රටේ පවතින දූෂිත දේශපාලන ක්රමය තුළ ක්රියාත්මක මැතිවරණ ක්රමයේ දූෂිත ස්වභාවය විශ්ලේෂණය කරමින් “මැතිවරණ පැවැත්වීමෙන් පමණක් රට ප්රජාතන්ත්රවාදීවන්නේ නැත” යන මාතෘකාවෙන් මීට සති දෙකකට ඉහතදී පළවූ ලිපියට එය කියවූ පාඨකයකුගෙන් අපූරු ප්රතිචාරයක් ලැබුණි. ඔහු කතා කළේ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක පිළිබඳව එම ලිපියේ වූ සඳහන ගැනය. 1999 ජනාධිපතිවරණයෙන් පසුව හොර ඡන්ද පත්රිකා පරිහරණය ගැන මා මැතිවරණ කොමසාරිස්වරයා සමග කරන ලද සංවාදය ගැනය.
දයානන්ද දිශානායක
කොහොමටත් දයානන්ද දිශානායකට තමන් හෙබවූ තනතුරේ ස්වාධීන හා සාධාරණ තත්ත්වයකින් ක්රියාකිරීමේ හැකියාවක් තිබිය නොහැකි බව ඔහු කියා සිටියේය. ඊට හේතු මොනවාදැ”යි මා විමසූ විට ඔහු කියා සිටියේ දිශානායක මහතා අයථා වාසි ලබාගෙන තිබෙන පුද්ගලයකු වන බවය. ඔහු ජනාධිපතිනි චන්ද්රිකාගෙන් ඉතා සොච්චම් මිලකට නුවරඑළියෙන් ඉතා වටිනා ඉඩමක් ලබාගෙන තිබුණු බවත් ඉඩම ලබාගත්තේ රුපියල් තිස් දහසකට වුවත් ඒ ඉඩම ලබාගෙන මාස කිහිපයකට පසුව එම ඉඩමේ කොටසක් විකුණන ලද්දේ රුපියල් ලක්ෂ 52කට බවත් ඔහු කියා සිටියේය. ඔහු එම අවලස්සන ගනුදෙනුවේ විස්තර මට ලබා දුන්නේය. මා ඒ ගැන සටහනක්ද ලියා ගත්තෙමි. ඊට පසු සතියේ මා ඒ ගැන නොලියා වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයාගේ වත්කම් බැරකම් ප්රකාශ සඳහා වන ප්රතිපත්තිය ගැන ලීවේ දයානන්ද දිශානායකගේ ඉඩම් ගනුදෙනුවට අදාළව ලැබුණු තොරතුරුවල සත්යතාව තහවුරු කරගැනීමට අවශ්ය වූ නිසාය.
එම නින්දාසහගත ගනුදෙනුවේ තොරතුරු මෙසේය. ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගගේ නිර්දේශ මත ඔහු (දයානන්ද දිශානායක) නුවරඑළියේ මහ නගර සීමාව තුළ තිබෙන ලේඩි මැකලම් ඩ්රයිව් නමැති පෙදෙසේ පිහිටි ජාතික නිවාස දෙපාර්තමේන්තුවට හිමිව තිබූ රූඩ් 3 පර්චස් 3.4ක ඉඩම (පර්චස් 123.4) රුපියල් 30,000ක මුදලකට එනම් පර්චසයක් රුපියල් 243.11 මිලකට මිලදී ගෙන ඇත්තේ 1995 ජූනි 16 වැනිදාය. ඉන් මාස 05කට පසුව එනම් 1995 නොවැම්බර්වලදී දයානන්ද දිශානායක මහතා තමන් රුපියල් තිස් දහසකට මිලදී ගත් ඉඩමෙන් පර්චස් 18.4ක ප්රමාණයක කොටසක් තමන් වෙත තබා ගනිමින් ඉතිරි පර්චස් 105 සෙලින්කෝ ව්යාපාරයට අයත් ද ෆිනෑන්ස් සමාගමට රුපියල් පනස් දෙලක්ෂ පනස් දෙදහසකට (5252000) විකුණා තිබේ.
මෙම ගනුදෙනුව ආශ්රයෙන් මෙම දූෂිත දේශපාලන ක්රමය තුළ රාජ්යයේ වැදගත් මර්මස්ථානවල සිටින උසස් රාජ්ය නිලධාරීන් ලබාගන්නා අයථා වාසිවල ස්වභාවය ගැනත් නැවත ආණ්ඩු බලය දරන්නන් එවැනි නිලධාරීන්ගේ පක්ෂපාතීත්වය සඳහා ඔවුන්ට අනියම් ලෙස කරන ගෙවීම්වල ස්වභාවය ගැනත් මෙම දේශපාලන ක්රමය තුළ පොදු දේපළ ගණයට වැටෙන රජයේ ඉඩම් පරිහරණය කෙරෙමින් තිබෙන ආකාරය ගැනත් දළ අදහසක් ඇති කරගත හැකිය.
මෙම ඉඩම ඔහුට ලැබෙන්නට ඇත්තේ නිකම්ම නොව ඔහු විසින් ජනාධිපතිනියගෙන් කරන ලද ඉල්ලීමක් අනුවය. ඉඩම කල්තියා හඳුනාගෙන තිබෙන්නට ඇත්තේද ඔහුමය. තමන් හොබවන නිල තනතුරට ලැබෙන වැදගත්කම අනුව එවැනි ඉල්ලීමක් පහසුවෙන්ම ඉටු කරගත හැකි දෙයක් බව ඔහු දැන සිටියාද විය යුතුය. ඔහු වැනි කෙනකු එවැනි ඉල්ලීමක් කිරීම අශෝභන හා සදාචාරාත්මක නොවනවා සේ ම ජනාධිපතිනිය වැනි කෙනකු ඔහු වැනි කෙනකුට එවැනි දීමනාවක් ලබාදීමද සදාචාරාත්මක නොවනවා සේ ම අශෝභනද වේ.
දයානන්ද දිශානායක මහතා තමන්ට අවශ්ය ප්රමාණයට වඩා ලොකු ඉඩමක් ලබාගැනීමෙන් නොනැවතී ඉන්පසු ඉන් තමන්ට අවශ්ය කොටස පමණක් තබාගෙන ඉතිරිය විකුණා ලොකු මුදලක්ද ලබාගෙන තිබේ.
ඉඩම් කොල්ලය
රජයට අයත් වගා කළ වතු ඉඩම්වලින් කප්පම් ගෙවන ක්රමයක් ස්ථාපිත වූයේද මෙම දූෂිත දේශපාලන ක්රමය ඇති කිරීමෙන් පසුවය. 1977දී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වන අවස්ථාව වන විට ඉඩම් ප්රතිසංස්කරණ නීති යටතේ පොදු පෙරමුණු ආණ්ඩුව රජයට පවරාගත් වගා කළ වතු ඉඩම් අක්කර දශ ලක්ෂයකට වැඩි ප්රමාණයක් තිබුණේය. පුද්ගලික ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කළ නීතිය යටතේ පමණක් පවරාගෙන තිබූ ඉඩම් ප්රමාණය අක්කර 700,000කට ආසන්න විය. ඉන් අක්කර 139,000ක් තේ වගා කළ ඉඩම්ද, අක්කර 82500ක් පොල් වගා කළ ඉඩම් ද විය. 1975දී ක්රියාත්මක කළ අංක 39 දරන ඉඩම් ප්රතිසංස්කරණ (සංශෝධන) පනත මගින් දේශීය පොදු සමාගම්වලට හා රන් පවුම් සමාගම්වලට අයත්ව තිබූ රජයට පවරාගෙන තිබූ වතු ඉඩම්වල ප්රමාණය අක්කර 339000ක් විය. ඉන් අක්කර 235,000ක් තේ වතු ද, අක්කර 95,000ක් රබර් වතු ද, අක්කර 6500ක් පොල් වතු ද විය. මෙම ඉඩම් පවරාගැනීමේ පිළිවෙතේ හොඳ නරක කුමක් වුවද ඒ පිළිවෙත කෙරෙහි බලපා තිබුණේ 71 කැරැල්ල හා ජනසතු පිළිවෙතට ආණ්ඩුවේ තිබුණු කැමැත්තය. ගම්බද පැවති දුප්පත්කම කෙරෙහි කෘෂිකර්මයෙන් යැපෙන ගොවි ජනතාවගෙන් කිසියම් විශාල පිරිසකට වගා කිරීම ඉඩම් නැතිකම හා ප්රමාණවත් තරම් ඉඩම් නැතිකම බලපා තිබුණි. ඉඩම් නැති හා ප්රමාණවත් තරමින් ඉඩම් නැති ගොවි ජනතාව අවශ්ය ඉඩම් ලබාදීම එම ඉඩම් පවරාගැනීමේ එක් අරමුණක් වූ අතර ගම් පුළුල් කිරීමේ වර්තමාන හා අනාගත අවශ්යතාවන් සඳහා කිසියම් විහාල ඉඩම් ප්රමාණයක් රජයේ සන්තකයේ තබාගැනීම තවත් අරමුණක් විය.
එහෙත් 77 බලයට පැමිණි පාලක පක්ෂය මෙම දැවැන්ත හා ඉතා අගනා ඉඩම් සංචිතය දැක්කේ තමන් විසින් අත්පත් කරගත යුතු තමන්ගේ ගජමිතුරන්ටද අත්පත් කරගැනීමට ඉඩදිය යුතු වස්තු සම්භාරයක් ලෙසය. ව්යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ ජනරජයේ නිශ්චල දේපළ ප්රදානය කිරීමේ විකිණීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ අනුව ඔහුට තමන් කැමති දෙයක් කැමති කෙනකුට ප්රදානය කළ හැකිය. විකිණිය හැකිය. හුවමාරු කළ හැකිය. අවශ්ය නම් කැමති දෙයක් තමන් වෙතද පවරා ගත හැකිය. විකිණිය හැකිය. හුවමාරු කරගත හැකිය.
මේ කාලයේදී සිදුවන ඉඩම් කොල්ලය බ්රිතාන්ය යටත්විජිත කාලයේදී සිදුවූ ඉඩම් කොල්ලයෙන් පසුව සිදුවූ විශාලතම කොල්ලය ලෙස සැලකිය හැකිය. බ්රිතාන්ය යුගයේදී පුරෝගාමී වැවිලිකරුවන්ට විකුණනු ලැබුවේ නව ඉඩම් අනපනත් යටතේ රජයට පවරා ගන්නා ලද මුඩු ඉඩම් හෝ කැලෑ ඉඩම්ය. එහෙත් ජයවර්ධන පාලන යුගයේදී පාලක පක්ෂයේ සාමාජිකයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් අත්පත් කරගන්නා ලද්දේ සංවර්ධනය කරන ලද තේ, පොල් රබර් ඉඩම්ය. බ්රිතාන්ය යුගයේ එක් අවස්ථාවකදී ආණ්ඩුකාරයාගේ සිට අග්රවිනිශ්චයකාරවරයා, නඩුකාරවරුන් හා ආණ්ඩුවේ ඒජන්තවරුන් වතුහිමි වැවිලිකරුවන් බවට පත්වූවා සේ දෙවැනි කොල්ලයේදී පාලක පක්ෂයේ දේශපාලකයන්ද ඔවුන්ට හිතවත් රාජ්ය නිලධාරීන් හා ඔවුන්ගේ ගජ මිතුරු ව්යාපාරිකයන්ද ආණ්ඩුවට පවරාගෙන තිබූ වතු ඉඩම් අත්පත් කරගැනීම මගින් කෝටිපති වැවිලිකාර ඉඩම් හිමියන් බවට පත්වූහ.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනද සංකේතාත්මක වැදගත්කමක් ඇති ඉඩම් හුවමාරුවක් කරගන්නා ලදි. ජනාධිපති ජයවර්ධන මාදම්පේ තමන්ට තිබූ අක්කර 50ක පොල් වත්තක් රජයට දී ලංකාවේ තිබූ සරුම පොල් වත්තෙන් අක්කර 50ක් ඒ වෙනුවට ලබාගත්තේය. එම වත්තේ ඉතිරි කොටස් ඉඩම් ඇමතිකමේ සිටි ඊ.එල්. සේනානායක හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද, ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ටද නාමික මිලකට ලබාගැනීමට ඉඩ දෙන ලදි. ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා රජයේ ඉඩම් ඇමතිවරයා මෙම අත්පත් කරගැනීම සිදුකර තිබුණේද හිටපු අගමැතිනිය (බණ්ඩාරනායක මැතිනිය) ඇගේ පාලන කාලයේදී ඉඩම් ප්රතිසංස්කරණ නීතිය සකස්වෙමින් තිබියදී තමන්ගේ වාසියට හේතුවන ලෙස ඉඩම් හුවමාරුවක යෙදීම මගින් අයථා වාසියක් ලබාගෙන තිබෙන බවට චෝදනා කරමින් ඇගේ ප්රජා අයිතිය අහිමි කිරීමට ක්රියාකරමින් තිබෙන අවස්ථාවකදීය.
දෙවෙනි ඉඩම් කොල්ලය ප්රධාන ස්වරූප තුනකින් ක්රියාත්මකවීයැ”යි කිව හැකිය. දේශපාලකයන්ට ඔවුන්ට හිතවත් නිලධාරීන්ට හා ව්යාපාරික ගජ මිතුරන් ඔවුන්ට තිබුණු නිසරු ඉඩම් රජයට දී ඒ වෙනුවට සංචිතයේ තිබුණු සරු ඉඩම් හුවමාරු කරගැනීම එහි එක් ස්වරූපයක් වූ අතර සමාගමක් ඇති කරගෙන ඉඩම් සීමා නීතිය බලනොපාන ආකාරයට අක්කර සිය ගණනක් නාමික මිලකට එම සමාගමට මිලදී ගැනීමට ඉඩදීම එහි දෙවැනි ස්වරූපය විය. අක්කර 50 දක්වා වන වැවිලි ඉඩම් නාමික මිලකට පවරාදීම එහි තුන්වැනි ස්වරූපය විය.
ජනාධිපති ප්රේමදාස මෙම ඉඩම් කොල්ලය ගැන සොයා බැලීම සඳහා 1990 ජූලි මාසයේදී ත්රිපුද්ගල නිලධාරී කමිටුවක් පත් කරන ලදි. මෙම නිලධාරි කට්ටුව සමන්විත වූයේ කේ.පී. විජේසේන, එස්.කේ.පී. බඹරැන්ද, ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි යන නිලධාරීන්ගෙනි. කමිටුව සොයා බලන ලද්දේ 1977න් පසුව අක්කර 10කට වැඩි ප්රමාණයක් රජයේ ඉඩම් ලබාගෙන තිබෙන පුද්ගලයන් හා ඔවුන් එම ඉඩම් ලබාගෙන තිබූ ආකාරය ගැනය. මෙම ලිපියේ සලකා බැලෙන්නේ රාජ්ය නිලධාරීන් ගැන වන නිසා උසස් රාජ්ය නිලධාරීන් ඉඩම් ලබාගෙන තිබුණු ආකාරය පිළිබඳව එහි එන නිරීක්ෂණ අපට වැදගත්ය. ඉඩම් ප්රතිසංස්කරණ නීතිය යටතේ රජයේ සේවකයන්ට නිවාස අවශ්යතාව සඳහා හැර වෙනත් අවශ්යතාවන් සඳහා ඉඩම් පවරාදීම නීතියට පටහැනිය. එහෙත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සේ ම ප්රමුඛ නිලධාරීන් රැසක් නීතියට පටහැනිව ඉඩම් ලබාගෙන ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්ව සිටියේය. එය රාජ්ය සේවකයන්ගේ පක්ෂපාතීත්වය සඳහා නීතියට පටහැනිව ඔවුන්ට ගෙවන ලද විශේෂ කප්පමක් ලෙස සැලකිය හැකිය.
නීතියට පටහැනිව ඉඩම් පවරාගෙන තිබුණු අයගේ ඉඩම් ආපසු පවරාගැනීමේ අදහසක් ප්රේමදාස ජනාධිපතිවරයාට තිබුණද ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගය කෙරෙහි එම සාධකයකද බලපා තිබීම නිසා දෝෂාභියෝගය ඉදිරිපත්වීමත් සමග ජනාධිපතිවරයා ඒ වැඩපිළිවෙළ අත්හරිනු ලැබීය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම දූෂිත ක්රමය ඊට සමාන ආකාරයකින් පවත්වාගෙන ගියා මිස එය වෙනස් කළේ නැත. දයානන්ද දිශානායක මහතාට නුවරඑළියේ අගනා ඉඩමක් ලබාගත හැකිවූයේ ඒ නිසාය. පක්ෂපාතීත්වය වෙනුවෙන් උසස් නිලධාරීන්ට ලබාගත හැකි එකම දේ වටිනා ඉඩම් පමණක් නොවේ. ඊට අතිරේකව භූමියට විශාල මිලක් ඇති ප්රදේශයකින් එම භූමියට ඇති වටිනාකම ඇතුළත් නොවන ලෙස කොටස් වශයෙන් ගෙවන සොච්චම් මිලකට අගනා නිවසක්ද ලබාගත හැකිය. රජයේ සේවකයන් සඳහා වන නිවාස ප්රතිපත්තිය ක්රියාත්මකවන්නේද භූමියට විශාල මිලක් ඇති ප්රදේශවල ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස භූමියට ඇති මිල අයකිරීමකින් තොරව පක්ෂපාත නිලධාරීන් අතට පත්කෙරෙන ආකාරයටය.
මැතිවරණ කොමසාරිස් පියසේකර
මෙම දේශපාලන ක්රමය තුළ උසුලනු ලබන තනතුරට ලැබෙන වැදගත්කම අනුව පක්ෂපාතව ක්රියාකරන නිලධාරීන් සඳහා විශාල මිලක් ගෙවන ක්රමයක් ක්රියාත්මක වන අතර රඳාපැවතීමේ හැකියාව තිබෙන්නේ හොඳ නරක හෝ හරි වරද නොසලකා පක්ෂපාතව ක්රියාකරන්නට සූදානම් නිලධාරීන්ට පමණය. මෙම දූෂිත දේශපාලන ක්රමය තුළ නීතියට අනුකූලව හා අපක්ෂපාතව ක්රියාකරන නිලධාරීන්ගේ තත්ත්වයද සලකා බැලීම වැදගත්ය.
යාපනේ සංවර්ධන සභා ඡන්දයෙන් පසුව මැතිවරණ කොමසාරිස් පියසේකර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. එම මැතිවරණය පැවති දිනයේදී ඔහුගේ බල සීමාව ජනාධිපතිවරයා විසින් ආක්රමණය කොට තිබුණි. ඡන්දයට පෙර දින ජනාධිපතිගේ නියෝග මත ඡන්ද මධ්යස්ථානවලට මැතිවරණ කොමසාරිස්වරයා පත් කළ ඡන්දපොළ භාර නිලධාරීන් 150ක් ජනාධිපතිගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් ඉවත් කර ඒ වෙනුවට පාලක පක්ෂයෙන් කොළඹින් යවන ලද තෝරාගත් ආණ්ඩු පාක්ෂික පිරිසක් ඒ තනතුරුවලට පත්කර තිබුණි. මැතිවරණ පැවැත්වීමේ බලය බලයලත් අධිකාරිය වී තිබුණු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉවත් කොට පාලක පක්ෂය විසින් ක්රියාත්මක කළ පළමු අවස්ථාව එය විය. මේ තත්ත්වය ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයාට කළ හැකිවූ එකම දේ මැතිවරණය අවසානයේදී තනතුරෙන් ඉල්ලා අස්වීමය. තනතුරන් ඉවත් වූ පියසේකර මහතාගේ කට වසා තැබීම පිණිස ඔහුට වහාම ක්රියාත්මක වන පරිදි තානාපති ධුරයක් පිරිනමන ලදි. ඔහු එය භාර නොගෙන යාපනේ සංවර්ධන සභා ඡන්දයේදී ජනාධිපතිවරයා ක්රියාත්මක කළ ප්රජාතන්ත්ර විරෝධී හා අත්තනෝමතික පිළිවෙත ගැන කතා කරන තැනකට ගියේ නම් පියසේකර මහතාගේ ජීවිතය දුක්ප්රාප්තියක් බවට පත්වන්නට ඉඩ තිබුණි. අවසානයේ සිදුවූ ගනුදෙනුව දෙපාර්ශ්වයේම පැවැත්මට හා වාසියට හේතුවීයැ”යි කිව හැකිය.
මෙම දේශපාලන ක්රමය තුළ සාමාන්ය පෙළේ උසස් නිලධාරියකුට පමණක් නොව ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්ම විශේෂ බලයක් ලබාදී තිබෙන විගණකාධිපති වැනි විශේෂ ගණයට වැටෙන උසස් නිලධාරියකුට පවා නීතියට අනුකූලව හා හිතට එකඟව ක්රියාකිරීමේ නිදහසක් නැති බව පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සිත්කම්පා කරවනසුලු නිදර්ශනයක් මෙසේය.
විගණකාධිපති විජේසූරිය
විගණකාධිපති යනු රාජ්යයේ සියලු ගනුදෙනු පරීක්ෂා කිරීම සඳහාම තිබෙන දෙපාර්තමේන්තුවේ ප්රධානියාය. ඔහු සැලකෙන්නේ දෝෂාභියෝගයකින් මිස වෙනත් ආකාරයකින් තනතුරෙන් පහ කළ නොහැකි කෙනකු ලෙසය. රාජ්ය නිර්මාන හා සංවර්ධන නීතිගත සංස්ථාවේ සිදුවන ගනුදෙනු ගැන විමසිල්ලෙන් කරුණු සොයා බැලූ විගණන නිලධාරියකු එම ආයතනයෙන් ඉවත් කරවා ගැනීමට විෂයභාර ඇමතිවරයාට අවශ්ය වී ඇමතිවරයා එම නිලධාරියාට එරෙහිව ජනාධිපති ලේකම්ට පැමිණිලි කළේය. එම නිලධාරියා වහාම එම දෙපාර්තමේන්තුවෙන් මාරු කොට තමන්ට ඒ බව වාර්තා කරන ලෙස ජනාධිපති ලේකම් නියෝජ්ය විගණකාධිපති එච්.එස්.කේ. සිරිවර්ධනට දුරකතනයෙන් කතා කොට නියෝග කළේය. එම විගණක නිලධාරියාට එරෙහිව කිසියම් චෝදනාවක් තිබේ නම් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා එම තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස නියෝජ්ය විගණකාධිපතිවරයා ජනාධිපති ලේකම්ට පිළිතුරුදෙමින් කියා සිටියේය. එහි ප්රතිඵලය වූයේ ජනාධිපති විසින් නියෝජ්ය විගණකාධිපතිවරයා වහාම ක්රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමය. තම දෙවැනියාට හිමිවූ ඉරණම ගැන කම්පාවට පත් විගණකාධිපති පී.එම්.ඩබ්ලිව්. විජේසූරිය මහතා (හාන්ස් විජේසූරියගේ පියා) අනිවාර්ය නිවාඩු යවා තිබෙන දෙවැනියා එම සිද්ධියේදී අනුගමනය කර තිබෙන්නේ සිය ප්රතිපත්ති බව ජනාධිපති ජයවර්ධන වෙත ලිඛිතව දන්වා යැවීය. ජනාධිපති ඊට දක්වන ලද ප්රතිචාරය වූයේ විගණකාධිපතිවරයාට දුරකතනයෙන් කතා කොට තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමය. ඒ නිසා වහාම ක්රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට විගණකාධිපති විජේසූරිය මහතාට සිදුවිය. මෙය සිදුවූයේ 1983 වසරේදීය. එහිදී ඔහු ජනාධිපතිගේ නියෝගයට අවනත නොවී තනතුරේ රැඳී සිටීමට හෝ තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඒ සිද්ධිය ගැන ප්රසිද්ධියේ කතා කරන තැනකට ගියේ නම් ඔහුට තනතුර අහිමිවීමෙන් සිදුවූ අලාභයට වඩා විශාල අලාභයක් ඇතිවන්නට ඉඩ තිබුණි.
රාජා වන සුන්දර හා මාක් ප්රනාන්දු
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු රාජා වන සුන්දර මහතාට අගවිනිසුරු ශර්වානන්ද මහතා තනතුරෙන් විශ්රාම යෑමෙන් පසු ඒ තනතුරට පත්වීමට නොහැකිවූයේ ඔහු ජනාධිපති අපේක්ෂා කළ තරමට ජනාධිපතිට කීකරු නොවීම නිසාය. ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී මුදල් අමාත්යාංශයේ ලේකම් බී.සී. පෙරේරා මහතාට සිය තනතුර අත්හැර යන්නට සිදුවූයේද දුම්රිය එන්ජින් කට්ටල කිහිපයක් ගෙන්වීමේ ගනුදෙනුවේදී ජනාධිපතිනියගේ උනන්දුවට හේතුවූ ප්රංශ ටෙන්ඩරයට පක්ෂ නොවීම නිසාය. ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී නිශ්ශබ්දව සිටිනවා වෙනුවට එම ගනුදෙනුවේ දූෂිත ස්වරූපය ගැන කතා කරන තැනකට ගියේ නම් ඔහුගේ ජීවිතයද මහා දුක්ප්රාප්තියක් වන්නට ඉඩ තිබුණේය. ජී.පී.එස්. ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්රාම යෑමෙන් පසු ආචාර්ය මාර්ක් ප්රනාන්දු එම තනතුරට පත් නොකොට බෙල්ල හිරවූ තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා මහතා ඒ තනතුරට ගෙනාවේද මාක් ප්රනාන්දු අනවශ්ය තරමට නීතිය අනුව ක්රියාකරන තත්ත්වයක් තුළ ඔහු ජනාධිපතිනියගේ කෝපයට හේතුවී සිටි නිසාය. ජනාධිපතිවරයකු පැවැත්ම අහිමි කිරීමට හේතුවන දෂ්ට කිරීමක් කිරීමට සමත් වූ එකම රාජ්ය නිලධාරියා ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. එහෙත් තීරණාත්මක මොහොතක ඔහුට ඒ දේ කළ හැකිවූයේ ඇය කෙරෙහි තමන් තුළ තිබූ වෛරය ඇයට නොපෙනෙන ලෙස සඟවා තබා ගැනීමට තරම් ඔහු දක්ෂ හා කපටි වූ නිසාය. තීරණාත්මක මොහොතකදී ඔහු තමන්ට දෂ්ට කරනු ඇතැ”යි ඇය දැන සිටියේ නම් ඇය අතින් ඔහු විනාශවන්නට ඉඩ තිබුණි.
ජනාධිපතිනි චන්ද්රිකාට ආරක්ෂාව පතා අගවිනිසුරු සරත් නන්ද සිල්වා වෙත යන්නට සිදුවූයේ පක්ෂපාතීත්වය සඳහා ඇගෙන් නුවරඑළියෙන් ඉඩමක් ලබාගෙන තිබුණු මැතිවරණ කොමසාරිස්වරයා හිතුවක්කාරී ලෙස ක්රියාකරන බවක් ඇයට පෙනෙන්නට වීම නිසාය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා තමා යොදාගන්නේ අප්රසිද්ධියේ කළායැ”යි කියන දිවුරුම් දිනය නොව සියලුදෙනාට පෙනෙන ලෙස කරන ලද ප්රසිද්ධියේ දිවුරුම් දුන් දිනය බව මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පතකට ප්රකාශ කිරීම නිසා ඇය ආරක්ෂාව සඳහා සිය මිතුරා වෙත (අගවිනිසුරු සරත් නන්ද සිල්වා) ගොස් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සඳහා ඔහුගෙන් අර්ථකථනයක් ඉල්ලා සිටියාය. ඔහු ඒ අවස්ථාව ප්රයෝජනයට ගෙන ඇයගේ පැවැත්ම අහෝසි වන ආකාරයට ඇයට දෂ්ට කළේය. දිවුරුම් දීම් දෙකේදීම ඇගේ උපදේශකයා වශයෙන් ක්රියාකර තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. ඒ නිසාම එම දිවුරුම් දීම් දෙකට අදාළ අර්ථකථනයන් සඳහා පැවැත්වෙන විභාගයකට අසුන් ගැනීමේ අයිතියක් ඔහුට නොතිබුණේය.
නෙවිල් සමරකෝන් හා ශිරානි බණ්ඩාරනායක
පක්ෂපාතීත්වය සඳහා ජනාධිපතිනියගෙන් ඉඩමක් ලබාගත් මැතිවරණ කොමසාරිස්වරයාද මුලදී ජනාධිපතිනියට පක්ෂපාතව හා හිතවත්ව ක්රියා කළේය. මහ දවාලේ සිදුවූ ඡන්ද මංකොල්ලයක් ලෙස සැලකිය හැකි වයඹ පළාත් සභා මැතිවරණයේදී පවා ඔහු දැඩි ප්රතිපත්තියක් අනුගමනය කළේ නැත. එහෙත් ඉන්පසු ශ්රේෂ්ඨාධිකරණයෙන් එල්ල වන මහා පීඩනයකට ඔහු හසුවී සිටියේය. ජනාධිපතිනියට පක්ෂපාතව ක්රියාකරනවා වෙනුවට ශ්රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීම් අනුව ක්රියාකිරීමට ඔහුට සිදුවූ අතර ඔහුගේ එම හැසිරීම ජනාධිපතිනියගේ කෝපයට හේතුවී තිබුණි. ස්ටිකර් ආරාවුලේදී අගවිනිසුරුගේ උපදෙස් මත මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට පවා ඇය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණු අතර එහිදී අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීම වැළකුණේ නීතිපති ධුරයේ සිටි කමලසබේසන් මහතාගේ මැදිහත්වීම නිසාය. ඒ ගැටුම් නිසා ඉඩම ලබාගැනීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ හිතේ තිබුණු පක්ෂපාතීත්වයද දියවී යමින් තිබුණා විය යුතුය.
ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිට කිසියම් කාලයක් සාර්ථක ලෙස අල්ලාගෙන සිටීමට සමත් වූ එකම රාජ්ය නිලධාරියා ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාය. එහෙත් එම ආදර්ශය නිවැරදි ලෙස කියැවීමට අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය සමත් වූ බවක් පෙනෙන්නට නැත. ඒ වරද වෙනුවෙන් ඇයටද දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවිය.
නෙවිල් සමරකෝන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සමීප මිත්රයකු විය. තනතුර ලැබීමෙන් පසු ඔහු ජනාධිපති සමග තිබූ මිත්රත්වය නොසලකා තමන්ට ලැබුණු තනතුරේ ගෞරවය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටියේය. තම මිතුරාගේ අකීකරු ක්රියාකලාපය ජනාධිපති ජයවර්ධනගේ අසතුටට හේතුවන්නට ඇතත් ඔහු තම මිතුරා දෙස දැඩි වෛර සහගත ආකල්පයකින් බලන තැනකට ගිය බවක්ද පෙනෙන්නට නැත. නෙවිල් සමරකෝන් සටන් කළේද තනිවමය. තම සහෝදර විනිසුරුවරුන්ගේ, නීතිඥ ප්රජාවන්ගේ හෝ විරුද්ධ පක්ෂවල සහාය ලබාගන්නට ඔහු උත්සාහ නොකළේය. ඒ නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහු දෙස බැලූ බව පෙනෙන්නේද වෙනත් පෙරළිකාරයන් දෙස බලන ගොරෝසු ආකාරයකට නොව තරමක් මටසිලුටු ආකාරයකටය. ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවී සිටි මිත්රයකු නොවන්නට ඔහුද විශාල වශයෙන් පළිගැනීමට ලක්වන පුද්ගලයකු බවට පත්වන්නට ඉඩ තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු අගවිනිසුරු තනතුරේ සිටි සරත් නන්ද සිල්වා මහතාට විශ්රාම යන තෙක් කිසියම් තරමක අඩව් ඇල්ලීමක් කළ හැකිවූයේද අගවිනිසුරුවරයා ජනාධිපතිවරයාට ආධාර කොට තිබූ ජනාධිපතිගේ පුද්ගලික මිත්රයකු වීම නිසාය. ඔහුගේ අඩව් ඇල්ලීම ජනාධිපතිවරයාගේ සංතෝෂයට හේතුවී නොතිබුණද ඉක්මනින් විශ්රාම යෑමට නියමිතව සිටි මිත්රයකු වීම නිසා ජනාධිපතිවරයා ඔහුට නටන්නට ඉඩ හැර බලා සිටියේය. එසේ නොවන්නට සරත් නන්ද සිල්වාගේ ඉරණමද ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ඉරණම තරම්ම ඛේදජනකවන්නට ඉඩ තිබුණි.
විධායක ජනාධිපති ක්රමය විසින් රාජ්ය නිලධරතන්ත්රය කෙරෙහි ඇතිකර තිබෙන මෙම විශේෂ තත්ත්වය තේරුම් ගතයුතුව තිබෙන්නේ ප්රධාන නිල උසුලන සියලු නිලධාරීන් හැම වැදගත් ප්රශ්නයකදීම හරි වරද නොසලකා දේශපාලන බලඅධිකාරියට පක්ෂපාතව ක්රියාකිරීමට බලකරන තත්ත්වයක් ඇතිකර තිබෙන බවය. මෙම අශෝභන තත්ත්වය මහජන අයිතිවාසිකම්වලට ලැබිය යුතුව තිබෙන වැදගත්කම අහිමි කොට සමස්ත රාජ්ය ක්රමයම විකෘති කිරීමට හේතුවී ඇතැ”යි කිව හැකිය.