චෝගම්වලින් පසුව ඊළඟට කරළියට ගැනෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයක් හෝ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයකි. පොදු රාජ්ය මණ්ඩල නායක සමුළුවට කරන ලද වියදම අතිවිශාල වුවත් තිබුණු ප්රශ්න තව තව උග්රකර ගත්තා මිස එයින් රටට ලැබුණු විශේෂ ලාභයක් නැති තරම්ය.
එම සමුළුව ජාත්යන්තර වශයෙන් රටට එල්ල වී තිබූ අපවාද උග්රකිරීමට හේතුවූවා මිස ලිහිල් කිරීමට හේතුවූයේ නැත.
ආර්ථික වටාපිටාව
රටේ ආර්ථිකය තිබෙන්නේ යහපත් හෝ ස්ථාවර තත්ත්වයක නොව ඕනෑම මොහොතක කඩා බිඳ වැටීමක් ඇතිවිය හැකි අස්ථාවර හා දුර්වල තත්ත්වයකය. 33%ක් තරම් වන තත්ත්වයක තිබූ අපනයන නිෂ්පාදනයන්ගෙන් උපයන ආදායම දැන් තිබෙන්නේ 17%ක් තරම් පහත් තත්ත්වයකය. අපනයන ආදායම පහළ වැටෙමින් ආනයන වියදම ශීඝ්ර ලෙස ඉහළයමින් පවතී. අපනයන නිෂ්පාදකයන් කෙරෙහි ආණ්ඩුවට විශ්වාසයක් නැතිකමද එම අංශයේ කඩා වැටීම කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුවේ ගජ මිතුරන් වැඩි පිරිසක් ආනයන කටයුතුවල නිරත වන ව්යාපාරිකයන් වීමද ගෙවුම් ශේෂ අර්බුදය උග්රකිරීම කෙරෙහි බලපා තිබෙන තවත් හේතුවක් ලෙස සැලකිය හැකිය. රටේ ආර්ථික ශක්තියේ තරමට නොගැළපෙන වියදම් අධික පැවැත්මද රටේ ආර්ථික අර්බුදය උග්රකිරීමට හේතුවී තිබෙන අතිරේක සාධකයක් වී තිබේ. යටිතල පහසුකම් නගා සිටුවන ව්යාපෘති සඳහා අධික පොලියට චීනයෙන් විශාල ලෙස ණය ලබාගනිමින් තිබුණද එම ව්යාපෘතිවලින් ලැබෙන ආපසු ලැබීම් ප්රශස්ත තත්ත්වයක නොපවතී. බැංකුකරුවන්ගේ ආත්මාර්ථකාමී ක්රියාකලාපයද මෙම තත්ත්වය උග්ර කිරීමට බලපා තිබේ. බැංකුකරුවන් මහජනයාට ණය ලබාදෙනවා වෙනුවට දැන් වැඩි උනන්දුවකින් ණය ලබාදෙමින් තිබෙන්නේ ආණ්ඩුවටය. වාණිජ බැංකු මහජනයාට ලබාදෙන ණය ප්රමාණය විශාල ලෙස හැකිළෙමින් ඒවා විසින් ආණ්ඩුවට ලබාදෙන ණයවල ප්රමාණයේ ශීඝ්ර ප්රසාරණයක් ඇතිවී තිබෙන්නේයැ”යි කිව හැකිය. දැන් දේශීය වාණිජ බැංකුවලින් ණය ලබාගන්නා ප්රධාන ගැනුම්කරුවා බවට පත්ව සිටින්නේද ආණ්ඩුවය. මේ තත්ත්වය ආණ්ඩුවේ නොවන අංශවල ව්යාපාරික ක්රියාකාරකම්වල ශීඝ්ර හැකිළීමක් ඇති කොට ආණ්ඩුවේ ව්යාපාරික ක්රියාකාරකම්වල ශීඝ්ර ප්රසාරණයක් ඇති කිරීමට හේතුවී තිබේ. ෆිනෑන්ස් හා කල්බදු සමාගම් තිබෙන්නේ කඩා වැටීමකට ආසන්න අසරණ තත්ත්වයකය. ෆිනෑන්ස් හා කල්බදු සමාගම්වල කඩා වැටීමක් ඇතිවුවහොත් එය බැංකු කෙරෙහිද බලපෑ හැකිය.
ආර්ථිකය ඕනෑම මොහොතක කඩා වැටීමේ හැකියාව ඇති අවුල්සහගත තත්ත්වයක තිබෙන බව ආණ්ඩුව නොදන්නවා විය නොහැකිය. අවුල උග්රවන්නට පෙර ජනාධිපතිවරණයට ගොස් එය ජයගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙන බව පෙනෙන්නට තිබේ. නැවත පහසු ජයග්රහණයක් ලැබීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතත් රටේ පවතින දේශපාලන වටාපිටාව තුළ ඇත්තේ මහා ගුප්තභාවයක් හා සංකීර්ණභාවයකි.
ජනාධිපතිවරයා බාහිර පෙනුමෙන් තාමත් ඉතාමත් ශක්තිමත්ය. ඔහුට අභියෝග කිරීමට ශක්තිය ඇති නායකයකු පෙනෙන තෙක් මානයකවත් සිටින බවක් පෙනෙන්නට නැත. එහෙත් දේශපාලන තලයේ දේවල් පෙළගැසෙමින් තිබෙනුයේ ජනාධිපතිවරයාගේ වාසියට හේතුවන ලෙස නොව අවාසියට හේතුවන ලෙසය.
රෝද තුනේ ආණ්ඩුව
ආණ්ඩු පක්ෂය තුළ ඇති අභ්යන්තර බෙදීම් උග්රවෙමින් තිබේ. පවුලෙන් පිටස්තර අය අතර පමණක් නොව පවුල තුළමද බෙදීම් ඇතිවී ඒවා වර්ධනයවෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
ආණ්ඩුවට සම්බන්ධ එක් විචාරකයකු ආණ්ඩු යන්ත්රය සමාන කරමින් තිබුණේ රෝද තුනේ රථයකටය. රෝද තුන සමන්විත වූයේ ජනාධිපති ඇතුළු බැසිල් හා ගෝඨාභය යන රාජපක්ෂ සොහොයුරන් තිදෙනාගෙනි. යන්ත්රයේ ක්රියාකාරීත්වය සඳහා මේ රෝද තුනම එකට තිබීම අත්යවශ්ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.
රාජපක්ෂ සොහොයුරන් තිදෙනාගේ ඒකබද්ධතාවයේ බිඳ වැටීමක් නොවේ නම් බිඳවැටීමක් ඇතිවීමට ඉඩ ඇති අවුලක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. චෝගම් සන්දර්ශනයේ නිල වගකීම පවරා තිබුණේ බැසිල් රාජපක්ෂටය. ආරම්භක අවස්ථාවේදී ඔහු මහත් උද්යෝගයකින් යුතුව ඒ කටයුතුවල නිරතවූ බවක්ද පෙනෙන්නට තිබුණි. එහෙත් අවසාන මොහොතේ ඔහු අතුරුදන්වූ තත්ත්වයක් ඇතිවිය. ඒ ගැන ආණ්ඩුව අභ්යන්තරයේ විවිධ කතා පවතී. ඒවාහි ඇත්ත නැත්ත කුමක් වුවද රෝද තුනේ ඒකාබද්ධතාවයේ බිඳවැටීමක් ඇතිවෙමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. එම තත්ත්වය කෙරෙහි පවුලේ ඇතැම් සාමාජිකයන් තුළ බැසිල් කෙරෙහි පවත්නා නොකැමැත්ත හෝ සැකසංකා බලපා තිබෙන බවද පෙනෙන්නට තිබේ.
මෙම සහෝදරයන් ත්රිත්වය ශ්රී ලංකා දේශපාලනයේදී දක්නට ලැබෙන අපූරු සංයෝජනයක් ලෙස සැලකිය හැකිය. ඔවුන් තිදෙනා සමහර විශේෂ අංශවලදී දක්ෂ වැඩකාරයන් වීයැ”යිද කිව හැකිය. මහින්දගේ දක්ෂතාව තිබුණේ මහජනයාට නායකත්වයදීමේදීය. ඔහු මහජන ආකර්ෂණයට හේතුවූ නායකයකු විය. සහෝදරයා රටේ නායකයා බවට පත්වීමෙන් පසු ආණ්ඩුවේ එදිනෙදා කටයුතු මෙහෙයවන පුද්ගලයා බවට පත්වූයේ බැසිල්ය. ඔහුද ඒ වගකීම ශූර ලෙස ඉටු කළේයැ”යි කිව හැකිය. රාජ්යයේ ආරක්ෂාව භාරවූයේ ගෝඨාභයටය. ඔහු ද ඒ කාරිය දක්ෂ ලෙස ඉටුකළේයැ”යි කිව හැකිය.
ඩඩ්ලිගේ සිට නාමල් දක්වා
පවුල් පාලනයක් තුළද පවුලේ අවුල් ඒ පාලනය කෙරෙහි බලපා හැකිය. ලංකාව වැනි රටවල පාලකයන් සිය දරුවන් සිය අනුප්රාප්තිකයන් කරගැනීමට විශේෂ උනන්දුවක් දක්වන අතර බොහෝවිට එම කාරණයට පවුල් පාලනය තුළ අවුල් ඇති කරන සාධකයක් ලෙසද ක්රියා කරයි. යුඑන්පිය ආරම්භක කාලයේදී සැලකුණේ මාමලාගේ බෑනලාගේ පක්ෂය වශයෙනි. පළවැනි පාර්ලිමේන්තු ආණ්ඩුව එම පවුල් කණ්ඩායමට බර තබන ලද ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. ඒ ආණ්ඩුවේ දෙවැනියාව සිටි බණ්ඩාරනායක එම ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඩී.එස්. සේනානායකගෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයාවීමේ හැකියාව තමන්ට නොලැබෙන බව තේරුම් ගැනීමෙන් පසුවය. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු එම ආණ්ඩුවේ දෙවැනියා බවට පත්වූයේ අගමැති ඩී.එස්. සේනානායකගේ බෑනා කෙනකු වූ සර් ජෝන් කොතලාවලය. එහෙත් ඩී.ඇස්. සේනානායකගේ අභිලාෂය වූයේ තමන්ගේ ඇවෑමෙන් අගමැති ධුරය ජෝන් කොතලාවලට දෙනවා වෙනුවට දේශපාලනයට ආධුනික තරුණයකු වූ සිය පුත් ඩඩ්ලි පත්කර ගැනීමය. එම තත්ත්වය එම ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති කිරීමට හේතුවිය.
අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට ආවේණික වැදගත් ලක්ෂණයක් වූයේ ඔහු මහමුදලිගේ එකම පුතා වුවත් පාලන කටයුතු සඳහා පවුලේ ඥාතීන් සම්බන්ධ කර නොගැනීමය. එහෙත් ඔහුගේ ඇවෑමෙන් අගමැති ධුරයට පත් ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමා බණ්ඩාරනායක සිය පවුලේ ඥාතීන්ට බර තබා ක්රියා කළ නායිකාවක් වූවාය. ඇය වැඩියෙන්ම විශ්වාස කළේ පවුලේ ඥාතීන්ය. ආණ්ඩුවේ තනතුරු වැඩි හරියක් පුරවන ලද්දේද සිය ඥාතීන්ගෙනි. ඇය ඇගේ පාලන කාලය තුළ උඩරට ප්රදේශවලට වැඩි නියෝජනයන් ලැබෙන ලෙස මැතිවරණ සිතියමද වෙනස් කළාය.
ඇගේ දරුවන් දේශපාලනයට අත ගැසීම ඇගේ ආණ්ඩුව තුළ අවුල් ඇති කරන සාධකයක් ලෙස ක්රියා කළේය. විශේෂයෙන්ම ඇගේ පුත් අනුර බණ්ඩාරනායක ඇය වාමාංශික පක්ෂ සමග ඇති කරගෙන තිබුණු සභාගය බිඳ දැමීම කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් ලෙස ක්රියා කළේය.
ජේ.ආර්. ජයවර්ධන බලයට ආවේ තමන්ට ඔටුනු පළඳවන්නට ජනතාව මිස කුමර කුමරියන් නැති බව ප්රකාශ කරමිනි. ජනාධිපති ජයවර්ධනට සිටි එකම පුතා දේශපාලනය කෙරෙහි උනන්දුවක් නැති අයකු වීම පියාගේ සේ ම පුතාගේද වාසනාවක් ලෙස සැලකිය හැකිය. පුතා දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන අයකු වී නම් ඔහු ජේ.ආර්.ගෙන් පසු ඒ තැන ගැනීමට සිහින දකිමින් සිටි රණසිංහ ප්රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයන්ගේ විරෝධයට සේ ම කෝපයටද හේතුවන්නට ඉඩ තිබුණි.
ජනාධිපති රණසිංහ ප්රේමදාස පාලන බලයේ සිටියදී ඔහුගේ පුත් සජිත් ප්රේමදාස දේශපාලන දර්ශනයට පැමිණ නොතිබුණි. ඒ නිසා ඒ කාලයේ ඔහු ආශ්රයෙන් ප්රශ්න මතුවීමකටද ඉඩක් නොතිබුණි. එහෙත් ප්රේමදාස ආර්යාව ප්රසිද්ධ විවේචනයන්ට ලක්වන තත්ත්වයකට පත්ව සිටියාය. එහෙත් ජයවර්ධන ආර්යාව ප්රසිද්ධ විවේචනයන්ට ලක්වන තත්ත්වයක නොසිටියාය.
ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගගේ දරුවන්ද දේශපාලන දර්ශනයේ නොසිටියේය. සිය පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට කැන්දාගෙන ඒමේ වුවමනාවක් ජනාධිපති චන්ද්රිකාට තිබුණා විය හැකි වුවත් අඩු වයස, පුතාගේ නොකැමැත්ත හෝ වෙනත් විවිධ හේතු නිසා සිය පාලන කාලය තුළ ඔහු දේශපාලන කරළියට ගැනීමක් සිදු නොවීය. ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග සිය මවට වෙනස්ව සිය පවුලේ සාමාජිකයන්ට හා සිය ඥාතීන්ට බර තබන ප්රතිපත්තියක් වෙනුවට මිත්රයන්ට බර තබන ප්රතිපත්තියක් අනුගමනය කළ බව පෙනේ. විපක්ෂ නායක දෙවැනි වරට අගමැති ධුරයේ සිටියදී අනුගමනය කළ ප්රතිපත්තියද ඊට සමානය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ කල්පනා කරන ආකාරය පළමු අගමැති ඩී.එස්. සේනානායක කල්පනා කළ ආකාරයට බොහෝදුරට සමානය. ජෝන් කොතලාවල සිය මාමා බලයට ගැනීම වෙනුවෙන් හා සිය මස්සිනා වූ ඩඩ්ලි දේශපාලන කරළියට ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර තිබියදී හා ඔහු එම ආණ්ඩුවේ පිළිගත් දෙවැනියාව සිටියදී ඩී.ඇස්. සේනානායකට අවශ්ය වූයේ තමාගේ ඇවෑමෙන් පසු රටේ නායකත්වය සිය බෑණා වූ ජෝන් කොතලාවල අතට පත්කිරීම නොව එම තත්ත්වය සිය ප්රියජනක පුත් ඩඩ්ලි අතට පත්කිරීමය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට ඩී.එස්. සේනානායක සිය අනුප්රාප්තිකයා ගැන සිහින දකින ආකාරය කල්තියා පෙනුණේය. එහෙත් ජෝන් කොතලාවල එය පසක් කොටගත්තේ සිය මාමාගේ මරණයත් සමගය. ඉන්පසු 1953 හර්තාලයෙන් පසු ඩඩ්ලි අගමැති ධුරය අත්හැර යෑම නිසා 1956 බණ්ඩාරනායක බලයට පත්වන තෙක් රාජ්ය බලයේ රස බැලීමේ අවස්ථාවක් සර් ජෝන් කොතලාවලට ලැබුණද ඔහු සිය මරණය තෙක්ම සිය මාමාට (ඩී.එස්. සේනානායකට) වෛර කළේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ඩී.එස්. සේනානායක මෙන් තමන්ගෙන් පසු තමන් සිටින තත්ත්වය සිය පුත් නාමල්ට ලැබිය යුතුයැ”යි කල්පනා කරනවා විය හැකිය. ඊට වෙනස් ආකාරයකට අත්දැකීම් අඩු නාඹර තරුණයකු ලෙස සැලකිය හැකි නාමල්ට ඒ තැන ලැබෙන්නට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ වැඩිම බරක් කරගැසූ පුද්ගලයා වශයෙන් ඒ තැන තමන්ට ලැබිය යුතුයැ”යි බැසිල් රාජපක්ෂ කල්පනා කරනවා විය හැකිය. මේ තත්ත්වය රාජපක්ෂ පවුල තුළ ආරාවුලක් ඇති කිරීමට හේතුවී තිබෙනවා විය හැකිය. රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම රැඳී තිබෙන්නේ මහින්ද, බැසිල්, ගෝඨාභය යන රෝද තුන මත නම් එහි එක රෝදයක් අඩපණවීමෙන් පමණක් වුවත් ආණ්ඩුවේ පැවැත්ම අවුලට යන තත්ත්වයක් ඇතිවිය හැකිය. ඒ අවුල අනාගත ජනාධිපතිවරණය කෙරෙහිද බලපෑ හැකිය.
අභ්යන්තර භේද
ආණ්ඩුව අභ්යන්තරයේ මනා ඒකාග්රතාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව අභ්යන්තරයේ ඇතැම් අය තුළ පවතින අසහනය කෙරෙහි පවුලට ලැබී තිබෙන වැඩි වැදගත්කමද මොන මොන හේතු නිසා හෝ ඔවුන්ට ලැබී තිබෙන අඩු වැදගත්කම වැනි සාධක බලපා තිබෙන බව පෙනේ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ලබන ජයග්රහණයකින් පසුව තමන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නට ඉඩ නොදෙනු ඇතැ”යි කල්පනා කරන පිරිසක්ද ආණ්ඩුව තුළ සිටින බව පෙනෙන්නට තිබේ.
එය ජනාධිපති රණසිංහ ප්රේමදාසට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය කෙරෙහි බලපෑ හේතූන් අතර තිබූ එක් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැනි නායකයන් පවා එසේ කල්පනා කළේය. මේ දේශපාලන ක්රමය තුළ පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගෙන සිටින හැම කෙනකුම පාහේ සිතන්නේ ඔවුන්ගේ මරණය තෙක්ම පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අයිතියක් තමන්ට තිබෙන බවය. එය ඔවුන්ගේ ජීවිතයේ පාන්, බටර් වැනිය. ඒ තත්ත්වය අහිමි කරන කවර ක්රියාමාර්ගයකටවත් එකඟවීමේ හැකියාවක් ඔවුන්ට නැත. ජනාධිපතිවරයා නැවත ජයගතහොත් තමන්ට අනාගතයක් නැතැ”යි කල්පනා කරන පිරිසක් ආණ්ඩුව අභ්යන්තරයේ සිටී නම් ජනාධිපතිවරණයක් ප්රකාශ කිරීමෙන් පසු ඔවුහු ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවිය හැකිය.
ජනාධිපතිවරයාට යුද්ධය පැවති කාලයේදී ආණ්ඩුව අස්ථාවර කිරීමට තිබෙන ඉඩ ඇහිරීම පිණිස නීතියට පටහැනිව එජාපයේ මන්ත්රීවරුන් කිසියම් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු කරගනිමින් ඒ සියලුදෙනාට තනතුරු ලබාදීමට සිදුවිය. එම තත්ත්වයද ආණ්ඩුව අභ්යන්තරයේ සමහර ශ්රීලනි පාක්ෂිකයන් අතර අසහනකාරී හැඟීම් ඇති කිරීමට හේතුවී තිබේ. ඔවුන්ට ජනාධිපතිවරයා පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වැඩි සැලකිලි දක්වන ශ්රිලනිපයට කුඩම්මාගේ සැලකිලි දක්වන නායකයකු වශයෙනි. මෙයද අභ්යන්තර කැරැල්ලකට ශක්තිය ලබාදෙන අතිරේක සාධකයක් ලෙස සැලකිය හැකිය.
මීට අතිරේකව ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ හා ආණ්ඩුව අතරද අවුල් පවතී. ජාතික හෙළ උරුමයේ සමහර නායකයන් හා ජනාධිපතිවරයා අතර පසමිතුරුබවක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔවුන් ගැන ජනාධිපතිවරයා තුළ ඇති බව පෙනෙන්නේ කෝපයකි. ජනාධිපතිවරයා ගැන ඔවුන් ඇති බව පෙනෙන්නේද කෝපයකි. එම තත්ත්වය තුළ ඊළඟ ජනාධිපතිවරණයේදී සමහරවිට හෙළ උරුමය තුළ දෙකඩවීමක් ඇතිවිය හැකිය. දෙකඩවීමක් ඇතිව හෝ නැතිව එම පක්ෂයේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමි වැනි නායකයන් ජනාධිපතිවරයාට එරෙහිව හඬ නගන තැනකට යා හැකිය.
තුන්කොන් සටන
ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පොදු පෙරමුණෙන් තරග කරන විට බොහෝ විට එජාපයේ අපේක්ෂකයා වනු ඇත්තේ රනිල් වික්රමසිංහ නොව කරු ජයසූරියය. කරු ජයසුරිය ඉදිරිපත් වනු ඇත්තේ ක්රමය වෙනස් කිරීම සඳහා ජනවරමක් ඉල්ලා සිටින අපේක්ෂකයා වශයෙනි. ඒ සඳහා කරු ජයසූරිය හා රනිල් වික්රමසිංහ අතර පොදු එකඟතාවක් ඇති කරගනු ඇතැ”යිද සිතිය හැකිය. ඒ අනුව කරු ජයසූරිය ජයගතහොත් තිබෙන ක්රමය වෙනස් කිරීමෙන් පසු ඇති කරන පරණ ක්රමය තුළ අගමැති ධුරය හිමිවනු ඇත්තේ රනිල් වික්රමසිංහටය. ක්රමය වෙනස් කිරීමේ සටන් පාඨය මහජනයාගේ ආකර්ෂණයට හේතුවන සටන් පාඨයක් බවට පත්වීමට ඉඩ ඇතත් අවසාන විග්රහයේදී සියලු ප්රධාන දේශපාලන පක්ෂ යැපෙන්නේ එකම කළු සල්ලිකාර පිරිසකගෙන් ලැබෙන මුදල්වලින් නිසා තිබෙන දූෂිත දේශපාලන ක්රමය බාහිර පෙනුමෙන් එක්තරා ප්රමාණයකට මිස මුළුමනින් වෙනස් කිරීමට ඒ කිසිවකට හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය.
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක්වීමට ද ඉඩ තිබෙන්නේය. ජයගැනීමේ අරමුණින් නොව ජනාධිපතිවරයාට උපරිම හානියක් ඇති කිරීමේ අරමුණින් චන්ද්රිකා කුමාරතුංගද තරග බිමට එන්නට ඉඩ තිබෙන්නේය. ඇයගේ ඉලක්කය වනු ඇත්තේ ශ්රීලනිපයයි. තම පරපුරට හිමි බූදලයක් ලෙස පැවති ශ්රීලනිප නැවත තමන් වෙත හිමිකර ගැනීම ඇගේ ප්රධාන අභිලාෂය වනු ඇතැ”යි සිතිය හැකිය. ඇය එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකර ගන්නා එකඟතාවකින් යුතුව එසේ කරනු ඇතැ”යිද සිතිය හැකිය.
දෙමළ ජනතාව ඉන්නේ අතෘප්තිමත් තත්ත්වයකය. මුස්ලිම් ජනතාව ඉන්නේද අතෘප්තිමත් තත්ත්වයකය. රටේ මහ ජාතිය ලෙස සැලකිය හැකි සිංහල ජනතාවද තෘප්තිමත් තත්ත්වයක සිටින බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවට කියන්නට ඉතිරි වී තිබෙන ලොකුම දේ වනු ඇත්තේ මීට පෙර කිසිවකුට නොහැකි වූ ප්රභාකරන්ව පරාජය කළා පමණක් නොව මීට පෙර කවර ආණ්ඩුවක්වත් නොකළ තරමින් රටේ යටිතල පහසුකම් සංවර්ධනය කළා කියාය. ඒ කියන දෙයින් පමණක් මහජනයා සතුටු කළ හැකිද යන්න සැකසහිතය.
මේ තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණය ජය පරාජය කාට හිමිවනු ඇතිදැ”යි කල්තියා කීමට පහසු නැති උද්වේගකර රාජකීය සටනක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.