තමාගේ අවලංගුවීම වළකාගත හැකි ශක්තිමත් හා ජයග්රාහී වැඩපිළිවෙළක් තමන්ට ඇති බව පෙන්නුම් කිරීමට ජනාධිපතිනිය අසමත්වීම හේතු කොටගෙන මෙතෙක් ඇය වටා ගොනුවී සිටි පිරිස් ඇය වෙතින් ඈත්වෙමින් සිටින අතර ඇය පිරිවර අහිමි කරගත් රැජිණකගේ තත්ත්වයට පත්වෙමින් සිටින්නීය. අවලංගුවීමට නියමිත නායිකාවක් වෙනුවෙන් මන්ත්රීවරුන් සිය අනාගතය පදුරවට තබන්නේ නැත. දැන් ජනාධිපතිනිය වෙනුවෙන් පෙනී සිටින්නට ජේයෂ්ඨයන් නැති අතර, ඉතිරිවී සිටින්නේ කනිෂ්ඨයන් කිහිපදෙනෙකු පමණය. ඔවුන් ද එසේ කරන්නේ අවසාන මොහොතේ හෝ ජනාධිපතිනියගෙන් ලබාගත හැකි වාසි සලකාය.
සුනාමි සහන මණ්ඩල ප්රශ්නයේදි ජවිපෙට එරෙහිව ජේයෂ්ඨයින් විශාල පිරිසක් ජනාධිපතිනියට ආධාර කළත්, ඊළග ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කව්ද යන ප්රශ්නයේදි ඒ කිසිවෙක් ජනාධිපතිනිය සමග නැත. මහින්ද රාජපක්ෂගේ හොඳ නරක කුමක් වුවත්, ඔහුට වඩා ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරියට ගැනීමේ හැකියාවක් ශ්රීලනිපයට නැත. අනෙක් අතට ජනාධිපතිනිය තුළ මහින්ද කෙරෙහි ඇති නොකැමැත්තේ ප්රමාණය කොතරම් විශාල වුවත්, මහින්ද මුළුමනින්ම යටපත් කොට වෙනත් අපේක්ෂකයකු ඉදිරියට ගැනීමේ හැකියාවක් ද ජනාධිපතිනියට නැත. එවැනි උත්සාහයකට සහාය ලබාගත හැකි බලවත් පිරිසක් දැන් පක්ෂය තුළ ඇත්තේම නැති තරම්ය.
මෙම තත්ත්වය ඉදිරියේ ජනාධිපතිනිය වැඩි වශයෙන් රනිල් වික්රමසිංහගේ පිහිට පතන තත්ත්වයකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය 1994 මැතිවරණ ප්රතිඵල ප්රකාශ වීමත් සමග විශ්රාමලත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා ජනාධිපති ඩී.බී. විජේතුංග සමග දේශපාලන ගනුදෙනුවක යෙදුණේය. අගමැති නම් කිරීමේදි ගාමිණී දිසානායකගෙන් එල්ල වන බලපෑම මත විජේතුංග ජනාධිපතිවරයා, අගමැතිකමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය නම් කරන්නට යන බව අසන්නට ලැබී එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා වහා ජේ.ආර්. ජයවර්ධන හමුවන්නට යන්නට චන්ද්රිකාට සිදුවිය. අම්මා අගමැති කළහොත් ඇගේ ප්රජා අයිතිය පැහැර ගැනීමේ වරදට ඇය ජේ.ආර්. ජයවර්ධනගෙන් ද පළිගත හැකි බව ජේ.ආර්. ජයවර්ධනට දැනුම් දී ඒ ගැන ජනාධිපති ඩී.බී. විජේතුංගට කතා කොට එවැනි තත්ත්වයක් ඇතිවීම වළකන ලෙස ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉල්ලා සිටියාය. ජේ.ආර්. ජයවර්ධන තුළ ද සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගැන හිතේ බයක් තිබුණි. ඇය බලයට පත්වුවහොත් ඇය එකට එක කරන තත්ත්වයකට යනු ඇතැයි ඔහු ද විශ්වාස කළේය. ජේ.ආර්. චන්ද්රිකාගේ යෝජනාවට එකග වී ජනාධිපති ඩී.බී. විජේතුංගට ද ඒ ගැන කතා කළේය. ඉන්පසු චන්ද්රිකා ඩී.බී. විජේතුංග ද හමුවන්නට ගොස් ඔහුගේ සහාය ඉල්ලා සිටිමින් ඔහුට පූර්ණ ආරක්ෂාව හා ආවරණය ලබාදිමට සහතික විය.
ජේ.ආර්. ජයවර්ධන හා ඩී.බී. විජේතුංග යන ජනාධිපතිවරුන් ඒ මොහොතේ තමන්ගේ ආරක්ෂාව ලබාගත් ආකාරයටම රනිල් වික්රමසිංහගෙන් අනාගත ආරක්ෂාව හා රැකවරණය ලබාගැනීම ජනාධිපතිනියගේ අපේක්ෂාව වී තිබෙන බව පැහැදිලිය. එක් පන්තියක කුරුල්ලන්ට ලගින්නට සිදුවන්නේ ද එක අත්තකය. තම පක්ෂයට මේ මොහොතේ ලැබෙන ජයග්රහණයක් ගැන චන්ද්රිකාට විශ්වාසයක් නැත. දැන් සතුටු කළ යුතුව තිබෙන්නේ රනිල්ය. ඇයට රනිල්ට මුහුණ දිය නොහැකි ලොකුම ප්රශ්නය වනුයේ රනිල්ට බහුතර බලයක් තිබියදි හා විසුරුවා නොහරින බවට පොරොන්දු වී තිබියදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ප්රශ්නයයි. දැන් ඇය ඒ ගැන කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කැමැත්තක් තමන් තුළ නොවූවත් ජවි පෙරමුණේ හා සිය පක්ෂයේ ඇතැම් අයගෙන් එල්ල වූ බලපෑම් නිසා තමන්ට ඒ දේ කරන්නට සිදුවූ බවය. එය රනිල්ගේ හිත සනසන්නට ඇයට නිරන්තරයෙන් ගායනා කරන්නට සිදුවී තිබෙන ගීතිකාවක් ලෙස සැලකිය හැකිය.
ඇයට රනිල් සතුටු කිරීම සඳහා ඉදිරියේ තව තව බොහෝ දේ කරන්නට සිදුවනු ඇත. අවසාන විග්රහයේදි ඊළග ජනාධිපතිවරණයේදි ඇයට යටින් වැඩ කරන්නට සිදුවනු ඇත්තේ ද රනිල්ටය.
මහින්දගේ ඉදිරි ගමන
මහින්ද ජනාධිපති අපේක්ෂකයා වීමත් සමග ශ්රීලනිප හා ජවිපෙ අතර ඇතිවී තිබෙන බිඳීම නැවත පූට්ටු වනු ඇතැයි සිතිය හැකිය. ජවිපෙ මහින්ද කෙරෙහි සැගවුණු අකමැත්තක් තිබෙනවා සේ ම, මහින්ද තුළ ද ජවිපෙ කෙරෙහි සැගවුණු අකමැත්තක් පවතී. එහෙත් මේ මොහොතේ මේ දෙපක්ෂයටම එකිනෙකා කෙරෙහි ඇති අකමැත්ත සගවාගෙන අන්යොන්ය සහයෝගයෙන් ක්රියාකරන තැනකට යන්නට සිදුවනු ඇත්තේය.
වෙන්වී සිටින ජවිපෙ තමන් වටා ඒකරාශි කරගැනීමට මහින්ද සමත් වනු ඇතිවා සේ ම, ජාතික හෙළ උරුමය වැනි බලවේග ද තමන් වටා ඒකරාශී කරගැනීමට සමත්වනු ඇතැයි සිතිය හැකිය. දකුණේ සියලු යූඑන්පී විරෝධී බලවේග එකට ඒකරාශි කරගැනීමේ හැකියාවක් මහින්දට ඇතත්, සුළු ජාතීන්ගේ සහාය දිනාගත හැකිවේද යන්න සැකසහිතය.
ඉදිරියේදි මහින්දට මුහුණ දෙන්නට සිදුවනු ඇති ලොකුම අර්බුදය වනු ඇත්තේ ජවිපෙ, හෙළ උරුමය වැනි ජාතිකවාදි බලවේග සතුටු කරන අතර, ඒ සමග සුළු ජාතීන් ද සතුටු කරන්නේ කෙසේද යන ප්රශ්නයේ දිය. මහින්ද .. ජාතිවාදි ස්ථාවරයකට තල්ලු කරගැනීමට ජවිපෙ හා හෙළ උරුමය වැනි බලවේග උත්සාහ කරනු ඇති අතර, මහින්ද ඊට යොමුවුවහොත් වාමාංශික සහාය අහිමි වී, සුළු ජාතිකයන්ගේ ද කිසිදු සහායක් ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. ’