සන්ඩේ ලීඩර් පුවත්පත හිතවත් ව්යාපාරිකයකු යොදවා මිලදී ගන්නා ලද ආකාරයටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මිලින්ද මොරගොඩ යොදවා රාවය පුවත්පතද මිලදී ගැනීමට සැලසුම් කර ඇතැ”යි කියන කතාව පසුගිය සති අන්තයේ ලංකාවට සම්බන්ධ බොහෝ වෙබ් අඩවි වාර්තා කොට තිබුණේ ආණ්ඩුවටත් වඩා රාවය හා මා කෙරෙහි ද්වේශයක් හා නින්දාසහගත හැඟීමක් ඇති කෙරෙන ආකාරයටය. එක් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ මේ ගනුදෙනුවෙන් රාවයට ලැබෙන්නට යන මිල රුපියල් ලක්ෂ 200ක් වුවද ජනාධිපතිවරයා විසින් මට අතයට දී තිබෙන මුදල රුපියල් ලක්ෂ 500ක් බවය. තවත් ප්රකාශනයක් ඒ ගැන ලියන විවරණයකදී කියා තිබුණේ ජනාධිපතිවරයා සමග මා දුරකතනයෙන් කතා කිරීම සඳහා මා රාවය කාර්යාලයේ කාටවත් ඇතුල්විය නොහැකි අබිරහස් කාමරයක්ද පවත්වාගෙන යන බවය.
මෙම වෙබ් අඩවිකාරයන් ගැන මා මීට පෙර කතා කර ඇති බැවින් ඔවුන්ගේ සංස්කෘතිය සදාචාරය හා ඉතිහාසය ගැන කතා කරන්නට යෑම තේරුමක් නැත. වෙබ් අඩවිකාරයන් මවාපා තිබෙන චිත්රය නිසාත් එය විස්තර කර තිබෙන ස්වභාවය නිසාත්, රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය අනුවත් රාවයේ හිතවතුන් හා සමහර පාඨකයන් තුළ කම්පනයක් ඇතිවී තිබේ නම් මා ඒ ගැන පුදුම නොවෙමි. එහෙත් ඔවුන් දේවල් දෙස බැලිය යුත්තේ මාගේ හා රාවය මෙතෙක් පෙන්නුම් කර තිබෙන විශේෂ ස්වභාවයද සැලකිල්ලට ගනිමිනි. රාවය මුහුණ දී තිබෙන ප්රශ්න හා ඒවා නිරාකරණය කරගැනීම සඳහා මා ඉදිරිපත් කර තිබෙන ප්රවේශය අහිංසක සේ ම අවංකය. සැඟවුණු අභිලාෂයන්ගෙන් තොරය. එය සාකච්ඡාවකට ලක්වනවා දකින්නට මා කැමතිය.
රාවයේ ස්වභාවය
රාවය සිය 27 අවුරුදු ඉතිහාසය තුළ සිය පුවත්පත අයථා ලෙස ධනය උපයාගන්නා මාර්ගයක් බවට පත් කරගෙන නැත. එසේ ක්රියාකර ඇත්තේද අයථා ලෙස ධනය උපයා ගැනීමට අවස්ථා නොතිබියදී නොව ඕනෑතරම් අවස්ථා තිබියදීය. රාවය විවිධ ආණ්ඩු සමග සේ ම විවිධ රාජ්ය නායකයන් හා විවිධාකාර දේශපාලන නායකයන් සමගද ගනුදෙනු කර ඇතත්, ඒ සම්බන්ධකම් කවර අවස්ථාවකදීවත් අයථා ලෙස ධනය උපයා ගැනීමට අවස්ථාවක් කරගෙන නැත. එය හැමවිටම ක්රියාකර ඇත්තේ පොදු මහජන සුබ සිද්ධීන් සලකාය. රාවයේ ආකල්ප හා දෘෂ්ටිය ගැන විවිධ විවේචන හා මතභේද තිබිය හැකි වුවත් ඉහත දක්වන ලද නිශ්චිත කාරණයේදී චෝදනා කළහැකි අවස්ථා නැත. එම නිශ්චිත කාරණයේදී රාවයේ ප්රතිපත්තිගරුකභාවය අභියෝගයට ලක් කළ නොහැකිය.
වෙනත් ඕනෑම විෂයකදී මෙන් ශ්රී ලංකාවේ ජනමාධ්ය විෂයෙදීද අලෙවිවීමේ හා මිලදී ගැනීමේ විෂයේදීද විවිධ ප්රභේද ක්රියාත්මක වේ. කිසියම් පුද්ගලයෙකුට කවර තරම් ලොකු මිලක් තිබුණද ඔහු අලෙවි නොවන කෙනෙකු බව පැහැදිලිව පෙනෙන්නට තිබේ නම් මිලදී ගන්නන් ඔහු මිලදී ගන්නට උත්සාහ කිරීමෙන් වැළකී සිටිය හැකිය. අලෙවිවීමට විශාල කැමැත්තක් ඇතත්, මිලදී ගන්නාට ඒ මිලදී ගැනීමෙන් ලබාගත හැකි කිසිදු ප්රතිලාභයක් නැති අවස්ථාවකදී එවැනි කෙනෙකු මිලදී ගැනීමෙන් වැළකී සිටින අවස්ථාද තිබිය හැකිය. එවැනි අයද තමන්ගේ ප්රතිපත්තිගරුකභාවය ගැන පම්පෝරි ගැසිය හැකිය. අලෙවිවීමට කැමැත්තෙන් සිටියද අපේක්ෂා කරන මිල නොලැබීම නිසා නොවිකුණන තත්ත්වයක සිටින අය අතරද තමන්ගේ පාරිශුද්ධභාවය ගැන කතා කරන අය සිටිය හැකිය. සිය කැමැත්තෙන් අලෙවි වී ජීවිත බිය නිසා එසේ කරන්නට සිදුවූවායි කියන අයද සිටිති. තමන් අලෙවිවීම සත්යයක් ලෙස පිළිගනිමින් මුදල් උපයා ගැනීමට තිබෙන කැමැත්ත නිසා එසේ කළ බව කියන අයද කලාතුරකින් සිටිය හැකිය.
මා හා රාවය විසින් කර තිබෙන හෝ කරන්නට යන ගනුදෙනුවත් හොඳ නරක විනිශ්චය කිරීමේදී ඉහත දක්වන ලද ප්රභේද අතුරින් අප අයත්වන්නේ කුමන ප්රභේදයකටද යන්න සැලකිල්ලට ගැනීම වැදගත්ය. එවැනි අවස්ථාවලදී අප ක්රියාකරන විශේෂ ස්වභාවය තේරුම් ගැනීමට ප්රයෝජනවත් නිදර්ශන තුනක් මෙසේය.
නිදර්ශන තුනක්
චන්ද්රිකාගේ පාලනය රාවය උරගා බැලීමකට ලක්වූ වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇය හා ඇගේ ආණ්ඩුව බලයට පත්කිරීමෙහිලා රාවය වැදගත් හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඇය බලයට පත්වූ වහාම වාගේ ඇය මා ගෙන්වා රාවය වසා දමා ලේක්හවුසියේ සභාපතිකම භාරගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටිමින් රාවයේ වැඩ කරන්නේ පුංචි පිරිසක් වන නිසා ඒ සියලුදෙනාටද රැකියා ලබාදිය හැකි බවද කියා සිටියාය. එහෙත් මා රාවය වසාදමා එහි සේවකයන් ආණ්ඩුවට භාරදී ලේක්හවුසියේ සභාපතිකම ගත්තේ නැත. එය නොගෙන වෙනත් ආකාරයකින් අයුතු ලාභ ලබාගන්නා තැනකට ගියේද නැත.
ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය.
ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන දෙදෙනාගේ ප්රධානත්වයෙන් ජනාධිපති රණසිංහ ප්රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔවුන්ගේ දෝෂාභියෝග වැඩපිළිවෙළට ආධාර කරන ප්රතිපත්තියක් රාවය පවත්වාගෙන ගියේය. එම වැඩපිළිවෙළ මහජනයා බලවත් උනන්දුවට හේතුවී ඉදිරියට යමින් තිබූ අවස්ථාවකදී ගාමිණී දිසානායක, සරත් අමුණුගම, ජෝසෆ් ෆොන්සේකා යන තිදෙනා හේමසිරි ප්රනාන්දුගේ නිවසට මා කැඳවා රාවය ගැන මා වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. හේමසිරි ජෝසෆ් ෆොන්සේකාගේ බෑණා වූ අතර ඔහු මාගේ හොඳ මිත්රයෙකු විය.
රාවය සතියකට වරක් පළකරනවා වෙනුවට සතියකට දෙවරක් පළකෙරෙන පුවත්පතක් බවට පත් කරන ලෙසත් ඒ සඳහා යන කඩදාසි ලබාදීමට ඔවුන් සූදානම් බවත් දැනටමත් ඒ යෝජනාව යුක්තිය හා ඇත්ත යන පුවත්පත් පිළිගෙන ඇති බවත් ඔවුහු කියා සිටියහ. මා ඔවුන්ට සවන් දී ඔවුන්ගේ යෝජනාව භාරගැනීම ප්රතික්ෂේප කළෙමි. රාවය කොහොමටත් දෝෂාභියෝගයට ආධාර කරන ප්රතිපත්තියෙන් බැහැර නොවන බවත් එසේ වුවත් රාවය සැලසුම් කර තිබෙන්නේ සතියකට එක වරක් පළකිරීම සඳහා වන නිසා නොමිලේ කඩදාසි ලැබුණු පමණකින් ඒ පිළිවෙත වෙනස් කිරීමට නොහැකි බව මම කියා සිටියෙමි. ඒ අනුව “යුක්තිය” හා “ඇත්ත” යන පුවත්පත් ඒ කාලයේදී සතියකට දෙවරක් පළකෙරෙන පුවත්පත් බවට පත්වුවද රාවය පළකරන ලද්දේ සුපුරුදු පරිදි සතියකට එක් වරක් පමණය.
රාවයේ නියම ස්වභාවය තේරුම් ගැනීමට ප්රයෝජනවත් තවත් නිදර්ශනයක් මෙසේය. පොදු පෙරමුණු ආණ්ඩුව කරළියට එන්නට පෙර සර්වෝදය මුද්රණාලයෙන් ඉවත් වී මුදල් ගෙවා පුවත්පත මුද්රණය කරවා ගන්නා තත්ත්වයකට පත්වීමෙන් පසු රාවය ද්රවශීලී අර්බුදයකට තල්ලුවෙමින් සිටියේය. බැංකුවකින් ණය පහසුකම් ලබාගැනීමට අවශ්ය තරම් පිරිවැටුමක් රාවයට තිබුණද රාවය ගනුදෙනු කළ බැංකුව ආණ්ඩුවට තිබෙන බිය නිසා ණය පහසුකම් ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ වන විට අනුරුද්ධ රත්වත්ත හා මා අතර සමීප හිතවත්කමක් තිබුණු අතර ඔහු නමින් ඇති ස්ථිර තැන්පතුවක රුපියල් මිලියනයක් තිබෙන බව ඔහුගෙන් දැනගන්නට ලැබී එහි ඒ මුදල මගේ අවුල විසඳා ගැනීම සඳහා මට ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ මුදල කිසියම් කාලසීමාවක් තුළ බැංකු පොලිය සමග ආපසු ගෙවන බවද මම කීවෙමි. මාගේ එම ඉල්ලීම ඔහුගේ විශ්මයට හේතුවූ අතර ඒ අවදානම භාරගැනීමට තමන් සූදානම් නැති බව කියමින් එහෙත් එම අවශ්යතාව සපුරාගැනීම සඳහා වෙනත් මාර්ගයක් සකස් කරදීමට උත්සාහ කරන බවට පොරොන්දු විය.
අනුරුද්ධ රත්වත්ත ඔහු පොරොන්දු වූ ආකාරයටම මගේ ප්රශ්නය හැරී ජයවර්ධන සමග කතා කළේය. ඔවුන් දෙදෙනා සමීප මිත්රයන් විය. සිදුකෙරුණු කතාව මටද දැනගන්නට සැලැස්සුවේය. ඒ වනවිට අපේ බැංකුව ලෙස ක්රියා කළේ හැටන් නැෂනල් බැංකුවයි. හැටන් නැෂනල් බැංකුවේ නිර්මාතෘවරයා ක්රිෂන්ත කුරේ වුවත් ඒ වනවිට හැරී බැංකුවේ වැඩි කොටස් ප්රමාණයක් හිමි පුද්ගලයා බවට පත්ව සිටියේය. හැරී හා ක්රිෂාන්ත අතර තිබුණු මිත්රත්වය නිසා හැරී ක්රිෂාන්තට සභාපතිකමේ ඉන්නට ඉඩදී තිබුණේය. අනුරුද්ධ රත්වත්ත හැරී සමග කරන කතාබහ නිසා මට හැටන් නැෂනල් බැංකුවෙන් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව උදාවනු ඇතැයි විශ්වාසය පළකරමින් අනුරුද්ද හැරී සමග කරන ගනුදෙනුවට මමද මගේ අනුමැතිය ලබා දුන්නෙමි.
මේ ගැන කෙරුණු පළමු සාකච්ඡාව සිදු කෙරුණේ ක්රිෂාන්ත කුරේගේ නිවසේය. ඔහු අපට කදිම රාත්රී භෝජන සංග්රහයක් පිළියෙළ කර තිබුණේය. ක්රිෂාන්තගේ බිරිඳ වූයේ අප්රේල් මහා නඩුවේ විනිශ්චය මණ්ඩලයේ (අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව) සාමාජිකයෙකු ලෙස ක්රියා කළ හිටපු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ඒ.සී. අලස් මහතාගේ දියණියකි. ඒ.සී. අලස් උනන්දුවට හේතුවන පොත් කිහිපයක් ලියා තිබෙන ග්රන්ථ කතුවරෙයකි. මේ දින මා ඔහුගේ බෑණාගේ නිවසට එන බව අසන්නට ලැබී විශ්රාම සුවයෙන් කල් ගෙවමින් සිටි මෙම විනිසුරුවරයාද එම රාත්රී භෝජන සංග්රහයට සහභාගි විය.
හැරී ජයවර්ධන රාවයේ මූල්ය වාර්තා පරීක්ෂා කරබැලීමෙන් පසු රාවය මුහුණ දී තිබෙන ප්රශ්නය ලොකු ප්රශ්නයක් නොවන බවත්, එහ පහසුවෙන් විසඳාගත හැකි ද්රවශීලී ප්රශ්නයක් පමණක් බවත් ඒ සඳහා අවශ්ය කරන මුදල් ලබාදීමට කැමති බවත් ඔහු කියා සිටියේය. එහෙත් ඔහු එම මුදල් ලබාදීමට අපේක්ෂා කළේ සිය සාක්කුවෙනි. බැංකුවෙන් ණය පහසුකමක් වශයෙන් ලබාදීමට කැමති නොවීය. බැංකුවෙන් ණය පහසුකමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ඔහු ඒ යෝජනාව එක හඬින් ප්රතික්ෂේප කළේය. මටද කළ හැකිවූයේ එම යෝජනාව ප්රතික්ෂේප කිරීම පමණය. ඒ ගැන වන අවසාන සාකච්ඡාව සිදුවූයේ ක්රිෂාන්ත කුරේගේ නිවසේ නොව වෙනත් දිනකදී වෙනත් තැනකය. මගේ තීරණය අනුරුද්ධගේ පුදුමයට හේතුවිය. හැරීට බැංකුව හරහා ඒ උදව්ව ලබාදීමට පුළුවන්කම තිබියදී එසේ නොකොට ඔහුගේ සාක්කුවෙන් මුදල් ලබාදෙන ප්රතිපත්තියකට මට එකඟවිය නොහැකි බව මම අනුරුද්ධට කීවෙමි. ඒ ගනුදෙනුව එතැනින් අවසන් විය.
රාවයේ ප්රශ්න හා මගේ සිහිනය
රාවයට වර්තමානයේ මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්රශ්න හා ඒවා විසඳා ගැනීමට මා කල්පනා කළ ආකාරය මෙසේ විස්තර කළ හැකිය. මා දැන් ඉන්නේ රාවයට තිබෙන මගේ වගකීම් ක්රම ක්රමයෙන් අත්හරිමින් මුළුමනින් විශ්රාම යෑමට සැලසුම් කරමින් සිටින අවස්ථාවකය. ආත්මාර්ථකාමී විය හැකි වුවත් රාවය මා දකින්නේ මාගේම සුවිශේෂ නිර්මාණයක් ලෙසය. රෝසමල් යහනාවක් මත බිහිකළ නිර්මාණයක් නොව දුෂ්කර කටුක හා හිංසාකාරී වටාපිටාවක් තුළ ගොඩනගන ලද ලස්සන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. එය මට මගේ දරුවකු වැනිය. විශ්රාම යෑමට පෙර රාවය දැන් සිටින තත්ත්වයට වඩා පැහැදිලි අරමුණක් මත පිහිටා වඩා විධිමත් හා වඩා ශක්තිමත් ක්රියාකාරිත්වයකින් යුතු ආයතනයක් බවට පත්වනවා දකින්නට මම කැමතිය. පුවත්පතේ අන්තර්ගතය සේ ම බාහිර ආකෘතියද වඩා ශක්තිමත් තත්ත්වයකට පත්වනවා දකින්නටද මා කැමතිය. එහි අලෙවියද දැන් තිබෙන තත්ත්වයෙන් වඩා ඉහළ අධියරයකට පත්වනවා දකින්නට මා කැමතිය. කාර්ය මණ්ඩලයටද සමගිසම්පන්නව පැහැදිලි අරමුණක් වෙනුවෙන් ඇප කැපවීම ප්රබෝධමත් ලෙස ක්රියාකරනවා දකින්නට මා කැමතිය. ඔවුන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳව සැකයෙන් තොර විශ්වාසයක් හා තෘප්තිමත් හැඟීමක් ඇතිවනවා දකින්නට මා කැමතිය. පුවත්පතේ ප්රජාතන්ත්රවාදී ගුණධර්ම පමණක් නොව ආයතන ක්රමයේ ප්රජාතන්ත්රවාදී ගුණධර්මද ශක්තිමත් වනවා දකින්නට මා කැමතිය. මා මියගිය පසුවද අවුල්වලින් තොරව සිය ගුණධර්ම ආරක්ෂා කරගනිමින් පොදු සුබ සිද්ධිය වෙනුවෙන් ඇප කැපවී ක්රියාකරන මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ පුවත්පතක් හා පුවත්පත් ආයතනයක් ලෙස පවතිනවා දකින්නට මා කැමතිය.
ඒ සඳහා ඇති කළ යුතුව තිබෙන මා දකින වෙනස්කම් මේවාය.
1. රාවයේ කර්තෘ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ඉගෙන ගනිමින්ද, ආත්ම විශ්වාසයකින් හා ප්රබෝධයකින් යුතුව ක්රියාකරන තත්ත්වයකට ගෙනා යුතුය. ඒ සඳහා සුදුසු ආයතනික වටාපිටාවක් ඇතිකර දිය යුතුය. ඔවුන් වැඩ කළ යුත්තේ පොදු යහපත සඳහා වුවත් ඔවුන්ගේ ජීවිතවලටද විශ්වාසදායක අනාගතයක් ඇති බව සහතික කළ යුතුය.
2. ඔවුන් ආයතනයේ නියම කොටස් හිමියන් බවට පත් කළ යුතුය. විශ්රාම යන අවස්ථාවකදී එම කොටස් හිමිකමේ වටිනාකම මුදලින් ලබාගත හැකි ක්රමයක් ඇති කළ යුතුය. ආයතනය බොහෝදුරට ඔවුන් විසින්ම පාලනය කරන ප්රජාතන්ත්රවාදී ස්වයං පාලනයක් සහිත ආයතන ක්රමයක් බවට පත් කළ යුතුය.
3. සමහර යන්ත්ර සූත්ර අලුත්වැඩියා කළයුතු අතර තවදුරටත් ප්රයෝජනයට ගත නොහැකි තරමට අබලන් වී තිබෙන යන්ත්රසූත්ර අලුතෙන් මිලදී ගත යුතුය.
4. පුවත්පතේ අන්තර්ගතය හා ආකෘතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. දේශපාලන අන්තර්ගතය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් තියුණු හා විස්තීර්ණ කළ යුතුය. දේශපාලනයට හා කලාවට සීමා නොවී මහජනයාට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වන ගැටලු විසඳා ගැනීමට අවශ්ය මගපෙන්වීම් ලබාදෙන කොටින්ම රාවය මිලදී ගන්නන්ට සීමා නොවී ඔවුන්ගේ ගෙදර බිඳ හා දරුවන්ගේද උනන්දුවට හේතුවන පුවත්පතක් බවට පත් කළ යුතුය.
5. පුවත්පත මුද්රිත මාධ්යයට සීමා නොකොට උපරිම මට්ටමකින් අන්තර්ජාලයටද අවතීර්ණ විය යුතුය.
6. බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ ක්රම නූතන අවශ්යතාවන්ට ගැළපෙන ලෙස වෙනස් කොට විකල්ප ප්රචාරණ ක්රමද යොදා ගනිමින් දැන තිබෙන අලෙවිය දෙගුණ තෙගුණ කරගත යුතුය.
ආයෝජකයකු අවශ්ය වීම
මේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඒ සඳහා අවශ්ය වියදම් දැරිය හැකි ආයෝජකයකු සොයාගැනීමට මට අවශ්ය වී තිබුණි. ආයෝජකයාට පුවත්පත හා පුවත්පත් ආයතනය මුළුමනින් අත්පත් කරගත නොහැකි පුවත්පතේ අන්තර්ගතය තීන්දු කිරීමේ අයිතිය හා නිදහස සහතික කෙරෙන සංවිධාන ක්රමයක් සහිත නව ආයතන ක්රමයක් ගොඩනැගීමය. ඒ සඳහා මාගේ උනන්දුවට හේතුවී තිබෙන ආයතන ක්රමය වන්නේ ප්රංශයේ ලමොන්ඩ් හා එංගල්නතයේ ගාඩියන් යන පුවත්පත් සඳහා ඇති කර තිබෙන ආයතන ක්රමයක්ය.
මිලින්ද මොරගොඩ මා දැන හඳුනාගෙන සිටියේ ඉතා මෑත කාලයකදී නොව ඈත කාලයකදී සිටය. චන්ද්රිකා කුමාරතුංග බලයට පත්වූ වහාම මාගේ ඇය පොරොන්දු වී තිබුණු ආකාරයට ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක්ද ලැබෙන ආකාරයට රටේ පවතින දූෂිත දේශපාලන ක්රමය වෙනස් කිරීමේ අවශ්යතාව අවධාරණය කරමින් ප්රධාන විරුද්ධ පක්ෂය වී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව නැතිව එය කළ නොහැකි නිසා එක්සත් ජාතික පක්ෂය එහි නායක එකඟ කරවා ගැනීම සඳහා රනිල් වික්රමසිංහ සමග සාකච්ඡා කරන තැනකට යන ලෙස මා ඇගෙන් ඉල්ලා සිටියෙමි. එක්සත් ජාතික පක්ෂය එවැනි වැඩසටහනක් සඳහා එකඟ කරවා ගැනීමට හැකිවනු ඇතැ”යි ඇය විශ්වාස නොකළාය. එහෙත් පුළුවන් නම් රනිල් වික්රමසිංහ සමග මට සාකච්ඡා කරන ලෙස ඇය මට කීවාය.
මා ඒ ගැන එජාප නායකයා හමුවී සාකච්ඡා කළෙමි. ඒ හමුවේ අතරමැදියා ලෙස ක්රියා කළේ මිලින්දය. පොදු එකඟතාවක් සඳහා නායකයන් දෙදෙනා අතර අන්යොන්ය විශ්වාසයක් ඇතිකර ගැනීම අත්යවශ්ය බව ඔහු කියා සිටියේය. අන්යොන්ය විශ්වාසයක් ඇතිකර ගැනීමෙන් පසු ඇති කළ යුතු වෙනස්කම් මොනවාදැ”යි සාකච්ඡා කොට අවශ්ය වෙනස්කම් සලකා පොදු එකඟතාවක් ඇති කරගත හැකි බව ඔහු කීවේය. ඒ සඳහා ඔහු චන්ද්රිකාගෙන් සංඥාවක් ඉල්ලා සිටියේය. තමා සමග වැඩ කළ පොලිස් නිලධාරියෙකු (ලෙව්කේ) පළිගැනීම සඳහා වව්නියාවට මාරු කර යවා තිබෙන බවත්, අන්යොන්ය විශ්වාසය තරකර ගැනීමට දෙන සංඥාවක් වශයෙන් ඔහු නැවත කොළඹට එවන ලෙස චන්ද්රිකාගෙන් ඉල්ලා සිටින ලෙසත්, ඒ ඉල්ලීම ඉටු කළහොත් ඇයටද එවැනි සංකේතාත්මක දෙයක් තමන්ගෙන්ද ඉල්ලා සිටිය හැකි බවත් එවිට තමන්ද ඒ ඉල්ලීම ඉටුකරන බවත් එවැනි ක්රියා කිහිපයකින් පසුව අන්යොන්ය විශ්වාසයකින් යුතුව ඇති කළයුතු වෙනස්කම් ගැන සාකච්ඡා කරන තැනට යා හැකි බවත් කියා සිටියේය.
පොලිස් නිලධාරියකුගේ මාරුව පිළිබඳ ඉල්ලීම මා විසින් චන්ද්රිකාට ඉදිරිපත් කළ විට ඇය ගත් කටටම කීවේ “ලෙව්කේ ඇමරිකාවට යවා පුහුණු කරවනු ලැබූ පුද්ගලයෙකු බවත් ඔහු කොළඹට ගෙන්වා ගැනීමට රනිල්ට අවශ්ය වී තිබෙන්නේ තමා මරා දැමීමේ අරමුණින් විය හැකි බවත්ය. මා තුළ ඇය පිළිබඳව ඇතිවුණේ හාස්යයක් හා කලකිරීමකි.
එතැන් සිට මිලින්ද හා මා අතර මිත්රත්වයක් ගොඩනැගුණු අතර අපි විටින් විට හමුවී අදහස් හුවමාරු කරගන්නා තත්ත්වයකින් කටයුතු කළෙමු. එහෙත් මා හෝ රාවය ඔහුගේ දේශපාලන වැඩවලට සහාය දෙන පිළිවෙතක පිහිටා ක්රියාකර නැත.
රාවයට පුද්ගලික සමාගම් වෙළෙඳ දැන්වීම් ලබාදීමෙන් වැළකී සිටින ප්රතිපත්තිය වෙනස් කරවා ගැනීම සඳහා මා අවුරුදු 10ක තරම් කාලයක සිට උත්සාහ කර ඇත්තෙමි. මීට අවුරුදු 10කට පමණ ඉහතදී තෝරාගත් ප්රධාන පෙළේ ව්යාපාරික ආයතන 50ක අයිතිකරුවන් අමතා ඒ ගැන සකස් කළ ලියුමක් ඔවුන් වෙත යැවීමි. මා ඒ මගින් තර්ක කළේ දියුණු රටවල පුද්ගලික අංශය ජනමාධ්යවලට දැන්වීම් ලබාදීමේදී ලංකාවට වෙනස්ව ඔවුන්ට තිබෙන අලෙවිය පමණක් නොව ඔවුන් විශේෂ සමාජ කාර්යභාරයක් ඉටු කරන්නේ නම් එයද සැලකිල්ලට ගන්නා බවය. ඒ අනුව යමින් ඔවුන් අනුගමනය කරන වැරදි ප්රතිපත්තිය වෙනස් කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. යවන ලද ලියුම් 50ට ලැබුණු පිළිතුරු ගණන දෙකකි. පිළිතුරු දෙන ලද එක් අයෙක් වූයේ කොමර්ෂල් බැංකුවේ එකල සිටි සභාපති අමරසූරිය මහතාය. ඔහු මාගේ තර්කය පිළිගත්තා පමණක් නොව සිය සමාගම රාවයට දැන්වීම් ලබාදෙන ප්රතිපත්තියකට යොමු කළේය.
මීට මාස කිහිපයකට පෙරද වෙළෙඳ දැන්වීම් සඳහා පුද්ගලික අංශය දැනුවත් කරන උපාය මාර්ගික වැඩසටහනක් සකස් කොට තෝරාගත් පුද්ගලයන් හමුවී සාකච්ඡා කරන පිළිවෙතක් අනුගමනය කරන ලදි. එහිදී මා ඉලක්ක කරගෙන තිබූ ලැයිස්තුවට ඇතුළත් එක් පුද්ගලයෙකු වූයේ මිලින්දය. මා ඒ ගැන ඔහු සමග සාකච්ඡා කරන ලද අවස්ථාවේදී මා කැමති නම් ආයෝජකයකු ලෙස රාවයට එකතුවීමට ඔහු කැමති බව කියා සියේය. ඉන්පසු අපි විටින් විට හමුවී ඒ ගැන සාකච්ඡා කළෙමු. මා මාගේ කොන්දේසි ඔහු වෙත වාචිකවත් ලිඛිතවත් ඉදිරිපත් කළෙමි. ඊට අදාළ ලියවිල්ල මෙහි අන් තැනක පළකරන නිසා ඊට ඇතුළත් කරුණු මෙහි විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි.
එහි මා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි අනුව ආයෝජකයාට තමන් මිලදී ගන්නා සියයට හතළිහේ පංගුව හැර වෙනත් කොටස් මිලදී ගැනීමේ හැකියාවක් නැත. ආයතනයේ පිළිගත් ප්රතිපත්ති වෙනස් කිරීමේ හැකියාවක්ද ඔහුට ලැබෙන්නේ නැත. ඔහු දේශපාලනයක් කරන්නේ නම් ඒ අරමුණ සඳහා පුවත්පත හෝ ආයතනය ඒ සඳහා යොදාගත නොහැකිය. ආයතනය ලාභයක් උපයන්නේ නම් ඔහු ඉන් පමණක් තෘප්තිමත් විය යුතුය. ඔහු මේ සියලු කොන්දේසිවලට එකඟ වූවා පමණක් නොව “ඔයා හදන ප්රතිපත්තිගරුක ආයතනයේ කොටස්කරුවකුවීමෙන් පමණක් වුවත් තමාට තෘප්තිමත් විය හැකි බවද කීවේය. වෙබ් අඩවිවලින් පළවූ ප්රවෘත්තිවලින් පසුව ඔහු මට දුරකතනයෙන් කතා කොට මෙම වැඩපිළිවෙළ මගේ හොඳ නමට කැළලක් වේ නම් සමස්ත වැඩපිළිවෙළ අත්හැරියද මා සමග උරණ නොවන බවද කියා සිටියේය. මෙම නිශ්චිත ප්රශ්නයේදී මට මිලින්ද වැදගත්වන්නේ ආයෝජකයකු වශයෙන් මිස දේශපාලනඥයකු වශයෙන් නොවේ. ඔහුගේ මේ ප්රවේශය තුළ සැඟවුණු දුෂ්ට අරමුණක් ඇතැ”යි මම විශ්වාස නොකරමි. මෙම වැඩපිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හෝ එම ආණ්ඩුව විසින් හෝ රාවය නිහඬ කිරීම හෝ මිලදී ගැනීම සඳහා දියත් කර තිබෙන දෙයක් ලෙස සැලකීම විකාරයකි. බොහෝ ජනමාධ්ය ආයතන යටහත් පහත් තත්ත්වයකට පත්ව ඇතිතේ බිය නිසා නොව දීනවීමෙන් ලබාගත හැකි වාසි සලකාය. සන්ඩේ ලීඩර් පුවත්පත මිලදී ගැනීම හා විකිණීම පිළිබඳව මට තිබෙන අර්ථකථනය රටේ ජනප්රිය අර්ථකථනයට වඩා වෙනස්ය. එහෙත් ඒ ගැන කතා කරන්නට ගියහොත් ලිපිය තව දීර්ඝ වන නිසා එයින් වැළකී සිටිමි.
මාගේ මෙම වැඩසටහන පිළිබඳව මම මටද රාවයටද ගැඹුරු සම්බන්ධයක් ඇති සමහර මිත්රයන් සමග කතා කර ඇත්තෙමි. මිලින්දට එතරම් කැමති නැති මිත්රයෙක් හුවමාරු වී තිබෙන මාගේ සටහන් බලා මෙවැනි අදහසක් පළ කළේය.
“කොහොමටත් ලංකාවේ කිසිම ආයෝජකයෙක් ඔයා සමග වැඩ කරන්න කැමති වෙන්නේ නැහැ. ඔයා ආයතනයේ ප්රතිපත්තිවලට ඇඟිලි ගසනවාටත් විරුද්ධය. ලොකු ලාභ ලබනවටත් විරුද්ධයි. එයා වෙනත් කොටස් මිලදී ගන්නවාටත් විරුද්ධයි. මිලින්දගේ හොඳ නරක කුමක් වුවත් එයා මේ කොන්දේසිවලට එකඟ නම් ඔයාට ලංකාවෙන් හොයාගත හැකි එකම ආයෝජකයා ඔහු පමණක්ද විය හැකිය. එයා නිසා ලැබෙන වාසිත් අවාසිත් දෙකම තිබෙන බවත් ලාභ අලාභ තුලනය කළවිට ආයතනයට ලැබෙන වාසි වැඩිවිය හැකි බවත් කියා සිටියේය.
මා දැනට තෝරාගෙන තිබෙන මාර්ග වැරදි බව හා ඒ අරමුණ කරා යා හැකි වඩා හොඳ විකල්ප මාර්ග ඇති බව තර්කානුකූලව පෙන්වා දෙන්නේ නම් මට මෙම සමස්ත වැඩසටහන අත්හැරීමට වුවද සූදානම්ය. ඒ ගැන වෙනත් අයට අදහස් ඇතොත් එය පිළිගැනීමටද මා සූදානම්ය. මේ ගැන වන විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා රාත්රියේ ගාමිණී වියන්ගොඩගේ නිවසේදී පවත්වන ලදි. ඊට ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක. අශෝක හඳගම, චූලානන්ද සමරනායක හා රංජිත් දිසානායක යන අය සහභාගි වූහ. එය උණුසුම් හා හැඟීම්බර සාකච්ඡාවක් විය. ගාමිණී විකල්ප ක්රියාමාර්ගයක් යෝජනා කළේය. අවශ්ය කරන මුළු මුදලද සොයා දෙන බව දිය හැකි බව ද කීවේය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද දහනායක හා කුසල් පෙරේරා යන තිදෙනාද විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ. ඒ සියලුදෙනා මේ ප්රශ්නයට දක්වන ලද උනන්දුවට කෘතඥතාව හිමිවිය යුතුය. තවත් අය ළඟ වෙනත් යෝජනාද තිබිය හැකිය. තිබෙන සියලු යෝජනා සැලකිල්ලට ගෙන වඩා හොඳ හා ප්රායෝගික දේ අවසාන වශයෙන් ක්රියාත්මක කළ හැකිය.