ඒකාබද්ධ යාන්ත්රණය පිළිබඳ ප්රශ්නය මුල් කොටගෙන මුළු රටම දෙකට බෙදෙමින් තිබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. ශ්රී ලංකාවට ආධාර කරන ජාත්යන්තර ප්රජාව පමණක් නො ව, දැඩි එල්ටීටීඊ විරෝධී ස්ථාවරයක පිහිටා ක්රියාකරන ඉන්දියාව ද ඒකාබද්ධ යාන්ත්රණයට පක්ෂය. ශ්රීලනිප හා එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව, දැඩි එල්ටීටීඊ විරෝධී ස්ථාවරයක පිහිටා ක්රියාකරන ඊපීඩීපී පක්ෂය ද පක්ෂ ය. ඊට එකහෙළා විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙළ උරුමයත් පමණ ය.
ඊට විරුද්ධ වන පක්ෂ දෙක ම කියන්නේ ත්රස්තවාදි සංවිධානයකට ඒ නිසා නිල පිළිගැනීමක් ලැබෙන බව ය. එම තත්ත්වය වෙන ම රාජ්යයක් සඳහා ඔවුන් යන ගමන ශක්තිමත් කරන බව ය.
ඒකාබද්ධ යාන්ත්රණය නිසා ඔවුන්ට අමුතු නිල පිළිගැනීමක් ලැබෙනවා යැයි කියන තර්කයේ සත්යයක් නො පවතී. සාම කතා ආරම්භ කිරීම සඳහා ඔවුන්ට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන්නට සිදුවූ අතර, සටන් විරාම ගිවිසුම යටතේ එල්ටීටීඊ පාලන ප්රදේශ නිල වශයෙන් පිළිගන්නට සිදුවිය. සටන් විරාම ගිවිසුම ඇති කරගැනීමට පෙර ද දෙපාර්ශ්වය පිළිගත් දේශ සීමා තිබුණු අතර, මෙම කලාප දෙක අතර කෙරෙන ගමන්බිමන් වලදි දෙපාර්ශ්වයේ හමුදා මගින් පරික්ෂාවට ලක් කරන තත්ත්වයක් ද පැවතුණි.
රටක් තුළ රාජ්ය දෙකක් තිබිය නො හැකි ය. ඒ තත්ත්වය යුද්ධයෙන් ජයගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වීමෙන් පසුව ඊට සාකච්ඡා මගින් ප්රශ්න විසඳගන්නා තත්ත්වයකට යොමුවි ය. ඒ වැඩපිළිවෙළට ජාත්යන්තර ප්රජාව ද උපරිම සහාය දුන්නේ ය. දෙපාර්ශ්වය ඔත්තුකරුවන් ඝාතනය කරන ප්රතිපත්තියක් අනුගමනය කළත්, යුද්ධ කරන තත්ත්වයකට ගියේ නැත. ආරම්භ කරන ලද සාම සාකච්ඡා ඇණහිටින තත්ත්වයක් ඇතිවී ඇතත්, නැවත සාම කතා ආරම්භ කිරීමේ හැකියාවක් පවතී.
ඒකාබද්ධ යාන්ත්රණයක් ඇතිකර ගැනීමේ අවශ්යතාව මතු වූයේ සුනාමියෙන් ඇතිවූ විනාශයත් සමග ය. සිදුවී තිබෙන විනාශයෙන් 60% ක් ම අයත් වන්නේ උතුරු නැගෙනහිරට ය. සුනාමියෙන් ඇතිවූ විනාශය එල්ටීටීඊ පාලන ප්රදේශවලට ද බලපෑවේ ය.
ඒකාබද්ධ යාන්ත්රණය ඇති කරගැනීම වැරදි නම්, ඒ වෙනුවට කුමක් කළ යුතු ද යන ප්රශ්නයට තවමත් ජවිපෙ හෝ හෙළ උරුමය පිළිතුරු දී නැත. ඊට තිබෙන එකම විකල්පය වන්නේ නැවත යුද්ධයට මාරුවීමය. එහෙත් යුද්ධය ප්රශ්නයට විසඳුමක් නොවනවා සේ ම නැවත යුද්ධ කරනවාට පළල් මහජනතාව ද පක්ෂ නැත.
අනෙක් අතට ඒකාබද්ධ යාන්ත්රණයක් වැනි පුංචි දේකටත් අපි එරෙහි වෙමු නම්, වඩා ලොකු ප්රශ්න විසඳ ගන්නේ කෙසේදැයි සිතාගත නො හැකි ය. ජනතා විමුක්ති පෙරමුණත්, භික්ෂු පෙරමුණත් ප්රකාශ කර ඇත්තේ, ඒකාබද්ධ යාන්ත්රණයට පක්ෂපාත පුද්ගලයින් හා ආයතන දේශද්රෝහීන් ලෙස සලකන බව ය. එහි තේරුම එවැනි අයට දේශද්රෝහීන් ලෙස සලකා දඬුවම් පමුණුවන බව ද?
යුද්ධය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා සේ ම, සාමය වෙනුවෙන් පෙනී සිටින ජනතාවට ද සාමය වෙනුවෙන් පෙනී සිටිමේ අයිතිය තිබිය යුතු ය. යුද්ධය වෙනුවෙන් පෙනී සිටීම දේශප්රේමී දෙයක් වී සාමය වෙනුවෙන් පෙනී සිටීම දේශද්රෝහී දෙයක් වේ නම් දේශප්රේමී වනවාට වඩා දේශද්රෝහී වීම රටට වැඩදායක වනු ඇත්තේ ය.