රට කොයිබට ද?

August 14, 2005
Publication:
The private bus strike of the 9th against new traffic fines brought transport to a halt. The editorial finds public transport in the same chaos as everything else and proposes proper licensing and training for bus crews, paid for by the state while they train.

රථවාහන වැරදි සඳහා පනවා ඇති නව දඩ ක්‍රමයට එරෙහිව පසුගිය 9 වැනිදා පෞද්ගලික බස් රථකරුවන් පැවැත්වූ වර්ජනය නිසා රටේ ගමනාගමන කටයුතු බොහෝ දුරට ඇණහිටිණ. එම විරෝධතා ව්‍යාපාරයට ත්‍රීවිලර්කරුවන්ගේ සේ ම කන්ටේනර්කරුවන්ගේ ද සහාය හිමිවිය.

රටේ අන් සෑම අංශයක් මෙන්ම පොදු මගී ප්‍රවාහනය පිළිබඳ විෂය තිබෙන්නේ ද මුළුමනින් අවුල් තත්ත්වයක ය.

පොදු මගී ප්‍රවාහනය පෞද්ගලිකකරණය කිරීම නිසා ඒ වෙනුවෙන් ආණ්ඩුව දරන වියදමේ අඩුවක් සිදුවී ඇතත්, මහජනතාවට යහපත් පොදු මගී සේවාවක් සහතික කිරීමට හැකිවී නැත. පෞද්ගලික බස් රථයකින් ගමන් ගැනීමට සිදුවී තිබෙන මහජනතාව ආත්ම ගෞරවයක් නැති තත්ත්වයකට ඇද දමා තිබෙන අතර, එම ක්ෂේත්‍රයේ තිබෙන පීඩාකාරි හා අවුල් සහගත තත්ත්වය වෙනස් කිරීමට කිසිම ආණ්ඩුවක් බලවත් උත්සාහයක යෙදි නැති බවත් කිවයුතු ය.

2004 වසරේ පමණක් බලපත්‍ර රහිතව රිය පැදවූවන්ගේ සංඛ්‍යාව 402,655 කි. ඉන් 24,343 ක් පෞද්ගලික බස්රථ වන අතර, 20,389 ක් කාර් හා වෑන් ගණයට ද, 5,097 ක් කන්ටේනර් වාහන ගණයට ද අයත් ය. බලපත්‍ර රහිත විශාල පිරිසක් පෞද්ගලික මගී ප්‍රවාහනයට සම්බන්ධ බස් රියදුරන් ලෙස ක්‍රියාකරන බව ඉන් පෙනේ. මෙය ඉතාමත් නරක හා බිහිසුනු තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. බස්රථවලට නගින මගීන්ට ද රියදුරාගේ බලපත්‍රය පරීක්ෂා කිරීමේ හැකියාවක් නැත. එවැනි තත්ත්වයක් නො පැවැත්වීමට වගබලාගත යුත්තේ ආණ්ඩුව යි.

මොනම රටකවත් සාමාන්‍ය රියදුරු බලපත්‍රයකට පොදු මගී ප්‍රවාහන රථයක් පැදවීමට අවසර ලැබෙන්නේ නැත. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතර, මගී ප්‍රවාහන රථ බලපත්‍ර ලාභියෙක් නැවත හැම වසරකට වරක් ම පරීක්ෂණයකට මුහුණ දී සිය බලපත්‍රය අලුත් කරවා ගත යුතු ය. එහෙත් මගී ප්‍රවාහන රියදුරන් සඳහා ලෝකයේ ක්‍රියාත්මක වන නීති රිති අපේ රටේ ක්‍රියාත්මක වන්නේ නැත. පෞද්ගලික මගී බස් රථයක් පැදවීමට විශේෂ බලපත්‍රයක් අවශ්‍ය නො වන අතර, සාමාන්‍ය බලපත්‍රයක් ප්‍රමාණවත් ය. බලපත්‍ර නැතුවත් බස්රථ පදවන විශාල පිරිසක් සිටී.

පෞද්ගලික බස්රථ සේවාවේ දැන් පවත්නා අශිෂ්ට සම්පන්නභාවය නැති කොට, එය මහජන හිතකාමී කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු ය. ඒ වෙනුවට කළ යුතුව තිබෙන වෙනස්කම් මොනවාදැයි ආණ්ඩුව සලකා බැලිය යුතු ය.

ප්‍රාදේශීය බස් සමාගම් ක්‍රමයක් ඇති කොට පෞද්ගලික බස්හිමියන් ඒවායේ කොටස්කරුවන් කළ හැකි ය. එහි ප්‍රවාහනයේ යොදවන බස් රථයක තිබිය යුතු ප්‍රමිති තත්ත්වයක් නියම කළ හැකි ය. කාල සටහනකට අනුව බස්රථ දුවන ක්‍රමයක් ඇති කරමින් ඒ නිසා පාඩු සිදුවන අය වේ නම් ඒ පාඩුව ආණ්ඩුවේ වියදමෙන් පියවන ක්‍රමයක් ඇති කළ හැකි ය.

අන් සියලු දේට ප්‍රථම දැනට සේවයේ යෙදි සිටින බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් පුහුණු කරන ක්‍රමයක් ඇති කළ යුතු ය. පුහුණු වන කාලය සඳහා ආණ්ඩුව ඔවුන්ට ඔවුන්ගේ වැටුප් ගෙවිය යුතු අතර, පුහුණුවෙන් පසු නිල ඇඳුම් ඇඳීමට බලකරන තත්ත්වයක් ඇති කළ යුතු ය. හැම දිනකම හැම බස් රථයක ම ප්‍රමිති තත්ත්වය හා බස්රථය පදවන රියදුරුට හා කොන්දොස්තරට රියදුරු හා කොන්දොස්තර බලපත්‍ර තිබේද යන්න පරික්ෂා කරන ක්‍රමයක් ඇති කළ යුතු ය. බස් රථවලට ලබාදි තිබෙන ගමන් මාර්ග මාරුවෙන ක්‍රමයක් ඇති කළ හැකි අතර, ඒ මගින් වාසිදායක ගමන් මාර්ග එකම පිරිසක් අත තිබීම වැළකිය හැකි ය. මෙවැනි වෙනසක් ඇති කිරීම පහසු නැතත්, ආණ්ඩුවකට දැක්මක් හා අධිෂ්ඨානයක් ඇතොත්, සියලු දෙනාගේ සහාය ඇතිව එවැනි වෙනසක් කිරීමේ ඇත්ත හැකියාවක් පවතී. රටේ ඇතිවිය යුතු වෙනසක් ආරම්භ විය යුත්තේ ද මහ පාරෙනි.