සටනකට පෙර ස්වයං විවේචනයකට

January 1, 2012
Publication:
Responding to a public statement by a group of Tamil intellectuals led by the Bishop of Mannar, Rayappu Joseph, which urges the Tamil National Alliance to reject the 13th Amendment, boycott talks and stay out of the Northern Provincial Council election, Ivan argues that they are again pointing Tamils down the road to ruin. Before any new struggle, he says, the Tamil leadership must honestly ask why the last one failed: the separate-state goal was a fantasy of the traditional leaders, the 1977 mandate was far from overwhelming, J.R. Jayewardene's 1978 Constitution met many language grievances, and Prabhakaran killed more Tamils than the security forces did. Like Gandhi's Congress or Martin Luther King's movement, Tamils should seek equal rights within a Sri Lankan nation and a democratic society.

මන්නාරම බිෂොප් ආචාර්ය රායප්පු ජෝසප් පියතුමා ප්‍රමුඛ දෙමළ උගතුන් කණ්ඩායමකගේ නමින්, දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා පළකර තිබෙන ප්‍රසිද්ධ නිවේදනය කියවීමෙන් පසු මා තුළ ඇතිවූයේ මහත් විමතියක් සේ ම කනස්සල්ලකි. මෙම නිවේදනයෙන් ඔවුන් දෙමළ සන්ධානයට ලංකාවේ දෙමළ ප්‍රශ්නය විසඳාගැනීමෙහිලා දෙමළ ජනතාව වෙනුවෙන් මගපෙන්වන්නන් පිරිසක් ලෙස පෙනී සිටීමට උත්සාහ දරා ඇතත්, එම ප්‍රකාශයට ඇතුළත් කරුණු අනුව, ඔවුන් වැරදි මගපෙන්වීමක් මිස දෙමළ සන්ධානයට හරි මගපෙන්වීමක් කරන්නට සමත් වී ඇති බවක් පෙනෙන්නේ නැත. ඔවුන් නැවත දෙමළ ජනතාවට පෙන්වාදෙමින් තිබෙන්නේ විනාශයේ මාවත මිස ගැලවීමේ මාවත නොවන බවද පෙනේ.

ප්‍රකාශකයන්ගේ ආස්ථානය

ඔවුන්ගේ මතය අනුව 13 වැනි සංශෝධනය පිළිනොගත යුතුය. අතරමැදි විසඳුමක් වශයෙන් පවා පිළිනොගත යුතුය. ඉඩම් සහ පොලිස් බලතල ඇතිව පවා පිළිනොගත යුතුය. දෙමළ ජනතාවට ලැබිය යුතු ස්වයංනිර්ණ අයිතියෙන් මෙපිට කිසිවක්ම භාර නොගත යුතුය. උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමද සාකච්ඡාවට ලක් නොවිය යුතුය. ඔවුන් ඒ මගින් අනියම් ලෙස කියන්නේ උතුරු නැගෙනහිර දෙපළාත ඇතුළත් දෙමළ නිජබිම පිළිබඳ සංකල්පය කොන්දේසි විරහිතව ආරක්ෂා කරගත යුතු සංකල්පයක් බවය. සමාන අයිතිවාසිකම් දෙමළ ජනතාවට වැදගත්වන්නේ ද්විතියීක වශයෙන් පමණය. වඩා වැදගත්වන්නේ ස්වයං පාලනයකි. 1976දී හා 1977දී දෙමළ නායකයන් ක්‍රියාකර ඇත්තේ එම දේශපාලන දැක්ම පදනම් කරගෙනය.

දෙමළ සන්ධානය ඒ දැක්මෙන් පිට නොපැනිය යුතුය. ආණ්ඩුව දෙමළ සන්ධානය සමග කරන සාකච්ඡා සඳහා පදනම වශයෙන් ගෙන තිබෙන්නේ 13 වන සංශෝධනය වන නිසා ආණ්ඩුව සමග සාකච්ඡා කිරීම ඵලරහිතය. දෙමළ සන්ධානය ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් වැළකී සිටිය යුතුය. 2012දී පවත්වන්නට යන උතුරු පළාත් සභාව සඳහා දෙමළ සන්ධානය තරග නොකළ යුතුය. දෙමළ සන්ධානය එම මැතිවරණයට තරග කළහොත් 13 වන සංශෝධනය ප්‍රශ්නයට තිබෙන විසඳුම ලෙස ඉන්දියාව හා එක්සත් ජනපදය පිළිගනු ඇත. එවිට 13 වන සංශෝධන රාමුවෙන් ඔබ්බට යෑමට ඔවුන්ද එකඟ නොවනු ඇත. දෙමළ සන්ධානය උතුරු පළාත් සභාවට තරග නොකළ යුතු අතර රජයට පක්ෂපාත දෙමළ කණ්ඩායමට එහි බලය ලබාගැනීමටද ඉඩ නොදිය යුතුය. මෙම ප්‍රකාශනයට අත්සන් කළ උගතුන් කණ්ඩායම දෙමළ ජනතාවගේ නාමයෙන් දෙමළ සන්ධානයට ලබාදී තිබෙන මගපෙන්වීම් ඒවාය.

ආපසු හැරී බැලීමක ඇති වැදගත්කම

ඕනෑම පරාජයකින් පසුව නැවත අලුත් සටනකට යන්නට පෙර පරාජය වූයේ ඇයිද කියන මූලික ප්‍රශ්නය අවංක හා සාධාරණ ලෙස සලකා බැලිය යුතුය. එය හරි ඉදිරි දැක්මක් සඳහා නැතුවම බැරි කොන්දේසියකි. එහෙත් දෙමළ ජනතාවට මගපෙන්වන්නට හදන මෙම උගතුන් පිරිස එවැනි අවංක හා සාධාරණ ආපසු හැරී බැලීමක් කළ අය නොවන බව ඔවුන් පළකර තිබෙන ප්‍රකාශයේ එන කරුණු අනුව පමණක් වුවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ඊලාම් රාජ්‍යයක් සඳහා ප්‍රභාකරන් ඇතූළත් දෙමළ සටන්කාමීන් කරන ලද සටනේ පරාජය කෙරෙහි බලපෑ ලොකුම හේතුව ලෙස සැලකිය හැක්කේ, ඔවුන්ට ජයගත නොහැකි මනෝරාජික දේශපාලන ඉලක්කයක් මිස ජයගත හැකි යථාර්ථවාදී දේශපාලන ඉලක්කයක් නොතිබීමය. ඊලාම් රාජ්‍යයක් පිළිබඳ ඉලක්කය ප්‍රභාකරන්ගේ නිර්මාණයක් නොව සාම්ප්‍රදායික දෙමළ නායකයන්ගේ නිර්මාණයකි.

නිදහසින් පසු සිංහල පාලකයන් භාෂාව, සංස්කෘතිය, රැකියා, අධ්‍යාපනය හා දේශපාලන යන අංශවලදී දෙමළ ජනතාව පීඩාවට පත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව සැබෑය. ඔවුන්ට තිබුණු එම දුක්ගැනවිලි විසඳා ගැනීම සඳහා ඔවුන් විසින් විටින් විට දියත් කරන ලද සාමකාමී සටන් යටපත් කර තිබෙන බවද සැබෑය. එහෙත් ඒ වූ පමණින් වෙනම රාජ්‍යයක් ඇති කරගත යුතුයි කියන අදහස හා ඒ අරමුණ ආයුධ සන්නද්ධ අරගලයක් මගින් දිනාගත යුතුයි කියන අදහස නිවැරදි හෝ සාධාරණවන්නේ නැත.

වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ ප්‍රවාදය රටේ පාලන බලය සිංහල නායකයන් අතට පත්වීමෙන් පසුව ඇතිවූවක් ලෙස සැලකිය නොහැකිය. දෙමළ ජනතාව කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවන යුගය ආරම්භ වන්නට පෙරද සමහර වර්ගවාදී දෙමළ උගතුන් අතර ඒ මතය තිබුණි. එහෙත් ඊට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් තිබුණේ නැත. එහෙත් පීඩාකාරී යුගය ආරම්භ වී එම තත්ත්වය වර්ධනය වන්නට වූ විට ඒ මතය දෙමළ ජනතාවට පහසුවෙන් අලෙවි කළ හැකි මතයක් බවට පත්වූවේය. ඉතිහාසයේ අරුණලු අවධියේ සිට ශතවර්ෂ ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ රාජ්‍යයක් තිබුණේයැ“යි කියන කල්පිතය සේ ම, වර්තමානයේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය දෙමළ රාජ්‍යයක් ඇතිකර ගැනීම වේය යන කල්පිතයද ගැඹුරු හැදෑරීමකින් තොරව ප්‍රකාශ කරන ලද මන#කල්පිතයක් ලෙස සැලකිය හැකිය. සටන්කාමී මාවතකට තල්ලුවීයමින් සිටින දෙමළ තරුණ පරපුර සිය ග්‍රහණයේ තබාගැනීම සඳහා සටන්කාමී පෙනුමක් ඇති නව කල්පිතයක් සොයා ගැනීමට සාම්ප්‍රදායික දෙමළ නායකයන්ට අවශ්‍ය වී තිබුණු අතර, ඒ සඳහා ඔවුන්ට තෝරාගැනීමට තිබුණු හොඳම කල්පිතය වූයේ වෙනම රාජ්‍යයක් ඇති කරගැනීම පිළිබඳ කල්පිතයයි. ඔවුන් එය ප්‍රකාශයට පත් කළේ ඒ සඳහා කැරෙන සටනක් ඇතිවුවහොත් ඒ නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හරි ගණන් බැලීමක් කිරීමෙන් තොරවය. වෙනම රාජ්‍යයක් සඳහා නිශ්චිත භූමි ප්‍රදේශයක් අවශ්‍ය වූ අතර එම භූමි ප්‍රදේශයට කියන අයිතිවාසිකම් යුක්තිසහගත කිරීම සඳහා ඉතිහාසයේ අරුණලු යුගයේ සිට ශතවර්ෂ ගණනාවක් පෘතුගීසි යුගය ආරම්භ වන තෙක් එම ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත් වූ බව හා එම ප්‍රදේශ දෙමළ රජවරුන් පාලනය කළ බව ප්‍රකාශ කළේය. මෙම කල්පිතය ප්‍රකාශයට පත් කරන ලද්දේ ද නිසි ලෙස ඓතිහාසික කරුණු හැදෑරීමකින් තොරවය. එම කල්පිතය සත්‍යයක් නොවන බව හා එහි ඇත්ත තත්ත්වය කුමක්ද යන්න ගැන ලලිත් අතුලත්මුදලි විසින් ඉංග්‍රීසි යුගයේ පළමු ජනසංගණන වාර්තා මගින් ලබාගත් තොරතුරු මත පදනම් වූ පත්‍රිකාවක් මගින්ද, ජී.එච්. පීරිස් හා කේ.එම්.ද සිල්වා යන මහාචාර්යවරුන් ඒ ගැන ලියන ලද නිබන්ධන දෙකක් මගින් ද සනාථ කර තිබෙන නිසාත් ඒ අදහස අද දක්වාත් කිසිවකු විසින් හෝ ඛණ්ඩනය කර නැති නිසාත් මා ඒ ගැන කිසිවක් මේ අවස්ථාවේදී ලියන්නට යන්නේ නැත. සාම්ප්‍රදායික නායකයන් අතින් සිදුවූ ඊළඟ බරපතළම වරද වනුයේ ඊලාම් රාජ්‍යයක් දිනාගැනීම සඳහා කරන අරගලයක් ඇති කළ හැකි ප්‍රතිවිපාක මොනවාද යන්න ගැන හරි ගණන් බැලීමක් සිදුනොකිරීමය.

හැරී බැලීමකට තිබුණු අවස්ථා අත්හැරීම

වෙනම රාජ්‍යයක් සඳහා වන ආයුධ සන්නද්ධ අරගලයකට යන්නට ප්‍රථම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඊලාම් රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටියේය. එහෙත් ඔවුන් අපේක්ෂා කළ ජනවරම ඔවුන්ට ලැබුණේ නැත. එම මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට උතුරෙන් ලබාගත හැකිවූයේ පාවිච්චි කළ ඡන්ද 406257කින් ඡන්ද 278293ක් හෙවත් 68.5%ක් පමණය. නැගෙනහිරින් ලබාගත හැකිවූයේ පාවිච්චි කළ ඡන්ද 335401කින් ඡන්ද 92163ක් හෙවත් 27.5%ක් පමණය. මෙම පළාත් දෙක එකට ගත්විට පාවිච්චි කර තිබුණු මුළු ඡන්ද සංඛ්‍යාව වී තිබුණු 741658කින් ලබාගත හැකිව තිබුණේ ඡන්ද 370,456ක් හෙවත් පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 49.94%ක් පමණය. සාම්ප්‍රදායික දෙමළ නායකයන් ප්‍රඥාවන්ත දේශපාලන නායකයන් පිරිසක් වී නම් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස ගැන නැවත සිතා බැලීමක් කිරීමට 1977ලබාගත් එම ප්‍රතිඵලය වුවද ප්‍රමාණවත්ය.

ඉන්පසු එම මැතිවරණයෙන් බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ඔහු ඇති කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබුණු දෙමළ දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දුන්නේය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගත්තේය. (19 වැනි වගන්තිය) දෙමළ භාෂාව උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව බවට පත් කළේය. (22 (1) වගන්තිය) ශ්‍රී ලංකාව මුළුල්ලේම අධිකරණවල භාෂාව සිංහල හා දෙමළ බවට පත්කරන ලද අතර උතුරු නැගෙනහිර පළාත්වලදී අධිකරණයේ පරිපාලන භාෂාව දෙමළ බවට පත් කළේය. (24 (1) වගන්තිය) ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයන්ට රජයේ ඕනෑම නිලධාරියකු සමග ජාතික භාෂා දෙකෙන් කැමති භාෂාවකින් ලියුම් ගනුදෙනු කිරීමේ අයිතිය ලබාදෙන ලදි. (21 (21 වගන්තිය.) අධ්‍යාපනයේදීද තමන් කැමති ජාතික භාෂාවකින් අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය ලබාදෙන ලදි. (21 61) වගන්තිය) ජාතික භාෂා සඳහා පහසුකම් සැපයීමේ වගකීම රජයේ වගකීමක් බවට පත් කරන ලදි. (25 වගන්තිය) පුරවැසියකු ජනවර්ග අනුව, ආගම, කුලය, ලිංගිකත්වය හා දරන දේශපාලන අදහස් අනුව හෝ උපන් ස්ථානය අනුව වෙනස්කම්වලට ලක් කිරීම වරදක් වන බවට ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. (12 (2) වගන්තිය) 14 (1) වගන්තියෙන් විස්තර කැරෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කොට සහන ලබාගැනීමේ ක්‍රමයක්ද (17) වගන්තියට) ඇතුළත් කරන ලදි.

මෙම ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන අභිනවයෙන් ඇති කළ දේශපාලන ක්‍රමය හා සම්ප්‍රදායයන් අවලස්සන වුවද සුළු ජනවර්ග අයිතිවාසිකම් පිළිබඳ විෂයේදී ඔහු ඇති කළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉදිරිගාමී ඒවා ලෙස සැලකිය හැකිය. ජේ.ආර්. ජයවර්ධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට අදාළව ඇති කර තිබුණු වෙනස්කම් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස නැවත සලකා බැලීමකට ලක් කළ යුතුව තිබුණු අවස්ථාවක් වුවද ඒ වන විට සාම්ප්‍රදායික දෙමළ නායකයන් සිටියේ එම යථාර්ථය තේරුම් ගැනීමේ හැකියාවක් නැති තරමට ඊලාම් සිහිනයෙන් මත්වූ තත්ත්වයකය.

ප්‍රභාකරන් රඟපෑ භූමිකාව

අවසානයේ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනය ක්‍රියාවට නැගීමේ ඒකාධිකාරී අයිතිය හිමිකර ගත්තේ ප්‍රභාකරන්ය. ඒ අරමුණ දිනාගැනීම සඳහා කරන ලද සන්නද්ධ අරගලය පොදුවේ රටට පමණක් නොව දෙමළ ජනතාවට ඇති කළ විනාශය අතිමහත්ය. ඔහු ඊලාම් අරගලය තුළ සිටි ප්‍රතිපක්ෂවල පැවැත්ම නැති කරන ලද්දේ එම පක්ෂවල නායකයන් හා ක්‍රියාධරයන් දහස් ගණනක් මරණයට පත්කිරීමෙනි. ඒ අතර ඔහු සාම්ප්‍රදායික දෙමළ නායකයන්ද මරා දැම්මේය. මගේ මතය අනුව ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය අතින් මරණයට පත්වූ දෙමළ ජනතාවගේ සංඛ්‍යාව ආණ්ඩුවේ ආරක්ෂක හමුදා අතින් මරණයට පත් දෙමළ ජනතාවගේ සංඛ්‍යාවට වඩා වැඩිය. අවසානයේ ඔහු දෙමළ ජනතාවගේ හොඳම සාරය ලෙස සැලකිය හැකි සියලුදෙනාම පාහේ මරා දැම්මේය.

ප්‍රභාකරන් ස්වකීය ජනතාවට එරෙහිව අනුගමනය කළ එම විනාශකාරී ක්‍රියාදාමයේදී වර්තමානයේ දෙමළ ජනතාවගේ මගපෙන්වන්නන් බවට පත්වීමට උත්සාහ කරන ඒ සඳහා නිකුත් කර තිබෙන ප්‍රකාශනයට අත්සන් තබා ඇති කවර පුද්ගලයකුවත් ප්‍රභාකරන් විසින් කරමින් තිබූ වැරදි නිවැරදි කිරීමට උත්සාහ කර නැත. එක්කෝ ඔවුහු නිශ්ශබ්දව සිටියෝය. නැතිනම් ප්‍රභාකරන්ගේ එම විනාශකාරී ක්‍රියාදාමයට උඩගෙඩි දුන්නෝය.

බරපතළ වැරැද්දක් සිදුවී තිබෙන අවස්ථාවකදී පවා, හානියක් සිදුවී තිබෙන පාර්ශ්වයේ කිසියම් පිරිසකට ප්‍රතිපක්ෂයේ මිනිසුන්ට අතිරේක වශයෙන් තමන්ගේ මිනිසුන් මරා දැමීමේ අයිතියක් හිමිවන්නේ නැත. ඇමරිකාවේ කල්ලන්ට ලංකාවේ දෙමළ ජනතාවට සිදුවී තිබුණු අසාධාරණයට වැඩි අසාධාරණයක් සිදුවී තිබුණි. සාමකාමී අරගලයක් වෙනුවට ආයුධ සන්නද්ධ අරගලයක අවශ්‍යතාව ගැන කතා කරන පිරිසක් කල්ලන් අතර සිටියද එවැනි අයට ප්‍රධාන ප්‍රවාහය බවට පත්වන්නට ඉඩ ලැබුණේ නැත. ඇමරිකාවේ කළු ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන නායකයා වූ මාටින් ලූතර් කිං වෙඩි තබා මරා දැමීමෙන් පසුව පවා ඔවුන් ආයුධ අතට ගන්නා තැනකට ගියේ නැත. ඔවුහු තමන්ගේ සාමකාමී අරගලය ධෛර්යවන්ත ලෙස ඉදිරියට ගෙනයමින් අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමට සමත් වූහ. අප පළමු කොට සාමකාමී අරගලයක නිරතවූවත් ඒ මාවතේ ඉදිරියට යන්නට අපට ඉඩ නොදුන් නිසා අපට සන්නද්ධ අරගල මාවත තෝරාගැනීමට සිදුවීයැ”යි කියන ඇතැම් දෙමළ නායකයන් කියන කතාවද සැලකිය යුත්තේ අර්ථවිරහිත කතාවක් ලෙසය. ඒ කාලයේදී ඔවුන් කරන ලද සාමකාමී සටන්වලට එරෙහිව පීඩාකිරීම් සිදුවූ බව සත්‍යයකි. එහෙත් ඒ කාලයේ ඒ සටන්වල නිරතවූ කිසිවකු මරණයට පත්කිරීමක් සිදු නොවීය. 1961දී පෙඩරල් පක්ෂය ක්‍රියාවට නගන ලද සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයේදී, එම වැඩසටහන එක දිගට දින 54ක් ක්‍රියාවට නැගීමෙන් පසුව චෙල්වනායගම් ඇතුළු එම ව්‍යාපාරයේ 51 දෙනෙක් අත්අඩංගුවට ගෙන දින 170ක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තබා ගන්නා ලදහ. ඒ සමග සාමකාමී සටන් ව්‍යාපාරයකට ශ්‍රී ලංකාවේ ඉඩක් නැතැ”යි කියන හැඟීම ඔවුහු ඇති කර ගත්තෝය.

හරි දැක්මක් ඇතිකර ගැනීමේ වැදගත්කම

ගාන්ධි ඇතුළු ඉන්දීය කොංග්‍රසයේ නායකයන් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවේදීම සාමකාමී සටනකට ඉඩක් නැතැ”යි කියන හැඟීම ඇති කරගත්තේ නැත. කොතරම් වාර ගණනක් අත්අඩංගුවට ගත්තද ඔවුන් සිය සාමකාමී සටන් ව්‍යාපාරය අත්හැරියේ නැත. ගාන්ධි ඇතුළු ඉන්දීය කොංග්‍රස් නායකයන්ට තිබූ අවංකභාවය, දේශපාලන පරිණතභාවය හා ධෛර්යය ලංකාවේ දෙමළ නායකයන්ට තිබුණේ නම් මේසා විශාල විනාශයකින් තොරව දෙමළ අයිතිවාසිකම් දිනාගන්නට ඉඩ තිබුණේය.

දෙමළ නායකයන් සේම, දෙමළ ජනතාවද, ඇතිවී තිබෙන මහා විනාශයකින් පසුව යහපත් ඉදිරි ගමනකට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් ඇති කරගත යුතුව තිබෙන්නේ පරාජිත දෙමළ අරගලය පිළිබඳ අවංක ස්වයං විවේචනයකට යොමුවීමෙනි. ලංකාවේ දෙමළ ජනතාව සිංහල පාලකයන්ගේ අතපල්ලෙන් වැටෙන කටු කන තත්ත්වයකට පත්විය යුතු නැත. ගෞරවයෙන් ජීවත්විය හැකි තත්ත්වයක් ඔවුන් දිනාගත යුතුය. එහෙත් ඕනෑම අයිතිවාසිකම් සටනක් සඳහා හරි දැක්මක් ඇති කරගැනීම අත්‍යවශ්‍යය. ඒ දැක්ම අවංක හා සත්‍යගරුක පදනමක් මත පිහිටා ඇති කරගත යුතුය. ලංකාවේ දෙමළ අරගලය ඛේදාන්තයක් බවට පත්වූයේ අවංක හා සත්‍ය කරුණු පදනම් කරගත් හරි දැක්මක් ඊට නොතිබුණු නිසාය. දැන් හරි දැක්මක් ඇති කරගත හැකිවනු ඇත්තේ එම අරගලය දෙස අවංක ස්වයං විවේචනයක යෙදීමෙනි. ඊට අතිරේකව ඔවුන් සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත් කරුණක් මෙසේය.

වැරදුණේ කොතැනද?

ලංකාවට සේ ම අසල්වැසි ඉන්දියාවටද ජාතික රාජ්‍යයක් සේ ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් උරුම වූයේ බ්‍රිතාන්‍යයන්ගෙනි. නිදහසින් පසු ජාතික රාජ්‍යයේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට එක්සත් ජාතියක් ඇති කරගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම නැතුවම බැරි වැදගත් කොන්දේසියක්ව තිබුණි. ගාන්ධි ඇතුළු ඉන්දීය කොංග්‍රස් නායකයන් වර්ගය, ආගම හා කුලය අනුව බෙදී සිටි ඉන්දීය ජනතාව, එක ඉන්දීය ජාතියක් ලෙස එකට එකතු කළේ, තමන්ගේ අරගලය, නිදහස දිනාගැනීමේ අරගලයට පමණක් සීමා නොකොට ජාතිය බෙදා වෙන් කරන සාධක ලෙස ක්‍රියාකරමින් තිබූ ආගම් භේදයට, කුල භේදයට හා වර්ග භේදයට එරෙහිව කරන බලවත් මතවාදී අරගලයක් මගිනි. ඒ ඔස්සේ ඉන්දීය ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගත්තේය. ඒ නිසා නිදහස දිනාගැනීමෙන් පසුව ජාතික රාජ්‍යයේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමේ හැකියාව ඉන්දියාවට ලැබුණේය.

එහෙත් ලංකාව නිදහස ලැබීමෙන් පසු ඉදිරියට ගියේ ජාතික රාජ්‍යයේ පැවැත්ම හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශ්‍රී ලාංකික ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය. එම කොන්දේසි දෙකට ලැබෙන වැදගත්කම ගැන සිංහල හෝ දෙමළ නායකයන්ට හරි අවබෝධයක්ද නොතිබුණි. ජනවර්ග අතර සේ ම ජනවර්ග තුළද තිබෙන භේද උග්‍රවී කෙළවරක් නැති තරමට ලේ හලන තත්ත්වයක් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ ලේ හැලිල්ල දෙමළ උතුරට පමණක් සීමාවූ දෙයක් නොවන බවද දෙමළ ජනතාව තේරුම් ගත යුතුය. ඒ දේ සිංහල දකුණේද සිදුවිය. එම අශෝභන තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ නිදහස ලබාගැනීමේදී හෝ ඉන්පසුව සම්පූර්ණ නොකළ කොන්දේසි දෙක (ශ්‍රී ලාංකික ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම) දැන්වත් සම්පූර්ණ කරගන්නා ක්‍රියාමාර්ගයකට යොමුවීමෙනි. වර්ග අතර පමණක් නොව, වර්ග තුළද පුපුරනසුලු ගැටුම් ඇති කිරීමට හේතුවන බෙදීම් ඇති බව අමතක නොකළ යුතුය. ඒ දෙක අතර අන්තර් සම්බන්ධයක් ඇති බවද තේරුම් ගත යුතුය. වර්ග භේදය, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන සමාජ පිළිගැනීම අහෝසි කොට ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් ඇතිව ගෞරවයෙන් ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් ඇති කරගැනීම පිණිස ශ්‍රී ලාංකික ජාතියක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හා ඒ සාධක දෙකේ අවශ්‍යතාවන්ට ගැළපෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගන්නේ කෙසේද යන්න වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය.

(මෙම ලිපිය දෙමළ ජනතාවගේ අවධානය පිණිස දෙමළ භාෂාවෙන් පළවන පුවත්පතක් සඳහා ලියන ලද්දකි. එය රාවයේ පළ කරන ලද්දේ සිංහල පාඨකයන්ගේද දැනගැනීම සඳහාය.)