තේ කර්මාන්තය නගා සිටුවීම

May 6, 2012
Publication:
Tea, the editorial recalls, transformed Sri Lanka: it brought South Indian labour, roads and railways, and created the fortunes of low-country families such as Jeronis de Soysa, whose descendants' wealth funded schools and hospitals. Nationalisation under Sirimavo Bandaranaike failed, and land-reform holdings became a pool for politicians' land grabs, while privatisation sold estates cheaply. Smallholders from the south saved the industry, with double the yields of large estates. Since plantation workers' children are leaving, the editorial proposes making workers smallholders on inalienable land, with companies limited to processing and marketing, and urges value-added exports on the Dilmah model and strict laws against blending inferior tea, as India and China turn to domestic consumption.

අපේ රටේ සමාජ, ආර්ථික ක්‍රමයේ මහා වෙනසක් ඇති කිරීමට ආරම්භක වශයෙන් බලපෑ මහා සාධකය ලෙස සැලකිය හැක්කේ තේය. තේවලට පෙර කෝපි, සිංකෝනා වැනි වාණිජ වැවිලි වගාවන් ගැන අත්හදා බැලීම් සිදුවූ බව සැබෑය. ඒ සියලු අත්හදා බැලීම් අතරින් අල්ලාගෙන සිටීමට හැකිවූ හා රටේ සමාජ ආර්ථිකක්‍රමයේ මූලික විපර්යාසයක් ඇති කිරීමට බලපෑවේ තේය. තේ වතු සඳහා කඳුකරයේ ඉඩම් අත්පත් කරගත්තේ බලහත්කාරයෙනි. උඩරට සිංහල ගැමියන් තේ වතුකරයේ කුලීකරුවන් බවට මාරුවීමට නොකැමතිවීම නිසා දකුණු ඉන්දියාවෙන් විශාල කම්කරු බලකායක් රටට ගෙන්වා ගැනීමට සිදුවිය. ඔවුන්ගේ ආගමනය සමහර උඩරට ප්‍රදේශවල ජනවාර්ගික සංයුතියේද මහා වෙනස්කම් ඇති කිරීමට හේතුවිය. තේ වතු සඳහා කැලෑ එළිපෙහෙළි කරන හා ගොඩනැගිලි තනන කම්කරුවන් හා ශිල්පීන් ලෙස ක්‍රියාකළේ පහතරට සිංහලයන්ය. පහතරට සිංහලයන් මහා පරිමාණයෙන් කැරෙන වෙළෙඳාමට තල්ලු කරනු ලැබුවේද තේය. තේ නිසා අපට හොඳ මාර්ග පද්ධතියක් ලැබුණු අතර දුම්රිය සේවයක්ද ලැබුණේය. ශ්‍රී ලංකාවේ දේශීය ධනපති පන්තියක් බිහිකිරීමට අවශ්‍ය වැදගත් සාධකය ලෙස ක්‍රියාකළේද වතු ආර්ථිකයයි. වතු කම්කරුවන්ට අවශ්‍ය රා අරක්කු විකිණීමෙන්ද, වෙනත් වෙළෙඳ ද්‍රව්‍ය විකිණීමෙන්ද වතුකරය සඳහා කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් ලෙස ක්‍රියාකිරීමෙන්ද පහතරට සමහර සිංහලයන් විශාල ධනවතුන් බවට පත්වූහ. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ ලංකාවේ සිටි ලොකුම ධනපතියා ලෙස සැලකිය හැකි මොරටුවේ ජෙරොනිස්ද සොයිසා සිය ජීවිතය ආරම්භ කළේ උඩරට වතුකරයට අවශ්‍ය භාණ්ඩ රැගෙන යන කරත්තකාරයකු ලෙසය. තවත් කලකින් ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ ලොකුම අරක්කු රේන්දකාරයා බවට පත්විය. ඉන්පසු ඔහු ලොකු කෝපි වතු හිමියෙක් බවට පත්වූ අතර කෝපි වැටුණද ඔහු නොවැටුණේය. ඔහු මිය යනවිට ඔුහගේ එකම පුතා වූ චාල්ස් හෙන්රිද සොයිසාට හිමිව තිබූ ඉඩම් ප්‍රමාණය අක්කර 25176කි. මේ පවුල රටේ මහා ධානපතියන්වීයැ”යි ද කිව හැකිය. මොරටුවේ කටුබැද්ද පාර ඉදිකිරීම, සොයිසා සූතිකාගාරය, වේල්ස් කුමාර හා වේල්ස් කුමරි විද්‍යාල, ලුනාව පාර සහ පාලම, ක්ෂුද්‍රජීව විද්‍යා ආයතනයට හා මොරටුව රෝහල එම පවුලේ අය සිය වියදමෙන් කරන ලද සමාජ සත්කාර ව්‍යාපාරවීයැ”යි කිව හැක.

ජෙරෝනිස්ද සොයිසා පමණක් නොව පසුකලෙක රටේ ප්‍රධාන පෙළේ ජාතික නායකයන් බවට පත්වූ අයගෙන් වැඩි පිරිසකගේ පියවරුන් මහා ධනවතුන් බවට පත්වූයේ වතුකරයට අවශ්‍ය උපයෝගී සේවාවන් ලබාදීම මගිනි. ඔවුන්ගේ පියවරුන් වැඩි පිරිසක් පහළම තත්ත්වයකින් පැමිණ ධනවත් බව සමග ප්‍රභූ තත්ත්වයන් හිමි කරගත් අය ලෙස සැලකිය හැකිය.

එකල රටට තිබුණු ලොකුම අපනයන නිෂ්පාදනය තේ විය. Ceylon Tea නමින් හැඳින්වුණු ලංකා තේවලට තේ බොන රටවල් අතර තේ නිපදවන වෙනත් කිසිම රටකට නැති තරමේ පිළිගැනීමක් ලැබී තිබුණි. සමහර රටවල් ලංකාව ගැන දැනගත්තේ තේ නිසාය.

1970 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව තේ වතු ජනසතු කළාය. එය සලකන ලද්දේ විප්ලවීය ක්‍රියාමාර්ගයක් ලෙසය. එහෙත් එසේ ජනසතු කරන ලද තේ වතුවල කාර්යක්ෂම පාලනයක් පවත්වාගෙනයෑමට එම වතු භාරගත් ආණ්ඩුවේ ආයතන සමත් නොවීය. ඊට පෙර ආණ්ඩුව ඉඩම් අයිතිය සීමා කරන නීතියක් මගින් පුද්ගලික හිමිකරුවන් සතු ඉඩම්ද අක්කර ලක්ෂ ගණනාක් ආණ්ඩුවට පවරා ගත්තේය. ඒවා අවසාන විග්‍රහයේදී බලයට පත්වන දේශපාලකයන්ට විශාල ලෙස ඉඩම් කොල්ලකෑම සඳහා ගොඩනගන ඉඩම් සංචිතයක් ලෙස ක්‍රියා කළේය.

තේ කර්මාන්තයේ ඇද වැටීම වළකන ලද්දේ දකුණෙන් බිහිවූ කුඩා තේ වතු හිමියන්ය. ඔවුන් කරළියට එන තෙක් තේ වගාව සලකන ලද්දේ ලොකු ඒකක ලෙස පවත්වාගෙන යායුතු වතු වගාවක් ලෙසය. කුඩා තේ වතු හිමියන් ඒ න්‍යාය බොරු කළේය. තේ කර්මාන්තයේදී කුඩා ඒකක වඩා ඵලදායී බව ඔවුහු සනාථ කළහ. කුඩා වතුවල තේ අක්කරයක ඵලදාව විශාල වතු අක්කරයක ඵලදාව මෙන් දෙගුණයක් තරම් විශාල විය. නිෂ්පාදන වියදමේද විශාල වෙනසක් පෙන්නුම් කළේය. අවසානයේදී ජාතික තේ නිෂ්පාදනයට ලොකුම පංගුව එකතු කිරීමේ ගෞරවය හිමිවියයුත්තේ ඔවුන්ටය. තේ වගාවට මාරුවීමෙන් ඔවුන්ගේ ජීවිතවලද මහා වෙනසක් ඇතිවිය. කුඹුරු ගොවියා හා එළවළු ගොවියා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා විට තේ ගොවීන් සරුසාර ජීවිත ගෙවන අය බවට පත්වූහ.

සුළු තේ වතු හිමියන්ගෙන් ඉගෙන ගතයුතු හරි පාඩම ඉගෙන ගැනීමට ලංකාවේ දේශපාලනඥයන් අසමත් විය. ඔහු රජය සතුව තිබූ වතු පෞද්ගලිකකරණයක නාමයෙන් සමාගම්වලට කුණුකොල්ලයට විකුණුවේය. ඊට පෙර දේශපාලකයන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ තිබුණු ඉඩම් දේශපාලන බලය මත කුණු කොල්ලයට හිමිකර ගනිමින් විශාල ඉඩම් හිමියන් බවට පත්වූහ.

තේ වතුකරයේ වැඩ කරන කම්කරුවන්ගේ දරුවන් තේ කර්මාන්තයෙන් ඉවත්වීම මහා පරිමාණයේ තේ වතු මුහුණදෙමින් තිබෙන ලොකුම අර්බුදය ලෙස සැලකිය හැකිය. තේ වතුකරයේ දෙමළ වතු කම්කරුවන්ගේ දරුවන් තමන්ගේ දෙමාපියන් ගතකරන දුක්ඛිත හා කාලකණ්ණි ජීවිතයට එකතුවීමට ඇති නොකැමැත්ත තේරුම් ගැනීමට අමාරු නැත.

මේ තත්ත්වය වැළැක්වීමට තිබෙන හොඳම ත්‍රමය වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කැරෙන ආකාරයටම තේ වතුකරය ප්‍රතිසංස්කරණය කිරීමය. වතු කම්කරුවන් වෙත ලබාදෙන ඉඩම් විකිණීම හා අන් සතු කිරීම වැළකිය හැකිය. ඒ මගින් වතු කම්කරුවන් විශාල වශයෙන් ආදායම් ලබන්නන් බවට පත් කළ හැකි අතර වතුකරයේ තරුණ තරුණියන් වෙනත් රක්ෂාවලට ඇදීයෑම වැළකිය හැකිය. සමාගම්වල ක්‍රියකාරීත්වය කුඩා වතු හිමියන් බවට පත්වන වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත තත්ත්වයක තබාගැනීමට වගබලා ගැනීම හා ඔවුන්ගෙන් ලබාගන්නා දළුවලින් තේ නිපදවීම හා ඉන්පසු කැරෙන නිෂ්පාදන හා වෙළෙඳ කටයුතුවලට සීමා කළ හැකිය. ඒ මගින් වතු සමාගම්ද දැන් උපයන ලාභවලට වැඩි ලාභයක් ඇති කළ හැකිය. එවැනි ක්‍රියාමාර්ගයක් වතු කම්කරුවන්ගේ ජීවිතවලද දැවැන්ත විපර්යාසයක් ඇති කිරීමට හේතුවනු ඇත. ඔවුන් උපයන ආදායම් විශාල ලෙස ඉහළ යනු ඇති අතර ඔවුන්ගේ ජීවිත හා පරිභෝජන රටාවද ඊට අනුකූලව විශාල ලෙස වෙනස්වනු ඇත. ඔවුන් හොඳට අඳින පළඳින, කන බොන, ලයින් කාමර වෙනුවට ලස්සන ගෙවල් හිමි යාන වාහන පරිහරණය කරන ජන ප්‍රජාවක් බවට පරිවර්තනය වනු ඇත. ඉන් රටට ලැබෙන යහපත වනු ඇත්තේ රටේ තේ නිෂ්පාදනය දෙගුණ තෙගුණවීමය.

විශාල තේ නිෂ්පාදකයින් ලෙස සැලකිය හැකි ඉන්දියාව හා චීනය ඉක්මනින් තමන් නිපදවන සියලු තේ දේශීය වශයෙන් පරිභෝජනයට ගන්නා රටවල් බවට පත්වීමට නියමිතය. ඒ සමග ශ්‍රී ලංකාව යා හැකි දුර අපමණය. ශ්‍රී ලංකාවේ තේවලට තිබෙන කීර්තිනාමය අබිබවා ඉදිරියට එන්නට තවමත් කිසිම රටක් සමත් වී නැත. තේවල ගුණාත්මක අගය ආරක්ෂා කරගැනීම මගින් අපට නොමිලේ ලැබී තිබෙන එම තත්ත්වය අපි ආරක්ෂා කරගත යුතුය. තේ තොග වශයෙන් වෙන්දේසියේ විකුණන ප්‍රතිපත්තියෙන් ඉවත් වී අගය එකතු කළ නිෂ්පාදනයන් ලෙස තේ අපනයනය කරන තැනකට යායුතුය. ඒ සඳහා අපට හොඳම ආදර්ශය දී තිබෙන්නේ ඩෙල්මා සමාගමය. ශ්‍රී ලංකා තේවල ගුණාත්මක අගය හීන කිරීමට හේතුවන පිටතින් ගෙනා හෝ ලංකාවේ නිපදවූ බාල හා අපිරිසිදු තේ මිශ්‍ර කිරීමෙන් වැළකී සිටිය යුතුය. එවැනි දේවලට ඉඩ නොතබන දැඩි නීති ඇති කළ යුතුය. ඥානාන්විතව ක්‍රියාකිරීමට සමත්වෙතොත් නුදුරු අනාගතයේදී තේ මහා මහා පරිමාණයෙන් රටට ශුද්ධ විදේශීය විනිමය ආදායම් උපයා දෙන උල්පතක් බවට පත්කරගත හැකිය.