සුනාමි ඛේදවාචකය විසින් ඇති කර තිබෙන විනාශය රට නගා සිටුවීමට අවස්ථාවක් කරගන්නවා වෙනුවට ඇතිවී තිබෙන විනාශය දෙගුණ තෙගුණ කරගන්නා තැනකට රට ගමන් ගනිමින් තිබෙන බව පෙනේ. මේ විනාශයෙන් අවතැන් වී සිටින අප රැකබලා ගනිමින් ඔවුන්ට නැවත නැගී සිටීමට අත දෙනවා වෙනුවට ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට දමන ප්රතිපත්තියක් රටේ අනාගත සුභ සිද්ධියට හේතුවිය නො හැකි ය.
සුනාමි විපත් හැමදා ඇතිවිය හැකි විපත් විශේෂයක් ලෙස සලකා වෙරළබඩ ඉදිකිරිම් සඳහා කෘතිම සීමා පනවා අවතැන්වූවන් ඔවුන් පදිංචි වී සිටින ස්ථානවලින් ඉවත් කරන පිළිවෙතක්, පිළිගත් සියලු මූලධර්මවලට පටහැනි ය. අවතැන්වූවන්ට අදාළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තිය අනුව මෙවැනි විපතක දී අවතැන් වන පුද්ගලයින් ඔවුන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන් මුලින් පදිංචි වී සිටි ස්ථානවලින් පිටමං කොට පිටස්තර තැන්වල පදිංචි කරවීම අපරාධයකි. සිදුවී තිබෙන විපත කොතරම් විශාල විය හැකි වුවත්, නීතියේ ආධිපත්යය හා මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම නො සලකා ක්රියාකිරීමේ අයිතියක් අපට නැත.
සුනාමි විපත් ශතවර්ෂ කිහිපයකට වරක් මිස, හැමදා ඇතිවන්නක් නොවේ. සුනාමි නිසා මුහුද බිහිසුණු රකුසකු ලෙස සලකා ක්රියාකළ යුතු නැත. තවදුරටත් ධීවරයින් මුහුදට යා යුතු ය. විදේශීය සංචාරකයින් ද නැවත මුහුදු වැල්ලට යා යුතු ය.
වෙරළබඩ සිටි සියලු දෙනා අනවසර පදිංචිකරුවන් නොවේ. විශාල බහුතරයක් සින්නක්කර ඉඩම් හිමිකම් හිමි අය වූහ. සුනාමි වලින් සමහරවිට ඔවුන්ට ඉතිරි වී තිබූ එකම ධනය වී තිබුණේ ද තමන්ට හිමි ඉඩම පමණ ය. ඇතිවූ විපත හේතුවක් කරගනිමින් ඔවුන්ට ඉතිරි වී තිබූ එකම ධනයට ඇති අයිතිය ද ඔවුන්ට අහිමි කරයි නම්, එය ඔවුන්ට කරන බලවත් අසාධාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් අතට ආණ්ඩුව ඇතිකර තිබෙන මීටර් 100 ප්රතිපත්තිය අනාථභාවයෙන් අත්මිදි නැවත අලුත් ජීවිත ආරම්භ කිරීමට ඔවුන්ට තිබෙන හැකියාව සීමා කර තිබේ.
අවතැන්වී සිටින අය අතර, තමන්ගේ ඉඩම්වල නැවත නිවාස තනා ගැනීමේ හැකියාවක් ඇති අය ද සිටී. රජය කළයුතුව තිබුණේ එවැනි අයට ආධාර දෙන ප්රතිපත්තියක් අනුගමනය කිරීම ය. එසේ වී නම්, අවතැන්වී සිටින අය අතරින් කිසියම් පිරිසක් තමන්ගේ නිවාස තනාගන්නා ප්රතිපත්තියකට යොමුවන්නට ඉඩ තිබුණු අතර, ඒ මගින් අනාථභාවය පිළිබඳ ප්රශ්නය ලිහිල් වන්නට ද ඉඩ තිබුණි. මීටර් 100 සීමාව පිළිබඳව ආණ්ඩුව ඇතිකර තිබෙන හිතුවක්කාරී පිළිවෙත නිසා තමන්ගේ නිවාස තනා ගැනීමේ හැකියාවක් ඇති අයට පවා අනාථභාවයෙන් අත්මිඳීමට තිබෙන හැකියාව නැති කර තිබේ.
ලක්ෂ ගණනක් ජනතාවගේ සින්නක්කර ඉඩම් ඔවුන්ට අහිමි කරන පිළිවෙතක් සාධාරණ නොවනවා සේ ම, ඔවුන්ගේ එකගත්වයකින් තොර ව හිතුවක්කාරි එවැනි තීරණයක් ගැනීමේ අයිතියක් ද කිසිම ආණ්ඩුවකට තිබිය නො හැකි ය. හානියට පත් සංචාරක හෝටල් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තිය ද ලඳ බොළඳ ය. නැවත ප්රතිසංස්කරණ කටයුතු සඳහා අවසර දෙන තෙක් ඒවා ප්රතිසංස්කරණ නො කළයුතු බවට පනවා තිබෙන නියෝගය නිසා නැවත පැරණි කර්මාන්තයට මාරුවීමට එම ව්යාපාරිකයන්ට තිබෙන හැකියාව සීමා කර තිබේ. විය යුතුව තිබුණේ හැකි ඉක්මනින් ප්රතිසංස්කරණ කටයුතු අරඹා ඒවා නැවත ප්රකෘති තත්ත්වයකට ගැනීමට ඔවුන්ට ආධාර කිරීම ය. සංචාරක කර්මාන්තය නැවත ප්රකෘති ක්රියාකාරිත්වයකට ගත හැකිවනු ඇත්තේ එවිට ය.
වෙරළබඩ තීරයේ ජීවත් වූ ජනයා එම ඉඩම්වලින් ඉවත් කරනවා නම්, අඩුම වශයෙන් ඔවුන්ගේ ඉඩම්වලට තිබුණු වෙළෙඳපොළ වටිනාකම ගෙවිය යුතු ය. එසේ කළයුත්තේ ද තවත් කාලයකට පසුව නො ව, වහ වහා ය. එවිට තමන්ට ලැබෙන වන්දි මුදලින් ආණ්ඩුව නියම කරන තැනකින් නො ව, තමන් කැමති තැනකින් නව නිවසක් තනා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත්තේ ය.
දැන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තිය නිසා නිවාස අහිමි වූ සියලු දෙනා ආණ්ඩුවෙන් නිවාස ලබා දෙන තෙක් කඳවුරුවල ම ජීවත් විය යුතු තත්ත්වයක් ඇති කර තිබේ. නිවාස තනාගැනීමේ හැකියාවක් ඇති අයට ඊට අනුබල දිය යුතු ය. ආණ්ඩුව කරට ගත යුත්තේ එවැනි හැකියාවක් නැති අයගේ බර පමණ ය.
ආණ්ඩු බලය තිබූ පමණින් ජනතාවගේ ජීවිතවලට අදාළ හැම තීන්දුවක් ම ඔවුන්ගේ කැමැත්තට පටහැනිව ගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි කියන ආකල්පයෙන් ආණ්ඩුව ඉවත් විය යුතු ය. නැවත රට ගොඩනගනවා යන්නෙහි තේරුම ජනතාවගේ ජීවිත කාලකණ්ණි කොට ගාම්භීර නගර ඉදිකිරීම නො වේ. භෞතික වශයෙන් කරන ඉදිකිරිම්වලට වැඩි වැදගත්කමක් ජනතාවගේ ජීවිතවලට ලබාදිය යුතු ය.