පමාවී ඇස් ඇරීම

September 1, 2013
Publication:
The government's invitation to UN High Commissioner Navi Pillay, a new commission on disappearances and arrests over the Trincomalee killings show, Ivan says, that it has finally grasped world realities — too late. Firmness during the war was right; afterwards it should have changed gear and cooperated with the UN as any member must, like a cricket board with the ICC. Instead, swayed by extremists who believed a China–Russia–Iran bloc was rising, it picked fights with the West and India. He recounts the meeting after the Darusman report where that line prevailed.

රටේ බෙල්ල හිරකිරීමට බලා සිටින යකින්නියක් වැනි හැඟීමක් සමාජ ගතකර තිබුණද ලෝකයේ මානව හිමිකම් විෂයට සිටින ලොකුම නිලධාරිනිය ලෙස සැලකිය හැකි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වන නවනීදන්පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට ආවාය. ඇය ආවේ බලහත්කාරයෙන් නොව ආණ්ඩුවේ ආරාධනයක් පරිදිය. ඇය එන්නට පෙර ආණ්ඩුව අතුරුදන්වීම් ගැන සොයා බලන්නට කොමිසමක් ද පත් කළේය. ඊට පෙර ත්‍රිකුණාමලයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය තරුණයන් 5දෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක්ද අත්අඩංගුවට ගත්තේය.

ඇයට කිසිසේත්ම ලංකාවට එන්නට ඉඩ නොදිය යුතුයැ”යි කියන දැඩි මතධාරීන් කිහිපදෙනකු ආණ්ඩුවේ සිටියද ඔවුන් කිසිවෙක් ඇගේ පැමිණීම නිසා ආණ්ඩුව අතහැර ගියේ නැත. මාරාන්තික උපවාසයක් කරන තැනකට ගියේද නැත.

ආණ්ඩුව ලෝක යථර්ථය තේරුම් ගනිමින් තිබෙන්නේ බොහෝ ප්‍රමාදවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ලොක ප්‍රජාවට මේ මොහොතේ ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් තිබෙන මටසිලුටුභාවය මීට කලකට පෙර පෙන්නුම් කිරීමට සමත් වී නම් ආණ්ඩුවේ චිත්‍රය සේ ම රටේ චිත්‍රය මීට බොහෝ වෙනස්වන්නට ඉඩ තිබුණේය.

යුද්ධය පැවති කාලයේදී එහි අවසානය තෙක් ජාත්‍යන්තර වශයෙන් එල්ලවන බලපෑම්වලට අවනත නොවන දැඩි ප්‍රතිපත්තියක් ආණ්ඩුව පවත්වාගෙන ගියේය. එය නිවැරදිය. එසේ නොවී නම් සමහරවිට සමස්ත යුද්ධ වැඩපිළිවෙළ අවුල්වන්නට ඉඩ තිබුණි. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසුව ආණ්ඩුව ගියරය මාරු කළ යුතුව තිබුණේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හා ජාත්‍යන්තර බලවේගයන් සමග අවබෝධයෙන් හා සහයෝගයෙන් වැඩ කරන තැනකට යායුතුව තිබුණි. එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට ඒවා සමග රණ්ඩු කරන තැනකට ගියේය. ආණ්ඩුව වරද්දාගත් එක වැදගත් මර්මස්ථානයක් එයවීයැ”යි කිව හැකිය.

ලෝක යථාර්ථය තේරුම් නොගැනීම

නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන්වීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම මුළුමනින් ස්වභාවිකය. මීට වඩා අඩුවෙන් ගෝලීයකරණය වී තිබූ කාලයක් ලෙස සැලකිය හැකි 1971 කැරැල්ලෙන් පසුද මේ තරමටම නුවූවත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කිරීම් තිබුණි. ඉන්පසු 1989දී ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුද ජේවීපීය වෙනුවෙන් හඬ නගන්නට ක්‍රියාකාරී සිංහල ඩයස්පෝරාවක් නොතිබියදීත් ප්‍රශ්න කිරීම් තිබුණි. අභ්‍යන්තර යුද්ධයකින් පසුව කෙරෙන මෙම ප්‍රශ්න කිරීම ලංකාව සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියක් නොව වෙනත් රටවල් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වූ සාමාන්‍ය ප්‍රතිපත්තියක් විය. චිලියේ අයියන්දේගේ ආණ්ඩුව පෙරළා දැමීමේ හමුදා කුමන්ත්‍රණයට ඇමරිකාවේ සම්බන්ධයක්ද තිබුණි. එසේ තිබියදීත් එම කුමන්ත්‍රණයෙන් පසුව ඒ රටේ සිදුවූ මහා පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ප්‍රශ්න කිරීමක් සේ ම සොයා බැලීමක්ද තිබුණි.

තාමත් ලෝක ආණ්ඩුවක් බිහිවී නැතත් ලෝකයේ රටවල් අතිවිශාල බහුතරයක් එකට එකතු වී තනාගත් ලෝක සංවිධානයන් තිබෙන අතර මානව අයිතිවාසිකම් විෂයෙහි සාමාජික රටවල් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව ඇති කරගත් එකඟතාවක් ඊට තිබෙන්නේය. එම ප්‍රතිපත්ති උල්ලංඝනය කෙරෙන අවස්ථාවලදී එම සාමාජික රටෙන් ප්‍රශ්න කිරීමේ ඒ ගැන සොයාබැලීමේ හා අවශ්‍ය වෙතොත් දඬුවම් කිරීමේ බලයද එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබෙන්නේය.

මෙය ක්‍රිකට්වලදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සාමාජික රටවල ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධයෙන් තිබෙන බලය හා සමානය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයන්ට කවුන්සිලයේ නීති හා මගපෙන්වීම් පිළිපදින්නට සිදුවන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තිබෙන ඒ බලයට කිසිදු සාමාජිකයකු අභියෝග කරන්න යන්නේ නැත. එය මුළුමනින් යුක්තිය හා සාධාරණත්වය රජකරන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. කවුන්සිලයේ ප්‍රතිපත්තිවල වරදක් ඇත්නම් එය නිවැරදි කරගැනීම සඳහා ක්‍රියාකළයුතු විශේෂ ආකාරයක් තිබෙන අතර පිළිගත් ඒ ආකාරයෙන් කටයුතු නොකොට අසම්මත ලෙස ක්‍රියාකරන අවස්ථාවකදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩා තරග අවලංගු කිරීමේ බලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සතුය. ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගිවීමට කැමති ඕනෑම ජාතික කණ්ඩායමක් අන්තර්ජාතික ක්‍රිකට් සංගමයට බැඳී සංගමයේ නීතිරීතිවලට අනුකූලව සිය කටයුතු ඉදිරියට ගෙනයා යුතුය. එම නීතිරීති නොපිළිපදින ඕනෑම කණ්ඩායමක ජාත්‍යන්තර තරග තහනම් කිරීමේ බලය සංගමය සතුය.

එක්සත් ජාතීන්ගේ සංගමය තුළ ක්‍රියාත්මකවන්නේද ඊට සමාන ප්‍රතිපත්තියකි. සාමාජික රටක් අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රතිපත්ති නොපිළිපදින අවස්ථාවලදී ඒ සාමාජික රටට එරෙහිව ක්‍රියාකිරීමේ බලය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක සංවිධානය හා මානව හිමිකම් කොමිසම සතුය. එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති නිවැරදි හෝ සාධාරණ නොවේ නම් ඒවා වෙනස් කරගැනීම සඳහා ක්‍රියාකිරීමේ අයිතියක් සාමාජික රටවල් සතුවනමුත් එවැනි අවස්ථාවලදී ක්‍රියාකළ යුතු පිළිගත් ආකාරයක්ද පවතී. විරුද්ධ අදහස් දරන රටක් ඒ අදහස් ප්‍රකාශ කළ යුත්තේද ඒ සඳහා ඇති කර තිබෙන පිළිගත් රාමුවට අනුකූලවය.

එහෙත් ශ්‍රී ලංකාව එක්සත් ජාතික සංවිධානය සමග රණ්ඩු කළේ ඒ පිළිගත් රාමුවෙන් පරිබාහිරවය. සීලාචාරකමට නොගැළපෙන ආකාරයටය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගැටුම් ඇති කරගත් එකම රට ශ්‍රී ලංකාව වන්නේ නැත. අපට පෙර විටින් විට වෙනත් විවිධ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගැටුම් ඇති කරගෙන ඇතත්, ඒ හැම රටක්ම පාහේ ඒ අරගල කර ඇත්තේ පිළිගත හැකි සීලාචාර රාමුවක් තුළ ඉඳිමිනි. එහෙත් රටක් වශයෙන් අප රණ්ඩු කළේ ඒ ශීලාචාර රාමුවෙන් පරිබාහිරව ඉතා දඩබ්බර ආකාරයටය. ඒ ගැන ලැජ්ජාවනවා හැර ආඩම්බරවීමට අපට රටක් වහයෙන් පුළුවන්කමක් නැත. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිදුවූ විශේෂ පාඩුවක් නැතත් අපට සිදුවූ පාඩුව අතිවිශාලය. එතෙක් රටක් වශයෙන් අපට තිබූ යහපත් ජාත්‍යන්තර ප්‍රතිරූපය අවලස්සනවීම රටක් වශයෙන් අපට සිදුවූ ලොකුම පාඩුව ලෙස සැලකිය හැකිය.

අන්තවාදයෙන් වල්මත්වීම

එවැනි වරදක් සිදුවීම කෙරෙහි බලපෑ එක් වැදගත් හේතුවක් වූයේ ලෝක බලවේගයන්ගේ බලතුලනයන් පිළිබඳ යථා තක්සේරුවක් ආණ්ඩුවට නොතිබීම නිසාය. ඒ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නැමති නෞකාව පදවමින් සිටියේ පළපුරුදු රාජාතාන්ත්‍රිකයන් පිරිසක් නොව නොපළපුරුදු අන්තවාදී මතධාරීන් පිරිසක් විසිනි. එම අන්තවාදී මතධාරීන් දරන ලද මතය අනුව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට තිබූ ලෝක ආධිපත්‍යය බිඳ වැටෙමින් චීනය, රුසියාව, ඉරානය වැනි රටවලින් සමන්විත විකල්ප ලෝක බලවේගයක් ලෝක ආධිපත්‍යය හිමිකර ගනිමින් සිටින්නේය. ඒ නිසා තවදුරටත් ලංකාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට බියවිය යුතු නැත. ශ්‍රී ලංකාව මතුවෙමින් තිබෙන නව ලෝක බලවේගයන්ගේ ආධාර මත යැපෙන ඔවුන්ට ආධාර කරමින් ඔවුන් සමග ඉදිරියට යන රටක් බවට පත්විය යුතුය. මෙය හරි තක්සේරුවක් නොව වැරදි තක්සේරුවකි. අවාසනාවකට යුද්ධයෙන් පසු රටේ විදේශීය ප්‍රතිපත්ති හසුරුවන ලද්දේ එම වැරදි තක්සේරුව මත පිහිටාය. අපේ අපනයන නිෂ්පාදනයන්ට වෙළෙඳපොළ පෙරදිග රටවල් නොව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය. ඒ නිසාම එම රටවල් සමග මිත්‍රශීලී යහපැවැත්මක් ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථිකයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි බලපෑ අන්තවාදී මතධාරීන්ගේ විකාර මතවාද නිසා ශ්‍රී ලංකාව ඉදිරියට යන්නට උත්සාහ කළේ එම යථාර්ථය නොසලකාය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇති කරන ලද හානිය අතිවිශාලය. ඒ නිසා යුද්ධයෙන් පසු අප අපේක්ෂා කළ විදේශ ආයෝජනයන් රටට ගලා නාවේය. යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ක්‍රියාත්මක වූ ජීඑස්පී ප්ලස් සහනය අපට අහිමි වූයේය. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයන්ට ලැබී තිබුණු ප්‍රමුඛ තත්ත්වය නැතිවී රට බොහෝදුරට විදේශ සේවා නියුක්තියෙන් ලැබෙන සංක්‍රාම ආදායම් මත යැපෙන රටක තත්ත්වයට පත්වූයේය. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ලැබිය යුතු නියම ප්‍රතිලාභද ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවිය.

දරුස්මාන් වාර්තාවෙන් පසු

යුද්ධය අවසන්වීමෙන් පසු ආණ්ඩුවේ දෘෂ්ටිය හා ගමන්මග අන්තවාදී මතධාරීන් පාලනය කරමින් තිබූ ආකාරය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් මෙසේය. දරුස්මාන් වාර්තාව පළවීමෙන් පසුව ඒ ගැන කුමක් කළ යුතුදැ”යි තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ද ඇතුළුව තෝරාගත් විශේෂ පිරිසක් සාකච්ඡාවකට කැඳවා තිබේ. එම සාකච්ඡාවේදී සිදුවූ දේවල් මට දැනගන්නට ලැබුණේ එම සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනකු මගිනි. ඒ දෙදෙනාගෙන්ම අසන්ට ලැබුණු දේවල් බොහෝදුරට එකසමානය.

එම සාකච්ඡාවට සහභාගි වූ වැදගත් මතධාරියකු පළමුවෙන්ම දරුස්මාන් වාර්තාව පිළිබඳව සිය මතය පළකර තිබේ. යුද්ධය අවසන්වීමෙන් පසු මෙවැනි ප්‍රශ්න කිරීම් හා සැක ඇතිවීම් අසාමාන්‍ය නොවන බව ප්‍රකාශ කරමින් සන්සුන්ව කරුණු පැහැදිලි කරන ප්‍රතිපත්තියක් මගින් ජාත්‍යන්තර තලයේ මතුවී තිබෙන එම ව්‍යාකූලතාව ජයගත යුතුව තිබෙන බව ඔහු කියා තිබේ. ඊළඟට එම සභාව අමතා කතා කර ඇත්තේ දැඩි මතධාරී න්‍යායවාදියෙකි. ඔහු සභාව අමතා කතා කර ඇත්තේ විශාල මහජනතාවක් අමතා කතා කරන උස් ස්වරයකිනි. ඔහු කතා කර ඇත්තේද රැස්ව සිටි ජනාධිපතිවරයාගේ හෝ වෙනත් අයගේ බුද්ධියට නොව එහි සිටි ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදර ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කොට ගනිමින් ඒ දෙදෙනාගේ හදවතටය. ඇමරිකන් ජනාධිපති ඔබාමා විසින් ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වහා ගෙදර යායුතු බව මෙම දරුස්මාන් වාර්තාවෙන් මනා ලෙස සනාථ කර තිබෙන බවත්, සතුරාට අවශ්‍ය වී තිබෙන්නේ ජනාධිපතිගේත්, ආරක්ෂක ලේකම්ගේත්, ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේත් ඔළු බවත් ඔවුන්ගේ දුෂ්ට න්‍යාය පත්‍රය පරාජය කළයුතුව තිබෙන්නේ ඔවුන් ඉදිරියේ වැඳ වැටී ආයාචනා කිරීමෙන් නොව එම දුෂ්ට බලවේගයන්ට එරෙහිව සටන් කරන තත්ත්වයකට යෑමෙන් බවත් ඒ සඳහා රටේ මහජනතාව දැනුවත් කරමින් අධිරාජ්‍ය විරෝධී විකල්ප ලෝක බලවේගයන්ගේද සහාය ඇතිව දුෂ්ට අධිරාජ්‍ය විරෝධී බලවේගයන්ට එරෙහිව සටන් කළ යුතු බවත් ඔහු කියා තිබේ. ඔහුගේ එම කතාවෙන් පසු එම මතයට පක්ෂපාතව කතා කරන අය හැර ඊට වෙනස් මත දරන කිසිවෙක් අදහස් පළකිරීමක් කර නැත.

ඒ සමගම එම දැඩි මතධාරියා ඉදිරිපත් කළ මතය ආණ්ඩුව පිළිගත් නිල දර්ශනය බවට පත්වී ආරක්ෂක මණ්ඩලයේ සිටින චීනය හා රුසියාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් තුළ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිවත් ඇමරිකාව හා බටහිර බලවතුන්ට එරෙහිවත් මුළු ශක්තිය යොදා සටන් කරන ප්‍රතිපත්තියකට තල්ලු විය. ඉන්දියාව බටහිර ඇලියේ ආධාරකරුවකු ලෙස පෙනෙන්නට වූ විට ඉන්දියාව සමගද රණ්ඩු කරමින් ලංකාව පූර්ණ වශයෙන් චීනය මත යැපෙන රටක් බවට පත්විය.

චීන ලැදියාව

බටහිර රටවල් සමග ගනුදෙනු කරනවාට වඩා චීනය සමග ගනුදෙනු කිරීම පහසුය. චීනයේ තිබෙන්නේ මානව හිමිකම් ගැන විශේෂ සැලකිල්ලක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් නොවන නිසාම චීනය රටකට ආධාරදීමේදී ඒ රටේ මානව හිමිකම් වැදගත් කොට සලකන්නේ නැත. අනෙක් අතට චීන ණය හා ආධාර ක්‍රමය සකස් කර තිබෙන්නේම අල්ලසටද වැදගත් තැනක ලැබෙන ආකාරයටය. අප්‍රිකානු රටවලට ණය ආධාර දෙන ප්‍රධාන රට බවට පත්ව තිබෙන්නේ චීනයයි. අප්‍රිකානු රටවල් චීනයෙන් ලබාගන්නා ණය වෙනුවෙන් ආපසු ගෙවනු ලබන්නේ චීනයට අවශ්‍ය අමුද්‍රව්‍යවලිනි. ඒ ගනුදෙනුව දෙපාර්ශ්වයට වාසිදායකය. එහෙත් චීනයෙන් ලබාගන්නා ණය වෙනුවෙන් හිලව්වට දෙන්නට අපට අප්‍රිකාවට මෙන් අමුද්‍රව්‍ය නැත. එසේ අප නිපදවන අපනයනයන්ද චීනයට වැදගත් නැත. මෙම තත්ත්වය යටතේ චීනයෙන් ලබාගන්නා ණය වෙනුවෙන් අපට කවදා හෝ ආපසු දෙන්නට වන්නේ ඔවුන්ගේ ණයවලින්ම ඉදිකරන ව්‍යාපෘතීන්වල අයිතියයි. විශාල වශයෙන් චීනයෙන් ණය ලබාගන්නා ප්‍රතිපත්තියක් අප්‍රිකානු රටවලට යහපත් විය හැකි වුවද ශ්‍රී ලංකාව වැනි රටකට යහපත්වන්නේ නැත.

අප ලෝක බලතුලනයන් පිළිබඳව ඇති කරගෙන තිබෙන තක්සේරු මුළුමනින් වැරදිය. චීනය ආර්ථික වශයෙන් මහ බලවතකු වශයෙන් නැගී සිටිමින් සිටින බව සත්‍යයකි. එහෙත් ලෝකයේ පළමු බලවතාවීමේ ඇත්ත හැකියාවක් චීනයට තිබේද යන්න සැකසහිතය. විද්‍යාව හා තාක්ෂණයේදී චීනය තවමත් ඉන්නේ ඇමරිකාව හා බටහිර බලවතුන්ට වඩා පසුගාමී තත්ත්වයකය. චීනයේ තිබෙන ඒකාධිපති ආණ්ඩුක්‍රමයද මහ බලවතකු ලෙස නැගී සිටීමට තිබෙන පුළුවන්කම සීමාකරන සාධකයකි. ශ්‍රම බලකායේ වයස් ස්වභාවය අනුව ගත්විට චීනය ඉක්මනින් මහලු රටක් බවට පත්වීමට නියමිතව තිබෙන අතර ලොකුම තරුණ ජනගහනයක් සහිත රට බවට පත්වීමට නියමිතව තිබෙන්නේ ඉන්දියාවය. චීනය වර්තමානයේ වැඩිම ජනගහනයක් සහිත රට වන අතර තව වසර 20කින් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වීමට නියමිතව තිබෙන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉන්දියාවට අතිරේක ශක්තියක් ලබාදෙන ප්‍රධාන සාධකයක් වී තිබේ.

යථාර්ථයන් නොදැකීම

භූ දේශපාලන යථාර්ථය අනුව ඉන්දියාව මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ලංකාවට නැත. ජේආර් ජයවර්ධන පාලන යුගයේදී ඉන්දියාව හිමි කරගෙන සිටියේ කලාපීය බලවතාගේ තත්ත්වය පමණය. එහෙත් වර්තමානයේ ඉන්දියාව කලාපීය බලවතා වනවාට අතිරේකව මහා බලවතකුගේ තත්ත්වයට පත්වෙමින් සිටින්නේය.

ලංකාවේ ළඟම අසල්වැසියා ඉන්දියාවය. එය බුදුන්වහන්සේ ඉපදුණු දේශය වනවා පමණක් නොව නවීන අර්ථයෙන් මහත්මා ගාන්ධි ගොඩනගන ලද දේශයද වේ. සංස්කෘතික වශයෙන් අපගේ ළඟම නෑදෑයා ලෙස සැලකිය හැක්කේද ඉන්දියාවය. හින්දු ඉන්දියාව සමගත් දෙමළ තමිල්නාඩුව සමගත් සමීප මිත්‍රත්වයක් ශ්‍රී ලංකාවේ යහපැවැත්මට අත්‍යවශ්‍යය. ඉන්දියාව සමග මනා සහයෝගයෙන් වැඩ කරන පිළිවෙතක් අපේ රටේ ආර්ථික දියුණුව කෙරෙහිද බලපායි. ඊළඟට අපට වැදගත්වන අසල්වැසියා ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් පාකිස්තානයයි. පාකිස්තානය අපට හැමදාමත් ආධාර කර තිබේ. ඒ නිසා අප ඒ රට සමග හොඳ මිත්‍රත්වයක් තබාගත යුතුය. ශ්‍රී ලංකාව නිපදවන අපනයන භාණ්ඩ විකිණිය හැක්කේ ඇමරිකාව ප්‍රමුඛ ක්‍රිස්තියානි බටහිර රටවලට නිසා ඒ රටවල් සමග මිත්‍රත්වයකින් ක්‍රියාකිරීමද ශ්‍රී ලංකාවට වැදගත්ය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ලීවරය බවට පත්ව තිබෙන සංක්‍රාම ආදායම් ප්‍රධාන කොට ගලා එන්නේ මුස්ලිම් මැද පෙරදිග රටවල්වලින් වන නිසා ඒ රටවල් සමගද මනා සහයෝගයක් පවත්වාගෙනයෑම ශ්‍රී ලංකාවට වැදගත්ය. ඊළඟට ජපානය හා චීනය අපට වැදගත්ය. විදේශ ප්‍රතිපත්තියේදී මෙම යථාර්ථයන් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.

ප්‍රතිසංවිධානයකට යා හැකිද?

ඊළඟට අප වරද්දාගත් ලොකුම තැන ලෙස සැලකිය හැක්කේ ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කරන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය එක අඩියක්වත් සාර්ථක ලෙස ඉදිරියට යා නොහැකි තරමට කුණුවී තිබුණු බව තේරුම් ගනිමින් සමස්ත ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන ප්‍රතිසංවිධානයට ලක්කිරීමේ අවශ්‍යතාව තේරුම් නොගැනීමය.

ඉතාමත් විධිමත් ලෙස නොවූවත් උගත් පාඩම් කොමිසම සිය වාර්තාවෙන් කියා සිටින්නේද විශාල ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව ගැනය. සමාජ දේශපාලන ක්‍රමයේ මූලික ප්‍රතිසංවිධානයක් බලයේ සිටින රජයකට පමණක් ඒකාපාක්ෂිකව කළ නොහැකිය. එය සර්ව පාක්ෂික ක්‍රියාදාමයක් විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එල්ල වී තිබෙන බලපෑම් එවැනි තැනකට රට තල්ලු කිරීමට හේතුවේද යන්න පැහැදිලි නැත. ආණ්ඩුවට සමස්ත ක්‍රමයේ ප්‍රතිසංවිධානයක් පිළිබඳ යහපත් හා අවංක ඉදිරි දැක්මක් හෝ ඒ සඳහා වන බලවත් හැඟීමක් තිබෙන බවක් පෙනෙන්නට නැත. විරුද්ධ පක්ෂවලට පවා එවැනි දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ප්‍රතිසංවිධානයක් රටේ ජනවාර්ගික ප්‍රශ්නයට පමණක් සීමා නොවිය යුතුය. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙනවාට අතිරේකව සමස්ත සමාජ දේශපාලන ක්‍රමය මුලික ප්‍රතිසංවිධානයකට ලක්කිරීම එහි ඉලක්කය විය යුතුය. එවැනි තැනකට යන්නට රට අසමත් වෙතොත් ඊළඟට රට තල්ලුවනු ඇත්තේ මහා අරාජිකත්වයකටය.