රැකියා විරහිත තත්ත්වයක සිටි හතළිස් දහසක් උපාධිධාරීන්ට රැකියා ලබාදිම සන්ධාන ආණ්ඩුව විසින් ක්රියාවට නගන ලද යහපත් පියවරක් ලෙස සැලකිය හැකි වුවත්, ඔවුන් රාජ්ය සේවයට බඳවා ගැනීම සඳහා අනුගමනය කර තිබෙන වැඩපිළිවෙළ රාජ්ය සේවය මුළුමනින්ම අවුල් කිරීමට හේතුවී තිබෙන බව කිව යුතුය.
මෙම ව්යාපාරයට ඉල්ලුම් කළ අය අතර, පෞද්ගලික අංශයේ වඩා හොඳ රැකියාවල නිරත අය සිටියා සේ ම, රැකියාවක් කිරීමේ අදහස අත්හැර විවාහ වී පවුල් කටයුතු බලාගත් කාන්තාවෝ විශාල පිරිසක් ද සිටිය හ. එසේ ම උපාධි ලැබ සිටියදිත් උපාධි සුදුසුකම් අවශ්ය නො වන රජයේ රැකියාවල නිරත විශාල උපාධිධාරිහු පිරිසක් ද රටේ සිටිය හ.
පුරප්පාඩුවලට පුද්ගලයන් බඳවා ගන්නා තරග විභාග ක්රියාවලිය 40 දහසකට පමණක් සීමා නො කොට එය විවෘත තත්ත්වයක තැබී ය. එහෙත් හතළිස් දහසේ ව්යාපෘතියට ඇතුළත් අයට තරග විභාගයේ දී ලකුණු 100න් ලකුණු 25ක ප්රමාණයක් ලබා දී ඇත.
හතළිස් දහසේ පුහුණු ව්යාපෘතියට එකතු නොවී උපාධි තිබිය දී උපාධි සුදුසුකම් අවශ්ය නොවන රජයේ රැකියා සඳහා තරග විභාග වලින් සමත්වී ඌන සේවාවල සිටි උපාධිධාරින්ට මේ ව්යාපෘතිය නිසා විශාල අසාධාරණයක් සිදුවී යැයි කිව හැකි ය. ඔවුහු තමන්ට ආණ්ඩුව රැකියාවක් දෙන තෙක් බලා නො සිටි අඩු අධ්යාපන සුදුසුකම් අවශ්ය රැකියාවක් හෝ තෝරාගෙන සිය ජීවිත පවත්වාගෙන යමින් සිටිය හ. නිදර්ශනයක් වශයෙන් කිසියම් විශාල පිරිසක් රජයේ ලිපිකාර සේවයේ නිරත වී සිටියේ ය. ඔවුන් එම රැකියා ලබාගෙන තිබුණේ තරග විභාග ඔස්සේ ය. සමහර විට ඔවුන් සමග ලිපිකාර තරග විභාගයට පෙනී සිට එම තරග විභාගයෙන් අසමත් ව ගෙදර සිටි උපාධිධාරිහු මෙම තරග විභාගයේ දී ලිපිකරු විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් අභිබවා ලකුණු ලබාගනිමින් වඩා හොඳ රැකියා ලබාගැනීමට සමත් වූහ. ඔවුන් එම තරගය ජයගත්තේ ඔවුන් ලිපිකාර සේවයේ නිරත උපාධිධාරීන්ට වඩා දක්ෂ නිසා නො ව, ඔවුන්ට ලබා දුන්නේ යැයි කියන ඊනියා පුහුණුව වෙනුවෙන් ලබාදෙන ලද ලකුණු 25 නිසා ය. මෙම අසාධාරණය රජයේ ලිපිකාර සේවයේ නිරත අය කෙරෙහි පමණක් නො ව, රජයේ වෙනත් විවිධ අංශවල රැකියාවල නිරත උපාධිධාරීන් කෙරෙහි ද බලපෑවේ ය.
උපාධිධාරීන්ට දුන්නේ යැයි කියන පුහුණුව කවර මට්ටමකින් වත් හොඳ පුහුණුවක් ලෙස සැලකිය නො හැකි ය. එය කාලය ලබාගැනීම සඳහා කෙරුණු අමූලික බොරුවක් විය. එවැනි බොරුවක් සඳහා ලකුණු 25 විශේෂ සහනයක් ලබාදිමෙන් එම බොරු පුහුණුවට එකතු නො වූ උපාධිධාරීන්ට විශාල අසාධාරණයක් කර ඇත.
දැන් මෙම උපාධිධාරීන්ගේ ප්රශ්නය මුළුමනින් විසඳන තෙක් රජයේ විශේෂ අංශවලට පවා නිසි අධ්යාපන පුහුණුවක් ඇති අය බඳවා ගත නො හැකි තත්ත්වයක් නිර්මාණයවී තිබේ. අධිකරණ අමාත්යාංශයට සහකාර ගණකාධිකාරීන් බඳවා ගැනීමට එම අමාත්යාංශය දරන ලද උත්සාහයකට එරෙහිව මෙම පුහුණු ව්යාපෘතියට සම්බන්ධ උපාධිධාරීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා සහකාර ගණකාධිකාරිවරුන් බඳවා ගැනිමේ වැඩපිළිවෙළ අත්හිටුවන නියෝගයක් ලබාදිමට අධිකරණයට සිදුවි ය.
ගණකාධිකාරි විෂය සඳහා බඳවා ගත යුත්තේ එම විෂයයට සුදුසුකම් ඇති හා පුහුණුව ලැබූ පිරිසක් මිස, ඕනෑම උපාධියක් ලැබූ අයෙකු නො වේ. එහෙත් ආණ්ඩුව පටු දේශපාලන අරමුණු මත ක්රියාවට නගන ලද මෙම වැඩපිළිවෙළ අවුලට පත්ව තිබෙන රාජ්ය සේවය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවනු නො වැළැක්විය හැකි ය.