ජනාධිපතිනිය හා ජේවීපී එකට පූට්ටු කළ කපුවා ලෙස සැලකිය හැක්කේ මංගලය. දෙවැනි කැරැල්ල කාලයේ සිට ඔහුට ජවිපෙ සමග ළග සම්බන්ධයක් තිබුණු අතර, ශ්රීලනිපයේ සිටින අය අතරින් ජවිපෙ වැඩියෙන්ම විශ්වාස කළ පුද්ගලයා වූයේ ද මංගලය. අනෙක් අතට මේ මෑතක් වන තෙක් ම ශ්රීලනිප මන්ත්රීවරුන් අතර ජවිපෙට සිටි විශ්වාසවන්තම පුද්ගලයා වූයේ ද මංගලය.
මංගල මෙම බලවේග දෙක දක්ෂ ලෙස එකට පූට්ටු කළේය. එකට එකතු වී වැඩ කරන ක්රියාමාර්ගයක් තුළ චන්ද්රිකාගෙන් පසුව ශ්රී ලංකා නිදහස් පක්ෂය ග්රහණයට ගැනීමේ හැකියාව පිළිබඳ න්යාය ජවිපෙට කියාදුන්නේ මංගලය. අනෙක් අතට ජනාධිපතිනියට තමන්ගේ අවලංගුවීම වළකා ගැනීමට අවශ්ය නම්, ජනාධිපතිනියට ඒ අරමුණ ජයගත හැකි එකම මග ජවිපෙ සමග එකට එකතු වී වැඩ කිරීම පමණක්ය යන න්යාය ජනාධිපතිනියට කියා දුන්නේ ද මංගලය. ජේවීපීයට ශ්රීලනිප අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් දිනාදිම මගින් ජේවීපීයේ අනුග්රහය ඇතිව රජවීමට මංගල සිහින දැක්කා විය යුතුය.
එහෙත් ජනාධිපතිනිය හා ජෙවීපීය අතර ගැටුමේදි දරුණුම අර්බුදයට ලක්ව සිටින පුද්ගලයා බවට පත්ව සිටින්නේ ද මංගලය. ඔහුගේ ජේවීපී ලැදියාව ජනාධිපතිනියගේ කෝපයට හේතුවී තිබෙන අතර, ඒ නිසා ඔහුට තමන් යටතේ තිබුණු ප්රවෘත්ති අමාත්යාංශය ද ආපසු බාරදිමට සිදුවිය.
මුතාලිෆ් ගැන හෙළන කිඹුල් කඳුළු
රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරයේ විකාරරූපී ස්වරූපයක් පවතී. පසුගිය 31 වැනිදා පොල්හේන්ගොඩදි ඝාතනයට ලක්වූ යුද්ධ හමුදාවේ බුද්ධි අංශයේ අණදෙන නිලධාරී මේජර් මුතාලිෆ් ත්රස්තවාදි යුද්ධ මෙහෙයුම් විෂයෙහි සිටි දක්ෂම නිලධාරියෙකු වී යැයි කිව හැකිය.
1 වැනිදා දෙහිවල පැවති අවමගුල් උළෙල අමතා කතා කරමින් හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් ප්රකාශ කළේ මේජර් මුතාලිෆ් ජාතික වීරයෙකු ලෙස නම් කළ යුතු බවය. එදිනම දේශ හිතෛෂී ව්යාපාරය සංවිධානය කරන ලද ප්රවෘත්ති සාකච්ඡාවක් අමතා විමල් වීරවංශ මහතා සිය හැගීම්බර ශෝකය ප්රකාශ කරන ලද අතර, බුද්ධි අංශයේ ඉතිරි නිලධාරීන් ආරක්ෂා කරගැනීම සඳහා ක්රියාකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ත්රස්තවාදි ව්යාපාර මර්දනය මේජර් මුතාලිෆ්ගේ රාජකාරී සේවාව විය. ඔහු එල්ටීටීඊ සංවිධානය දැක්කේ අනුකම්පා විරහිතව විනාශ කළයුතු ත්රස්තවාදි සංවිධානයක් ලෙසය. එසේම ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදි ඔහු ජනතා විමුක්ති පෙරමුණ දැක්කේ ද අනුකම්පා විරහිතව විනාශ කළයුතු ත්රස්තවාදි සංවිධානයක් වශයෙනි. ඔහු එල්ටීටීඊයට එරෙහිව ද මුළු ශක්තිය යොදා ක්රියාකළා සේ ම ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදි ද ජවිපෙට එරෙහිව මුළු ශක්තිය යොදා ක්රියා කළේය. එල්ටීටීඊය මේජර් මුතාලිෆ් දැක්කේ අනුකම්පා විරහිතව මරා දැමිය යුතු පුද්ගලයෙකු වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණ ද දෙවැනි කැරැල්ලේදි ඔහු දැක්කේ ද අනුකම්පා විරහිතව මරා දැමිය යුතු පුද්ගලයෙකු වශයෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදි මේජර් මුතාලිෆ් අනුයුක්ත කොට සිටියේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානය යටතේ, කර්නල් ජානක පෙරේරාගේ නායකත්වයෙන් ක්රියාත්මක වූ විශේෂ මෙහෙයුම් කණ්ඩායමටය. රෝහණ විජේවීර පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ලොකුම නායකයින් ලෙස සැලකිය හැකි උපතිස්ස ගමනායක, එච්.බී. හේරත්, ඩී.එම්. ආනන්ද වැනි අය අත්අඩංගුවට ගන්නා ලද්දේ ද එම කණ්ඩායම විසිනි.
රෝහණ විජේවීර ඝාතනය කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පී (වර්තමානයේ ඔහු උතුරුමැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයෙකි.) ආර්.කේ. ඉන්ද්රානන්ද සිල්වා විසින් ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් ලෙස හඳුනා ගත් නාම ලැයිස්තුවට මේජර් (එකල ලුතිනන්) මුතාලිෆ්ගේ නම ද ඇතුළත්ය. එකල මුතාලිෆ් හිටියේ ජේවීපී මරණ ලැයිස්තුවේය. ඒ සියල්ල අමතක කොට දැන් ජේවීපීයට මේජර් මුතාලිෆ් වෙනුවෙන් කඳුළු සලන්නට සිදුවී තිබේ.
සිරි රණසිංහගේ පාපොච්චාරණය
රෝහිත බෝගොල්ලාගම නඩුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පළකිරිමෙන් අධිකරණයට අපහාසයක් වී නම්, ඒ ගැන සමා වන ලෙස කර්තෘ සංසදයේ සභාපති “ලංකාදිප” කර්තෘ සිරි රණසිංහ මහතා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්රකාශ කළේය. එය පළකිරිමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අධිකරණයට අපහාසයක් කර ඇති බව ඔහු පිළිගත්තේය. කර්තෘ සංසදයේ සභාපති වශයෙන් ඔහු ජනමාධ්යවේදින්ට කියා දෙන පාඩම වනුයේ මතභේදයට හේතුවන එවැනි ප්රකාශන පළ නොකළ යුතු බවය. උසාවිය කවර හේතුවක් නිසා හෝ විවේචනයට හෝ විචාරයට ලක් නොකළ යුතු බවය. ඒ අනුව කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ද ඊට ගැළපෙන ලෙස වෙනස් විය යුතුව තිබේ.