එක පැය කිහිපයක් තුළ හතළිස් දහසකගේ ජීවිත අහිමි කොට දශ ලක්ෂයක් ජනයාට උන්හිටි තැන් අහිමි කළ සුනාමි ඛේදවාචකයේ වර්ෂ පූර්ණය යෙදි ඇත්තේ දෙසැම්බර් 26 වැනිදාට ය.
එම විපතෙන් මියගියවුන්ට යළි පණ දිමේ හැකියාවක් නැතත්, මිය නොගොස් විපතට පත්ව සිටින ජනයාගේ ජීවිත හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමේ යුතුකමක් හා වගකීමක් රටට ඇත්තේ ය. විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්ය කරන සියලු ආධාර අපට ජාත්යන්තර වශයෙන් ලැබී තිබියදිත්, නිසි වේගයකින් ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට රට තවමත් සමත් වී නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පළකර තිබෙන වාර්තාවක් අනුව සුනාමියෙන් ඇතිවූ හානි නැවත යථා තත්ත්වයට පත් කිරීමට ශ්රී ලංකාවට අවශ්ය වියදම ඩොලර් බිලියන 2.15කි. අන්තර්ජාතික ප්රජාව ශ්රී ලංකාවට සහතික වී ඇති ආධාර ප්රමාණය ඩොලර් බිලියන 2.95කි. මේ වනවිටත් ශ්රී ලංකාව ඉන් ලබාගෙන ඇති මුදල් ප්රමාණය ඩොලර් බිලියන 2.24කි. ඇත්ත අවශ්යතාවන්ගේ ප්රමාණයටත් වඩා ආධාර ලබාගැනීමට ශ්රී ලංකාව සමත් වී ඇතත්, විපතට පත් ජනයාගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේ ක්රියාවලියේ දී ශ්රී ලංකාව සිටින්නේ ඉතාමත් දුර්වල හා අකාර්යක්ෂම තැනක ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පළකර තිබෙන ගණන් හිලව් අනුව මුළුමනින් විනාශ වූ හා විශාල වශයෙන් හානියට පත් නිවාස සංඛ්යාව 103,836කි. අවුරුද්දක් සම්පූර්ණ වී තවමත් ශ්රී ලංකාවට මුළුමනින් තනා නිම කිරීමට හැකිවී ඇත්තේ නිවාස 6179ක් පමණ ය. එය මුළු අවශ්යතාවන්ගෙන් 6%කටත් වඩා අඩු ප්රමාණයකි. වසරකට ඉදිකළ හැකි නිවාස සංඛ්යාව එය නම් මුළු අවශ්යතාව සම්පූර්ණ කිරීමට ගතවිය හැකි කාලය වසර 17 කි.
මෙය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. විනාශ වූ සියලු නිවාස නැවත ඉදිකිරීමට අවශ්ය සියලු වියදම් ලැබී තිබියදිත් රටක් වශයෙන් අප ඉන්නේ එතරම් පසුගාමී හා අකාර්යක්ෂම තත්ත්වයක නම් එම තත්ත්වය ගැන අපි ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු ය.
සුනාමියෙන් නිවාස අහිමි වී සිටින සියලු දෙනාට ඉදිරි වසර අවසන්වීමට පෙරවත් නිවාස ඉදිකර දෙන කඩිනම් වැඩපිළිවෙළක් වෙත රජය යොමුවිය යුතුය. ඔවුන් මුළුමනින් අමතක කොට රටට ඉදිරියට යා නො හැකි ය. තමන්ගේ විනාශ වූ නිවාස ඉදිකර ගැනීමට අවශ්ය මුදල් විපතට පත්ව සිටින ජනයාට ම කඩිනමින් ලබාදෙන පිළිවෙතක් මගින් නිවාස ඉදිකිරීමේ ක්රියාවලිය වේගවත් කළ හැකි ය.
සුනාමියෙන් විපතට පත් ජනයාට සහන සලසන ආයතනවලට රාජ්යයන් ලබා දී තිබෙන අනුග්රහයන් පිළිබඳව ඉන්දියාවේ ෆ්රිට්ස් (Fritz) ආයතනය කර තිබෙන අධ්යනයකට අනුව ඉන්දියානු ආණ්ඩුවට සාපේක්ෂව ශ්රී ලංකා ආණ්ඩුව සිටින්නේ අයහපත් තත්ත්වයක ය. මේ තත්ත්වය ද වහා වෙනස් විය යුතු ය. විපතට පත් ජනයාගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ප්රධාන වගකීම ඇත්තේ ආණ්ඩුවට වන නිසා ඒ අරමුණ ජයගැනීම සඳහා ක්රියා කරන සංවිධානවලට උපරිම ලෙස සහාය දෙන පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කළ යුතු ය. එළඹෙන වසර සුනාමියෙන් විපතට පත් ජනයාගේ ජීවිත යථා තත්ත්වයට පත් කෙරෙන වසර ලෙස නම් කොට ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම ප්රමුඛ කාර්ය භාරයක් බවට පත්කර ගත යුත
විනාශයක් ඇතිවනු
නො වැළැක්විය හැකි ය 2006-01-08.
ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ ආයුධ නැතිව කරන දේශපාලනයත් එල්ටීටීඊය ආයුධ ඇතිව කරන දේශපාලනයත් බොහෝ දුරට එක සමාන ය. ආයුධ අත ඇති ව සිටින එල්ටීටීඊ ය තමන්ගේ මිලිටරි රාජ්ය යුද්ධයකට තල්ලු කරමින් සිටින අතර, ජවිපෙ ද ආයුධ අත නැතත්, ශ්රී ලංකා ආණ්ඩුව අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් යටතේ එම රාජ්ය එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට තල්ලු කරමින් සිටින්නේ ය. ජේවීපී ය ආණ්ඩුවේ ඍජු කොටස්කරුවකු බවට පත්ව නැතත්, ආණ්ඩු පක්ෂයේ බහුතර බලයේ පැවැත්ම රැඳී ඇත්තේ ඔවුන් අතේ ය. අනෙක් අතට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය පිටුපස සිටි ප්රධාන බලවේගය ජවිපෙ වීම හේතු කොටගෙන ජවිපෙ මුළුමනින් නො සලකා ක්රියාකිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ද නැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජයග්රහණයත් සමග වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් තමන්ට වාසිදායක බලතුලනයක් සහිත පාර්ලිමේන්තුවක් දිනාගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබෙන්නට ඉඩ තිබුණේ ය. එහෙත් ජවිපෙ ජනාධිපතිවරයාට වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ද යන්නට ඉඩ නුදුන්නේ ය. ඒ නිසා වාසිදායක පාර්ලිමේන්තුවක් දිනාගනිමින් තම පදනම ශක්තිමත් කරගැනීමට ජනාධිපතිවරයාට තිබුණු හැකියාව ද අහිමි වී ඇත්තේය. ජවිපෙ න්යාය පත්රයට පමණක් සීමාවී රටක් පාලනය කළ නොහැකි බව ජනාධිපතිවරයා දනී. එහෙත් එක්තරා දුරකට මිස මුළුමනින් තමන්ගේ ම න්යාය පත්රයක් මත ක්රියාකිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැත. එවැනි වැඩපිළිවෙළකට ජවිපෙ ඉඩ දෙන්නේ නැත.
ජනාධිපතිවරයාගේ වුවමනාවන් හා ජවිපෙ වුවමනාවන් අතර පවත්නා මෙම පරස්පරය මීට පෙර ජනාධිපතිනිය හා ජවිපෙ අතර තිබූ පරස්පරයේ දී මෙන් තවමත් පසමිතුරු ස්වභාවයක් ගෙන නැතත්, ඉක්මනින් හෝ ප්රමාද වී එම පරස්පරය පසමිතුරු ස්වභාවයක් දක්වා වර්ධනයවීමේ හැකියාව පවතී. එසේ නොවනු ඇත්තේ ජනාධිපතිවරයා ජවිපෙ න්යාය පත්රයට සීමාවී ක්රියා කරන තැනකට යයි නම් පමණ ය. එහෙත් එවැනි තැනකට යන්නට ද ජනාධිපතිවරයාට හැකියාවක් නැත.
වාර්ගික අර්බුදයේ දී බටහිර බලවතුන් සමග එකට එකතු වී ක්රියාකරන පිළිවෙතක් වෙනුවට ඉන්දියාව සමග එකට එකතු වී ක්රියාකරන පිළිවෙතක් වෙනුවෙන් ජවිපෙ පෙනී සිටිය ද දැන් එය ද ප්රායෝගික නොවන සිහිනයක් බවට පත්ව තිබේ. ඉන්දියාවට එල්ටීටීඊය සමග මතභේද තිබුණ ද, දෙමළ ජනයාගේ අභිලාෂයන් නොසලකා ක්රියා කරන තැනකට යන්නට ඉන්දියාවට හැකියාවක් නැත.
එල්ටීටීඊ ය සිටින්නේ ද තනිවී තමන් අත තිබෙන ආයුධ කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්රියා කරන තැනකය. යාපනය නැවත සිය අණසක යටතට ගැනීමට එල්ටීටීඊයට අවශ්ය වී තිබෙන අතර, මෝසම් වැසි කාලය අවසන් වීමත් සමග යාපනය අල්ලා ගැනීම සඳහා වන තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වනු ඇති බවක් ද පෙනෙන්නට තිබේ. යාපනයේ සිටින හමුදාවන්ගේ සංඛ්යාව 40,000ක් පමණ වන අතර, ඔවුන්ගේ අවශ්යතාවන් සැපයීමට සිදුවී තිබෙන්නේ ගුවනින් හෝ මුහුදෙනි. මෙම සැපයුම් මාර්ග දෙක කපාහැරිම මගින් යාපනයේ සිටින හමුදාව හිර කිරීම එල්ටීටීඊ උපාය මාර්ගය වී තිබෙන බව ද පෙනේ. යාපනය අල්ලා ගැනීමට දරන උත්සාහය තමන්ගේ උත්සාහයකට වඩා යාපනයේ ජීවත් වන දෙමළ ජනතාවගේ උත්සාහයක් ලෙස පෙනෙන්නට සලස්වා ඊට එරෙහිව ආණ්ඩුව පහර දෙන තැනකට ගියහොත් දකුණට බලපාන ආකාරයේ දරුණු පහරදිමක් මගින් සිය අරමුණ ජයගැනීම එල්ටීටීඊයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ වී තිබෙන බව ද පෙනේ.
ඇතිවන්නට යන මෙම මහා ගැටුම හා ඒ නිසා ඇතිවිය හැකි විනාශය වළකා ගැනීමේ හැකියාවක් ඇති බවක් පෙනෙන්නට නැත. මෙම අර්බුදයේදි පාර්ශ්ව දෙකම ඉන්නේ අන්තවාදි ස්ථාවරවලය. ජනාධිපතිවරයා යුද්ධයක් ඇතිවනවාට කැමති නැති විය හැකි වුවත්, ඉක්මනින් සාම සාකච්ඡා ආරම්භ කරන වැඩපිළිවෙළකට ජේවීපීය හා හෙළ උරුමය ඉඩ දෙන බවක් පෙනෙන්නට නැත. එක්කෝ ජනාධිපතිවරයා තමන්ගේ ජයග්රහණයට ඇප කැපවී ක්රියා කළ ජවිපෙ අතහැර එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියට යා යුතුය. නැතිනම් ජවිපෙ දේශපාලන සිරකරුවකු වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මග යා යුතුය. ජනාධිපතිවරයාට ප්රායෝගිකව ජවිපෙ මග ගත නොහැකිවා සේ ම ජවිපෙ අතහැර එජාපය සමග ඉදිරියට යෑමේ හැකියාවක් ද නොපවතී.
මෙම තත්ත්වය යටතේ ඇතිවන්නට යන විනාශය වැළකීමේ හැකියාවක් ද නැත. වෙන්න නියමිතව තිබෙන දේවල් කිසිදු පාලනයකින් තොරව ඒවාටම අවශ්ය ආකාරයටම සිදුවනු ඇතැයි සිතිය හැකිය. එහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ මහා පරිමාණයෙන් ලේ වැගිරෙන තත්ත්වයක් රටේ ඇතිවීමය. එම තත්ත්වය ජන ජීවිතය, දේශපාලනය හා ආර්ථිකය කෙරෙහි විනාශකාරි ලෙස බලපානු ඇතැයි සිතිය හැකිය.
රනිල් වික්රමසිංහ මහතා සේම චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ද බලා සිටින බව පෙනෙන්නේ ඒ මොහොත එළඹෙන තෙක්ය. විනාශයේ අළු දූවිලි මත එකට එක්ව නැගී සිටීම ඒ දෙදෙනාගේම උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ.
චන්ද්රිකා කුමාරතුංග මහත්මියට පමණක් නොව රනිල් වික්රමසිංහ මහතාට ද එල්ටීටීඊය සමග මිත්රශීලී ගනුදෙනුවකට යාමේ ඉඩක් ඇත්තේම නැති තරම්ය. ඇතිවන්නට යන විනාශයට මේ දෙදෙනා ද හරි හරියට වගකිව යුතුය. රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන අවස්ථාවක ජනාධිපතිනිය ජවිපෙ සමග එකට එකතු වී එම ආණ්ඩුව හිතුවක්කාරි ලෙස විසුරුවා හැරියාය. ජවිපෙ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්වීම ආරම්භ වන්නේ ඒ ක්රියාවත් සමගය. ඒ තත්ත්වයට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමට අවශ්ය ආත්ම විශ්වාසයක් රනිල් වික්රමසිංහ මහතාට නොතිබුණු අතර, ඉන්පසු ජනාධිපතිවරණයේදි එල්ටීටීඊය සමග අවශ්ය තරම් සහයෝගයකින් කටයුතු කිරීමට රනිල් වික්රමසිංහ මහතා අසමත්වීම නිසා ජයගත හැකිව තිබූ ජනාධිපතිවරණයක් පරාජය වූවා පමණක් නොව, යම් තරමකට හෝ මටසිළුටු තත්ත්වයකට එමින් සිටි එල්ටීටීඊය ද නැවත පිස්සු නටන අන්තයකට තල්ලු කිරීමට ද හේතුවිය. ශ්රී ලංකාව ගොඩගත නොහැකි අර්බුදයකට තල්ලු කිරීමේ වගකීම චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ද, ඒ ක්රියාවලිය පරිසමාප්ත කිරීමේ වගකීම රනිල් වික්රමසිංහ මහතා භාරගත යුතුය.