කිරි ගොවීන් නිපදවන කිරි කිරි නිෂ්පාදන සමාගම් මිලදී නොගැනීම ආශ්රයෙන් ඇතිවූ කිරි අර්බුදයට පිළියමක් වශයෙන් ආණ්ඩුව කිරිපිටි මිල ඉහළ දැම්මේය. ඒ සමග ආනයනය කැරෙන කිරිපිටි පරිභෝජනය අධෛර්යය කිරීම සඳහා ආනයනය කැරෙන කිරිපිටි සඳහා අය කැරෙන රේගු බද්ද කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 92 දක්වා ඉහළ දැම්මේය.
පළමු පියවර, තිබෙන අර්බුදයේ බර කිසියම් ප්රමාණයකට සැහැල්ලු කිරීමට හේතුවනු ඇතත්, එය ප්රශ්නයට පූර්ණ විසඳුමක් වන්නේ නැත. දෙවැනි පියවර ආනයනය කරන කිරිපිටි බීම අධෛර්යමත් කිරීමට හේතු නොවනු ඇතිවා සේ ම දියර කිරි පරිභෝජනය ධෛර්යමත් කිරීමටද හේතු නොවනු ඇත්තේය. ඉන් වියහැක්කේ ජනතාව මත පැටවී තිබෙන ජීවන බර උග්ර කිරීම පමණය. එහෙත් ඒ මගින් භාණ්ඩාගාරයට ලොකු ආදායමක් උපයාගැනීමේ හැකියාව නම් ලැබෙනු ඇත්තේය. එසේ උපයන අතිරේක ආදායම කිරි ගොවිතැන නගා සිටුවීම සඳහා යොදාගත්තේ නම් පමණක් එය සාධාරණ කළ හැකිය.
කිරි ගොවීන් නිපදවන කිරි කිරි නිෂ්පාදන සමාගම් මිලදී නොගැනීම කෙරෙහි බලපෑ එකම හේතුව නිසි මිලක් නොලැබීම නිසා දේශීය වශයෙන් කිරිපිටි නිපදවන සමාගම් කිරි මිලදී ගැනීම අඩු කිරීම පමණක් නොවේ. යෝගට් නිපදවන සමාගම් කිරි මිලදී ගැනීම අඩු කිරීම නිසාය. කිරිපිටි මිල වැඩිකිරීම නිසා දේශීය වශයෙන් කිරිපිටි නිපදවන සමාගම් දැන් නැවත ඔවුන්ට අවශ්ය දියර කිරි කිරි ගොවියාගෙන් මිලදී ගන්නා තත්ත්වයක් ඇතිවීම නිසා ඔවුන් මුහුණ දී තිබෙන අර්බුදයට යම් පමණක විසඳුමක් ලැබෙනු ඇතැ”යි කිව හැකිය. එහෙත් යෝගට් නිපදවන සමාගම් පෙර පරිදි කිරි මිලදී නොගන්නේ නම් අර්බුදය තවදුරටත් යම් පමණකට ඉතිරි වී තිබෙනු ඇතැ”යි කිව හැකිය.
ආනයනික කිරිපිටි බීමෙන් වැළකී ඒ වෙනුවට රටේ නිපදවන දියර කිරි බොන්නැ”යි කීම දේශප්රේමී පෙනුමක් ඇති ආකර්ෂණීය සටන් පාඨයක් බවට පත්කර ගත හැකිය. එහෙත් එම සටන් පාඨය පවතින යථාර්ථයට ගැළපෙන්නේ නැත.
විවිධ හේතු නිසා ශ්රී ලංකා සමාජයේ වැඩි පිරිසක් කිරිපිටි බීමට පුරුදු වී සිටිති. කිරිපිටිවලදී දියර කිරිවලදී මෙන් කල්තබාගැනීමේ ප්රශ්නයක් ඇතිවන්නේ නැත. මිලදී ගැනීමද පහසුය. ගබඩාකර ගැනීමද පහසුය. දියර කිරි බිව් විට සෙම හැදෙන්නේයැ”යි කියන මතයක්ද ජනතාව අතර පවතී. මෙවැනි විශේෂ වටාපිටාවක් තුළ කිරිපිටි ආනයනය සඳහා කරන දැවැන්ත වියදම (රුපියල් බිලියන 36) කපා හැරීමට ආණ්ඩුවට අවශ්යනම් ආණ්ඩුව සිය උපායමාර්ගික ප්රතිපත්තිය බවට පත්කරගත යුත්තේ රටට අවශ්ය සියලු කිරිපිටි රටේ නිපදවන තත්ත්වයක් ඇති කිරීමය. ඒ සඳහා අවශ්ය දියර කිරිද රටේ නිපදවන තත්ත්වයක් ඇති කිරීමය. දැන් රට නිපදවන්නේ කිරි අවශ්යතාවයෙන් 15%ක ප්රමාණයක් පමණය. රටට අවශ්ය සියලු කිරි රටේ නිපදවාගත හැකි නම් ඒ සඳහා කැරෙන දැවැන්ත ආනයන වියදම කපා දැමිය හැකි සේ ම රටේ සත්ව නිෂ්පාදන ක්ෂේත්රයේද විශාල ප්රගතියක් ඇති කළ හැකිය. එහෙත් එය සරල හා පහසු නැත. රටේ විශාල එළහරක් සංඛ්යාවක් සිටියත්, ඒක පුද්ගල නිෂ්පාදන ධාරිතාව තිබෙන්නේ ඉතාමත් පහත් මට්ටමකය. ඒ නිසා කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට අවශ්ය නම් දිනකට කිරි ලීටර් 20-25ක් ලබාගත හැකි වැඩි දියුණු කළ කිරි හරක් ඇති කරන තැනකට යායුතුය. එය ගෘහ කර්මාන්තයක් වශයෙන් පමණක් කළ නොහැකිය. විශාල කිරි හරක් ගොවිපොළවල් ඇතිකර ගන්නා තැනකට යා යුතුය. කිරි හරක් ගොවිපොළවල් සඳහා ආයෝජනය කිරීමට ව්යාපාරිකයන් පොළඹවන තැනකට යායුතුය. ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන හා අනුග්රහයක් ලබාදෙන තැනකට යායුතුය.
ලංකාවට අවශ්ය කිරි ලංකාවේම නිපදවා ගැනීමට අප සමත් වුවත් ඒ කිරි අපි ජනයාට දෙන්නට යන්නේ දියර කිරි වශයෙන් නම් එම සමස්ත ව්යාපෘතියම අවුල් ජාලාවකට පත්වනු නොවැළැක්විය හැකිය. දැනට ජනතාව වැඩියෙන්ම ප්රිය කරන්නේ පිටි කිරිවලට නම් ලංකාව ලංකාවට අවශ්ය පිටිකිරි නිපදවන තැනට යායුතුය. ඒ සඳහා නවීන කර්මාන්ත ඇති කරගත යුතුය. ව්යාපාරිකයන් එම අරමුණ සඳහා ආයෝජනය කරන තැනකට පොළඹවා ගත යුතුය.
දියර කිරි නිෂ්පාදනයේදීද අමු කිරි වෙනුවට කල්තබාගත හැකි කල්කිරි නිපදවා බෙදාහරින ප්රතිපත්තියකින් වඩා සාර්ථක ප්රතිඵල නෙළාගත හැකිය. එහෙත් කල්කිරි බෝතලයක මිල අමු කිරි බෝතලයකට වඩා ඉතා සුළු ප්රමාණයකින් මිස විශාල ප්රමාණයකින් වැඩි නොවිය යුතුය. අමු කිරි කල්තබාගත නොහැකිය. එහෙත් කල්කිරි කල් තබාගත හැකිය. එවිට තේ කඩ වැනි ආයතනවලට පවා කිරි තේවලදී කල්කිරි යොදාගත හැකිය.
විශාල කර්මාන්තශාලා මගින් කල්කිරි නිපදවන ක්රමයක් වෙනුවට අප තෝරාගත යුත්තේ ගෘහස්ථ මට්ටමකින් කල්කිරි නිපදවන ව්යාපාරයක්ය. කිරි නිපදවන ප්රදේශවල කිරි ගොවීන්ම නොවේ නම් වෙනත් අතරමැදි ආයතනයක් මගින් කල්කිරි නිපදවන තත්ත්වයක් ඇති කිරීම මගින් කිරි ගොවීන්ගේ කිරි වෙළෙඳපොළ සුරක්ෂිත තත්ත්වයකට ගෙනආ හැකිය. කල්කිරි කල් තබාගත හැකි නිසා අවධානමක් ඇත්තේම නැතිතරම්ය.
කිරි ශරීර සෞඛ්යය හා වර්ධනය සඳහා ඉතා වැදගත් වුවත් එය ඕනෑම විදියකින් ආහාරයට ගැනීමෙන් ඒ අවශ්යතාව සපුරාගත හැකිය. අපි මුදවපු කිරි කන්න දන්නේ පැණි සමග හෝ සීනි සමග අතුරුපසක් වශයෙනි. එහෙත් ඉන්දියානුවන් විවිධ ආහාර පිසීම සඳහා මුදවන ලද කිරි ප්රයෝජනයට ගනී. ඔවුහු එළුමස් හා කුකුළු මස් පිසින විට ඊට මුදවන ලද කිරිද එකතු කරයි. කරිය රසවත් කිරීමට එය වැදගත් සාධකයක් ලෙස බලපායි. ඊට අතිරේකව එළවළු වර්ග පිසීමේදී හා කඩල, පරිප්පු වැනි ධාන්ය වර්ග පිසීම සඳහා ද මුදවන ලද කිරි පාවිච්චි කරන්නේය. ඔවුන් මුදවපු කිරිවලින් ලැසී නමින් ප්රණීත සිසිල් පානයක් නිපදවන්නේය. ලැසී “මෝරු”වලට සමානය. මුදවපු කිරි ලුණු මිරිස් හා වතුර සමග බ්ලෙන්ඩරයට දමා ගසාගැනීමෙන් එය නිපදවා ගතහැකිය. මුදවපු කිරිවලට වතුර ප්රමාණයක් සමග ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක් දමා ගසාගැනීමෙන් ඉතාමත් ප්රණීත පානයක් තනාගත හැකිය. කෙසෙල් ගෙඩි වෙනුවට අඹ, අන්නාසි, අලිගැටපේර, වෙරලු, ජම්බු, උගුරැස්ස වැනි පලතුරුද යොදාගත හැකිය.
ඉන්දියාවට ආවේණික ඉතාමත් විශේෂතම දේ වන්නේ ඉතාමත් දුප්පත් මිනිසෙකුට පවා ඔරොත්තු දෙන ඉතා අඩු මිලකට නිපදවා ගතහැකි ඉතාමත් පෝෂ්යදායක ජාතික ආහාරවේලක් ඔවුන්ට තිබීමය. එය දුප්පතුන් පමණක් නොව පොහොසතුන්ද ආහාරයට ගන්නේය. ලංකාවටද ලංකාවේ අවශ්යතාවන්ට ගැළපෙන රසවත් වර්ණවත් හා පෝෂ්යදායී ජාතික ආහාරවේලක් සඳහා අත්හදා බැලීම් කළ හැකිය. තෝරාගත් ආකෘතියක් ජනතාව අතර ජනප්රිය කළහැකි අතර ඒ මගින් දුප්පතුන්ටද ඉතා අඩු මිලකට මිලදී ගතහැකි හෝ සාදාගත හැකි ආහාරවේලක් හඳුන්වාදිය හැකිය.
හැටේ දශකය වනවිට අපට තිබුණු නිවාස ආකෘති ඉත සරල වූවා සේම ඒකාකාරීද විය. එහෙත් අද පොහොසත් අය පමණක් නොව, දුප්පත් අය පවා නිවසක් තනන විට නිවසේ ආකෘතියට වැදගත්කමක් ලබාදෙයි. ඒ අංශයේදී අප විශාල දියුණුවක් ලබා ඇතත් අපේ කුස්සිය හෝ ආහාර නිපදවීම ඊට සරිලන ලෙස වෙනස් වී හෝ නවීන වී නැත.
මීයන් ඉන්දියාවට කරන හානිය අතිවිශාලය. දලිත් ජනයා මීයන් ආහාරයට ගනී. මී මස් ඉතා රසවත් ආහාරයක් බවද කියනු ලැබේ. මීයන් පාලනය කිරීමේ මාර්ගයක් වශයෙන් මී මස් රටේ ජනයා අතර පමණක් නොව සංචාරක හෝටල්කරුවන් අතරද ජනප්රිය කරන වැඩසටහනක් මීට කලකට ඉහතදී ඉන්දියානු ආණ්ඩුවේ අනුග්රහය යටතේ දියත් කරන ලදි. මී මස් ආහාරයට ගැනීම ප්රචලිත කරන ජාතික වැඩසටහනකට සහභාගිවෙමින් ආහාර ඇමතිවරයා විශේෂ වශයෙන් පිළියෙල කරන ලද මී මස් ආශාවෙන් රසවිඳින ආකාරය ටෙලිවිෂන් චැනල් මගින් ඉන්දියානු ජනතාවට දැනගන්නට ලැබුණේය. වල් ඌරන්ගේ වන විශාල හානිය ලංකාවේ ගොවීන්ට විශාල ප්රශ්න අති කරන තත්ත්වයක් ඇති කර තිබුණි. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා යොදා ගැනීමට තිබුණු හොඳම උපක්රමය වල් ඌරු මස් ප්රවාහනය කිරීමට යොදා තිබුණු තහනම ඉවත් කිරීමය. එවිට වල්ඌරන් දඩයම් කොට විකුණන තත්ත්වයක් ඇතිවන්නේය. ඒ සඳහා තිබූ සම්බාධක ආණ්ඩුව ඉවත් කර ඇතත්, ඊට නිසි ප්රචාරයක් ලබානොදීමෙන් එයින් ලබාගත හැකිව තිබූ ඵලය උපරිම වශයෙන් ලබාගැනීමට සමත් වී නැත. ගොවීන්ට තුවක්කු පරිහරණයට පනවා තිබෙන තහංචිද දැන් ලිහිල් කළ යුතුය.