එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම මගින් ශ්රී ලංකාව අපේක්ෂා කළ ප්රතිලාභයක් වී නම් ඇය ලංකාවට පැමිණි පසු ඇය සම්බන්ධයෙන් අනියම් ලෙස ක්රියාත්මක වූ ඇය නින්දාවට ලක් කෙරෙන පිළිවෙත මගින් එම ප්රතිලාභය ශ්රී ලංකාව අහිමි කරගනු ලැබීයැ”යි කිව හැකිය.
හැසිරීම ශීලාචාර නැත
ඇය ශ්රී ලංකාවට ආවේ ආණ්ඩුවේ ආරාධනයක් අනුව නිසා ඇය උසුලන නිල තත්ත්වයට හිමි නිසි ගෞරවයකින් යුතුව ඇයගේ කටයුතු කරගෙන යෑමට ඉඩදීමේ යුතුකමක් හා වගකීමක් ආණ්ඩුවට තිබුණේය. ඇය ආණ්ඩුවේ ආරාධනයක් අනුව ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ උසස්තම නිලධාරියක්ව තිබියදීත් ජනමාධ්ය මගින් ඇයට ආරෝපණය කරමින් තිබුණේ ඇය ලංකාවේ ලේ උරාබීමට එන බිහිසුණු යක්ෂණියකගේ ප්රතිරූපයකි. ඇය කැමති නම් ඇය තමන්ගේ අනියම් බිරිය ලෙස තබාගැනීමට සූදානම් බවට ආණ්ඩුවේ ඇමතිවරයකු ප්රකාශ කරන ද අතර රටේ ජනමාධ්ය ඇමතිවරයාගේ එම අශෝභන ප්රකාශය හෙළා දකිනවා වෙනුවට උත්කර්ෂවත් කෙරෙන ආකාරයට එම වාර්තා කෙරෙන ප්රතිපත්තියක් අනුගමනය කළේය.
අපේ රටේ ජනනායකයකුගේ ආර්යාවක් හෝ ජන නායිකාවක් විදේශ රටක ආරාධනයකින් කෙරෙන සංචාරයකදී එම රටේ ඇමතිවරයකු එවැනි ප්රකාශයක් කළේ නම් එය අපේ රටේ ජනතාව තුළ ඇති කරන හැඟීම කුමක් විය හැකිද? එවැනි ප්රකාශයක් ශ්රී ලංකා ආණ්ඩුව භාරගනු ඇත්තේ කවර ආකාරයකටද? එය සරල විහිලුවක් ලෙස සලකා විඳ දරාගැනීමේ හැකියාව තිබිය හැකිද? එය අපි අපේ අශීලාචාරකම ලෝකයට හඬ නගා ප්රකාශ කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම අශෝභන ක්රියාව දකින ලෝකයා තුළ ශ්රී ලංකාව පිළිබඳව නරක හැඟීමක් මිස යහපත් හැඟීමක් ඇති විය නොහැකිය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරගන්නවා ඇත්තේද තමන්ගේ පළමු පෙළේ නිලධාරියකුට කරන ලද සරල විහිලුවක් ලෙස නොව සමස්ත සංවිධානයටම කරන ලද අපහාසයක් ලෙසය.
ඉන්දිරා ගාන්ධි දේශායි අතින් පරාජයට පත්වූ අවස්ථාවෙහිදී ජේ.ආර්. ජයවර්ධන මුලසුන හොබවන සභාවකදී රණසිංහ ප්රේමදාස ඉන්දිරා ගාන්ධි හා ඇගේ පුත්රයා පිළිබඳව එවැනි බිහිසුණු ප්රකාශයක් කළේය. ඔහු ඉන්දිරා ගාන්ධි හැඳින්වූයේ වැසිස්යක ලෙසය. ඇගේ පුතා හඳුන්වනු ලැබුවේ වසු පැටවකු ලෙසය. ඉන්දිරා ගාන්ධිද ඇගේ මරණය දක්වාම එය අමතක නොකළේය. ඉන්දිරා ගාන්ධි එය තේරුම්ගෙන තිබුණේද එය ජේ.ආර්. ජයවර්ධනගේ අනුමැතිය ඇතිව රණසිංහ ප්රේමදාස විසින් කරන ලද ප්රකාශයක් ලෙසය. ඇය ජේ.ආර්. ජයවර්ධන සමග ඇති කරගෙන තිබූ විරසකය හා සැකය කෙරෙහි ප්රේමදාසගේ එම අමනෝඥ ප්රකාශය තීරණාත්මක ලෙස බලපෑවේය. අවසානයේ ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ ජේ.ආර්. ජයවර්ධනට පමණක් නොව මුළු රටටමය.
කරන හොඳ නිෂේධ කරගැනීම
ආණ්ඩුව එක් අතකින් කරන හොඳ දේවල්වල අගය අනෙක් අතින් කරන නරක දේවල්වලින් මුළුමනින් නැතිකර ගනිමින් සිටින්නේයැ”යි කිව හැකිය. ඒ ලක්ෂණය ආණ්ඩුවේ ප්රතිපත්ති හා ක්රියාමාර්ගවල නිත්ය ලක්ෂණයක් වී තිබෙන්නේයැ”යි ද කිව හැකිය. ආණ්ඩුව යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා මුළු බර යොදා ක්රියාකරන ප්රතිපත්තියක් අනුගමනය කළේ විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාය. අනෙක් අතට විදේශ ආයෝජකයන් බියගන්වන ක්රියාවක් සිදුකිරීම මගින් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට තිබෙන හැකියාව නැති කරගන්නේයැ”යි කිව හැකිය. දැන් කාපට් කළ දියුණු මහා මාර්ග පද්ධතියක් ඇතත් ඒවා ප්රයෝජනයට ගන්නට සිදුවී තිබෙන්නේ ප්රමාණවත් තරමින් විදේශ ආයෝජකයන්ගේ පැමිණීමකින් තොරවය. උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ ප්රදේශ නැවත සංවර්ධනය කිරීම විසින් ඇති කර තිබෙන අවසාන ප්රතිඵලයද ඊට සමානය. ඒ ප්රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ඒ සමග අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ක්රියාදාමය හා අත්අඩංගුවට ගත්තවුන් බොහොමයක් පුනරුත්ථාපනය කොට නිදහස් කර යැවීමේ ක්රියාදාමයේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් වී ඇතත් ඒ කිසිවක් දෙමළ ජනයාගේ පෑරුණු සිත් සුවකිරීමට සමත් වී නැත. එම විසම තත්ත්වයට හේතුවී තිබෙන්නේ ආණ්ඩුව යුද්ධය පැවති ප්රදේශවල දෙමළ ජනතාවගේ භෞතික දියුණුව කෙරෙහි බලපාන බොහෝ දේ කර ඇතත් හා ඒ සඳහා විශාල වියදමක් දරා ඇතත් කිසිදු වියදමකින් තොරව ලබාදිය හැකිව තිබෙන ආත්ම ගෞරවය ලබා නොදීම නිසාය. ආණ්ඩුවේ ප්රතිපත්ති හා ක්රියාමාර්ගවල තිබෙන මෙම පරස්පර ලක්ෂණය අරාජිකත්වයක් කරා යමින් තිබෙන ගමන ශක්තිමත් කරන අතිරේක සාධකයක් ලෙස ක්රියාකරමින් තිබෙන්නේයැ”යි කිව හැකිය.
පොදු රාජ්ය මණ්ඩල නායක සමුළුව
පොදු රාජ්ය මණ්ඩලයට අයත් රටවල නායක සමුළුව සඳහාද ආණ්ඩුව විශාල වියදමක් දරන්නට නියමිතය. ඒ සමුළුවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන බොහෝ දේවල් තිබෙන බවද පෙනෙන්නට තිබේ. එහිදීද මහ කොමසාරිස්වරියගේ සංචාරයේදී මෙන් තේරුමක් නැති ප්රශ්න ඇතිකර ගන්නා තැනකට ගියහොත් ඒ වෙනුවෙන් ආණ්ඩුවට පමණක් නොව රටටද අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.
දේවල් කරන්නට පෙරත් දේවල් කිරීමෙන් පසුත් ඒවා දෙස විවේචනාත්මකව කරුණු සලකා බලන හා ඒවාහී හොඳ නරක ඇගැයීමට ලක් කරන පුරුද්දක් හෝ ක්රමවේදයක් නැතිකම ආණ්ඩුව මුහුණ දී තිබෙන අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය.
යුද්ධයේ ජයග්රහණයෙන් පසුව ඊළඟට මුහුණ දෙන්නට සිදුවන ප්රශ්න හා ගතයුතු ක්රියාමාර්ග ගැන තියුණු ලෙස කරුණු සලකා බලන තැනකට ගියේ නම් එක්සත් ජාතියක් ඇතිකර ගැනීමේ වැදගත්කම සමග ලෝක බලවතුන් සමග රණ්ඩු කරන ප්රතිපත්තියක් වෙනුවට ඉවසිලිවන්ත ලෙස කරුණු පහදා දෙන ප්රතිපත්තියකට ලැබෙන වැදගත්කම තේරුම් ගත හැකිවන්නට ඉඩ තිබුණි. ඒ ආකාරයට සාධාරණ ලෙස හා තර්කානුකූලව කරුණු සලකා බලන ක්රමයක් තිබුණේ වී නම් ජනවාර්ගික ප්රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමේ වැදගත්කම සේ ම කුණුවී තිබෙන දේශපාලන ක්රමය වෙනස් කරගැනීමේ අවශ්යතාව තේරුම්ගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් යුද්ධයේ ජයග්රහණයෙන් පසු බොහෝ දේවල් සිදුවූයේ හිතුවක්කාරි ආකාරයටය. යමක් කරන්නට පෙර හොඳින් හා විධිමත්ව කරුණු සලකා බැලීමේ ක්රමයක් ක්රියාත්මක නොවීය. ඊට සුදුසු වටාපිටාවක්ද ගොඩනැගී නොතිබුණු අතර එවැනි වටාපිටාවක් ඇතිකර ගැනීමේ වැදගත්කම වෙනුවෙන්ද කිසිවෙකුත් පෙනී නොසිටියේය.
යෝධයා හා අඟුටුමිට්ටන්
යුද්ධයෙන් ලැබූ ජයග්රහණය ජනාධිපතිවරයා දැවැන්ත යෝධයකු බවට පත්කරමින් ආණ්ඩුවේ ඊළඟ නායකයන් අඟුටුමිට්ටන්ගේ තත්ත්වයට පත්කර තිබුණේය. කණ්ඩායම් නායකයා හා කණ්ඩායම් සාමාජිකයන් අතර වන පරතරය අහස පොළොව තරම් දුරස් කිරීමට හේතුවී තිබුණි. ජනාධිපතිගේ සහෝදරයන් දෙදෙනා (බැසිල් හා ගෝඨාභය) අන් අයට වැඩි බලයක් හිමි කරගෙන සිටියද ඒ දෙදෙනා පවා ජනාධිපතිවරයා කල්පනා කරන ආකාරයේ වරදක් වී තිබෙන බව පෙනෙන අවස්ථාවලදී පවා ඒ අදහස් සඟවාගෙන සිටියා මිස කරුණු සාකච්ඡාවට හා සංවාදයට ලක් කරන ප්රතිපත්තියක් අනුගමනය නොකළේය. අන් සියලුදෙනාගේ හැසිරීම ඊටත් වඩා බයාදුශීලී හා යටහත් පහත් වීයැ”යි කිව හැකිය. පළමු පෙළේ රාජ්ය නිලධාරීන්ගේ හැසිරීම ඊටත් වඩා බයාදුශීලී වීයැ”යි කිව හැකිය. අවසානයේදී සමස්ත ආණ්ඩුව තියුණු ලෙස කරුණු සලකා බැලීම්වලින් තොරව හරි වරද කුමක් වුවත් නායකයාගේ සිතැඟියාවන් ගැළපෙන ලෙස හා අදූරදර්ශී ලෙස ක්රියාකරන වර්ගයන්ගේ ආණ්ඩුවක් බවට පත්වීයැ”යි කිව හැකිය.
සිරිමා බණ්ඩාරනායක ලොකු උගතකු නොවීය. එහෙත් ඇගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ෆීලික්ස්, ඇන්.ඇම්. කොල්වින්, පීටර්, ලෙස්ලි, සුබසිංහ, ඉලංගරත්න වැනි දැවැන්ත දේශපාලන චරිතවලින් සමන්විත ආණ්ඩුවක් විය. එය එහෙයියන්ගෙන් පමණක් සමන්විත කැබිනට් මණ්ඩලයක් නොවීය. ක්රියාවට නගන්නට යන හැම දෙයක්ම තියුණු ලෙස සාකච්ඡාවට ලක් කෙරෙන සම්ප්රදායක් ක්රියාත්මක විය. අගමැතිනිය ඉතා උගත් නූවද උගතුන්ට සවන් දුන්නේය. බරපතළ තීරණයක් ගන්නට පෙර ඔවුන් සමග සාකච්ඡා කළේය.
ජේ.ආර්. ජයවර්ධන විශාල පළපුරුද්දක් තිබූ උගත් නායකයකු විය. ඔහු බිහිකර තිබූ විධායක ජනාධිපති ක්රමය විධායක ජනාධිපති හා කැබිනට් ඇමතිවරුන් අතර විශාල පරතරයක් ඇති කිරීමට හේතුවී තිබියදීත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ, ලලිත් ඇතුලත්මුදලි, රොනීද මෙල්, ගාමිණී දිසානායක, ආර්. ප්රේමදාස, එස්. තොණ්ඩමන්, ගාමිණී ජයසූරිය වැනි වර්ණවත් චරිත සැලකිය යුතු ගණනක් සිටියේය. සිරිමා බණ්ඩාරනායකගේ ප්රජා අයිතිය අහිමි කිරීමට තීරණය ගනු ලැබූ කැබිනට් සාකච්ඡාවේදී ඇමති මණ්ඩලයේ දෙදෙනෙක් (එස්. තොණ්ඩමන් හා ගාමිණී දිසානායක) ඊට විරුද්ධ වූහ. ජනාධිපති ජයවර්ධනගේ දැඩි පාලනයක් තිබියදීත් කිසියම් ප්රමාණයකට අදහස් ප්රකාශ කිරීමේ නිදහසක් කැබිනට් ඇමතිවරුන් හිමිකරගෙන සිටි බව ඉන් පෙනී යයි.
මෙම තත්ත්වයෙහි කණපිට හැරවීමක් සිදුවීම ආරම්භවන්නේ ප්රේමදාස පාලන යුගයේදීය. වෙනස් අදහස් ප්රකාශ කිරීම නිසා තමන් පළිගැනීමට ලක්වනු ඇතැ”යි කියන බිය නිසා වෙනස් අදහස් දරන අය අදහස් පළකිරීමෙන් තොරව නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් ඒ කාලයේදී ක්රියාත්මක විය. එම නොමනා තත්ත්වය ආණ්ඩුව තුළ අභ්යන්තර කැරැල්ලක් ඇති කිරීමට හේතුවූ අතර එම කැරැල්ලෙන් එම පක්ෂයට සිදුවූ හානිය අද දක්වාම පිළිසකර කරගැනීමට හැකිවූයේ නැත.
අතීතයෙන් උගතයුතු පාඩම් මේ ආණ්ඩුව ඉගෙන ගෙන තිබෙන බවක්වත් ඉගෙන ගැනීමට සූදානම් බවක්වත් පෙනෙන්නට නැත. යුද්ධය ආරම්භ කිරීමෙන් පසු කරන ලද ලොකුම මෝඩ ක්රියාව ලෙස සැලකිය හැක්කේ ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටවනු ලැබූ අවස්ථාවේදී එය නැවත ලබාගැනීමේ හැකියාව තිබියදී අහිමි කරගැනීමය. එය අපනයන නිෂ්පාදනයන් කෙරෙහි ඇති කරන විනාශයේ තරම කල්තියා තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් විය.
යුද්ධයේ අවසානය හා බටහිර ප්රවේශය
යුද්ධයේ අවසාන අදියරයේදී පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇමරිකාව ප්රධාන සමහර බටහර රටවල් යුද වැඩපිළිවෙළකට ඇඟිලි ගසන ප්රතිපත්තියක් අනුගමනය කළද එසේ කරන ලද්දේ එල්ටීටීඊය කෙරෙහි ඇති කරගත් අනුකම්පාවෙන් හෝ එහි ආරක්ෂාව සඳහායැ”යි කිව නොහැකිය. ඒ රටවල දේශපාලන රැකවරණය ලබාගෙන එහි ජීවත් වන විශාල ලාංකික දෙමළ ප්රජාවක් සිටියේය. යුද්ධයේ අවසාන අදියරේදී එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීමෙන් ඒ රටවල ජීවත් වන ලාංකික දෙමළ ප්රජාව සටන්කාමී ලෙස වීථි බැස උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඒ රටවල ගොඩනැගී තිබුණි. ලංකාවේදී එල්ටීටීඊය ලබන පරාජයක් ඔවුන් ඒ රටවල ප්රචණ්ඩ ක්රියාමාර්ගවලට තල්ලු කිරීමට හේතුවනු ඇතැ”යි කියන බියත් ඒ රටවල බලධාරීන් තුළ පොදුවේ ඇති කර තිබුණි. ඒ සමග නන්දිකඩාල්වල හිරවී සිටින එල්ටීටීඊ සංවිධානය විශාල පිරිසක් සමග එකතු වී සාමූහිකව දිවි නසාගන්නා තැනකට යනු ඇතැ“යි කියන මතයක්ද ප්රචලිත වී තිබුණි. ඒ තත්ත්වය දෙමළ ජනතාව ජීවත් වන යුරෝපා රටවල් කෙරෙහි කවර බලපෑමක් ඇති කරනු ඇත්ද කියන විමතියක්ද ඔවුන් අතර තිබුණි. එල්ටීටීඊය මුළුමනින් යුදමය වශයෙන් පරාජය වී යුරෝපයේ ජීවත් වන ලාංකික දෙමළ ප්රජාවගේද සටන්කාමී ප්රතික්රියා අවසන්වීමෙන් පසු යුරෝපා බලවතුන් අතර එතෙක් පැවති විමතියද පහව ගියේය. ඒ සමග අන්යොන්ය සහයෝගයෙන් වැඩ කළ හැකි පරිසරයක් ජාත්යන්තර වශයෙන් ගොඩනැගෙමින් තිබුණද ඒ තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් ඉවසීමෙන් කරුණු පහදා දෙන ප්රතිපත්තියක් ඔස්සේ බටහිර බලවතුන් සමග පැවති සම්බන්ධතා යථා තත්ත්වයට පත්කර ගැනීමට ආණ්ඩුව අසමත් විය.
ජනාධිපති ආරක්ෂක ලේකම් ඇතුළු යුද්ධයේ කටයුතුවලට වගකිවයුතු ආරක්ෂක ප්රධානීන් ජාත්යන්තර යුද්ධාධිකරණයක් ඉදිරියට ගෙන ගොස් දඬුවම් කරන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියන මතය දරන ජාත්යන්තර සංවිධාන තිබුණා වුවත් ඒ මතය බලවත් ලෙස පැවතියේ ආතතිය පැවති මුල් වකවානුවේය.
යුද්ධය සිදුවූයේ අපට නොපෙනෙන විශේෂ තැනක වුවත් යුද්ධය සිදුවූයේ සැටලයිට් කැමරා ඉදිරියේය. පසුව එම සැටලයිට් ඡායාරූප හැදෑරීමක් සිදුවීයැ”යි කිව හැකිය. ඒ සමග බටහිර බලවතුන් ශ්රී ලංකාවට එල්ල කරන චෝදනාවල සැර බාලකිරීමක්ද සිදුවිය. ජාත්යන්තර පරීක්ෂණයක් වෙනුවට සාධාරණ අභ්යන්තර පරීක්ෂණයක් සමග ජාතිය නැවත ගොඩනගන වැඩසටහනකට ශ්රී ලංකාව යොමුවිය යුතුයි කියන ඉල්ලීම බලවත් ලෙස මතුවන්නට වූයේ ඒ සමගය. කාලයාගේ ඇවෑමෙන් එල්ටීටීඊයට ඩයස්පෝරාවේ ක්රියාකාරීත්වය බෙලහීන වන තත්ත්වයක් ඇතිවිය. ජාත්යන්තර තලයේ ඇතිවෙමින් තිබූ එම වෙනස්කම් හොඳින් තේරුම් ගනිමින් ඊට අනුකූල ලෙස ප්රමාණවත් තරමින් සිය ප්රතිපත්ති වෙනස් කිරීමට ශ්රී ලංකාව අසමත් විය. ප්රමාණවත් තරම් වේගයකින් ඊට ගැළපෙන ලෙස සිය ප්රතිපත්ති වෙනස් කිරීමට ශ්රී ලංකාව සමත් වී නම් ශ්රී ලංකාවේ චිත්රය මීට වඩා යහපත් වන්නට ඉඩ තිබුණි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්රී ලංකාවෙන් පිටත් වී යන්නට පෙර ශ්රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ තුළ වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකිය. එසේ තිබියදීත් ඇය ශ්රී ලංකාව පිළිබඳව ගොඩනගන චිත්රය ඉතා තියුණු සේ ම රටේ පවතින යථාර්ථයන්ට අනුකූලය. ආණ්ඩුව ඇගේ එම ප්රකාශය ගැන කරන ලද විවේචනය වී ඇත්තේ එය ඇය තමන්ගේ සීමාවන් ඉක්මවා කරන ලද දේශපාලන ප්රකාශයක් ලෙසය. ඇය හොබවන තනතුර සැලකිය යුත්තේ දේශපාලන තනතුරක් ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය යටතේය. එම ප්රඥප්තිය සැලකිය යුත්තේ සාමාජික රටවල් පවත්වාගෙන යායුතු දේශපාලන වටිනාකම් හෝ දේශපාලන ගුණධර්ම පිළිබඳ ප්රඥප්තියක් ලෙසය. ඒ ගණයට වැටෙන වටිනාකම් ලෙස සැලකෙනුයේ (1) නිදහස්ව නිවහල්ව හා භීෂණයෙන් තොරව ජීවත්වීමේ අයිතිය (2) අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා වධ හිංසාවන්ට ලක්වීමෙන් වැළකී සිටීමේ අයිතිය (3) සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අයිතිය. (4) අදහස් ප්රකාශ කිරීමේ අයිතිය (5) සංවිධානයවීමේ හා සමාග්ම පැවැත්වීමේ අයිතිය (6) අනන්යතාව රැකගැනීමේ අයිතිය (7) තමන් කැමති ආණ්ඩුවක් තෝරාගැනීමේ අයිතිය වැනි කාරණාය. ශ්රී ලංකාව මෙම ප්රඥප්තියට පමණක් නොව ඊට අදාළ වෛකල්පික ප්රතිඥාවකටද අත්සන් කර තිබේ. ප්රතිඥාවට පමණක් අත්සන් කර තිබෙන රටකට වඩා ප්රඥප්තිය හා ප්රතිඥාව යන ගිවිසුම් දෙකටම අත්සන් කරන ලද රටකට මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා තිබෙන බැඳීම් ප්රඥප්තියට පමණක් අත්සන් කර තිබෙන රටකට වඩා වැඩිය. ශ්රී ලංකාව මෙම ප්රඥප්තියට අත්සන් තබන ලද්දේ යූඑන්පී ආණ්ඩු කාලයේය. ප්රතිඥාවට අත්සන් තබන ලද්දේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසිනි.
මහ කොමසාරිස්වරියගේ නිරීක්ෂණ
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්රී ලංකාව පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත්තේ සිවිල් හා දේශපාලන ප්රඥප්තියේ එන රාමුව තුළ පිහිටාය. ඇය කතා කර තිබෙන හැම දෙයක්ම එම රාමුවට ඇතුළත්ය.
ඇය නගා තිබෙන බරපතළම ප්රශ්නයක් ලෙස සැලකිය හැක්කේ යුද්ධය අවසන්වීමෙන් පසුත් අතුරුදන් කිරීමේ සිදුවීම තිබෙන්නේ ඇයිද කියාය. අදහන් පළකිරීමේ නිදහස අනියම් ලෙස පාලනය කරන්නේ ඇයිද කියාය. රතුපස්වල උද්ඝෝෂණය මැඬලන්නට හමුදාව යෙදවූයේ ඇයිද කියාය. යුද්ධය අවසන්වීමෙන් පසුත් පාලනය ලිහිල් නොකරන්නේ මන්ද කියාය. යුද්ධය අවසන්වීමෙන් පසු සියලුදෙනා ඇතුළත් කරගන්නා ආකාරයට ජාතිය ප්රතිසන්ධානය කරන හා රාජ්ය ප්රතිසංවිධානය කරන තැනකට නොගියේ ඇයිද කියාය.
ඇගේ සියලු නිරීක්ෂණ අතුරින් වඩාත්ම ආණ්ඩුවේ අසංතෝෂයට හේතුවී තිබෙන නිරීක්ෂණය වී තිබෙනුයේ යුද්ධය අවසානයේදී නව රටක් හා නව රාජ්යයක් ගොඩනගා ගැනීමට තිබුණු හැකියාව නොසලකා රජය අත්තනෝමතික රජයක් කරා තල්ලුවෙමින් සිටින්නේයැ”යි කියන නිරීක්ෂණයයි. ඇය එහිදී ආණ්ඩුව කියන ආකාරයට රජය ඒකාධිපති රජයක් ලෙස හඳුන්වා නැත. ඒ වෙනුවට හඳුන්වා තිබෙන්නේ අත්තනෝමතිකත්වයක් හෝ අධිකාරිවාදයක් කරා යන රාජ්යයක් ලෙසය. එය විදේශ නිරීක්ෂණයකට පමණක් නොව සාධාරණ ලෙස හිතන මතන ස්වදේශිකයන්ට පවා පෙනෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ඇති කරගත හැකි නිගමනයන්
ආරක්ෂක හමුදා විසින් ප්රභාකරන්ගේ ප්රචණ්ඩ ව්යාපාරය මුළුමනින් විනාශ කර තිබෙන තත්ත්වයක් ඉදිරියේ එම සංවිධානයෙන් එල්ල වන තර්ජනයන්ගෙන් තොරව ජීවත්වීමේ නිදහස ජනතාවට ලැබී ඇතත්, යුද්ධය අවසන්වීමෙන් පසුව ලැබිය යුතුව තිබුණු තරමේ නිදහසක් තාමත් රටේ ජනතාවට ලැබී නැත. ආරක්ෂක හමුදා තාමත් මුළුමනින් බැරක්කවලට යවා නැත. යුද්ධ කාලයකදී පමණක් තිබිය යුතු සමහර මර්දන නීති තවමත් ක්රියාත්මක වේ. වර්ගයා හා ආගම් අතර ආතතියේ වර්ධනයක් පවතී. බිහිසුණු අපරාධවල ශීඝ්ර වර්ධනයක් පවතී. අදහස් පළකිරීමේ නිදහස අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් පවතී. විරුද්ධ පක්ෂවල ක්රියාකරුවන් බියගැන්වීමට හේතුවන සියුම් සෝදිසි කිරීම් රටේ ක්රියාත්මක වේ.
මහ කොමසාරිස්වරියගේ නිරීක්ෂණ ආශ්රයෙන් කිව හැකිව තිබෙන එක් වැදගත් දෙයක් වනුයේ ජනාධිපති ආරක්ෂක ලේකම් හෝ ආරක්ෂක ප්රධානීන් ජාත්යන්තර යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙනයෑමේ ඇත්ත තර්ජනයක් තවදුරටත් නොපවත්නා බවය. එහෙත් යුද්ධයේදී සිදුවීයැ”යි කියන සමහර සීමාන්තික ක්රියා ගැන සාධාරණ අභ්යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනු ඇති අතර එසේ නොකරන්නේ නම් ජාත්යන්තර පරීක්ෂණයක් පවත්වනු ඇත. එසේම මානව හිමිකම් විෂයේදී ශ්රී ලංකාව අත්කර ගන්නා ප්රගතිය පිළිබඳව ඉහළම මට්ටමේ සෝදිසියක් පවත්වාගෙන යනු ඇති අතර ඒ විෂයේදී පිළිගත හැකි මට්ටමේ ප්රගතියක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් ශ්රී ලංකාවට එරෙහිව සම්බාධක හා තහංචි පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය.
එම තත්ත්වය ජයගත හැකිව තිබෙන හොඳම ක්රමය ආණ්ඩුව ප්රතිපක්ෂවලද සහාය ඇතිව ප්රතිසන්ධානය හා ප්රතිසංවිධානය රටේ දේශපාලන න්යාය පත්රයේ අංක 1 බවට පත්කර ගැනීමය.