ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය සමග වයඹ හා මධ්යම පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් කරළියට ගැනීම මගින් සපුරා ගැනීමට අපේක්ෂා කරන අරමුණු දෙකක් තිබෙන බව පෙනේ. උතුරෙන් ලැබෙන පරාජයක්, එම කලාපයට ආවේණික ඉතාමත් විශේෂ තත්ත්වයක් මිස එය මුළු රටටම ආවේණික පොදු තත්ත්වයක් බව පෙන්නුම් කිරීම එක අරමුණක් ලෙස සැලකිය හැකිය. ඉක්මන් ජනාධිපතිවරණයකට පෙර ආණ්ඩුවේ ශක්තිය උරගා බැලීම එහි ඊළඟ අරමුණ ලෙස සැලකිය හැකිය.
මොන මොන හේතු නිසා හෝ උතුරේ යටිතල පහසුක්ම නගා සිටුවීමට ආණ්ඩුව විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. එහෙත් එය උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තරම් ප්රබල හේතුවක් නොවී ඇත්තේ කිසිම වියදමකින් තොරව ලබාදිය හැකිව තිබුණු දෙමළ ජනතාවට ලබාදිය යුතුව තිබුණු ගෞරවය ඔවුන්ට ලබාදීමට අසමත්වීම නිසාය. පළාත් සභා ක්රමයක් කරළියට ගෙනාවේ ප්රධාන කොට දෙමළ දුක්ගැනවිලිවලට ලබාදෙන විසඳුමක් වශයෙනි. එහෙත් අවාසනාවකට සිංහල හෝ මුළුමනින් දෙමළ නොවන හැම පළාතකම පළාත් ආණ්ඩුක්රමයක් ක්රියාත්මක වුවද 1990 මාර්තු මාසයේදී උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු පළාත් සභා ක්රමයක් ක්රියාත්මක නොවූ එකම පළාත දෙමළ බහුතරයකගේ පළාත ලෙස සැලකිය හැකි උතුරු පළාතේ පමණය.
මොන මොන හේතු නිසා හෝ උතුරු පළාත් සභා මැතිවරණය ප්රමාද කරනවා මිස ඉක්මනින් පවත්වන්නට ආණ්ඩුවට කැමැත්තක් නොතිබුණි. ඒ ආකල්පය වෙනස් කරගැනීමට හේතුවූයේ පොදු රාජ්ය මණ්ඩල නායකයන්ගේ සමුළුව නිසාය.
දෙමළ සන්ධානයේ නායකයන් නම්යශීලී ප්රතිපත්තියක පිහිටා ක්රියා කළ මුල් අවස්ථාවේදී ආණ්ඩුවද ඊට ගැළපෙන තරමට නම්යශීලීවීමට පුළුවන්කම තිබුණේ නම් දෙමළ සන්ධානයේ නායකයන් සමග සහයෝගයෙන් ක්රියාකරන වැඩසටහනකට යොමුවීමට හැකිවීම මගින් එම පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධානය ලබන ජයග්රහණය ආණ්ඩුව ලැබූ ජයග්රහණයක් ලෙස සලකා ප්රීතිවිය හැකි තත්ත්වයක් හිමිකර ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබුණේය. එහෙත් දෙමළ සන්ධානයේ නායකයන් සමග සහයෝගයෙන් ක්රියාකරන ප්රතිපත්තියකට යෑමේ වැදගත්කම තේරුම් ගැනීමට අවශ්ය දේශපාලන පරිණතභාවයක් ආණ්ඩුවේ නායකයන්ට නොතිබුණේය.
ඒ දේවල් එසේ සිදුවීමෙන් තොරව හෝ උතුරු පළාත් සභාව සඳහා තරමක් කල්පසුවී හෝ මැතිවරණයක් පැවැත්වීම ඓතිහාසික වැදගත්කමක් ඇති අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් මේ මැතිවරණ කාලයේ කිසිම අවලස්සන දෙයක් සිදුවන්නට ඉඩ නොතැබීම ආණ්ඩුවේද, ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂවලද ආරක්ෂක හමුදාවලද යුතුකම හා වගකීම වේ. එහි සිදුවන පුංචි අවලස්සන සිද්ධියක් පවා මහා ගින්නක් ඇති කිරීමට හේතුවිය හැකි බව ඒ සියලුදෙනා තේරුම් ගත යුතුය.
81 දිස්ත්රික්ක සංවර්ධන සභා ඡන්දය
එහි පවතින තත්ත්වය 1981 යාපනේ පැවති දිස්ත්රික් සභා ඡන්දයට සමානය. එම දිස්ත්රික් සංවර්ධන සභා ඡන්දය ලංකා ඉතිහාසයේ ගමන් මග මුළුමනින් වෙනස් දිසාවකට යොමු කිරීමට හේතුවිය. 83 කළු ජූලියක් ඇති කිරීම කෙරෙහිත් නැවත දෙමළ උතුරෙන් සිංහල දකුණෙන් බිහිසුණු කැරලි දෙකක් ඇතිවීම කෙරෙහිත් ප්රධාන කොට බලපෑවේ එම ඡන්දයයි.
1977 මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පෙනී සිටියේ වෙනම දෙමළ රාජ්යයක් වෙනුවෙනි. ඔවුහු එම මැතිවරණයේදී දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනම රාජ්යයක් සඳහා වන අනුමැතියකි. එසේ තිබියදීත් එම ව්යාපාරයේ නායකයන් 1981දී දිස්ත්රික් සංවර්ධන සභා ක්රමයකට එකඟ විය. එය වෙනම රාජ්යයකට හෝ ඊට අඩු පළාත් සභා ක්රමයකටත් වඩා පුංචි විසඳුමක් විය.
පාලන බලය එක්තරා ප්රමාණයකට විමධ්යගත කෙරෙන දිස්ත්රික් සංවර්ධන සභා ක්රමයක් ඇති කරන වැඩපිළිවෙළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්රධාන උපදේශකයා ලෙස ක්රියා කළේ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ බෑණා වූ මහාචාර්ය ඒ.ජේ. විල්සන්ය. දිස්ත්රික් සභා ක්රමයක් මගින් පරිපාලනය විමධ්යගත කිරීම ගැන සොයා බලා වාර්තා කිරීම සඳහා දස පුද්ගල ජනාධිපති කොමිසමක් පත්කරන ලද්දේ 1978 අගෝස්තුවලදීය. එහි ප්රධානියා ලෙස ක්රියා කළේ වික්ටර් තෙන්නකෝන්ය. කොමිෂන් සභාවේ ඉතිරි නවදෙනා අතර සිංහලයෝ තිදෙනෙක්ද, දමිළයෝ තිදෙනෙක්ද, මුස්ලිම්වරුන් තිදෙනෙක්ද වූහ. මහාචාර්ය කේ.එම්. ද සිල්වාට අනුව කොමිසමට පත් කළ දමිළ නියෝජිතයන් තිදෙනාම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන්ගේ එකඟතාව ඇතිව පත් කරන ලද අය වූහ. කොමිසමේ කටයුතු 1980 පෙබරවාරිවලදී අවසන් කරන ලද අතර දිස්ත්රික් සංවර්ධන සභා පිහිටුවීම සඳහා වන පනත පාර්ලිමේන්තුව විසින් 1980 අගෝස්තු 21 වැනිදා සම්මත කරන ලදි. කෙටුම්පත දෙමළ නායකයන් විසින් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර තිබුණු අතර ඔවුන් ඉදිරිපත් කරන ලද විවේචන හා යෝජනා අනුව කෙටුම්පතේ වෙනස්කම්ද ඇති කර තිබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් එම කෙටුම්පතට ඡන්දය දුන් අතර අමිර්තලිංගම් ඒ සඳහා පැවති විවාදයේදී කෙටුම්පත ප්රශංසාවට ලක් කරමින් දීර්ඝ කතාවක්ද කළේය. දිස්ත්රික් සංවර්ධන සභා ක්රමයටද සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා විරුද්ධ වූ අතර උන්වහන්සේලාගෙන් එල්ල වූ බලපෑම්වලට ජනාධිපතිවරයා යටවූයේ නැත.
1981 අගෝස්තු අවසානයේදී වව්නියාවේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ කෘත්යාධිකාරී සභාව අමතා දිස්ත්රික් සංවර්ධන සභා ක්රමයට පක්ෂපාතව අමිර්තලිංගම්ට කතා කරන්නට සිදුවූයේ එම ගස්වීම පැවති ශාලාව ඉදිරිපිට අන්තවාදී අදහස් දරන දෙමළ තරුණයන් සිය ගණනක් දිස්ත්රික් සංවර්ධන සභා ක්රමයට විරෝධය පළකිරීම සඳහා සත්යග්රහයක යෙදී සිටියදීය.
ජයවර්ධන ආණ්ඩුව එහිදී කළ ලොකුම මෝඩකම ලෙස සැලකියහැක්කේ යාපනේ දිස්ත්රික් සංවර්ධන සභාවද තමන් ජයගත යුතුයැ”යි කල්පනා කොට මුළු බලය යොදා ජයගැනීම සඳහා උත්සාහ කරන තැනකට තල්ලුවීමය. ආණ්ඩුවේ එම මෝඩ වැඩසටහන අන්තවාදීන්ට නැගී සිටීමට හොඳ අවස්ථාවක් ලබා දුන්නේය. ඡන්දය අවසන් වූයේ ආණ්ඩුව පරාජය වනවාට අතිරේකව මහා විනාශයක්ද ඇති කරමිනි. දෙමළ ජනයාට පමණක් නොව මුළු රටටමද වැදගත් වන පුස්තකාලයක් ලෙස සැලකිය හැකි යාපනය පුස්තකාලය ගිනිබත් වූයේද එහි ඇතිවූ අවාසනාවන්ත සිද්ධිදාමයේ ප්රතිඵලයක් වශයෙනි. ඉන්පසු 1983 ඇතිවූ කළු ජූලිය යාපනේ සංවර්ධන සභා ඡන්දයේදී සිදුවූ අවාසනාවන්තම සිද්ධි දාමයේත්, ඉන්පසුව හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීම නිසා දේශපාලන තලයේ ගොඩනැගී තිබූ විකෘති සහගත තත්ත්වයෙන් තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය.
ඉතිහාසය ආපසු හැරවීම
ඒ වැරදි දෙක එසේ සිදුනොවන්නට ශ්රී ලංකාවේ ගමන්මග මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි.
ආණ්ඩුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්යයක් සඳහා කරන ඉල්ලීම අතහැර දිස්ත්රික්ක සංවර්ධන සභා ක්රමයක් පිළිගන්නා තත්ත්වයකට මාරුවී තිබුණු තත්ත්වය ඉදිරියේ එම මැතිවරණයේදී අන්තවාදී අදහස් දරන දෙමළ තරුණයන්ට එරෙහිව කෙරෙන මතවාදී අරගලය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට කරගන්නට ඉඩහැර ආණ්ඩුව එම ඡන්දයට නාමික වශයෙන් පමණක් තරග කරන තැනකට ගියේ නම් යාපනේ සංවර්ධන සභා ඡන්දය දෙමළ මධ්යස්ථ මතධාරීන් හා අන්තවාදී මතධාරීන් අතර කෙරෙන ඡන්දයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එහිදී ප්රචණ්ඩ ක්රියා ඇතිවන්නට ඉඩ තිබුණද එහි පරිමාව විශාල නොවන්නට ඉඩ තිබුණි. එම සංවර්ධන සභා ඡන්දයෙන් එහි ඇතිවන විශාල විනාශයකින් තොරව ජයග්රහණයක් ලබාගැනීමට දෙමළ එක්සත් විමුක්ති පෙරුමණ සමත් වී නම් අන්තවාදී අදහස් දරන්නට තිබෙන පිළිගැනීමද දුර්වල වන්නට ඉඩ තිබුණි.
ඉන්පසු ජනමත විචාරණයක් වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවතී නම් ජවි පෙරමුණට කිසියම් ප්රමාණයක නියෝජනයක්ද ශ්රීලනිපයට වඩා විශාල ප්රමාණයක නියෝජනයක්ද හිමිවී එක්සත් ජාතික පක්ෂයට තිබුණු අතිවිශාල බලයද හීනවන්නට ඉඩ තිබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නියෝජනයද අලුත් වී දෙමළ අන්තවාදී අදහස් දරන සුළු පිරිසට තිබෙන පිළිගැනීමද තවදුරටත් හීනවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම සිංහල දකුණෙන් හා දෙමළ උතුරෙන් සන්නද්ධ කැරලි දෙකක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි.
උතුරේ දැන් පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී 1981 උතුරේ සංවර්ධන සභා ඡන්දයේදී සිදුවූ ආකාරයේ අවලස්සන කිසිම දෙයක් සිදුවන්නට ඉඩ නොතැබීම ආණ්ඩුවේ වගකීම වන අතර අවලස්සන එක පුංචි සිද්ධියක් පවා මහා විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.
වයඹ හා මධ්යම පළාත් සභා ඡන්ද
ආණ්ඩුවේ ප්රධාන ප්රකාශකයන් කියන්නේ ඉතිරි පළාත් සභා දෙකම තමන් ජයගන්නා බවය. එය නිවැරදි විය හැකිය. එහෙත් සමහරවිට ඒ ලබන ජයග්රහණය ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරි මැතිවරණවලට තරග කිරීමට තිබෙන හැකියාව අහිමි කෙරෙන ආකාරයේ ජයග්රහණයක්වීමටද ඉඩ තිබේ. ආණ්ඩුව එම මැතිවරණ දෙක ජයගත්තද ලබන ඡන්ද ප්රමාණය පහත වැටී විරුද්ධ පක්ෂය ලබන ඡන්ද ප්රමාණයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කළහොත් හෝ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්නන්ගේ අනුපාතිකය කැපී පෙනෙන ලෙස ඉහළ යන තත්ත්වයක් ඇතිවුවහොත් ඒ තත්ත්වය ආණ්ඩුවේ ආත්ම විශ්වාසය සසල කිරීමට හේතුවිය හැකිය.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජය ලැබුවේ ළඟ ළඟ තරගයකිනි. ප්රභාකරන් අවහිර නොකළේ නම් හා රනිල් වික්රමසිංහ වඩා විචක්ෂණ ලෙස ක්රියාකිරීමට සමත් වී නම් මහින්ද රාජපක්ෂ ළඟ ළඟ තරගයකින් පරාජය වන්නට පවා ඉඩ තිබුණේ.
සියලු ප්රතිපක්ෂ නායකයන් අඟුටු මිට්ටන් බවට පත්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා යෝධයකු බවට පත්කරන ජයග්රහණය හිමි කරගත්තේ 2010 පැවති ජනාධිපතිවරණයේදීය. එම දැවැන්ත ජයග්රහණය කෙරෙහි ප්රභාකරන් හා ඔහුගේ බෙදුම්වාදී ව්යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමේ සංසිද්ධිය සිංහල ජනතාව අතර ඇති කර තිබූ අතිවිශාල ආශ්වාදය බලපෑවේය. එය යුද ජයග්රහණය වෙනුවෙන් කෘතගුණ සැලකීමක් වශයෙන් දෙන ලද ඡන්දයක් පමණක් නොවීය. ජනතාව ඒ මගින් අපේක්ෂා කළ වෙනත් බලාපොරොත්තුවක්ද තිබුණි.
යුද්ධයෙන් ලැබූ ජයග්රහණය රටේ දේශපාලන ගමන් මගෙහි අලුත් ඓතිහාසික අධියරයකට අවතීර්ණවීමක් බව තේරුම් ගැනීමට අවශ්ය විචක්ෂණ දේශපාලන දැක්මක් ජයග්රාහී ජනාධිපතිවරයාට නොතිබුණේය. මහජනයා විසින් ලබාදෙන ලද අතිවිශාල ජනවරම ඔහු තේරුම් ගත්තේ පාලකයා වශයෙන් තමන්ට කැමති දෙයක් කිරීමට ජනතාව විසින් දෙන ලද ජනවරමක් ලෙසය. කුණුවී තිබුණු සමාජ දේශපාලන ක්රමයේ පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්යතාව තේරුම් නොගත්තේය. කැබලි වී තිබූ ජාතිය එක ජාතියක් ලෙස එකට ඒකාග්රකිරීමේ වැදගත්කම තේරුම් නොගත්තේය. පරාර්ථකාමී විය යුතු ඓතිහාසික අවස්ථාවකදී ආත්මාර්ථකාමී වීම නිසා යුද්ධයේ ජයග්රහණයෙන් හිමි කරගත් වීරත්වය පරිපූර්ණ කරගැනීමට තිබූ හැකියාව නැති කර ගත්තේය. කුණුවී තිබුණ ක්රමයේ විපර්යාසයක් ඇති කරනවා වෙනුවට බලයට පනවා තිබුණු සීමා හා ධුර කාලයට පනවා තිබුණු සීමාවන් ඉවත් කිරීම මගින් දූෂිත ක්රමයට රැකවරණය ලබාදෙමින් ඒ තුළ සිය පැවැත්ම දීර්ඝ කරගැනීමට උත්සාහ කළේය. එම සන්ධිස්ථානයේ සිට දේවල් සිදුවූයේද මහා විකාරරූපී ස්වරූපයකටය. අභ්යන්තර යුද්ධයකින් පසු වගවීමක් ඉල්ලා සිටීම නූතන ලෝකයේ සාමාන්ය දෙයක් වී තිබියදී ඉවසීමෙන් කරුණු පහදා දෙන ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ප්රශ්න කරන සංවිධාන හා රටවල් කුමන්ත්රණකරුවන් ලෙස සලකා ඒවා සමග දඩබ්බර ලෙස රණ්ඩු කරන ප්රතිපත්තියක් අනුගමනය කළේය. එම ප්රතිපත්තිය රටට ඇති කළ හානිය අතිවිශාලය. ඒ මගින් ජාත්යන්තර සහයෝගය නැතිකර ගත්තේය. විදේශ ආයෝජකයන් අධෛර්යමත් කළේය. යුරෝපා සංගමයෙන් ලැබුණු ජීඑස්පී ප්ලස් සහනය නැතිකර ගත්තේය.
යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජපක්ෂ ආණ්ඩුව අසමසම දියුණුවක් පෙන්නුම් කිරීමට සමත්ව ඇතත් ඒ දියුණුවෙන් පවා උපරිම ප්රතිඵල ලබාගැනීමට සමත් වී නැත. සමහර ව්යාපෘති හිතුවක්කාරී සේ ම නාස්තිකාරීය. යටිතල පහසුකම් සඳහා අවශ්ය වියදම් ලබාගනිමින් තිබෙන්නේ වාණිජ පොලියකට ලබාගන්නා ණය වශයෙනි. සමහර ව්යාපෘති වර්තමානයේ ලාභදායී නැතත් ප්රයෝජනවත්ය. අනාගතයේ හෝ ලාභදායී වනු ඇතැ”යි අපේක්ෂා කළ හැකි තත්ත්වයක පවතී. එහෙත් තවත් සමහර ව්යාපෘති ලාභදායී නොවනවා පමණක් නොව ප්රයෝජනවත්ද නැත. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ අයත්වන්නේ ඒ ගණයටය. බාහිර පෙනුම කොතරම් ගාම්භීර වුවත් නැව් නොඑන වරායවල් හෝ ගුවන්යානා නොවන ජාත්යන්තර ගුවන්තොටුපොළවල් රටේ යහපතට හේතුවන්නේ නැත. ලංකාව වැනි රටකට ලොකු පොලියකට ඕනෑතරම් ණය ලබාගැනීමේ හැකියාවක් ඇතත් ඒ මගින් ඇති කරන ව්යාපෘති පොලී හා ණය වාරික ගෙවීමට අවශ්ය තරමටවත් ආපසු ආදායම් උපයාදීමට සමත් නොවේ නම් ලංකාව පහසුවෙන් ගැළවිය නොහැකි ණය උගුලකට හසුවන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. අලුතෙන් වැඩිපුර ණය අවශ්ය නම් හම්බන්තොට වරායේ හෝ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අයිතිය තමන්ට ලැබිය යුතු බව චීනය කියා සිටින බව පුවත්පත් වාර්තා කර තිබුණේ මේ මෑතකදීය.
රටේ ආර්ථික කටයුතු පාලනයද යහපත් තත්ත්වයක තිබෙන බවක් පෙනෙන්නට නැත. රටේ බැංකු ව්යාපාරවලට ලබාදෙන ණය අනුපාතිකය 11% දක්වා පහත වැටී තිබේ. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම බැංකු ආදායම් උපයන ජනප්රිය මාර්ගය බවට පත්ව තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනයන් මගින් ආණ්ඩුව ආණ්ඩුවේ බැංකු පමණක් නොව සමහර පුද්ගලික බැංකුද පාලනය කරන තත්ත්වයක් හිමි කරගෙන තිබේ. රජයේ බැංකු හා ඒ ගණයට වැටෙන බැංකු රජයට අවශ්ය එදිනෙදා වියදම් පියවා ගැනීමට අවශ්ය මුදල් ලබාදෙන ප්රධාන මාර්ග බවට පත්ව තිබේ. මුදල් සංස්කරණයේ සේ ම වෙළෙඳාමේද පහත වැටීමක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. හලාල් ප්රශ්නයට සේ ම කිරිපිටිවල ඇතැ”යි කියන ඩීසීඩී ප්රශ්නය වැනි ප්රශ්නද වෙළෙඳ කටයුතු තවදුරටත් අවුල් කිරීමට හේතුවී තිබේ. සිල්ලර බඩු වෙළෙඳසැලක වෙළෙඳාමෙන් 18%ක් ලිවර් බ්රදර්ස් සමාගමේ නිෂ්පාදන වන විට තවත් 12%ක් තිබී ඇත්තේ කිරිපිටි සඳහාය. කිරිපිටි වෙළෙඳපොළේ ඇන්කර් හිමි කරගෙන තිබුණු කොටස 60%කි. මැලිබන් කිරිපිටි හිමි කරගෙන තිබුණු කොටස 20%කි. නිසි විකල්පයක් නැතිව මෙම කිරිපිටි වර්ග දෙක වෙළෙඳපොළෙන් ඉවත් කිරීම නිසා සිල්ලර කඩවල පිරිවැටුම කිසියම් විශාල ප්රමාණයකින් පහත වැටී තිබෙන අතර එය සිල්ලර වෙළෙඳුන්ගේ දුෂ්කරතා උග්ර කිරීමට හේතුවී තිබේ. අපනයන නිෂ්පාදන කර්මාන්තයන්ගේ ශීඝ්ර පහත වැටීමක් පෙනෙන්නට තිබෙන අතර දැන් ශ්රී ලංකාව ප්රධාන කොට විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක්රාම ආදායම් මත යැපෙන රටක තත්ත්වයකට පත්වී තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසු තමන්ගේ ජීවන බර සැහැල්ලු කරගැනීමට හේතුවන බොහෝ සහන ලැබෙනු ඇතැ”යි ජනතාව අපේක්ෂා කළේය. එහෙත් සහන වෙනුවට ඔවුන්ට සිදුවී තිබෙන්නේ වැඩි වැඩියෙන් පටි තද කරගන්නටය. ආණ්ඩුවට ඍජු බදුවලින් ලැබෙන ආදායම පහත වැටී තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහා ඉවක් බවක් නැතිව පරිභෝජන භාණ්ඩ මත පනවන බදු ජනතාවගේ ජීවන තත්ත්වය වඩා වඩා කර්කෂක කිරීමට හේතුවී තිබේ. වර්තමානයේ දුප්පත් ජනයා පමණක් නොව මැදි ආදායම් උපයන්නන් පවා සිය ජීවිත ගැටගසා ගන්නේ මහත් අමාරුවෙනි. රටේ පවතින මෙම දුෂ්කර ආර්ථික වටාපිටාවද ආණ්ඩුවේ ජනප්රියභාවය හීන කරන වැදගත් සාධකයක් ලෙස ක්රියාකරමින් තිබේ. ගුණධර්ම විෂයෙහි ඇතිවී තිබෙන පිරිහීම හා ඒ ගැන නිතර නිතර අසන්නට ලැබෙන අවලස්සන කතාද ආණ්ඩුව කෙරෙහි වන මහජන කලකිරීම උග්ර කිරීමට හේතුවී තිබෙන තවත් වැදගත් සාධකයක් වී තිබේ. ආණ්ඩුව රට පාලනය කරන රටාවද මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවී නැත.
කුණුවූ මස් වැදිලි ඇද හැලීම
මේ තත්ත්වය වයඹ හා මධ්යම පළාත් සභා මැතිවරණ කෙරෙහි බලපෑ හැකිය. අනෙක් අතට දේශපාලන ක්රමය තුළ ඇතිවී තිබෙන මහා කුණුවීම තුළ ආණ්ඩුව ඉන්නේ සිදුවන බොහෝ දේවල් පාලනය කරගත නොහැකි අසරණ තත්ත්වයකය. නොකඩවා අසන්නට ලැබෙන අවලස්සන සිද්ධීන් ආණ්ඩුව දකින්නට උත්සාහ කරන්නේ ආණ්ඩුව අවමානයට ලක්කිරීම සඳහා ප්රතිපක්ෂ ක්රියාත්මක කරවන සියුම් කුමන්ත්රණයක් ලෙසය. එහෙත් විරුද්ධ පක්ෂ ව්යාපාර තිබෙන්නේ එවැනි දේවල් කරන්නට තරම් ශක්තිමත් තත්ත්වයක නොව ඉතාමත් දුර්වල තත්ත්වයකය. නිරන්තරයෙන් අසන්නට ලැබෙන එම අවලස්සන සිද්ධීන් සැලකිය යුතුව තිබෙන්නේ ක්රමය හොඳටම කුණුවීම නිසා දේහයේ විවිධ තැන්වලින් කුණුවී ඇද හැලෙන මස් වැදලි ලෙසය. ඒ තත්ත්වය වැළකීමේ හැකියාවක් නැති අතර ඒ වෙනුවට මස් වැදලි ඇදහැලීමේ ක්රියාවලියේ වේගවත් වර්ධනයක් ඇතිවිය හැකිය. මැතිවරණය අතරතුර කාලයේදීද තව තවත් ඒ දේවල් සිදුවිය හැකිය. ඒ සියල්ල මැතිවරණයේදී ආණ්ඩුවේ අවාසියට බලපෑ හැකිය.
ආණ්ඩුව මැතිවරණ දෙකම ජයගත්තද ඉහත කී හේතු නිසා කවර ආකාරයට හෝ මහජන මතයේ ප්රබල වෙනසක් පෙන්නුම් කිරීමට එම මැතිවරණ ප්රතිඵල හේතු වුවහොත් ඒ මොහොතේ සිට ආණ්ඩුවට ආත්ම විශ්වාසයකින් යුතුව ඊළඟ මැතිවරණ පැවැත්වීමේ හැකියාව අහිමිවනු ඇත්තේය. ආණ්ඩුවට වගකියන්නට සිදුවී තිබෙන්නේ ආණ්ඩුවේ වැරදි හා දුර්වලතාවලට පමණක් නොවන බවද කිව යුතුය. කුණුවී තිබෙන ක්රමයේ කඩාහැලීම්ද බැරවන්නේ ආණ්ඩුවේ ගිණුමටය. තමන්ගේ වැරදි හා අඩුපාඩුකම් අවශ්ය නම් හදාගත හැකිය. එහෙත් කුණුවී තිබෙන ක්රමයේ වැරදි හදාගත නොහැකිය. කුණුවී තිබෙන ක්රමයේ ඇතිවන කඩා හැලීම්වලින් පමණක් වුවත් ආණ්ඩුව මුළුමනින් නැතිභංග වන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ක්රමය තිබෙන්නේ ඒ තරමටම කුණුවූ තත්ත්වයකය. ඒ අර්ථයෙන් ආණ්ඩුව ඉන්නේ ජයගත හැකි අර්බුදයක නොව ජයගත නොහැකි අර්බුදයකය. ඕනෑම මොහොතක කඩා වැටීමක් ඇතිවීමට ඉඩ තිබෙන තරමට ගරා හැලුණු ගොඩනැගිල්ලත් යට ජීවත්වෙමින් ඒ ගොඩනැගිල්ල තුළ අගනා වීදුරු භාණ්ඩ ගොඩගසන ආණ්ඩුවක් ප්රඥාවන්ත ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය.