කදිර්ගාමර් ඝාතනයේ දේශපාලනය

August 21, 2005
Publication:
Lakshman Kadirgamar's assassination is inflaming the ethnic conflict. The LTTE had long treated him as enemy number one; Ivan argues that a policy of defeating the LTTE militarily only makes Tamils suffer and the LTTE stronger, while the killing shows the LTTE will not abandon the murder of its enemies, which blocks any peaceful settlement.

ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය රටේ පවත්නා වාර්ගික අවුල උද්වේගකර තැනකට තල්ලු කිරීමට හේතුවෙමින් තිබෙන බව පෙනේ. සටන් විරාම ගිවිසුමෙන් පසුත් මනුෂ්‍ය ඝාතන සිදු වුණ ද එම ක්‍රියාවලියේ ගොදුරු බවට පත්වූයේ ඍජු ලෙස යුද්ධයට සම්බන්ධ පුද්ගලයින් පමණය. දේශපාලන නායකයින් ඝාතනයට ලක්කිරීමක් සිදු නොවීය. ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය සටන් විරාමයෙන් පසු කොටි සංවිධානය දේශපාලන නායකයකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකිය. එය අහම්බයක් ද නැතිනම් ප්‍රවේශය වෙනස් කිරීමක් ද යන්න පැහැදිලි නැත.

කොටි සංවිධානය කදිර්ගාමර් මහතා සලකන ලද්දේ අංක එකේ හතුරෙකු ලෙසය. දිර්ඝ කාලයක සිට ඔවුන්ගේ ඉලක්ක ගත ඝාතන ලැයිස්තුවේ කදිර්ගාමර්ගේ නම ඉදිරියෙන්ම තිබුණේය.

කදිර්ගාමර් මහතා වර්ගය අනුව දමිළයෙකු ද, ආගම අනුව ක්‍රිස්තියානි ආගමිකයෙකු ද වූවේය. ඔහු දමිළයෙකු වුවත්, ඔහු ගැන වඩාත්ම ශෝක වූයේ දමිළයින් නොව සිංහලයින්ය. දිවයින කතුවැකියෙන් ඔහු හඳුන්වා දී තිබුණේ උත්තම ගණයේ සිංහලයෙකු හා උත්තම ගණයේ බෞද්ධයකු ලෙසය.

කදිර්ගාමර් මහතා දමිළයෙකු වීත් ඔහු පිළිබඳව සිංහලයින් කෙරෙන් පළවූ ශෝකය දමිළයින් කෙරෙන් පළනොවූයේ ඇයි? එල්ටීටීඊයට ඇති බිය නිසාද? නැතිනම් ඔහු දමිළයෙකු නොවේ කියන හැගීමක් දමිළයින් අතර පැවති නිසාද?

සිංහලයින්ට ඔහු වීරයෙකු ලෙස පෙනුණේ ඔහු දමිළයකු වීත් ඔහු කෙරෙන් ප්‍රකාශ වූ දැඩි එල්ටීටීඊ විරෝධී ස්ථාවරය නිසාය. කදිරගාමර් මහතා වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින අතර, ඒ අරමුණ ජයගැනීම සඳහා එල්ටීටීඊයට එරෙහිව යුද වැදිමේ අවශ්‍යතාව වෙනුවෙන් ද පෙනී සිටියේය. ඒ නිසාම ඔහුට පොදු පෙරමුණු ආණ්ඩුව ආරම්භ කොට පවත්වාගෙන ගිය යුද්ධ ව්‍යාපාරයේ හැගීම්බර කොටස්කාරයෙකු වන්නට සිදුවූ අතර, ආණ්ඩුවේ එම යුද්ධ වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යුක්ති සහගත කරන්නට සිදුවූයේ ද ඔහුටය. ඔහු එම කාර්ය ඉතාමත් දක්ෂ ලෙස ඉටුකිරීම නිසා ඔහු සිංහලයින්ට පෙනුණේ වීරයෙකු ලෙසය. දමිළයින්ට පෙනුණේ ද්‍රෝහියෙකු ලෙසය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයට ආවේණිකව තිබූ ජාතිවාදි ගමන් මගේ මූලික වෙනසක් ඇති කළ නායිකාව ලෙස සැලකේ. දමිළ ප්‍රචණ්ඩත්වය යට ඇති සාධාරණ දුක්ගැනවිලි හඳුනා ගනිමින් එම දුක්ගැනවිලිවලට විසඳුමක් ලබාදිමේ අවශ්‍යතාව වෙනුවෙන් ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ශ්‍රීලනිපය සිටි තැනට අනුව එය ඉතා වැදගත් ප්‍රවේශයක් වුවත්, විසඳුමක් සඳහා ඇය ඉදිරිපත් කළ ප්‍රවේශය තුළ පරස්පර විරෝධී බවක් තිබුණේය. ඇය වාර්ගික ප්‍රශ්නය විසඳන්නට උත්සාහ කළේ දෙමළ විරෝධී අන්ත ජාතිවාදි බලවේගයන්ගේ ද සතුටට හේතුවන ආකාරයටය. සිංහල ජනයා අතර ප්‍රභාකරන් කෙරෙහි පැවති වෛරය සැලකිල්ලට ගනිමින් සිංහල ජනයාගේ සතුටට හේතුවන ලෙස ප්‍රභාකරන් යුදමය වශයෙන් මර්දනය කොට දෙමළ ජනයාට ඔවුන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබාදෙන විසඳුම් පොදියක් ඇය නිර්මාණය කළාය. එම පැකේජය ජාත්‍යන්තර ප්‍රජාවට විකිණීමේ වගකීම පවරන ලද්දේ දෙමළ ජාතිකයකු වූ කදිර්ගාමර් මහතාටය.

කදිර්ගාමර් මහතාගේ දක්ෂතාව නිසාම එවැනි දෙපැත්ත කැපෙන වැඩපිළිවෙළකින් ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදිය හැකි වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද යම් විශ්වාසයක් ඇති කිරීමට සමත් විය. එහෙත් එම පැකේජයට ඇතුළත්ව තිබුණු යුද්ධ වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් නොවීය. යුදමය වශයෙන් එල්ටීටීඊය විනාශ කිරීමට දරන ලද උත්සාහය ව්‍යර්ථ කිරීමට ප්‍රභාකරන් සමත් වුණා සේ ම එම තත්ත්වය ආණ්ඩුවට තිබුණු යුදමය ශක්තිය බෙලහීන කිරීමට ද හේතුවිය.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට වෙර දරන ප්‍රතිපත්තියක් දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමට හේතුවීමෙන් නොනැවතී එල්ටීටීඊය වඩ වඩාත් යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බව තේරුම් ගත් ජාත්‍යන්තර ප්‍රජාව යුද්ධය අතහැර සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳගන්නා පිළිවෙතකට යොමුවන ලෙසට ශ්‍රී ලංකාවට බලකරන්නට විය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වන විට එතෙක් පවත්වාගෙන ගොස් තිබූ යුදමය ප්‍රතිපත්තිය නිසා රට යුදමය වශයෙන් සේ ම ආර්ථික වශයෙන් බෙලහීන තත්ත්වයකට ඇද වැටී තිබුණි. එම තත්ත්වය තුළ රටට තෝරා ගැනීමට ඉතිරි වී තිබුණු එකම මාර්ගය වී තිබුණේ සාකච්ඡාමය විසඳුමකි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කරගනිමින් දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කරන තැනකට යොමුවූ විට ජාත්‍යන්තර ප්‍රජාව ද ඊට උපරිම ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

මෙවැනි සංකීර්ණ ප්‍රශ්නයක් විසඳීමට දරන උත්සාහයකදි මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාවට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අසමත් විය. එහි ඊළග ප්‍රතිඵලය වූයේ මහජනයා දැනුවත් කිරීමේ තනි අයිතිය ජවිපෙට හිමිවී සාම වැඩපිළිවෙළ පිළිබඳ බිහිසුනු චිත්‍රයක් ඔවුන් විසින් මහජන මනසේ ඇඳීමය. ඔවුන් විසින් සමස්ත සාම වැඩපිළිවෙළ රටට විග්‍රහ කළේ ප්‍රභාකරන්ට රට පාවාදිමට දියත් කෙරුණු අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ලෙසය. වර්ධනය වෙමින් තිබූ ජාතිවාදි වටපිටාවක් තුළ ශ්‍රීලනිප හා ජවිපෙ සන්ධානගතවී බලය අල්ලා ගැනීමට සමත් වූ අතර, ඒ සමග සාම වැඩපිළිවෙළ ද එකතැන පල්වෙන තත්ත්වයකට ඇද වැටුණි.

ජාතිවාදි වැඩපිළිවෙළක් මත බලය ලබාගැනීමේ හැකියාවක් ඇතත්, එවැනි වැඩපිළිවෙළක් මත රටක් ආණ්ඩු කළ නොහැකි බව තේරුම් ගැනීමට ජනාධිපතිනියට කලක් ගතවූ අතර, ඊළගට ඇති කරගන්නා ප්‍රතිපත්ති වෙනසත් සමග සන්ධානය බිඳ වැටී ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්ත්වයකට ඇද වැටුණි.

සුනාමි සහන යාන්ත්‍රණය පිළිබඳ ප්‍රශ්නයේදි සිංහල හැසිරිම එල්ටීටීඊයේ පමණක් නොව, සාමාන්‍ය මධ්‍යස්ථ දෙමළ ජනතාවගේවත් විශ්වාසයට හේතු නොවීය. පිනට ලැබුණු දෙයක්වත් සාධාරණව බෙදාගන්නට සූදානම් නැති පිරිසක් වඩා විශාල දේවල් අපට දෙන්නේ කෙසේද යන්න ඔවුන් නගන ප්‍රශ්නයයි. සිංහල ජනයා දෙන්නට කැමති දේවල් හා දමිළ ජනයා අපේක්ෂා කරන දේවල් අතර විශාල පරතරයක් පවතී. එම පරතරයේ තිබෙන විශාලකම නිසාම වෙනම රාජ්‍යයකින් මෙපිට විසඳුමක් නැතැයි සිතන තැනට දෙමළ ජනයා තල්ලු වෙමින් සිටී.

කදිර්ගාමර මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අතර උගත්කමින් ද, දක්ෂතාවන්ගෙන් ද කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන සිටියේය. ඔහු ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම විදේශ ඇමතිවරයා විය හැකි වුවත්, වාර්ගික අර්බුදය විසඳ ගැනීමට හෝ නීච තත්ත්වයට පත්ව තිබෙන දේශපාලනය එම තත්ත්වයෙන් මුදාගැනීමට හෝ විශේෂ දායකත්වයක් ලබාදෙන ලද පුද්ගලයෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු තමන් නියෝජනය කළ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ඉවසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජනාධිපතිනියගේ දෙවැනි රහසිගත දිවුරුම්දිම ගැන පුවත්පත් වාර්තාකරුවෙකු කදිර්ගාමර් මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදි ඒ මහතා ප්‍රකාශ කළේ එවැන්නක් සිදුවූ බව හා තමන් ඊට සහභාගි වූ බව අගවිනිසුරු ප්‍රකාශ කරන්නේ නම් එය සත්‍යයක් වියයුතු බවය. පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට පැහැදිලි පොරොන්දුවක් දී තිබියදි එය නොසලකා ජවිපෙ බලපෑම මත පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනකට ජනාධිපතිනිය යොමු වන විට කදිර්ගාමර් මහතා එම සාහසික ප්‍රතිපත්තියට අනුබල දුන්නා මිස ඊට විරුද්ධ වූයේ නැත. මාධ්‍ය ඇමතිකම ලබාගැනීමෙන් පසු මැතිවරණ කාලයේදි මැතිවරණ නීතිවලට එරෙහිව ආණ්ඩුව මාධ්‍ය භාවිතා කරන ප්‍රතිපත්තියට ද කදිර්ගාමර් මහතා විරුද්ධ වූයේ නැත. සුනාමි සහන මණ්ඩල ප්‍රශ්නයේදි ද කදිර්ගාමර් මහතාගේ ස්ථාවරය ළංවූයේ ජනාධිපතිනියගේ ස්ථාවරයට නොව, ජවිපෙ ස්ථාවරයටය. දෙමළ ජනතාව අතර තමන්ට පිළිගැනීමක් නැති බව පෙනෙන විට කදිර්ගාමර මහතා වැඩි වැඩියෙන් ජවිපෙට තුරුළු වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

කදිර්ගාමර් මහතාගේ සාහසික ඝාතනයෙන් පෙන්නුම් කෙරෙන්නේ තමන් සතුරන් ලෙස සලකන අය මරා දමන ප්‍රතිපත්තිය අත්හරින්නට එල්ටීටීඊය සූදානම් නැති බවය. එවැනි සාහසික ප්‍රතිපත්තියක් සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමට තිබෙන ඉඩ අහුරනවා මිස එය ශක්තිමක් කරන්නේ නැත. එහෙත් පෙරළා සාහසික වීම ඊට තිබෙන විසඳුම විය නොහැකිය. තමන්ට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ සිත්පිත් නැති සාහසික ව්‍යාපාරයක් සමග බව තේරුම් ගනිමින් එල්ටීටීඊයට සාහසිකව ක්‍රියාකිරීමට තිබෙන ඉඩ අහුරන ඥානාන්විත ක්‍රියාවලියක් වෙත රට යොමුවිය යුතුය. ඔවුන්ට සාහසිකව ක්‍රියාකිරීමට තිබෙන ඉඩ ඇහිරිය හැකිවනු ඇත්තේ ද සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට යොමුවීමෙන් මිස, ඉන් ඉවත් වීමෙන් නොවේ.