මැතිවරණ කොමසාරිස් වත්කම් බැරකම් නීතිය

October 20, 2013
Publication:
Elections Commissioner Mahinda Deshapriya collected candidates' asset declarations with zeal, Ivan argues, only to lock them away, telling Ravaya that the public needs a court order to see them. The 1988 amendment to the Declaration of Assets and Liabilities Law gives anyone the right to certified copies for a fee. Ivan recounts how he first saw Lalith Athulathmudali's declaration, the People's Alliance's broken 1994 pledge to publish ministers' assets, the Speaker who complied and the President's office that did not, and reproduces a 2005 letter from Deshapriya's predecessor sending him six declarations — disproving the claim that there is no precedent.

රාවයේ ප්‍රධාන කර්තෘ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග කරන ලද සාකච්ඡාවක් පසුගිය රාවයේ පළවිය. එම සාකච්ඡාවේදී වත්කම් බැරකම් නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට ලබාගැනීමට තිබෙන අයිතිය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා පළ කර තිබුණු අදහස් කියවූ විට කොමසාරිස්වරයා කෙරෙහි ඇතිවූයේ කළකිරීමකි. මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය පළාත් සභා මැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට දක්වන ලද විශේෂ උනන්දුව ගැන මීට පෙර ඔහු ප්‍රශංසාවට ලක් කරන සටහනක් මට ලියන්නට සිදුවිය. දැන් පෙනෙන අන්දමට ඔහු ඒවා එකතු කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් මහජන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීම පිණිස නොව ඒ තොරතුරු මහජනයා අතට පත්වන්නට ඉඩ නොදී ඒවා බහිවරයකු ලෙස ආරක්ෂා කරන්නටය. ඒ මගින් ඔහු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම හා ලබානොගැනීම අතර ලොකු වෙනසක් නැති තත්ත්වයක් ඇතිකර තිබෙන්නේයැ”යි කිව හැකිය.

වත්කම් බැරකම් නීතියේ දර්ශනය

හැම නීතියකටම අරමුණක් සේ ම දර්ශනයක් ද තිබෙන්නේය. වත්කම් බැරකම් නීතියේ අරමුණ හා දර්ශනය වන්නේ වැදගත් තනතුරු හොබවන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් මහජනයාට දැනගැනීමට සැලැස්වීම මගින් ඒවා මහජන පරීක්ෂාවට ලක්වන තත්ත්වයක තැබීමය. ඒ මගින් නිලතල හොබවන්නන්ට අයථා ලෙස වස්තුව රැස්කර ගැනීම තිබෙන ඉඩ ඇහැරීමය. මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට කැමති නොවනුයේ කාර්ය බහුලතාව හා නොසැලකිල්ල නිසා පමණක් නොව තමන්ගේ වත්කම් බැරකම් හෙළිදරව් වනවා දකින්නට තිබෙන අකමැත්ත නිසාය. වත්කම් බැරකම් ප්‍රකාශ කළ විට ඒවා කවදා හෝ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව ඔවුහු දනිති. නියම ඇත්ත ප්‍රකාශ කිරීම සේ ම සත්‍ය වසන් කොට ව්‍යාජ ලෙස කරුණු ඉදිරිපත් කිරීම ද ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව ඔවුහු දනිති. ඒ නිසා හොඳම දේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමටයැ”යි එවැනි අය කල්පනා කරති.

මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ බලධාරීත්වය පැවරී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඔහු අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට මහත් උද්යෝගයකින් ක්‍රියා කරයි. එහෙත් ඒවා මහජනයාගේ පරීක්ෂාවට ලක්වනවා දකින්නට ඔහු කැමති නැත. උසාවි නියෝගයක් රැගෙන එන්නේ නම් පමණක් ඒවා ලබාදිය හැකි බව ඔහු ගාම්භීර ස්වරූපයකින් ප්‍රකාශ කරයි. ඒ මගින් මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජන පරීක්ෂාවට ලබාදී තිබෙන පහසු හැකියාව වළකා එය මහජනයා ඉතා දුෂ්කර ලෙස ලබාගත යුතු දෙයක් බවට පත්කර තිබේ. ඒ මගින් මැතිවරණ කොමසාරිස්වරයාද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටීම මගින් ඒ නීතිය උල්ලංඝනය කරන අයකු කරන වරද සමාන වරදක් කරන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව සිටින්නේය.

පාර්ලිමේන්තු ලේකම්ගේ ප්‍රකාශය

වත්කම් බැරකම් නීතිය සම්බන්ධයෙන් උසස් රාජ්‍ය නිලධාරීන් සාමාන්‍යයෙන් කල්පනා කරන ආකාරය බොහෝ දුරට එක සමානය. මැතිවරණ කොමසාරිස්වරයා කියන්නේ උසාවි නියෝගයක් රැගෙන ආවොත් පමණක් ඒවා ලබාදිය හැකි බවය. මීට වසර 21කට පමණ ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ ක්‍රමය පිළිබඳව එවකට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය හෙබවූ පුද්ගලයා මට දෙන ලද පිළිතුරු ද බොහෝදුරට මැතිවරණ කොමසාරිස්වරයා රාවය ප්‍රධාන කර්තෘට දී තිබෙන පිළිතුරට සමානය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ තිබෙන්නේ තමන් භාරයේ බවත්, ඒවා අල්මාරියක සීල් කොට තබා තිබෙන බවත් උසාවි නියෝගයක් රැගෙන ආ හැකි නම් පමණක් ඒවා ලබාදිය හැකි බවත් ඔහු ගාම්භීර ස්වරූපයකින් ප්‍රකාශ කොට මාගේ දුරකතන පණිවුඩය විසන්ධි කළේය. මා පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් එම කරුණු විමසීම කරන ලද්දේ වත්කම් බැරකම් නීතිය ගැන නොදැන නොවේ. දැනගෙනය. මා එම කරුණු විමසීම කළේ වත්කම් බැරකම් ප්‍රකාශවලට බලධාරීන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් ඒ නීතියෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට මහජනයාට ලබාදී තිබෙන ප්‍රතිපාදන කවර ආකාරයකින් ක්‍රියාත්මක කරන්නේදැ”යි දැනගැනීම සඳහාය.

මා මෙවැනි නීතියක් රටේ ඇති බව පළමුවරට දැනගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සී.වී. ගුණරත්න මගින් එවකට බලවත් ඇමතිවරයකු ලෙස ක්‍රියා කළ ලලිත් ඇතුලත්මුදලිගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ලබාගෙන එය කියවීමෙන් පසුවය. සී.වී. ගුණරත්න ලලිත් ඇතුලත්මුදලි සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයකට එරෙහිව ලලිත් ඇතුලත්මුදලි ඔහුට එරෙහිව නඩු පවරා තිබුණු අතර ලලිත් සමග මතභේද ඇති කරගෙන සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශකයේ පිටපතක් සී.වී. ගුණරත්න අතට පත්කර තිබුණි. මා ඉන් පිටපතක් සී.වී. ගුණරත්නගෙන් ලබාගත් අතර එය වැදගත් මතක සටහනක් වශයෙන් අද දක්වාම මාගේ ලිපි ලේඛන එකතුවේ තිබෙන්නේය. ඉන්පසු මා වත්කම් බැරකම් නීතිය පිළිබඳව මූලික අවබෝධයක් ඇතිකර ගන්නා තැනකට ගියෙමි. මා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් කරුණු විමසීමක් කරන ලද්දේ ඉන්පසුවය.

පොදු පෙරමුණු ආණ්ඩුව

පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලැබුණු පිළිතුර මගේ විස්මයට හේතුවිය. මා ඒ ගැන එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් ක්‍රියා කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමගද කරුණු සාකච්ඡා කළෙමි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති දුරයට එන්නට පෙර ඇය සමගද සාකච්ඡා කළෙමි. මේ නීතියට ලැබිය යුතුව තිබෙන වැදගත්කම හා එහිදී මහජනයාට ලබාදී තිබෙන අයිතිය බලධාරීන් විසින් යටපත් කරගෙන තිබෙන ආකාරය එහිදී ඇයට පැහැදිලි කර දුන්නෙමි. 1994 මැතිවරණයට යන්නට පෙර ශ්‍රීලනිප ප්‍රතිපත්ති ප්‍රකාශනයන් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර තිබූ අතර ඒ කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ පසුකල මහජන බැංකුවේ සභාපති ධුරයට පත් ආචාර්ය ගාමිණී ප්‍රනාන්දු මහතාය. ඒ මහතා සමගද මා මෙම විෂය ගැන දීර්ඝ වශයෙන් කතාබහ කර තිබුණි. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස තනතුරු දරන ප්‍රධාන පුද්ගලයන්ට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කිරීමට බල කරන නීති ඇති කරන බවට පොදු පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනයෙන් සහතික වී තිබුණි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු අපේක්ෂකයන් සියලුදෙනා බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ විශේෂ දිවුරුම්දීමක යෙදුණේය. එම දිවුරුම් ප්‍රකාශය සකස් කරන ලද්දේ මාය. එම දිවුරුම් ප්‍රකාශයටද වත්කම් බැරකම් නීතිය පිළිබඳ දිවුරුමක්ද ඇතුළත්ව තිබුණි.

පොදු පෙරමුණ ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා පළමු කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහතා දුරකතනයෙන් මට කතා කොට අපූරු දෙයක් කීවේය. ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ද කරන බවට සහතික වී තිබෙන තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය කුමක්දැ”යි ප්‍රශ්න කරන ලදුව පළමු ඇමති මණ්ඩල රැස්වීමේදී ඒ ගැන සාකච්ඡා කෙරුණු බවත් ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නොවන බවට එහිදී තීරණය කෙරුණු බවත් එහෙත් ඒ තීරණය තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ නැති ප්‍රකාශ කරමින් ඒ ප්‍රතිපත්තිය කෙරෙහි බලපෑ ප්‍රධාන පුද්ගලයා මා නිසා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ෆැක්ස් මගින් මා වෙත එවන බවත් ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඕනෑම දෙයක් කරන ලෙසත් මට කියා සිටියේය. ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ එම කතාවට සවන්දීමෙන් පසු දිවුරා පොරොන්දු වී ඇති දේවල් සම්බන්ධයෙන් විය හැකි දේ තේරුම් ගැනීම අමාරු නොවීය.

පොදු පෙරමුණු ආණ්ඩුව දිවුරා පොරොන්දු වූ ප්‍රතිපත්තියක් උල්ලංඝනය කරන තැනකට යොමුවීමෙන් පසුත් මෙම නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීම සඳහා විවිධ මැදිහත්වීම්වලට යොමුවීමට මට සිදුවිය.

කතානායක හා ජනාධිපති

මා වරක් කතානායක කේ.බී. රත්නායක මහතා අමතා ලියන ලද ලිපියක් මගින් මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාගත් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ නිසා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලැයිස්තුව මට අවශ්‍ය වී තිබෙන බවත් ඉන්පසු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබෙන මන්ත්‍රීවරුන් අතරින් එම ප්‍රකාශන අවශ්‍ය අයගේ ලැයිස්තුවක් ලබාදිය හැකි බවත් කියා සිටියෙමි.

කතානායක කේ.බී. රත්නායක මහතා මට ඉක්මන් පිළිතුරක් එව්වේය. මෙම වැදගත් නීතිය පිළිබඳව සිය අවධානය යොමුකිරීම ගැන මට ස්තුතිය පළකරමින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති බවත් ලබාදී ඇති අයගේ ලේඛනයක් මේ සමග එවන බවත් ප්‍රකාශ කරමින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අයගේ ලැයිස්තුවට ඇතුළත් සියලුදෙනාගේ හෝ තෝරාගත් පිරිසගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඒ සඳහා අය කෙරෙන ගාස්තුව ගෙවීමෙන් පසු ලබාගත හැකි බවත් අවශ්‍ය පිටපත් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනටමත් දැනුම්දීමක් කර තිබෙන බවත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති මන්ත්‍රීවරුන්ටද ඔවුන් දැනුවත් කිරීම සඳහා ක්‍රියාකරන බවත් එහි සඳහන් විය. ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් මන්ත්‍රීවරුන් කිසියම් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල පිටපත් ලබාගැනීමට මට හැකිවිය.

කැබිනට් ඇමතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ජනාධිපතිවරයා වෙතය. ජනාධිපතිනිය ඒ නීතිය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය දැනගැනීම සඳහා ඇමති මණ්ඩලයේ තෝරාගත් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි වෙත ජනාධිපතිනියටද පිටපතක් සහිතව අයදුම්පතක් ඉදිරිපත් කළෙමි. ඊට කිසිදු පිළිතුරක් නොලැබුණු විට රාවයේ ප්‍රවෘත්ති කර්තෘ ලවා ඒ ගැන ජනාධිපති ලේකම්ට කතා කළ විට එවැනි අයදුම්පතක් තමන්ට ලැබී නැති බැවින් එවන ලද අයදුම්පතේ පිටපතක් වහාම තමන් වෙත එවන ලෙස ඔහු කියා තිබුණද නැවත පිටපතක් යවනු ලැබූ පසුත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත. ඉන්පසු ඒ ගැන සිහි කැඳවීම් ගණනාවක් ලියන්නට සිදුවූ අතර අවසාන වශයෙන් විටින් විට ලියන ලද සිහිකැඳවීම් දොස් පවරන ස්වරූපයක්ද ගනු ලැබීයැ”යි කිව හැකිය.

මේ විෂයේදී ජනාධිපති බාරේ තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් මා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නීති විරෝධී හා සාහසික වුවත් වෙනත් අයකු සම්බන්ධයෙන් ඊට වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ අවස්ථාවක් ගැන මම දනිමි. කැබිනට් ඇමතිවරයකු සමග මතභේද ඇති කරගෙන සිටි පුද්ගලයකුට එම ඇමතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ලබාගැනීමට අවශ්‍ය වී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණියේ මා වෙතය. ඒ වනවිට ජනාධිපතිනියද එම ඇමතිවරයා සමග භේද ඇති කරගෙන තිබුණේය. ජනාධිපතිවරයා මෙම ඇමතිවරයා සමග කෝපයෙන් සිටින නිසා නිසැක වශයෙන්ම ඇය එම ඇමතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඔහුට ලබාදෙනු ඇති බවත් ඒ නිසා වහාම ජනාධිපති ලේකම් වෙත ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට උපදෙස් දුන්නෙමි. මාගේ අනාවැකිය හරි ගියේය. අයදුම්පත ජනාධිපති ලේකම්වරයා අතට පත්වීමෙන් පසු ඔහු දුරකතනයෙන් අයදුම්කරු අමතා කතා කොට දිනයක් හා වේලාවක් ඔහුට ලබාදෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙස ඔහුට දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු එහි ගිය පසු බොන්නට දොඩම් වීදුරුවක් ද දී කිසිදු ගාස්තුවක් අයකිරීමෙන් තොරව අදාළ ඇමතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ඔහු වෙත ලබාදී තිබුණි. ඔහු ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපතක් සේ ම ඔහු වෙත ලබාදෙන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක්ද මා ළඟ තිබෙන්නේය. වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක වන ජුගුප්සාජනක ස්වරූපය පිළිබඳව ඒ මගින් යම් අදහසක් ඇති කරගත හැකිය.

නීතියේ ස්වභාවය

මේ විෂයේදී මා මැතිවරණ කොමසාරිස්වරයා සමග කර තිබෙන ගනුදෙනු කතා කරන්නට පෙර වත්කම් බැරකම් නීතිය ගැන මා දරන මතය කෙටියෙන් පැහැදිලි කිරීම සුදුසුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා උසස් රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක වන වත්කම් බැරකම් නීතිය පළමුවෙන් නීතිගත කෙරුණේ 1975 පෙබරාරි මාසයේදීය. එම හැඳින්වූයේ 1975 අංක 01 දරන වත්කම් බැරකම් නීතිය වශයෙනි. ඒ නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින අයගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ලබාගැනීමේ අයිතියක් මහජනයාට ලබාදී නොතිබුණි. එම ප්‍රකාශ ලබාගැනීමේ අයිතිය තිබුණේ නීතිපතිවරයාට ප්‍රසිද්ධ නඩු අධ්‍යක්ෂට, අල්ලස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණය. වත්කම් බැරකම් නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින පුද්ගලයන්ගේ ප්‍රකාශ නියම කළ ගාස්තුව ගෙවා ඒවාහී පිටපත් ලබාදීමේ අයිතිය ලබාදෙන ලද්දේ තිබුණු පැරණි වත්කම් බැරකම් නීතියට 1988 දෙසැම්බර්වලදී එකතු කරන ලද 1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත මගිනි. මෙම සංශෝධනය නීතිගත කරගෙන තිබෙන්නේ 1988 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගත් දිනයට දින දෙකකට ඉහතදීය. මෙම නීතිය සම්මත කරගෙන තිබෙන්නේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයකිනි. මෙම නීතිය අනුව ජනාධිපති තරගයකට තරග කරන ජනාධිපති ද වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මෙම නීතිය සම්මත කරගෙන ඇත්තේ ජනාධිපතිට මුක්තියේ අයිතිය ලබාදෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසුවය. ඒ අනුව වත්කම් බැරකම් විෂයේදී ජනාධිපතිවරයාට පවා මුක්තියේ අයිතිය බලනොපාන බව පෙනීයයි.

මෙම නීතියේ ඇති සමහර දුර්වලතා ඉවත් කෙරෙන ආකාරයට වැරදි කරන අයට පැමිණවිය හැකි දඬුවම දැඩි කෙරෙන ආකාරයට වත්කම් බැරකම් නීතිය විධිමත් කොට එය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අතර අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන නැඹුරුව පාලනය කළ හැකිය. 1988දී ඇති කළ නීති සංශෝධනයේ අරමුණ හා දර්ශනය වී ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවලට ඇතුළත් විස්තර මහජනයා ලවා පරීක්ෂාවට ලක් කරන ක්‍රියාමාර්ගයක් තුළ අයථා ලෙස වස්තුව උපයාගෙන තිබෙන අය හඳුනා ගනිමින් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමය. මෙම නීති සංශෝධනය නීතිගත කෙරෙන අවස්ථාව වන විට වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් මහජනයාට ලබාදීම සඳහා යොදාගත හැකි සරලම ක්‍රමය වූයේ ඡායා පිටපත්වලට යන වියදම ලබාගෙන සහතික කළ ඡායා පිටපත් ලබාදීමය. එහෙත් සියලු වත්කම් බැරකම් ප්‍රකාශ විධිමත් ලෙස වෙබ් අඩවියකට යොමු කරන ප්‍රතිපත්තියක් මගින් නොමිලේම මහජනයාට වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ හැකියාව ලබාදිය හැකිය. ඒ මගින් මහජනයාගේ පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ වඩා විධිමත් ලෙස හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැකිය.

මෙම විෂයෙහි බලධාරීන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් මහජනයා අතට මෙම ප්‍රකාශනවල පිටපත් ලබාදීම අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ වත්කම් හා බැරකම් බලවත් පුද්ගලයන්ට ඉතාමත් සංවේදී විෂයක් වන නිසා පමණක් නොව බලධාරීන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන්ද නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක වනවා දකින්නට ඔවුන් ද කැමති නැති නිසාය.

මැතිවරණ කොමසාරිස්ගේ වල්මත්වීම

මැතිවරණ කොමසාරිස්වරයා අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් මහජනයා ලබාගැනීමට තිබෙන අයිතිය පිළිබඳව පළකර තිබෙන අදහස් නීතියට පමණක් නොව සත්‍යයටද, පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලටද පටහැනිය. ඔහු කියන්නේ පනත අනුව මහජනයාට ඒවාහි පිටපත් දියයුතු වුවත් හිටපු කොමසාරිස්වරයා ඒවා මහජනයාට නිකුත් කර නැති නිසා නැත්නම් ඔහු විසින් ලබාදී තිබෙන පූර්වාදර්ශය අනුව අධිකරණ නියෝගයක් නැතිව ඒවා ඉල්ලුම් කරන මහජනයාට නිකුක් කිරීමේ හැකියාවක් නැති බවය.

නීතියේදී පූර්වාදර්ශ හා අධිකරණ නියෝගය අවශ්‍යවන්නේ නීතිය විස්තර කර තිබෙන ආකාරයේ අපැහැදිලිභාවයක් ඇත්නම් පමණය. එහෙත් මේ නීතියේ එවැනි අපැහැදිලිභාවයක් නැත. එහි 5 වැනි ඡේදයේ 3 වැනි උප වගන්තියේ සඳහන්වන්නේ නිසි බලධාරියාට නියමිත ගාස්තුව ගෙවා සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය ඒ ගැන උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට තිබෙන බවය. මැතිවරණ කොමසාරිස්වරයා මහජනයාට ලබාදී තිබෙන අයිතියට විලංගු දමන්නට උත්සාහ කරන්නේ මහජනයාට තිබෙන අයිතිය නීතියේ පැහැදිලිව විස්තර කර තිබියදීය. නීතියේ කුමක් සඳහන් වී තිබුණ ද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඒවා මහජනයාට ලබාදී නැති නිසා එම පූර්වාදර්ශය මත තමන්ටද ක්‍රියාකරන්නට සිදුවී ඇතැ”යි කියන කතාවද මුළුමනින් සත්‍යයෙන් තොරය. 2005 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට රාවය දරන ලද උත්සාහයකදී හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සත්‍යයකි. ඔහුට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හැකිවූයේ රාවයේ ඉල්ලුම්කරු ඒ අයදුම්පත විධිමත් ලෙස ඉදිරිපත් නොකිරීම නිසාය. ඊට පෙර මා ඔහුගෙන් මට අවශ්‍ය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර මා ඉල්ලා සිටි වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් මා වෙත ඔහු විසින් ලබාදෙන ලද බවද මට ඔප්පු කළ හැකිය.

මෙහි පළවනුයේ ඒ පිළිබඳව මා ඉදිරිපත් කල අයදුම්පතක් වෙනුවෙන් මා ඉල්ලා සිටි පුද්ගලයන් 6 දෙනාගේ සහතික පිටපත් සමග එවකට මැතිවරණ කොමසාරිස් ලෙස ක්‍රියා කළ දයානන්ද දිශානායක මහතා මා වෙත එවන ලද ලිපියේ පිටපතකි.

2005.07.26

වික්ටර් අයිවන් මහතා

කර්තෘ

රාවය පුවත්පත

83, පිළියන්දල පාර

මහරගම.

මහත්මයාණෙනි

දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීම

උක්ත මැයෙන් මා අමතන ලද ඔබේ 2005.07.12 දිනැති ලිපිය සම්බන්ධයෙනි.

එම ලිපියේ 1 වැනි ඡේදයේ සඳහන් දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩල, සාමාජිකයන් 2009 වසරට අදාළව මා වෙත ඉදරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල සහ එසේ 2004 වසරට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති එම පක්ෂවල නිලධාරීන් 1999 ජනාධිපතිවරණයට හා 2004 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් මේ සමග එවමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය

එක්සත් ජාතික පක්ෂය

රනිල් වික්‍රමසිංහ මහතා

ජනතා විමුක්ති පෙරමුණ

එම්. ටිල්වින් සිල්වා මහතා

විමල් වීරවංශ මහතා

එම්. නන්දන ගුණතිලක මහතා

ජී. කුලරත්න මහතා

අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ 1990.03.12 දිනැති චක්‍රලේඛ ලිපිය අනුව මෙම වත්කම් බැරකම් ප්‍රකාශයක සහතික පිටපත් සඳහා රුපියල් 750ක ගාස්තුවක් අය කළ යුතු වේ. ඒ අනුව ඉහත කී ප්‍රාකශ 06 පිටපත් සඳහා අය කළ යුතු මුදල රු. 4500ක් පමණි.

ඔබ විසින් අංක 307901 හා 2005.07.12 දිනැති චෙක්පත මගින් එවන ලද රුපියල් 10,000ක මුදල සඳහා නිකුත් කරන ලද අංක ඔ 20 871403 හා 2005.07.26 දිනැති නිල රිසිට් පත මේ සමග එවමි.

මා වෙත වැඩිපුර එවා ඇති රු. 5500.00ක මුදල චෙක්පත මුදල්වීමෙන් පසු ආපසු එවනු ලැබේ.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඔබ වෙත ලද බව සනාථ කරන්නේ නම් මැනවි.

මෙයට,

විශ්වාසී,

දයානන්ද දිශානායක

මැතිවරණ කොමසාරිස්.

තමන්ට පෙර සිටි මැතිවරණ කොමසාරිස්වරයා කිසිවකුට වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාදී නැති බව මැතිවරණ කොමසාරිස්වරයා කර තිබෙන ප්‍රකාශය සත්‍යයක් නොවන බව ඒ අනුව පැහැදිලිය. තමන්ට පූර්වාදර්ශ නැතැ”යි කියන කතාවද ඒ සමග බොරුවන්නේය. මැතිවරණයකදී තමන් කුමන පුද්ගලයකුට ඡන්දය පාවිච්චි කළ යුතුද යන්න තීරණය කිරීමේදී ඡන්ද අපේක්ෂකයන්ගේ පසුබිම් විස්තර දැනගැනීමේ අයිතිය ඡන්දදායකයන්ට තිබෙන්නේය. අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඒ සඳහා ප්‍රයෝජනයට ගතහැකි වැදගත් ලේඛනයකි. මෙහි වැඩි විස්තර ඉදිරිපත් කිරීමට ඉඩක් නැතත් ඒ ගැන වන නඩු තීන්දුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන අතර අදහස් පළකිරීමේ නිදහසට තිබෙන අයිතිය හා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අතර ඇති අන්තර් සම්බන්ධය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුවද එම ඉන්දියානු නඩු තීන්දුව ආදර්ශයට ගනිමින් දී තිබෙන නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකිය. මැතිවරණ කොමසාරිස්වරයා උසුලන තනතුර අනුව ඔහු වඩා වැදගත් කොට සැලකිය යුත්තේ දේශපාලනඥයන් නොව ඡන්දදායක මහජනතාවය. ඔහු ඡන්දදායක මහජනයාට ලැබී තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මැතිවරණවල නිදහස් හා සාධාරණ බව සහතික කිරීම සඳහා ක්‍රියාකරනවා මිස මහජනයාට ලැබී තිබෙන අයිතිවාසිකම් දියකර හරින්නකු ලෙස ක්‍රියා නොකළ යුතුය.

නීතිපතිවරයාට පවා නැති ඉහළ මට්ටමක ස්වාධීනත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබෙන අතර මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන ස්වාධීනත්වය හා බලතල පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයද විශේෂ අර්ථනිරුපණ දෙකක් කර තිබේ. 9SC. 509/98 සහ SC 265/99) එවැනි තත්ත්වයක සිටියදී මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිට මුවාවී ඡන්දදායක මහජනයාගේ අයිතිවාසිකම් බෙලහීන කරන තැනකට යායුතු නැත. මේ වරද නිවැරදි කර ඒ බව මහජනයාට දැනුම් දීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.