පිළිකාවේ සදාචාරය හා සදාචාරයේ පිළිකාව

August 3, 2014
Publication:
The death of a village teacher, a neighbour and relative, from cancer, and the difficulty of recovering her body, lead Ivan to examine the state of cancer care and medical ethics in Sri Lanka. Drawing on a conversation with his daughter, a professor's account of radiation equipment, his family's own hospital experiences and a doctor he respects, he describes failing diagnostic equipment, the dominance of private channelling, rushed surgery in state hospitals and a change in the class character of the medical profession.

මටද ඥාතිත්වයක් තිබෙන ගමේ අසල්වැසියෙක් පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී මගේ නිවසට පැමිණ සිය සහෝදරයාගේ බිරිඳ පිළිකාවකින් කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙන බවත් ඇය එක දිගට සති තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත්, දැන් ඇයගේ මළ සිරුර භාර දෙන්නට පෙර කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට යවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබෙන බව කියන බවත් දේහය ලබාගැනීමට කොතරම් කාලයක් ගතවේද යන්න පැහැදිලි නැති බවත් කියා සිටියේය.

මළ සිරුර ඉක්මනින් ලබාගත හැකි ක්‍රමයක් මා නොදැන සිටියද ඒ ගැන සොයා බැලීමේ හැකියාවක් ඇති මිත්‍රයන් දෙදෙනකුට දුරකතනයෙන් කතා කොට ඒ සඳහා කළ හැකි උදව්වක් කරදෙන ලෙස ඉල්ලා සිටියෙමි.

මරණකාරිය කිට්ටු අසල්වැසියෙක් වීම නිසාත් වෘත්තියෙන් ගුරුවරියක වූ ඇය ගැහැනු දරුවන් දෙදෙනකුගේ මවක වීම නිසාත් අසන්නට ලැබුණු එම ප්‍රවෘත්තිය නිවසේ සිටි අය සියලුදෙනා (බිරිඳ හා දුව) තුළ කම්පනයක් ඇති කළා සේ ම එය කතාබහට හේතුවූ මාතෘකාවක් බවටද පත්විය.

මෙම ගුරුවරිය රෝහල් ගතකිරීමෙන් පසු ඇගේ බඩවැල්වල පිළිකාවක් ඇති බව සොයාගෙන තිබෙන අතර ඉක්මන් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය වුවත් කරාපිටිය රෝහලේ ඒ සඳහා දිග පෝලිමක් තිබෙන නිසා පුළුවන්කමක් ඇතොත් පුද්ගලික රෝහලකින් එය ඉටුකර ගන්නා ලෙස වෛද්‍යවරයා ඇයට නිර්දේශ කර තිබේ. ඒ නිසා ඇය ශල්‍ය කර්මය මුදල් ගෙවා පුද්ගලික රෝහලකින් කරගෙන තිබෙන අතර ඉන්පසු නැවත කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඉන්පසු ඇගේ මොළයේ ලේ කැටි ගැසීමක් තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර ඇය මරණයට පත්වී ඇත්තේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙම පුවත අප වෙත රැගෙන ආ මරණයට පත් ගුරුවරියගේ මස්සිනාගේ එකම පුතාද පිළිකා රෝග තත්ත්වයකට පත්වී ප්‍රතිකාර ලබමින් සිටින බව අපි දැන සිටියෙමු. ඔහු පුංචි දරු දෙදනකුගේ තරුණ පියෙකු විය.

පිළිකා රෝගවලදී ලංකාවේ තිබෙන අවුල

මේ ගැන කරන කතාබහක යෙදී සිටියදී මගේ දුව කියා සිටියේ ඇය ජීවත් වන රටේ (එක්සත් රාජධානියේ) පිළිකා රෝගීන්ගේ අනුපාතිකය ඉතා ඉහළ තත්ත්වයක තිබුණද රෝගයට ගොදුරුවන්නන්ගේ ජීවන රටාව ලංකාවට වඩා බොහෝ වෙනස් බවත්, ඔවුන් රෝගයට ප්‍රතිකාර ලබමින් තමන්ගේ එදිනෙදා රක්ෂාවල යෙදෙන බවත් බොහෝ දෙනකු දීර්ඝ කාලයක් ජීවත් වන බවත්ය. ඒ සඳහා ඇය තමන් දන්නා නිදර්ශන කිහිපයක්ද ඉදිරිපත් කළාය. එහි ජීවත් වන ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයකුගේ බිරිඳක් ගැනද ඇගේ පුතා ගැනද ඇය කතා කළාය. දෙදෙනාම පිළිකා රෝගීන් ලෙස සැලකිය හැකිමුත් දීර්ඝ කාලයක් තිස්සේ දෙදෙනාම උද්යෝගීමත් සාමාන්‍ය ජීවිත ගත කරති. ඇය තවත් කාන්තාවක් නිදර්ශනයට ගෙන ඇයට පළමු ළමයා ලැබෙන අවස්ථාවේදී මවගේ ගර්භාෂයේ පිළිකාවක් ඇති බව සොයාගනු ලැබුවත් දැන් දරුවාගේ වයස අවුරුදු 16ක් වුවත් මව ඉතා හොඳින් ජීවත් වන බවත් කියා සිටිමින් ලංකාවේ ඊට වෙනස්ව පිළිකා රෝගය සහිත පුද්ගලයන් බොහෝවිට එකතැන්වී ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත්වී ඉක්මනින් මරණයට පත්වන බවත් ලංකාවේ එය එසේ වී ඇත්තේ ඇයිදැ”යි මගෙන් අසා සිටියාය.

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් මියයන්නේ සමහරවිට ඔවුන්ට ලැබිය යුතු ඖෂධ අතර තිබෙන ලොකු වටිනාකමක් ඇති ඖෂධ ඔවුන්ට නොලැබෙන නිසා විය හැකි බව මම කීවෙමි. මා දෙන ලද පිළිතුරේ සාහසික බවක් තිබෙනවා විය හැකි වුවත් එවැනි පිළිතුරක් වහාම මගේ ඔළුවට ආවේ මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලැබූ මහාචාර්යවරියකගෙන් මීට වසර කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණු කතාවක් නිසාය.

එම මහාචාර්යවරියගේ විෂය වී තිබුණේද පරමාණු විද්‍යාවය. ඇය ප්‍රතිකාර ගෙන තිබුණේ පියයුරු පිළිකාවකටය. ඇයට දෙනු ලැබූ ඖෂධ අතර අවශ්‍යයෙන්ම තිබිය යුතු විශාල වෙළෙඳපොළ වටිනාකමක් ඇති එක ඖෂධයක් නැති බව තේරුම්ගෙන ඒ ගැන ඇය ප්‍රශ්න කර තිබේ. ඇයට එම ඖෂධය ලැබී ඇත්තේ එම ප්‍රශ්න කිරීමෙන් පසුවය. ඇයට එවැනි ප්‍රශ්න කිරීමක් කළ හැකිවූයේ පරමාණු විද්‍යාඥවරියක් වශයෙන් ඇයට ලැබිය යුතු ඖෂධ පිළිබඳව අවබෝධයක් ඇයට තිබුණු නිසාය. එහෙත් සාමාන්‍ය රෝගීන්ට තමන්ට ලැබිය යුතු ඖෂධ ගැන වැටහීමක් නැත. තමන්ට ලැබෙන ඕනෑම දෙයක් ගිල දමනවා හැර ඔවුන්ට තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැත.

එය අපේ රටේ රෝහල් සදාචාරයේ ඇතිවී තිබෙන පරිහානිය පෙන්නුම් කෙරෙන නිදර්ශනයකි. රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට නියම කරන ඖෂධ නියමාකාරයෙන් ලැබෙන්නේ දැඩි සොයා බලන විධිමත් ක්‍රමයක් අපේ රෝහල් සේවය තුළ ක්‍රියාත්මකවන්නේ නැත.

රෝහල්වල තත්ත්වය

රජයේ සේ ම පෞද්ගලික රෝහල්වල රෝග පරීක්ෂණ සඳහා යොදා ගන්නා පරීක්ෂණ යන්ත්‍රද නිසි ප්‍රමිති තත්ත්වයක නොපවතී. ඒවාහී ප්‍රමිති තත්ත්වය සොයා බලන විධිමත් ක්‍රමයක්ද ක්‍රියාත්මක නොවේ. මෝටර් රථයක් වුවත් නිශ්චිත කිලෝමීටර් සංඛ්‍යාවක් ධාවනය කිරීමෙන් පසු සර්විස් කළ යුතුය. විටින් විට තත්ත්ව පරීක්ෂණයන්ට ලක් කළ යුතුය. වෛද්‍ය පර්යේෂණ සඳහා යොදාගන්නා යන්ත්‍රද කිසියම් පරීක්ෂණ සංඛ්‍යාවකින් පසුව සර්විස් කළ යුතුය. විටින් විට තත්ත්ව පරීක්ෂණයන්ට ලක් කළ යුතුය. එසේ නොවන කල ලබාගන්නා වාර්තාවන්හී වන දත්ත අකුරටම නිවැරදිවන්නේ නැත. රෝහල්වල සංකීර්ණ වෛද්‍ය පරීක්ෂණ යන්ත්‍ර පවත්වාගෙන යන බව පෙනෙන්නේ ලංගම බස් හෝ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය එන්ජින් පවත්වාගෙන යන නොසැලකිලිමත් ආකාරයටය.

මගේ බිරිඳගේ හිස් කබලේ, සමහරවිට පිළිකා තත්ත්වයක ආරම්භයක් විය හැකියැ”යි පෙනෙන තිතක් තිබෙන බව සොයාගැනීම නිසා එම තිතේ යථා තත්ත්වය සොයාගැනීම සඳහා ස්කෑනර් පරීක්ෂණයකට යොමු කිරීමට ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට අවශ්‍ය විය. එම පරීක්ෂණය සඳහා යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක් කරාපිටිය රෝහලේ තිබුණද ඒ සඳහා ඊට පෙර ලබාදිය යුතු විශේෂ එන්නත කරාපිටිය රෝහලේ නොතිබුණි. මහරගම පිළිකා රෝහලේද නොතිබුණි. එම එන්නතේ තොග අවසන් වී අතිරික්ත එන්නත් ප්‍රමාණයක් තිබුණු එකම රෝහල වී තිබුණේ පේරාදෙණිය රෝහලයි. වෛද්‍යවරයා ඒ ගැන කරුණු සොයා බලා ඇය පේරාදෙණිය රෝහල වෙත යොමු කරවන ලදි. පරීක්ෂණ යන්ත්‍රයට යැවීමට පෙර ලබාදෙන එම එන්නත ආවේණික විකිරණශීලීභාවය නිසා රෝගීන් සමග පැමිණි සියලුදෙනා රෝගීන්ට එම එන්නත ලබාදීමට පෙර එම ස්ථානයෙන් පිටකරන ලදි. එන්නත ලබාදීමෙන් පසු යන්ත්‍රයට යැවීමට පෙර රෝගීන් පැය දෙකක කාලය තුළ හැකිතරම් වතුර බී යුතුය. බීමෙන් ශරීරයට එකතු කළයුතු වතුර ප්‍රමාණය වතුර ලීටර් දෙකකි. බිරිඳගේ වාරය පැමිණීමෙන් පසු ඇය යන්ත්‍රයට යවනු ලැබූවත් යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා එය යථා තත්ත්වයට ගන්නා තෙක් ඇයටද ඇයට පසුව යන්ත්‍රයට යායුතු අනෙක් රෝගීන්ටද බලා සිටින්නට සිදුවිය. යන්ත්‍රය යථා තත්ත්වයට ගැනීමෙන් පසු ලබාදෙන ලද එන්නතේ ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබීම හෝ අවසන් වී තිබීම නිසා ඇයට හා ඉන්පසු පරීක්ෂණ යන්ත්‍රයට යැවීමට නියමිතව සිටින සියලු රෝගීන්ට නැවත එම අධිවිකිරණශීලී එන්නත ලබාදීමට සිදුවිය.

බිරිඳට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ හොඳකම නිසා ඔහු එම එන්නත තිබූ එකම රෝහල සොයාගෙන ඇය එම පරීක්ෂණය සඳහා එම රෝහල වෙත යොමු කළේය. එම පරීක්ෂණ යන්ත්‍රය වෙනත් රෝහල්වල තිබුණද එම පරීක්ෂණය සඳහා අවශ්‍ය එන්නත තිබුණේ එම රෝහලේ පමණය. අවසානයේ එන්නත සමග පරීක්ෂණ යන්ත්‍රය තිබුණු රෝහලේ පරීක්ෂණ යන්ත්‍රය තිබුණේ අමාරුවෙන් ගැට ගසාගෙන යන තත්ත්වයකය. ඒ නිසා වෙනත් රෝහල්වල නොතිබුණු එන්නත රෝගීන් සඳහා දෙවරක්ම එන්නත් කිරීමට සිදුවිය.

රෝහල්වල ශල්‍යාගාරවල තිබෙන යථා තත්ත්වය ගැන එම විෂය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණු නාමධාරී පුද්ගලයකුගෙන් දැනගැනීමට මට අවස්ථාවක් ලැබුණි. ඔහුගේ මතය අනුව රජයේ හා පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර වැඩි හරියක් නිසි ප්‍රමිති තත්ත්වයක නොපවතී. ඒවා ගැන සොයා බලන විධිමත් ක්‍රමයක්ද ලංකාවේ නැත. ඒ ගැන මා දන්නා රෝහල් ප්‍රධානියකුගෙන් කරන ලද කරුණු විමසීමකදී එම නිරීක්ෂණය සත්‍යයක් බව ඔහු පිළිගත්තේය. රජයේ රෝහල්වලදී එවැනි දේවල් සඳහා මුදල් වෙන් නොකෙරෙන බවත්, පුද්ගලික රෝහල්වල හිමිකරුවන්ද ආටෝපකාරී යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා මිස ශල්‍යාගාරවල ප්‍රමිති තත්ත්වය උසස් කිරීමට මුදල් වැය නොකරන බවත් අනෙක් අතට ප්‍රතිසංස්කරණ සඳහා කිසියම් කාලයකට ශල්‍යාගාරයක් වසා දමන ප්‍රතිපත්තියක් එම රෝහලේ වැඩ අඩපණ කොට පුද්ගලික රෝහලක නම් මුදල් ඉපැයීමට තිබෙන හැකියාව කිසියම් කාලයකට අහිමි කරන බවත්, එවැනි දෙයක් සිදුවනවා දකින්නට ඒ රෝහල්වලට හුරු පුරුදු වී සිටින ශල්‍ය වෛද්‍යවරුන් පවා කැමති නැති බවත්, එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා හැම තැනකම පාහේ සිදුවන්නේ ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ඉහළ මාත්‍රාවක් ලබාදීම බවත් කියා සිටියේය.

සෞඛ්‍ය සංස්කෘතිය

මා කැමති වෛද්‍යවරයකු ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් විස්තර කළේ මෙසේය. “සාර්ථක සෞඛ්‍ය සේවයක් සඳහා එම සේවයේ යෙදෙන කණ්ඩායමේ කණ්ඩායම් ජීවය බලපානවා. අතීතයේදී දොස්තර, නර්ස්, තාක්ෂණ වේදියා හා සුළු සේවකයා යන සියලුදෙනා එකට එකතු වී කණ්ඩායම් ජීවයකින් යුතුව වැඩ කළා. කණ්ඩායමේ නායකයා වන දොස්තර කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ අතර කණ්ඩායමේ කණ්ඩායම් ජීවය ආරක්ෂා කරගන්නා ආකාරයට සිය කටයුතු කිරීමට ඔහු සමත් වුණා. අද මෙම කණ්ඩායම තුළ සමගියක් ඇත්තේම නැති තරම්. එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් හා ක්‍රෝධයෙන් බලන තත්ත්වයකට පත්වෙලා. රෝහල් සේවයේ පරිහානියට මේ තත්ත්වයන් බලවත් හේතුවක් වී තිබෙන බව ඔහු කියා සිටියේය. පුදුමයකට මෙන් මෙම කණ්ඩායම තුළ තිබෙන භේද උග්‍ර කරන ව්‍යාපාර මිස ඔවුන් අතර තිබෙන භේද දුරුලන ව්‍යාපාර රටේ නැති තරම්ය.

ලෙඩදුක් හා ජීවිත පැවැත්ම අතර තිබෙන අන්‍යොන්‍ය සම්බන්ධය නිසා ඖෂධ වෙළෙඳාම සේ ම රෝහල් සේවයද ධනය උපයාගැනීම සඳහා යොදා ගැනෙන ප්‍රධාන මාර්ගයක් බවට පත්ව තිබෙන්නේය. වෛද්‍ය වෘත්තිය අද මිනිසුන්ට සේවය කරන ගරු කටයුතු වෘත්තියක තත්ත්වයෙන් ඉවත් වී පහසුවෙන් ධනය උපයා ගතහැකි වෘත්තියක තත්ත්වයට පත්ව තිබේ. එම මහා ප්‍රවාහයට යට නොවී සිය ගරු කටයුතු තත්ත්වය ආරක්ෂා කරගත් වෛද්‍යවරුන්ද එම වෘත්තියේ සිටියත් මුදල් ඉපැයීම එකම අරමුණ කරගත් ලේ මාපිලුන් වැනි වෛද්‍යවරුන්ද ගහණ තත්ත්වයක් ඇතිවී තිබේ. ශල්‍ය කර්මයක් අවශ්‍ය නොවන අවස්ථාවලදී පවා ශල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය බව පෙන්වා තමන් වෙත එන රෝගීන් ගසා කන වර්ගයේ වෛද්‍යවරුන් ගැනද නිතර නිතර අසන්නට ලැබෙන්නේය. බොහොමයක් පෞද්ගලික රෝහල්වල අවශ්‍ය අනවශ්‍ය හැම දේකටම පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටින්නේ එය රෝහලට මුදල් උපයාගත හැකි වැදගත් මාර්ගයක් වී තිබෙන නිසාය. මා දන්නා ඖෂධ වේදිනියක් සුළු රෝගයක් සඳහා පුද්ගලික රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ගත්තේය. ඇගේ බිලට ඖෂධ සඳහා ඇතුළත් කර තිබී ඇති මිල රුපියල් 3500කි. ඇයට ඖෂධ වශයෙන් ලබාදී තිබුණේ ගල්කොලැක්ස් පෙති තුනක් පමණය. පෙති තුනේ මිල රුපියල් දෙකකටත් අඩුය. ඇගේ ස්වාමියාද ඖෂධවේදියෙකි. ඔහු රෝහල් බලධාරීන් සමග ගැටුමකට ගියේය. ඒ නිසා අවසානයේ ගල්කොලැක්ස් පෙති තුනේ වියදම අතහැර ඒ සඳහා අයකර තිබූ අනෙක් වියදම් කපා හැර නියම බිල ගෙවීමේ හැකියාව ඔහුට ලැබුණි. එහෙත් සාමාන්‍ය මහජනායා තමන්ට දෙන ඖෂධ හෝ ඒවාහි මිල ගණන් දන්නේ නැත. ඒ නිසා ඔවුන් රැවටීමද ඉතා පහසුය.

පුද්ගලික චැනල් සේවයේ ඇති වරදක් නැතත් අද එය ක්‍රියාත්මක වන්නේ රෝගීන් ගසාකන හා වෛද්‍යවරුන්ට මහා පරිමාණයෙන් ධනය උපයා ගැනීමට අවස්ථාව ලබාදෙන ව්‍යාපාරයක් වශයෙනි. පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් අතරද අනවශ්‍ය තරමට මුදලට බර නොතබා ක්‍රියාකරන වෛද්‍යවරුන්ද සිටින බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය. ගාස්තු සඳහා පිළිගත් ප්‍රතිපත්තියක් නැති අතර ඒ නිසා අය කෙරෙන ගාස්තු විවිධය. පෝලිමේ සිට එන අයට එක මුදලකුත් පෝලිමේ ඉන්නේ නැතිව ඊට වැඩි මුදලක් ගෙවා වෛද්‍යවරයා බැලිය හැකි ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරන වෛද්‍යවරු පවා අපේ රටේ සිටිති. ඒ ක්‍රමය යටතේ පෝලිමක් තිබියදී පෝලිම නොසලකා වෛද්‍යවරයා වෙත ළඟාවීමේ හැකියාව රෝගියාට ලැබෙන්නේය. සමහර වෛද්‍යවරුන් චැනල් සේවයේදී බලන රෝගීන්ගේ ප්‍රමාණය අනුව රජයේ වෛද්‍යවරයකු වශයෙන් කරන්නට තිබෙන රාජකාරි කාර්යභාරය හොඳින් ඉටු කරන්නට පුළුවන්කමක් ඇත්ද යන ප්‍රශ්නය ඇතිවන්නේය.

වර්තමානයේ බොහෝ රජයේ රෝහල්වල ඉක්මන් ශල්‍ය කර්මයක් ලබාගැනීමට නොහැකි වෙතොත් මරණයට පත්වීමේ හැකියාවක් ඇති රෝග සඳහා කෙරෙන ශල්‍යකර්මවලට දිග පෝලිමක් තිබෙන බව දැකිය හැකිය. එය ඇත්ත පෝලිමක්ද ව්‍යාජ පෝලිමක්ද යන්න පැහැදිලි නැත. එහෙත් එම පෝලිම නිසා එම විෂයන්වල සිටින ශල්‍ය වෛද්‍යවරුන්ට ධනය උපයා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන බව නම් පැහැදිලිය. තිබෙන පෝලිම ගැන සැකයක් ඇතිවන්නේ දිග පෝලිමක් තිබූ අවස්ථාවල ඒවා නැති කළ වෛද්‍යවරුන්ගැනද ඉඳහිට අසන්නට ලැබෙන නිසාය. කලක් කරාපිටිය රෝහලේ හෘදය සැත්කම් සඳහා තිබූ දිග පෝලිම වෛද්‍ය නාමල් ගමගේ විසින් නැත්තටම නැති කොට පෝලිමේ ඉඳීමකින් තොරව රෝගීන්ට හෘදය සැත්කම් කරවාගත හැකි තත්ත්වයක් ඇතිකර දුන්නේය. එහෙත් ඔහු වෛද්‍යවරුන් අතර විරෝධයට මිස ගෞරවයට හේතුවූයේ නැත. දැන් බයිපාස් සැත්කම්වලදී හෘදය විවෘත කිරීමක් කෙරෙන්නේ නැත. ඒ වෙනුවට නහරයක් මගින් stent නමින් හැඳින්වෙන ප්ලාස්ටික් කොපුවක් වැනි දෙයක් ප්‍රශ්නය තිබෙන තැනට ඇතුළු කරනු ලැබේ. කොපුව තනා තිබෙන්නේ ප්ලාස්ටික්වලින් වුවත් එහි මිල රුපියල් ලක්ෂ කිහිපයකි. මෙම උපකරණය යොදාගන්නා වෛද්‍යවරුන්ට හැම සැත්කමක් සඳහාම ලොකු වට්ටමක් ගෙවන බව හා ඒ නිසාම එවැනි සැත්කමක් අවශ්‍ය නැති අයට පවා සමහර වෛද්‍යවරුන් එම සැත්කම සඳහා නිර්දේශ කරන බව මට අසන්නට ලැබුණේ මගේ මිතුරකුගෙනි.

පන්ති ස්වරූපය වෙනස්වීම

වර්තමානයේ අලුතෙන් වෛද්‍ය සේවයට එකතුවන තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ජීවිතයක් ගත කළ ගම්බද තරුණ තරුණියන් ලෙස සැලකිය හැකිය. ඔවුන් වැඩි පිරිසක් වෛද්‍ය සේවයට එකතුවීම යහපත් වුවත් ඔවුන් පැමිණි දුෂ්කර පරිසරය නිසා සිය වෘත්තියෙන් මුදල් උපයාගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි බොහොමයක් අය පළමුවෙන් පොඩි මෝටර් රථයකින් වෘත්තීය ගමන ආරම්භ කරයි. ඊළඟ ඉලක්කය සුඛෝපභෝගී ලොකු මෝටර් රථයකි. ඉන්පසු ලොකු දෑවැද්දක් සමග විවාහයකි. ඊළඟ ඉලක්කය මාලිගාවක් වැනි ලොකු නිවසක් තනා ගැනීමය. එම ලෞකික ඉලක්ක සපුරාගැනීම සඳහා වෘත්තියට අදාළ පිළිගත් ගුණධර්ම නොසලකා වෘත්තිය ධනය උපයන මාර්ගයක් බවට පත් කොටගෙන සිටින බව පෙනේ. මීට වසර දහයකට පහළොවකට පමණ ඉහතදී මියගිය දොස්තර ආටිගල අගමැතිවරුන්ගේද පසුව ජනාධිපතිවරුන්ගේ වෛද්‍යවරයකු ලෙස ක්‍රියා කළේය. වෙනත් වෛද්‍යවරුන් රුපියල් 350ක් පමණ අය කරන කාලයේදී ඔහු චැනල් සේවයේ රෝග පරීක්ෂාවන් සඳහා අය කරන ලද්දේ එක් අයකු සඳහා රුපියල් 85ක් පමණය. මීට කලකට ඉහතදී මහරගම පිළිකා රෝහලේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ලකී දිසානායක නමින් වෛද්‍යවරයෙකි. ඔහු සී.සී. දිසානායකගේ පුතාය. ඔහු චැනල් සේවයේ නොයෙදුණු අතර ජීවත් වූයේ වෘත්තියෙන් ලැබෙන වැටුපෙනි. ඔහුට පරණ මෝටර් රථයක් තිබුණද වැඩට ආවේ මෝටර් සයිකලයකිනි. ඔහු ජෙිවීපී දෙවැනි කැරැල්ල කාලේ මට කීවේ කැරැල්ලේ හොඳ නරක ගැන කීමේ හැකියාවක් තමන්ට නැතත් විජේවීර රෝහල් ගැන මීට වඩා සංවේදීව ක්‍රියාකළ යුතු බවය. රෝහල් වසන්නට නියෝග කරන ප්‍රතිපත්තියක් කවර මට්ටමකින්වත් යුක්තිසහගත කළ නොහැකි බව ඔහු කීවේය. ඔහු මහරගම පිළිකා රෝහලේ නේවාසිකව සිටි දුප්පත් රෝගීන්ට උදව් අවශ්‍ය අවස්ථාවලදී නිර්ලෝභීව උදව් කළේය. ඔහු තරම් පිළිකා රෝගීන්ගේ ගෞරවයට හේතුවූ වෙනත් වෛද්‍යවරයකු ගැන මා අසා නැත. ඔහු මියගියේ දියේ ගිලීය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වූ අයගේ ප්‍රමාණය අතිවිශාලය. ඔවුන් අතර සියලුම දේශපාලන ප්‍රභූන් සමග නානා මාදිලියේ අය සිටියත් ඔවුන් අතර සිටි වැඩිම පිරිස ඔහුගෙන් ප්‍රතිකාර ගනු ලැබූ ඔහුගේ සෙනෙහස හිමි කරගත් රෝගීන් ලෙස සැලකිය හැකිය. ඔහුගේ රාමු කළ ඡායාරූපයක් මහරගම පිළිකා රෝහලේ එල්වා තිබෙන බවත් සමහර පරණ රෝගීන් පිළිකා රෝගහට පැමිණි විට එම රූපයට වඳින ආකාරය ඉඳහිට දකින්නට ලැබෙන බවත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුගෙන් කිසියම් අවස්ථාවකදී මට අසන්නට ලැබුණු විට මා තුළ විශාල අමන්දානන්දයක් ඇතිවිය. අප ජීවත් වන මෙම රෝගී සමාජයට වැඩියෙන් අවශ්‍ය වී තිබෙනුයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ය.

පිළිකා රෝගය වර්තමාන සමාජයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන යථාර්ථයකි. ලංකාවේ හැම පුද්ගලයන් 16 දෙනකුගෙන් කෙනකුම ඊට ගොදුරු විය හැකි බවට ගණන් බලා තිබේ. පියයුරු පිළිකාවලදී සුවකිරීමේ වැඩි හැකියාවක් පවතී. එහෙත් මොළය, පෙණහැල්ල, අක්මාව, වකුගඩු, ඇට කටු වැනි තැන්වල හැදෙන පිළිකාවලදී ඒවා සුව කිරීම දුෂ්කරය. මා හිතන්නේ සුවකිරීමට ඉතා දුෂ්කර පිළිකා ඇතිවිට ඒවා සුව කිරීම සඳහා වියදම් අධික උත්සාහයක නිරත වනවාට වඩා ඒවා සමග ජීවත්වීමට හිත හදා ගැනීමෙන් වැඩි කාලයක් ජීවත් විය හැකි බවය. පිළිකාවලට අදාළව ශ්‍රී ලංකාවේ පෙනේනට තිබෙන නරකම දේ වනුයේ පිළිකාවක් ඇති බව දැනගත් වහාම රෝගියා තුළ මරණ බිය ඇතිවී රෝගියා මානසික වශයෙන් මරණයට පත්වූ අයකුගේ තත්ත්වයට පත්වීමය. එවිට රෝගියාගේ මරණයද ඉක්මන් වන බව මගේ විශ්වාසය වේ.

මා නම් මාගේ වර්තමාන වයසේදී පිළිකා රෝගී තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ප්‍රතිකාර ගන්නා තැනකට යන්නේ නැත. ආත්ම විශ්වාසයකින් හා සන්සුන්ව මාගේ පළපුරුදු ජීවිතය පවත්වාගෙන යෑමට උත්සාහ කරමි. එහිදී මුහුණ දෙන්නට සිදුවන ලොකුම ගැටලුව වනුයේ කිසියම් අවස්ථාවකදී ඉවසිය නොහැකි වේදනාකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවීමය. එම විශේෂ අවස්ථාව පසුකරලීමට මොෆින් වැනි වේදනා නාශකයක් ලබාගත හැකි නම් එම අවස්ථාව සුවදායක මරණයකින් කෙළවර කරගත හැකිය.