රටක් ලෙස අප යමින් සිටින්නේ කොයිබටද? කන්දක් විළිලා වදන්නට යන්නේ මී පැටියෙක් ද?

January 16, 2005
Publication:
Not even the tsunami has changed the country's inefficient, corrupt course or its divisive thinking. The first shock released a flood of human kindness, but the editorial warns that thinking confined to the tsunami could deepen divisions, and calls for thinking on the scale of the moment.

සුනාමි ඛේදවාචකය විසින් ඇති කර තිබෙන දැවැන්ත විනාශයටවත් රටේ සුපුරුදු ගමන් මගෙහි (අකාර්යක්ෂම හා දූෂිත) හෝ චින්තනයෙහි (නූතනයට නොගැළපෙන හා භේදකාරි) ගැඹුරු වෙනසක් ඇති කිරීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

එම ඛේදනීය සිද්ධිය පළමු වටයේ දී රටේ ජනතාව අතර මහත් කම්පාවක් ඇති කළේ ය. යටපත් වී තිබූ මනුෂ්‍යකමේ ගුණ යහපත්කම් පිටාර ගලන තත්ත්වයක් ඇති කළේ ය. අතරින් පතර අමනුෂ්‍යයන් ලෙස ක්‍රියාකරන පිරිසක් සිටියත්, දයාව හා කරුණාව මහා ප්‍රවාහයක් ලෙස ගලා ගියේ ය.

එහෙත් ඒ වෙනස දේශපාලන නායකයින් කෙරෙහි බලපෑ බවක් පෙනෙන්නට නැත. ඔවුන් තවදුරටත් සමාජය ඉදිරීයේ පෙනී සිටියේ විකාරරූපී රංගනයක යෙදෙන විකට නළුවන් පිරිසක් ලෙස ය. ඔවුන්ගේ මුහුණුවලින් වත් අඳින ඇඳුම් පැළඳුම් වලින්වත් ඔවුන්ගේ හදවත් තුළ ගැඹුරු කම්පාවක් ඇතිවී තිබුණු බවක් පෙනෙන්නට නැත.

ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමී හා වර්ග භේදවාදි ආකල්ප ගැන අපට දැඩි විවේචනයක් ඇතත්, දේශපාලන පක්ෂයක් වශයෙන් මෙම අවාසනාවන්ත සිද්ධියේ දී මහජනයාට සහන සැලසීම සඳහා ඔවුන්ගේ කාර්යධරයන් විසින් කරන ලද කැප කිරීම අගේ කළ යුතු ය. ඒ සියල් ලේදි කට්ටිවාදි නොවී, මහජනයාට ආධාර කිරීමට ඉදිරියට පැමිණි ස්වේච්ඡා සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියාකිරීමට ද ඔවුන් සමත් වී නම්, ඔවුන් අතින් ඉටුවූ කාර්ය භාරය වඩා වර්ණවත් වන්නට ඉඩ තිබුණි.

තවමත් සමස්ත ජාතියේම අවධානය යොමුවී තිබෙන්නේ සිදුවී තිබෙන මහා විපත ගැන ය. විපතට පත්වූ ජනයාට ලබා දෙන සහන ගැන ය. විපතේ අළු දූලි යට සැගවී තිබෙන පාඩම් පිළිබඳව ගැඹුරු අවධානයක් තවමත් යොමුවී නැත.

මෙය භේදකාරි ආකල්පවලින් අත්මිදි සමගි සම්පන්න රටක් ලෙස නැගී සිටීමට රටට ලැබී තිබෙන බලවත් නිමිත්තක් ලෙස සැලකිය හැකි ය. ජපානය දෙවැනි ලෝක යුද්ධයේ දී තමන් මත හෙළන ලද පරමාණු බෝම්බය නිසා ඇතිවූ විනාශයේ අළු දූලි, නැගී සිටීමට ලැබුණු බලවත් නිමිත්තක් ලෙස සලකා, එය නැගී සිටීමට අවස්ථාවක් කර ගත්තේ ය. මහත්මා ගාන්ධි ද සිය රට මත පැටවී තිබුණු යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව නිදහස දිනාගැනීම සඳහා කරන සමාජ අරගලය, නව ඉන්දියානු ජාතියක් ගොඩනැගීමට ලැබුණු බලවත් නිමිත්තක් බවට හරවා ගත්තේය.

අපිදු එළඹී තිබෙන මෙම විශේෂ මොහොතේ දී සිදුවී තිබෙන විනාශය සුන්බුන් මතින් නැගී සිටීමට ලැබී තිබෙන බලවත් නිමිත්තක් ලෙස සලකා ක්‍රියාකරන තැනකට යා යුතු වෙමු. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන දෘෂ්ටියක් හෝ මගපෙන්වීමක් රටට තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙය කුඩාවට කල්පනා කළ යුතු අවස්ථාවක් නො ව, විශාල ලෙස කල්පනා කළ යුතු අවස්ථාවකි. මහා ඇලෙක්සැන්ඩර් නැපෝලියන් හෝ බින් ලාඩන් තරම් විශාල ලෙස කල්පනා කළ යුතු අවස්ථාවකි. මේ මොහොතේ දී අපේ ඉලක්ක විය යුත්තේ සුළු වෙනස්කම් ඇති කිරීම නො ව, මහා වෙනස්කම් ඇති කිරීම ය. මේ අවස්ථාවේ දී අපි සුනාමි විපතට පමණක් සීමා නො විය යුතු ය. ඊට අතිරේකව පෙර සිදුවී තිබෙන මහා විපත් ද එකට ගෙන ඒ සියලු විපත්වලට විසඳුම් සොයන අවස්ථාවක් බවට පත් කරගත යුතු ය.

සුනාමි විපතට පමණක් සීමා වූ චින්තනයක්, රටේ තිබෙන භේද උග්‍රකිරීමට හේතුවිය හැකි බව තේරුම් ගත යුතු ය. සුනාමි විසින් විනාඩි විස්සක් වැනි සුළු කාලයක් තුළ ඇති කර තිබෙන ජීවිත හා දේපළ විනාශයට සමාන ජීවිත හා දේපළ විනාශයක් අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධය විසින් ද ඇති කර තිබුණේ ය. දකුණේ සිටින සිංහල අප සංවේදි නො වූව ද, සුනාමි විපත විසින් පමණක් නො ව, ඊට පෙර යුද්ධය විසින් ද විශාල පිරිසකට ඔවුන් සිටි නිවාස අහිමි කොට, ඔවුන් තොග ගණනින් අනාථ කඳවුරුවල ජීවත් වන තත්ත්වයක් ඇති කර තිබුණේ ය. අපි සුනාමිවලට පමණක් සීමා නො වි ය යුතු ය. සුනාමි විසින් අලුතෙන් අනාථ කඳවුරුවල ගාල් කිරීමට හේතුවී තිබෙන ජනතාව හා ඊට පෙර යුද්ධය විසින් අනාථ කඳවුරුවල ගාල් කරනු ලැබ සිටින ජනතාව යන දෙ කොටසම එකට ගෙන ඔවුන් සියලු දෙනාට නිවාස ලබාදෙන වැඩපිළිවෙළකට අප යා යුතු ය. දිගු කලක් අනාථ කඳවුරුවල ජීවත් වන ජනතාව නො සලකා සුනාමි විපත විසින් අනාථභාවයට පත් කොට සිටින ජනතාවට පමණක් නිවාස ලබාදෙන වැඩපිළිවෙළක්, රට සමගි කරනවා වෙනුවට තිබෙන භේද උග්‍ර කිරීමට හේතුවිය හැකි ය. තිබෙන භේද අවසන් කොට රට සමගි කොට ශක්තිමත්ව නැගී සිටීමට අවශ්‍ය පසුබිමක් ලබාදෙනු ඇත්තේ සුනාමි විසින් ද, යුද්ධය විසින් ද ඇති කර තිබෙන දේපළ විනාශයන් එකට ගෙන රට ගොඩ නගන වැඩපිළිවෙළකට ය. ජාත්‍යන්තර ප්‍රජාවගේ වැඩි සහාය ලැබෙනු ඇත්තේ ද එවැනි වැඩපිළිවෙළකට ය.