මා පසුගිය දිනක ප්රේම් දිසානායකගේ පොත් සාප්පුවට ගියේ ඔහුගේ පොත් සාප්පුව විවෘත කළ දිනයේදී කිසිදු මිලදී ගැනීමක් නොකළ නිසාත්, පොත් කිහිපයක් මිලදී ගැනීමේ ආශාව ඇතිව තිබූ නිසාත්ය.
මිනිසුන් හා තිරිසන් සතුන් අතර තිබෙන ලොකුම වෙනස මිනිසුන්ට පමණක් විස්තීරණ ලෙස අදහස් පළකිරීමට තිබෙන හැකියාවය. එය මිනිසුන්ගේ මොළයේ සංවර්ධනය කෙරෙහි බලපෑ එක් ලොකුම සාධකයක් වන අතර එය නවීන විද්යාවේ දියුණුව කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් ලෙසද සැලකිය හැකිය. දැන් මුද්රිත ස්වරූපයෙන් පමණක් නොව විද්යුත් ස්වරූපයෙන්ද පොත් පළවේ. ලිඛිත භාෂාවන් සොයා ගැනීමෙන් පසු මෙතෙක් පළවී තිබෙන පොත් සංඛ්යාව අතිවිශාල වන අතර වාර්ෂිකව පළවෙන පොත් ප්රමාණයද අතිවිශාලය. පළවී තිබෙන පොත් කන්දරාව අතරින් අවශ්යයෙන්ම කිවයුතු පොත් මොනවාදැ”යි තෝරා බේරාගැනීම ඉතා දුෂ්කර දෙයක් බවට පත්වී තිබේයැ”යි කිව හැකිය. සාමාන්යයෙන් ලොකු පොත් සාප්පුවල රාක්කවල තිබෙන පොත් සංඛ්යාවද අතිවිශාලය. ඒ නිසා පැහැදිලි අදහසක් නැතිව ලොකු පොත් සාප්පුවකට ගොඩවන්නකුට ඒ මහා පොත්ගොඩ අතර අතරමංවීමක් සිදුවිය හැකිය.
හෙට අලුත් රටක්
මා ප්රේම්ගේ පොත් සාප්පුවට ගියේද මිලදී ගතයුතු පොත් මොනවාද කියා පැහැදිලි අදහසක් නැතිවය. පැහැදිලි අදහසක් තිබුණේ එක පොතක් ගැන පමණය. ඒ විජේසූරිය ග්රන්ථ කේන්ද්රය මගින් අලිස්ටර් ස්පාරක්ගේ Tomorrow is Another Country නමින් වන පොත සිංහලෙන් පළවී තිබෙන බව පුවත්පත්වල පළවී තිබෙනු දකින්නට ලැබී එහි පිටපතක් අවශ්යයෙන්ම මිලදී ගත යුතුයි කියන අදහසක් මගේ හිතේ තිබුණි.
ඒ පොත මට වැදගත්වීමටද විශේෂ හේතුවක් තිබේ. 1995 වසර ආරම්භයේදී අධ්යයන චාරිකාවක් සඳහා උතුරු අයර්ලන්තයට හා දකුණු අප්රිකාවට යෑමේ අවස්ථාව මට ලැබුණි. ලංකාවෙන් එහි ගිය පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට දක්ෂ පුවත්පත් කතුවරයෙකු වු අජිත් සමරනායකද අයත් විය. දකුණු අප්රිකාව තමන් මුහුණ දී තිබුණ වර්ණභේද ආරාවුල ජයගත් ආකාරය විශේෂයෙන්ම එහි සැඟවුණු අභ්යන්තර කතාව අලිස්ටර් ස්පාර්ක් ලියා පළකර තිබුණේ අපි එහි ගිය ඒ කාලයේදීමය. එය හොඳ පොතක් බව අසන්නට ලැබීම නිසා මම ලන්ඩනයේදී පොතෙන් පිටපත් දෙකක්ම මිලදී ගත්තෙමි. එක් පොතක් මා සඳහාය. අනෙක රටේ නායිකාව බවට පත්වී සිටි ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග සඳහාය.
අපි එම සංචාරය හමාර කොට ලංකාවට එනවිට එල්ටීටීඊයද සමග ඇගේ ආණ්ඩුව ආරම්භ කර තිබූ සාමකතා බිඳ වැටී ප්රතිපක්ෂ දෙක එකිනෙකාට එරෙහිව සටන් කරන තත්ත්වයකට පත්ව සිටියේය. මෙහි පැමිණීමෙන් පසු ජනාධිපතිනිය හමුවන්නට එම පොතේ පිටපතක්ද රැගෙන මා ගියේ දකුණු අප්රිකාවෙන් රැගෙන ආ විශේෂ පණිවුඩයක්ද සමගය. දකුණු අප්රිකාව කරන ලද එක ඉල්ලීමක් වූයේ ලංකාවේ ජනාධිපතිනිය කැමති නම් සිංහල දෙමළ අර්බුදය විසඳාදීමට මැදිහත්කරුවකු ලෙස ක්රියාකිරීමට ජනාධිපති මැන්ඩෙලා කැමති බවය. දෙවැනි ඉල්ලීම වූයේ ශ්රී ලංකාව ඉක්මනින් දකුණු අප්රිකාව සමග තානාපති සම්බන්ධතා ඇතිකර ගන්නවා දකින්නට දකුණු අප්රිකාව කැමති බවය.
ඒ ගැන ඇය සමග කෙරුණු කතාබහේදී මැන්ඩෙලාට මැදිහත්කාර භූමිකාවක් ලබාදීමට ඇය කැමති නැති බව ප්රකාශ කළාය. ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක් ඇගේ හිතේ තිබෙන බවද පෙනෙන්නට තිබුණි. එහෙත් දෙවැනි ඉල්ලීමට ඇය කැමති වී මා එහි සිටියදී විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්ට දුරකතනයෙන් කතා කොට මා රැගෙන ආ පණිවුඩය ඔහුට දැනුම් දී දකුණු අප්රිකාව සමග ඉක්මනින් තානාපති සබඳතා ඇතිකර ගැනීම සඳහා ක්රියාකරන ලෙස ඉල්ලා සිටියාය.
දකුණු අප්රිකාවේ සුද්දන් හා කල්ලන් අතර තිබූ භේදය ලංකාවේ සිංහල දෙමළ භේදයට වඩා දුරදිග ගොස් තිබූ ප්රශ්නයක් විය. එහෙත් ආරාවුල දෙපක්ෂයේම විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස විසඳා ගැනීමට අවශ්ය කරන ධෛර්යය හා ප්රඥාව දෙපක්ෂයේ නායකයන්ට තිබීම හේතු කොටගෙන එම ආරාවුල සාර්ථක ලෙස විසඳා ගැනීමට දකුණු අප්රිකාව සමත් විය. අලිස්ටර් පාර්ක්ගේ පොතෙන් අපේ සමාජයට සේ ම අපේ නායකයන්ටද ඉගෙන ගැනීමට වැදගත් පාඩම් තිබීම හේතු කොටගෙන රාවය පුවත්පතේ කොටස් වශයෙන් පළකිරීම සඳහා පරිවර්තනයක් කරන ලෙස මා ළඟ තිබූ පිටපත දී ලියනගේ අමරකීර්තිගෙන් ඉල්ලා සිටියෙමි. වර්තමානයේ පේරාදෙණියේ විශ්වවිද්යාලයේ මහාචාර්යවරයකු වූ ඔහු එකල රාවය තරුණ තරුණියන් සඳහා පළ කළ පුවත්පතක කතුවරයා ලෙස ක්රියා කළේය. ඒ අනුව එම පොත කොටස් වශයෙන් රාවයේ පළවූ අතර පොතේ වැඩි කොටසක් පළකිරීමෙන් පසු ඔහු පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතුවීම නිසා එම පරිවර්තනය සම්පූර්ණ කළ නොහැකි විය. විජේසූරිය ග්රන්ථ ප්රකාශකයන් ඒ පොතේ පරිවර්තනයක් පළකර තිබෙන බව දැනගන්නට ලැබුණු විට එයින් පිටපතක් මිලදී ගැනීමේ ආශාව මා තුළ ඇතිවී තිබුණද ප්රේම් දිසානායකගේ පොත් සාප්පුවේ එම පොත නොතිබුණි.
පොත් සංස්කෘතිය
සාප්පුවෙන් පොත් දහයක් පමණ තෝරාගෙන බිල ගෙවන්නට කවුන්ටරය වෙත ගියවිට කවුන්ටරයේ කැෂියර් පොත් වෙනුවෙන් මා ගෙවිය යුතු මිල ලබාගැනීම ප්රතික්ෂේප කළේය. කොතරම් ඇවිටිලි කළත් ඔහු මුදල් භාර නොගත්තේය. මීට තරමක් සමාන සිද්ධියක් ගොඩගේ පොත් සාප්පුවටගිය අවස්ථාවකදීද සිදුවිය. එහිදී මා මිලදී ගැනීමට තෝරාගත් පොත්වලට ලොකු වට්ටමක් දී එහි මිල ලබාගත්තද ගොඩගේ මහතා ඔහු විසින් සකස් කරන ලද විශේෂ පොත් පාර්සලයක් මට නොමිලේ දුන්නේය. කලක් මාගේ පොත් ප්රකාශකයා වූයේ ඔහුය. මා ගෙදර ගොස් ඔහු විසින් දෙන ලද පොත් පාර්සලයේ තිබෙන පොත් මොනවාදැයි පරීක්ෂා කර බැලූවිට ප්රින්ස් ගුණසේකර ජේවීපී දෙවැනි කැරැල්ල අළලා ලියූ Lost Genaration නමැති පොතද එහි තිබුණි. ප්රින්ස් ගුණසේකර එවැනි පොතක් ලියා තිබෙන බව මම ඊට පෙර දින සිටියේ නැත. විජේවීරට අදාළව ලියාගැනීමට බැරිව තිබූ එක ගැටලුවක් ලිහා ගැනීමට මට එම පොත ප්රයෝජනවත් විය.
ප්රේම් දිසානායකගෙන් පොත් සාප්පුවෙන් ගෙනා පොත් උඩින් පල්ලෙන් පෙරළා බැලූවිට එහි තිබුණ එක් පොතක් මාගේ උනන්දුවට හේතුවී මා එය කියවීමි. ඒ පොත කියවූ විට මා තුළ ඇතිවූ ආස්වාදය අතිවිශාලය. එය පරිවර්තනයකි. පොත පරිවර්තනය කර තිබුණේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිය. පොතේ නම “කලාව කුමකටද?” ප්රජාතන්ත්රවාදී සමාජයක මානව ශාස්ත්ර අධ්යාපනයේ කාර්යභාරය යන්නයි. එය චිකාගෝ විශ්වවිද්යාලයේ මහාචාර්යවරියක් වන මාර්තා නස්බොම් විසින් ලියා පළකොට ඇති “Not for Profit: Why Democracy needs the Humanities” යන කෘතියේ පරිවර්තනයයි. එය විශිෂ්ට ගණයෙහිලා සැලකිය හැකි හැම කෙනකු විසින්ම අවශ්යයෙන්ම කිවයුතු පොතකි. එම මාහැඟි ග්රන්ථයට යන්නට ප්රථම ලංකාවේ පොත් සංස්කෘතිය ගැන මට පෙනෙන කරුණු කිහිපයක් අවධාරණය කරන්නට කැමතිය.
පාසල් අධ්යාපනයේ යෙදී සිටින ගුරුවරුන් සංඛ්යාව ලක්ෂ දෙකක් තරම් විශාල වුවත් තමා උගන්වන විෂයයන්ට අදාළ නිල පොත් හැරුණු විට බොහෝ ගුරුවරුන්ට අමතර කියවීමක් තිබෙන බවක් පෙනෙන්නේ නැත. මා හිතන අන්දමට පාසල් ගුරුවරුන් හා විශ්වවිද්යාල ආචාර්යවරුන් ගණයට වැටෙන සියලු ගුරුවරුන්ගේ නිවෙස්වල පුංචි පුස්තකාලයක් හෝ තිබිය යුතුය. එහෙත් එවැනි අයගේ සංඛ්යාව විශාල බව පෙනෙන්නට නැත. ඉන් පෙනෙන්නේ බොහෝ ගුරුවරුන් නිල අධ්යාපනයෙන් ලබාගත් දැනුමට පමණක් සීමාවී සිටින බවය. ඔවුන් තමන්ගේ දැනුම නිරන්තරයෙන් අලුත්කර ගන්නා තත්ත්වයක නොසිටින බවය. මෙම ලක්ෂණය වෘත්තීයවේදීන්ට සේ ම ජනමාධ්යවේදීන්ටද අදාළය. ජනමාධ්යවේදීන් සැලකිය යුත්තේ සමාජයට උගන්වන ගුරුවරුන් ලෙසය. එහෙත් ලංකාවේ ජනමාධ්යවේදීන් අතර හොඳ කියවන්නන් සිටින බවක් පෙනෙන්නට නැත.
මේ ලක්ෂණය ලංකාවේ දේශපාලනඥයන්ටද අදාළය. ළඟම අසල්වැසියා ලෙස සැලකිය හැකි ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා නේරුගේ සිට වර්තමාන අගමැති දක්වා වන හැම රාජ්ය නායකයකුම පාහේ උසස් තත්ත්වයෙහිලා සැලකිය හැකි එක පොතක් හෝ ලියා තිබෙන්නේය. සමහර නායකයන් පොත් විශාල ගණනක් ලියා තිබෙන්නේය. අපේ රටේ අගමැති ඩී.ඇස්. සේනානායකගේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්වා වන කිසිදු රාජ්ය නායකයකු උසස් තත්ත්ත්වයෙහිලා සැලකිය හැකි කිසිම පොතක් ලියා නැත. ඔවුන් හොඳ කියවන්නන් වූ බවක්ද පෙනෙන්නට නැත. බර්නාඩ් සොයිසා අතේ හැමවිටම පොතක් තිබුණේය. ඔහු කියවීම පුරුද්දක් කරගෙන තිබුණේය. නොකඩවා සිය දැනුම අලුත් කරගත්තේය. ලෙස්ලි ගුණවර්ධනගේ පොත් එකතුව පරීක්ෂාවෙන් බැලීමේ අවස්ථාවක් මට ලැබුණු අතර එය මාර්ක්ස්වාදී පොත්වලට සීමාවූ එකතුවක් නොවීය. ඒ අතර සම්භාව්ය නව කතා සේ ම වෙනත් විෂයන්ටද අදාළ පොත්පත්ද තිබුණි.
ලංකාවේ පොත් ප්රකාශනය තුළද ඒකාංශික බවක් දැකිය හැකිය. පොත් ප්රකාශනයේදී වැඩි බරක් දමා ඇත්තේ නවකතාවලටය. ශ්රාස්ත්රීය පොතපතට ලබාදී ඇත්තේ අඩු වැදගත්කමකි. පොත්වලට සම්මාන දෙන වැඩපිළිවෙළවල් තුළ පවා ප්රමුඛ වැදගත්කම ලබාදී තිබෙනනේ නවකතාවලටය. ශාස්ත්රීය පොත්වලට ලබාදී තිබෙන්නේ ඉතා නොවැදගත් තැනකි. පරිවර්තන පොත් ප්රකාශනයේදීද එම ලක්ෂණයම දැකිය හැකිය. ශාස්ත්රීය වැදගත්කමක් ඇති පොත්පත්වලට ලැබී තිබෙන්නේ අඩු වැදගත්කමකි.
මෙය ශ්රී ලංකා සමාජයේ පසුගාමී බව කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයකි. නවකතා වැදගත්ය. එහෙත් නවකතා කියවීමෙන් පමණක් පරිකල්පනය දියුණු කරගත නොහැකිය. ඒ සඳහා ශාස්ත්රීය පොත්පත් කියවීමද අත්යවශ්යය. ලංකාවේ මිනිසුන් සාමාන්යයෙන් නිල අධ්යාපනයෙන් පසුව අමතර පොත්පත් කියවීම අත්හරිති. ඉඳහිට හෝ කියවීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ප්රඥාව වර්ධනය කිරීමට හේතුවන පොත්පත් නොව මිත්යා විශ්වාසයන් මුල් කරගත් පොත්පත්ය. අන්තර්ජාලය පාවිච්චි කරන්නන් පවා දැනුම වැඩි දියුණු කරගැනීමට හේතුවන කියවීමකට වඩා ඕපාදූප කියවීමට කැමති බව පෙනෙන්නට තිබේ.
මිනිසුන්ගේ විචාර බුද්ධිය හා පරිකල්පනය දියුණු කිරීමට හේතුවන විදේශ භාෂාවන්ගෙන් පළවී තිබෙන හොඳම පොත්පත් හඳුනාගෙන ඒවා දේශීය භාෂාවන්ට පළකිරීමේ වැදගත්කම කෙරෙහි පරිවර්තකයන් සේ ම ග්රන්ථ ප්රකාශකයන්ගේද අවධානය යොමුවිය යුතුය. ඒ අර්ථයෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති පරිවර්තනය සඳහා තෝරාගත් පොත විශිෂ්ට තත්ත්වයකින් තිබෙනවා පමණක් නොව කාලීන වැදගත්කමකින්ද යුතුය.
ශ්රී ලංකාවේ සමාජ මනස කුරෝලු වූ සමාජ මනසක් ලෙස සැලකිය හැකිය. සමාජය පරණ වැඩවසම් ක්රමයෙන් ධනේශ්වර ක්රමයකට මාරුවූයේ එම පරිවර්තනයට උචිත මානසික පරිවර්තනයකට ලක්වීමෙන් තොරවය. වැඩවසම් රාජාණ්ඩු ක්රමයෙන් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයකට මාරු වුවත් එය සිදුවූයේද ප්රජාතන්ත්රවාදී ආකල්ප හා ගුණධර්ම ඇති පුරවැසි සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. සෝවියට් දේශයෙන් තොග වශයෙන් ගලා ආ මාක්ස්වාදී පොත්පත්ද සමාජ මනස තවදුරටත් කුරුවල් කළේය. මාක්ස්වාදී පොත්පත්වලින් ආභාෂය ලැබූ අය ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය දැක්කේ ප්රචණ්ඩ විප්ලවයක් මගින් සුනු විසුනු කළ යුතු මහා විනාශකාරී දෙයක් ලෙසය. මාක්ස්වාදී පොත්පත් ප්රචණ්ඩ කැරලිවලට යුක්තිසහගත වටාපිටාවක් තනාදෙන ලද අතර ප්රචණ්ඩ කැරලි නිසා ඇතිවූ විනාශකාරී සමාජ වටාපිටාව සමාජ මනස තවදුරටත් අවුල් කොට විකෘති කළේය. දැන් අප රටට අවශ්ය වී ඇත්තේ අප ඇද වැටී සිටින මානසික විකෘතියෙන් අප මුදාගැනීමට සමත් පොත්පත්ය. අමරකීර්ති අතින් පරිවර්තනය වන මාර්තා නස්බොම්ගේ පොත වැදගත්වන්නේ ඒ අර්ථයෙනි.
කලාව කුමකටද?
කලාව කුමකටද යන නමින් පළකොට තිබෙන එම පොත තියුණු ලෙස සාකච්ඡාවට ලක් කරන්නේ කලාව ගැන නොව ප්රජාතන්ත්රවාදය ගැනය. ජනතා සංවේදී ප්රජාතන්ත්රවාදයක් සඳහා පුරවැසියන් ඇති කරගත යුතු ගුණධර්ම හා ශක්යතා ගැනය. මවගේ තුරුලේ සිටින බාල කාලයේ සිට මුහුකුරා යන තෙක් ඔවුන් තුළ නිර්මාණය කළයුතු ශක්යතා මොනවාද යන ප්රශ්නයයි.
ඇය කියන්නේ එහිදී පහත සඳහන් කරුණු හත ඉතා වැදගත් බවය.
1. රටට බලපාන දේශපාලන කාරණා ගැන හොඳින් සිතීමේ හැකියාව, සම්ප්රදායටත් අධිකාරි බලයටත් යට නොවී ඒ කාරණා පරීක්ෂා කිරීමේ, ගැඹුරු චින්තනයේ යෙදීමේ, තර්ක කිරීමේ හා විවාද කිරීමේ හැකියාව.
2. තමන්ගේ සහෝදර පුරවැසියන්, ජාතිය, ආගම, කුලය, ස්ත්රී පුරුෂභාවය හා ලිංගිකත්වය අතින් වෙනස්විය හැකි වුවත් ඔවුන්ද තමන්ට සමාන අයිතිවාසිකම් සහිත මනුෂ්යයන් ලෙස හඳුනාගැනීමේ හැකියාව සහ ඔවුන් තමන්ගේ වාසියට පාවිච්චි කළ හැකි උපකරණ සේ නොව පරිපූර්ණ මනුෂ්යයන් සේ ඔවුන් දෙස ගෞරවයෙන් බැලීය.
2. අන්යයන්ගේ ජීවිත පිළිබඳ සැලකිල්ල වර්ධනය කරගැනීමේ හැකියාව, තමාගේ සහෝදර පුරවැසියන්ගේද තමා රටින් පිට වසන විවිධ ආකාරයේ ජනතාවගේද ජීවන අවස්ථා හා අත්දැකීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්රතිපත්ති බලපෑම් කරනු ඇත්තේ කෙසේදැ”යි වටහා ගැනීමේ හැකියාව.
4. මිනිස් ජීවිතයේ කතන්දරය දිගහැරෙද්දී ඊට බලපාන විවිධාකාරයේ ගැටලු ගැන හොඳින් පරිකල්පනය කිරීමේ හැකියාව එනම් ළමාවිය, යෞවන විය, පවුල් සම්බන්ධතා, ලෙඩරෝග, මරණය යනාදී තවත් බොහෝ දේ ගැන ඒවා හුදු කරුණු ගොඩක් සේ නොසලකා, පළල් ආකාරයක ජීවන කතන්දර ඔස්සේ ලත් දැනුමෙන් යුතුව සිතීමේ හැකියාව.
5. දේශපාලන නායකයන් ගැන, ඔවුන්ට කළහැකි දේ ගැන දැනුමක් හා යථාර්ථවාදී අවබෝධයකින් යුතුව විචාරාත්මක විනිශ්චයන්ට එළැඹීමේ හැකියාව.
6. තමන්ගේ රට සංකීර්ණ ලෝක පර්යායක කොටසක් ලෙසද, එම ලෝකයේ ප්රශ්නවලට විසඳුම් සඳහා බුද්ධිමත් උත්තර සඳහා ජාතික සිතා බැලීමක් අවශ්ය බවද දැකීමේ හැකියාව.
මේ පොතේ එන දිගම පරිච්ඡේදය වශයෙන් සැලකිය හැකි සොක්රටික ශික්ෂණය හා විද්යාව: තර්ක කිරීමේ වැදගත්කම යන මාතෘකාව යටතේ එන 4 වැනි පරිච්ඡේදයේ එන තර්ක හා විශ්ලේෂණයන් ඉතාමත් විශිෂ්ට තත්ත්වයක පවතින්නේයැ”යි කිව හැකිය.
අලස අශ්වයා
“සොක්රටික ශික්ෂණ විද්යාව: තර්ක කිරීමේ වැදගත්කම” යන තේමාව යටතේ ලියවී ඇති මෙම කෘතියේ හතරවැනි පරිච්ඡේදය මෙම කෘතියේ එන ප්රබලම පරිච්ඡේදය ලෙස සැලකිය හැකිය. ඇය මෙම පරිච්ඡේදය ආරම්භ කර ඇත්තේ සොක්රටිස්ගේ අගනා කියමනක් උපුටා දක්වමිනි. එය මෙසේය.
“මම ප්රජාතන්ත්රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇටමැස්සෙක් වෙමි. ප්රජාතන්ත්රවාදය යනු විශාල උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය ඇහැරවීම අවශ්ය වේ.”
සොක්රටීස් ප්රජාතන්ත්රවාදය තර්ක කිරීමේ කුසලතාව යොදා දෂ්ට කොට සම්පූර්ණ අවධිබවක් වෙත ඇහැරවිය යුතු අලස අශ්වයකු ලෙස සැලකුවේ ඇයිද යන ප්රශ්නය ඇය ඉන්පසු විග්රහ කර තිබෙන ආකාරය විචිත්රය. තර්ක කිරීමේ වැදගත්කම පෙන්වා දෙන සොක්රටික ශික්ෂණ විද්යාව අපේ ජීවිතවලටද අපේ අධ්යාපන ක්රමවලටද යොදාගැනීමේ වැදගත්කම ඇය අපට කියාදෙයි.
සොක්රටික ආකෘතිය තාගෝර් වැනි චින්තකයන් විසින්ද අධ්යාපනඥයන් වූ ජොහෑන් පෙස්ටලොසි ඈන් ගර්ටි රුඩි, බ්රොන්සන් ඕල්කට් වැනි අය නිර්මාණාත්මක ලෙස විවිධ අත්හදා බැලීම්වලට ලක් කර තිබෙන ආකාරය ගැනද එම පරිච්ඡේදයෙන් ඇය කදිම විග්රහයක් කරයි. අවසානයේ ඒ සියලුදෙනාගේ අත්හදා බැලීම්වල අරමුණ වූයේ “ක්රියාකාරී, කුතුහලයෙන් යුතු විචාරාත්මක හා එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පුරවැසියන් නිර්මාණය කිරීමය.
සොක්රටික ශික්ෂණය අපේ ගෘහ ජීවිතයේද, අධ්යාපන ක්රමයේ සේ ම සමාජ-දේශපාලනයේද දක්නට නැති ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ප්රශ්න කරන්නා අප දකින්නේ පහරදීමට, අවමානයට හෝ විනාශයට ලක් කළ යුතු ද්රෝහියකු ලෙසය. සමහර සිංහලයන්ට සිංහල නොවන මිනිසුන් පෙනෙන්නේ තම ජාතිය විනාශ කිරීමට බලාගෙන සිටින සතුරන් ලෙසය. පක්ෂවල නිල මතවාද ප්රශ්න කරන පාක්ෂිකයන් පක්ෂ නායකයන්ට පෙනෙන්නේද ද්රෝහීන් ලෙසය. පාලකයන්ගේ හිතුවක්කාරී ක්රියාකාරකම් ප්රශ්න කරන රටවැසියන් පාලකයන්ට පෙනෙන්නේද රට ජාතිය පාවාදීමට බලාගෙන සිටින ද්රෝහීන් ලෙසය.
රටේ පවතින මෙම අවලස්සන තත්ත්වය අප ජයගත යුතුව තිබෙන්නේද ක්රියාකාරී කුතුහලයෙන් යුතු විචාරාත්මක හා එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ක්රියාකරන පුරවැසි සමාජයක් නිර්මාණය කරගන්නා තැනකට යෑමෙන් පමණය. ඒ සඳහා කියමන හා තර්ක කරන සමාජයක් අපි ඇති කරගත යුතුය. කියවීමේදී වැදගත්වන්නේ සියලු පොත් නොව අපගේ චින්තනය, ආකල්ප හා දැනුම කෙරෙහි ප්රබල හා යහපත් බලපෑමක් ඇති කරන පොත්පත්ය. ඒ ගණයට වැටෙන පොත් මොනවාදැ”යි හඳුනාගෙන ඒවා දේශීය භාෂාවන්ට පරිවර්තනය කොට ප්රකාශ කරන වැඩපිළිවෙළකට පරිවර්තකයන්ට හා ප්රකාශකයන්ට යොමුවිය හැකි නම් දෘෂ්ටිමය වශයෙන් සමාජයේ පවත්නා කාන්තාර තත්ත්වය ජයගැනීම දුෂ්කර නොවනු ඇත.