ගාල්ලේ දී ඇතිවී තිබෙන සිද්ධියක් මෙසේය. සුනාමි ඛේදවචාකය සිදුවූ දින මංගල උත්සවයකට සහභාගිවීම සඳහා රත්තරන් මාල වළලු පැළඳගෙන පාරේ ගමන් ගනිමින් සිටි කාන්තාවක්, ගලා එමින් සිටි වතුරට හසුවෙමින් සිටියේය. විපතට පත්වෙමින් සිටි මේ කාන්තාව බේරාගැනීමේ මුවාවෙන් ඇය වෙත ළංවූ කිහිපදෙනෙකු ඇය වතුරේ ගිල්වා ඇය පැළඳගෙන සිටි මාල වළලු පැහැර ගත්තේ ලු. ඒ බිහිසුණු ක්රියාවට සම්බන්ධ වූ කිහිපදෙනා එම නපුරු වැඩපිළිවෙළ විපතට පත්වූවන්ගේ රත්තරන් කොල්ලකෑමට අවස්ථාවක් කරගත්හ.
මෙම කොල්ල කල්ලියේ ක්රියාකලාපය ගැන කරාපිටිය ප්රදේශයේ ජනයා අතර විවිධ කතා පැතිර ගොස් තිබුණේය. 14 වැනිදා මධ්යම රාත්රී මෙම කොල්ල කල්ලියේ නායකයා හෝටලයක ආහාර ගනිමින් සිටින බව දැනගන්නට ලැබී ප්රදේශයේ ජනතාව ඔහු අල්ලා පහර දුන්නේය. පහරකන විට කොල්ලකෑම් වලට සම්බන්ධ සෙසු අයගේ නම් ද නායකයා හෙළි කළේය. ජනතාව ඔවුන් ද අල්ලා ගත්තේය. අල්ලා ගන්නා ලද කල්ලියේ අනුගාමිකයන් හත්දෙනා ඔවුන්ගේ අත්අඩංගුවේ සිටියදි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුවත්, පොලිසිය ඒ ස්ථානයට එන අවස්ථාව වන විට ප්රදේශයේ මහජනතාව කල්ලියේ නායකයාට පහරදි ඔහු මරා දමා තිබුණි. ඉන්පසු පොලිස් භාරයට ගන්නා ලද හත්දෙනා ද ඉල්ලා උද්ඝෝෂණය කළත්, ඔවුන් ආපසු ලබාගැනීමට සමත් වූයේ නැත.
මහජනයා විසින් පහරදි මරා දමන ලද පුද්ගලයා ගැන කියැවෙන කතා සත්යයක් නම්, ඔහු සැලකිය හැක්කේ මිනිසකු ලෙස නොව තිරිසනකු ලෙසය. එහෙත් ඔහු කොතරම් බිහිසුණු මිනිසකු වුවත්, පහරදි ඔහු මරා දමනවා වෙනුවට සිදුවිය යුතුව තිබුණේ ඔහු පොලිසියට භාරදිමය. ඉන්පසු විධිමත් නඩු විභාගයකින් පසුව චෝදනා ඔප්පු වේ නම් පමණක් ඔහුට දඬුවම් කිරීමය.
එහෙත් මේ සිද්ධියේදි මහජනයා පොලිසියේ වගකීම සේ ම උසාවියේ වගකීම ද තමන්ගේ අත්වලට ගෙන ඇති බව පෙනේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ පොලිසිය හා උසාවි ක්රමය පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටී තිබෙන තරමයි. ඔහු නීතිය ඉදිරියට පත්කළහොත් ඔහුට කිසිවක් සිදු නොවනු ඇතැයි මහජනයා කල්පනා කළා විය හැකිය.
මෙම විපතේදි සමහර පොලිස් නිලධාරින්ගේ හැසිරිම ද මහජනයා අතින් මැරුම් කෑ කොල්ලකරුගේ හැසිරිමට වෙනස් නොවීය. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති සමහර පොලිස් නිලධාරින් ද මේ අවස්ථාව නිල බලයට මුවාවී දේපළ කොල්ලකන අවස්ථාවක් බවට පත්කර ගත්තේය. සුනාමි රළ පහරට හසු නොවූ කලුවැල්ලේ සමහර රත්තරන් බඩු සාප්පු හා ඩයලොග් සාප්පුව කොල්ලකෑම ආරම්භ කළේ පොලිසිය යන්න ගාලු මහජනයා අතර පවත්නා ජනප්රිය මතයයි.
මෙවැනි විපතකදි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරි ඇති පොලිසිය මහජන දේපළ කොල්ලකන තත්ත්වයකින් ක්රියාකරයි නම්, එය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ විපතේදි මහජන දේපළ කොල්ලකෑ කොල්ල කල්ලි ගැන නීතිය අකුරටම ක්රියාකරනු ඇති බව පොලිසිය විසින් ප්රකාශ කර තිබුණි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිසියේ කිසියම් පිරිසක් හෝ මේ විපතේදි මහජන දේපළ කොල්ලකන තත්ත්වයකින් ක්රියාකර ඇත්නම්, පිටස්තර කොල්ලකාරයන් ගැන සොයා බලන්නට පෙර ඔවුන් ගැන සොයා බැලීම පොලිස්පතිවරයා සතු වගකීමකි.
අගවිනිසුරු සහ සුනාමි
සුනාමි විපත සිදුවන අවස්ථාව වන විට රටේ වඩාත්ම කතාබහට හේතුවී සිටි චරිතය වූයේ අගවිනිසුරුය. එස්.බී. දිසානායක සම්බන්ධයෙන් අගවිනිසුරු අනුගමනය කළ ක්රියාකලාපය ගැනය. සුනාමි විපත විසින් එම මාතෘකාව කලකට යටපත් කළේය. ඒ නිසා රටට වූ විපත තමාට වූ සැපතක් ලෙස අගවිනිසුරුට සැලකිය හැකිය.
තමාගේ බොඳවී තිබුණු ප්රතිරූපය ද නැවත ශක්තිමත් කරගැනීමට සුනාමි විපත අවස්ථාවක් කරගැනීමට අගවිනිසුරුවරයා උපරිම උත්සාහයක යෙදි සිටින බව පෙනෙන්නට තිබුණි. එහෙත් එය සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත.
ඔහු පිණ්ඩපාතේ යන භික්ෂූන් වහන්සේලා අතරට එකතු වූයේ රටට අලුතෙන් පහළ වී ඇති රහතන් වහන්සේ කෙනෙකු ලෙසය. ඉන්පසු තෙල්වත්තේ දුම්රිය අනතුරෙන් පසු ඔහු විනිසුරුවරුන් කණ්ඩායමක් සමග එහි ගියේය. එහෙත් මරණ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ඔහුගේ වැඩපිළිවෙළ එහි සිටි කිසිවකු පිළිනොගැනීම නිසා එම ස්ථානයෙන් පල්ලම් බසින්නට අගවිනිසුරුට සිදුවිය. ඉන්පසු ඔහු භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු සමග හෙළිකොප්ටරයකින් ශ්රී මහා බෝධියට ගොස් පිරිත් පැන් කල කිහිපයක් සමග නැවත හෙළිකොප්ටරයකට නැගී රට වටේ යමින් අහසේ සිට පිරිත් පැන් ඉසින වැඩපිළිවෙළක යෙදුණත්, ඔහු ඒ වෙනුවෙන් අපේක්ෂා කළ මාධ්ය ආවරණය ඔහුට ලැබුණේ නැත.
දි කිරට සාක්කි කියන විද්යා හා තාක්ෂණ ඇමති
දැන් සියලු නායකයන් කතා කරන්නේ අනතුරු අගවන සංඥා ක්රමයක් ඇති කරගැනීමේ අවශ්යතාව ගැනය. ඒ සඳහා තිබුණු උපකරණවලට කුමක්වීද යන්න ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නැත.
අනතුරු අගවන නලා සහිත සංඥා පද්ධතියක් වැල්ලේ සවි කොට නොතිබුණු බව සැබෑවකි. එහෙත් අවශ්ය කරන සියලු වාර්තා ලබාගත හැකි නවීන උපකරණවලින් සමන්විත මධ්යස්ථානයක් අපට පල්ලේකැලේ තිබුණේය. එය තිබුණේ භූ විද්ය හා පතල් කාර්යාංශය භාරයේය. ජපානයෙන් ලැබුණු තවත් උපකරණ පද්ධතියක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ විද්යා අංශය භාරව තිබුණේය. එහෙත් ඒ කිසිවක් අපි ප්රයෝජනයට නොගත්තෙමු. තිබෙන උපකරණ මාර්ගයෙන් නිරන්තරයෙන් සෝදිසියෙන් සිටින ක්රමයක් භූ විද්යාඥයන්ට නොතිබුණේය. ඒ නිසා ජීවිත හානිය අවම කරගැනීමට තිබුණු හැකියාව රටට අහිමි විය.
අවශ්ය උපකරණ තිබියදිත් නිරන්තර සෝදිසියෙන් සිටින ක්රමයක් ඇති නොකර ගැනීම ගැන වගකිවයුත්තෝ ශ්රී ලංකාවේ භූ විද්යාඥයෝය. රටවල් දෙකක් විෂයයට අදාළ ප්රධාන ආයතන දෙකකට එම උපකරණ ලබාදි තිබුණේ සෝදිසියෙන් සිටීම සඳහාය. ඒ උපකරණ ලබාගෙන ඒවා ප්රදර්ශන භාණ්ඩ ලෙස තිබෙන්නට හැරියා මිස, ඒවා ප්රයෝජනයට ගනිමින් නිරන්තර සෝදිසියෙන් සිටින ක්රමයක් ඇතිකර ගැනීමට ඔවුන්ට අවශ්ය නොවීය. සුනාමි ආවේ අවුරුදු 500කට පසුව නිසා කිසිවෙක් එය අපේක්ෂා නොකළත් භූ කම්පන ගැන නිරන්තර සෝදිසියෙන් සිටීමේ ඕනෑකමක් ඔවුනට නොතිබුණේය. ගිනි නිවන හමුදාව හැමවිටම සීරුවෙන් සිටිය යුතුය. හැම දිනකම ගින්නක් ඇතිවන බව ඉන් අදහස්වන්නේ නැත. ගිනි නිවන හමුදාවේ සියලු දෙනා හැම මොහොතකම රාජකාරියේ යෙදි සිටිය යුතු බව ද ඉන් අදහස්වන්නේ නැත.
භූ විද්යාඥයන් තමන් අතින් සිදුවූ බරපතළ වරද වසා ගැනීමට කෙළවරක් නැති තරමට රටට බොරු කීවා පමණක් නොව, විද්යාඥයකු ලෙස සැලකිය හැකි විද්යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණ මහතා ද ඔවුන්ගේ වගකීමෙන් තොර ක්රියාකලාපය ආරක්ෂා කරන පිළිවෙතක් ඔස්සේ දේශපාලන කවටයකුගේ තත්ත්වයට ඇද වැටුණි.
එදා පෝය නිවාඩු දිනයක් වූ නිසා කිසිවකුට දොස් පැවරිය නොහැකි බව කීමෙන් නොනැවතුණ ඔහු ප්රශ්න කරන ජනමාධ්යවේදින්ගේ කටවැසීම සඳහා ඔබලා නිවාඩු දිනයක වැඩකරන්නේ දැයි ඔවුන්ගෙන් ප්රශ්න කරන තරමේ අන්තයකට ද ගියේය.
නිවාඩු දින කාටත් නිවාඩු නම් නිවාඩු දිනවල දරුවන් ප්රසුත්ර කිරීම ද තහනම් කළ යුතුය. පුදුමවිය යුත්තේ මෙවැනි කාලකණ්ණි චින්තනයක් ඇති රටක් මේ තරමින් හෝ ඉතිරී වී තිබීම ගැනය.
මුහුද රකුසකු ලෙස සැලකිය යුතුද?
වෙරළ තීරයේ මීටර් 100ක් දුරට කරන සියලු ඉදිකිරිම් තහනම් කර තිබේ. ඊළග මීටර් 100 කලාපයේ ද ඉදිකිරිම් කළ හැක්කේ නිසි අවසර ගැනීමකින් පසුව පමණය.
සුනාමි කලාතුරකින් ඇතිවන විපතක් ලෙස මිස, හැමදා ඇතිවන විපතක් ලෙස සැලකිය නොහැකිය. සුනාමි තර්ජනයක් ඇති රටවල් ලෙස සැලකෙන ශාන්තිකර කලාපයේ රටවල් පවා සුනාමිවලින් පසුව මුළුමනින් මුහුදු තීරය අතහැර පළායන ප්රතිපත්තියක් අනුගමනය කර නැත. ඒ වෙනුවට කර ඇත්තේ විධිමත් ලෙස අනතුරු ඇගවීම් ලබාගත හැකි සංඥා පද්ධතියක් ආධාරයට ගැනීම හා ගොඩනැගිලි තනන විට සුනාමි රළ පහරට ඔරොත්තු දෙන ආකාරයට ගොඩනැගිලි තැනීමය. භූමි කම්පාවලින් විශාල විනාශයක් ඇතිවී තිබෙන රටවල් ද ඒ භූමි කම්පා ඇතිවූ ප්රදේශ අතහැර එම ප්රදේශවලින් පළායන ප්රතිපත්තියක් අනුගමනය කර නැත.
එහෙත් ශ්රී ලංකාවේ ප්රතිපත්ති සම්පාදකයෝ මුහුද සදාකාලික රකුසකු ලෙස සලකා ක්රියා කරන තැනකට තල්ලු වී සිටිති. මීටර් සියයක් තුළ වෙරළ තීරයේ ජීවත් වන සියලු මිනිසුන් එම කලාපයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. රටේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇත්තේ මුහුදුබඩ තීරයේය. මීටර් 100න් පසු කලාපයේ ද ජනගහන ඝනත්වය ඉහළ මට්ටමක පවතී. අනෙක් අතට ඉඩම් මිල ඉහළම මට්ටමක පැවතියේ ද වෙරළබඩ කලාපයේය. වෙරළබඩ තීරයේ පදිංචි වී සිටි සියලු දෙනා එහි බලහත්කාරයෙන් පදිංචි වී සිටි අය නොවෙති. විශාල පිරිසකට තමන්ට සින්නක්කර අයිතියක් තිබු ඉඩම් තිබුණි. ඒ ඉඩම් විශාල මිලකට විකිණීමේ හැකියාව තිබියදි පවා ඔවුන් ඒවා නොවිකුණන්නට ඇත්තේ ද ඒවාට තිබුණු පාරම්පරික බැඳීම් නිසා විය හැකිය.
එවැනි අයට දැන් ඉතිරි වී තිබෙන එකම ධනය වී ඇත්තේ ද තමන් සතුව තිබූ ඉඩම පමණය. දැන් ඒවා ද ඔබලාට අයිතියක් නැතැයි කියන ප්රතිපත්තියක මේ අසරණ මිනිසුන් කබලෙන් ළිපට දැමීමට සමානය. මෙම ප්රතිපත්තිය බරපතළ ගැටුම් ඇති කිරීමට හේතුවනු ඇතිවා පමණක් නොව, ඇතිවී තිබෙන අනාථභාවය ඉක්මනින් ජයගැනීමට තිබෙන හැකියාව ද සීමා කරයි.
අනාථභාවයට පත්ව සිටින අය අතර තමන්ගේ ඉඩම්වල නැවත ගෙවල් තනාගැනීමට කැමැත්තක් ඇති ඒ සඳහා හැකියාවක් ද ඇති කිසියම් විශාල පිරිසක් සිටිනවා විය හැකිය. එවැනි අයට නිවාස තනාගැනීමට පහසුකම් ලබාදෙන ප්රතිපත්තියක් අනුගමනය කළේ නම්, එවැනි අයගේ ජීවිත ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව ඇති කර තිබෙන සීමාව නිසා ඒ සියලු දෙනා ද දැන් තමන් කුමක් කළයුතුදැයි නොදන්නා අසරණ තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ. තමන්ගේ ඉඩම්වලට කුමක් සිදුවන්නේ දැයි ඔවුන් දන්නේ නැත. අඩුම වශයෙන් ආණ්ඩුව ඔවුන්ගෙන් පැහැර ගන්නා ඉඩම් වලට වන්දි වශයෙන් තිබුණු වෙළෙඳපොළ වටිනාකමවත් ගෙවන ප්රතිපත්තියක් අනුගමනය කළේ නම්, ආණ්ඩුව නිවසක් දෙන තෙක් බලා නොසිට ඒ ලැබෙන වන්දි මුදලින් ඉඩමක් මිලදි ගෙන තමන් කැමති ආකාරයට නව නිවසක් ඉදිකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නට ඉඩ තිබුණි. අනෙක් අතට මෙවැනි තීරණයක් ගන්නවා නම් ගතයුතුව තිබුණේ විපතට පත්ව සිටින එම ජනයාගේ ද අදහස් විමසා බැලීමෙන් පසුවය. පෞද්ගලික දේපළවලට ඇති අයිතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතියකි. ඒ අයිතිය සමග සෙල්ලම් කරන්නට යෑම භයානකය