රාජ්‍ය නිලධරතන්ත්‍රය

November 3, 2013
Publication:
Politicians come and go but officials stay, Ivan argues, and a strong, law-bound bureaucracy is what has kept India's democracy standing. Sri Lanka had one until the 1972 constitution weakened it and the 1978 constitution destroyed it. He traces the result through the forced resignation of Auditor General Wijesuriya, outsiders placed over the Elections Department, and Chief Justices chosen for loyalty from Wanasundera's passing-over to Shirani Bandaranayake's removal. Reviving the Seventeenth Amendment's independent commissions is no cure, he says, because they had no power to punish a president who ignored them.

ඕනෑම දේශපාලන ක්‍රමයක කොඳු නාරටිය ලෙස ක්‍රියාකරන්නේ රාජ්‍ය නිලධාරීන්ය. දේශපාලනඥයන් තාවකාලිකය. නිලධාරීන් තාවකාලික නැත. ඔවුන්ගේ පැවැත්ම ස්ථිරසාරය. දේශපාලනඥයන් මඳ සුළඟ මෙන් හමාවිත් සැඩ සුළඟ මෙන් ගසාගෙන යති. එහෙත් ඊට වෙනස්ව රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යන තෙක් සිය තනතුරුවල රැඳී සිටිති. ආණ්ඩු පාලනය නීතියට අනුකූලව පවත්වාගෙනයෑමේ වගකීම පැවරී තිබෙන්නේ රාජ්‍ය නිලධරතන්ත්‍රයටය.

ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ශක්තිමත් පැවැත්ම කෙරෙහි ප්‍රධාන ලෙස බලපා තිබෙන්නේද රාජ්‍ය නිලධාරීන්ය. විටින් විට බලයට පත්වන දේශපාලනඥයන්ට යට නොවී නීතියට අනුකූලව ක්‍රියාකිරීමට අවශ්‍ය බලතල ඉන්දියානු ආණ්ඩුක්‍රමය විසින් නිලධරතන්ත්‍රයට ලබාදී තිබේ. එවැනි ක්‍රමයක් අපේ රටේද තිබුණි. ඒ තත්ත්වය 1972 ආණ්ඩුක්‍රමය විසින් විශාල ප්‍රමාණයකටද ඉන්පසු 1977 ආණ්ඩුක්‍රමය විසින් මුළුමනින්ද නැති කරන ලදි. ඉන්පසු රජයේ සියලු නිලධාරීන්ට නීතිය නොසලකා රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව කියන ආකාරයට ක්‍රියාකළ යුතු තත්ත්වයක් ඇතිවිය. එම තත්ත්වය රාජ්‍යයේ ක්‍රියාකාරීත්ව විකෘති කොට නීතියේ පාලනයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

විගණකාධිපති

විගණකාධිපති යනු රජයේ සියලු කටයුතු හා ගනුදෙනු පරීක්ෂා කිරීමේ බලය ලත් ප්‍රධාන නිලධාරියාය. එය රාජ්‍යයේ ඉතා වැදගත් හා බලවත් තනතුරකි. මෙම දූෂිත ආණ්ඩුක්‍රමය තුළ විගණකාධිපතිවරුන් පත්ව සිටින අසරණ හා ඛේදජනක තත්ත්වය මීට පෙර දක්වන ලද විජේසූරිය නිදර්ශනයෙන් තේරුම්ගත හැකිය. රාජ්‍යයේ සිදුවන ඕනෑම ගනුදෙනුවක් පරීක්ෂා කිරීමේ බලය විගණකාධිපතිට තිබිය යුතුය. එම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කර තිබෙන තනතුරකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම තනතුරේ සිටින කෙනකු තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය.

බාහිර පෙනුමෙන් එය විශාල ස්වාධීනත්වයක් ඇති බලවත් තනතුරක් වුවත් මෙම ආණ්ඩුක්‍රමය තුළ විගණකාධිපතිවරයා සිටින්නේද කිසිදු ස්වාධීනත්වයක් නැති යටහත් පහත් තත්ත්වයකය.

විගණකාධිපිත විජේසූරිය තනතුරෙන් පහකරන ලද්දේ දෝෂාභියෝගයකින් නොවේ. තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඔහුට දැනුම් දුන්නේය. ඔහු අතින් කිසිදු වරදක් සිදුවී නොතිබුණි. ඔහු කළේ නීතියට අනුකූලව ක්‍රියාකිරීම නිසා දේශපාලන අධිකාරියේ උදහසට ලක්ව සිටි තමන්ගේ නිලධාරීන් දෙදෙනකු ආරක්ෂා කිරීම පිණිස ක්‍රියාකිරීම පමණය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට නියෝග කළ විට ජනාධිපතිවරයාගේ එම නීතියට පටහැනි තීරණය පිළිගෙන තනතුර අත්හැර ගෙදර යනවා හැර තෝරාගැනීමට වෙනත් විකල්පයක් ඔහුට නොතිබුණි. ජනාධිපතිවරයාගේ නීති විරෝධී නියෝගය අභියෝගයට ලක්කරන තැනකට ගියේ නම් ඔහුට හිමිවන ඉරණමද අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට හිමිවූ ඉරණම තරම්ම ඛේදජනක වන්නට ඉඩ තිබුණි.

විජේසූරිය අත්දැකීම ඔහුගේ සියලු අනුප්‍රාප්තිකයන් කෙරෙහි බලපෑවේය. දේවල් පරීක්ෂා කරන තැනකට යායුත්තේ රාජ්‍ය නායකයාගේ අසතුටට හේතු නොවන තරමට පමණක් බව ඒ සියලුදෙනා එම අත්දැකීම ආශ්‍රයෙන් ඉගෙන ගන්නට ඇතැ”යි කිව හැකිය. රාජ්‍යයේ ගනුදෙනු යම් තරමකට මිස මනා ලෙස පරීක්ෂාවට ලක් නොවන තත්ත්වයක් ඒ නිසා ඇතිවී තිබෙන්නේයැ”යි ද කිව හැකිය. එම තත්ත්වය රාජ්‍යයේ දූෂිත ස්වභාවය වර්ධනය කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය.

මැතිවරණ කොමසාරිස්වරයා

යාපනේ සංවර්ධන සභා ඡන්දයේදී මැතිවරණ කොමසාරිස්වරයා සතුව තිබූ බලය නීතියට පටහැනිව ජනාධිපතිවරයා විසින් පැහැර ගෙන එම බලය ආරක්ෂක ලේකම්වරයා වෙත තාවකාලිකව පැවරුවේය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා යාපනයට යවන ලද ගණන් ගැනීමේ නිලධාරීන් ඉවත් කොට ඒ වෙනුවට කොළඹින් යවන ලද ආණ්ඩු පාක්ෂිකයන් පිරිසක් එම තැන්වලට පත් කළේය. එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද එම නීති විරෝධී ක්‍රියාව වැළකීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නොවීය.

එම මැතිවරණ කොමසාරිස්වරයා තනතුරෙන් ඉවත්වීමෙන් පසුද ජනාධිපතිවරයා එම තනතුර පුරවන ලද්දේ දෙපාර්තමේන්තුවේ ඊළඟට සිටි ජේ‍යෂ්ඨ නිලධාරියාගෙන් නොව තමන් කැමති පිටස්තරින් ගෙනා කෙනකුගෙනි. චන්දානන්ද සිල්වාගෙන් තනතුර පුරවන විට එම තනතුර ලැබිය යුතුව සිටි පියසේකර තනතුර අතහැර ගෙදර ගියේය.

1999 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා ඇත්තට හෝ බොරුවට රෝගාතුර වී රෝහල්ගතවූ අවස්ථාවේදීද තරග බිමේ සිටි ජනාධිපතිනිය එම පුරප්පාඩුව පුරවන ලද්දේ ඊළඟට සිටින ජේ‍යෂ්ඨ නිලධාරියාගෙන් නොව පිටස්තරින් ගෙනා නිලධාරියෙකුගෙනි. ඒ සියලු නිදර්ශනවලින්ද පෙනීයනුයේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කටයුතුවලට පවා බලපෑමේ හැකියාවක් ජනාධිපතිට තිබෙන බවය. මෙම ක්‍රමය තුළ සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සතුටට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට මැතිවරණ කොමසාරිස්වරුන්ට සිදුවී තිබේ. එම තත්ත්වය මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය හීන දීන කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය.

අධිකරණය

මෙම තත්ත්වය අධිකරණය කෙරෙහිද බලපා තිබේ. අගවිනිසුරු ධුරයේ සිටි ශර්වානන්ද මහතා විශ්‍රාමයෑමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටි ජේ‍යෂ්ඨයා වූ රාජාවනසුන්දර මහතාට අගවිනිසුරු ධුරය හිමි නොවූයේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොතිබුණු නිසා නොව 13 වැනි සංශෝධනයට අදාළ නඩු විභාගයේදී ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන අවශ්‍යතා නොසලකා නීතියට අනුකූලව සිය තීරණයන් ඉදිරිපත් කරන ලද නිසාය. ඉන් තවත් කලකට පසු ජී.පී.එස්. ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාමයෑමෙන් පසුව එම තනතුරට පත්වීමට ආචාර්ය මාක් ප්‍රනාන්දු මහතාට ඉඩ නොලැබුණේද සුදුසුකම් නොතිබුණු නිසා නොව ඔහු විසින් දෙන ලද සමහර නඩු තීන්දු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ උදහසට හේතුවී තිබුණු නිසාය. එහිදී ජනාධිපතිනිය පුරප්පාඩුව පිරවීම සඳහා තෝරාගත්තේද ගෞරවයට හේතුවූ පුද්ගලයකු නොව බරපතළ දූෂණ චෝදනා එල්ල වී තිබූ පුද්ගලයෙකුගෙනි. අධිකරණය පක්ෂපාත තත්ත්වයක තබාගැනීම සඳහා මේ ක්‍රමය තුළ ජනාධිපතිවරයකුට යාහැකි දුර ඇය ඉන් පෙන්නුම් කළේය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් පහකිරීම කෙරෙහි බලපෑවේද ඇය තමන්ට පක්ෂපාත කෙනකු නොවීයැ”යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකූ නිසාය. ඇය තනතුරට පත්කිරීමෙන් පසුව ආණ්ඩුව කෙරෙහි පක්ෂපාතීව ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළද සැමියා ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයක් සමග ආණ්ඩුවට රිදවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. ඇය ඉල්ලා අස්වනවා දැකීම ජනාධිපතිවරයාගේ මනාපය වුවත් ඇය අන් අයට වෙනස්ව තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යනවා වෙනුවට ජනාධිපතිවරයාගේ අභිලාෂයන් අභියෝගයට ලක් කෙරෙන පිළිවෙතක පිහිටා ක්‍රියා කළාය. ඒ වෙනුවෙන් ඇයට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය දැවැන්තය. ඇයගෙන් හිස්වූ පුරප්පාඩුව පිරවීමේදී ජනාධිපතිවරයා ආදර්ශයට ගත්තේද පූර්වගාමී ජනාධිපතිනියගේ ආදර්ශයයි.

සියලු ජනාධිපතිවරුන් අධිකරණයට ලබාදී තිබෙන පූර්වාදර්ශ අනුව අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට පැවතිය හැක්කේ ආරක්ෂා කරගත යුතු සියලු ගුණධර්ම අතහැර නීතිය හෝ සාධාරණත්වය නොසලකා ආණ්ඩුව කෙරෙහි පක්ෂපාතීව ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පමණය. රටක අධිකරණයක් දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකරන තත්ත්වයකට පත්වූ විට එම රාජ්‍ය ශීලාචාරකම අහිමි කරගත් රාජ්‍යයක් බවට පත්වන්නේය. රටක් වශයෙන් අපට සිදුවී තිබෙන නස්පැත්තියද එයයි. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොතරම් නරක වුවද ඒ රටේ හොඳ අධිකරණයක් තිබෙන්නේ නම් ආණ්ඩුකරණයේදී සිදුවන වැරදි කිසියම් විශාල ප්‍රමාණයකට පාලනය කළ හැකිය. එහෙත් රටක අධිකරණයක් දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකරන තත්ත්වයකට පත්වූ විට ඒ රටේ මිනිසුන් කිසිදු ආරක්ෂාවක් නැති අසරණ තත්ත්වයකට පත්වන්නේය.

විරුද්ධ පක්ෂ බෙලහීන තත්ත්වයකට ඇද වැටීම කෙරෙහි ආණ්ඩුක්‍රමයේ දෝෂ පමණක් නොව අධිකරණයේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරීත්වයද බලපා තිබෙන්නේය. ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී විරුද්ධ පක්ෂ නායකයා අධිකරණය පිළිබඳව හිතේ සඟවාගෙන සිටි කෝපය ප්‍රසිද්ධියේ මුදාහැරියේය. ඔහු තුළ අධිකරණය පිළිබඳව ඇති කරගත් තරහක් ඇති නම් එය අසාධාරණ නැත. ඔහු බෙලහීන කිරීමට අධිකරණයද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. පක්ෂ මාරුවට අදාළ නීති ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා අධිකරණය ක්‍රියා කළේ නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද මේතරම් බෙලහීන තත්ත්වයකට පත්වන්නට ඉඩ නොතිබුණා සේ ම ආණ්ඩු පක්ෂයද මේ තරම් ශක්තිමත් නොවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට මෙම ව්‍යාපාර අධිකරණය සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට නොගොස් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ස්ථිරසාර ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් සමහරවිට අධිකරණයද මේ තරම්ම පක්ෂග්‍රාහී තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණේය.

17 වැනි සංශෝධනය

17 වැනි සංශෝධනයේ එන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය නැවත ඇති කිරීම මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස සැලකීම තරම් විකාරයක් තවත් තිබිය නොහැකිය. 17 වැනි සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් තිබියදීත් ජනාධිපතිවරයකුට හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන්නට තිබෙන බලය නැති කරන්නට තබා සීමා කරන්නටවත් කොමිෂන් සභා ක්‍රමයට හැකිවී තිබුණේ නැත. එම කොමිෂන් සභා ක්‍රමය තිබියදීත් එම කොමිෂන් සභා නොසලකා ක්‍රියාකිරීමේ බලය ජනාධිපතිට තිබුණි. කොමිෂන් සභා තීරණ ජනාධිපතිවරයා විසින් නොසලකා ක්‍රියාකරන අවස්ථාවලදී ජනාධිපතිවරාට එරෙහිව නඩු පැවරීමේ හෝ වෙනත් ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලය කිසිදු ආයතනයකට නොතිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික දර්ශනය වී ඇත්තේ මහජනයාගේ ස්වාධිපතයය හෝ මහජන අයිතිවාසිකම් නොව ජනාධිපතිගේ බලය හා අයිතිවාසිකම්ය. ආණ්ඩුක්‍රමය සකස් කර ඇත්තේම රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපතිට ලැබෙන ආකාරයට හා ජනාධිපති කවර තරම් බරපතළ වරදක් කළද නීතිය ඉදිරියේ ඔහුගේ ක්‍රියාකාරකම් අභියෝගයට ලක් කළ නොහැකි ආකාරයටය.

ඕනෑම නීතියක් වලංගුවන්නේ එම නීතිය නොසලකා ක්‍රියාකරන්නන්ට දඬුවම් කළහැකි නම් පමණය. 17 වැනි සංශෝධනයේ අරමුණ ජනාධිපතිවරයාට ලැබී තිබෙන හිතුවක්කාරී බලය සීමාකිරීම නම් ජනාධිපතිවරයා එම සීමා නොසලකා ක්‍රියාකරන අවස්ථාවලදී ජනාධිපතිවරයාට දඬුවම් පැමිණවීමේ බලයක්ද ඒ නීතියට තිබිය යුතුය. එහෙත් 17 වැනි සංශෝධනය සකස් කර තිබෙන්නේ එවැනි බලයක් නැති ආකාරයටය. ඒ තත්ත්වය එසේම තබාගෙන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ගැන කතා කරන්නේ නම් එය සැලකියයුත්තේ තේරුමක් නැති නන්දෙඩවිල්ලක් ලෙසය.