ජනාධිපතිවරයෙකුගේ දෙවැනි ධුර කාලයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය තීරණය කිරීමේ ව්යවස්ථාපිත බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. මැතිවරණ කොමසාරිස්වරයා දැනටමත් ජනාධිපතිවරණය පවත්වන්නේ 2005 ද නැත්නම් 2006 ද යන ප්රශ්නයට පිළිතුරු දී හමාරය. ඔහු ශ්රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම මගින් ප්රකාශ කර ඇත්තේ ජනාධිපති ධුරයේ දෙවැනි නිල කාලය ආරම්භ කරමින් 1999 දෙසැම්බර් 22 වැනිදා දෙන ලද දිවුරුම්දිම නීත්යනුකූලව පිළිගන්නා හෙයින් 2005 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්ය විධිවිධාන දැනටමත් ක්රියාත්මක කරමින් තිබෙන බවය.
මැතිවරණ කොමසාරිස්ගේ තීරණය ගැන ශ්රේෂ්ඨාධිකරණය දෙන්නට යන තීරණය කුමක්ද යන්න පැහැදිලි නැත. එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබෙන්නේ දිනය තීරණය කිරීමේ බලය ඇත්තේ අධිකරණයට නොවන නිසාත්, එය ජනතාවගේ පරමාධිපත්යය බලයට අදාළ ප්රශ්නයක් නිසාත් මැතිවරණ කොමසාරිස්වරයා නොවේ නම් එය ජනතාව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් තීරණය කළයුතු බවය.
එහෙත් ජනාධිපතිනිය ද 2006 අවසානය තෙක් බලයේ සිටීමේ අදහස අතහැර ඇති බවක් පෙනෙන්නට නැත. ශ්රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට දින දෙකකට පෙර ඇගේ පැරණි ලේකම්වරයා (ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහ කොමසාරිස්ධුරය දරන කුසුම්සිරි බාලපටබැඳි මහතා) ශ්රී ලංකාවට ගෙන්වා ගත්තාය. අතීතයේදි ජනාධිපතිනිය අධිකරණය පාලනය කළේ සිය ලේකම් කුසුම්සිරි බාලපටබැඳි හරහාය. ඔහු අගවිනිසුරුගේ ද සමීප මිතුරෙකි.
22 වැනිදා පැවැත්වෙන පෙත්සම් විභාගයට විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ රොහාන් එදිරිසිංහ මහතාත් පෙත්සමක් ගොනුකර තිබේ. ඔහු ඒ මගින් ඉල්ලා සිටින්නේ අගවිනිසුරුවරයා දිවුරුම් දෙකටම සහභාගි වී ඇති බැවින් අගවිනිසුරුගෙන් තොර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නඩුව විභාගයට ගතයුතු බවය. ඔහු අගවිනිසුරුගෙන් තොර නවදෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා තිබෙන අතර, ජනාධිපතිවරණය 2005 වසර අවසානයේ නොව 2006 වසර අවසානයේ පැවැත්විය යුත බව ද කියා සිටී.
රොහාන් එදිරිසිංහගේ 2006 තර්කය නඩුවට සම්බන්ධවීමේ අවශ්යතාව සලකා ඉදිරිපත් කරන ලද තර්කයක් බව පෙනේ. 1999 දෙසැම්බර් 22 වනදා දිවුරුම වැරදි දිවුරුමක් බව රටට පළමුවෙන් පෙන්වා දුන් පුද්ගලයා වූයේ රොහාන්ය. ඔහු ඒ බව රටට කීවේ 2000 ජනවරිවලදි “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ලියන ලද ලිපියකිනි. ඉන්පසු ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා ප්රකාශ කළේ ද එම දිවුරුම් දිම වරදක් බවය.
පළමු දිවුරුම හා ඉන්පසු රහසේ කරන ලදැයි කියන දිවුරුම ආශ්රයෙන් මතුවී තිබුණු අවුල විග්රහ කරමින් 2004 ජනවාරි මස 04 වැනි දින ලංකාදිප පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදි රොහාන් එදිරිසිංහ මහතා මෙම අවුල ලිහාගත යුතු ආකාරය විග්රහ කර තිබුණේ මෙසේය.
“මාගේ විශ්වාසය නම් දිවුරුම් දිමේ වැදගත්කම අප පිළිගත යුතු බවයි. ඒ මගින් තමන් ධුරයේ වැඩ භාරගත් බවත්, එම ධුර කාලය අවසන්වීමේ හා යළි මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවානු පිළිබඳවත් මහජනයාට දැනුම්දිමක් කරනු ලබයි.”
ඒ අනුව කළයුත්තේ 1999 දෙසැම්බර් 22 වැනිදා ජනාධිපතිනිය රටට ඉදිරිපත් කළ දිවුරුම පිළිගෙන ඇගේ ධුර කාලය 2005 දෙසැම්බර් 22 වැනිදා අවසන් වන ලෙස සැලකීමයි. එය මෙම අවුලෙන් මිදිම සඳහා ඇති වඩා සුදුසු අර්ථ දැක්වීමයි.
2000 නොවැම්බරයේ සිදුකළ බව කියන රහසිගත දිවුරුම්දිම රටට පිළිගත නොහැකිය. එය ප්රසිද්ධියේ සිදුනොවීමත් රටට කිසිදු දැනුම්දිමක් නොවීමත් නිසා පිළිගැනීමේ හැකියාවක් නැත.”
ජනාධිපතිවරයෙකු තෝරාගන්නේ මහජනතාවය. එසේ තෝරාගනු ලබන ජනාධිපතිවරයාගේ පත්වීම සිදුවන්නේ අගවිනිසුරුවරයා හෝ වෙනත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ ප්රතිඥාව කියවා ඊට අත්සන් තැබීමෙනි. ධුර කාලය සඳහා දිවුරුම් දිමකින් තොරව ජනාධිපතිවරයෙකුට සිය ධුරයේ කටයුතු කළ නොහැකිය.
ජනාධිපතිවරයෙකුට ධුර කාලයක් සඳහා වසර 06ක කාලයක් ලැබෙතත්, වසර හතරකට පසුව නැවත ජනාධිපතිවරණයකට යෑමේ අයිතිය පාවිච්චි කිරීමේදි ඒ සඳහා තෝරාගන්නා දිනය අනුව පළමු නිල කාලයට ලැබෙන කාලසීමාවේ අඩු වැඩිවීමක් සිදුවිය හැකිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පළමු ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි 04 වනදා වුවත්, ඔහුට දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන්නට සිදුවූයේ පළමු ධුර කාලයේ වසර 06 සම්පූර්ණවීමට පෙරාතුවය. එනම් 1983 පෙබරවාරි 04 වැනිදාය. පළමු ධුර කාලය සඳහා අනෙකුත් කරුණු නොසලකා අවුරුදු 6ක කාලයක් ලැබේ නම් ඔහු දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දිය යුතුව තිබුණේ 1983 පෙබරවාරි 04 වැනිදා නොව 1984 පෙබරවාරි 04 වැනිදාය.
ජනාධිපතිනියට 2 වැනි ධුර කාලය සඳහා 2000 නොවැම්බර් 12 වැනිදා දිවුරුම් දිමට පුළුවන්කම තිබියදි ඇයට 1999 දෙසැම්බර් 22 වැනිදා දිවුරුම් දිමට පොළඹවා ගැනීමට අගවිනිසුරු ඇතුළු ඇගේ මිත්රයින්ට අවශ්ය වූයේ ඇයට යම් හානියක් වුවහොත් නැවත ජනාධිපතිවරණක් පැවැත්වීමට ඉඩ නොතබා ඉතිරි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයකින් තොරව පොදු පෙරමුණේ කෙනෙකු පත්කර ගැනීමට අවශ්ය වූ නිසාය. ඒ නිසා තමන්ට හිමි පළමු නිල කාලයෙන් වසරක් අඩුවන බව ඇය ද ඇගේ නීති උපදේශකයන් ද හොඳින් දැන සිටියේය.
යෝජිත 2000 ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඇගේ දෙවැනි නිල කාලය ඒ සඳහා දිවුරුම් දුන් 1999 දෙසැම්බර් 22 වැනිදායින් ආරම්භ වී වසර 6කින් අවසන් වන බව සඳහන් කොට ඇත්තේ ඒ නිසාය. අවසන් කෙටුම්පත සකස් කෙරුණේ නීතිපතිගේ අධීක්ෂණය යටතේය. සංක්රමණීය විධිවිධාන විශේෂයෙන්ම ජනාධිපතිනියගේ අවධානයට යොමුවන්නට ඇති බවට සැකයක් නැත. ඒ කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ද ගියේය. ශ්රේෂ්ඨාධිකරණය ද කෙටුම්පත අනුමත කළේය.
ඒ වන විට ජනාධිපතිනිය ඇතුළු ඇගේ සියලු නීති විශාරදයින් ජනාධිපතිනියගේ දෙවැනි නිල කාලය 2005 වසර අවසානයේදි අවසන් බව දැන සිටියේය. ඒ පිළිබඳ ඒ සියලු දෙනා අතර පොදු එකගතාවක් ද තිබූ බව ද එම කෙටුම්පත අනුව පෙනී යයි.
අවසානයේ නිල කාලය ඉකුත් වන විට ජනාධිපතිනිය ඇතුළු සියලු දෙනාට දුක හිතී තිබෙන බව පෙනේ. එදා වැඩියෙන්ම දුක්වන්නට ඇත්තේ අගවිනිසුරුය. ඒ අනුව තවත් අවුරුද්දක් පවත්වා ගැනීමට දෙවැනි දිවුරුම්දිමක් නිර්මාණය කළේය. ඊට සාක්ෂියක් ලෙස ඉදිරියට ගත්තේ කදිර්ගාමර් මහතාය. කදිර්ගාමර මහතාගෙන් ඒ ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පත කරුණු විමසීමේදි ඔහු කියා තිබුණේ එවැන්නක් වී තමාද එහි සිටි බව අගවිනිසුරුවරයා කියන්නේ නම් එය පිළිගත යුතු බවය. එහෙත් ඒ ගැන වැඩිදුර විමසීමක් කරන්නට අද කදිර්ගාමර කෙනෙකු නැත.