑ සමාජ, ආර්ථික හා දේශපාලන සාධක තේරුම් ගැනීමට ඔහු අසමත් විය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කරන යුද්ධය අවසන් කරන අවස්ථාව වනවිට සමාජයේ ජීවත් වූ මිනිසුන් සේ ම සමස්ත සමාජ ක්‍රමයද, දේශපාලන ක්‍රමය හා ඒ යටතේ තිබෙන සමස්ත ආයතන ක්‍රමයද යළි ප්‍රතිනිර්මාණය කරන තැනකට යෑමෙන් තොරව නැවත ප්‍රයෝජනයට ගත නොහැකි තරමට කුණුවී විකෘති වී තිබෙන බව තේරුම් ගැනීමටද ඔහු අසමත් විය.

ඒ වෙනුවට ඔහු එම යුද්ධයේ ජයග්‍රහණයත් සමග ප්‍රධාන කොට සැලකිල්ලට ගත්තේ යුද්ධය ජයගත් වීරයා වශයෙන් තමන්ට රටින් ලැබිය යුතු දේවල් ගැනය. ලබාදෙන ලද එම ජයග්‍රහණය වෙනුවෙන් රට තමාට සදා ණයගැතියැ”යි කල්පනා කරමින් තමා කැමති තෙක් රට පාලනය කිරීමේ අයිතිය සේ ම තමන්ගෙන් පසු තමන්ගේ දූ දරුවන්ටද එම අයිතිය ලැබිය යුතුයැ”යි කල්පනා කරන පටු තැනකට ගියේය. ඒ අනුව ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දෙන ලද පොරොන්දුව නොසලකා තිබුණු ක්‍රමයේ තිබුණු ධුර කාල දෙකේ සීමාවද ඉවත් කළේය. දේශපාලන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරමින් කැබලි වී තිබූ ජාතිය ඒකාග්‍ර කොට ජනතාවට අයිතිවාසිකම් හා නිදහස ලබාදෙන රාජ්‍ය පාලකයකු බවට පත්වනවා වෙනුවට දුගඳ හමන තරමටම කුණුවී තිබුණු දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය ආරක්ෂා කරන ප්‍රජා පීඩකයකුගේ තත්ත්වයට පත්වූයේය. ඒ මගින් රට පාලනය කිරීමට තිබිය යුතු සදාචාරාත්මක අයිතිය අහිමි කරගත්තේය.

ඔහුට ලැබී තිබුණු ඓතිහාසික අවස්ථාව නිදහසට පසු බලයට පැමිණි කිසිදු නායකයකුට ලැබී නැත. අවශ්‍ය තරමට ප්‍රඥාවන්ත වීමට සමත් වී නම් පුංචි ධර්මාශෝක කෙනකු වශයෙන් හෝ පුංචි මැන්ඩෙලා කෙනකු වශයෙන් ලෝක ඉතිහාසයට එකතුවීමේ ඇත්ත හැකියාව ඔහුට තිබුණේය. ඒ මගින් මුළු රටේම පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ගෞරවයට හේතුවූ ජන නායකයෙකු ලෙස ඉතිහාසයට එකතුවීමට තිබුණු හැකියාව ඔහු අහිමි කරගත්තේය. ඒ මගින් යුද්ධයේ ජයග්‍රහණය මගින් හිමි කරගත් වීරත්වයද ඉක්මනින් වාෂ්ප වී යන වීරත්වයක් බවට පත්කර ගත්තේය.

අර්බුදය අලුත් මුහුණුවරක් ගැනීම

ප්‍රභාකරන්ගේ පරාජය සමග ලංකාව මුහුණ දී තිබූ අර්බුදය අවසන් වූයේ නැත. ප්‍රභාකරන් අර්බුදයේ ඵලයක් මිස හේතුව වූයේ නැත. ඵලය නැති කොට හේතූන්ට පිළියම් නොකිරීම නිසා සර්පිලාකාර ආකාරයකට ගමන් ගනිමින් තිබූ අර්බුදය අලුත් වටයකින් ඉදිරියට යන තත්ත්වයක් ඇතිවිය. යුද්ධය තිබෙන තෙක් එයින් හමන වෙඩි හඬ නිසා දේශපාලන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ කුණුවීම හා ඉන් හමන දුගඳ අපට නොපෙනුණේය. යුද්ධය හමාරවීමෙන් පසු ජාතික දේහය නිරාවරණය වී දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය කුණුවී තිබෙන තරම හා ඉන් හමන දුගඳ අපට හොඳින් පෙනෙන දෙයක් බවට පත්වූයේය.

දැන් ත්‍රස්තවාදී පහරදීම්වලින් මිනිසුන් මරණයට පත් නොවන බව සත්‍යයකි. සමහරවිට ඊට වඩා විශාල විනාශයන් වෙනත් ආකාරවලින් සිදුවෙමින් තිබේ. ත්‍රස්තවාදීන් අතින් සිදුවූ අපරාධ නැතිවී ඇතත් වෙනත් ආකාරවලින් අපරාධකාරයන් කරන අපරාධවලින් රට ඇළලී යන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේයැ”යි කිව හැකිය. කවදත් ලංකාව ඉහළ මට්ටමේ මත්පැන් පරිභෝජනයක් තිබූ රටකි. දැන් රටවැසියන් මත්පැන් කියා බොන්නේ එතනෝල්වලින් සාදන මත්පැන්ය. වෙනදා හෙරොයින් රටට ආවේ පුංචි සිරි සිරි බෑග්වලය. දැන් ඒවා එන්නේ කිලෝ සිය ගණනින් කන්ටේනර්වලිනි. ජුනි මාසයේදී පමණක් සිව් වතාවකදී අත්අඩංගුවට ගෙන තිබෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ 213කි. ලංකාව හෙරොයින් තිප්පොළක් බවට පත්ව තිබෙනවා පමණක් නොව හෙරොයින් ප්‍රතිඅපනයනය කෙරෙන වැදගත් මධ්‍යස්ථානයක් බවටද පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය. ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කර තිබෙන ආකාරයට පසුගිය වසර හතරේ ළමා අපයෝජන ගැන අධිකාරියට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 210,000කි. ඉන් පෙනෙන්නේ එම වසර හතර තුළ පමණක් කුඩා ළමුන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් අපයෝජනයට ලක්ව තිබෙන බවය. අපරාධකරණයේ ඇතිවී තිබෙන ශීඝ්‍ර වර්ධනය කෙරෙහි අපරාධකරුවන් හා දේශපාලකයන් අතර තිබෙන කල්ලි ගැසීමත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රමයේ හා නීතිය පසිඳලන ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳවැටීමත් බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

සංවර්ධනයේ මායාව

දේශපාලන ක්‍රමයේත් ඒ යටතේ තිබෙන ආයතන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේත් සාරධර්ම විෂයෙහි පමණක් නොව ආර්ථිකයේ සමහර වැදගත් අංශවලත් මහා කඩා වැටීමක් තිබියදීත් නොකඩවා ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීමට මෙම අපූරු දිවයින සමත් වී තිබෙන බවද කිව යුතුය. බැලූ බැල්මට ලංකාව පෙනෙන්නේ ඉතා පොහොසත් රටක් ලෙසය. බොහොමයක් මහා මාර්ග දෙපැත්තේ කාණු බැඳ කාපට් කර තිබේ. මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන් තැනින් තැන මුළු රට පුරා ක්‍රියාත්මක වන බවද දැකිය හැකිය. කොළඹ නගරය දිලිසෙන නගරයක් බවට පත්කෙරෙමින් පවතී. බැලූ බැල්මට රට සමෘද්ධිමත්ය. යටිතල පහසුකම්වලට ඕනෑතරම් මුදල් ඇතත් අධ්‍යාපනයට අවශ්‍ය තරම් මුදල් නැත. මහජන සෞඛ්‍යයටද අවශ්‍ය තරම් මුදල් නැත. නව රැකියා මාර්ග ඇති කිරීමටද අවශ්‍ය තරම් මුදල් නැත. විශ්‍රාමිකයන්ට විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්නටද මුදල් නැත. පොහොර සමාගම්වලට පොහොර සහනාධාරය සඳහා ගෙවිය යුතු හිඟ මුදල් ගෙවන්නට මුදල් නැත. අර්ථසාධක අරමුදලින් සේවාදායකයන්ට ලබා දුන් නිවාස ණය ක්‍රමයද තාවකාලිකව අත්හිටුවා තිබේ. රාජ්‍ය බැංකු දැන් ණය දෙන්නේ මහජනතාවට නොව ආණ්ඩුවටය. දිලිසෙන දේවල් කරමින් තිබියදීත් ආණ්ඩුව අමාරුවෙන් ගැට ගසාගෙන යන තත්ත්වයක තිබෙන බව පෙනෙන්නට ඇතත් යටිතල පහසුකම් තලයේ දිගින් දිගට සිදුකෙරෙමින් තිබෙන මහා පරිමාණයේ ආයෝජන ඇත්ත චිත්‍රය යටපත් කොට රට සමෘද්ධිමත් තත්ත්වයක තිබෙන බව පෙන්නුම් කිරීමට හේතුවී තිබේයැ”යි කිව හැකිය.

රටේ ආර්ථික සංවර්ධනයක් ඇති බව පෙන්නුම් කිරීමට හේතුවී තිබෙන්නේ යටිතල පහසුකම් විෂයෙහි නොකඩවා මහා පරිමාණයෙන් කෙරෙන ආයෝජනයන්ය. ඒ සඳහා නොකඩවා කෙරෙන ආයෝජනයන්ගේ ප්‍රමාණය දැවැන්තය. එම විෂයෙහි නොකඩවා කෙරෙන ආයෝජන ඉතාමත් ඉහළ මට්ටමක තබාගැනීම නිසා ඒ අංශයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකිවී තිබෙන අතර ඒ මගින් සමස්ත ආර්ථිකයේද වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකිවී තිබේ. එහෙත් ඒවාට මහා පරිමාණයෙන් කෙරෙන ආයෝජනයන් සඳහා අවශ්‍ය ධනය ගලා එන්නේ චීනයෙන් අධික පොලියට ලබාගන්නා ණය වශයෙනි. චීන ව්‍යාපෘතිවලදී ටෙන්ඩර් පිළිවෙත් ක්‍රියාත්මක නොවේ. ඒවාහි නිෂ්පාදන වියදමද අසාමාන්‍ය තරමින් ඉහළ මට්ටමකින් පවතී. චීන ව්‍යාපෘතිවලදී ගජමිතුරන්ට ගෙවන කොමිස් මුදල් ද ඉතාමත් ඉහළ මට්ටමක පවත්නා බැවින් ඉහළ නිෂ්පාදන මිල කෙරෙහි ඒ සාධකයද බලපා තිබෙන්නේයැ”යි කිව හැකිය. ආණ්ඩුව තෝරාගෙන තිබෙන සංවර්ධන මාර්ගය ගජමිතුරන්ට මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයාගැනීමට අවස්ථාවක් ලබාදෙමින් යටිතල විෂයෙහි නොකඩවා සිදුවන මහා සංවර්ධනයක්ද පෙන්නුම් කිරීමට සමත් වී ඇතත් එය රටේ බෙල්ල ණය උගුලට හිරකරන සාහසික මාර්ගයක් ලෙස සැලකිය හැකිය. එය රටේ අනාගත පැවැත්ම පරදුවට තබා කෙරෙන බිහිසුණු සූදුවක් ලෙසද සැලකිය හැකිය.

අර්බුදයෙන් වැඩිම හානියක් සිදුවී තිබුණේ යටිතල පහසුකම්වලට නොව මානව සම්පත්වලට හා ආයතන ක්‍රමවලටය. මානව සම්පත් හා ආයතන ක්‍රම ප්‍රතිසංවිධානය කොට නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් තරමේ අවධානයක් ලබා නොදී යටිතල පහසුකම්වලට පමණක් බර තබන ප්‍රතිපත්තිය ඇති කර තිබෙන්නේද මහා විකෘතියකිනි. එය රටේ සාරධර්ම බුල්ඩෝසර කොට ඒ මත කාපට් පාරවල් තනන මහා ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය.

කළයුත්තේ කුමක්ද?

රට පාලනය කිරීමේ සදාචාරමය අයිතිය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහිමි කරගෙන තිබේ නම් ඒ අඩුව සුපරාගත යුතුව තිබෙන්නේ කෙසේද? ඊළඟට ඒ අයිතිය එන්නේ විරුද්ධ පක්ෂයටය. එහෙත් විරුද්ධ පක්ෂයට ඒ සදාචාරමය අයිතිය ලැබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවට තිබූ සදාචාරමය අයිතිය අහිමි කිරීමට හේතුවූ කාරණා සම්පූර්ණ කිරීමේ හැකියාවක් හා අවංක වුවමනාව ඊට ඇත්නම් පමණය. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය යළි ප්‍රතිනිර්මාණය කරන තැනකට යෑමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් විය. විරුද්ධ පක්ෂය සම්පූර්ණ කළ යුතුව තිබෙන්නේ එම ඓතිහාසික අවශ්‍යතාව ය. එහිදී විරුද්ධ පක්ෂය යන්නෙන් සැලකිය යුත්තේ කවුද යන ප්‍රශ්නයක්ද පැන නගී. මා හිතන අන්දමට ප්‍රභාකරන් පරාජය කිරීමේ ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂ මහා යෝධයකු බවට පත්කොට විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට, ඒවාහි නායකයන්ට තිබෙන පිළිගැනීම දුබල කොට ඒ සියලු ව්‍යාපාර අඟුටුමිටි ව්‍යාපාර බවටත් ඒ ව්‍යාපාරවල නායකයන් අඟුටුමිටි නායකයන් බවටත් පත් කළේය. ඒ සියලු ව්‍යාපාර එකට ඒකරාශි වී ක්‍රියාකිරීමෙන් මිස මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ හැකියාවක් තනි තනි පක්ෂවලට නැත. ඒ සියලු ව්‍යාපාර එකට එකතු වී වුවද මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකිවනු ඇත්තේ මහින්ද රාජපක්ෂ අතින් සම්පූර්ණ නොකළ ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීම සඳහා අවංක දැක්මක්, ශක්තිමත් අධිෂ්ඨානයක් හා ඒ සඳහා වන පොදු වැඩසටහනක් ඇත්නම් පමණය. එවැනි අව්‍යාජ පොදු වැඩසටහනකින් තොරව උදාසීන හා අක්‍රිය තත්ත්වයකට පත්ව සිටින මහජනයා අවදි කළ නොහැකිය.

දුෂ්කරම දේ වනු ඇත්තේ ඒ සියලු දෙනා සමගි කිරීමය. අප සමගියට නොව අසමගියට බර ජාතියකි. පෘතුගීසීන් සුළු පිරිසකට ලංකාව අල්ලා ගැනීමට හැකිවූයේ අභ්‍යන්තර අසමගිය නිසාය. බ්‍රිතාන්‍යයන්ට උඩරට අල්ලා ගැනීමට හැකිවූයේ උඩරට නායකයන් අතර පැවති අභ්‍යන්තර භේද නිසාය. ලංකාවේ දැනුමැතියන්ගේ දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකි සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයට රටේ බලය ලබාගැනීමට නොහැකි වූයේද එම ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ පැවති භේද නිසාය. දේශපාලන ගමන් මගෙහි මහා විකෘතියක් ඇති කිරීමට හේතුවූ ජනමත විචාරණය පරාජය කිරීමේ ඇත්ත හැකියාවක් විරුද්ධ පක්ෂවලට තිබියදී එසේ කිරීමට අසමත් වූයේද විරුද්ධ පක්ෂ ව්‍යාපාර සමගියකින් යුතුව එම අභියෝගයට මුහුණදීමට අසමත්වීම නිසාය. විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකට එකතු කිරීම දුෂ්කරය. විරුද්ධ පක්ෂ ව්‍යාපාර එක පෙරමුණකට ඒමට අසමත් වෙතොත් මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමද සිහිනයක් වනු නොඅනුමානය.

විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට පළමුවෙන් අවශ්‍ය වනුයේ පොදු අපේක්ෂකයකු නොව පොදු වැඩපිළිවෙළකි. එය ශීලාචාර දේශපාලන ක්‍රමයක් හා සමාජ ක්‍රමයක් අරමුණු කරගත් වැඩසටහනක් විය යුතුය. එය කැබලි වී තිබෙන ජාතිය එකතු කිරීමට හේතුවන හා නිදා සිටින ජනයා අවදි කිරීමට හේතුවන වැඩසටහනක් විය යුතුය. අවශ්‍ය වන්නේ විස්තරාත්මක වැඩසටහනක් නොව අත්‍යවශ්‍ය වෙනස්කම් සඳහා මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමය. පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට ඉඩ ලැබෙන වැඩි ඡන්දයෙන් වෙනුවට පොදු එකඟතාවකින් තීන්දු ගත හැකිය. එකතුවන සියලු පක්ෂවලට වැඩසටහනේ සම අයිතිය ලබාදෙන හා තනි පුද්ගල නායකත්වයක් වෙනුවට නායක මණ්ඩලයක් මගින් තීන්දු ගන්නා රාමුවක් ඇති කරගැනීම මගින් එකට එකතු වී වැඩ කළ හැකි තත්ත්වයක් ඇති කරගත හැකිය. පොදු වැඩසටහනක් සඳහා කෙරෙන සාකච්ඡා නායකයන් අතර තිබෙන වෙනස්කම් තුනී කොට අන්‍යොන්‍ය විශ්වාසයකින් යුතුව වැඩ කළ හැකි වටාපිටාවක් ඇති කිරීමට හේතුවනු ඇත. පොදු වැඩසටහනකට එකඟතාවක් ඇති කරගත හැකි නම් පොදු අපේක්ෂකයකු සඳහාද එකඟතාවක් ඇතිකර ගැනීම අමාරු වන්නේ නැත.

එහෙත් පොදු වැඩපිළිවෙළක් සඳහා වන සාකච්ඡා ආරම්භ කළ හැකිවනු ඇත්තේ ඊට සුදුසු දේශපාලන වටාපිටාවක් ඇතිකර ගැනීමෙනි. එවැනි සාකච්ඡාවකට අනෙකුත් පක්ෂවලට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ආත්ම ගෞරවයක් ඇතිව සහභාගිවීමට හැකිවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු වැඩපිළිවෙළක් සඳහා වන සාකච්ඡාවකට ඉඩ ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට කර තිබෙන ප්‍රකාශය ඉවත් කරගැනීමට සමත්වන්නේ නම් පමණය. එවැනි තීරණයක් ගැනීම ගෞරවයට මිස ලැජ්ජාවට හේතුවන්නක්වන්නේ නැත.

පොදු වැඩසටහනක් සඳහා කෙරෙන සාකච්ඡා අවසන්වීමෙන් පසු පොදු අපේක්ෂකයා වියයුත්තේ කවුරුන් විය යුතුද යන ප්‍රශ්නය ගැන කෙරෙන සාකච්ඡාවේදී එජාපයට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය යුතුය. එජාප නායකයා පමණක් නොව, අනෙක් පක්ෂවල නායකයන්ද පොදු වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට සමත් වෙතොත් පොදු වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා කෙරෙන ඵලදායක උත්සාහයක් මහජනයා දේශපාලන වශයෙන් ප්‍රබෝධමත් කිරීමටද හේතුවනු ඇත.

විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර සමගියක් ඇතිකර ගනිමින් තිබෙන අභියෝගයට සමගියෙන් මුහුණදීමට අසමත් වෙතොත් ඔවුන්ට මහජනයා අතර අඩු වැඩි වශයෙන් තිබෙන පිළිගැනීමද අහිමිවෙමින් ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. සියලු විරුද්ධ පක්ෂ තිබෙන්නේ මහා ගරා හැලීමකට ලක්වූ තත්ත්වයකය. ඔවුන්ට නැවත කිසියම් ප්‍රමාණයකට හෝ ශක්තිමත් තත්ත්වයක් හිමිකර ගැනීමට හැකිවනු ඇත්තේද සමගියෙන් එකට එකතු වී ක්‍රියාකරන පොදු වැඩසටහනක් තුළ පමණය.

මේ ඓතිහාසික මොහොතේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල සමගියකට අතිරේකව පුනරුදය සඳහා ක්‍රියාකරන ස්වාධීන මහජන ව්‍යාපාරයක්ද රටට අවශ්‍ය වී තිබේ. ජනාධිපතිවරණය එවැනි මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලවත් නිමිත්තක් බවට පත් කරගත හැකිය.