ජනාධිපතිවරණයට තව ඇත්තේ සති තුනක් තරම් කාලයක් පමණය. ජනාධිපතිවරණ යෙන් ජයගන්නා පක්ෂය කිසියම් දිර්ඝ කාලයක් ජයග්රාහී තත්ත්වයක පසුවනු ඇති අතර, පරාජිත පක්ෂයට ඒ සමාන කාලයක් පරාජිත තත්ත්වයෙහි පසුවීමට සිදුවනු නොවැළැක්විය හැකිය. පැරණි ක්රමය තුළ නම් හැම වසර පහකට වරක්ම ආණ්ඩු මාරු වූයේය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ක්රමය තුළ ආණ්ඩු මාරුවක් සිදුවිය හැක්කේ ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකකට එනම් අවුරුදු 12කට පසුවය.
මෙම තරගයෙන් රනිල් වික්රමසිංහ මහතා පරාජය වුවහොත් ඒ සමග ඔහුගේ දේශපාලන පැවැත්ම ද මුළුමනින් අවසන් වනු ඇත්තේය. පක්ෂය ද කැබලි වී ඉන් කොටසක් ජයග්රාහකයා සමග එකතු වනු ඇත්තේය.
පරාජිතයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නම්, ඒ මහතාට ලැබෙන ප්රතිඵලය ද ඊට සමාන වනු ඇත්තේය. ඒ සමග ඔහුගේ ද දේශපාලන පැවැත්ම අවසන් වනු ඇත්තේය. සන්ධානය කැබලි වී ඉන් කොටසක් ජයග්රාහකයාට එකතු වනු ඇත්තේය.
රනිල් වික්රමසිංහ මහතා ජයගතහොත් විය හැකි පළමු දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමය. ජනාධිපතිවරණයෙන් ලබන ජයග්රහණයෙන් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකදි සියලු වාසි ලැබෙනු ඇත්තේ ද ජයග්රාහකයාට ය. එවැනි මැතිවරණයක් ජවිපෙට හා හෙළ උරුමයට විනාශකාරි ලෙස බලපෑ හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ ආසන පදනම විශාල ප්රමාණයකින් පහත වැටෙනු ඇත. හෙළ උරුමයට හිමිවන ඉරණම ද එය ම විය හැකිය.
ජයග්රාහකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නම් ඒ මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් අත්යාවශ්ය වන්නේ නැත. අවශ්ය නම් හෙළ උරුමය ද සන්ධානයට එකතු කරගනිමින්, තිබෙන පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනයෑමේ හැකියාව ඔහුට ඇත්තේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ ශක්තිය දුර්වල කොට ශ්රීලනිපයට බර තබන ලද පාර්ලිමේන්තුවක් අවශ්ය වේ යැයි ඔහු කල්පනා කරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ හැකියාව ද ඔහු සතුය.
මහින්ද රාජපක්ෂ මහතා ජයග්රාහකයා වේ නම් ඊළගට ඔහු කරනු ඇත්තේ කුමක්ද යන්න කල් තියා ප්රකාශ කිරීම අමාරුය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ න්යාය පත්රය සමග ඒ සියලු දෙනාගේ සන්තෝෂයට හේතුවන ආකාරයේ වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයෑමේ හැකියාව තිබෙනවා සේ ම එම පක්ෂ දෙකේ න්යායපත්ර නොසලකා තමන් කැමති න්යායපත්රයක් සමග ඉදිරියට යාමේ හැකියාව ද පවතී. ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය නොසලකා ඉදිරියට යන ක්රියාමාර්ගයකදි මහින්ද රාජපක්ෂ මහතා පෙරළා දැමීමේ හැකියාවක් එම පක්ෂ දෙකට නැතත්, එවැනි ක්රියාමාර්ගයක් එම පක්ෂ දෙකේ බලවත් විරෝධයට හේතුවනු නොවැළැක්විය හැකිය.
මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව රනිල් වික්රමසිංහ මහතා ජයග්රාහකයා වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද යන්න කල්තියා ප්රකාශ කිරීම අමාරු නැත.
ඔහු ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරනු ඇත්තේ සිය පක්ෂයේ තත්ත්වය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කරගැනීමට පමණක් නොවේ; ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ ශක්තිය දුර්වල කිරීමට ද ඔහු ඒ මගින් බලාපොරොත්තු වනු ඇත. තම තත්ත්වය ශක්තිමත් කිරීමට හා අන්තවාදි බලවේගයන්ගේ තත්ත්වය දුර්වල කිරීමට හේතුවන මැතිවරණයකින් පසුව තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය තරම් ආසන සංඛ්යාවක් ලැබී තිබෙන අවස්ථාවක පවා ඔහු තනිව තමන්ගේ තනි ආණ්ඩුවක් නොපිහිටුවා ශ්රීලනිපය එකතු කරගත් හවුල් ආණ්ඩුවක් ඇති කරන තැනකට යා හැකිය. ඒ මගින් තමන්ගේ සාම කතා වැඩපිළිවෙළට බලවත් විරෝධයක් එල්ල නොවන තත්ත්වයක් සහතික කරගනු ඇත්තේය.
එජාප ලබන ජයග්රහණයක් ඉදිරියේ වඩාත්ම නන්නත්තාර ගතවන තත්ත්වයකට යන්නට සිදුවනු ඇත්තේ ජවිපෙටය. එජාපයට ලැබෙන ජයග්රහණයකින් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකට ජවිපෙට තරග කිරීමට සිදුවනු ඇත්තේ තනිවමය. එවැනි මැතිවරණයකින් ජවිපෙ ආසන සංඛ්යාව විශාල ප්රමාණයකින් පහත වැටීමේ හැකියාවක් පවතී. ඔවුන්ට සිය පැවැත්ම සඳහා පක්ෂ නායකයන් වෙනස් කරගැනීමට සිදුවනු ඇති අතර, පක්ෂ පිළිවෙත් ද නැවත සලකා බලන්නට සිදුවනු ඇත්තේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්රාහකයා වූයේ සන්ධානයයි. ශ්රීලනිපය හා ජවිපෙ සමග ඇති කරගත් සන්ධානය මෙම පක්ෂ දෙකේ ආධාරකරුවන් අතර අතිවිශාල උද්යෝගයක් ඇති කිරීමට හේතුවිය. එම මැතිවරණයේදි එජාපය ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලු කොට එම මැතිවරණය ජයගැනීමට සන්ධානය සමත් විය. එහෙත් සන්ධානයට එම මැතිවරණයෙන් ලබාගත හැකි වූයේ පාවිච්චි කළ මුළු ඡන්ද ප්රමාණයෙන් 45.60%ක් (4,223,970ක්) පමණය. සන්ධානය ලබාගත් සියලුම ඡන්ද නොවෙනස්ව එලෙසම පවතින්නේ යැයි උපකල්පනය කළ ද ජනාධිපතිවරණයක් ජයගැනීමට එම ඡන්ද ප්රමාණය ප්රමාණවත් නැත. ඒ සඳහා අඩුම වශයෙන් තවත් 4.41%ක තරම් ඡන්ද ප්රමාණයක් ලබාගත යුතුය. ඒ අඩුව ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 05ක ප්රමාණයකට සමානය.
පසුගිය මැතිවරණයේදි ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව පෙනෙන්නට තිබෙන ලක්ෂණ සමහරක් මෙසේය. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්රීලනිපය ඡන්ද 3,330,815ක් ලබාගන්නා විට ජවිපෙ ඡන්ද 815,353ක් ලබා ගත්තේය. සන්ධානය ඇතිකර ගැනීමෙන් පසුව එම පක්ෂ දෙකම එකතු වී 2004දි ඡන්ද 4,223,970ක් ලබා ගත් අතර, එම ඡන්ද ප්රමාණය 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි එම පක්ෂ දෙක වෙන් වෙන්ව තරග කොට ලබාගත් ඡන්ද සංඛ්යාවට සමානය. එම මැතිවරණයේදි එම පක්ෂ දෙකට ඊට පෙර තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයින්ගේ ඡන්ද ප්රමාණයට ආරක්ෂා කරගැනීමට මිස වර්ධනය කරගැනීමට හැකිවී නැති බව පෙනේ.
පසුගිය සන්ධාන ආණ්ඩුව ජනතාවගේ ආකර්ෂණයට හේතුවන පාලනයක් පවත්වාගෙන යෑමට සමත් වී නම්, සන්ධානයට ලැබෙන ඡන්ද ප්රමාණයේ වැඩිවීමක් සිදුවිය හැකිය. අනෙක් අතට එම සංඛ්යාව එම ආණ්ඩුව බලයට පත්කිරීමට ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ ආකර්ෂණයට හේතු නොවී නම් ඔවුන්ට ලැබෙන ඡන්ද ප්රමාණයේ අඩුවීමක් සිදුවිය හැකිය.
එජා පෙරමුණ 2001 මැතිවරණයේදි ඡන්ද 4,086,026ක් ලබාගැනීමට සමත් වුවද, 2004 මැතිවරණයේදි ලබාගැනීමට සමත් වූයේ 3,504,200ක් පමණය. එජාපයට අඩුවී තිබෙන ඡන්ද ප්රමාණය ජාතික හෙළ උරුමයට වැඩිවී තිබෙන ඡන්ද ප්රමාණයට සමානය. ජාතික හෙළ උරුමය 2001දි ලබාගත්තේ ඡන්ද 50,665ක් පමණය. එහෙත් 2004 දී ඡන්ද 552,724ක් ලබාගැනීමට සමත් විය. එජාප ආණ්ඩුව කෙරෙහි කලකිරි සිටි එජාප හිතවත් ඡන්දදායකයන් සන්ධානයට ඡන්දය දෙනවා වෙනුවට ජාතික හෙළ උරුමය පක්ෂයට ඡන්දය දී තිබෙන බව පැහැදිලිව පෙනේ. එම ඡන්දදායකයන් මෙම ඡන්දයේදි ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන ප්රශ්නය දෙපක්ෂයටම තීරණාත්මකය.
එල්ටීටීඊය මේ මැතිවරණයේදි ක්රියා කරන්නට යන්නේ කෙසේද යන්න ද පැහැදිලි නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි දෙමළ සන්ධානයේ ඡන්දමල්ලේ ප්රමාණය ඡන්ද 633,654ක් විය. එය ඊට පෙර මැතිවරණයේදි ඡන්ද 348,164ක් විය. ඡන්දමල්ලේ ප්රමාණය අඩු වැඩි කිරීමේ හැකියාව ඇත්තේ එල්ටීටීඊඊයටය. ඔවුන් මෙම අපේක්ෂකයන් දෙදෙනා ගෙන් කාට ආධාර කරයි ද යන්න තවමත් පැහැදිලි නැත. සමහර විට කිසිවකුට ආධාර නොකොට බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළ හැකිය. එසේ වුවහොත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පාවිච්චි කරන ඡන්ද ප්රමාණයේ අඩුවීමක් සිදුවිය හැකිය. එවැන්නක් සිදුවුවහොත් එහි වාසිය ලැබෙනු ඇත්තේ රනිල්ට නොව මහින්දටය.