අර්බුදය ගමන් ගනිමින් තිබෙන්නේ කොතැනටද?

July 3, 2005
Publication:
For all her mistakes, Ivan argues, Chandrika Kumaratunga may enter history as the leader who finally stood up to the Sinhala racist and religious extremists that every leader before her, her father included, obeyed. He then weighs her options as her term runs out: retirement, dissolution with the risk of impeachment, or giving up the presidency to keep the party and the opposition leadership, and what each would mean for Mahinda Rajapaksa and Ranil Wickremesinghe.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතින් දේශපාලනයේදි බරපතළ වැරදි සිදුවී ඇතත්, ඇය ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වනු ඇත්තේ සිංහල වර්ගවාදි හා ආගම්වාදි අන්තවාදි බලවේගයන්ගේ ඓතිහාසික ඉරණම තීරණය කළ නායිකාව වශයෙනි.

ඇගේ පියා ඇතුළු මෙතෙක් බිහිවූ හැම ජාතික නායකයෙක්ම එම අන්තවාදි බලවේගයන්ගේ තර්ජනාත්මක හඬට බියවූහ. එම හඬ සිංහල බෞද්ධ පොදු හඬ ලෙස සලකා ඔවුන්ට අවනත වන පිළිවෙතක් ඔවුහු අනුගමනය කළහ. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇගේ පියා මෙන් හෝ වෙනත් නායකයින් මෙන් ඔවුන්ගේ තර්ජනාත්මක කෑගැසීම් වලට බියවී සිය වැඩපිළිවෙළ හකුළා ගත්තේ නැත. දිවිනසා ගැනීමට කැමති අය සිටී නම්, ඔවුන්ට දිවිනසා ගන්නට ඉඩ හැර ඇය සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුවාය. අවසානයේ සුනාමි සහන මණ්ඩල වැඩපිළිවෙළට අත්සන් තැබුවහොත් දිවි නසා ගන්නා බවට බෙරිහන් දුන් කිසිවෙක් දිවිනසා ගත්තේ නැත. දිවි නසා ගන්නවායි කී අය දැන් කියන්නේ අත්සන් තබන ලද ගිවිසුමට එරෙහිව නඩු කියන බවය.

එහෙත් චන්ද්‍රිකා එම විෂයේදි ලද ජයග්‍රහණය ඇය මුහුණ දී තිබූ දේශපාලන අර්බුදය තව තව සංකීර්ණ කිරීමට හේතුවී තිබෙනවා මිස, අවසන් කිරීමට හේතුවී නැත. යාන්ත්‍රණයට අත්සන් තබන්නට පෙර ඇයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබුණත්, විදේශ ආධාර නොලැබෙන තත්ත්වයක් ඉදිරියේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ඉදිරියට යා නොහැකි තැනක හිරවී තිබුණි. යාන්ත්‍රණයට අත්සන් තැබීම නිසා ආර්ථික හිරය ජයගැනීමට හැකිවී ඇතත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම නිසා ඇගේ ආණ්ඩුව දැන් දේශපාලන වශයෙන් හිරවූ තත්ත්වයකට පත්ව සිටී. ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් විරුද්ධ පක්ෂයේ අභිලාෂය නොවන නිසා වහා ආණ්ඩු පෙරළියක් ඇතිවීමේ හැකියාවක් නැත. එහෙත් වසර අවසානයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු තත්ත්වයක් ගොඩනැගී තිබේ.

සන්ධානය නොකැඩුණු තත්ත්වයක තබාගැනීමට ඇය සමත් වී නම්, මැතිවරණ කොමසාරිස්වරයා කුමන මතයක් දැරුව ද අගවිනිසුරුගේ සහාය ඇතිව ජනාධිපතිවරණය ලබන වසර අවසන් වන තෙක් නොපවත්වන තත්ත්වයක් පවත්වාගෙන යෑමට ඇය සමත්වන්නට ඉඩ තිබුණි. එහෙත් ජවිපෙ වෙන් වීමෙන් ඇතිවී තිබෙන නව තත්ත්වය අනුව තවදුරටත් එවැන්නක් අපේක්ෂා කළ නොහැකිය. මීට පෙර ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය වී තිබුණේ රනිල් වික්‍රමසිංහට පමණය. දැන් අගමැති මහින්ද රාජපක්ෂට ද, ජවිපෙට හා හෙළ උරුමයට ද ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය වී තිබේ. එම තත්ත්වය රහසේ දෙවැනි වර දිවුරුම් දුන්නේ යැයි කියන කතාවට ලැබෙන වටිනාකම අවම කිරීමට හේතුවී තිබෙන අතර, ඇතිවී තිබෙන එම තත්ත්වය යටතේ අගවිනිසුරු පවා ජනාධිපතිනියගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වනු ඇතැයි සිතිය නොහැකිය.

ධුරකාලය නිමවීමට තිබෙන ආසන්න බව තුළ දැන් ජනාධිපතිනිය එක්කෝ සිය ධුර කාලය අවසන් වීමෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුය. ඇගේ අභිලාෂය එය නොවී තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම නම්, ඇයට කිරීමට ඉතිරී වී තිබෙන එකම දේ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉන්පසු සිය ධුරයෙන් ද ඉවත් වී පොදු පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස මැතිවරණයට තරග කිරීමය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ තර්ජනයක් ඇති බව පෙනුණ හොත් දෝෂාභියෝග තර්ජනයක් මතුවීමේ ඉඩක් පවතී. එහෙත් දෝෂාභියෝගයක් සඳහා අත්සන් 150ක් එකතු කරගන්නට පෙර තමන්ගේ තනි අත්සනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ඇය සතුය.

එවැනි ක්‍රියාමාර්ගයක් නිසා ඇයට ජනාධිපතිකම අහිමි වනු ඇතත්, ඉතාමත් නරක තත්ත්වයක් තුළ පවා පක්ෂ නායකත්වය ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකත්වය හිමිකර ගැනීමට ඇය සමත් වනු ඇත. පාර්ලිමේන්තුවට වසර හතරකටත් වැඩි ආයු කාලයක් ඇතත්, ජනාධිපතිවරණයට පෙර හෝ පසු වහාම යන අවස්ථා දෙකින් එකක විසුරුවා හරින තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරණයකින් පසුව රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිත්වයෙන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා දැන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණට වාසිදායකය. එවැනි මැතිවරණයක් ජයගැනීමේ හැකියාවක් ශ්‍රීලනිපයට ඇති බව පෙනෙන්නට නැතත්, ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ලෙස පැවතීමේ හැකියාව ලැබෙනු ඇත්තේය.

ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපති ධුරය අත්හැරියහොත් එම පුරප්පාඩුවට පත්වනු ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂය. එහෙත් එවැනි පත්වීමක් සඳහා මාසයක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වයක් යටතේ අනුමැතිය ලබාගත යුත්තේ තේරි පත්වන නව පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදිය. පාර්ලිමේන්තු මැතිවරණය ජයගැන්මට එජාපය සමත් වෙතොත්, මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර අහිමි වී ඉතිරි නිල කාලය ඉසිලීමේ වාසනාව හිමිවනු ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. ඒ සමග රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයට ජනාධිපති ලෙසම තරග කිරීමේ වාසනාව ද හිමිවනු ඇත්තේය.