මේවන විට ඉදිරි ජනාධිපතිවරණය දකුණේ දේශපාලන ගමන් මග හසුරුවන ප්රධාන සාධකය බවට පත්වී තිබේ. අවසාන විග්රහයේදි ඒ දේශපාලන ගමන් මග අධිනිශ්චය කරන පුද්ගලයා බවට පත්ව සිටින්නේ ප්රභාකරන් ය.
ජනාධිපතිනිය එක්තරා ප්රමාණයකට තමන්ගේ ඉලක්කය ජයගැනීම සඳහා අවශ්ය කරන ගොඩ තරකර ගැනීමේ අරමුණ ජයගැනීමට සමත්ව තිබෙන බව පෙනේ. එහෙත් ඉලක්කය සපුරා ගැනීමට නම් ඇය තවත් බොහෝ දුර යායුතුය. එය ද නිසල පරිසරයක නොව අර්බුදවලින් ගහන පරිසරයකය.
ජනතා විමුක්ති පෙරමුණ සමග ගැටුම් ඇතත්, මෙම පක්ෂ දෙක හා ආණ්ඩුව එකිනෙකා මත රඳ පවත්නා තත්ත්වයකට පත්ව තිබෙන තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමක් හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් කිරීමක් හෝ සිදුවිය නොහැකිය. කොතරම් ගෝරනාඩු කළ ද ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ ආණ්ඩුවෙන් වෙන්වීමේ හැකියාවක් නැති අතර, ජනාධිපතියට ද මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ අත්හැරිමේ හැකියාවක් නැත.
ශ්රීලනිපයේ මන්ත්රීවරුන් අතර ද සැගවුණු අතෘප්තියක් පවතී. ජනාධිපතිනිය අවලංගු වී බණ්ඩාරනායක පවුලෙන් පිටස්තර පුද්ගලයෙකු අතට පක්ෂ නායකත්වය යනවා දකින්නට කැමති පිරිසක් ශ්රීලනිපය තුළ සිටී. එහෙත් වෙන්න යන්නේ කුමක්දැයි ඔවුන්ට පැහැදිලි නැත. සමහරවිට කුමන දහං ගැටයකින් හෝ ජනාධිපතිනිය තමා අවලංගුවීම වළකා ගනු ඇතැයි කියන හැගීමක් ද එවැනි අය අතර පවතී.
මොන මොන දහංගැට දැම්ම ද ජනාධිපතිනියට තමාගේ අවලංගුවීම වළකාගැනීමට නොහැකි වී ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමන් අතට පත්වනු ඇතිය යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වී තිබෙන බව ද පෙනේ.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ සිතන බව පෙනෙන්නේ ද ඒ සමාන ආකාරයටය. ජනාධිපතිනිය තමන්ගේ අවලංගුවීමට දරන උත්සාහය අසාර්ථක වී ජනාධිපතිකම තමන්ගේ ඔඩොක්කුවට වැටෙනු ඇති බව රනිල් වික්රමසිංහගේ කල්පනාව වී තිබෙන බව පෙනේ. එජාප නායකයා දැන් පක්ෂය හසුරුවමින් සිටින්නේ ද තමා තව ටික කලකින් ජනාධිපති වන නිසා පක්ෂයේ සියලු දෙනා තමන්ට කොන්දේසි විරහිතව සහාය දිය යුතුයැයි යන ආකල්පයක පිහිටාය.
එජාප තුළ රනිල් වික්රමසිංහගේ නායකත්වයට කැමති නැති පරිසක් සිටිය ද, ඔවුන් තුළ ද පුරෝගාමී ශක්තියක් නොපවතී. අතෘප්තියක් ඇතත්, මේ මොහොතේ පිටාර ගලායෑමක් ඇතිවීමට ඉඩක් නැත.
විකල්ප පක්ෂයක් ලෙස පෙනී සිටි හෙළ උරුමය ද දැන් තිබෙන්නේ කැබලි වන තැනකය. කිසියම් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද, තවත් පිරිසක් සන්ධාන ආණ්ඩුවට ද එකතු වන තත්ත්වයක් තුළ හෙළ උරුමය කිසිම බලයක් නැති කුඩා කණ්ඩායමක තත්ත්වයකට පත්වනු ඇතැයි සිතිය හැකිය.
ජනාධිපතිනියට තිබෙන ලොකුම සීමාව කාලය විසින් ඇති කර තිබෙන සීමාවන්ය. තමාගේ අවලංගුවීම වළකන වෙනසක් 2005 අගෝස්තුවලට පෙර සම්පූර්ණ කළ යුතුය. ඇය ජනාධිපති ක්රමය ගැන කුමක් කීවද ඇය වැඩි කැමැත්තක් දක්වනු ඇත්තේ ක්රමයේ මූලික වෙනසක් ඇති කරන ප්රතිසංස්කරණයකට වඩා ඊළග ජනාධිපතිවරණයට ද තරග කිරීමට ඉඩ ලැබෙන ප්රතිසංස්කරණයකටය. ඊළග විකල්පය තෝරාගනු ඇත්තේ පළමු විකල්පය ජයගත නොහැකි නම් පමණය.
පළමු විකල්පය ඉදිරියට ගැනීමේ හැකියාවක් ඇතොත් මා විධායක ජනාධිපති ක්රමයට කැමති නැතත් සුළු ජාතීන් එය ඉල්ලා සිටින නිසා අකමැත්තෙන් වුවත් එය තෝරාගැනීමට සිදුවී යැයි කිව හැකිය.
එහෙත් ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ සාම සාකච්ඡා ආරම්භ කොට දෙමළ සන්ධානයේ විසි දෙදෙනාගෙන්ම කැමැත්ත ලබාගැනීමට ඇය සමත් වේ නම් පමණය. සාම සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාව හා දෙමළ සන්ධානයේ විසි දෙදෙනාගේ කැමැත්ත ලබාගැනීමේ හැකියාව රඳා පවතින්නේ ප්රභාකරන් මතය.
සිය උපාය මාර්ගික වැඩපිළිවෙළ ඉදිරියට ගැනීම පිණිස හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කිරීමේ උනන්දුවක් ජනාධිපතිනියට ඇතත්, ප්රභාකරන්ගේ කැමැත්ත නැතිව ඒ කිසිවක් සිදුකළ නොහැකිය. ප්රභාකරන් එවැනි වැඩපිළිවෙළකට කැමති වනවා නම් කැමති වනු ඇත්තේ ජනාධිපතිනියගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ සිය අරමුණු සමග සමපාත වේ නම් පමණය.
මෙහිදි ප්රභාකරන් වැනි පුද්ගලයෙකුට උපාය මාර්ගික වශයෙන් අනුගමනය කළ හැකි ප්රතිපත්ති දෙකක් තිබේ. තමන්ගේ අභිලාෂයන්ට ගැළපෙන දෙයක් ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටිමින් හා ලබාගනිමින් ජනාධිපතිනියගේ අවලංගුවීම වළකන වැඩපිළිවෙළකට ආධාර කළ හැකිය. නැත්නම් ජනාධිපතිනියට හිතුවක්කාරි ලෙස ක්රියාකරන්නට ඉඩදි ඒ සමග ඔහුට ද ඒ සමාන හිතුවක්කාරි ක්රියාමාර්ගයක් ඉදිරීයට ගත හැකිය.
ඔහු තෝරාගන්නේ දෙවැනි ක්රියාමාර්ගය නම් එය ලෝකයා හමුවේ යුක්තිසහගත කිරීමට අවශ්ය තරම් තර්ක ඉදිරීපත් කිරීමේ පහසු හැකියාවක් ද ඔහුට ලැබෙනු ඇත්තේය.
තුනෙන් දෙකේ බලයක් නැතිවත් පිළිගත් ව්යවස්ථා මූලධර්මවලට පටහැනිව යමින් තමාගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා අලුත් ව්යවස්ථාවක් නිර්මාණය කිරීමට හෝ තිබෙන ව්යවස්ථාව වෙනස් කිරීමට ජනාධිපතිනියට හැකි නම්, දෙමළ ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජිතයන් අතර තුනෙන් දෙකක බලයක් ඇති තමන්ට ද එක් පුද්ගලයකුගේ යහපත පිණිස නොව, පොදුවේ දෙමළ ජනතාවගේ යහපත පිණිස එසේ ක්රියාකිරීමේ බලයක් ඇතැයි ප්රභාකරන්ට තර්ක කළ හැකිය. සටන් විරාම ගිවිසුම ඇතිකර ගැනීමෙන් පසුව තමන් යුද්ධ කිරිමෙන් වැළකී සාකච්ඡා කරන තැනකට ගිය බවත්, දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබාදෙන පෙඩරල් ආණ්ඩු ක්රමයක් ඇති කරගන්නේ නම් වෙනම රාජ්යයක් සඳහා කරන ඉල්ලීම අත්හරින්නට සූදානම් බව ප්රකාශ කළ බවත්, අන්තර් පාලන ක්රමයක් සඳහා අවශ්ය තම යෝජනා පවා ඉදරිපත් කළ බවත් ඔහුට කිව හැකිය. එසේ කියමින් දෙමළ නියෝජිතයන් විසිදෙදෙනා කිලිනොච්චියට කැඳවා පාර්ලිමේන්තුවක් මෙන් රැස්වී දෙමළ ප්රදේශ සඳහා ජනමතවිචාරණයක් පවත්වන්නට තීරණය කොට ඒ ජනමත විචාරණය ජයගැනීමෙන් පසුව දෙමළ ජනතාව සඳහා වන ආණ්ඩුවක් ඇති කරගතහොත් ඊට දිය හැකි පිළිතුරක් තිබේද? ජනමත විචාරණයක් පවත්වා පහසු ජයග්රහණයක් ලැබීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිනියට නොව ප්රභාකරන්ටය. මහජනතාව තෝරාපත් කරනු ලැබ සිටින පාලකයන් හිතුවක්කාරි ලෙස ව්යවස්ථා මූලධර්ම උල්ලංඝනය කරන තැනකට යයි නම් එයින් වැඩියෙන්ම වාසි ලැබෙනු ඇත්තේ එල්ටීටීඊයටය.
සාම සාකච්ඡාවලට යනවා නම් යායුතුව තිබෙන්නේ සගවා ගත් සටකපට වෙනත් දේශපාලන යටි අරමුණු ඇතිව නොව, පවතින අර්බුදයට විසඳුමක් සොයාගැනීමේ අවංක චේතනාවෙනි. දේශපාලනඥයන් බලය සඳහා මෙම අර්බුදය මත බඩ පිණුම් ගසන තත්ත්වයට තවදුරටත් යයි නම් ඉන් වැනසෙනු ඇත්තේ ඔවුන් ද සමග මුළු රටමය.