නීතිඥ වෘත්තියේ ගෞරවය හා අධිකරණ ස්වාධීනත්වය

October 17, 2004
Publication:
The editorial welcomes the Bar Association's belated awakening over the case of the Wellawaya magistrate, which it says exposes the Chief Justice's partisan handling of the judiciary. It notes the record of the police officer involved and how first the JVP and then the Hela Urumaya fell silent about the Chief Justice.

බොහෝ ප්‍රමාද වී හෝ නීතිඥ සංගම් සාමාජිකයන්ගේ ඇස් ඇරෙමින් තිබීම ගැන අපි සතුටු වෙමු. වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්නය කේන්ද්‍රගත කරගනිමින් නීතිඥ සංගමයේ නිල හොබවන අය ගමන් ගනිමින් සිටින මාර්ගයට එරෙහිව එහි සාමාජිකයන් නැගී සිටින තැනකට පැමිණීම මතු බලාපොරොත්තු ඇති කරන්නක් ලෙස සැලකිය හැකි ය. එහෙත් නීතිඥ වෘත්තියේ ගෞරවය සඳහාත්, අධිකරණයේ ස්වාධීනත්වය සඳහාත් ඔවුන් අධිකරණයේ ප්‍රධානියාට එරෙහිව නැගී සිටිය යුතුව තිබුණේ අද නො ව මීට බොහෝ කලකට ඉහත දී ය.

වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා පිළිබඳ ප්‍රශ්නයෙන් ද අවසාන විග්‍රහයේදි සනාථ වූයේ ශ්‍රී ලංකාවේ අධිකරණ නායකයා විසින් අධිකරණය සම්බන්ධයෙන් පවත්වාගෙන යන පක්ෂවාදි පැසිස්ට් පිළිවෙතේ ස්වභාවය යි. පොලිස් ප්‍රධානියෙකු පදවාගෙන ගිය වාහනයට හැපී පුද්ගලයෙකු මියගිය පසු එම පොලිස් ප්‍රධානියා වාහනය පැදවූ පුද්ගලයා ලෙස වෙනත් පොලිස් නිලධාරියෙකු ඉදරිපත් කළේ ය. ඒ පිළිබඳව කෙරුණු සාක්ෂි විභාගයේදි වාහනය පැදවූ පුද්ගලයා පොලිස් ප්‍රධානියා බවට සාක්ෂි හෙළිවූ පසු මහේස්ත්‍රාත්වරයා පොලිස් ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ය. ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මෙම පොලිස් ප්‍රධානියා අගවිනිසුරුගේ මිත්‍රයෙකි. අගවිනිසුරුවරයා අධිකරණ සේවා කොමිසම මගින්, වරෙන්තුව ඉවත් කරගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය. කොමිසම විසින් කරන ලද නියමය මහේස්ත්‍රාත්වරයා සටහන් කළේ ය. ඒ බව දැනගන්නට ලැබී අගවිනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයා තමන් වෙත කැඳවා බැණ වැදි සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කළේ ය. මහේස්ත්‍රාත්වරයා අගවිනිසුරුවරයාගේ යෝජනාව බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා අගවිනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කළේ ය.

මෙම පොලිස් ප්‍රධානියා අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. සබරගමුව පළාත් සභා ආණ්ඩුකාරවරයා විසින් පොලිස් කොමිසමට ලිඛිතව දැනුම් දී ඇති පරිදි පළාතේ ගංජා ප්‍රවාහනයට හා හොර දැව ප්‍රවාහනයට සම්බන්ධ චරිතයකි. වරක් නිධානයක් හාරන්නට ගොස් බලංගොඩ ප්‍රදේශයේ ගම්මු ඔහු ගස් බැන්දෝ ය. අගවිනිසුරුවරයා ඇසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවය ඉන් සිතාගත හැකි ය. රටේ සිදුවන දරුණු අපරාධවලට පොලිසියේ ඇතැම් නිලධාරින් පමණක් නොව, අධිකරණයේ ඇතැම් පුද්ගලයන් ද සම්බන්ධ බව මින් හොඳින් තහවුරු වේ. මීට පෙර තමන්ට සමීප වරෙන්තුකරුවකු සගවා තැබීමට අගවිනිසුරුවරයා ආධාර කර තිබෙන ආකාරය අපි සවිස්තරාත්මකව හෙළිදරව් කළෙමු. ඉන් තවත් කලකට පසු රාත්‍රී කාලයේ දියවන්නාඔය අසල නවතා තිබූ වාහනයක විවාහක කාන්තාවක් සමග සිටියදි අගවිනිසුරුවරයා පොලිස් සෝදිසියට ලක්විය. ඒ පිළිබඳ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් වුවත් ඊට කුමක් සිදුවී ද යන්න කිසිවෙක් දන්නේ නැත.

රටේ අගවිනිසුරුවරයා අධිකරණයට ඇති කර තිබෙන අගෞරවයේ තරම සුළු පටු නැත. අධිකරණයේ ඇතිවී තිබෙන මෙම විනාශය රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය කෙරෙහි ද විනාශකාරි ලෙස බලපා තිබේ. මේ තත්ත්වය නිවැරදි කිරීම රටේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී ඇතත්, මොන මොන හේතු නිසා හෝ මේ ප්‍රශ්න යටපත් කොට තබාගෙන සිටිනවා මිස, ඊට විසර්මක් ලබාදෙන බවක් පෙනෙන්නට නැත.

කලක් ජනතා විමුක්ති පෙරමුණ අගවිනිසුරුවරයාට එරෙහිව ප්‍රසිද්ධියේ කතා කළේ ය. පසුව එම පක්ෂය නිහඬ කිරීමට අගවිනිසුරුවරයා සමත් විය. ඉන්පසු දියවන්නාඔය සිද්ධියේදි හෙළ උරුමය අභ්‍යන්තරයේ එම ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වී ඒ පිළිබඳව පාර්ලිමේන්තු පරික්ෂණයක් ඉල්ලා සිටීමට හෙළ උරුමය තීරණය කළත්, එම පක්ෂය ද නිහඬ කිරීමට අගවිනිසුරුවරයා සමත් විය. අගවිනිසුරුවයා හා ජනාධිපතිනිය අතර තිබෙන සම්බන්ධය නිසා ඒ ගැන කතා කිරීමේ හැකියාවක් ශ්‍රීලනිපයට නැත. එජාපය ද විටින් විට අගවිනිසුරුවරයාට එරෙහිව නැගී සිටියත්, එම පක්ෂය ද තමන්ට එරෙහිව තීරණාත්මකව නැගී නො සිටින තැනක තබාගැනීමට අගවිනිසුරුවරයා සමත් විය. දැන් අගවිනිසුරුවරයාට එරෙහිව කැරලි ගසන තැනකට යමින් සිටින්නේ නීතිඥයෝ ය. වෘත්තියේ ගෞරවය හා අධිකරණයේ ගෞරවය පිණිස අගවිනිසුරුවරයාට එරෙහිව සියලු දෙනාට ප්‍රථම නැගී සිටිය යුතුව තිබුණේ ද නීතිඥයෝ ය. අධිකරණයේ පවතින විෂම තත්ත්වයට එරෙහිව නැගී සිටින ලෙස වරක් එක්සත් ජාතීන්ගේ සංගමයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර පරම් කුමාරස්වාමි මහතා නීතිඥ සංගමයෙන් ප්‍රසිද්ධියේ ම ඉල්ලා සිටියේ ය. එහෙත් නීතිඥ සංගමයේ නිලතල දරන පුද්ගලයන් කළේ තමන්ට ලැබෙන වාසි සලකා අගවිනිසුරු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම ය. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ නීතිඥ සංගමයේ නිලතල හොබවන්නන් නීතිඥ ප්‍රජාවගේ පිළිකුලට ද විරෝධයට ද ලක්වීම ය.