රටට දැක්මක් නැතිකම පෙන්නුම් කරන හොඳම තැන රටේ පවත්නා පාසල් ක්රමයයි. එය මුළු රටම බොරුකාරයන් බවට පත් කරන ක්රමයකි. දුෂණයට හා වංචාවට යොමු කරන ක්රමයකි. ළමයකු මව් කුසේ පිළිසිඳගත් දා සිටම දෙමාපියන් තුළ අසහනයක් ඇති කිරීමට හේතුවී තිබෙන ක්රමයකි. එය සමස්ත ජාතියේම ආත්ම ගෞරවය කෙලෙසීමට හේතුවී තිබෙන ක්රමයක් ලෙස ද සැලකිය හැකිය.
අධ්යාපනයේ ගුණයේ ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහිද, ගුරුවරුන් අතර පවතින අතෘප්තිය හා ඔවුන් වගකීමකින් තොරව ක්රියාකරන තැනකට යොමුකිරීම කෙරෙහි සේ ම තරුණ පරපුර අතර පවත්නා ප්රචණ්ඩත්වය හා පරාජිත හැගීම් කෙරෙහි ද මෙම පාසල් ක්රමය බලපා තිබේ.
විෂම ක්රමය
පාසල් වර්ග කර ඇත්තේ AB වර්ගය, AC වර්ගය, 2 වර්ගය හා 3 වර්ගය වශයෙනි.
AB වර්ගය ලෙස සැලකෙන්නේ අපොස උසස් පෙළ විද්යා, කලා හා වාණිජ විෂය ධාරා සහිත පාසල්ය. මුළු පාසල් පද්ධතිය තුළ ඒ ගණයට වැටෙන පාසල් 513ක් තිබෙන අතර, එම වර්ගය යටතට වැටෙන පාසල්වල ශිෂ්ය සංඛ්යාව 836,924කි. ගුරුවරුන් සංඛ්යාව 32,449කි. ඒ අනුව එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 1,631කි. ගුරුවරුන් සංඛ්යාව 63කි. ඒ වර්ගයට වැටෙන පාසල්වල අනුපාතිකය 5.13%කි.
AC වර්ගය ලෙස සැලකෙන්නේ අපොස උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරා පමණක් ඇති පාසල්ය. මුළු පාසල් පද්ධතිය තුළ ඒ ගණයට වැටෙන පාසල් සංඛ්යාව 1510කි. නැතිනම් මුළු පාසල් සංඛ්යාවෙන් 15%කි. ඒ ගණයට වැටෙන පාසල්වල ශිෂ්ය සංඛ්යාව 1,194,197කි. ගුරුවරුන් සංඛ්යාව 49,544කි. එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 790කි. ගුරුවරුන් සංඛ්යාව 32.8කි.
2 වර්ගය ලෙස සැලකෙන්නේ අපොස සා. පෙළ දක්වා ඇති පාසල්ය. පාසල් පද්ධතිය තුළ ඒ ගණයට වැටෙන පාසල් සංඛ්යාව 3581කි. මුළු පාසල් සංඛ්යාවෙන් 35.8%කි. එම ගණයට වැටෙන පාසල්වල සිටින මුළු ශිෂ්ය සංඛ්යාව 1,382,219කි. ගුරුවරුන් සංඛ්යාව 60,009කි. එවැනි එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 389.5කි. ගුරුවරුන් සංඛ්යාව 16.7කි.
3- වර්ගය ලෙස සැලකෙනුයේ වසර 05 හෝ වසර 08 දක්වා පමණක් පන්ති ඇති පාසල්ය. පද්ධතිය තුළ ඇති මේ ගණයට වැටෙන මුළු පාසල් සංඛ්යාව 4395කි. සිටින ශිෂ්ය සංඛ්යාව 721,774කි. මුළු පාසල් සංඛ්යාවෙන් 43.9%ක් ම මේ ගණයට අයත්ය. එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 164කි. ගුරුවරුන් සංඛ්යාව 6.5කි.
සමහර පාසල්වල පන්ති ඇත්තේ වසර 1 සිට 5 දක්වා පමණය. ඒ ගණයට වැටෙන පාසල්වල සංඛ්යාව 2885 (29.1%)කි. වසර 1-8 දක්වා පන්ති ඇති පාසල් සංඛ්යාව 1441 (14.5%)කි. වසර 1-11 දක්වා පන්ති ඇති පාසල් 3583 (36.0%)ක් තිබෙන අතර, වසර 1-13 දක්වා පන්ති ඇති පාසල් 1615 (16.3%)ක් තිබේ. වසර 6-11 දක්වා පමණක් පන්ති ඇති පාසල් 39 (0.4%ක්) ඇති අතර, වසර 6-13 දක්වා පන්ති ඇති පාසල් 343 (3.5%)ක් ඇත්තේය.
පාසල් 2739කට (මුළු පාසල් සංඛ්යාවෙන් 24.4%කට) සිටින්නේ ළමුන් 100කට අඩු සංඛ්යාවකි. තවත් පාසල් 2029 (20.3%)කට සිටින්නේ ළමුන් 100ට වැඩි 200කට අඩු සංඛ්යාවකි. ළමුන් 200කට වැඩි 500කට අඩු පාසල් සංඛ්යාව 2779 (27.8%)කි. ළමුන් 500කට වැඩි 1000කට අඩු පාසල් සංඛ්යාව 1459 (14.6%)කි. ළමුන් 1000කට වැඩි 3500කට අඩු පාසල් සංඛ්යාව 939 (9.4%)කි. ළමුන් 3500කට වැඩි පාසල් සංඛ්යාව 50 (0.5%)කි.
උගන්වන ගුරුවරුන් සංඛ්යාව අනුව ද අවශ්ය නම් තවදුරටත් මේ පාසල් බෙදා වෙන් කළ හැකිය. සමහර පාසල්වල ගුරුවරුන් 100කට වැඩි ගණනක් සිටින විට පාසල් 1179ක (11.8%)කම සිටින්නේ ගුරුවරුන් දෙදෙනෙක් හෝ ඊට අඩු ගණනකි.
මෙම පද්ධතියේ ඇති බෙදිම් අශෝභන වනවා පමණක් නොව, නිසි පිළිවෙළකින් ද තොරය. හොඳ පාසල් ලෙස සැලකිය හැකි පාසල් ඇත්තේ අතළොස්සකි. අනෙක් පාසල් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කමකට නැති පාසල් ගණයෙහි ලා සැලකිය හැකිය. ඒ නිසා හොඳ පාසල් සඳහා විශාල තරගයක් පවතී. කමකට නැති පාසල් පිළිගැනීමට සූදානම් ජනතාවක් ඇතත්, ඒවා පිළිගැනීමට සූදානම් නැති විශාල ජනතාවක් ද රටේ සිටිති. මෙම පාසල් ක්රමය නිදහස් අධ්යාපන ක්රමයකට නොගැළපෙන අතර, සමාජ විෂමතාවක් අනුමත කරන පාසල් ක්රමයක් ලෙස සැලකිය හැකිය.
රටේ පවතින පන්ති විෂමතාවන්ට ගැළපෙන පාසල් ක්රමයක් පවත්වාගෙන යා යුත්තේ ආණ්ඩුව විසින් නොව, පෞද්ගලික අංශය විසිනි. ආණ්ඩුව විසින් පවත්වාගෙන යායුත්තේ සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන, හැකි තාක් දුරට සමාන වටිනාකමක් ඇති, විෂමතාවන්ගෙන් හීන පාසල් පද්ධතියකි. එවැනි සරල ක්රමයකට කැමති නැති ධනවතුන්ට ඔවුන්ට ගැළපෙන පෞද්ගලික පාසල් පද්ධතියක් පවත්වාගෙන යෑමට පෞද්ගලික අංශයට ඉඩදිය හැකිය.
ප්රතිසංස්කරණවලට ආවේණික සීමා
මෙතෙක් විටින් විට ඉදරිපත් කර තිබෙන සියලු අධ්යාපනික ප්රතිසංස්කරණවලට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ ඒ්වා සමස්ත ක්රමයේ මූලික ප්රතිසංස්කරණයක් ඇති කරන දර්ශනයකින් තොර වීමය. පවතින විෂම පාසල් ක්රමය මූලික ප්රතිසංස්කරණයකට ලක්කිරීමකින් තොරව එම විෂම ක්රමය පවත්වාගෙන යන අතර, ඉන් තෝරාගත් පාසල් පොදියක් දියුණු කිරීම ඒ හැම ප්රතිසංස්කරණ වැඩපිළිවෙළකම ඉලක්කය විය. අධ්යාපනික ප්රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින උගතුන් ද අතළොස්සක් වන ප්රභූ පන්තිය නියෝජනය කරන එම පන්තියේ සාමාජිකයන් වන නිසාම තමන් ඉගෙන ගත්, තමන්ගේ දූ දරුවන් අධ්යාපනය ලබන සුපිරි පාසල් ක්රමයට කිසිදු හානියක් ඇති නොවන ලෙස සියලු ප්රතිසංස්කරණ ඉදිරියට ගෙන යායුතුය කියන හැගීමක් ඔවුන් තුළ ඇතිවීම ස්වභාවිකය.
ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ මූලික පාලනය හා අධීක්ෂණය යටතේ ද මෙම පාසල් පද්ධතිය තුළ ඇති පාසල්වලින් 347ක් තෝරාගෙන ඒවා වැඩි දියුණු කරන මහා ව්යාපෘතියක් 1995දි අරඹා ක්රියාත්මක විය. ටික කලකට පසුව 347 ඉලක්කය වෙනුවට ඒ අතරින් පාසල් 134ක් තෝරාගෙන ඒවා වැඩි දියුණු කරවන වඩා වේගවත් වැඩපිළිවෙළක් 1997 සිට ක්රියාත්මක විය. මෙම පාසල් 137 විශිෂ්ට ගණයේ පාසල් බවට පත්කිරීම මෙම ව්යාපෘතියේ ඉලක්කය විය. ඒ සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් ද වැය කළේය. අලුත් ගොඩනැගිලි ඉදිකළේය. තිබෙන ගොඩනැගිලි ප්රතිසංස්කරණය කළේය. අත්යාවශ්ය පහසුකම් ලබාදුන්නේය. එහෙත් අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමට හැකිවීද? නැත.
මෙම විශේෂ ව්යාපෘතිය පිළිබඳව එන්.ජී. කුලරත්න විසින් කරන ලද ඇගයීමක් An Evaluation of the divisional school development project and programme to revamp central schools යන නමින් පළවී තිබේ.
එම අධ්යයනය අනුව පෙනී යන්නේ අපේක්ෂිත අරමුණු යම් පමණකට හෝ සපුරා ගැන්මට මෙම විශේෂ ව්යාපෘතිය සමත් වී නැති බවය. එම වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළට ඉලක්ක වී තිබුණු පාසල් සමූහය එම පාසල්වල අධ්යාපනය ලැබූ ශිෂ්යයන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවී නැත. වඩා හොඳ පාසල් කරා වන සංක්රමණය වැළැකීමට ඒවාට හැකිවී නැත.
එවැනි අසාර්ථක ප්රතිසංස්කරණ වැඩපිළිවෙළකින් උගත හැකි හොඳම පාඩම සමස්ත පාසල් ක්රමයේ මූලික වෙනසක් ඇති නොකර, ක්රමය තුළ ඇති තෝරාගත් පාසල් සමූහයක් ප්රතිසංස්කරණය කිරීමට දරන කිසිම ප්රයත්නයක් සාර්ථක නොවන බවය.
සමස්ත පාසල් ක්රමය ප්රතිසංවිධානය කිරීම
පවතින පාසල් ක්රමය මුළු එකක් වශයෙන් ගෙන ප්රතිසංවිධානය කිරීම දුෂ්කර දෙයක් වන්නේ නැත. ඒ සඳහා අලුත් ගොඩනැගිලි අවශ්යවන්නේ නැත. විශාල මුදල් ආයෝජනයක් අවශ්ය වන්නේ ද නැත. ශිෂ්යයන්ගේ දක්ෂතා අනුව වඩා හොඳ පාසලක් තෝරාගැනීමට අවස්ථාව ලැබෙන ආකාරයටත්, පාසල් පද්ධතිය තුළ ඇති අසමාන බව තුරන් කෙරෙන ආකාරයටත් තරගයකින් තොරව හැම කෙනෙකුටම පාසලක් ලැබෙන ආකාරයටත් මෙම පාසල් පද්ධතිය නැවත ප්රතිසංවිධානය කළ හැකිය.
දැන් තිබෙන සංකීර්ණ බෙදිම් වෙනුවට 1-5 වසර දක්වා වන පන්ති ඇති ප්රාථමික පාසල් ක්රමයක් ද, 6-11 වසර දක්වා පන්ති ඇති ද්විතියීක පාසල් ක්රමයක් ද, 12-13 වසර දක්වා පන්ති ඇති උසස් පෙළ පාසල් ක්රමයක් ද වශයෙන් වර්ග තුනක පාසල් ක්රමයක් ඇති කළ හැකිය.
දැනට ලොකුම තරගය ඇත්තේ 1 වැනි වසර සඳහාය. මේ තරගයට මූලික හේතුව වී ඇති පාසල් ක්රමය තුළ ඇති උස් පහත් භේදයන්ය. උස් මිටිකම් නැති බොහෝ දුරට එක සමාන පහසුකම්වලින් යුතු එක සමාන පෙනුමකින් යුතු, බොහෝ දුරට එක සමාන ගුණයකින් යුතු, තමන් අයත් ග්රාමසේවක කොට්ඨාසයේ ප්රාථමික පාසල තෝරාගැනීමට බල කෙරෙන ප්රාථමික පාසල් ක්රමයක් ඇති කිරීම මගින් ඒ සඳහා දැන් පවතින අශෝභන පොරය නැති කළ හැකිය.
ප්රාථමික පාසල්
වසරකට පළමු වසරට එකතු වන ශිෂ්ය සංඛ්යාව ආසන්න වශයෙන් 275,000කි. රටේ පවතින පාසල්වලින් 96%කටම ප්රාථමික පන්ති ඇත්තේ ය. ප්රාථමික පන්ති ඇති පාසල් සංඛ්යාව 9344කි.
මෙම ප්රාථමික පන්ති සහිත ගොඩනැගිලි ඒවා බද්ද වී තිබෙන පාසල් ක්රමයෙන් ඉවත් කොට වෙනම පාසල් ක්රමයක් ලෙස ප්රතිසංවිධානය කළ හැකිය. මේ වර්ගයේ පාසල් සඳහා විද්යාගාර අවශ්ය වන්නේ නැත. අවශ්ය වන්නේ සරල මූලික අවශ්යතාවන්ගෙන් යුතු පිරිසිදු හා සිත්ගන්නා වටාපිටාවකි. දැනට තිබෙන ගොඩනැගිලි හා උපකරණ ද ගුරුවරුන් ද මේ පාසල් ක්රමය ප්රමාණවත්ය.
1-5 වසර දක්වා පන්තිවල අධ්යාපනය ලබන ශිෂ්ය සංඛ්යාව 2,081,104කි. ගුරුවරුන් සංඛ්යාව 67,019කි. හැම ග්රාමසේවක කොට්ඨාස 2කටම ප්රාථමික පාසල් 1.33ක් ලැබෙන ලෙස මෙම ප්රාථමික පාසල් 9,344 බෙදාහැරිය හැකිය. එවිට එවැනි එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 222.72කි. ගුරුවරුන් සංඛ්යාව 7.17කි. එවිට හැම දෙනෙකුටම සිය දරුවා යවන්නට සිදුවනු ඇත්තේ තමා පදිංචි ග්රාමසේවක කොට්ඨාසයේ ප්රාථමික පාසලටය. ප්රාථමික පාසල හොඳ තත්ත්වයකින් තබාගැනීමේ වගකීම ද ඒ ගමේම මහජනයාට ලැබෙනු ඇත්තේය.
ද්විතීයික පාසල්
ඉන්පසු 6-11 වසර දක්වා වන ද්විතීයික පාසල් ක්රමයක් ද ඇති කළ හැකිය. අධික ජනගහනයක් ඇති නාගරික ප්රදේශවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකට එවැනි පාසල් 15ක් ද, අනෙක් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එක් කොට්ඨාසයකට පාසල් 10ක් ද ලැබෙන ලෙස ද්විතියීක මට්ටමේ පාසල් ක්රමයක් සඳහා අවශ්ය වනුයේ පාසල් 3,200ක් පමණය. 6-11 වසර දක්වා වන පන්තිවල අධ්යාපනය ලබන ශිෂ්ය සංඛ්යාව 1,867,443කි. ගුරුවරුන් සංඛ්යාව 88,636කි. එවැනි එක් පාසලකට ලැබෙන ශිෂ්ය සංඛ්යාව 583.57කි. එක් පාසලකට වැටෙන ගුරුවරුන් සංඛ්යාව 27.69කි.
පහේ ශිෂ්යත්ව විභාගය සියල්ලන්ට අනිවාර්ය කොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොඳම ප්රතිඵල ලබන ශිෂ්යයන් 500ට එක් පාසලක් ද, අනෙක් ශිෂ්යයන්ට නිවසට ආසන්නම පාසල ද ලැබෙන ආකාරයට ද ශිෂ්යයන් බෙදා හැරෙන ක්රමයක් ඇති කළ හැකිය.
උසස් පෙළ පාසල්
12-13 වසරවල පන්තිවල අධ්යාපනය ලබන ශිෂ්ය සංඛ්යාව 186,567කි. ගුරුවරුන් සංඛ්යාව 15,080කි. උසස් පෙළ පන්ති සඳහා එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් උසස් පෙළ (නාගරික ප්රදේශවලට ඊට වැඩි ගණනක්) පාසලක් ලැබෙන ලෙස උසස් පෙළ පාසල් ක්රමයක් ඇති කළ හැකිය. ඒ සඳහා අවශ්ය පාසල් සංඛ්යාව 314කි. එවිට එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 594.16කි. ගුරුවරුන් සංඛ්යාව 48.02කි.
උසස් පෙළ පාසල් ක්රමය සඳහා පාසල් පද්ධතියේ ඇති හොඳම ගොඩනැගිලි ලබාගත හැකිය. පළාතේ අපොස සාමාන්ය පෙළ විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා ශිෂ්යයන් 600 දෙනකු සඳහා බස්නාහිර පළාතට විශේෂ පාසල් 3ක් ද, අනෙක් පළාත්වලට එක පාසල බැගින් ද වන ලෙස විශේෂ පාසල් 11ක් ඇති කළ හැකිය. ඒ පාසල්වල ශිෂ්යයන්ට අවශ්ය නම් නේවාසිකාගාර පහසුකම් ද ලබාදිය හැකිය.
මෙවැනි සරල පාසල් ක්රමයක් ඇති කිරීම මගින් සම්පත් සාධාරණව හා කාර්යක්ෂමව බෙදාහැරිය හැකි අතර, ඵලදායී ගුරුමාරු ක්රමයක් ද පවත්වාගෙන යා හැකිය. දැන් පවතින ගුරුමාරු ක්රමය තුළ සමහරවිට උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරුන්ට මාරුවෙන් පසුව ප්රාථමික ශ්රේණිවල ද උගන්වන්නට සිදුවේ. ප්රාථමික ශ්රේණිවලට උගන්වන ගුරුවරුන්ට උසස් පෙළට ද උගන්වන්නට සිදුවේ. මෙවැනි ක්රමයකින් එවැනි විෂමතා ඇතිවීම වැළැක්විය හැකිය. මෙම සරල බෙදිමට ගැළපෙන ලෙස සුදුසු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සුදුසු පාසල්වලට යොමුකිරීමේ හැකියාව ද ලැබෙන්නේය.
විද්යාගාර ගැටලුව
සමහර පාසල්වලට විද්යාගාර නැතිකම ආශ්රයෙන් මතුවී තිබෙන ගැටලු ද මේ සරල ක්රමය මගින් විසඳගත හැකිය.
දැනට පාසල් පද්ධතියේ ඇති විද්යාගාර සංඛ්යාව 2109කි. විද්යා කාමර සංඛ්යාව 1520කි.
උසස් පෙළ පද්ධතියේ ඇති හැම පාසලකටම විද්යාගාරයක් බැගින් ලබා දුන් විට (2109-314) ඉතිරි විද්යාගාර 1795 හා විද්යා කාමර 1520 ද ද්විතීයික ගණයට වැටෙන පාසල් 3200 අතර බෙදාහැරිය හැකිය.
මෙවැනි ක්රමයක් තුළ පාසල් කළමනාකරණය හා අධීක්ෂණය පහසු කරයි. නවීන ඉගැන්වීමේ ක්රම හඳුන්වාදිමට ද වැඩි හැකියාවක් ලැබෙන්නේය. විද්යා විෂයයන් හා ඉංග්රීසි භාෂාව ඉගැන්වීමට අවශ්ය තරම් පුහුණු ගුරුවරුන් නැතිකමේ ප්රශ්නයට පරිගණක යොදා ගුරුවරයා පසුබිමේ තබා විශාල තිරයක් මත ඉගැන්වීමේ ක්රම යොදාගත හැකිය. අඩුම තරමින් උසස් පෙළ පාසල් සඳහාවත් එක්තරා ප්රමාණයකට පරීගණකවලින් අධ්යාපනය ලබාදෙන ක්රමයකට මාරුවිය හැකිය. ඒ ගණයට වැටෙන හැම පාසල්වල ඇති පන්තිවලට එක් පරිගණකයක් බැගින් ලබාදෙන්නේ නම් ඒ සඳහා අවශ්ය වන්නේ පරිගණක යන්ත්ර 4665ක් පමණය.
නඩත්තුවට මුදල්
දැන් පවතින ක්රමය තුළ පාසල්වලට ලැබෙන්නේ ගුරු වැටුප් පමණය. ගොඩනැගිලි නඩත්තු කිරීම සඳහා ප්රමාණවත් මුදලක් ලැබෙන්නේම නැති තරම්ය. මේ තත්ත්වයට පිළියමක් වශයෙන් අවශ්ය නම් ශිෂ්යයෙකුගෙන් සරල මුදලක් අය කරන ක්රමයක් ද ඇති කළ හැකිය. ඒ සඳහා හැකියාවක් නැති අයට ඒ මුදල ආණ්ඩුව මගින් පාසලට ගෙවන ක්රමයක් ඇති කළ හැකිය. ප්රාථමික පද්ධතියේ ශිෂ්යයකු සඳහා වසරකට කොටස් වශයෙන් ගෙවිය හැකි රුපියල් 200ක් වැනි මුලක් ද, ද්විතීයික පද්ධතියෙන් එක් ශිෂ්යයකු සඳහා කොටස් වශයෙන් ගෙවිය හැකි වසරකට රුපියල් 500ක් වැනි මුදලක් ද උසස් පෙළ පද්ධතියෙන් ශිෂ්යයෙකුට කොටස් වශයෙන් ගෙවිය හැකි වසරකට රුපියල් 1000ක් වැනි මුදලක් ද අයකර ගත හැකිය.
එවැනි ක්රමයක් මගින් ප්රාථමික පාසල් පද්ධතියට ලබාගත හැකි වාර්ෂික ආදායම රුපියල් දශ ලක්ෂ 4162.88කි. ද්විතීයික පද්ධතියට ලැබෙන ආදායම රුපියල් දශ ලක්ෂ 746.97කි. උසස් පෙළ පද්ධතියට රුපියල් දශ ලක්ෂ 186.56කි.
එවිට ප්රාථමික පාසල් පද්ධතියේ පාසලකට ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා වසරකට රුපියල් 44,551ක් ද, ද්විතීයික පද්ධතියේ පාසලක් සඳහා වසරකට රුපියල් 233,430ක් ද, උසස් පෙළ පද්ධතියේ පාසලක් සඳහා වසරකට රුපියල් 594,000ක් ද ලැබෙන්නේය. ඒ මුදල්වලින් පාසල පිරීසිදු ලෙසත්, අලංකාර ලෙසත් පවත්වාගෙන යා හැකිය.
එවැනි ප්රතිසංස්කරණයකදි පාසල්වලට ලබාදි තිබෙන නම් පවා වෙනස් කළයුතුය. පාසල්වලට විවිධ පුද්ගලයන්ගේ නම් ලබාදෙන ක්රමයක් වෙනුවට පාසල් වර්ගය, පිහිටි ප්රදේශය හා අයත් අධ්යාපන දිස්ත්රික්කය ඇතුළත් වන ලෙස නම් ලබාදෙන ක්රමයක් ඇති කළ හැකිය. මෙම පාසල් ක්රම තුන පහසුවෙන් හර්නාගැනීමට හැකිවන වර්ග තුනට වර්ණ තුනක් ලබාදෙමින් එම පාසල්වල බිත්ති හෝ තාප්ප එම වර්ණවලින් වර්ණවත් කළ හැකිය.
එවැනි ප්රතිසංවිධානයක් ඇති කරන පාසල් ක්රමයේ ස්වභාවය මෙසේය.
1-5 වසර (ප්රාථමික)
හැම ග්රාමසේවක කොට්ඨාස දෙකකටම වැටෙන මේ ගණයේ පාසල් ගණන 1.33කි. හැම කෙනෙකුටම ප්රාථමික අධ්යාපනය සඳහා ලැබෙන්නේ ගමට අයිති පාසලය. එවැනි පාසල් 9344ක් රටේ තිබෙනු ඇති අතර, එක් පාසලක සාමාන්ය ශිෂ්ය සංඛ්යාව 222ක් ද, ගුරුවරුන් සංඛ්යාව 7ක් ද වනු ඇත.
6-11 වසර (ද්විතීයික)
ශිෂ්යත්ව විභාගයෙන් ලබාගන්නා ලකුණු අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොඳම ලකුණු ලබාගන්නා 500ට විශේෂ පාසලක් ද, අනෙක් අයට ලබාගන්නා ලකුණු අනුව ඉතිරි පාසල් 9න් එකක් ද හිමිවනු ඇත. එවැනි පාසල් 3200ක් රටේ තිබෙනු ඇති අතර, එක් පාසලකට වැටෙන ශිෂ්ය සංඛ්යාව 583කි. ගුරුවරුන් සංඛ්යාව 27.69කි.
12-13 වසර (උසස් පෙළ)
පළාතේ සාමාන්ය පෙළ විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා 600 දෙනෙකු සඳහා විශේෂ පාසලක් ද, අනෙක් අය සඳහා ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා (නගරබද සංයුතිය වෙනස්ය) එක් පාසලක් ද ලැබෙනු ඇත. එවැනි පාසල් 314ක් රටේ තිබෙනු ඇති, අතර, එවැනි එක් පාසලකට වැටෙන සාමාන්ය ශිෂ්ය සංඛ්යාව 594ක් ද, ගුරුවරුන් සංඛ්යාව 48ක් ද වනු ඇත.