රට තිබෙන්නේ ඛේදජනක තත්ත්වයක යි

June 19, 2005
Publication:
With the JVP gone, the government has no majority. The forces gathered around the alliance had no vision beyond defeating the UNP, the parties have no internal democracy and train autocrats, and although an election is near, the Elections Commission has still not been set up.

ජවිපෙ පැවැත්ම ඔවුන් විසින් ම ගොඩනගන ලද සන්ධාන ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබුණි. එම පක්ෂය දැන් ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුව බහුතර බලයක් නැති ආණ්ඩුවක තත්ත්වයට පත්ව තිබේ.

සන්ධාන ව්‍යාපාරය වටා පෙළගැසී සිටි පරස්පර විරෝධී බලවේගවලට එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිමෙන් ඔබ්බට ගිය දර්ශනයක් නොතිබුණි. ජනවාර්ගික අර්බුදය ගැනත්, ආර්ථික ගමන් මග ගැනත් ජවිපෙ හා ශ්‍රීලනිප විසින් දරන ලද මත පරස්පර විරෝධී විය. ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවෙන් වෙන්වීමට සිදුවීම එහි ම ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක් ලෙස සැලකිය හැකි ය.

රටේ දේශපාලනය තුළ දක්නට ලැබෙන මෙම අවුල් සහගතභාවය අන්හැම ආයතන ක්‍රමයකමත් ඊට සමාන ආකාරයකින් දැකිය හැකි ය. දේශපාලනය පමණක් නො ව, රටේ සමස්ත ආයතන ක්‍රමය ම තිබෙන්නේ කුණුවී දුගඳ හමන තැනක ය.

මල්වතු නාහිමියන් ශ්‍රී දළදා මාලිගාවේ පාලනය ඇද වැටී තිබෙන දූෂිත තත්ත්වය පිළිබඳව කර තිබෙන විමර්ශනයෙන් පෙන්නුම් කෙරෙන්නේ රටේ ආගමික ආයතන ක්‍රමය ඇද වැටී තිබෙන ශෝකජනක තත්ත්වයයි. රටේ අගවිනිසුරුට එල්ල වී තිබෙන චෝදනාවලින් පෙනෙන්නේ ද රටේ යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය කුණුවී තිබෙන ප්‍රමාණයයි. මේ තත්ත්වය මීට සමාන ආකාරයකින් ව්‍යවස්ථාදායකය, විධායකය හා ජනමාධ්‍ය යන ආයතන තුළ ද දැකිය හැකි ය.

රටේ දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇතත්, ඒවා තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නො පවතී. රටේ පවතින පක්ෂ ක්‍රමය රටට ඒකාධිපති නායකයන් පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකි ය. පාලකයන් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වෙතත්, ඒ මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ ලෙස සැලකිය නො හැකි ය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් පමණක් නො ව, දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල සාමාජිකයන් ද වත්කම් බැරකම් හෙළි කිරීමට නීතියෙන් බැඳී සිටියත්, කිසිම දේශපාලන පක්ෂයක නිලධාරී මණ්ඩල සාමාජිකයන් වත්කම් බැරකම් හෙළිදරව් කර නැත. ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බලධාරියා වශයෙන් ක්‍රියාකරන මැතිවරණ කොමසාරිස්වරයා ද ඔවුන්ගෙන් ඒවා ලබාගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය පිළිබඳව අර්බුදයක් පවතී. මැතිවරණ කොමසාරිස්වරයා එය තීරණය කරන බලධාරියා වුවත්, ඔහු ඒ ගැන එක වචනයක්වත් ජනමාධ්‍යවලට කතා කරන්නේ නැත. ව්‍යාකූලභාවයක් ඇතොත්, එය පහකිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. එහෙත් ඔහු එම ව්‍යාකූලභාවය වර්ධනය වන්නට ඉඩ හැර බලා සිටියි.

දේශපාලන පක්ෂවල අරමුදල් පාරදෘශ්‍ය තත්ත්වයක තබා ගැනීමට ශිෂ්ටසම්පන්න රටවල් සමත් වී ඇතත්, අපි ඒ අතින් ඉන්නේ අශිෂ්ටම තත්ත්වයක ය. රටේ මොනම දේශපාලන පක්ෂයක්වත් සිය ආදායම් වියදම් පිළිබඳ වාර්තා මහජනයාට හෙළිදරව් කරන්නේ නැත. අවසාන වශයෙන් හැම පක්ෂයක් ම පාහේ දුවන්නේ කළු සල්ලිවලිනි. ඒ නිසා අවසාන විග්‍රහයේ දී එම පක්ෂ අනියම් ලෙස පාලනය කරන්නේ ද කළු සල්ලිකාරයන් විසිනි.

රට තිබෙන්නේ මැතිවරණයක මුව විට වුවත්, තවමත් මැතිවරණ කොමිසම පිහිටුවා නැත. ඒ ගැන උනන්දුවක් කිසිම දේශපාලන පක්ෂයකට තිබෙන බවක් ද පෙනෙන්නට නැත.