නිල්වලා ගඟේ අයිතිය කිඹුලන්ට!

July 7, 2013
Publication:
A column of shorter pieces. Ivan mocks a conservation policy that has handed the Nilwala River to man-eating crocodiles while villagers who kill them are prosecuted; asks again why people dying of kidney disease in Rajarata still have no filtered water; argues that the media, rather than simply rejecting the government's code of ethics, should adopt codes binding owners as well as journalists; cautions, after Snowden, that states will police cyberspace because future wars will be fought there; and urges building expressways over double-tracked railways free of level crossings.

අපි කොතරම් සත්ව කරුණාව ඇති ජාතියක් බවට පත්ව තිබේද කියතොත් නිල්වලා ගඟ දෙපැත්තේ ජීවත් වූ මිනිසුන්ට ඒ ගඟට තිබූ සාම්ප්‍රදායික අයිතිය අහිමි කොට එය කිඹුලන්ට අයිති ගඟක් බවට පත්කර තිබේයැ”යි කිව හැකිය.

ගඟ අවට ජීවත්වන මිනිසුන් ඈත අතීතයේ සිට නිල්වලා ගඟෙන් විවිධ ප්‍රයෝජන ලබාගත්තේය. ගඟෙන් නෑවේය. රෙදි සෝදා ගත්තේය. සමහර තරුණ තරුණියන් ගඟ දෙපැත්තට පීනුවේය. ඔරු පාරු පැද්දේය. ගඟෙන් මාළු අල්ලා ගත්තේය. කුකුල් බඩ ඇමට දමා අල්ලන ලොකු ආඳා මාළුවන්ට මෙම ගඟ ප්‍රසිද්ධය.

එහෙත් දැන් නිල්වලා ගඟ මිනිසුන්ට තහනම්ය. එහි අයිතිය ලබාදී තිබෙන්නේ කරිජ්ජ මිශ්‍ර වතුරේ ජීවත් වන කිඹුල් විශේෂයකටය. ලබාදී තිබෙන අවවාද නොසලකා නාන්න හෝ වෙනත් දෙයක් කරන්නට ගඟට බසින මිනිසුන් ගොදුරු කරගැනීමේ අයිතිය කිඹුලන්ට ලබාදී තිබේ. කිඹුලන්ට පහරදෙන හෝ හිරිහැර කරන මිනිසුන්ට නඩු පවරනු ලැබේ. කිඹුලකු තම සහෝදරයකුගේ ජීවිතය බිලිගැනීමෙන් පසු ඒ කිඹුලා මරන්නට උත්සාහ කළ තරුණයකු අත්අඩංගුවට ගන්නා ලද සිද්ධියක් ගැන මට මීට පෙර අසන්නට ලැබී තිබුණි. කිඹුලන්ගේ ආරක්ෂාව සඳහා පෙනී සිටීම හොඳය. එහෙත් මිනිසුන්ගේ ආරක්ෂාව පරදුවට තබා කිඹුලන් ආරක්ෂා කරන පිළිවෙතක් යුක්තිසහගතවන්නේ කෙසේදැ”යි මට නම් තේරුම්ගත නොහැකිය.

2009 සිට මේ දක්වා මුළු රටේම කිඹුලන්ගෙන් මිනිසුන්ට එල්ල වී තිබෙන පහරදීම් සංඛ්‍යාව 176කි. ඉන් 148 දෙනකු පිරිමින්ය. 28ක් ගැහැනුය. මරණයට පත්ව ඇති අයගේ ගණන 49කි. පහරදීම් 113ක් සිදුවී ඇත්තේ දිය නාන හෝ රෙදි සෝදන අවස්ථාවලදීය. 38ක් මාළු අල්ලන අවස්ථාවලදීය.

මිනීකන කිඹුලන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ගැන කතා කරන්න සංවිධාන ගණනාවක්ද තිබෙන බව පෙනේ. එහෙත් උන්ගෙන් බැටකන මිනිසුන් ගැන කතා කරන්න කිසිම සංවිධානයක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

කිඹුලන්ට ආරක්ෂාව ලබාදීම අවශ්‍ය නම් මිනිසුන්ගේ ජීවිතවලට හානි කළ නොහැකි ක්‍රමයකට ඔවුන්ට ආරක්ෂාව ලබාදිය යුතුය. එසේ නැතිව මිනිසුන්ගේ ආරක්ෂාව පරදුවට තබා උන් ආරක්ෂා කරන ක්‍රමයක් යුක්තිසහගත විය නොහැකිය.

කිඹුලන් කෙරෙහි දක්වන කරුණාවට සමාන කරුණාවක් වඳුරන්, රිලවුන්, දඬු ලේනන් හා වල් ඌරන් වැනි විනාශකාරී සතුන් කෙරෙහි දක්වන බවක් පෙනෙන්නට තිබේ. ත්‍රස්තවාදී කලබලවලට පෙර කාලයේ ගම්බද සමහර ගොවීන් ළඟ තුවක්කු තිබුණේය. ඒ තුවක්කුවලින් ඔවුන් වගාවන්ට වඳුරන්, රිලවුන්, දඬු ලේනන්, වල් ඌරන් වැනි සතුන් ද දඩයම් කළේය. ඒ නිසා ඒ කාලයේ එම සත්ව ජනගහනයේ කිසියම් පාලනයක් තිබුණි. ත්‍රස්තවාදී කලබලවලින් පිරුණු කාලයක් එළැඹීමත් සමග ගම්බද ගොවීන් අත තිබූ තුවක්කු එකතු කරගන්නා ලද අතර ඒ ලැබුණු අවකාශය තුළ ගොවීන්ට වින කරන මේ සතුන්ගේද වේගවත් වර්ධනයක් ඇතිවීයැ”යි කිව හැකිය. මෙම විනාශකාරී සතුන්ගේ වේගවත් වර්ධනයක් ඇතිවී තිබෙන සමහර ප්‍රදේශවල උන් අතින් සිදුවන විනාශය අතිවිශාලය. සමහර ප්‍රදේශවල පොල් ඵලදාවේ බිඳ වැටීම කෙරෙහි වඳුරන් රිලවුන් හා දඬු ලේනුන්ගේ ශීඝ්‍ර මර්දනය බලපා තිබේ.

සමහර රටවල් වගාවන්ට හානි කරන එවැනි සතුන් පාලනය කර තිබෙන්නේ උන් ආහාරයට ගැනීමට මිනිසුන් පෙළඹවීමෙනි. චීනය ඒ සඳහා මිනිසුන් පොළඹවන විශාල ව්‍යාපෘතියක් මීට දශක කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක කරන ලද සාර්ථක ප්‍රතිඵල පෙන්වීමටද සමත් විය. ඉන්දියාවද මීයන්ගෙන් සිදුවන හානිය වළකා ගැනීම සඳහා මී මස් කෑමට පොළඹවන ව්‍යාපෘතියක් මීට කලකට ඉහතදී ක්‍රියාත්මක කළේය. මී මස් ප්‍රණීත ආහාරයක් බව කියන්නට ආහාර ඇමතිවරයා රූපවාහිනී කැමරාවක් ඉදිරියේ පිසින ලද මී මස් ආහාරයට ගත්තේය. කෘමීන් ආහාරයට ගත හැකි පෝෂ්‍යදායී ආහාරයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මෑතකදී ප්‍රකාශ කිරීමේ දර්ශනය තුළද අරමුණක් තිබෙන බව පෙනේ.

රජ රට වකුගඩු රෝගීන්ට

මැරෙන්න ඉඩ හැර බලා සිටිමුද?

නුවර කලාවිය හා ඒ අවට වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවලින් අසන්නට ලැබෙන කතා ඉතාමත් සංවේගජනකය. ඔවුන් කලක් ත්‍රස්තවාදී මාරයාගෙන් බැට කෑවේය. දැන් ඊටත් වඩා භයානක අලුත් මාරයෙක් ඔවුන්ගේ ජීවිත ආක්‍රමණය කර තිබේ. දැනටමත් වකුගඩු මාරයා විසින් බිලිගෙන තිබෙන ජීවිත සංඛ්‍යාව විශාලය. රෝගීභාවයට පත්ව සිටින අයගේ සංඛ්‍යාවද විශාලය. තෝරාගත් එක ග්‍රාමසේවක කොට්ඨාසයක පමණක් (ජයන්ති වැව ග්‍රාමසේවක කොට්ඨාසය) 2005 සිට මේ දක්වා හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 311කි. එම රෝගයෙන් 2005 සිට මෙතෙක් මරණයට පත්ව ඇති අයගේ සංඛ්‍යාව 24කි. රෝගී නිරෝගී හැම කෙනකුටම ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ බියෙනි. තමන් වෙත මරණය ඉක්මනින් එළැඹෙන බව රෝගීන් දනී. තමන් වෙතද ඉක්මනින් හෝ ප්‍රමාද වී රෝගය එන බව නිරෝගී අය දනී.

පළුගස්වංගුව විදුහල්පතිවරයා ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ මෙය ව්‍යසනයක් බවය. හැම ගෙදරකම එක රෝගියකු නොවේ නම් රෝගයෙන් මියගිය මරණකරුවකු සිටින බවය. විද්‍යාලයේ ළමුන් පහළොවකගේ තාත්තලා රෝගයෙන් මියගොස් තිබෙන බවය. ඉතාමත් භයානකම දේ රෝගයෙන් මරණයට පත්වීම නොව රෝගීව ජීවතුන් අතර ඉන්නට සිදුවීමය. ඔවුන් ලේ පෙරන්න සතියකට වරක් හෝ දෙවරක් රෝහලට යායුතුය. රෝගීන්ට වතුර බීමේ මහා ආශාවක් ඇතත්, ඔවුන් පානය කළයුත්තේ නියම කර තිබෙන සීමාසහිත ප්‍රමාණය පමණය. ඊට වැඩිය වතුර පානය කළහොත් පෙණහලුවල වතුර පිරේ. එවිට කටින් බට යවා ඒවා ඉවත් කළ යුතුය.

මෙම ව්‍යසනය කෙරෙහි බලපා තිබෙන ගැඹුරු හේතු මොනවා වුවද ඔවුන්ට බොන්නට සිදුවී තිබෙන භූගත ජලය තුළ තිබෙන බැර ලෝහ මෙම තත්ත්වයට බලපා තිබෙන ප්‍රධාන හේතුව වී තිබෙන බව පෙනේ. වෛද්‍යවරුන් ඔවුන්ට කියන්නේ භූගත ජලය බීමෙන් වළකින ලෙසය. එහෙත් ඔවුන්ට බොන්නට සිදුවී තිබෙන්නේද භූගත ජලයමය. ජලයට වෙනත් විකල්පයක් නැතින්ම ඔවුන් භූගත ජලය පානය කළයුත්තේ බැර ලෝහ පෙරන යන්ත්‍රයකින් පෙරාගැනීමෙන් පසුවය. එම මූලික අවශ්‍යතාවත් අද දක්වා සම්පූර්ණ කිරීමට රටක් වශයෙන් අප සමත්ව නැත. අප ඔවුන්ට තවදුරටත් බැර ලෝහ සහිත භූගත ජලය පෙරීමකින් තොරව බොන්නට ඉඩහැරීම මගින් අප දැන හෝ නොදැන කරන්නේ ඔවුන්ගේ අහිංසක ජීවිත බිලිගන්නට ඉඩ හැර බලා ඉඳීමය.

අඩුම වශයෙන් බැර ලෝහ පෙරන යන්ත්‍රයකින් පෙරන ලද වතුර මේ මිනිසුන්ට ලබාදීමේ ඇත්ත හැකියාවක් රටක් වශයෙන් අපට නැතිද? අපි නොවැදගත් දේවලටත් ලොකුවට වියදම් කරන රටකි. අපට වඩා දුප්පත් රටවලට ආර්ථික ආධාර ලබාදෙන ව්‍යාපෘති පවා පවත්වාගෙන යන රටකි. ඒ සියල්ල එසේ තිබියදීත් ඔවුන්ගේ ප්‍රශ්නය අපට නොවැදගත් වී ඇත්තේ ඊට වඩා අවධානය යොමු කළයුතු ලොකු ප්‍රශ්න තිබෙන නිසාද? නැතිනම් නොසැලකිල්ල නිසාද? එහි තිබෙන තත්ත්වය වසංගතයක් ලෙස සලකමු නම් රටේ ප්‍රධාන අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ අන් දේවල් කෙරෙහි නොව ඒ කෙරෙහිය. එසේ නොවේ නම් අපි ප්‍රකෘති සිහියෙන් යුතු ජාතියක් ලෙස සැලකිය නොහැකිය.

ජනමාධ්‍ය ආචාරධර්ම වාදය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ජනමාධ්‍ය සඳහා ප්‍රකාශ කළ ආචාර ධර්ම සංග්‍රහය මහත්විවාදයට හා විවේචනයට ලක්වූ දෙයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍යවේදීන්, සේ විචාරකයන්ද එක හඬින් ප්‍රකාශ කළේ ජනමාධ්‍යවලට ආචාර ධර්ම පැනවීමේ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැති බවය. එය තොරතුරු වාරණය කිරීමේ හා ජනමාධ්‍ය මර්දනය කිරීමේ කූට අරමුණින් යුතුව ආණ්ඩුව කරළියට ගන්න හදන වැඩසටහනක් බව ඔවුන්ගේ මතය විය. මේ සියලු විචාරකයන් ආණ්ඩුවෙන් එල්ල වී තිබෙන තර්ජනය දකිමින් එයට හඬ නගා විරෝධය පළකරන්නට උත්සාහ කර තිබෙනවා විනා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් ඉටුකරමින් තිබෙන පසුගාමී හා අවලස්සන කාර්යභාරය විවේචනයට හෝ සාකච්ඡාවට ලක් කර නොතිබුණි. අඩුම වශයෙන් ජනමාධ්‍යවලට ආචාර ධර්ම පැනවීමේ අයිතියක් ආණ්ඩුවට නැතත් ජනමාධ්‍යවලටද තමන්ට මනාප ලෙස පිස්සු නැටීමේ අයිතියක් තිබිය යුතු නැති නිසා ජනමාධ්‍ය ආයතන තමන්ගේ ආයතන සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගත යුතුයි කියන සරල අදහසවත් ඒ කිසිදු විවේචකයකු හෝ විචාරකයකු අතින් පළ නොවීම පුදුමයට හේතුවූ බව කිව යුතුය. විය යුතුව තිබෙන හොඳම දේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන අතර ජනමාධ්‍ය ආයතනවලටද එම ආයතන සඳහා තමන් විසින් ඇතිකර ගන්නා ආචාර ධර්ම සංග්‍රහයක් ප්‍රකාශ කරන ලෙස බලකරන තත්ත්වයක් ඇති කිරීමය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන භූමිකාව ඉතාමත් අහිංසක හෝ සමාජ හිතකාමී නැත. රටේ තිබෙන කෙළවරක් නැති අවුල්වලට දේශපාලනඥයන් තරමටම ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන්ද වගකිව යුතුය. තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම හොඳින් තේරුම්ගෙන ක්‍රියාකරන ජනමාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ නැත. මා විශ්වාස කරන අන්දමට ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ටද බලපාන ආකාරයේ ආචාර ධර්ම සංග්‍රහයක් තිබිය යුතුය. එය ආණ්ඩුව පනවන දෙයක් වෙනුවට එය ඒ ඒ ආයතන විසින්ම ස්වාධීනව ඇතිකර ගන්නා දෙයක් නම් එය වඩා හොඳය.

මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතත්, මුද්‍රිත ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය පිළිගත හැකි ප්‍රශස්ත තත්ත්වයක පවත්නේයැ”යි කිව නොහැකිය. ඊට ප්‍රධාන හේතුව මුද්‍රිත ජනමාධ්‍යවල හිමිකරුවන් හා එම ආයතන පළකරන කර්තෘවරුන් එකට එකතු වී ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම සංග්‍රහයක් ඇති කරගෙන ඇත්තේ මුද්‍රිත ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් සඳහා බලපාන ආචාරධර්ම පද්ධතියක් ඇතිකර ගැනීමෙන් තොරවය. ජනමාධ්‍ය ආයතනයක ප්‍රතිප්තති විරහිතභාවය කෙරෙහි එම ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට වඩා ආයතනයේ හිමිකරුවාගේ ක්‍රියාකාරීත්වය බලපායි. ආයතනයේ හිමිකරුවන්ගේ ප්‍රතිපත්තියට යට නොවී ජනමාධ්‍යවේදීන්ගේ ස්වාධීන ක්‍රියාකාරීත්වයකට එම ආයතන ක්‍රමය තුළ කිසිම ඉඩක් නැත. ජනමාධ්‍ය මෙහෙයවන ප්‍රධාන තෝන් ලණුව ඇත්තේ ඔවුන් අතේය.

ජනමාධ්‍ය ඉටුකරන්නේ සමාජයට උගන්වන පාසලක භූමිකාවය. ජනමාධ්‍යවේදීන් ඒ පාසලේ ගුරුවරුන්ය. සමාජයට උගන්වන ගුරුවරුන්ට පරිණතභාවයක් තිබිය යුතු සේ ම යහපත් දැක්මක්ද තිබිය යුතුය. ඔවුන්ට ගෞරවයට හේතුවන ජීවිත පැවැත්මක්ද තිබිය යුතුය. සමාජයට උගන්වන මේ පාසල් ක්‍රමයට සමාජය හොඳ තැනකට සේ ම නරක තැනකටද ගෙනයෑමේ ශක්තියක පවතී. දැනට නම් සමාජයට ඉගැන්වීමේ අයිතිය ලබාගෙන තිබෙන මෙම පාසල් ක්‍රමය සමාජය නරක තැනකට මිස හොඳ තැනකට ගෙන යන බවක් පෙනෙන්නට නැත. එයින් අදහස්වන්නේ ඒවායින් කිසිම හොඳ දෙයක් නොවන බව නොවේ. වෙන හොඳ දේවල් තිබියදීත් අවසාන විග්‍රහයේදී ඒවා විසින් සමාජය රැගෙන යමින් තිබෙන්නේ නරක තැනකටය.

රටේ සිදුවන දේවල් පිළිබඳව සමාජයට නිවැරදි හා සාධාරණ චිත්‍රයක් ලබාදිය යුත්තේ ජනමාධ්‍ය විසිනි. විවාදයට හේතුවන සංකීර්ණ ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී එම ප්‍රශ්නයේ හැම වැදගත් පැතිකඩක් පිළිබඳ අවබෝධයක් සමාජයට ලබාදිය යුත්තේ ජනමාධ්‍ය විසිනි.

සමාජයේ පොදු යහපත වෙනුවෙන් අප අතින් ඉටුවිය යුතු සමාජ වගකීම් හොඳින් ඉටුවන තත්ත්වයක් රටේ පවතීද? ඒ පැත්ත අප සාකච්ඡා නොකළයුත්තේ ඇයි?

සයිබර් අවකාශය පාලනය කිරීම

සයිබර් අවකාශය තුළ තිබූ නිදහස සීමාවෙමින් එම අවකාශය බලවත් රාජ්‍යයන්ගේ සෝදිසියට ලක්වන දෙයක් බවට පත්වෙමින් තිබේ. මේ පිළිබඳව කෙරෙන මහා විවාදයක් ලෝක මට්ටමෙන් සිදුවන තත්ත්වයක් නැවත ඇතිවූයේ කලක් ඇමරිකන් මධ්‍යම ඔත්තු සේවයේද පසුව ඇමරිකන් ආරක්ෂක ඒජන්සියේද සේවය කළ ජෝෂෆ් ස්නෝඩෙන් ඒ ගැන කර තිබෙන හෙළිදරව් කිරීම නිසාය.

ඔහු කර තිබෙන හෙළිදරව් කිරීම අනුව ඇමරිකාවේ විදේශ බුද්දි ආවේශන අධිකරණය කර තිබෙන නියෝගයක් අනුව ඇමරිකාවේ සියලු දුරකතන සන්නිවේදන ආයතනවලින් දේශීය හා විදේශ සියලු දුරකතන ඇමතුම් පිළිබඳ අධි දත්ත ජාතික ආරක්ෂක ඒජන්සියට ලබා දේ. ජාතික ආරක්ෂක ඒජන්සිය විද්‍යුත් තැපැල් හා වෙබ් අඩවි පරීක්ෂා කරන අතර ඒවාහි තොරතුරුද අතිවිශාල ලෙස එක් රැස් කරති. එම ආයතනය විදේශ පරිගණකද හැක් කරයි.

මේ මෑතක් වනතුරුම සන්නිවේදන විචාරකයන් පවා අන්තර්ජාලය විග්‍රහ කළේ කිසිවකුට පරීක්ෂා කිරීමට හා පාලනය කළ නොහැකි අද්විතීය තොරතුරු හුවමාරු මාර්ගයක් ලෙසය. එය එසේ නොවන බව ස්නෝඩෙන්ගේ හෙළිදරව්වෙන් මනා ලෙස සනාථ වී තිබේ.

මේ හෙළිදරව්වෙන් පසුව ඇමරිකාව පවත්වාගෙන යන මෙම අන්තර්ජාල ආවේශනය බොහෝ දෙනකුගේ දැඩි විවේචනයටත්, විරෝධයටත් හේතුවී තිබේ. විවේචකයන් සියලුදෙනාගේ මතය වී තිබෙන්නේ එම වැඩපිළිවෙළ තොරතුරු දැනගැනීමට මහජනයාට තිබෙන අයිතිය පාලනය කරන අශීලාචාර හා නොහොබිනා දෙයක් ලෙසය. ඒ ගැන ලංකාවේ පළවූ විවේචනවලින් දෙන ලද පණිවුඩය වූයේද එයයි.

මෙම විවේචකයන් කියන දෙයෙහි ඇත්තක් ඇතත් ඔවුන් මුළුමනින් නොසලකා හැර තිබෙන පැත්තක්ද ඇත්තේය. සයිබර් අවකාශය තොරතුරු ගලා යන මාර්ගයක් පමණක් වන්නේ නැත. එය අනාගත යුද්ධ හා ගරිල්ලා යුද්ධ ඇතිවන්නට නියමිත ප්‍රධාන අවකාශය ලෙස සැලකිය හැකිය. අනාගතයේ මහා යුද්ධ සිදුවනු ඇත්තේ සාම්ප්‍රදායික හමුදා අතර යුද බිම්වල නොව සයිබර් අවකාශයේය. දැනටමත් එවැනි පුංචි යුද්ධ විටින් විට ඒ අවකාශයේ සිදුවෙමින් පවතී. මේ මෑතකදී ඉරාකයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කොටගෙන එල්ල කෙරුණු සයිබර් ප්‍රහාරයකින් එම බලගාරවල ක්‍රියාකාරීත්වය බිඳ වැටුණු තත්ත්වයක් ඇතිවිය. සයිබර් අවකාශය හරහා කෙරෙන පහරදීම් මගින් පරිගණක ගත කරන ලද ඕනෑම ආයතනයක ක්‍රියාකාරීත්ය මුළුමනින් අවසන් කළ හැකිය. සමහරවිට මුළුමනින් විනාශ කළ හැකි තත්ත්වයක්ද ඇතිවිය හැකිය.

වර්තමාන ලෝකයේ, මූල්‍ය විදුලිය, ජලය, සන්නිවේදනය, ගමනාගමනය වැනි හැම වැදගත් ආයතනයක්ම පාහේ ගොඩනගා තිබෙන්නේ පරිගණක තාක්ෂණය පදනම් කොටගෙනය. පරිගණක මත පිහිටා ක්‍රියාකරන ඕනෑම ආයතනයක් ඕනෑම මොහොතක පහරදීමකට ලක්විය හැකිය. අනාගතයේ මහා යුද්ධ ඇතිවිය හැක්කේ එම සයිබර් අවකාශයේය. එවැනි තත්ත්වයක් යටතේ නරක ආණ්ඩු පමණක් නොව ඉතාමත් හොඳ ආණ්ඩු පවා සයිබර් අවකාශය ආවේශනය කරන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. ඒ තත්ත්වය මුළුමනින් නොසලකා සයිබර් අවකාශයට නිදහසේ ඉන්නට ඉඩ හරින්නැ”යි කීම විහිළුවකි.

මේ මෑත දිනකදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමාගේ දුරකතනය විදේශීය ඔත්තු සේවා දෙකක් හොරෙන් සවන් දෙන බව ප්‍රකාශ කළේය. ආරක්ෂක අමාත්‍යාංශය සියලු මහජනයාගේ නොවෙතත් තෝරාගත් පිරිසකගේ දුරකතනවලට හොරෙන් සවන් දෙන ක්‍රමයක් දැන් දීර්ඝ කාලයක් තිස්සේ රටේ ක්‍රියාත්මක වේ. ආරක්ෂක ලේකම් අපට බලවත්ය. ආරක්ෂක අමාත්‍යාංශය තමන් කැමති පුද්ගලයන්ගේ දුරකතනවලට සවන්දෙන්නේ ඒ බලවත්කම නිසාය. එහෙත් රටේ ආරක්ෂක ලේකම් ලෝක බලවතුන්ට බලවත් නැත. එවිට ඔහුද අප වැනි පුද්ගලයකු බවට පත්වන්නේය. 2009 ලන්ඩන්හී පැවති G 20 සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දුරකතනවලට ඇමරිකාව සවන් දුන්නේ නම් හා ඔවුන්ගේ පරිගණකවලට පිවිසුණේ නම් ලංකාවේ ආරක්ෂක ලේකම්වරයාගේ දුරකතන සංවාදවලට සවන්දීම ලොකු දෙයක් විය නොහැකිය. එල්ටීටීඊයට එරෙහිව කෙරුණු යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීම කෙරෙහිත් සයිබර් අවකාශයේ කෙරුණු ප්‍රහාර තීරණාත්මක ලෙස බලපෑවේයැ”යි කිව හැකිය. එල්ටීටීඊය ජංගම දුරකතන හා පරිගණක ආශ්‍රයෙන් පවත්වාගෙන යන සම්බන්ධතා ජාලය ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ පරිගණක විද්‍යාඥයන් විසින් අවුල් කරන ලද අතර එල්ටීටීඊයේ කොළඹ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ඒ තත්ත්වය හේතුවිය.

ස්මාර්ට් ගණයට වැටෙන ජංගම දුරකතනයක් පාවිච්චි කරන පුද්ගලයකු හරියටම ඒ අවස්ථාවේ සිටින ස්ථානය හඳුනාගත හැකිය. චෙස්නියාවේ ගරිල්ලා නායකයා මරා දැමීමට හැකිවූයේ ඔහු පරිහරණය කළ ජංගම දුරකතනය නිසාය. ප්‍රභාකරන් තමන් ළඟ ජංගම දුරකතනයක් තබා නොගත්තේද ඒ නිසාය. අනාගතයේ මංකොල්ලකරුවන්ද තමන්ට අවශ්‍ය පුද්ගලයා සොයාගෙන යෑම සඳහා මේ තාක්ෂණය යොදාගනු ඇතැ”යි සිතිය හැකිය. විද්‍යාවේ මහිමය ගැන කතා කරන විට ඒ තුළ තිබෙන මෙම අඳුරු පැත්ත ගැනද කතා කළ යුතුය.

හරස් මාර්ගවලින් පිරුණු දුම්රිය මාර්ග

උතුරේ අධිවේග මාර්ගය ඉදිකිරීමේ වැඩ ලබන වසර මුලදී ආරම්භ කිරීමට නියමිතය. චීන ණය යටතේ ඉදිකැරෙන මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර මගින් එඬේරමුල්ලේ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගයට සමාන්තරව ඉදිකිරීමට බලාපොරොත්තු වේ. පළමු අදියර සඳහා වියදම ඩොලර් බිලියන 1ක් හෙවත් රුපියල් මිලියන 130කි. දුම්රිය මාර්ග හරහා වැටී තිබෙන අතුරු මාර්ග ප්‍රශ්නය ලංකාවේ දුම්රිය සේවාව මුහුණ දී තිබෙන ලොකු අර්බුදයක් වනවා සේ ම මහජනයා මුහුණ දී තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය.

ලංකාවේ දුම්රිය මාර්ගවල දිග ප්‍රමාණය කිලෝමීටර් 1200ක් වුවත් දුම්රිය මාර්ග හරහා යන අතුරු මාර්ග සංඛ්‍යාව 1083කි. ඉන් අතුරු මාර්ග 750කට මොන ආකාරයේ හෝ දුම්රිය ගේට්ටු නැත.

1910 වසරේදී ගේට්ටු නැති අතුරු මාර්ගවල සිදුවූ දුම්රිය අනතුරු සංඛ්‍යාව 75කි. සිදුවූ මරණ සංඛ්‍යාව 11කි. 1911 වසරේ සිදුවූ අනතුරු සංඛ්‍යාව 82කි. මරණ සංඛ්‍යාව 8කි. 2012 වසරේ සිදුවූ අනතුරු සංඛ්‍යාව 83කි. මරණ සංඛ්‍යාව 12කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව එක් අතුරු මාර්ගයක් සඳහා ගේට්ටුවලට යන වියදම රුපියල් මිලියන 4කි. අතුරු මාර්ග 750 සඳහා ගේට්ටු දමන්නේ නම් ඒ සඳහා යන වියදම රුපියල් මිලියන 3000කි. අතුරු මාර්ගවලට ගේට්ටු දැමීමෙන් සිදුවන ජීවිත හානිය වළක්වා ගත හැකිද? හැම අතුරු මාර්ගයක්ම දුම්රිය ගමනේ සාමාන්‍යයෙන් තිබිය යුතු වේගය විශාල ප්‍රමාණයකට අඩපණ කරන නිසා ප්‍රශ්නය මුළු එකක් වශයෙන් ගෙන බලනවිට ගේට්ටු දැමීමද මෙම ප්‍රශ්නයට තිබෙන හොඳම විසඳුම ලෙස සැලකිය නොහැකිය. කාර්යක්ෂම හා වේගවත් දුම්රිය සේවාවක් ඇති කළ හැකිවනු ඇත්තේ අතුරු මාර්ග දුම්රිය ගමනාගමනයට බාධාවක් නොවන ලෙස දුම්රිය මාර්ගයට උඩින් හෝ යටින් යන ක්‍රමයක් ඇති කරන අතර තනි තීරුවේ දුම්රිය මාර්ග තීරු දෙකේ දුම්රිය මාර්ග බවට පත්කිරීමෙනි.

ඉන්දියානු ආධාර යටතේ කොළඹ මාතර දුම්රිය මාර්ගය නවීන කළේය. ඒ ක්‍රියාවලියෙන් පසුව පැයක් තරම් කෙටි කාලයක් තුළ කොළඹ සිට ගාල්ලට දුම්රියෙන් ගමන් කිරීමට හැකිවනු ඇති බවට පුරාජේරු කතාද කියනු අසන්නට ලැබුණි. එහෙත් විශාල වියදමක් දරා කරන ලද එම ප්‍රතිසංස්කරණයෙන් අපේක්ෂා කරගත හැකි ඉලක්ක සපුරාගත නොහැකි වූයේ දුම්රිය අතුරු මාර්ග ප්‍රශ්නයට විසඳුමක් නැතිව එම ප්‍රතිසංස්කරණය සිදුකිරීම නිසාය.

දුම්රිය මාර්ගවලට වෙන්කර තිබෙන ඉඩම්වල පළල අඩි 64කි. තීරු එකේ දුම්රිය මාර්ග, තීරු දෙකේ මාර්ග බවට පත්කිරීමට වන්දි ගෙවා අලුතෙන් ඉඩම් පවරා ගැනීමක් අවශ්‍ය නොවන බව ඉන් පෙනී යයි. අවශ්‍යවන්නේ දුම්රිය හරස් මාර්ග උඩින් හෝ යටින් යැවීමට අවශ්‍ය ක්‍රමවේදයක් සොයා ගැනීමය. රටේ අධිවේගී මාර්ග ඉදිකිරීම හා දුම්රිය මාර්ග ක්‍රමවත් කිරීම එකට එකතු කළ වැඩසටහනක් බවට පත්කර ගැනීම මගින් මේ අර්බුදය ජයගත හැකිය. එවිට අධිවේග මාර්ග ඉදිකළයුත්තේ දුම්රිය මාර්ගයට ඉහළිනි. එවිට අධිවේග මාර්ගය සඳහා ද ඉඩම් අත්පත් කරගැනීමක් අවශ්‍යවන්නේ නැත. ඒ මගින් ඉඩම් අත්පත් කරගැනීම සඳහා යන මුළු වියදමම කපා හැරිය හැකිය. යටින් යන දුම්රිය මාර්ගය විධිමත් කිරීම එනම් දුම්රිය මාර්ග තීරු දෙකේ දුම්රිය මාර්ග බවට පත්කිරීම හා දුම්රිය අතුරු මාර්ග උඩින් හෝ යටින් දැමීම අධිවේග මාර්ග ව්‍යාපෘතියේම කොටසක් බවට පත්කළ හැකිය. එවිට එකවිට බොහෝ විට එකම වියදමින් අධිවේගී මහා මාර්ගයක්ද අධිවේගී දුම්රිය මාර්ගයක්ද අපට ලැබෙන්නේය. කොළඹ-ගාල්ල අධිවෙග මාර්ගය තනා නිම කර ඇති බැවින් මේ ආකාරයට ගාල්ල මාතර දුම්රිය මාර්ගය නවීන කිරීමේ හැකියාවක් නැතත් ඒ ක්‍රමය උතුරු අධිවේග මාර්ගය සඳහා යොදාගත හැකිය. ඒ මගින් එකවිට යාපනේට හා මහනුවරට යන අධිවේගී මහා මාර්ගයක් හා අධිවේගී දුම්රිය මාර්ගයක් ඇති කළ හැකිය. එහෙත් විශේෂඥයන් ඉදිරිපත් කර තිබෙන ඒ මතය කෙරෙහි ආණ්ඩුවේ ප්‍රමාණවත් තරම් අවධානයක් යොමුවී ඇති බවක් පෙනෙන්නට නැත. රාගම, පුත්තලම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 121ක්ද, පොල්ගහවෙල වව්නියාව මාර්ගයේ හරස් මාර්ග 92ක්ද තිබෙන්නේය. එඬේරමුල්ල-අඹේපුස්ස අධිවේග මාර්ගය දුම්රිය මාර්ගයට සමාන්තරව ගෙනයනවා වෙනුවට දුම්රිය මාර්ගය උඩින් තනන ප්‍රතිපත්තියක් මගින් ඉඩම් පවරා ගැනීමකින් හෝ ඒවාට වන්දි ගෙවීමකින් තොරව එකවිට ඒ දක්වා නවීන අධිවේගී දුම්රිය මාර්ගයක් සමග නවීන අධිවේගී මහා මාර්ගයක් බොහෝ දුරකට එක සමාන වියදමකින් ඉදිකළ හැකිය.