උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳ ප්රශ්නයේදී ආණ්ඩුව මුලදී යන්න උත්සාහ කළේ එක දිසාවකටය. දැන් ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ ඊට ප්රතිවිරුද්ධ වෙනත් දිසාවකටය. ආණ්ඩුව මුලින් කල්පනා කළ බව පෙනෙන්නට තිබුණේ පළාත් සභාවලට ලබාදී තිබෙන සමහර බලතල ඉවත් කොට උතුරු පළාත් සභා මැතිවරණය සමග තවත් පළාත් සභා දෙකක මැතිවරණ පවත්වන්නටය. එහෙත් ඒ වැඩපිළිවෙළ සඳහා ආණ්ඩු පක්ෂය තුළ පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි විය. අනෙක් අතට ඉන්දියාවෙන් එල්ල වූ විරෝධය මුළුමනින් නොසලකා සිටීමේ හැකියාවක්ද ආණ්ඩුවට නොතිබුණේය. අවසානයේ ආණ්ඩුව පළමුවෙන් සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ අත්හැර සියලු ප්රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම පාර්ලිමේන්තු කාරක සභාවකට පවරා පළාත් සභා මැතිවරණ පවත්වන තැනකට තල්ලු විය.
13 අවුලක් කරගැනීම
උතුරු පළාත් සභා ඡන්දය ආශ්රයෙන් මතුවී තිබෙන ගැටලු අළලා ලියන විවරණයකදී පළාත් සභා ක්රමයක් ඇති කිරීමට හේතුවූ 13 වැනි සංශෝධනය ඉන්දියාව හා ලංකාව අතර ඇති කරගත් ද්විපාක්ෂික ගිවිසුමක් ආශ්රයෙන් ඇති කරගත් දෙයක් වන නිසා එය ඉන්දියාවේ එකඟතාව නැතිව ඒකපාක්ෂිකව වෙනස් කිරීමට දරන උත්සාහයක් දෙරට අතර බරපතළ ප්රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව මම කියා සිටියෙමි. දැන් ඉන්දියාව ඒ ගැන කියන කතාව වී ඇත්තේද එයමය. නාරායන් ස්වාමි කර තිබෙන ප්රකාශයකට අනුව ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව හා ලංකාව අතර ඇති කරගත් අන්තර්ජාතික ගිවිසුමකි. එවැනි ගිවිසුමක් ඒකපාක්ෂිකව වෙනස් කිරීම අන්තර්ජාතික නීතියට පටහැනිය. එය වෙනස් කිරීමේ අවශ්යතාවක් ශ්රී ලංකාවට ඇති නම් ඒ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇති කරගත යුතුය. මේ ප්රශ්නයේ ඇති බැරෑරුම්කම ආණ්ඩුව කල්තියා තේරුම් ගත යුතුව තිබුණි. විදේශ කටයුතු ඇමති ඒ පැත්ත ආණ්ඩුවට පෙන්වා දිය යුතුව තිබුණේය. අන්තර්ජාතික ගිවිසුමක් ඇතිවිට එම ගිවිසුම නොසලකා ඒකපාක්ෂිකව ක්රියාකරන තැනකට යෑම රටකට සුදුසු නැත. අනෙක් අතට අප එම ගිවිසුම ඇති කරගෙන තිබෙන්නේ දුර්වල රටක් සමග නොව කලාපීය බලවතා සමගය.
යුද්ධය ජයගැනීම සඳහා වන ප්රායෝගික දැක්මක් ආණ්ඩුවට තිබුණා වුවද යුද්ධය ජයගැනීමෙන් පසු විසඳාගත යුතුව තිබුණු සංකීර්ණ ප්රශ්න ජයගැනීම සඳහා වන ශක්තිමත් දැක්මක් ආණ්ඩුවට නොතිබුණේය. අවසානයේ ආණ්ඩුව යුද්ධය ජයගැනීමට සමත් වුවත් සාමය දිනාගැනීමට සමත් වූයේ නැත. ආණ්ඩුව ඓතිහාසික කාර්යභාරයක එක අර්ධයක් සම්පූර්ණ කිරීමට සමත් වුවත් ඊළඟ අර්ධය සම්පූර්ණ කිරීමට අසමත් විය. දෙවැනි අර්ධය සම්පූර්ණ කිරීමට අවශ්ය ශක්තිමත් දැක්මක් හෝ අවංක අධ්යාශයක් ආණ්ඩුවට නොතිබුණේයැ”යි කිව හැකිය.
යුද්ධයෙන් ලද ජයග්රහණය සිංහල ජනතාව තුළ සංතෘෂ්ටියක් හා අභිමානයක් ඇති කරන විට දෙමළ ජනතාව තුළ අසංතෘෂ්ටියක් හා නින්දාවක් ඇති කළේය. යුද්ධය ජයගැනීමෙන් පසු සාමය දිනාගැනීම සඳහා දෙමළ ජනතාවට නැවත ගෞරවය ලබාදීම අත්යවශ්ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් ඊට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට ජයග්රාහකයා සමත් නොවීය.
යුද්ධය ජයගැනීමෙන් පසු පළාත් සභා ක්රමය පමණක් නොව සමස්ත ආණ්ඩු ක්රමයම නැවත සලකා බලන තැනකට යා යුතුව තිබුණේය. ඒ වනවිටත් දේශපාලන ක්රමය සාමාන්ය ප්රතිසංස්කරණවලින් පිළිසකර කොට ප්රයෝජනයට ගත නොහැකි තරමට කුණුවී තිබුණේය. දේශපාලන ක්රමය උපරිම මට්ටමට කුණුවී තිබුණද ඒ ක්රමය පාලකයාට සකලවිධ බලය ලබාදෙන ක්රමයක් වීම හේතු කොටගෙන ඉන් හමන දුගඳ නොසලකා එය කවර මිලක් ගෙවා හෝ ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස සැලකීම හේතු කොටගෙන කුණුවී තිබුණු දේශපාලන ක්රමයේ ප්රතිසංවිධානයක් ඇති කිරීමට තිබුණු හැකියාව අහිමි කරගත්තේය. ජයග්රාහකයා කුණුවූ දේශපාලන ක්රමයක් මත පිහිටා ඉදිරියට යන්නට උත්සාහ දරන තත්ත්වයනක් තුළ ජයග්රාහකයාද ඉක්මනින් කුණුවන තත්ත්වයකට පත්වූවේය.
යුද්ධයෙන් ලැබූ ජයග්රහණයෙන් පසු ඉන්දු-ලංකා ගිවිසුම ආශ්රයෙන් ඇතිකර ගන්නා ලද පළාත් සභා ක්රමය වෙනුවට ඊට වඩා ක්රමවත් රටට ගැළපෙන වඩා හොඳ බලය බෙදාහැරීමේ ක්රමයකට මාරුවීමට අවංක අවකාශයක් ශ්රී ලංකාවට තිබුණේ නම් ඒ සඳහා අවශ්ය අනුමැතිය ඉන්දියාවෙන්ද ලබාගත හැකි තත්ත්වයක් තිබුණි. ලංකාවේ ජනමාධ්ය ආයතන කිහිපයක ප්රධානීන් කණ්ඩායමක් සමග මීට වසර තුනකට පමණ ඉහතදී ඉන්දියාවේ කරන ලද සංචාරයකදී විවිධ මට්ටමවල නිලධාරීන් සමග කෙරුණු සාකච්ඡාවලදී මා එම ප්රශ්නය ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කරගත්තෙමි. පළාත් සභා ක්රමය වෙනම රාජ්යයක් සඳහා ආයුධ අතට ගෙන සටන් කරන ව්යාපාරයක් පවතින උද්වේගකර වාතාවරණයක් තුළ කඩිමුඩියේ ඇති කරගන්නා ලද දෙයක් වන නිසා දැන් රටේ ඇතිවී තිබෙන නව තත්ත්වයන් තුළ පළාත් සභා ක්රමය නැවත සලකා බලන, ලංකාවේ තත්ත්වයන්ට ගැළපෙන වඩා විධිමත් ලෙස බලය බෙදාහැරීමේ නව ක්රමයකට මාරුවීමට ලංකාව අදහස් කරයි නම් ඊට ඉන්දියාව දක්වන ප්රතිචාරය කුමක්ද යන්න මා නගන ලද ප්රශ්නය විය. විදේශීය ලේකම්වරිය සමග කෙරුණු සාකච්ඡාවේදී ඇය මා නගන ලද ප්රශ්නයට හොඳින් සවන් දුන්නද ඊට පිළිතුරක් දුන්නේ නැත. ඉහළම මට්ටමකින් කෙරුණු ඊළඟ සාකච්ඡාව පැවතියේ ජාතික ආරක්ෂක උපදේශක ශිව ශන්කර් මෙනන් සමගය. පුදුමයකට මෙන් ඔහු මගේ ප්රශ්නයට හොඳින් සවන් දී ඊට පැහැදිලි පිළිතුරක්ද දුන්නේය. ඔහු මට පිළිතුරු දීම ආරම්භ කළේ මා හිතන විදිය හරියයි කියමිනි. වඩා හොඳ හා විධිමත් ලෙස බලය බෙදාහැරීමේ ක්රමයකට යොමුවීමට ශ්රී ලංකාව අවංකවම අපේක්ෂා කරන්නේ නම් හා ඒ මගින් ලංකාවේ ජනවාර්ගික ප්රශ්නයටද විසඳුම් ලැබෙන්නේ නම් එවැනි වැඩපිළිවෙළකට එකඟවෙමින් ආධාර කරනවා හැර විරුද්ධවීමේ හැකියාවක් ඉන්දියාවට නැති බවද කියා සිටියේය. මා මේ ගැන මීට පෙර ද ලියා තිබේ. පළාත් සභා ක්රමය වෙනස් කරගැනීමට අවශ්ය වී නම් ඒ සඳහා ද අවස්ථාවක් තිබුණු බව ඉන් පෙනී යයි.
ඉන්දු-ලංකා ගිවිසුම හා ඒ ආශ්රයෙන් ඇතිවූ පළාත් සභා ක්රමය ලංකාවේ නූතන ඉතිහාසයට ඇතුළත් වැදගත් සිහිවටනයක් ලෙස සැලකිය හැකිය. ඊට අදාළ සිද්ධීන් පිළිබඳව ශ්රී ලංකාවේ ජනතාව අතර පිළිගැනීමට හේතුවී තිබෙන සමහර ජනප්රිය විශ්වාසයන් මුළුමනින් සාවද්යය. ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳවත් පළාත් සභා ගැනත් සමහර මිනිසුන් අතර පවතින විරෝධය හා ද්වේෂය කෙරෙහි එම වැරදි විශ්වාසයන්ද බලපා ඇතැ”යි කිව හැකිය. ඉන්දු-ලංකා ගිවිසුම ඇතිකර ගන්නා අවස්ථාව වන විට එවැනි ආකල්ප ජනතාව අතර රජ කරන තත්ත්වයක් තිබීම තේරුම්ගත හැකිය. එහෙත් දැන් එය ඉතිහාසයට එකතු වී තිබෙන ඓතිහාසික වැදගත්කමක් ඇති අතීත සිද්ධියක් වන අතර ඒ ගැන ලියැවී තිබෙන පොත්පත් හා ලිපි ලේඛනවල සංඛ්යාව ඉතා විශාලය. ඒ නිසා ඇත්තටම එදා සිදුවූයේ කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.
දිස්ත්රික්කය හා පළාත
මේ ගැන ලියැවී තිබෙන පොත්පත් හා ලිපි ලේඛන අතර මහාචාර්ය කේ.එම්. ද සිල්වා විසින් ලියා තිබෙන පොත්පත් හා ලිපි ලේඛන ඉතා වැදගත්ය. ජේ.එන්. ඩික්සිත් සිය අත්දැකීම් අළලා ලියා තිබෙන පොතද වැදගත්ය. ඉන්දියානු ආණ්ඩුවද නිදහස ලැබෙන කාලයේ සිට 1990 දක්වා ලංකා ආණ්ඩුව සමග හුවමාරු කරගත් සියලු ලිපි ලේඛන ඇතුළත් වන ලෙස දැවැන්ත පොත් කාණ්ඩ පහක් පළකර තිබේ. මේ ලිපියේ එන පෙළ ගැස්ම සඳහා මා ප්රධාන කොට තොරතුරු ලබාගෙන ඇත්තේ කේ.එම්. ද සිල්වාගේ ලිපි ලේඛනවලිනි.
ඉන්දු-ලංකා ගිවිසුම ඉන්දියාව ලංකාවේ ගුවන්තලය බලහත්කාරයෙන් ආක්රමණය කොට යාපනයට සහනාධාර හෙළා ලංකාව කිසිවක් කරකියාගත නොහැකි අසරණ තත්ත්වයකට පත්කිරීමෙන් පසු කඩිමුඩියේ හා බලහත්කාරයෙන් ඇති කරගත් ගිවිසුමක්ය යන්න සාමාන්ය ජනතාව අතර පමණක් නොව උගතුන් අතරද පැළපදියම් වී තිබෙන ජනප්රිය විශ්වාසයකි. එහෙත් එහි ඇත්ත ඊට වෙනස්ය.
ලංකාවේ ජනවාර්ගික ගැටුම සමතයකට පත්කිරීමේ යෝජනා හා සැලැස්මක් ඇතුළත් ගිවිසුමක් දෙරට අතර ඇති කරගත යුතුයි කියන අදහස දෙරට අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබුණේ 1985 අප්රේල් මාසයේ සිටය.
මුලදී රජිව් ගාන්ධි බලයේ බෙදාහැරීමේ එකතුව ලෙස පළාත යොදාගන්නවාට තරයේ විරුද්ධ විය. ශ්රී ලංකාව සඳහා බලය බෙදාහැරීමේ සුදුසුම ඒකකය ලෙස ඔහු සලකන ලද්දේ පළාත නොව දිස්ත්රික්කයයි. මුලදී ඔහු පෙනී සිටියේද පළාත් සභා ක්රමයක් වෙනුවට දිස්ත්රික් සභා ක්රමයක් වෙනුවෙනි. එහෙත් ඒ දිස්ත්රික් සභා ක්රමයක් සඳහා දෙමළ දේශපාලන පක්ෂ එකඟ කරවා ගැනීමට අසමත් වී ඒ සියලුදෙනා පලාත මුල් කරගත් බලය බෙදාහැරීමේ ක්රමයත් එක හඬින් ඉල්ලා සිටින්නට වූ විට දිස්ත්රික්ක සභා ක්රමය පිළිබඳ අදහස අතහැර ඔහුද පළාත් සභා ක්රමය පිළිගන්නා තැනකට තල්ලු විය. එහිදී ඔහුට මුහුණ දෙන්නට සිදුවී තිබුණු ලොකුම අභියෝගය වූයේ එල්ටීටීඊය තරයේ වෙනම රාජ්යයක් පිළිබඳ අදහසේ එල්ලී සිටීමය. එල්ටීටීඊය එකඟ කරවා ගැනීම සඳහා දිස්ත්රික් සභා ක්රමයකට වැඩි දෙයක් දීම අවශ්ය වනු ඇතැ”යි ඔහුද අවසානයේ විශ්වාස කළේය.
දිල්ලි සම්මුතිය සඳහා දෙරට අතර එකඟතාවක් ඇතිකර ගන්නා ලද්දේ 1985 අගෝස්තු 30 වැනිදාය. එය සම්මුතියේ වැදගත්ම අංශය ලෙස සැලකිය හැක්කේ එතෙක් පිළිගෙන තිබුණු දිස්ත්රික්කය වෙනුවට පළාත ඒ තැන ගැනීමය. එසේම මීට පෙර දිස්ත්රික් සභාවලට ලබාදෙන ලද බලතලවලට වැඩි බලතල පළාත් සභාවලට ලබාදී තිබුණි.
දිල්ලි සම්මුතියට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා එල්ටීටීඊය නොවන කණ්ඩායම් කැමති වුවත් එල්ටීටීඊය ඊට එකඟවීම තරයේ ප්රතික්ෂේප කළේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බියගැන්වීම සඳහා යාපනේ ජීවත් වූ මන්ත්රීවරුන් දෙදෙනකු 1985 සැප්තැම්බර් මුල් සතියේදී පැහැර ගෙන ගොස් මරා දමන ලදි. අවසානයේදී 1985 දෙසැම්බර්වලදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණද දිල්ලි සම්මුතියට සහාය දීම නිල වශයෙන්ම ප්රතික්ෂේප කරන ලදි. 1986 ජනවාරි වන විට දිල්ලි සම්මුතියට කැපවී සිටියේ ඉන්දීය රජයත් ලංකා රජයත් පමණය. ශ්රී ලංකා රජරට යාපනේ අර්ධද්වීපයේ සිටි ආරක්ෂක හමුදා බැරැක්කවලට සීමා කළ තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණේද දිල්ලි සම්මුතියට එල්ටීටීඊයේ එකඟතාව ලබාගැනීම පිණිස තිම්පු සාකච්ඡාවලදී ඇති කරගෙන තිබූ සම්මුතියක් නිසාය. මේ අවස්ථාව හොඳින් ප්රයෝජනයට ගත් එල්ටීටීඊය හමුදා කඳවුරුවලට යන සියලු මාර්ගවල බිම් බෝම්බ අටවා මාර්ග බාධක ඉදිකර ගත්තේය. එම බාධක ඉක්මනින් කොන්ක්රීට් බංකර බවටද පත්කර ගත්තේය. එහි අවසන් ප්රතිඵලය වූයේ මුළු යාපනේ අර්ධද්වීපයේම බලය එල්ටීටීඊයට හිමිවීමය. ඉන්පසු යාපනේ බලකොටුවේ රඳවා සියලු ආරක්ෂක හමුදාවන්ට ආහාරපාන ඇතුළු සියලු සැපයුම් ලබාදෙන්නට සිදුවූයේ ගුවනිනි. එල්ටීටීඊය අනුරාධපුරයට ශුද්ධ වූ නගරයට කඩා වැදී වන්දනාකරුවන් 150ක් ඝාතනය කළේද මේ කාලයේදීය.
දිල්ලි සම්මුතිය වැඩි දියුණු කිරීම
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාව ලබාගැනීම සඳහා දිල්ලි සම්මුතිය තවදුරටත් වැඩි දියුණු කරන උත්සාහයක දෙරට යෙදී සිටියේය. 1986 අප්රේල් 30 වැනි දින විදේශ කටයුතු නට්වාර් සිං සමග පැමිණි ඉන්දීය නියෝජිත පිරිසක් එක දිගට දින 5ක් ඒ වෙනුවනේ ගතකරමින් අවශ්ය වෙනස්කම් සිදුකරන ලදි. එල්ටීටීඊය ටෙලෝ නායකයන්ද ශ්රී සභාරත්නම්ද ඝාතනය කරමින් දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් අතර ප්රමුඛ තත්ත්වය හිමි කරග්තතේද ඒ කාලයේදීමය.
1986 ජුනි මාසයේදී ආණ්ඩුව සර්වපාක්ෂික සාකච්ඡාවක් කැඳවන ලද්දේ එසේ වැඩි දියුණු කරන ලද දිල්ලි සම්මුතිය සාකච්ඡාවට භාජනය කිරීම සඳහාය. ශ්රී ලංකා නිදහස් පක්ෂය එම සාකච්ඡාවලට සහභාගිවීම වර්ජනය කළ අතර වමේ පක්ෂ හා දෙඑවිපෙ සාකච්ඡාවලට සහභාගි විය. මෙම සර්වපාක්ෂික සාකච්ඡාව හා කතාබහ මාස තුනක කාලයක් අඛණ්ඩව පැවතුණි. පවත්වන ලද රැස්වීම් වාර සංඛ්යාව 37කි. ඇති කරගත් එකඟතාවන් මත සකස් කරගන්නා ලද ලේඛනය මුද්රිත පිටු 50කින් සමන්විත විය. ඊට ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතක්ද, පළාත් සභා කෙටුම්පතක්ද, බලය බෙදාහැරීමේ මධ්යම රජය සතු, පළාත් සභා සතු හා දෙපක්ෂයම සතු බලතල විස්තර කරන ලේඛනයක්ද ඇතුළත්ව තිබුණි. එම ලේඛනය සඳහා පොදු එකඟතාවක් තිබුණු අතර එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිව තිබුණේ දෙඑවිපෙ හා දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනවාර්ගික ප්රදේශයක් ලෙස පිළිගත යුතුයැ”යි ඉදිරිපත් කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් පමණය. ඊට ශ්රී ලංකා රජය සේ ම මුස්ලිම් නියෝජිතයන්ද තරයේ විරුද්ධ වූහ.
ඉන්පසු 1986 නොවැම්බර් 17 සහ 18 යන දිවලදී බැංගලෝරයේ පැවති සාක් සමුළුව පැවති අතර වාරයේදීද දෙරටේ නායකයන් දෙදෙනා අතර වැඩි දියුණු කරන ලද දිල්ලි සම්මුතිය හා ඒ සඳහා දෙරට අතර අත්සන් කරන්නට නියමිතව තිබූ ගිවිසුම ගැන සාකච්ඡා සිදුවිය. 1987 ජනවාරි මාසයේ සුදුසු දිනයක ගිවිසුම අත්සන් තැබීමටද නායකයන් දෙපළ එකග වී තිබුණි.
විවාදයට හේතුවී තිබුණු නැගෙනහිර ප්රශ්නය සාකච්ඡා කිරීම සඳහා නැගෙනහිර මුස්ලිම් සංවිධානවලද හමුවක් 1986 දෙසැම්බර් 11 වැනි දින කැඳවන ලද අතර එහිදී නැගෙනහිර පළාත උතුර පළාතට ඒකාබද්ධ කරනවාට සේ ම අම්පාර දිස්ත්රික්කය කැබලි කිරීමට මුස්ලිම් නියෝජිතයන් එක හඬින් විරුද්ධ විය.
ඒකපාක්ෂික ස්වාධීනත්වය
ඉන්පසු 1986 දෙසැම්බර් 17 වැනි දින සිදම්බරම් හා නට්වාර් සිං කොළඹට පැමිණියේ 1987 ජනවාරි මාසයේදී දෙරට අත්සන් තැබීමට නියමිත ගිවිසුමේ කටයුතු පරිපූර්ණ කිරීම සඳහාය. එල්ටීටීඊයේ උපාය මාර්ගය වී තිබුණේ දෙරට අතර ගිවිසුමක් ඇතිකර ගැනීම වැළකීම සඳහා මුළු ශක්තිය යොදා ක්රියාකිරීමය. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණු උපාය මාර්ගය වී තිබුණේ උතුරු නැගෙනහිර පළාත් සඳහා ඒකපාර්ශ්වීය ලෙස ස්වාධීනත්වය ප්රකාශ කිරීමය. එය වැළකීම සඳහා ජනාධිපති ජයවර්ධනට යාපනය මුදාගැනීම සඳහා ජනවාරි 8 වැනිදා මහා හමුදා මෙහෙයුමක් දියත් කරන්නට සිදුවිය. එම මෙහෙයුමට සාර්ථකව මුහුණදීමේ ශක්තියක් එල්ටීටීඊයට නොතිබුණු අතර ඔවුන් ඒ වෙනුවට කළේ අවට සිංහල ගම්වලට කඩා වැදී සිංහල මිනිසුන් මරා දමන පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ නිසා ඇතිවූ උද්වේගකර වාතාවරණය තමිල්නාඩුව උණුසුම් කිරීමට හේතුවිය. යාපනේ සිදුකෙරෙන මෙහෙයුම් අත්හරින ලෙස ඉන්දියාව ලංකාවට බල කළේය. ඉතාමත් වැදගත් දේ ජනවාරි මාසයේ කිසියම් දිනක දෙරට අතර ගිවිසුමක් අත්සන් තැබීම වැළකීමට එල්ටීටීඊය සමත්වීමය.
1987 මාර්තු 14 වැනි දින ඉන්දීය රාජ්ය අමාත්යවරයකු වූ දිනේෂ් සිං කොළඹට පැමින ජනාධිපති ජයවර්ධන හමුවිය. දෙරට අතර ඇතිකර ගන්නට නියමිත ගිවිසුම ගැන නැවත සාකච්ඡා ආරම්භ විය. ඒ සමග ජනාධිපතිවරයා අප්රේල් 12 වැනි දින සිට 20 වැනිදා දක්වා ක්රියාත්මක වන පරිදි එල්ටීටීඊය සඳහා සටන් විරාමයක් ඒකපාක්ෂිකව ප්රකාශයට පත් කළේය. ඊට එල්ටීටීඊය ප්රතිචාර දක්වන ලද්දේ ත්රිකුණාමලයේ සිට කොළඹට බස්රථ ගණනාවක් හබරණදී නතර කොට එහි ගමන් ගත් මගීන් 130ක් මරාදැමීමෙනි. ඉන්පසු අප්රේල් 21 වැනිදා සවස පිටකොටුව බස් නැවතුම්පොළේ පුපුරුවා හරින ලද බෝම්බය නිසා පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මරණයට පත්වී තවත් 300කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
එම සිද්ධීන් විසින් රට තුළ ඇතිකර තිබුණු උණුසුම් හා උද්වේගකර වාතාවරණය තුළ නිකම්ම බලා සිටීමේ හැකියාවක් ජනාධිපති ජයවර්ධනට නොතිබුණු අතර ඔහු ඊට ප්රතිචාර දක්වන ලද්දේ යාපනය අර්ධද්වීපය මුළුමනින් අල්ලා ගැනීමේ අරුමුණ ඇතිව ඒ සඳහාතබන පළමු පියවර වශයෙන් එල්ටීටීඊයේ බලප්රදේශය වශයෙන් සැලකුණු යාපනේ ඊසානදිග කොටස අල්ලා ගැනීම සඳහා මැයි 25 වැනි දින වඩමරච්චි මෙහෙයුම දියත් කිරීමය. ආරක්ෂක හමුදා එම මෙහෙයුමෙන් උඩුප්පිටිය හා වැල්වටිතුරෙයි ප්රදේශයද ජුනි 1 වැනිදා වඩමරච්චි ප්රදේශයද අල්ලා ගන්නා ලදි. එල්ටීටීඊයට දරුණු පරාජයක් අත්පත් කරදීමට හේතුවූ මෙම මෙහෙයුම තමිල්නාඩුව තුළ උද්වේගකර වාතාවරණයක් ඇති කිරීමට හේතුවිය.
සහනාධාර එවීම
ආරක්ෂක හමුදාවන්ගේ ඊළඟ ඉලක්කය වූයේ යාපනේ අර්ධද්වීපයේ ඉතිරි කොටස අල්ලා ගැනීමය. එහෙත් එවැන්නක් සිදුවනවා දකින්නට ඉන්දියාව කැමති නොවූ අතර තමිල්නාඩුව සන්සුන් කිරීම සඳහා යාපනේට සහනාධාර එවීමට ඉන්දියාව ලංකා ආණ්ඩුවෙන් අනුමැතිය ඉල්ලා සිටියේය. ලංකා ආණ්ඩුව එම ඉල්ලීමට ඉඩදීම ප්රතික්ෂේප කරන අවස්ථාව වන විට එල්ටීටීඊය විසින් බස් රථයකින් මහියංගණය බලා යමින් සිටි මහ නාහිමි කෙනකු ඇතුළු සාමණේර හිමිවරුන් 31 දෙනකු ඝාතනය කළේය. ඉන්දියාව යාපනේට සහනාධාර රැගත් බෝට්ටු 19ක් යාපනේ ආසන්න මුහුදු තිරයට එවනු ලැබුවේ අරන්තලාව භික්ෂු ඝාතනයෙන් මුළු රටම කම්පාවට පත්ව සිටි අවස්ථාවකදීය. ශ්රී ලංකා නාවික හමුදාව සහනාධාර සමග පැමිණි එම බෝට්ටු ආපසු හරවා යවන ලද අතර ඉන්දියාව ඊට ප්රතිචාර දක්වන ලද්දේ ශ්රී ලංකාවේ ගුවන්තලය ආක්රමණය කරමින් මිරාජ් 2000 වර්ගයේ යුද්ධ යානා 4ක ආරක්ෂාව ඇතිව ප්රවාහන ගුවන්යානා පහක් මගින් සහනාධාර ටොන් 22ක් ගුවනින් යාපනේට හෙළීමය. එය වැළැකීමේ ශක්තියක් ශ්රී ලංකාවට නොතිබුණි. ඒ සමග උතුරේ සියලු හමුදා මෙහෙයුම්ද නැවතුණි. ආණ්ඩුවද කිසිවක් කරකියා ගත නොහැකි අකර්මණ්ය තත්ත්වයකට පත්විය. ඉන්දියාවේ එම ක්රියාකලාපය ජනතාව අතර අතිවිශාල ඉන්දියානු විරෝධයක් ඇති කිරීමට හේතුවිය.
එම උද්වේගකර නාටකය අවසන්වීමෙන් පසුව යළි ඉන්දියාව හා ශ්රී ලංකාව වැඩි දියුණු කළ දිල්ලි සම්මුතිය ගැනත් ඒ ආශ්රයෙන් දෙරට අතර අත්සන් කිරීමට එකඟත්වය ඇති කරගෙන තිබුණු ගිවිසුම ගැනත් සාකච්ඡා කරන තැනකට ගියේය. උතුරු නැගෙනහිර යන පළාත් දෙක තාවකාලිකව එකට එකතු කරන්නට තීරණය කරන ලද්දේ මේ සාකච්ඡා යන අතරවාරයේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කරන්නේ නම් තමන්ටද මේ යෝජනාවලට එකඟවිය හැකි බවට එල්ටීටීඊය කරන ලද ඇඟවීමක් ඩික්සිත් විසින් දැනුම්දීමෙන් පසුවය. එම එකතු කිරීම ස්ථිරවීමට නම් නැගෙනහිර පවත්වන ජනමතවිචාරණයකින් එය අනුමත විය යුතු බව ජනාධිපති ජයවර්ධන කොන්දේසියක් ඉදිරිපත් කරන ලද අතර ඉන්දියාව ඊට විරුද්ධ නොවීය. අවසානයේ ඇති කරගත් එකඟතාව අනුව එල්ටීටීඊය කැමති වුවත් නැතත් ගිවිසුම ක්රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ ඉන්දියාවටය.
ඉන්දියානු හමුදා
ඒ අනුව ජූනි 29 වැනිදා දෙරටේ නායකයන් දෙදෙනා අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම හා ඒ යටතේ ඇති කරන ලද පළාත් සභා ක්රමය බලහත්කාරී ලෙස ගුවනින් යාපනයට සහනාධාර හලා ලංකාණ්ඩුව ආක්රමණය කිරීමෙන් පසු ඇති කරගන්නා ලද දෙයක් නොවන අතර එය 1985 අගෝස්තු 30 වැනිදා ඇතිකර ගන්නා ලද දිල්ලි සම්මුතියේ තර්කානුකූල දිගුවක් ලෙස සැලකිය හැකිය.
ඉන්දියානු හමුදා ලංකාවට පැමිණීම ජනතාව අතර පැවති ඉන්දියානු විරෝධී හැඟීම් උත්සන්න කිරීමට හේතු වුවද ඒ මොහොතේ ඉන්දියානු හමුදා ලංකාවට නොපැමිණියේ නම් ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට එකවිට සිංහල දකුණේත් දෙමළ උතුරේත් ප්රචණ්ඩ කැරලි දෙකකට මුහුණ දෙන්නට සිදුවන්නට ඉඩ තිබිණි. එසේ වී නම් සමහරවිට එම කැරලි දෙකම කැරලිකරුවන්ට ජයගැනීමට හැකිවන්නටද ඉඩ තිබුණි. එල්ටීටීඊ කැරැල්ල පාලනය කිරීම ඉන්දියානු හමුදාවන්ට භාරදීම ජේවීපී කැරැල්ල පරාජය කරන්නට ආරක්ෂක හමුදාවන්ට මුළු ශක්තිය යොදවන්නට හැකිවූයේ ඉන්දියානු හමුදා නිසාය. ඉන්දියානු හමුදා එල්ටීටීඊ ආධිපත්යයෙන් යාපනය අර්ධද්වීපය මුදාගැනීමට සමත් වූ අතර ජනාධිපති රණසිංහ ප්රේමදාස බලයට පත්වීමෙන් පසු ඉන්දියානු හමුදාවන්ට අවහිර නොකරන්නට සමහරවිට එල්ටීටීඊ අවසාන වශයෙන් පරාජයවීමට නියමිතව තිබුණේද ඉන්දියානු හමුදාව අතිනි. ඒ බිහිසුණු අර්බුදයේදී ඉන්දියාව මැදිහත් නොවන්නට ශ්රී ලංකාව මුළුමනින් කාලකණ්ණි තත්ත්වයකට වැටෙන්නටද ඉඩ තිබුණේය. ඉන්දු-ලංකා ගිවිසුම වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට ඉන්දියාවටද සිදුවූ අතර අවසානයේ රජිව් ගාන්ධිට සිය ජීවිතය අහිමිවූයේද එහි ප්රතිඵලයක් වශයෙනි.
විජේවීරගේ ජවිපෙ බලවත් කැරැල්ලක් කරළියට ගැනීමට ඉන්දු-ලංකා ගිවිසුම අවස්ථාවක් කරගත්තද ඔවුන් සටන් කළේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව නොව ලංකාවේ රාජ්ය බලය අල්ලා ගන්නටය. ඔවුන් අතින් මියගියේද ඉන්දියානු හමුදා නොව ලංකාවේ හමුදා හා ලංකාවේ ඔවුන්ගේ විරුද්ධවාදීන්ය. ඒ කාලයේ ලංකාවේ ජනතාව අතර පැවති ඉන්දියානු විරෝධී හැඟීම් උත්සන්න කිරීම කෙරෙහි ජවිපෙ බලකිරීමේ පිළිවෙතද බලපෑවේය.
ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් තවත් කලකට පසුව ජවිපෙ ආයුධ සන්නද්ධ අරගල මාවත අතහැර ප්රධාන ප්රවාහයට මාරුවීමට සමත්වීම දේශපාලන විෂයෙහි සිදුවූ වැදගත් හා යහපත් පරිවර්තනයක් ලෙස සැලකිය හැකිය. පසුව ඔවුන් පළාත් සභාවලටද තරග කළේය. ජවිපෙ හා ඉන් බිඳී ගිය කණ්ඩායමක් ආශ්රයෙන් ඇතිවී තිබෙන පෙරටුගාමී පක්සය යන ව්යාපාර දෙකම මේ වනවිට වර්ගවාදී ආකල්පවලින් අත්මිදී සිටීමද ශ්රී ලංකාවේ දේශපාලන දර්ශනය තුළ දක්නට තිබෙන වැදගත් හා යහපත් දර්ශනයක් ලෙස සැලකිය හැකිය. උතුරේ දෙමළ තරුණ තරුණියන්ටද එවැනි පරිවර්තනයකට යොමුවීමට ඉඩ ලැබිය යුතුය. ඔවුන්ද හැමදාමත් සන්නද්ධ අරගල මාවතේම හිරවී සිටිනු ඇතැ”යි සිතිය නොහැකිය.