ජවිපෙ දකිමින් තිබූ සුන්දර දේශපාලන සිහිනයට කුමක් සිදුවෙමින් තිබේද? ඒ සිහිනය ජවිපෙ විසින් නිර්මාණය කරගන්නා ලද සිහිනයකට වඩා මංගල විසින් ජවිපෙට නිර්මාණය කර දෙන ලද සිහිනයක් ලෙස සැලකිය හැකිය.
එම සිහිනය තුළ මංගලට ද සිහිනයක් තිබුණේය. ජනාධිපතිනියගේ ඇවෑමෙන් ජවිපෙ ශ්රීලනිපයේ බලය ලබාගන්නා අතර තුර කාලයේ ඔටුන්න හිමිවන්නේ මංගලටය.
එය ඉතාමත් සියුම් හා සූක්ෂ්ම ලෙස සකස් කරන ලද සැලැස්මක් වී යැයි කිව හැකිය. කේක් ගෙඩියේ මතුපිට අයිසින් කර තිබුණේ ජනාධිපතිනිය වෙනුවෙන් තනන කේක් ගෙඩියක් ලෙසය. බැලු බැල්මට හැමදෙයක්ම සිදුකරන්නට නියමිතව තිබුණේ ජනාධිපතිනියගේ යහපත සලකාය.
ඒ වන විට ජනාධිපතිනිය සිටියේ එජාප ආණ්ඩුවෙන් එල්ල වන ප්රතිප්රහාරයකට මැදිවීය. ජවිපෙ ඇය වෙත යන්නේ ඇය ගලවා ගැනීමට එන ගැලවීමේ හමුදාවක් ලෙසය. තමන් සමග එකතු වන්නේ නම් ඇය සිටින අවාසනාවන්ත තත්ත්වයෙන් ගලවාගෙන ඇය අපේක්ෂා කරන තැනට එනම් ඇයගේ අවලංගුවීම වළකාදිමට ඔවුහු සහතික වූහ. එහෙත් ප්රථම වටයේ දී ඇය ඔවුන් විශ්වාස කළේ නැත. තමාගේ සැමියා ඝාතනය කළේ මේ මිනිසුන් නොවේද කියන හැගීම පහසුවෙන් අමතක කිරීමේ හැකියාවක් ඇයට නොතිබුණි. අතීතයේ සිදුවූ අවාසනාවන්ත දේවල් අමතක කොට ඔවුන් විශ්වාස කරන ලෙසට ඇයට බල කළේ මංගලය. අවසානයේ ඇය ද ඔවුන් විශ්වාස කළේය. ඔවුන්ගේ ආධාරයෙන් තමන්ගේ අනාගත සුභ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඔවුන් සමග එකට එකතු වී වැඩ කරන්නට ඇය තීරණය කළාය.
පළමු වටයේදි ඔවුන් ඉල්ලා සිටි ආකාරයකටම ඇය අමාත්යාංශ තුනක් පවරා ගත්තාය. ඊට එක්සත් ජාතික පක්ෂයෙන් බලවත් ප්රතික්රියාවක් එල්ල වූයේ නැත. ඉන්පසු ජනාධිපති බලය යොදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඔවුහු ඇයට බල කළහ. ඒ වන විට පාර්ලිමේන්තුව නොවිසුරුවන බවට ඇය පාර්ලිමේන්තුවට පොරොන්දු වී තිබුණු අතර, පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් පරාජය වුවහොත් තමන්ට මුහුණ දෙන්නට සිදුවන ප්රතිවිපාක ද ඇය දැන සිටියාය. අවසානයේදි ඒ සියල්ල නොසලකා තමන් තුළ ධෛර්යය ඇති කරගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනකට ඇය තල්ලු වූවාය. ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගත් දේශපාලන දිගයට අතීතය බාධාවක් නොවනු පිණිස, සිය සැමියා ඝාතනය කිරීමේ පාපයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා ඔවුන් බෞතිස්ම කිරීමට ද ඇයට සිදුවිය.
සැලැස්මේ පළමු අදියර අපේක්ෂා කළ ආකාරයටම නොවූවත් සාර්ථක ප්රතිඵල ලබාදිමට හේතුවිය. බහුතර පාර්ලිමේන්තු බලයක් සඳහා අවශ්ය තරම් ආසන සංඛ්යාවක් දිනාගැනීමට නොහැකි වී තිබුණ ද, එජා පෙරමුණ පරාජය කොට ආණ්ඩු බලය දිනාගැනීමට සන්ධානය සමත් විය. එහෙත් ශ්රීලනිප යෝධයා අගුටුමිටි තත්ත්වයකට ඇද වැටී අගුටුමිටි තත්ත්වයක සිටි ජවිපෙ යෝධ තත්ත්වයක් දිනාගැනීමට සමත්ව තිබුණේය. ජවිපෙ ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ප්රධාන සාධකය බවට පත්ව තිබෙන තත්ත්වය ඉදිරියේ එතැන් සිට ජනාධිපතිනිය තමන්ගේ දේශපාලන හිරකරුවකු ලෙස තමන් කියන මාවතේ ගමන් කළ යුතු වේ යැයි ජවිපෙ කල්පනා කළේය. ඔවුන්ගේ හිරකාරියක වෙමින් හෝ තමන්ට තමාගේ අවලංගුවීම වළකාගත හැකි නම් එතැන් සිට තමන්ට නැගී සිටීමට හැකිවනු ඇතැයි කල්පනා කරමින් සිත සනසා ගන්නවා විනා ගතහැකි විකල්ප මාර්ගයක් ඇය ඉදිරියේ නොතිබුණි.
ජවි පෙරමුණට තමන්ගේ අවලංගුවීම වළකා දිමට අවශ්යතාවක් නැති බව හා ඒ වෙනුවට අවශ්ය වී ඇත්තේ තමා අවලංගු වන්නට ඉඩහැර තම පක්ෂයේ බලය අල්ලා ගැනීම බව තේරුම් ගත් විට ඇය ඔවුන්ගේ ග්රහණයෙන් වෙන්වීමේ අවශ්යතාව වෙනුවෙන් කල්පනා කරන තැනකට තල්ලු වූයේය. අන් සියල්ලටම වඩා ජනාධිපති බලය බලවත් බව හා ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට රට තල්ලු කිරිමෙන් ජවිපෙ දළ කැඩිය හැකි බව පසක් කරගත් විට ඇය පෙරළා ජවිපෙට පහර දෙන තැනකට තල්ලු වූවාය.
දැන් සන්ධාන ආණ්ඩුව තිබෙන්නේ නැවත පූට්ටු කිරීමට පහසු නැති තරම් දෙදරා ගිය තත්ත්වයකය. ජනාධිපතිනිය ජනාධිපතිකමෙන් පමණක් නොව පක්ෂ නායකත්වයෙන් ද විශ්රාම යන බව පෙනෙන්නට තිබුණේ නම් සිය මන්ත්රී කණ්ඩායම පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇති වන්නට ඉඩ තිබුණි. එහෙත් ඇය ජනාධිපතිකමෙන් ගියත්, පක්ෂ නායකත්වය අත්හරින්නේ නැති බව පක්ෂ මන්ත්රී කණ්ඩායම දැන් දනී. ඒ නිසා ඒ කිසිවකුට ඇයට එරෙහිව නැගී සිටීමේ හැකියාවක් නැත. ඒ නිසාම ඒ කිසිවකුට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හෝ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හෝ නැගී සිටීමේ හැකියාවක් ද නැත.
අනෙක් අතට ජවිපෙට දැන් සිදුවී තිබෙන්නේ ද ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදුවූ දේය. තනිව තරග කරන තැනකට යන්නට සිදුවුවහොත් තමන් නැවත පෙර සිටි අගුටුමිටි තත්ත්වයට ඇද වැටෙන බව ඔවුන් දනී. එසේම ශ්රීලනිපයේ බලය අල්ලා ගැනීමේ ලස්සන සිහිනය සැබෑ නොවන බව ද ඔවුහු දනිති.
දැන් ඔවුන් කරන්නේ කුමක්ද? ජනාධිපතිනිය ඒකාබද්ධ යාන්ත්රණයට අත්සන් කිරිමෙන් පසුත් සන්ධාන ආණ්ඩුව තුළ රැඳී සිටියහොත් පක්ෂය ජනතාව ඉදිරියේ විකටයකුගේ තත්ත්වයට පත්වන්නේය. අනෙක් අතට සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් නැවත අගුටුමිටි තත්ත්වයක් හිමිකර ගැනීමට ඔවුන්ට සිදුවන්නේය.
ඒකාබද්ධ යාන්ත්රණය
ඒකාබද්ධ යාන්ත්රණයට එරෙහි වන සියලු දෙනා කියන්නේ ඒකාබද්ධ යාන්ත්රණයට අත්සන් තැබුවහොත් ත්රස්තවාදි සංවිධානයක් ලෙස පිළිගත යුතු එල්ටීටීඊයට නිල පිළිගැනීමක් ලැබෙන බවය. එහෙත් නිල පිළිගැනීම ඔවුන් අලුතෙන් දිනාගත යුතු දෙයක් නොව, දැනටත් දිනාගෙන තිබෙන දෙයකි.
සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එල්ටීටීඊයට එරෙහිව පනවා තිබුණු තහනම ඉවත් කරගැනීමට සිදුවිය. සටන් විරාම ගිවිසුම යටතේ එල්ටීටීඊ පාලන ප්රදේශ ඇති බව පිළිගැනීමට ද සිදුවූයේය. ඉන්පසු ඔවුන් සමග සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා සාකච්ඡා කරන තැනකට යන්නට සිදුවූ අතර, ඔවුන් සිය පාලන ප්රදේශවලින් පිටස්තරව යන ගමන් බිමන්වලදි ඔවුන්ට ආරක්ෂාව ලබාදෙන්නට ද සිදුවිය. ඒ සියල්ලෙන් ලැබී තිබෙන පිළිගැනීමේ ප්රමාණය සමග සසඳන විට ඒකාබද්ධ යාන්ත්රණයෙන් අලුත් පිළිගැනීමක් ඔවුන්ට ලැබෙන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටීඊය ත්රස්තවාදි සංවිධානයක් බව දකින මුත් තමන්ගේ අතීතයට ආවේණික ත්රස්තවාදි බව දකින්නේ නැත. ඔවුන් ද රාජ්ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ ආයුධ බලයෙනි. ඒ අරගලයට ඔවුන් ද එල්ටීටීඊය සේ ම කුඩා ළමුන් යොදා ගත්තේය. එල්ටීටීඊය සේ ම සිය විරුද්ධවාදින් දහස් ගණනක් ඝාතනය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදි මාර්ගයට අවතීර්ණ වූයේ, ප්රජාතන්ත්රවාදි මාර්ගය පිළිබඳව ඇති කරගත් අවබෝධය නිසා නොව, ඔවුන්ගේ සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමට ආණ්ඩුව සමත් වූ නිසාය. එල්ටීටීඊයේ අරගලය ද ජනතා විමුක්ති පෙරමුණේ අරගලය මෙන් චප්ප කිරීමට හැකිවී නම්, ඔවුන් සමග සාම සාකච්ඡා පවත්වන තැනකට යන්න අවශ්ය වන්නේ නැත. එල්ටීටීඊයට ජේපීය මෙන් යුදමය වශයෙන් චප්ප කිරීමට අතිවිශාල උත්සාහයක යෙදි ඇතත්, ඒ කිසිම උත්සාහයක් සාර්ථක කරගැනීමට හැකිවූයේ නැත. යුද්ධයේ මාවත අතහැර සාකච්ඡා මගින් ප්රශ්න විසඳගන්නා තැනකට ආණ්ඩුව තල්ලු වූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. එහෙත් සාකච්ඡා මගින් ප්රශ්න විසඳ ගැනීම ද සරල හා පහසු දෙයක් වන්නේ නැත.
එල්ටීටීඊයට ඍජු හා අනියම් පාලනයට යටත් බලප්රදේශයක් ද තමන්ගේ පාලනය යටතේ ත්රිවිධ හමුදාවක් ද ඇත්තේය. එක රටක් තුළ රාජ්යයන් දෙකක් පවතින බව ඉන් අදහස් වේ.
එක රටක් තුළ රාජ්යයන් දෙකක් තිබිය නොහැකිය. මේ දෙක එකක් බවට පත්විය යුතුය. එසේ කරන්නේ කෙසේද යන්න රට ඉදිරියේ තිබෙන අභියෝගයයි.
මෙම ආරාවුල සාම කතා මගින් නිරාකරණය කරගන්නා තැනකට යන්නට සිදුවී තිබෙන්නේ යුදමය ක්රියාමාර්ගයකින් එම අභියෝගය ජයගත නොහැකි බව රට තේරුම් ගෙන තිබෙන නිසාය.
ජනතා විමුක්ති පෙරමුණ දැන් සිය රටට වඩා ඉන්දියාවට ප්රේම කරන බව පෙනෙතත්, ඉන්දියාව මෙබඳු ප්රශ්න නිරාකරණය කරගැනීම සඳහා ක්රියාකරන ආකාරය තේරුම් ගැනීමට සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. ඉන්දියාවේ ස්වාධිපත්යය ඉල්ලා සිටින ජාතීන්ට ප්රාන්ත රාජ්ය තත්ත්වයක් ලබාදෙන ක්රමයක් ඉන්දියාවේ ක්රියාත්මක වේ.
ඉන්දියාවේ අගමැතිකමේ ඉන්නේ හින්දු ජාතිකයකු නොව, සීක ජාතිකයෙකි. ජනාධිපතිකමේ ඉන්නේ ද හින්දු ජාතිකයෙකු නොව, මුස්ලිම් ජාතිකයෙකි. ශ්රී ලංකාවට ද රටේ පවතින වාර්ගික ආරවුල් විසඳ ගැනීමට හැකිවනු ඇත්තේ වර්ගවාදි වීමෙන් නොව, ඉන්දියාව අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තියකට සමාන ප්රතිපත්තියකට යොමුවීමෙනි.