හොඳම විසඳුම 13ද?-

May 6, 2012
Publication:
India, the West, Tamil leaders and devolution advocates treat full implementation of the 13th Amendment as the best solution, but Ivan argues it was built for the North-East Tamils alone, on the unproven idea of a traditional Tamil homeland, and imposed on a reluctant J.R. Jayewardene under Indian pressure. Citing G.H. Peiris's study of the Eastern Province and K.M. de Silva's critique of separatist ideology, he says the homeland claim has never been rebutted, and warns that a solution resting on it will leave others feeling deceived. Sinhala and Tamil leaders should each apologise for their wrongs. He proposes village councils modelled on India's panchayats, district councils able to merge into provincial and regional councils by popular consent, a smaller Parliament with a Senate, a human-rights charter, information rights, and strong election and anti-corruption commissions.

ජනවර්ග ප්‍රශ්නයට දියහැකි හොඳම විසඳුම 13 වැනි සංශෝධනය ඊට ඇතුළත් බලතල සමග ක්‍රියාත්මක කිරීම බව ඉන්දියාවේද, බටහිර බලවතුන්ගේද, දෙමළ නායකයන්ගේ සේ ම බලය බෙදාහැරීමක් ගැන උනන්දුවක් දක්වන විවිධ විචාරකයන්ගේද පොදු පිළිගැනීම වී තිබෙන්නේයැ”යි කිව හැකිය.

සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ලබාදෙන විසඳුමක් සුළු ජාතීන්ගේ ගණයෙහිලා සැලකිය හැකි සියලුදෙනාගේම ගෞරවයට හා විශ්වාසයට හේතුවිය යුතුවා සේ ම ඔවුන්ට තිබෙන ප්‍රශ්න විසඳාලීමේ හැකියාවන්ද ඊට තිබිය යුතුය. ඒ සමග එය මහ ජාතිය ලෙස සැලකිය හැකි සිංහලයන්ගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවිය යුතුය.

13 වන සංශෝධනය ලංකාවේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න පොදුවේ සැලකිල්ලට ගෙන සකස් කරන ලද විසඳුමක් නොව උතුරු නැගෙනහිර දෙමළ ගණයට වැටෙන ජනවර්ගයේ ප්‍රශ්නය පමණක් සැලකිල්ලට ගෙන සකස් කරන ලද විසඳුමකි. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ වාර්ගික අර්ථයෙන් පමණක් නොව ආගම හා කුල යන අර්ථයෙන්ද සුළුතරයක් වීම නිසා ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන ප්‍රශ්නවලටය. 13 වන සංශෝධනය ඒ සියලුදෙනාගේ ප්‍රශ්න මුළු එකක් වශයෙන් ගෙන සකස් කරන ලද විසඳුමක් නොව, උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්නය පමණක් සැලකිල්ලට ගෙන සකස් කරන ලද විසඳුමක් වන නිසා එය වර්ග, ආගම් හෝ කුල අර්ථයෙන් සුළු ජාතීන්ගේ ගණයට වැටෙන අන් අය තුළ විශේෂ විශ්වාසයක් ඇතිවනු ඇතැ”යි සිතිය නොහැකිය. ඉතාම වැදගත් දේ එය සිංහල මහ ජාතියේ පිළිගැනීමට හේතුවේද යන්නය. සිංහලයන්ට ඒ ගැන තිබෙන මතකය ප්‍රසන්න නැත. එය තමන් මත බලහත්කාරයෙන් පටවන ලද්දක්ය කියන හැඟීම සිංහල උගතුන් අතර පවතී. මෙය විශේෂයෙන්ම දෙමළ නායකයන්ගේ සේ ම ඉන්දියාවේද බැරෑරුම් අවධානයට යොමුවිය යුතුව තිබෙන කාරණයකි. මෙම අර්බුදයට දෙන විසඳුමක් සාර්ථක, කල්පවත්නා විසඳුමක්, වීමට නම් එය දෙමළ ජනතාවගේ පමණක් නොව එය සිංහල ජනයාගේද විශ්වාසයට හේතුවන්නක් විය යුතුය.

දහතුන හා දෙමළ නිජබිම

13 වැනි සංශෝධනය සකස් කර ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනයාගේ නිජබිම් ප්‍රදේශවේය කියන කල්පිතය මත පිහිටාය. බලය බෙදාහැරීමේ ඒකකය කුමක් විය යුතුද යන ප්‍රශ්නය සලකා බලා ඇත්තේ උතුරු නැගෙනහිර භූමි ප්‍රදේශය දෙමළ ජනයාගේ නිජබිම ප්‍රදේශ ලෙස සලකාය. ඒ නිසා එහි කටයුතු පාලනය කිරීමේ අයිතිය මුළුමනින් නොවේ නම් කිසියම් ප්‍රමාණයකයට හෝ දෙමළ ජනතාවට ලබාදිය යුතුයි කියන අදහසේ පිහිටාය.

ඒ අදහස තහවුරු කිරීම සඳහා දෙමළ නායකයන් ඉදිරිපත් කළ එකට එකක් සම්බන්ධ තර්ක ගණනාවක් තිබුණි. ඒවා මෙසේය. මෙම භූමි ප්‍රදේශය පෘතුගීසීන් විසින් යාපනයේ රාජ්‍ය අල්ලා ගන්නා තෙක්ම පැවතියේ දෙමළ පාලනයක් ලෙස සැලකිය හැකි යාපනේ රාජ්‍ය යටතේය. පෘතුගීසීන්ගේ කාලයේදීත් ඉන්පසු ලන්දේසි පාලන කාලයේදීත් මෙම ප්‍රදේශ දෙමළ ජනතාව ජීවත් වූ කලාපයක් ලෙස සලකා එහි වෙනම පාලනයක් පවත්වාගෙන ගියේය. එම තත්ත්වය වෙනස් කළේ බ්‍රිතාන්‍යයන්ය. ලංකාවට නිදහස ලබාදීමේදී ලංකාවේ දෙමළ ජනයා වෙනම දෙමළ පාලනයක් යටතේ ජීවත් වූ ජන පිරිසක් ලෙස සලකා ඔවුන්ට ඔවුන්ගේ භූමි ප්‍රදේශ සඳහා වෙනම පාලනයක් ලබා නොදී රටේ සම්පූර්ණ බලය සිංහල නායකයන්ට ලබා දුන්නේය. නිදහසින් පසු සිංහල නායකයන් දෙමළ නිජභූමියේ ගොවි ජනපද යෝජනා ක්‍රම ඇති කොට දහස් ගණනින් සිංහල මිනිසුන් එම ප්‍රදේශවල පදිංචිකරවා එම භූමි ප්‍රදේශවල ජන සංයුතිය වෙනස් කළේය. දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය දෙමළ නිජබිම් ප්‍රදේශ ඇතුළත් වන ලෙස වෙනම දෙමළ රාජ්‍යයක් ගොඩනගා ගැනීමය.

ඉන්දියාව ඔවුන්ගේ වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහසට එකඟ වූයේ නැත. එහෙත් වෙනම රාජ්‍යයක් වෙනුවට දෙමළ අභිලාෂයන් සම්පූර්ණ කිරීමට හේතුවන ඊට අඩු විසඳුමක් ලබාදීම අවශ්‍යවේයැ”යි විශ්වාස කළේය. ඒ සඳහා තෝරාගත් විසඳුම වූයේ දෙමළ නායකයන් දෙමළ නිජබිම් ප්‍රදේශ ලෙස සලකන කලාපය එක ඒකකයක් වශයෙන් ගෙන ඉන්දියාවේ පවතින ප්‍රාන්ත රාජ්‍ය මට්ටමේ පාලනයක් ඔවුන්ට ලබාදීමයි. එහිදී ඉන්දියාව දෙමළ නිජබිම් සංකල්පයේ ඇත්ත නැත්ත ගැන සාධාරණව කරුණු සොයා බැලීමක් නොකළේය. එවැනි සොයා බැලීමකට යන්නට අවකාශයක්ද නොතිබුණේය. වෙනම රාජ්‍යයකට අඩු දේකට ප්‍රභාකරන් කැමති කරවාගැනීම සඳහා ඔවුන් දෙමළ නිජබිම ලෙස සලකා අයිතිවාසිකම් ඉදිරිපත් කරන භූමි කලාපය ඔවුන්ට ලබාදීම ඉතා අවශ්‍යවේයැ”යි සලකා ඉන්දියාව ක්‍රියා කළ බව පෙනේ.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කළද අවසාන මොහොත දක්වාම දෙමළ නිජබිම් සංකල්පය පිළිගත්තේ නැත. මෙම පළාත් දෙක එකතු කරනවාටද තරයේ විරුද්ධ විය. ඒ බව ඒ සඳහා කැරුණු සාකච්ඡා ගැන ලියා ඇති කේ.එන්. ඩික්සිත් හා මහාචාර්ය කේ.එම්. ද සිල්වා විසින්ද හොඳින් තහවුරු කර තිබේ. අවසානයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තමන් නොපිළිගත් එම අදහස් දෙකම පිළිගන්නට සිදුවූයේ රටේ ගොඩනැගෙමින් තිබුණු උද්වේගකර හා ප්‍රචණ්ඩ වාතාවරණය තුළ එසේ කරනවා හැර තෝරාගැනීමට අන් විකල්පයක් නොතිබුණු නිසාය. ඒ අර්ථයෙන් අවසානයේ ඒ සඳහා ඇති කරගත් එකඟත්වය ව්‍යාජ හා බලහත්කාරී එකඟත්වයක් ලෙස සැලකිය හැකිය.

අවසානයේ එසේ ඇති කරගත් විසඳුම සිංහල ජනතාව පිළිනොගත්තා සේ ම ප්‍රභාකරන්ද පිළිනොගත්තේය. එය විසින් ඇති කළ එක් අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක්කේ මෙම විසඳුමේ නිර්මාතෘවරයා වශයෙන් සැලකිය හැකි හා නූතන ඉන්දියාව බිහිකළ වර්ණවත්ම නායකයකු ලෙස සැලකිය හැකි රජීව් ගාන්ධිද දෙමළ ත්‍රස්තවාදයේ රුදුරු බිල්ලක් බවට පත්වීමය. පළාත් සභා ක්‍රමය ඇති කොට වසර 24ක් තරම් කාලයක් ගෙවී ඇතත් එය මහජනයාගේ හාස්‍යයට මිස විශ්වාසයට හේතුවී නැත. එය මහජනයාට පෙනෙන්නේ සුදු අලියකු ලෙසය. එය දෙවැනි මට්ටමේ පාලන ක්‍රමයක් සඳහා කැරුණු සාර්ථක අත්හදා බැලීමක් ලෙසද සැලකිය නොහැකිය.

නිජබිමේ යථාර්ථය

13 වැනි සංශෝධනය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකි දෙමළ නිජබිම සංකල්පය ඉන්දු ලංකා ගිවිසුම ඇතිකර ගැනීමට පෙර මැනවින් ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට ලක්වූ විෂයක් නොවීය. නැතිනම් ඒ ගැන කලාතුරකින් හෝ කැරුණු ශාස්ත්‍රීය අධ්‍යයනයක් වේ නම් ඒවා ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දු ලංකා ගිවිසුම ඇතිකර ගැනීමෙන් පසුවය. ඒ ගැන පළවී ඇති අධ්‍යයනයන් අතර විශිෂ්ට ගණයෙහිලා සැලකිය හැකි අධ්‍යයන දෙකක් තිබෙන්නේය. එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල මහාචාර්යවරයා වූ ජෙරල්ඩ් පීරිස්ගේය. අනෙක එම විශ්වවිද්‍යාලයේම ලංකා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වූ කේ.එම්.ද සිල්වාගේය. මෙම අධ්‍යයනයන් දෙකම පළකර තිබෙන්නේ වාර්ගික අධ්‍යයනයක් සඳහා වන අන්තර්ජාතික කේන්ද්‍රය (International Center for Ethnic Studies) විසිනි. මහාචාර්ය ජෙරල්ඩ් පීරිස්ගේ අධ්‍යයනය පළකර තිබෙන්නේ An Appraisal of the concept of a Traditionl Tamil Home Land in Sri Lanka යන මාතෘකාවයටතේ 1991දීය. මහාචාර්ය කේ.එම්. ද සිල්වාගේ අධ්‍යයනය පළකර තිබෙන්නේ Separatist Ideology in Sri Lanka: A Historical Appraisal යන මාතෘකාව යටතේ 1987දී හා එහි දෙවැනි සංස්කරණය 1994දීය. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස විසින් කරන ලද එහි සිංහල පරිවර්තනයක් විසිදුනු ප්‍රකාශකයන් විසින් 1007දී පළකර තිබේ.

ජෙරල්ඩ් පීරිස් සිය අධ්‍යයනයෙන් ප්‍රධාන කොට සලකා බලා ඇත්තේ ජනපද යෝජනා ක්‍රම නිසා නැගෙනහිර පළාතේ ජනවර්ග සංයුතියේ ඇතිවී තිබෙන වෙනස්කම් ගැනය. එම ජනපද යෝජනා ක්‍රම ඇති කරන්නට පෙර එම ප්‍රදේශවල පැවති තත්ත්වයද සලකා බලා තිබේ.

ඔහු 1921 ජනලේඛනයේ එන තොරතුරු පදනම් කොටගෙන මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුන සඳහා එහි සිටින ජනගහනය ජන වර්ග අනුව එම දිස්ත්‍රික්කවල විසිරී සිටි ආකාරය දැක්වෙන භූමි සිතියම් තුනක් ඉදිරිපත් කරයි. ඒ අනුව ජනගහනයේ සංඛ්‍යා අනුව ගත් විට සිංහල සංඛ්‍යාව ඉක්මවූ ජන අනුපාතිකයන් දෙමළ හා මුස්ලිම් ජනවර්ග දෙකට තිබුණේය. එම ජනවර්ග දෙකම ප්‍රධාන කොට කේන්ද්‍රගතවී සිටියේ මුහුදු වෙරළ ආසන්නයේය. සිංහල ප්‍රදේශවලට සාපේක්ෂව ඔවුන්ගේ ජනගහන ඝනත්වයද ඉහළ මට්ටමක තිබුණේය. සිංහල ජනයා පදිංචි වී සිටි පුරාණ ගම් තිබුණේ රට අභ්‍යන්තරයේය. එහි සිංහල ජනගහනය විසිරී සිටියේ තුනීයටය. එම ප්‍රදේශවල සිංහල ජනගහනයේ ප්‍රමාණය කුඩා වුවත් ඔවුන් සතුව තිබූ භූමි ප්‍රමාණය විශාල විය. එම ඉඩම්වල පාරම්පරික අයිතිය තිබුණේ සිංහලයන්ටය. ඔහු එහි ගල්ඔය ජනපද ව්‍යාපාරය ගැනද තියුණු විමර්ශනයක් ඉදිරිපත් කර තිබේ. නැගෙනහිර ප්‍රදේශය කවරදාකවත් එක ජනවර්ගයකට සීමාවූ නිජබිම් ප්‍රදේශයක් ලෙස තිබී නැති බව ඔහු එම අධ්‍යයනයෙන් මනා ලෙස තහවුරු කර තිබෙන්නේයැ”යි කිව හැකිය.

මහාචාර්ය කේ.එම්. ද සිල්වා සිය අධ්‍යයනයෙන් කර තිබෙන්නේ දෙමළ නායකයන් දෙමළ නිජබිමත් සඳහා ඉදිරිපත් කරන අයිතිවාසිකම් තියුණු විමර්ශනයකට ලක්කිරීමය. ඔහු ඒ සඳහා ෆෙඩරල් පක්ෂයේ ආරම්භයේ සිට ඉන්දු ලංකා ගිවිසුම දක්වාම දෙමළ දේශපාලන පක්ෂ විසින් හා දෙමළ විද්වතුන් විසින් දෙමළ නිජබිමක් පැවති බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන සියලු ප්‍රධාන තර්ක ඉතිහාසඥයකු ලෙස විමර්ශනයට ලක් කර තිබේ. ඔහු එම අධ්‍යයනයෙන් දෙමළ නිජබිම පිළිබඳ සංකල්පය ඕනෑම කෙනකුට පිළිගත හැකි ආකාරයට මුළුමනින් බොරු කර ඇතැ”යි කිවහැකිය.

මෙම අධ්‍යයනයන් දෙක හෝ එහි එන කරුණු දෙමළ නිජබිම සංකල්පය වෙනුවෙන් පෙනී සිටින මොනම විද්වතකු විසින්වත් නිෂ්ප්‍රභ කර නැත. එසේ කිරීමේ හැකියාවක්ද තිබිය නොහැකිය. මෙම අධ්‍යයනයන් දෙකෙන්ම දක්වා තිබෙන කරුණු නිවැරදි වනවා සේ ම තර්කානුකූලද වේ. මෙම අධ්‍යයනයන් දෙක කියවන ඕනෑම කෙනකු තුළ ඇතිවන හැඟීම වනුයේ දෙමළ නිජබිම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි දෙමළ දේශපාලකයන් හා උගතුන් අසත්‍ය කරුණු පදනම් කොටගෙන මවන ලද බොරු චිත්‍රයක් මගින් ඔවුන්ගේ බෙදුම්වාදී දේශපාලන වැඩසටහන සඳහා ඉන්දියාව එකඟ කරවාගෙන ඇති බවය. මෙම කරුණු නොසලකා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරවන පිළිවෙතක් තමන් රවටනු ලැබ ඇතැ”යි කියන හැඟීම කවදා හෝ අන් ජනයා අතර ඇති කළ හැකිය. එවැනි තත්ත්වයක් පසුව නිවැරදි කිරීම අමාරුය.

මෙම තත්ත්වය දෙමළ නායකයන් පමණක් නොව ඉන්දියාව විසින්ද මෙම ප්‍රශ්නය ගැන උනන්දුවක් දක්වන අන්තර්ජාතික බලවේගයන් විසින්ද බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය. ඉන් අදහස්වන්නේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් මගින් විසඳා ගැනීමට තරම් ප්‍රශ්න නැති බව නොවේ. දෙමළ ජනතාව දුකට පීඩාවට හා වේදනාවට ලක්ව සිටින ජනතාවකි. ඔවුන්ගේ විශේෂ දුක්ගැනවිලිවලට විසඳුමක් තිබිය යුතුය. එහෙත් ඊට තිබෙන හොඳම විසඳුම 13 වැනි සංශෝධනය වේයැ”යි කිව නොහැකිය. ඊට වඩා හොඳ ඔවුන්ගේ පිළිගැනීමට හේතුවනවාට අතිරේකව අන් සියලුදෙනාගේද පිළිගැනීමට හේතුවන නිර්මාණශීලී විසඳුමක් සොයාගන්නා තැනකට අප යායුතුය. මා හිතන අන්දමට අන් සියලු දේට පළමුව දෙමළ ජනතාවට කර තිබෙන වැරදි හා අසාධාරණකම් වෙනුවෙන් සිංහල නායකයන් දෙමළ ජනතාවගෙන් සමාව ගත යුතුය. එසේම ඔවුන්ට සිදුකර තිබෙන වැරදිවල තරමට නොගැළපෙන තරමින් සිංහල ජනතාව කෙරෙහි දක්වා තිබෙන සාහසික ප්‍රතිචාරවලට දෙමළ නායකයන්ද සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුය.

නිර්මාණාත්මක විසඳුමක් ඇතිකර ගැනීම

ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුක්‍රමය ඉන්දියාව වැනි විශාල රටකට ගැළපෙතත් ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට ගැළපෙන්නේ නැත. එහෙත් ඉන්දියාවද ආදර්ශයට ගනිමින් නිර්මාණශීලී බලය බෙදාහැරීමේ ක්‍රමයක් අපටද ඇති කරගත හැකිය.

අපේ රටේ සියලු ප්‍රශ්නවල මුල තිබෙන්නේ ගම්වලය. විධිමත් පාලනයක් ආරම්භ විය යුත්තේ ගම් මට්ටමෙනි. ගම ස්වයංපාලන බලය ලබාදිය යුතුව තිබෙන ප්‍රධාන තැනකි. වර්ග භේද, ආගම් භේද, කුලභේද හා පන්ති භේද තුනී කිරීම ආරම්භ වියයුතුව තිබෙන්නේද ගමෙනි. ඉන්දියාව පැරණි පංචායත් ක්‍රමයට නැවත ගියේය. අතිවිශාල බලයක්ද පංචායත්වලට ලබාදී තිබේ. ඒ ක්‍රමය ඉන්දියාවේ විශාල ප්‍රගතියක් ඇති කිරීමටද හේතුවී තිබේ. අපටද අපේ පැරණි ගම් සභා ක්‍රමයට නැවත යා හැකිය. ඒ මගින් දැන් පවතින ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් ඉවත් විය හැකිය. ගමේ පාලන හා සංවර්ධන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය බලතල ගම්සභාවලට ලබාදිය හැකිය. ගම් සභාවේ සභාපති ඇතුළු කාරක සභාව ගමේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ක්‍රමයක් ඇති කරගත හැකිය. ගමේ ප්‍රධාන විධායකයා වන ගම් සභාපතිට වර්තමානයේ ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකුට ලබාදෙන දීමනාව හා පහසුකම් ලබාදිය හැකිය.

ගමේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ, අධ්‍යාපනය, සෞඛ්‍යය හා යටිතල පහසුකම් පවත්වාගෙන යෑමේ, ගමේ සංවර්ධන සැලැස්ම හා අයවැය ලේඛනය සකස් කිරීමේ, ගමේ ජනලේඛනය හා ඉඩම් ලේඛනය සකස් කිරීමේ හා පවත්වාගෙන යෑමේද බදු එකතු කිරීමේද බලය ගම් සභාවට දිය හැකිය.

ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් සියලු ගම් සභාවල සභාපතිවරුන් එකට එකතු කරන ගම් වසම් සභාවක් වැනි ආයතනයක් ඇති කළ හැකිය. එහි සභාපති එම බලප්‍රදේශයේ ප්‍රධාන විධායකයා බවට පත්කළ හැකිය. ගම් සභාවල සැලසුම් ආශ්‍රයෙන් ගම් වසමේ සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ හා එය පවත්වාගෙන යෑම හා ගම් සභාවල ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ බලය එම සභාවට දිය හැකිය.

හැම දිස්ත්‍රික්කයක් සඳහා කොට්ඨාස ක්‍රමයකට මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත දිස්ත්‍රික්ක සභා ක්‍රමයක් ඇති කළ හැකිය. එහි ප්‍රධාන දේශපාලන විධායකයා විය යුත්තේද එහි සභාපතිය. දිස්ත්‍රික් සභා මන්ත්‍රීවරුන්ට සුදුසු වැටුපක් හා දීමනාවක් ලබාදිය හැකිය. දිස්ත්‍රික්කයේ පාලන හා සංවර්ධන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය තරම් බලතල දිස්ත්‍රික්ක සභාවලට දිය හැකිය.

දිස්ත්‍රික්ක සභා දෙකකට හෝ වැඩි ගණනකට එම දිස්ත්‍රික්කවල මහජනයා අනුමත කරන්නේ නම් එකට එකතු වී පළාත් සභාවක් ඇතිකරගැනීමේ අයිතියද ලබාදිය හැකිය. පළාත් සභාවකට දිස්ත්‍රික්ක සභාවකට වැඩි බලයක් ලබාදිය හැකිය. පළාත් සභාවලදීද පළාත් සභා දෙකකට හෝ වැඩි ගණනකට එම පළාත් සභා බල ප්‍රදේශවල මහජනයාගේ එකඟත්වය ඇත්නම් කලාප සභාවක් බවට පත්වීමේ අයිතිය ලබාදිය හැකිය. එසේ ගොඩනැගෙන කලාප සභාවලටද පළාත් සභාවලට ලබාදෙන බලයට වැඩි බලයක් ලබාදිය හැකිය.

මෙවැනි ක්‍රමයක් ඇති කළහොත් ආරම්භක අවස්ථාවේදී උතුරේ පළාත් සභාවක්ද, අනෙක් හැම ප්‍රදේශයකම දිස්ත්‍රික්ක සභාද ඇතිවනු ඇතැ”යි උපකල්පනය කළ හැකිය. මඩකළපුව දෙමළ වැඩි බලයක් සහිත දිස්ත්‍රික්ක සභාවක් වනු ඇති අතර අම්පාර මුස්ලිම් වැඩි බලයක් ද නුවරඑළිය උඩරට දෙමළ ජනතාවට වැඩි බලයක් ද ඇති දිස්ත්‍රික්ක සභා බවට පත්වනු ඇති අතර අනෙක් ප්‍රදේශවල දිස්ත්‍රික්ක සභා සිංහලයන්ට වැඩි බලයක් ඇති හෝ මිශ්‍ර බලයක් ඇති දිස්ත්‍රික්ක සභා බවට පත්වනු ඇතැ”යි සිතිය හැකිය. ගම් සභාවල සිට දිස්ත්‍රික්ක සභා දක්වා වන මේ ක්‍රමය ජනවර්ග අතර පමණක් නොව, විවිධ කුල හා ආගම් අදහන ජනතාව අතරද ඔවුන්ට සාධාරණ නියෝජනයක් ලබාදෙන හා ඔවුන් අතට බලය බෙදාහැරෙන ක්‍රමයක් ලෙස ක්‍රියාකරනු ඇති අතර පළාත් දිස්ත්‍රික්ක හා ගම් මට්ටම දක්වා වන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමටත්, කාර්යක්ෂම හා විධිමත් කිරීමටත් හේතුවනු ඇත.

ආණ්ඩුක්‍රමයේ තිබෙන අක්‍රමවත්භාවය හා අගතිගාමීභාවය මුළුමනින් ජයගැනීමට නම් ඒ සමග සමස්ත දේශපාලන ක්‍රමයේද මූලික වෙනසක් ඇති කරගත යුතුය. විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය නම් දැන් පවතින අවිධිමත් හා අවලස්සන ක්‍රමය වෙනුවට නීතියේ පාලනයකට බාධා නොකරන විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ ආකෘතියක් තෝරාගත හැකිය. එවිට පාර්ලිමේන්තු ක්‍රමයද ඊට ගැළපෙන ලෙස වෙනස් කරගන්නට සිදුවනු ඇත්තේය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යා හැකිය. පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට සීමාවූ තත්ත්වයක තබාගැනීම පිණිස පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රමාණයද කුඩා කළ හැකිය. සෙනට් මණ්ඩලයක්ද ඇති කරගැනීම මගින් ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් ඇති කරගත හැකිය. සුළු වර්ග, සුළු ආගම්, සුළු කුලවලට අයත් ජනයාට පිළිගැනීමක් ලබාදෙන ආකාරයට රාජ්‍ය පාලනයේ ප්‍රමුඛ වැදගත් තනතුරක් තෝරාගෙන ඊට සුළු ජාතිකයෙකු පත් කරන ක්‍රමයක් ඇති කළ හැකිය.

මානව අයිතිවාසිකම් සඳහා මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ඇති කරගත හැකිය. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කළ හැකිය. වත්කම් බැරකම් නීතිය වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සංශෝධනය කොට එය හොඳින් ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැකිය. හැම වැදගත් විෂයක් සඳහාම ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කරගත හැකිය. දැන් තිබෙන අංගවිකල මැතිවරණ කොමිසම වෙනුවට නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සහතික කරන හා දේශපාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් උනන්දුවෙන් ක්‍රියාකරන ඉන්දියාවේ මැතිවරණ කොමිසම වැනි පුළුල් බලතල ඇති මැතිවරණ කොමිසමක් ඇති කළ හැකිය. ඉහවහා ගිය දූෂණය ජයගැනීම සඳහා හොංකොං රටේ ගොඩනගා ගෙන තිබෙන ආකාරයේ පුළුල් බලතල ඇති දූෂණ මර්දන කොමිසමක් ඇති කරගත හැකිය. බාහිර ඇඟිලි ගැසීමට ඉඩක් නැති අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමෙහිලා උනන්දුවකින් ක්‍රියාකරන අධිකරණ ක්‍රමයක්ද ඇති කරගත යුතුය. රටේ පොලිස් සේවාව ඇද වැටී තිබෙන විෂම තත්ත්වයද බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබේ. මේ රටේ දේශපාලන නායකයන්ට, බුද්ධිමතුන්ට හා ජනතාවට අවශ්‍ය නම් මේ රට සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව රටක් ලෙස ප්‍රතිනිර්මාණය කළ හැකිය. ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම අපි කොයිකාගේත් වගකීම විය යුතුය.