ජවිපෙ මන්ත්රීවරුන් සන්ධානයේ විනය උල්ලංඝනය කළේය යන පදනම මත ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි කිරීමට හැකියාවක් තිබේද යන ප්රශ්නය ජනාධිපතිනිය සිය නීති උපදේශකයින් සමග සාකච්ඡා කර තිබුණි. ඒ ගැන දැනගන්නට ලැබී ජවිපෙද කලබලයට පත්ව තිබුණු අතර, ඒ ප්රශ්නය ගැන ඔවුහු ප්රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වූහ.
විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්රීවරුන්ගේ මන්ත්රීකම් අගවිනිසුරුගේ ආධාර ඇතිව ආරක්ෂා කර දෙන විශේෂ ක්රමයක් මෙතෙක් ආණ්ඩුව තුළ ක්රියාත්මක වූයේ ජවිපෙ ද පූර්ණ සහාය ඇතිවය. ජවිපෙ දැන් කලබල වී සිටින්නේ හෙළ උරුමයට එරෙහිව, මුස්ලිම් කොංග්රසයට එරෙහිව හා එජාපයට එරෙහිව මෙතෙක් ක්රියාත්මක වූ එම නපුරු ක්රමය අවරෝහණ ක්රමයට තමන්ට එරෙහිව ද ක්රියාත්මක වේද යන ප්රශ්නය ගැනය. ප්රජාතන්ත්රවාදි මූලධර්මවලට පටහැනි, නීතියට පටහැනි හා යුක්තිය හා සාධාරණත්වයට පටහැනි නපුරු ක්රමයක් ස්ථාපිත කිරීමට ආධාර කළ විට එහි ආධාරකරුවෝ ද කවදා හෝ එම නපුරු ක්රමයේ රුදුරු ගොදුරු බවට පත්විය හැකි බව දැන්වත් ජවිපෙට තේරුම්ගත හැකිවේ නම් එය ඔවුන්ගේ මොළවලට ලැබුණු ලාභයක් ලෙස සැලකිය හැකිය.
තුන්වැනි දෝෂාභියෝගයකට කසුකුසු
අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳ ප්රශ්නය ගැන මෙතෙක් කටපියාගෙන සිටි සමහර දේශපාලන පක්ෂ දැන් නැවත අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන තුන්වැනි දෝෂාභියෝගයක් ගැන කතා කරන තැනකට තල්ලු වී සිටින බව පෙනේ.
20 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් සාකච්ඡාවේදි ද අගවිනිසුරු පිළිබඳ ප්රශ්නය සාකච්ඡාවට ලක්වූ බව පුවත්පත් වාර්තා කර තිබුණි.
දැන් මේ විෂයයට අලුතෙන්ම අවතීර්ණ වී සිටින පක්ෂය බවට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. දකුණෙන් සංඝනායක පදවි දරන නායක ස්වාමීන් වහන්සේලා කිහිපනමක් වැඩ තහනමට ලක්ව සිටින වැල්ලවාය හිටපු මහේස්ත්රාත් ජානක ප්රියන්ත බණ්ඩාර මහතා ගැන හම්බන්තොට දිස්ත්රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත රණවීර ප්රමුඛ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කර තිබේ. අසාධාරණ ලෙස වැඩ තහනම් කොට සිටින මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි විජිත රණවීර ප්රශ්න කළ විට සාකච්ඡාවට සහභාගි වූ නායක ස්වාමීන් වහන්සේ නමක් ප්රකාශ කර ඇත්තේ ජවිපෙ වැනි පක්ෂයක් අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඔහු තනතුරෙන් පහකිරීමේ අරගලයක පෙරමුණ ගත යුතු බවය. විජිත රණවීර ඒ ගැන විමල් වීරවංශ සමග සාකච්ඡා කර තිබෙන අතර, විමල් වීරවංශ විජිත රණවීරට දැනුම් දී ඇත්තේ හම්බන්තොට දිස්ත්රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල නායක ස්වාමීන් වහන්සේලා ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් ඒ ගැන බැරෑරුම්ව සලකා බැලීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවය.
ජවිපෙ අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වූ පළමු දෝෂාභියෝගයේදි ද එහි ප්රමුඛ කොටස්කරුවකු ලෙස ක්රියා කළේය. එහෙත් ශ්රීලනිප සමග එක්සත්කමක් ඇති කරගැනීමෙන් පසුව ජවිපෙ කොන්දේසි විරහිතව අගවිනිසුරු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන් එම සන්ධානය බිඳ වැටී තිබෙන තත්ත්වයක් තුළ ජවිපෙට නැවත අගවිනිසුරු බිහිසුණු මිනිසකු ලෙස පෙනෙනවා විය යුතුය. අගවිනිසුරු පිළිබඳව ජවිපෙ අභ්යන්තරයේ සිදුවන කතාබහ තලතා අතුකෝරාලට (එජාප පාර්ලිමේන්තු මන්ත්රිනී) දැනගන්නට ලැබී ඇය ඒ බව එජාප නායකයාට දැනුම් දී තිබේ. රනිල් වික්රමසිංහ තලතාට කියා ඇත්තේ ජවිපෙ කැමති නම් අපිත් අකමැති නැති බවය.
සෙලාන් බැංකුවට මල් මිටක්
සෙලාන් බැංකුව සුනාමි ආපදා විෂයයට අදාළව ඉතා වැදගත් හා විප්ලවකාරි තීන්දුවක් ගෙන තිබේ. එනම් මීටර් 100 සීමාව තුළ සිටින විපතට පත් ව්යාපාරිකයින්ට හා ජනතාවට මීටර් 100 තුළ තිබෙන ඔවුන්ගේ ඉඩම් හා දේපළ ඇපයට තබාගෙන ණය ලබාදිමට තීන්දු කිරීම ය. සුනාමි විපතෙන් දැනට වඩාත්ම අසරණභාවයට පත්ව සිටින අය ලෙස සැලකිය හැක්කේ ද මීටර් 100 ඇතුළත ජීවත් වූ ජනතාවය. මීටර් 100 තුළ තිබෙන ඔවුන්ගේ ඉඩම් හා දේපළ ඇපයට තබාගෙන ණය නොදෙන ප්රතිපත්තියක් ක්රියාත්මක කිරීමට බැංකු තීරණය කිරීම නිසා ඔවුහු කබලෙන් ළිපට වැටුණු පිරිසක් බවට පත්ව සිටිය හ. ලලිත් කොතලාවල මහතා ගෙන තිබෙන තීරණය ඔවුන්ගේ ජීවිතවල යහපත් වෙනසක් ඇති කිරීමට හේතු වනු ඇතැයි සිතිය හැකිය.