සිංහල මහා ජාතිය තුළ සිටින සුළු ජාතීහු
නිදහස ලැබී අඩ සියවසකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, ජාතීන් අතර සමගියක් ඇති කරගැනීමට නොහැකි වී තිබීම පිළිබඳ ප්රශ්නය නිරන්තරයෙන් සාකච්ඡාවට ලක් කෙරෙන ජනප්රිය මාතෘකාවකි. එහෙත් සමගියක් නැත්තේ ජාතීන් අතර පමණක් ද? ජාතීන් තුළ සමගියක් තිබේ ද? ජාතීන් අතර සමගියක් නැතිවා සේ ම ජාතීන් තුළ ද සමගියක් නොපවතී. ජාතීන් අතර පවත්නා අසමගිය කෙරෙහි ද ජාතීන් තුළ පවත්නා අසමගිය බලපා තිබේ. ජාතීන් තුළ පවත්නා අසමගිය කෙරෙහි සිංහල හා දෙමළ ජාතීන් දෙක තුළ පවත්නා කුල ක්රමය ප්රධාන සාධකයක් ලෙස බලපා ඇතැයි කිව හැකිය.
සිංහල ජාතිය තුළ එම ජාතියට අයත් සියලු දෙනා සමානයන් ලෙස සැලකෙන්නේ නැත. එක් පිරිසක් උසස් කොට සැලකෙන විට තවත් පිරිසක් පහත් කොට සැලකේ. මේ තත්ත්වය දමිළ සමාජය තුළ ද මීට සමාන ආකාරයකින් පවතී. ඔවුන් අතර පවත්නා උස් පහත් භේදය කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ කුල ක්රමයයි.
ඓතිහාසික අර්ථයෙන් ශ්රී ලංකාව පැරණි වැඩවසම් ක්රමය පසු කොට ධනේශ්වර ක්රමයට මාරුවී වසර 100කටත් වැඩි කාලයක් ගෙවී ඇතත්, පැරණි ක්රමයෙන් උරුම කරගත් කුල භේදය මුළුමණින් අත් හරින්නට ශ්රී ලංකාව තවමත් සමත්ව නැත. ලංකාවේ කුල ක්රමය ගැන ලියැවුණු හොඳම කෘතිය ලෙස සැලකිය හැකි බ්රයිස් රයන් (Bryce Ryan) ගේ Caste in Modern Ceylon කෘතියේ සඳහන් වන ආකාරයට 1925 පමණ දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල වර්ග අතරය. අදත් කුලය සමාජ දේශපාලන ජීවිතයේ හැම වැදගත් සිදුවීමක් කෙරෙහිමත් ප්රබල ලෙස එහෙත් අදෘශ්යමාන ආකාරයකින් බලපායි. ජැන්සි ජිගින්ස් (Janice Jiggings) සිය Caste and family in the politics of the Sinhalese යන කෘතියෙන් සිංහල සමාජයේ දේශපාලනය කෙරෙහි කුලය බලපාන ආකාරය පිළිබඳව මනා විග්රහයක් කර තිබේ. ජවිපෙ කැරලි දෙක කෙරෙහි සේ ම, උතුරේ දමිළ තරුණ පරපුරේ ප්රචණ්ඩ ව්යාපාර කෙරෙහි ද කුලය බලපා තිබේ.
සිංහල හා දෙමළ සමාජය තුළ සියලු සිංහලයින්ට හා සියලු දමිළයන්ට සිය ජාතිය තුළ සමාන පිළිගැනීමක් නැතිකමේ ප්රශ්නය එම සමාජ දෙක තුළම කැකෑරෙන බලවත් සමාජ ප්රශ්නයක් ලෙස පවතී. සිංහල සමාජයේ හෝ දෙමළ සමාජයේ වංශවත් ජනයා පහත් යැයි සම්මත කුලවලට අයත් ජනයා සමානයින් ලෙස පිළිගන්නේ නැත. එම තත්ත්වය මෙම දෙජාතිය තුළම සිටින පීඩිත කුලවලට අයත් ජනයා අතර බලවත් අසහනයක් ඇති කිරීමට හේතුවී තිබේ. එහෙත් පුදුමයකට මෙන් මෙම දෙජාතිය තුළ සිටින පිඩිත කුලවලට අයත් ජනයා කුල භේදයට එරෙහිව ක්රියා කරන ප්රතිපත්තියක් මගින් මෙම අසහනය ජය ගන්නවා වෙනුවට සිය ජාතියේ ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන් සැබෑ ලෙසම සටන් කරන්නේ තමන් බව පෙන්වන ප්රතිපත්තියක් මගින් මෙම තත්ත්වය ජයගැනීමට උත්සාහ දරමින් සිටින අතර, එම ප්රවේශය සිංහල දෙමළ වාර්ගික අර්බුදය උග්ර කිරීමට හේතුවී තිබේ.
සිංහල ජාතිය තුළ නිසි පිළිගැනීමක් නැති සිංහලයින් උග්ර දෙමළ විරෝධී සිංහල ජාතිවාදින් ලෙස ද, එලෙසම දෙමළ ජාතිය තුළ නිසි පිළිගැනීමක් නැති දමිළයින් උග්ර සිංහල විරෝධී දමිළ ජාතිවාදින් ලෙස ද පෙනී සිටිති. ඒ මගින් තම ජාතිය තුළ තමන්ට වඩා හොඳ පිළිගැනීමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් කල්පනා කරන බව ද පෙනේ. එල්ටීටීඊ අරගලය බාහිර පෙනුමෙන් සිංහල විරෝධී වුවත්, අභ්යන්තර හරය වෙල්ලාල විරෝධී වේ යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ කැරලි ද බාහිර පෙනුමෙන් සමාජවාදි වුවත් අභ්යන්තර හරයෙන් ගොවිගම විරෝධීවීයැයි කිව හැකිය. සිය ජාතිය තුළ පවත්නා කුල භේදය නිසා නිසි පිළිගැනීමක් නැති සමාජ කණ්ඩායම් දැඩි සිංහලවාදි හෝ දැඩි දෙමළවාදි ප්රතිපත්තියක් ආරෝපණය කරගැනීම මගින් සිය ජාතිය තුළ තමන්ට පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ කරන බව ඉන් අදහස් වේ. එම තත්ත්වය සිංහල දෙමළ වාර්ගික අවුල උත්සන්න කිරීමට හේතුවී තිබේ.
පිරිසිදු සිංහල වාර්ගික දෘෂ්ටි කෝණයකින් බලන විට සිංහල වර්ගයාට සිය ප්රධාන සතුරා ලෙස පෙනෙන්නේ දමිළ වර්ගයාය. පිරිසිදු දමිළ වාර්ගික දෘෂ්ටි කෝණයකින් බලන විට ද දෙමළ වර්ගයාට තමන්ගේ ප්රධාන සතුරා ලෙස පෙනෙන්නේ සිංහල වර්ගයාය. මෙම තත්ත්වය සිංහල සමාජයේ හා දෙමළ සමාජයේ නිසි පිළිගැනීමක් නැති සමාජ කණ්ඩායම් එම ජාතීන් තුළ තමන්ට ගෞරවය ලබාගන්නා ජනප්රිය මාර්ගයක් බවට හරවාගෙන තිබේ. මෙය ශ්රී ලංකාවේ වර්තමාන සමාජය මුහුණ දී තිබෙන උභතෝකෝටික ප්රශ්නයක් ලෙස සැලකිය හැකිය. සිංහල ජාතිවාදි බලවේග උග්ර දමිළ විරෝධීන් වී සිටින්නේ ඇත්තටම දමිළ ජාතියට වෛර කරන නිසා නොව සිය ජාතිය තුළ සුළු ජාතීන් බවට පත්ව ඇති තමන්ට පිළිගැනීමක් ලබාගැනීම සඳහාය. දෙමළ ජාතිවාදි බලවේග අතර පවත්නා උග්ර සිංහල විරෝධය තුළ ද ඒ ලක්ෂණය දැකිය හැකිය.
මෙම විෂය ගැන ලියන්නට මා තුළ පෙළඹවීමක් ඇතිවූයේ චන්දන සූරියබණ්ඩාරගේ ජන්ම උරුමය ගැන “ලංකා” පුවත්පතේ ද, ඊළග සති අන්තයේ විමල් වීරවංශගේ ජන්ම උරුමය ගැන “ඉරු දින” පුවත්පතේ ද පළවී තිබූ ලිපි දෙක කියවීමෙන් පසුවය. මේ දෙදෙනාම මා විස්තර කළ රුදුරු බලවේගයන්ගේ ගොදුරු බවට පත්වී ඇතැයි කිව හැකිය.
චන්දන සූරියබණ්ඩාර හිටපු ජනමාධ්යවේදියෙකි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසනයේ සංවිධායකයාය. විමල් වීරවංශ ද හිටපු ජනමාධ්යවේදියෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ද ජවිපෙ ප්රකාශකයා ද වේ. මේ දෙදෙනාගේ ජන්ම උරුමය අළලා මේ පුවත්පත් දෙකේ පළවූ ලිපි දෙක සිංහලකම අරබයා එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර, කෙරුණු වාදයකට සමාන කළ හැකිය.
“ලංකා” පුවත්පතේ පළවූ අදහස් ජවිපෙ නිල අදහස් ලෙස පිළිගතහොත්, සිංහලයකු විය හැක්කේ කිසිම කවලම්කමක් නැති සිංහලයින්ට පමණය. පරම්පරාවේ කවර කොණක හෝ විදේශ සම්භවයක් ඇතොත් ඔහු සැබෑ සිංහලයෙකු ලෙස සැලකිය නොහැකිය. එවිට සිංහලයන් වීරයන් ලෙස සලකන අයගෙන් බොහෝ දෙනෙක් ද අසිංහලයන් ලෙස සලකා ඔවුන්ගේ නම් සිංහල වීර නාමාවලියෙන් කපා හරින්නට සිදුවේ. රැල්ෆ් පීරිස්ට අනුව කැප්පෙටිපොළ පරපුරේ මුතුන් මිත්තන් මලබාර් රජ කෙනෙකු සමග ලංකාවට පැමිණි ද්රවිඩ ජාතිකයෝ වූහ. ඒ අනුව කැප්පෙටිපොළ ද සිංහලයකු ලෙස සැලකිය නොහැකිය. මිශ්ර ජන්ම උරුමය නිසා මහා පරාක්රමබාහු වැනි රජවරුන් සලකන්නට වන්නේ ද අසිංහලයන් ලෙසය.
“ඉරු දින” පුවත්පතේ ප්රවේශය තරමක් ඊට වෙනස් ය. එය ජන්ම උරුමයේ ඇති මිශ්ර බව වෙනුවට එහි කුලය ප්රශ්න කරයි. ඒ අනුව හොඳ සිංහලයන් ලෙස සැලකිය හැක්කේ කුලවතුන් පමණය. එහෙත් විමල් වීරවංශ කුලවතකු නොවේ. සිංහල කුල ධුරාවලි තුළ ආන්තික තත්ත්වයේ කුලයක් ලෙස සැලකිය හැකි නැකැති වංශය නියෝජනය කරන්නෙකි. එවැනි පුද්ගලයෙකු හොඳ සිංහලයෙකු ලෙස සැලකිය නොහැකිය.
එක් ලේඛකයෙක් චන්දන සූරියබණ්ඩාර සිය මිශ්ර ජන්ම උරුමය වසන් කිරීමට නාමය වෙනස් කර තිබෙන ආකාරය විග්රහ කරන විට අනෙක් ලේඛකයා සිය කුලය වසන් කිරීමට විමල් වීරවංශ සිය නාමය වෙනස් කර තිබෙන ආකාරය විග්රහ කරයි. මේ ලේඛකයන් දෙදෙනාම ඒ සියල්ල ලියා ඇත්තේ හිරිකිතයකින් තොරව ආරූඪ කරගත් ගාම්භීරත්වයකින් ද යුතුවය.
අඩු වශයෙන් මේ ලිපි දෙක කියවීමෙන් පසුවවත්, මේ දෙදෙනා තුළ (චන්දන සූරියබණ්ඩාර හා විමල් වීරවංශ) තමන්ගේ ජාතිය තුළ තමන්ට හිමි තැන පිළිබඳ කනගාටුවක් ඇතිවී නම් එය ජාතියේ භාග්යයක් වේ යැයි කිව හැකිය. බෞද්ධ නොවන, ගොවිගම නොවන, මිශ්ර ජන්ම උරුමයක් ඇති සිංහලයන් සැලකෙන්නේ සිංහලයන් අතර සිටින සුළු ජාතික ප්රභේද ලෙසය. එහෙත් අවාසනාවකට ඒ පීඩාව තුළ ජීවත් වන කිසිවකු තමන් අත්විඳින වේදනාව රටට හඬ නගා ප්රකාශ කරන්නේ නැත.
චන්දන සූරියබණ්ඩාර හා විමල් වීරවංශ අළලා කෙරුණ මෙම සංවාදය නොදියුණු ගමක කඩපිලක සිදුවූ සංවාදයක් නොවේ. ප්රසිද්ධ පුවත්පත් දෙකක සිදුවූ සංවාදයකි. එය අප ජීවත් වන රටේ ශිෂ්ට සම්පන්නභාවයේ තරම හොඳින් පිළිබිඹු කරයි.
මේ රටේ හැම වැදගත් දේකදිම සුදුසුකම ලෙස සැලකෙනුයේ හැකියාව නොව ජන්ම උරුමයයි. නුඹ කව්ද, පියා කව්ද, සීයා කව්ද යනාදි කාරණාය. මේ රටේ පාලකයා වීමේ හැකියාව ලැබී ඇත්තේ සිංහල බෞද්ධ ගොවිගම කෙනෙකුට පමණය. ඊට වෙනස්ව තිබෙන එකම නිදර්ශනය ආර්. ප්රේමදාස මහතා පමණමය. එහිදිත් ඔහු බලයට පත් වන ජනාධිපතිවරණය පැවති අවස්ථාවේදි ලේ වැගිරෙන තත්ත්වයක් රටේ නොතිබුණේ නම් සමහරවිට ඔහු පවා එම තත්ත්වයට පත්නොවන්නට ඉඩ තිබිණි. අනෙක් අතට ඔහු බලයට පැමිණීමෙන් පසු සමාජය ඔහු නොරිස්සුවේ ද ඔහුට තිබෙන දක්ෂතා සලකා බැලූ නිසා නොව ඔහුගේ ජන්ම උරුමය සලකා බැලූ නිසාය.
ඉන්දියාවේ සිටින සික් ජනගහනය 2%ක් වුවත්, සික් අගමැතිවරයෙකු සිටීම ඉන්දියාවට ප්රශ්නයක් වී නැත. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය 11%කි. ඉන්දියාවේ සිටින්නේ මුස්ලිම් ජනාධිපතිවරයෙකි. එයද ඉන්දියාවට ප්රශ්නයක් වී නැත. ස්පර්ශ කිරීම තහනම් කුලයක් නියෝජනය කළ අම්බෙඩ්කාර් ඉන්දියානු ව්යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්රතාපවත් යෝධයකු ලෙස ක්රියා කළේය. එහෙත් අම්බෙඩ්කාර් වැන්නකු එවැනි උසස් තැනක සිටීම ඉන්දියාවට ප්රශ්නයක් වූයේ නැත. මෙවැනි කාරණාවලදි ඉන්දියාවට සාපේක්ෂව ශ්රී ලංකාව සිටින්නේ අන්ත පසුගාමී තැනකය. එම තත්ත්වයෙන් අත්මිදිමට රටක් වශයෙන් අපට හැකිවනු ඇත්තේ කවදාටද?